අරුණි ශපීරෝ‍ වෙතින්

ස්විට්ස්සර්ලන්තය පාවා දීම

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 18, 2014

swiss gold

රටක් පාවා දුන්නා යැයි කියද්දී එයින් අදහස් වෙන්නේ ගස් ගල් ඇල දොළ සහිත භූමියක් පාවා දීමක් නොව සිතුම් පැතුම් කරපින්නා ගත් රටේ වැසියන් පාවා දීමකි. මේ සටහන ස්විට්ස්සර්ලන්ත වැසියන් පාවා දීම ගැනයි.

ස්විස් පාර්ලිමේන්තුව යම් පනතකින් ගෙනෙන නීති රෙගුලාසියකට එහි පුරවැසියන් එකඟ නොවන්නේ නම් අත්සන් ලක්ෂයක් එකතු කරගෙන ජනමත විචාරයක් අරඹා ඊට විරෝධය ප්‍රකාශ කළ හැකි විකල්පයක් ඔවුනට ඇත. මෙය සාමාන්‍ය පිළිවෙත සේ අදහස් නොවූව ද එරට ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණ වලට වඩා ජනමත විචාරණ පැවැත්වී ඇත. 2014 වසරේ දී දැනටමත් ඒවා හතක් සිද්ධ වූ අතර සැප්තැම්බර් අග දී තවත් තුනක් පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 30 දා ජනමත විමසුමේ දී ස්විස් පුරවැසියා විසින් තීරණය කළ යුතු කරුණු 3 කි: ස්විස් ජාතික බැංකුව (SNB) විසින් කරගෙන යන රන් විකිණීම නවතා දැමීම, එම බැංකුවේ මුළු වත්කම් වලින් 20% ක් රන් වලින් තබා ගැනීම, ස්විස් අයිතියෙන් යුතු රන් ස්විට්ස්සර්ලන්තයට ප්‍රතිදේශ්‍රීය (repatriate) කිරීම.

ස්විට්ස්සර්ලන්තය වර්තමානයේ දී පාලනය වෙන්නේ තමන්ගේ සමාජ තත්වය, පුද්ගලික වත්කම් හා ජාත්‍යන්තර ජනප්‍රියත්වය ගැන වැඩියෙන් සලකන, තම රටේ යහපත සැලකීම පැත්තකට දැමූ එලීටිස්ට්ලා සුලුතරයක් විසින් බව නොදන්නා අය ලොව බහුල වෙති.

ඒක පුදුමයක් නෙමෙයි, අද ලෝකයේ වැඩියෙන් ඇත්තේ ධනවාදී ආර්ථික ක්‍රමයෙන් යුතු රටවල් යැයි සිතන අයත් ලොව වැඩියෙන් ඉන්ඳැද්දී!!!!

ඒකත් පුදුමයක් නෙමෙයි, බටහිර ආක්‍රමණයට එරෙහි වෙනවා කියමින් බටහිර පුස්සක් වූ මාක්ස්වාදය තවමත් කරපින්නා ගත් අය බටහිර නොවන රටවලත් වැඩියෙන් ඉන්ඳැද්දී!!!!

මෙම සටහන වටහා ගන්නට නම් ස්විස් ජාතිකයන්ගේ මුතුන් මිත්තන් දැවැන්ත රත්තරන් සංචිතයක් ගොඩ නඟන්නට ගත් වෙහෙස ගැන දැන සිටිය යුතුය. ස්විස් ෆ්‍රෑන්ක් එකට ලොව ගෞරවයක් හිමිවූයේ මන්දැයි දැන සිටිය යුතුය. ඒවා නොදැන ශතක ගණනාවක් පුරා එරට වැසියන් වැය කළ වෙහෙස එහි වර්තමාන මධ්‍යම බැංකුව විසින් කාබාසීනියා කර දමන හැටි වටහා ගන්නට අසීරුයි.

සිංහලෙන් කියවන්නට ලැබී නැති මතවාදයන් පැහැදිලි කරන්නට නිතිපතා උත්සාහයක් ගන්නා මම මේ අසීරු අභියෝගය ඉදිරියේ දී ද පසුබට නොවෙමි. ලියන්නට ඇති තොරතුරු සම්භාරය අතිවිශාලයි. මෙය බ්ලොග් සටහනක් නිසා ලෝකය වටහා ගන්නට උවමනා අය විසින් මේ කියන කරුණු ඔස්සේ තව හාරා අවුස්සා සත්‍ය අසත්‍ය සොයා යෑම තමන්ගේ වගකීම හැටියට බාරගත යුතු බවත් මතක් කරමි.

ස්විට්ස්සර්ලන්තය කිසිත් පැත්තක් නොගත් සත්‍යයෙන්ම නොබැඳි ජාතියක් වූ රටකි. ඔවුන්ගේ ශක්තිය වූයේ හැම වැසියෙක්ටම අවි අයිතියත් ඒවා භාවිතය මැනවින් දැන සිටීමත් සහ හැම නිවාසයකම බෝම්බයක් වැටුනොත් හැංගෙන්නට බිංගෙයක් තිබීමත් නොවේ. වැඩිම කාලයක් ලොව 100% ක් රත්තරන් වලින් අනුබලයක් ලැබි මුදල ස්විස් ෆ්‍රෑන්ක් එකයි. ඒ නිසා එය රත්තරන් තරම්ම අනගි යැයි සැලකිණ.

මෙම රන් පිළිබඳ ස්විස් ජනමත විමසුම එහි මුල්‍ය ප්‍රතිපත්තිය ගැන පමණක් නොව ඔවුන්ගේ බැංකු ප්‍රතිපත්ති ගැන ද පුරවැසියන්ගේ අප්‍රසාදය වැඩිවීම හේතුවෙන් හට ගැනුනකි. එය කුඩා රටක් වුවත් මුළු ඉතිහාසය පුරා බලවත් රාජ්‍යයන්ගේ කෲරත්වය ඉදිරියේ නැඟී සිටින්නට එහි වැසියන් සමත් වූහ. එහෙත් ඔවුන්ගේ රටේ වැසියන්ව පාවා දෙන්නේ ඔවුන්ගේම රටේ බලලෝභීන් විසිනි.

1990 මුල් ගණන් හි දී, ස්විස් ආර්ථිකය එතරම් යහපත් වූයේ නැත. විරැකියාව නොවිරූ ලෙසකින් ඉහළ ගිහින් තිබුණි. ස්විට්ස්සර්ලන්ත ආණ්ඩුව විසල් ප්‍රොපගැන්ඩා ව්‍යාපාරයක් ගෙන යමින් රට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) හි සාමාජිකයෙක් විය යුතු යැයි ද, ඒ ආණ්ඩුවේ යෝජනාවට සහාය දෙන්න යැයි ද, ජනතාවට පෙරැත්ත කළහ. එය ජනතාවගේම බදු මුදල් වලින් ක්‍රියාත්මක කළ වැඩ සටහනකි. එය ඔවුන්ගේම නීති අනුව නීතිවිරෝධී වූ ක්‍රියා පිළිවෙතක් විය.

ස්විට්ස්සර්ලන්තය IMF සාමාජිකයෙක් විය යුතු යැයි ආණ්ඩුවේ එලීටිස්ට්ලා රටේ ජනතාවට ගිල්ල වූයේ එය විදේශ ආධාර ගන්නවාට වඩා සුදුසු ක්‍රමයක් යැයි කියමිනි.

ආණ්ඩුවේ බලපෑම් ඉතා දැඩි වූවත් සමස්ත ස්විස් ජනතාවම ඊට රැවටුනා යැයි කිව නොහැකියි. ජනමත විමසුමේ දී එයට පක්ෂව චන්දය දුන්නේ පුරවැසියන් 55.8% ක් පමණකි. ප්‍රජාතන්ත්‍රවාදයේ දෝෂය බහුතරයකගේ මුග්ධත්වය හමුවේ හානිකර ඵලවිපාක බුද්ධිමත් සුලුතරයට අත්විඳින්නට සිද්ධ වීමයි.

ස්විට්ස්සර්ලන්තය 1992 දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකයෙක් විය.

අනතුරුව 1996 දී ස්විස් ආණ්ඩුව SNB සමඟ එකතුවෙන් තම රත්තරන් ප්‍රතිපත්තිය රැඩිකල් වෙනසකට භාජනය කළේය. 40% ක් සංචිත වලින් අනුබලයක් තම ස්විස් ෆ්‍රෑන්ක් වලට තව දුරටත් අවශ්‍ය නැතැයි පැවසීය. එය අනුන්ගේ යහපත කෙසේ සිද්ධ විය යුතුදැයි තමන් දන්නා බව කියාගත් දැනුමැත්තන් පිරිසක් විසින් ගෙනා මතයකි.

1995 වෙද්දී පරිහරණය වෙමින් තිබූ ස්විස් මුදල් නෝට්ටු වලින් 43.2% ක් පමණකට අනුබලයක් දෙන තරමේ රත්තරන් සංචිත SNB හි ඇතැයි වාර්ෂික වාර්තාව හෙළි කළේය. එය 1990 සිට 46% ක් පහළ යෑමකි. පරිහරණයේ ඇති නෝට්ටු ප්‍රමාණය සෑම වසරක් පාසා වැඩි වෙමින් තිබූ නිසා වෙනසක් ගෙනෙන්නට අවශ්‍ය විණ. මෙය දැනගත් කළ ස්විස් ජනතාව කළබල වේ යැයි ජනතාවගේ යහපත කෙසේ සිද්ධ විය යුතුදැයි තමන් දන්නවා කියාගත් එලීටිස්ට්ලා දැන සිටියහ.

ස්විස් රත්තරන් සංචිත වැඩි කරනු නොහැකි විය. මන්ද රත්තරන් කිලෝවට ස්විස් ෆ්‍රෑන්ක් ගෙවන ස්විස් ආණ්ඩුවේ මිලට (SFr 4,595) වඩා වෙළඳපොල රන් මිල (SFr 15,000) වැඩියෙන් පැවති නිසයි. තවත් වසර පහක ගෙවුන ද වෙළඳපොල රන් මිල එයම විය. ඉතින් නිවැරදි පිළියම වූයේ නිල වශයෙන් ස්විස් රත්තරන් මිල වෙළඳපොල මිල හා සමානව හෝ නැත්නම් ඒ අසලකට හෝ ගෙන ඒමයි.

එහෙත් 1992 දී IMF සාමාජිකත්වය ලබා සිටි නිසා එහි කොන්දේසියක් හැටියට ස්විස් මුදල් රත්තරන් හා සම්බන්ධ කරන තහනමකට ඔවුන් එවකට භාජනය වී සිටියහ.

2000 ගණන් හි දී එරට රත්තරන් සංචිතයෙන් 60% ක් පමණ SNB බැංකුව විසින් විකුණන ලදි.

SNB බැංකුව ලොව ශක්තිමත් බැංකුවක් යැයි නම් දරා තිබුණකි. ඒ එය මදි පාඩු සිද්ධ නොකර ගත් නිසා නොව එයට ටොන් 2,590 ක රත්තරන් සහතිකයක් තිබුණ හෙයිනි. ලොව හතරවැනි විශාලතම රත්තරන් සංචිතය ද, එනම් ලොව නිල වශයෙන් ඇති රත්තරන් වලින් 8% ක් ද, එනම් ඔවුනට වඩා දහ ගුණයකින් විශාල රටක් වූ ජර්මනිය හා සමාන ප්‍රමාණයකින් රත්තරන් සංචිතයක් තිබූ රට විය.

IMF සාමාජිකත්වය ගැනීම විදේශ ආධාර වලට වඩා හොඳයි කියා 1992 දී රැවටුවා සේ ස්විස් බලලෝභීන් 2013 දී ද තවත් ප්‍රෝඩාවක් රඟ දැක්වීය. පාර්ලිමේන්තුව ඉදිරිපිට ට්‍රක් රථයක පුරවාගෙන ආ මිලියන අටක කාසි ඇද හැලූවේ සෑම පුරවැසියෙකුටම එක කාසියක් ගානේ යැයි කියමිනි. ඒ ප්‍රෝඩාව සමඟ 125,000 ක අත්සන් එකතු කරගත් පත්‍රිකා ද බෙදා හැරියේ තවත් ජනමත විමසුමක් අරඹන්නටයි. ඒ සෑම පුරවැසියෙකුටම වසරකට ආණ්ඩුවෙන් ස්විස් ෆ්‍රෑන්ක් තිස්දාහක් බෙදන ක්‍රමයක් ගෙනෙන්නටයි.

ස්විස් කාසියේ වටිනාකම එහි අතීතයේ මෙන් රත්තන් හා සමාන වූවා නම් ඔවුන්ට මේ ප්‍රෝඩාවන් කළ නොහැකියි. කාසි බෙදන, තෙල් මිල අඩු කරන පාලකයන් රවටන්නේ තම වැසියන්වයි.

“ඕනෑම සුබසාධනයක් සැලසීමේ දී කවුරු හෝ ඒ වැය ගෙවිය යුතුය. එයින් ඇතිවන අතුරු ප්‍රතිඵල කවුරුන්ට හෝ අත්විඳින්නට සිද්ධ වේ. මැදිහත්වීම් කරන ආණ්ඩුවක් විසින් මිල පහළ දැමීම, වෙළඳපොලේ වෙනත් කිසිවකට සම්බන්ධයක් නැතිව හුදකලාව සිද්ධ වෙන ධනාත්මක සිද්ධියක් නොවෙයි. මිල පහළ දැමූ භාණ්ඩයේ වැය වෙනත් ආකාරයකින් ගෙවන්නට සිද්ධ වේ. අඩු ප්‍රමිතියේ ආහාර, නිවාස හිඟය, ජීවන මට්ටම පහත බැසීම, ප්‍රාග්ධන එකතුව අඩු වී යාම හෝ/නැත්නම් ප්‍රාග්ධනය පරිභෝජනයට ගැනීම සිද්ධ වෙන අතුරු ඵල අතරින් කිහිපයකි.” -හාන්ස්-හර්මන් හොප්, සමාජවාදය සහ ධනවාදය ගැන න්‍යායක් (1989)

සැප්තැම්බර් 30 වෙනිදා රත්තරන් පිළිබඳ ජනමත විමසුම සාර්ථක වෙයි ද? එසේ වුවහොත්, එය වර්තමාන ස්විස් එලීටිස්ට් පාලකයන්ට ඔවුන්ගේ පුරවැසියන් විසින් ගහන කනේ පහරක් වෙනු ඇත් ද?!!!!

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: