අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වීඩන් මිථ්‍යාව

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 14, 2014

absolute vodka

අද ස්වීඩනයේ මහා මැතිවරණයයි. 2006 දී අගමැති වූ Fredrik Reinfeldt, ස්වීඩන් ඉතිහාසයේ දීර්ඝතම කාලයක් බලයේ සිටි දක්ෂිණාංශයට බර රටේ නායකයා ගෙදර යන දවසයි. ඔහුගේ ආණ්ඩුව ආදායම් බදු සහ සමාගම් බදු අඩු කළහ. ධනසම්පත් සඳහා වූ බදු අහෝසි කළහ. සුබසාධන ඇබිත්තක් අඩු කළහ. ශ්‍රමික නීති ලිහිල් කළහ. ඇබ්සොලුට් වොඩ්කා වැනි ආණ්ඩුවට පවරා ගත් කොම්පැණි පුද්ගලීකරණය කළහ.

සෙසු යුරෝපය ණය අර්බූදයකින් බැට කද්දී ස්වීඩනයේ වැසියන්ට 12.6% ක GDP වර්ධනයක් ද, 20% ක් දක්වා ඉහළ ගිය දළ ව්‍යයීකාරක ආදායම් වර්ධනයක් ද, ලැබිණ. ස්විඩන් ජනතාව ඔහුව ගෙදර යවන්නට සූදානම් අද රටේ දුප්පතුන් වැඩි වී ඇති නිසා නොවේ. වෙහෙසෙන ටික දෙනෙකු ධනවත් වෙනවාට අකමැති, හැමෝම දුප්පත් වෙනවාට වඩා කැමති සමාජවාදී චින්තනය නිසයි.

ස්වීඩන් මිථ්‍යාව නම් එය අතිශය සාර්ථක ආර්ථිකයකින් යුතු සුබ සාධන රාජ්‍යයක් යැයි ලොව බහුතරයක් විශ්වාස කිරීමයි.

19 වැනි සියවසේ දෙවැනි භාගය වෙන තෙක් ස්වීඩනය දුප්පත් බැවින් සිටි රටකි. සෙසු ලෝකයේ හටගත් කාර්මික විප්ලවයේ වාසි ස්වීඩනයට ඇදී එන්නේ ඔවුන් 1860 ගණන් වල දී නිදහස් වෙළඳපොලට ඉඩදෙන ලෙසට රටේ නීති ප්‍රතිසංස්කරණය පටන් ගත් පසුවයි.

ඒ කාලය තුල දී කුඩා ජනගහණයකින් වූ ස්වීඩනයේ නවෝත්පාදන රැසක් බිහිවිය. ඇල්ෆ්‍රඩ් නොබෙල් ඩයිනමයිට් ද, ස්වෙන් වින්ග්කුවිස්ට් ස්ව-පෙළගැසෙන ගුලා බෙයාරිම ද, ගස්ටාෆ් ඩාලෙන් රෑට පමණක් එළිය වැටෙන ක්‍රමයක් ලැබෙන සන්-වෑල්ව් එකක් ද, බල්සාර් වොන් ප්ලේටන් ගෑස් වලින් දුවන සීතකරණයක් ද, සොයා ගත්තේය.

ඒ හැරෙන්නට වොල්වෝ වැනි වාහන කොම්පැණි, එරික්සන් වැනි විදුලි සංදේශ කොම්පැණි යනාදී නවෝත්පාදනයේ නොයුතු ව්‍යවසායක උත්සාහ රාශියක් බිහිවිය. ව්‍යතිරේක කිහිපයක් හැරෙන්නට ස්වීඩනයේ විසල් කොම්පැණි සියල්ලම පාහේ 19 වැනි සියවස අවසන දී හා 20 වැනි සියවස මුල දී ආරම්භ වූ ඒවාය. ඒ කාලය ශක්තිමත් ආර්ථික වර්ධනයක් සිදු වූ යුගය පමණක් නොව පසු කාලීන ආර්ථික වර්ධනයට පදනමක් වැටුණු යුගය ද විය.

ස්වීඩනය අත්විඳි තවත් වාසියක් වූයේ ලෝක යුද්ධ දෙකෙන්ම, සහ වෙනත් යුද්ධ වලින් ද අයින් වී සිටින්නට ඔවුන්ට හැකියාව ලැබීමයි. රුසියන්-ස්වීඩන් යුද්ධ වලින්, ස්වීඩන් පාලනයේ වූ ෆින්ලන්තය රැසියන් අධිරාජ්‍යය තුල ස්වයංපාලක ආදිපාද දනව්වක් ලෙස වෙන් වූ පසු, 1809 සිට ස්වීඩනය යුද්ධ කරන්නට ගියේ නැත.

ඉතින්, නිදහස් වෙළඳපොල ප්‍රතිපත්ති, රටවැසියන්ගේ උනන්දුව, සාර්ථක ලෙසින් යුද්ධ වලින් අයින් වී සිටීම යනාදිය නිසා 1870 සිට 1950 දක්වා ලෝකයේ ඉහළම ඒක පුද්ගල ආදායම් වර්ධනය වූ රට බවට ස්වීඩනය පත්වෙයි.

එහෙත් මහා ආර්ථික අවපාතය හමුවේ 1932 දී ස්වීඩනයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දේශපාලන බලය ලැබිණ. ඔවුන් ආර්ථිකය පුරා ආණ්ඩුවේ බලය පතුරුවන්නට පටන් ගත්හ.

1932 වෙන තෙක් ආණ්ඩුවේ වැය දළ ජාතික නිෂ්පාදිතයෙන් 10% කට අඩුවෙන් තිබිණ. එහෙත්, ඉතාලියේ ෆැසිස්ට්වාදීන්ගෙන් ලබාගත් වහරක් වූ ‘ජනතාවගේ නිවහනක්’ බවට ස්වීඩනය හරවනු සඳහා Per Albin Hansson ගේ නායකත්වයෙන් සැලසුම් ක්‍රියාත්මක විය. 1950 වෙද්දී GDP න් 20% ක් ආණ්ඩුවේ වැය වූ අතර GDP න් 21% ක් පමණ ආදායම් බදු වලින් උපයා ගැනිණ. එහෙත් ඊ ළඟ වසර 30 දී GDP න් 1% ක් බැගින් සෑම වසරක දී ම ඉහළ ගිය බදු වලින් සුබසාධන රාජ්‍යයක් හැදීම සිද්ධ විය. 1975 වෙද්දී GDP න් 50% ක් ද, 1994 වෙද්දී GDP න් 68% ක් ද ආණ්ඩුව වැය කළහ.

1970 දී Olof Palme සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වාමාංශික පිලේ අගමැති ලෙසට ව්‍යපාර විරෝධී රෙගුලාසි ගෙනැවිත් පඩිපත් බදු ඉහළ දැමීය. වෘත්තීය සමිති ඉහළ වේතන ඉල්ලා සිටියහ. ගෝලීය වෙළඳපොලේ ස්වීඩනයේ ව්‍යාපාර වලට තරඟ කළ නොහැකි තත්වයක් උදාවිණ. Palme කළේ ස්විඩිශ් ක්‍රෝනා අවප්‍රමාණය කිරීමයි. පාරිභෝගික මිල උද්ධමනයක් ඇති වී තව කිහිප වතාවක් විටින් විට ක්‍රෝනාව අවප්‍රමාණ කෙරිණ.

1913 දී 21 ක් ආරම්භ වූවත් 1970 න් පසු ආරම්භ කරන ලද ව්‍යවසායකත්ව දෙකක් පමණි එහි ඉහළ කොම්පැණි 100 අතරේ දකින්නට ලැබෙන්නේ.

ලොව සෙසු සමාජවාදී ප්‍රතිපත්ති ගෙන ගිය රටවල ද ආර්ථිකයන් බංකොළොත් වී යද්දී, බදු දැඩි සේ ඉහළ යද්දී, වැඩි වැඩියෙන් රෙගුලාසි පැනවෙද්දී, 1976 දී වසර 44 ක් පුරා නොනැවතී සිද්ධ වූ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ පාලනයෙන් පසුව දක්ෂිණාංශයට බර වූ පක්ෂ ත්‍රිත්වයකින් යුතු සන්ධානයකට පාලන බලය හිමිවිය.

1980 දී තමන්ගේ මුදල් ආයෝජනයෙන් ව්‍යාපාරයක් කරන්නෙකුට ලාබ ඉපැයීමේ දී මුදල් අහිමි වෙන රෙගුලාසි පැවතිණ. දක්ෂිණාංශයට බර වූ සන්ධානයේ එකිනෙකා අතර අවුල් වියවුල් ගහණ වූයෙන් නිදහස් වෙළඳපොලක් සඳහා ඉහත කී රෙගුලාසි සඳහා රැඩිකල් ප්‍රතිසංස්කරණ ගෙනෙන්නට ඔවුන් අසමත් වූහ.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යළිත් 1982 දී බලය අල්ලා ගත්හ.

නැවතත් කේන්සියන් ප්‍රතිපත්ති දියත් කෙරිණ. ඔවුන් 16% කින් ක්‍රෝනා හි අගය අවප්‍රමාණයට පත් කළහ. බැංකු ණය ප්‍රසාරණය කිරීම නිසා පාරිභෝගික මිල ගණන් උද්ධමනය වී ගියේය. නිවාස බුබ්බුලයක් ද හට ගති.

ඒ අස්සේ අගමැති Palme ව 1986 දී සිනමා ශාලාවේ සිට පයින් ගෙදර යමින් සිටිය දී මහපාරේ දී ඝාතනය විය. එය සිදු කරන ලද්දේ කවුදැයි හඳුනා නොගැනිණ. අනතුරුව බලයට පත් වූ Ingvar Carisson ස්වීඩනය අනෙකුත් රටවල් වලට පසුපසින් වර්ධනය වෙන ආකාරය දැක නිදහස් වෙළඳපොල වෙනුවෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ගෙන ආවේය. ඒවා අතර මුදල් පාලන කිරීම් 1989 දී නැවතිණ. බදු වලින් සුළු සහනයක් ලැබිණ.

සදාම් හුසේන් කුවෙට් ආක්‍රමණය කළ හෙයින් තෙල් මිල ඉහළ යන ලදි. ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ෆින්ලන්තය සමඟ ගෙනගිය වෙළඳ ගණුදෙනු ද පහළ වැටිණ. 1990 අග වෙද්දී ස්වීඩනය නැවතත් ආර්ථික අවපාතයකට ඇද වැටිණ. බැංකු බේරාගන්නට දුන් ආණ්ඩුවේ පොරොන්දුව නිසා බැංකු කඩා වැටීමක් මඟහරවා ගන්නට හැකිවිය. 1993 වෙද්දී ඔවුන්ගේ GDP ය 1990 ට වඩා 5% කින් පහළ ගිහින් තිබුණි. විරැකියාව 10% කින් වැඩි වී තිබිණ. GDP න් 10% කට වඩා අයවැය පරතරයක් ඉහළ යමින් තිබිණ. ලෝක ආදායම් සැසඳීමේ දී ස්වීඩනය 15 වැනි සහ 20 වැනි තැන් වලට ගිහින් තිබිණ.

එහෙත් Ingvar Carlsson සහ 1991 සිට 1994 දක්වා සිටි Carl Bildt යන අගමැති දෙදෙනා අතින් නිදහස් වෙළඳපොල වෙනුවෙන් තව තවත් ප්‍රතිසංස්කරණ සිද්ධ වූ නිසා ස්වීඩන් ආර්ථිකයේ වර්ධනය සෙමෙන් පටන් ගැනිණ. බදු අඩු කෙරිණ. මුදල් පාලනය නැවතිණ. බැංකු ණය රෙගුලාසිකරණයෙන් ආණ්ඩුව අයින් විය. ආණ්ඩු පාලනයේ තිබි සිල්ලර වෙළඳ, විදුලි සංදේශ සහ ගුවන්ගමන් යන ක්ෂේත්‍රයන් හි කොම්පැණි පුද්ගලීකරණය කෙරිණ.

ඉතින්, ස්වීඩනයේ ආර්ථිකය වැටෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති වලට වැඩියෙන් නැඹුරු වෙද්දී. ස්වීඩනයේ ආර්ථිකය නැඟිටින්නේ නිදහස් වෙළඳපොල ප්‍රතිපත්ති වලට යාන්තමෙන් හෝ ඉඩ දෙන්නට පටන් ගනිද්දී.

ස්වීඩනය යනු ඉහළ බදු සහ විසල් සහනාධාර ඇති සාර්ථක රාජ්‍යයක් නොවේ. නිදහස් වෙළඳපොලට ඉඩ දෙනවිට සාර්ථකත්වය කරා ගමන් කරන, එයට බාධා ගෙනෙන විට අසාර්ථකත්වය කරා ගමන් කරන එය අනෙක් ඕනෑම රටක් වැනිය.

ධනවාදය සහ සමාජවාදය අතරමැද ක්‍රමය නොහොත් සාර්ථක ක්‍රමය තමයි ස්වීඩන් මොඩල් එක කියමින් නැති දෙයක් අතිශයින් පැසසුම් කරන අය ස්වීඩනයේ ද වැඩියෙන් ඉන්න නිසා අද මැතිවරණයෙන් යළිත් සමාජවාදයට බර ආණ්ඩුවක් බලයට පත්වෙනු ඇතැයි එහි ජනමත විමසුම් පෙන්වයි.

පුද්ගලික අංශයේ නැති මොනොපොලියකින් ජනතාව බිය කරමින් (ඇබ්සොලුට් වොඩ්කා කදිම උදාහරණයකි) ආණ්ඩුවට මොනොපොලි බාර දෙන්නට වාමාංශිකයන් කැමැත්තෙන් චන්දය දෙන්නේ මන්ද?!!!!

සටහන මේ ලිපි අනුසාරයෙන්:
The surprising ingredients of Swedish success-free markets and social cohesion -Nima Sanandaji
Booming Sweden’s Freemarket Solution -Anders Aslund
How laissez-faire made Sweden rich -Johan Norberg
The Sweden Myth -Stefan Karlsson
The Scandinavian-Welfare Myth Revisited -Markus Bergström
How the Welfare State Corrupted Sweden -Per Bylund

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on සැප්තැම්බර් 14, 2014 at 12:01 ප.ව.

    ධනවාදය සහ සමාජවාදය අතරමැද ක්‍රමය නොහොත් සාර්ථක ක්‍රමය තමයි ස්වීඩන් මොඩල් එක කියමින් නැති දෙයක් අතිශයින් පැසසුම් කරන අය ස්වීඩනයේ ද වැඩියෙන් ඉන්න නිසා අද මැතිවරණයෙන් යළිත් සමාජවාදයට බර ආණ්ඩුවක් බලයට පත්වෙනු ඇතැයි එහි ජනමත විමසුම් පෙන්වයි…// මෙවැනි තත්ත්වයක් අපිට එක එක පුද්ගලයා කියන සාධකයටම ඌනනය කල හැකිද ? ඊට බලපෑ බාහිර හේතු සමාජයීය ආර්තික හා දේශපාලනික කරුනු ..අතහැර දැමීම ..තරමක් අන්බැලන්ස් බවක් නැද්ද

    • arunishapiro said, on සැප්තැම්බර් 14, 2014 at 10:13 ප.ව.

      krishramanayaka71,

      //මෙවැනි තත්ත්වයක් අපිට එක එක පුද්ගලයා කියන සාධකයටම ඌනනය කල හැකිද ?// ප්‍රශ්නය පැහැදිලි නැහැ.

      ඔබ අහන්නෙ ස්විඩිශ් අය සුබසාධන වලට කැමතියි කියන එක එක එක පුද්ගලයා කියන සාධක වලින් පමණක් පෙනෙන දෙයක් කියලා ද? -මැතිවරණය දිනුවේ යළි සුබසාධන ගෙනෙනවා කියූ වාමාංශික පක්ෂයයි.

      නැත්නම් අහන්නේ, එය අසාර්ථක ක්‍රමයක් යැයි එක එක පුද්ගලයා කියන සාධක වලින් පමණක් කියනවා කියලා ද? -සුබසාධන පිළිවෙත් සහ නිදහස් වෙළඳපොලට බාධා ගෙන ඒමේ දී ආර්ථිකය අසාර්ථක වූ බව පෙන්වන්නේ එහි ආර්ථික දත්ත. ඒවා වෙනස් කරද්දී රටේ ආර්ථිකය යහපත් වූ හැටි ද පෙන්වන්නේ ආර්ථික දත්ත. මගේ සටහනට ඇතුලත් කරන්න බැරි දත්ත රාශියක්, බාහිර හේතු සහ සමාජයීය ආර්ථික හා දේශපාලන කරුණු තියෙන නිසාමයි සබැඳි එකතු කළේ.

      එහෙමත් නැත්නම් ස්වීඩනය සුබසාධන රජයක් වෙන්න බලපෑ හේතු සටහනේ දී අත්හැර දැමීමක් ගැන ද? -නොමිලේ බෙදන අධ්‍යාපනයකින් පෝෂණය වෙන රටවැසියන් වාමාංශික අදහස් ප්‍රිය කිරීම හැරෙන්නට වෙන විශේෂ හේතුවක් දකින්නට නැහැ 🙂

      සාමාන්‍යයෙන් සුබසාධන රටවල දකින්නට ලැබෙන හැදියාවන් ස්වීඩනයේ ද දකින්නට ලැබීම: සමාජයීය වශයෙන් අතීතයේ හොඳ රැකියා සදාචාරයක් තිබ්බ අය දැන් ලෙඩ නැතිවත් ලෙඩ නිවාඩු යන හැදියවක. බොරු ලෙඩ නිවාඩු අරගෙන ක්‍රීඩා තරඟ නරඹන හැදියාවක. දේශපාලනික වශයෙන් සුබසාධන රජය සුබසාධන වැඩියෙන් බෙදන්න වීම සඟවන්නට ඔවුන් කළින් විශ්‍රම ගියා කියල දත්ත ඉදිරිපත් කරද්දී ලේබල් වෙනස් කිරීම. බෙදන ආණ්ඩුවක් අගයන අය රටට සංක්‍රමණිකයන් ආවොත් බෙදන දේවල් මදි වේ යැයි සිතා සංක්‍රමණිකයන් එනවාට අකමැති වීමත් එය චන්දයේ සාධකයක් කරගත් පක්ෂයට වෙනදාට වඩා වැඩියෙන් චන්ද ලැබීම. අසූදාහක් සරණාගතයන් මේ වසරේ ස්වීඩනයට එන්නට නියමිතයි. ස්වීඩනයේ සංක්‍රමණික අය අතර රැකියා හිඟය වැඩියි.

  2. krishramanayaka71 said, on සැප්තැම්බර් 14, 2014 at 12:02 ප.ව.

    ඒ මොනව උනත් ඇබ්සොලුට් වොඩ්කා නම් මාර සැරයි ..ඔලුව උඩ ගලක් තියෙනව වගේ උදේට..ඒත් ඉතින් අරින්නෙත් නෑ..

  3. Bhathiya Priyankara said, on සැප්තැම්බර් 15, 2014 at 12:47 පෙ.ව.

    නිදහස් වෙළඳපොලට ඉඩ දෙනවිට සාර්ථකත්වය කරා ගමන් කරන, එයට බාධා ගෙනෙන විට අසාර්ථකත්වය කරා ගමන් කරන එය අනෙක් ඕනෑම රටක් වැනිය.

    මෙතන සාර්ථකත්වය කියන එකෙන් අදහ්ස් කරන්නෙ කුමක්ද කියන එක පැහැදිලි මදි.. කුසගින්නෙන් පෙලෙන මිනිස්සු මරණය වැලඳගද්දි තිරිඟු පිටි මුහුදට හලන්නේ, අඩු මුදලට සත්ව ආහාරවලට දෙන්නෙත් ඔය සාර්තකත්වය රඳව ගන්න නේද?

    • arunishapiro said, on සැප්තැම්බර් 15, 2014 at 8:09 පෙ.ව.

      Bhathiya Priyankara,

      සාර්ථකත්වය කුමක්දැයි කියන එක බොහොම දෙනෙක් දන්නවා මදි. එය පැහැදිලි කරන්න සහ එය සාක්ෂාත් කරගන්නට අතදීමක් හැටියට තමයි මගේ මේ සම්පූර්ණ අඩවිය පටන් ගත් දා සිට වෙහෙසෙන්නේ.

      මෙම සටහනේ දී සැලකිල්ලට ගන්නේ රටක සාර්ථකත්වය. රටක් කියන්නෙ සතුටු වෙන්න අසතුටු වෙන්න හැකියාව ඇති පද්ධතියක් නොවන නිසා, රටක සාර්ථකත්වය කියද්දී සැලකෙන්නේ එරටේ මුළු මහත් ජනතාවටම සතුටු වෙන්න ඇති නිදහස ගැන.

      ඉතින් සාමානාත්මතාවයක් අගයන අය විශේෂයෙන්ම, යමක් ගැන හැමෝටම සතුටු විය හැකි තත්වයකට එන්න කැමති වෙන්න ඕනෑ නේද?!!!!!!

      අයෙකුගේ ශ්‍රමයට තවකෙකුට අයිතියක් කියන්නට හැකිනම් එහි දී දෙදෙනාටම සතුටු විය හැකිද?

      තවකෙකුගේ ශ්‍රමයට අයිතියක් කිය හැකියාව අහෝසියට නොවේ ද සමාජවාදීන් නොහොත් නිදහස් වෙළඳපොලට බාධා ගෙනෙන්නට කැමති අය උත්සාහ කරනවා කියන්නේ?

      ප්‍රජාතන්ත්‍රවාදයේ ලොකුම දුර්වලතාවය තමයි වෙහෙස අඩුවෙන් යොදන වැඩි පිරිසකට වෙහෙස වැඩියෙන් යොදන අඩු පිරිසක් වෙතින් යැපෙන්නට හැකි නීති සම්මත කරගැනීමේ හැකියාව. ඒ දුර්වලතාවයට ඉඩ නොදෙන්න තමයි අනුන්ගේ ජීවිතයට, අනුන්ගේ දේපලට අයිතියක් කියන හැකියාව වෙනත් අයෙකුට නැතැයි කියා ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම ලොවට හඳුන්වා දුන් අය තරයේ කියා සිටිමින් ඒ සඳහා නීතියක් සම්මත කළේ. ප්‍රංශයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි සොයන්නට එවක දී ප්‍රජාතන්ත්‍රවාදය ලොවට මුලින්ම හඳුන්වා දුන් රටට ආපු ඇලෙක්සිස් ඩ ටොක්විල් ද එම දුර්වලතාවය හඳුනාගෙන මෙහෙම කිව්ව: “මහජනතාවගේ මුදල් වලින්ම මහජනතාවට අල්ලස් දෙන්න හැකි යැයි කොංග්‍රසය සොයාගන්නා දවස තෙක් ඇමෙරිකන් ජනරජය පවතීවි.”

      ඒ වගේම ටොක්විල් තවත් අනගි සාධකයක් එදා සටහන් කළා. “ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය අතර පොදු වූවකට ඇත්තේ එක වචනයක් පමණි, සමානාත්මතාවය. ඒත් හඳුනාගන්න වෙනස: ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අරබයා සාමානාත්මතාවය ඉල්ලද්දී, සමාජවාදය සමානාත්මතාවය ඉල්ලන්නේ සංයමය සහ පරවශතාවය (servitude -වහල් සේවය) වෙනුවෙනි.”

      තමන් වෙහෙස තරමට තමන්ට ඵල නෙලා ගන්නට හැකියාව ලැබෙන්නේ නිදහස් වෙළඳපොලක දී. එසේ යැයි ස්වීඩනයේ නිදහස් වෙළඳපොලට ඉඩදුන් සෑම අවස්ථාවක දී ම ප්‍රතිඵල පෙන්වන ලද්දක්.

      සුබසාධන වැඩියෙන් බෙදමින්, සමාජ සාධාරණත්වයක් සාධනය සඳහා කියමින් නිදහස් වෙළඳපොලට බාධක පනවද්දී, එතෙක් ඔවුන්ගේ ඉතිහාසයේම අවංක ශ්‍රම සදාචාරයක් (work ethic) තිබූ ස්වීඩන් වැසියන් වෙතින් පවා සංයමය සහ පරවශතාවය අපේක්ෂා කරන්නට බැරි බව එහි සෑම අවස්ථාවක දී ම ප්‍රතිඵල පෙන්වන ලද්දක්.

      ඊ ළඟට, //කුසගින්නෙන් පෙලෙන මිනිස්සු මරණය වැලඳගද්දි තිරිඟු පිටි මුහුදට හලන්නේ// කුසගින්නේ හිටියේ කවුද? තිරිඟු පිටි මුහුදට හැලුවේ කවුද? මා සටහනේ ලියා ඇති කිසිවක් මට එහෙමයි මෙහෙමයි කියා සිතිච්ච නිසා ලියූ දේවල් නොවේ. උවමනාවක් ඇති ඕනෑම අයෙකුට ස්වීඩන් රාජ්‍යයේ දත්ත වලින් ඒ කරුණුවල සත්‍යය අසත්‍යතාවය සොයාගත හැකියි. මේ චෝදනා වලටත් එසේ සාධක පෙන්වන්න.

      ලෝකයේ යම් රටක යම් මිනිස් කොට්ඨාශයක් කුසගින්නෙන් පෙළෙන්නේ නම්, ඒ ඇයි යන්න මට නම් ප්‍රශ්නයක් නොවේ. ඔවුන්ගේ සමාජවාදී වූ ද, ජාතිකවාදී වූ ද, බලතණ්හාධික පාලකයන් තමන්ට නැති එහෙත් ජනතාවගේ උරට සංයමය සහ පරවශතාවය පටවා, තම පසුම්බි පුරවා ගනිමින් රැවටෙන හැමෝවම රවටන නිසයි.

      අඩු මුදලට සත්ව ආහාර වලට තිරිඟු දෙන්නේ ඔය සාර්ථකත්වය රඳවා ගන්න නේද? ඔව්, උපරිමයෙන්ම එයයි අපේක්ෂාව. මා වාසය කරන පළාතේ සත්ව ආහාර වලට තිරිඟු වගා කරන අය බොහොමයකි. ඔවුන්ගේ උත්සාහය ඒ වගාවන් විකුණා තම ජීවිකාව ඉපැයීමයි. තම විශ්‍රාම කාලය තුටින් ගෙවීමයි. තම දූ දරුවන්ට අධ්‍යාපනය සැලසීමයි.

      මා වාසය කරන පැත්තේ මිනිස් ආහාර සඳහා වගා කරන තිරිඟු ගොවීන් ඇත්තේ ස්වල්පයකි. මේ පැත්තේ ඊට ඇති ඉල්ලුම අඩු බැවිනි. වෙන පැත්තකට ඒ තිරිඟු පටවා යවන වැය පියවාගෙන ලාබයක් ලබන්නට නොහැකි නිසයි.

      ලංකාවේ අය කන්නේ මෙහෙ සත්ව ආහාර වෙනුවෙන් වගාකරන තිරිඟු! ලංකාවේ අය මෙහෙ ආවාම මෙහෙ මිනිසුන් සඳහා වගා කරන තිරිඟු පැණි රස වැඩියි කියා කෑම අදිමදි කරති.

      ඒත් ඛේදනීය තත්වය මා වාසය කරන පැත්තේ ගොවියන්ගේ පාලකයන් වී ඇති බලතණ්හාධිකයන් මේ ගොවියන්ගේ වෙහෙසෙන් කොටසක් බදු සේ අය කර තමන් කැමති රට රටවල ඒ ඒ බලතණ්හාධිකයන්ගේ පරවශතාවයට යටත් වී සිටින අයට දන් දෙන පිංවතුන් වීමයි!!!!!!!

  4. Thilina Peeris said, on සැප්තැම්බර් 15, 2014 at 11:22 පෙ.ව.

    අරුණි,

    ඔබ ඇමරිකාවේ ඇති නිදහස් ආර්ථික ක්‍රමය ගැන බොහෝවිට සෑහීමට පත් වූබව ඔබේ ලිවීමේදී මා දැක ඇත.
    ඔබ කියන නිදහස පවතී නම් දැන් ඔබ රට තුල පවතින ප්‍රශ්නයක් මතුකරමි. ඇමරිකාවේ නීතියට අනුව vaccine නිපදවන සමාගම් වලට විරුද්දව නීතිය ක්‍රියාත්මක කල නොහැක. කිසියම් vaccine මගින් පුද්යලයකුට හානි වූ විට එකසත්යනපද රජය විසින් වන්දිගෙවීම සිදුරරනු ලබයි.

    මෙම ලින්ක් ඇත්තේ විද්යත්මයකු වූ ඉහලම සාමාජිකයකු තමා කරන ලද ප්‍රසිද්ද වංචාව පිළිගත් අයුරුඉ http://www.morganverkamp.com/august-27-2014-press-release-statement-of-william-w-thompson-ph-d-regarding-the-2004-article-examining-the-possibility-of-a-relationship-between-mmr-vaccine-and-autism/

    මෙහි ඇත්තේ ඔහු පාපොච්චාරණය කරන ලද අයුරු https://www.youtube.com/watch?v=y-Xpl4uYRBc

    දැන් ඔබම සොයාබලන්න කොපමණ ප්‍රසිද්ද මාද්‍ය මෙය වාර්තා කරනවාද කියා.

    මෙය නොවන්නේ අයි ? පිලිතුරනම් ඔබකියන දනය සහ බලය යොදා බෙහෙඅත් සමාගම් ඇමරිකානු ජනතාව රවටන අයුරු නේද ?

    තිලින

    • arunishapiro said, on සැප්තැම්බර් 15, 2014 at 3:09 ප.ව.

      Thilina Peeris,

      නිදහස් ආර්ථික ක්‍රමය අගයන මම, ඒ වෙනුවෙන් පෙනී සිටින මම, වර්තමාන ඇමෙරිකාවේ ඇති නිදහස් ආර්ථික ක්‍රමයක් ගැන බොහෝ විට සෑහීමට පත් වූ බවක් පෙන්වා ඇත්නම් එක්කෝ ඔබට වැරදිලා නැත්නම් මම මීට වඩා පැහැදිලිව ලිවිය යුතුයි. මම හිතාගෙන ඉන්නෙ පාඨකයන්ට එපාවෙන තරමට මම නිදහස් ආර්ථික ක්‍රමයට වර්තමාන ඇමෙරිකාව ගෙනෙන බාධක ගැන ලියමින් සිටිනවා කියලයි. වහාම නිවැරදි කරගත යුතුයි මගේ අඩුපාඩුව!!!

      නිදහස සහ නිදහස් ආර්ථික ක්‍රමය දෙකක්. නිදහස කියන්නෙ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ඕනෑම ජනමාධ්‍යයකට යමක් වාර්තා කරන්න යැයි කීමට ඇති නිදහසක් නොවේ. ඔවුන් කැමැත්තක් වාර්තා කරන්නට ඔවුන්ට ඇති නිදහසයි.

      ඊ ළඟට නිදහස් ආර්ථික ක්‍රමය යනු Caveat emptor නොහොත් Let the buyer beware නොහොත් පාරිභෝගිකයා අවධානයෙන් සිටිය යුතු ක්‍රමයකි. මැදිහත්වීම් අගයන අය තමයි එවැනි මැදිහත්වීම් සඳහා වැඩි වැඩියෙන් බදු ගෙවමින් වැඩි වැඩියෙන් බලය පවරමින් එවැනි මැදිහත්වීම් කරන එක රාජ්‍ය ආයතනයක් මේවායේ වසවිෂ ඇතැයි කියද්දී, එවැනි මැදිහත්වීම් කරන තවත් රාජ්‍ය ආයතනයකින් ඒවා වෙළඳපොලේ විකුණන අවසරය දෙද්දී, මිල දී ගන්නේ කුමක්දැයි තෝරාගත නොහැකිව තව තවත් වැඩි වැඩියෙන් බදු සහ වැඩි වැඩියෙන් බලය ඒ මැදිහත්වීම් කරන අයට පවරන්නේ!!!!

      කිසිම වෛද්‍ය උත්සාහයක් සම්පුර්ණයෙන් අවදානම් රහිත වූවක් නොවේ. එන්නත් කියන්නෙ බොහෝදුරට රෝගාබාධ වලින් වළක්වා ගන්නට හැකි වූ, ඒත් අතුරු අහිතකර ඵල ඇතිවිය හැකි දෙයක්. US Biologics Act කියන එක සම්මත වෙන්නේ 1902 දී. ඒ පනතක් පාස් කළාම එන්නත් හදන අය හදන අයගේ අවකල් ක්‍රියාවන් සහමුලින් නවතා ගන්න හැකියාව ඇතැයි පරිකල්පනයෙන්. 20 වැනි සියවසේ තම නිෂ්පාදනයට තමන් වගකිව යුතු නීති පටන් ගත් නිසා, එන්නත් වලින් හානි සිද්ධ වෙච්ච අයට වන්දි ලබාගත හැකි ක්‍රමයක් ද ලැබුණ. හරියට හදපු නැති එන්නත් නිසා හදන අයගෙන් ද, හරියට එන්නත දුන්නේ නැතැයි කියා වෛද්‍යවරයා ගෙන් ද වන්දි ලබන්නට හැකියාව ලැබුණ.

      මහජන සෞඛ්‍ය ආරක්ෂා කරනවාය කියන ආණ්ඩුව මහජනතාවගේ බදු බර වැඩි කරමින් එන්නත් කොම්පැණි මේ මේ ආකාරයට මහජන සෞඛ්‍ය ආරක්ෂා කරන්නට අවශ්‍ය යැයි කියන රෙගුලාසිකරණයේ යෙදුන. FDA කියන ආයතනය තමයි එහි බාරකරත්වයේ ඉන්නෙ. ඒත් එන්නතකින් හානියක් වුවහොත් ඒ එන්නත අර රෙගුලාසි අනුගමනයෙන් හදලා වෙළඳපොලේ විකුණන්න අවසර දුන්න FDA ආයතනයට විරුද්ධව නෙමෙයි නඩු දාන්නෙ. නඩුව දාන්න හැකි එන්නත හැදු කොම්පැණියට විරුද්ධව පමණයි. ඒ කියන්නෙ නීති දාන්න බලයක් අතට ගත්තට ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව ඒ දාන නීති වලින් ජනතාව ආරක්ෂා කරනවා යැයි දෙන සහතිකයට වගකියන්නෙ නැහැ.

      1955 දී Salk පෝලියෝ එන්නත නිසා 200 කට විතර අංශබාගය හැදිලා එයින් 10 දෙනෙක් පෝලියෝ හැදිලා මැරුණ. හදපු අය ආණ්ඩුවේ නීති වලට අනුකූලව කටයුතු කළත්, වයිරස් එක නිශ්ක්‍රීය කිරීම ඒ කොටසක සිද්ධ කරලා නැහැ. එන්නත design කිරීමේ දී සහ manufacture කිරීමේ දී ආණ්ඩුවේ රෙගුලාසි පිළිපැදීම අකුරටම සිද්ධ වෙලා තිබුණ. මිනිස්සු නඩු ගියේ හදපු එන්නත් කොම්පැණි වලට එරෙහිව Gottsdanker vs Cutter Laboratories.

      මේ සිද්ධියට කළින් 1952 දී ඇමෙරිකාවේ දරුණුම පෝලියෝ වසංගතයක් පැතිරුණා. 58,000 කට රෝගය වැළඳිලා, 21,269 ක් මිය ගියා. ඉතින් 1955 වෙද්දී පෝලියෝ එන්නත එහි ඉතාම තරුණ වයසේ වූ වෛද්‍ය සොයාගැනීමක්. හදන කොම්පැණි වගේම රෙගුලාසිකරණයේ යෙදුන ආණ්ඩුව ද එතරම් අත්දැකීම් වලින් යුතු වූවන් යැයි කියන්නට බැහැ.

      එතැන් පටන් එන්නත් නිෂ්පාදකයන්ට වැටෙන නඩු වැඩි වෙන්න පටන් ගත්ත. 1970 ගණන් සහ 1980 ගණන් වෙද්දී එන්නත් වලින් හානි සිද්ධ වූවා කියමින් වන්දි ඉල්ලන අය සෑහෙන්න වැඩිවුණා. ගොඩක් බෙහෙත් හදන කොම්පැණි එන්නත් හදන කොටස් වහලා දැම්මා. 1984 වෙද්දී ඩිප්තීරියා (DPT) එන්නත හදපු එක කොම්පැණියක් පමණයි ඇමෙරිකාවේ ඉතුරු වුනේ.

      ඩිප්තීරියා එන්නත නිසා හානියක් සිදු වූ හැනා බෘස්විට්ස්ගේ නඩුවට 1986 දී පිළියමක් හැටියට කොංග්‍රසය කරන්නේ තවත් නීතියක් (NCVIA) සම්මත කරගැනීම. එන්නතෙන් ඇතිවන අවදානම සහ වාසි ගැන විස්තර කියා යුතුය කියන ගමන්, ආණ්ඩුවේ රෙගුලාසි අනුගමනය කරලා එන්නත් හදන කොම්පැණියේ වගකීම සීමිත කිරීම. මේක පිහිටුවන්නේ තවත් රාජ්‍ය ආයතනයක් (DHHS). ඊ ළඟට හානි වෙච්ච අයට වන්දි ලබාදෙන වැඩසටහන NVICP හැදුව. හැම එන්නතකින්ම අය කරන සත හැත්තැපහකින් එන්නත් හදන අයගෙන් අරගෙන මේ වන්දි බෙදුව.

      දැන් ආණ්ඩුව තමයි නියම කරන්නේ මේ මේ එන්නත් දරුවන් විසින් ගත යුතුයි කියල. ආණ්ඩුව තමයි නියම කරන්නේ මේ මේ එන්නත් මේ මේ විදියට හැදිය යුතුයි කියල. ආණ්ඩුව තමයි නියම කරන්නේ මේ මේ අයට මේ මේ වන්දි ගෙවන්න ඕන කියල. NVICP වලින් ගෙවන වන්දි හැම එන්නතක්ම වැරදුනාට ලැබෙන්නෙත් නැහැ. වන්දි ගෙවන එන්නත් උවදුරක් සඳහා වුවත් ආණ්ඩුවේ උසාවියේ නඩුවක් ගොණු නොකර කෙළින්ම එන්නත් හදන අයව නඩු මාර්ගයට ගෙනියන්නත් බැහැ. මාර නිදහස් වෙළඳපොලක් නේද?!!!!!!

      2011 වෙද්දී වන්දි ඉල්ලන නඩුවක් ජයගත් අයෙකුට සාමාන්‍යයෙන් $782,136 ක් ලැබුණ. නීතීඥ ගාස්තු නඩු වියදම් මුළු එකතුව එක නඩුවකට මිලියන $113 ක් විතර, නඩු පැරදෙන අයගෙත් ඒවා ගෙවනවා. 2011 දී තමයි තමන්ගෙ දරුවන්ට එන්නත් නිසා ඕටිසම් හැදුන කියල දෙමව්පියන් බුරුතු පිටින් නඩු දාන්න පටන් ගන්නෙ. ඉතින් ඒකට වෙනම කමිටුවක් පිහිටවනවා. ගොඩක් මහජන බදු මුදල් වැය කෙරනවා. ඒත් හේතුවක් හරියට ඔප්පු කරන්න බැරිවෙනවා.

      ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි දැන් එන්නත් නිපදවන සමාගම් වලට විරුද්ධව නීති දාන්න බැහැයි කියන 2011 දී සම්මත වෙන්නෙ.

      ඇමෙරිකාවේ දරුවන්ට සහ වැඩිහිටියන්ට හැදෙන වළක්වාගත හැකි රෝගාබාධ සඳහා එන්නත් හදන කොම්පැණි දැන් ඉතිරි වී ඇත්තේ හයක් පමණයි. වැඩියෙන් භාවිතා නොවන එන්නත් හදන අය ඉන්නේ සොච්චමක්.

      බෙහෙත් හදන සමාගම් නෙමෙයි ජනතාව රවටන්නේ, රෙගුලාසිකරණය නිසා අයෙක් හිතනවා නම් කිසිත් අවදානමක් නැතිව එන්නත් භාවිතය හැකියි සහ ලාබදායකයි සහ අවශ්‍ය ප්‍රමාණයට හැමදාම වෙළඳපොලේ තිබේවි කියා එයයි තමන් විසින්ම මුලාවූවෙක් වෙන්නේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: