අරුණි ශපීරෝ‍ වෙතින්

ස්කොට්ලන්තය වෙන් වී යාවි ද?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 12, 2014

සැප්තැම්බර් 18 වැනිදා “ස්කොට්ලන්තය ස්වාධීන රටක් විය යුතු ද?” විමසන ජනමත විචාරණය පැවැත්වේ. එහි දී වයස 16 ට වැඩි සියල්ලන්ටම වාගේ, මිලියන 4 ක් පමණ පිරිසකට, ඔව් හෝ නැහැ කියා චන්දය දිය හැකියි.

ස්වාධීන වෙනවා ද නැත්නම් එංගලන්තය සමඟ එකතු වී සිටිනවා ද යන්න ස්කොට්ලන්ත වැසියන්ට නොහොත් ස්කොටිශ් අයට තීරණය කරන්නට අවස්ථාව උදාවෙන්නේ මෑතක දී ය. ඔවුන්ගේ ඉතිහාසයේ වැඩි කාලයක් ගෙවී ගියේ ඔවුන්ව කෙසේ හඳුන්වනවා ද යන තීරණය රදළ ප්‍රභූන් සහ පාලකයන් විසින් තනි තනියම ගැනීමේ උත්සාහ වලිනි.

මෙල් ගිබ්සන් අධ්‍යක්ෂණය කළ සහ රඟපෑ බ්‍රේව්හාට් චිත්‍රපටියෙන් ස්කොට්ලන්තයේ පළමු නිදහස් සටනේ වීරයා දැනගන්නට සිනමා ලෝලීන්ට ඉඩක් ලැබිණ. ඒ වීරයා විලියම් වොලස්! ඒ චිත්‍රපටිය ඵෛතිහාසික කරුණු බොහොමයක් ප්‍රබන්ධයේ රසවත් බව සඳහා වෙනස්කර ගත්තකි.

ස්කොට්ලන්ත වැසියන්ගේ රදළ හාම්පුතුන් බහුතරය තමන් ගැන පමණක් සිතූ අවස්ථාවාදීන් වූ බව ඉතිහාසය දක්වයි. ඔවුන් එංගලන්තයේ පළමුවැනි එඩ්වර්ඩ් සමඟ එකතු වී ඉංග්‍රීසින්ට තම දේශය පාවා දුන්නේ ඔවුනට දේශපාලන බලය සහ වාසි ලබාගැනීම සඳහා ය. වොලස්ව පාවා දුන්නේ සාමාන්‍ය වැසියන් නොව ඉහළ තනතුරු වල සිටි ස්කොටිශ් බලධාරීන් විසිනි.

17 වැනි සියවස අවසානය වෙද්දී අනෙකුත් යුරෝපීය රටවලට සාපේක්ෂ්ව ස්කොට්ලන්තයේ කෘෂිකර්මය ඉතාමත් නොදියුණු තත්වයක පැවතිණ. 1637 සිට 1690 දක්වා කාලයේ සිවිල් යුද්ධ සහ කැරලි කෝලාහල වලින් මිය ගිය සංඛ්‍යාවත්, රටෙන් සංක්‍රමණය වී ගිය සංඛ්‍යාවත් ඉහළ නැඟ තිබුණි. සාගත පැතිර යාමත් අස්වනු නරක් වීමත් නිසා ජනගහණයෙන් අටෙන් එකක් පමණ මිය ගියහ.

පැනමා සමුද්‍ර සන්ධියේ ස්කොටිශ් උපනිවේෂයක් හදන අසාර්ථක සැලසුම Darien Scheme නිසා ජාතියේ ප්‍රාග්ධනය මුළුමනින්ම වාගේ ඔවුනට අහිමි විය.

එවැනි ඉතිහාසයකින් පසු ස්කොට්ලන්තය සරුසාර ආර්ථිකයකට වෙනස් වූ හැටි අතිශයින්ම විස්මය ජනකය.

එංගලන්තය හා එකතු වෙන්නට ස්කොට්ලන්තයට සිද්ධ වෙන්නේ අර කැලිඩෝනියා උපනිවේශය හදන සැලසුම අසාර්ථක වී රදළ ප්‍රභූන් සතු වත්කම් අහිමි වීමත් සහ එහි ආර්ථිකය බංකොළොත් වීමත් නිසයි. ජනතා මතයක් නොවිමසා ප්‍රභූන් අතර සාකච්ඡා වලින් පසුව දේශපාලන ගුණ්ඩු සහ අල්ලස් ගහණ වාතාවරණයක් මැද ස්කොට්ලන්තය එංගලන්තයට එකතු විය.

එංගලන්තය ඔවුන්ව එකතු කර ගන්නේ ස්කොට් වැසියන්ගේ දුප්පත් ආර්ථිකය දැක දැනිච්ච දුකක් නිසා නොවේ. ඈන් රැජිනගේ මරණයෙන් පසු ඔටුන්න ස්ටුවර්ට් නිවසෙන් හැනොවර් නිවසට යන ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ තීරණයට ස්කොටිශ් ජනතාව එකඟ නොවේ යන බිය නිසායි.

1714 දී ඉංග්‍රීසි ආණ්ඩුවට ස්කොට්ලන්තය පාලනය කරන්නට උවමනාවක් නොතිබිණ. ඔවුනට අවශ්‍ය වූයේ හැනෝවර් රජ පරම්පරාවට ඔටුන්න මාරු කර, එංගලන්තයෙන් පිටමං කළ ස්ටුවර්ට් රජ පරම්පරාවට තව දුරටත් ස්කොට්ලන්තයේම රැඳී සිටිය හැකි ආරක්ෂාව සලසා දීම පමණකි.

රටවල් දෙක එකතු වූයේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව අහෝසියෙන්. ඉතින් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හෙවත් එඩින්බර්ග් හි දේශපාලන බලතල අල්ලා ගැනීමේ බලාපොරොත්තු අවසන් විය. බලලෝභීන්ට අවශ්‍ය වූයේ දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හෙවත් වෙස්ට්මිනිස්ටර් යන්නයි. ඉතින් ඒ සඳහා ස්කොට්ලන්ත නියෝජිතයන් තෝරා ගැනීම ඉතා දූෂිත ලෙස සිද්ධ වන්නට පටන් ගති.

18 වැනි සියවස වෙද්දී ස්කොට්ලන්තයට උදා වී තිබුනේ හරියට බ්‍රිතාන්‍ය යටත්විජිත ඇමෙරිකාවේ දකින්නට ලැබුණු තත්වය හා සමාන තත්වයකි. ප්‍රභූන් වෙස්මිනිස්ටර් ගිහින් කුලල් කා ගනිද්දී, අවංක හා කාර්යක්ෂම නීති පද්ධතියක් දේශීය වශයෙන් පටන් ගෙන තිබුණි. ස්කොට්ලන්ත පල්ලියත් සමඟ එක්වුනු, එහි දේශීය කටයුතු කෙසේ සිද්ධ වෙනවාදැයි සොයා බැලීම ඒ වෙද්දී එංගලන්තය විසින් අමතක කර දමන ලද්දකි.

බලතණ්හාධිකයන්ගේ රූකඩ ලෙසින් දේශපාලනයෙන් සහ ආණ්ඩුව මාර්ගයෙන් තම ජීවිත සරුසාර කරගන්නට වෙහෙසෙනවාට වඩා තම තමන්ගේ කුසලතා සහ අභිප්‍රායන් දියුණු කරගන්නට ජවය යොදන වෙන මාර්ග සොයන්නට ජනතාව ඕපපාතිකව පටන් ගෙන තිබුණි.

ජනගහණය වැඩි විය. අර්තපල් වැනි නව භෝග වගා පටන් ගැනිණ. සමාජයේ දියුණුව සඳහා සටන්කාමී පාලක පංතියක් අවශ්‍ය නොවේ යන දැක්ම මුල් වරට ස්කොට්ලන්ත වැසියන් හඳුනාගත්හ.

එහෙත්, ස්කොට්ලන්තයේ සීඝ්‍ර දියුණුව වැඩිකල් නොපැවතිණ. වෙස්මිනිස්ටර් ගිය මහජන නියෝජිතයන් ගෙනා එක්සත් රාජධානියේ සමාජවාදී චින්තනය ස්කොට්ලන්තයට රිංගා ගති.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට වර්තමානයේ දී ස්කොට්ලන්තයෙන් එන නියෝජිතයන් බහුතරය සමාජවාදීන් වෙති. ඒ නිසා ස්කොට්ලන්ත නියෝජිතයන් අයින් වුවහොත් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට නැවත චන්දයක් දිනත හැකියාවක් ලැබේවිදැයි පවා කුහුලක් පැතිර යයි.

බ්‍රිතාන්‍යයේ පමණක් නොව යුරෝපීය යුනියනයේ ද වඩාත්ම සමාජවාදී කොටස ස්කොට්ලන්තයයි. එහි රාජ්‍ය අංශය අනෙකුත් OECD රටවල් සියල්ලටම වැඩියෙන් රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් වැඩි කොටස වැය කරයි.

2013 වෙද්දී යුරෝපීය යුනියනයේ සාමාජික රටක් හැටියට ස්කොට්ලන්ත ගොවියන් පොදු කෘෂිකර්ම ප්‍රතිපත්තියකින් සහනාධාර ගෙවීම් ලෙස යුරෝ මිලියන 583 ක් ලබති. එක්සත් රාජධානියෙන් අයින් වුවහොත් ඔවුන්ට කෘෂිකර්මය සඳහා සහනාධාර තවත් වැඩියෙන් ලැබේ යැයි ස්වාධීන ස්කොට්ලන්තයක් වෙන්නට සිතන අයගේ මතයයි. අනෙක් පැත්ත කියන්නේ එසේ සැලකිය යුතු සහනාධාර ලැබෙන්නේ බ්‍රිතාන්‍ය දැවැන්තයෙක් නිසා යුරෝපීය යුනියනය තුල කේවල් කිරීමේ හැකියාව ද වැඩියෙන් ඇති බැවින් කියාය.

ඒ එක උදාහරණයකි. මෙම ජනමත විමසුමේ ප්‍රධාන තැනක් ගන්නේ ඔවුන්ගේ සහනාධාර වලට බලපාන ආර්ථික ප්‍රතිපත්ති වෙති. ස්කොට් වැසියන් මෑත කාලයේ දී වැඩි වැඩියෙන් තෝරා පත් කරගන්නේ වැඩි වැඩියෙන් සහනාධාර බෙදන මහජන නියෝජිතයන් මිසෙක තමන්ගේ කුසලතා සහ අභිප්‍රායන් හඹා යන්නට නිදහස් ඉඩක් පාදන මහජන නියෝජිතයන් නොවේ.

ඔවුන්ගේ මෑත කාලීන හැදියාව සමාජවාදී වුවත්, ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් වී යන්නේ ද, ස්කොට් වැසියන්ගේ ජීවිත දැනට වඩා සරුසාර වෙනු ඇත.

ඒ හේතු දෙකක් නිසාය.

පළමුවැන්න, විසල් රටකට වඩා කුඩා රටකට වැඩි වශයෙන් එහි වැසියන්ගේ හඬට සවන් දෙන්නට සිදුවීම නිසයි. රටක් කුඩා වෙද්දී පාලකයන් ගෙනෙන ප්‍රතිපත්ති වල අඩුපාඩු ගැන දැනගැනීමට වැඩි හැකියාවක් ලැබේ. ඉතාමත් විනාශකාරී අදහස් ඉක්මණින් යළි වෙනස් කර ගැනීමට හැකිවේ.

දෙවැන්න, කුඩා රටවල් වලට උමතු අදහස් හරියාවිදැයි බලන්නට නාස්ති කළ හැකි ධන සම්පත් නැත. පස් අවුරුදු සැලසුම් වල ගුණ අගුණ වැඩිකල් නොයා අත්විඳින්නට ලැබේ.

ස්වාධීන වෙන්නට කැමති යැයි කියන වැඩි චන්දයක් ලැබුන හොත් ඒ සඳහා පවත්වන සාකච්ඡා වලින් අනතුරුව එය ස්වාධීන රටක් වේ යැයි එක්සත් රාජධානියේ ආණ්ඩුව ප්‍රකාශ කර ඇත. ස්වාධීන වෙන්නට වැඩි චන්දයක් නැත්නම් එය තව දුරටත් එක්සත් රාජධානියේ කොටසක් හැටියට පවතිනු ඇත.

දවසින් දවස නිදහස් වෙන්නට කැමති අය වැඩි වෙන බවක් පෙන්වන්නේ ඒ ගැන තමන්ගේ මුදල් පරදුවට තබා ඔට්ටු අල්ලන අය වෙතිනි.

Great Scott! යන වහර විස්මය, පුදුමය හෝ සිත් කැළඹීම ප්‍රකාශ කරන්නකි. ජනමත විමසුමේ දී ස්කොට් වැසියන් ගන්නා තීරණය දැක අපට ග්‍රේට් ස්කොට් කියන්නට හැකිවේ ද?!!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on සැප්තැම්බර් 14, 2014 at 11:48 පෙ.ව.

    ..මේකට කව්රුවත් ලේ හලාගන්න පාටකුත් නෑ..ඒකට අපි..??


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: