අරුණි ශපීරෝ‍ වෙතින්

මැතිවරණ සහ ජනමතය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 21, 2014

BSSLlogo1

බලලෝභීන් ලොව සැමදා සිටියහ. බලලෝභී පාලකයන්, ආගමික ප්‍රභූන් හා රදළයන්ගේ මලු පිරවීමට කඹුරනවා හැරෙන්නට වෙන තෝරාගැනීමක් නැතිව සෙසු ලෝකවාසීන් ජීවත් වී මිය ගියහ.

ඒ බලලෝභී පාලකයන්, ආගමික ප්‍රභූන් හා රදළයන් දියත් කළ යුද්ධ වලින් පීඩා විඳ සියල්ලන්ම හෙම්බත් වී සිටි යුගයක, යුද්ධ වලට වඩා සාමකාමී වෙළඳපොල ගණුදෙනු වලින් තම තමන්ගේ කැමැත්ත පරිදි තම තම ජීවිතයේ සතුට සොයා යෑමට හැකියාව ලැබෙන බව ඇමෙරිකන් සහ යුරෝපීය රටවැසියන් අත්දකින්නට පටන් ගත්හ.

ඔවුන් බලලෝභී පාලකයන් පෝෂණය කරන ඔටුනු පැළඳි ලෝකය ද, බලලෝභී පාලකයන්ට හේත්තු වී තම මලු පුරවාගන්නා ආගමික ප්‍රභූන් සහ රදළයන් ද, වඳ වී යන ක්‍රමයක් සොයා ගත්හ.

ඒ නිදහස් වෙළඳපොල ක්‍රමයයි. එය කවුරුත් ගෙනෙන ලද විප්ලවයක් නොවීය. එය කිසිම විද්වතෙකුගේ අදහසක් නොවීය. එක රටකින් පමණක් හටගත්තක් නොවීය. ඇමෙරිකාව සහ යුරෝපය පුරා එවැන්නක් පටන්ගෙන ඇතැයි ලෝකවාසීන් දකින්නේ ද එදාවේල සොයාගැනීමට නොහැකි වූ ජනතාවකට කුසගිනි නිවා ගැනීමට පමණක් නොව කැමත්ත පරිදි කන්න බොන්නට ලැබෙද්දීයි. විළිවසා ගන්නට පමණක් අඳින්නට වස්ත්‍ර තිබි ජනතාවකට විලාසිතා තෝරාගැනීම් කරන්නට ලැබෙද්දී. ජීවිතය පවත්වා ගන්නට පමණක් නොව තම සතුට සොයා යන්නට කාල වේලාවක් අත්දකින්නට ලැබෙද්දී.

මිනිසුන් එකිනෙකා සමඟ සාමාකාමීව ගණුදෙනු කරන්නට පටන් ගතහොත් අනුන්ට හොඳ මොනවාදැයි තීරණය කරන බලයත්, එයින් තම මලු පුරවා ගත හැකියාවත් අහිමි වී යන බව බලලෝභීන්ට ප්‍රත්‍යක්ෂ විය.

අහිමි වී ගිය බලය නැවතත් තම අතට ගන්නට තව දුරටත් ආගමික ප්‍රභූන් සහ රදළයන් හේත්තු කරගත්තාට පමණක් නොහැකි යැයි දකිද්දී මෙවර “ඔටුනු පළඳින්නට රිසි බලලෝභීන්” උපයෝගී කරගන්නේ අනුන්ට හොඳ මොනවාදැයි කියන්නට දන්නවා යැයි කියාගත් විද්වතුන්ගේ සහාය ලබාගැනීමයි.

බහුතරයේ බුද්ධි මට්ටම අනුව සියල්ලන්ටම නීති සම්පාදනය කරන්නට බලලෝභීන්ට බලතල ලැබීම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම දුර්වලතාවයයි.

ප්‍රජාතන්ත්‍රවාදය ලොවට හඳුන්වා දුන් ප්‍රථම රාජ්‍යය මෙම දෝෂය හඳුනාගත්හ. ඊට ඉඩකඩ අසුරන රාජ්‍ය ව්‍යවස්ථාවක් සම්පාදනය කළහ. සමාජයේ සෑම වැසියෙක්ගේම අයිතීන් සුරකින පරිදි නිර්මාණය වූ එම ව්‍යවස්ථාව, යම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී වෙයි ද ඒ රටට සුදුසු වූවකි. එය ආණ්ඩුවේ සීමිත බලතල ගැන වූවකි. පුරවැසියා නොකළ යුතු දේවල් නොව ආණ්ඩුව විසින් නොකළ යුතු දෑ ගැන වූවකි.

ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩුව නිවැරදි කරන සීමිත ආණ්ඩු බලතල යනු මොනවාදැයි ජනතාව වෙතින් වසන් කරන්නට “ඔටුනු පළඳින්නට රිසි බලලෝභීන්” උපයෝගී කරගන්නේ අනුන්ට හොඳ මොනවාදැයි කියන්නට දන්නවා යැයි කියාගත් විද්වතුන්ගේ සහායයි.

ඔබේ ජීවිතයට හා ඔබේ දේපලට පමණක් නොව ඔබේ බුද්ධිය වර්ධනය කරන අධ්‍යාපනය ලබාගැනීමට ද ඔබට අයිතියක් ඇතැයි බලලෝභීන් කීහ.

අනතුරුව ඔබට සුදුසු ඒ අධ්‍යාපනය කුමක්දැයි තීරණය කරන සහ එය බෙදන බලය බලලෝභීන් විසින් තමනට පවරා ගත්හ!!!!!

“ඔටුනු පළඳින්නට රිසි බලලෝභීන්” විසින් බලය නැවත අල්ලා ගැනීමට, අනුන්ට හොඳ මොනවාදැයි කියන්නට දන්නවා යැයි කියාගත් විද්වතුන්ගේ සහාය ලබාගත් බැවින් ඊට පඬුරු හැටියට අධ්‍යාපනය කුමක්දැයි තීරණය කරන සහ එය බෙදන ආකාරය තීරණය කිරීම ඒ විද්වතුන්ට පැවරෑහ. වැඩවසම් ලෝකයේ රදළයන් හා ආගමික ප්‍රභූන්ගේ කාර්ය භාරය අද බාරගෙන තිබෙන්නේ මේ අනුන්ට හොඳ මොනවාදැයි කියන්නට දන්නවා යැයි කියාගත් විද්වතුන් විසිනි.

තම බුද්ධිය වර්ධනය ගන්නේ කෙසේදැයි යන තෝරාගැනීම පුද්ගලයාට අහිමි කරන ලදි.

මධ්‍යගත සැලසුම් පද්ධතියකින්, තමනට කඹුරන විද්වතුන් ලවා කුමන දැනුමක් බෙදනවා ද යන අයිතිය බලලෝභීන් තමන්ට පවරා ගත්හ.

නමුත් ඕපපාතිකව නිදහස් වෙළඳපොල බිහි වූවා සේ, අනුන් නිවැරදි යැයි කියන අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම බෙදන ආකාරය ද මධ්‍යගත සැලසුම් පද්ධතියට ඔබ්බෙන් යන්නට ලොව ආරම්භ විය. ඛාන් ඇකඩමිය ඊට කදිම නිදසුනකි. මෙවැනි උත්සාහයන් ලොව නන් දෙසින් දකින්නට හැකියි.

ජනමතයක් හදන්න වෙහෙසෙනවා වෙනුවට ජීවිතයේ සතුට සොයා යන්නට ලැබෙන දැනුමක් ලබාදෙන්නේ නම්, ජනතාව තම තමන්ගේ අපේක්ෂාවන් සාර්ථක කරගන්නට ලැබෙන්නේ කෙසේදැයි කියා තමන්ට හරියන මතයක් හදා ගනු ඇත. තම මතයක් හදාගන්නට සැමට ලැබෙන හැම අවස්ථාවකම බහුතරය නිදහස් වෙළඳපොල ක්‍රමය, එනම් සිය කැමැත්ත පරිදි එකිනෙකා සමඟ ගණුදෙනු කිරීම තෝරාගනිති.

අරගලයක්, කැරැල්ලක් දියත් කර පවතින ආණ්ඩුවක් පෙරළන්නට අවශ්‍ය නැත.

සෑම පුද්ගලයෙක්ම අනික් අයගේ වෙහෙසෙන් ජීවත් වන්නට දරන උත්සාහය දක්වන මහා ප්‍රබන්ධය නම් ආණ්ඩුවයි.” -ෆෙඩ්රික් බැස්ටියාට් 1849

සෑම මිනිසෙක්ටම තම වෙහෙසෙන් තමන් උදෙසා ජීවත් වන්නට හැකියාව ලැබෙන්නේ නිදහස් වෙළඳපොල ක්‍රමයෙනි. අනුන්ට කඹුරන්නට සිද්ධ නොවෙන නිවහල් ක්‍රමය එයයි. අනුන්ගේ දේපලට අයිතියක් නොකියන උතුම් ක්‍රමය එයයි.

ධනසම්පත් කාබාසීනියා කර දමන්නෙක් හෝ නිර්මාණයක් නොකර බෙදා දෙන්නට ඉදිරිපත් වෙන්නෙක් නොවී ධනසම්පත් නිර්මාණයට කැමති අය සමඟ එක්වෙන්න කැමති නම් බැස්ටියාට් සංගමයේ ශ්‍රී ලංකා පිරිස සමඟ එකතු වෙන්න එන්න. පටන් ගැනීම මගේ වෑයමක් වුනත් මෙහි කිසිම තනතුරක රැඳී සිටීමට මම අදහස් නොකරමි. එහි අනාගතය ලංකාවේ වාසය කරන අයගේම උත්සාහය විය යුතුයි. මෙය දේශපාලන පක්ෂයක් නොවේ. දැනුම බෙදාගන්නා උත්සාහයක් පමණකි.

දැක්ම: ප්‍රාග්ධනය යොදවන අයට ධනවාදය කුමක්දැයි කියා දීම (ඔබ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නේ නම් ඔබත් ප්‍රාග්ධනය යොදවන්නෙකි)

මෙහෙවර: ලෝකය එන්න එන්නම යහපත් ලෝකයක් කරා ගමන් කරන්නේය, එය සිද්ධ වෙන්නේ ව්‍යාපාර තුලින් ධනසම්පත් නිර්මාණය කිරීම නිසාය යන අදහස ප්‍රවර්ධනය. (අනුන් තීරණය කර බෙදූ ඉතිහාස දැනුමෙන් පෝෂණය වූ අයට මෙය නොවැටහේ.)

බැස්ටියාට් සංගමයේ තර්කයන් සරලව මෙසේ කියත හැකියි:
-වෙළඳ ගණුදෙනු වල නියැළීම යනු මූලික වශයෙන් හා සද්ගුණවත් වූ මිනිස් ක්‍රියාවකි.
-සාමකාමී සහ ලාබදායක වෙළඳ ගණුදෙනු නිසා ධනසම්පත් නිර්මාණය වේ.
-ධනසම්පත් බිහිවීම නිසා ලෝකය යහපත් වේ.
-වෙළඳ ගණුදෙනු තුලින් ධනසම්පත් නිර්මාණය කරන අය දුෂ්ටයන් නොවෙති. මිනිස් සංහතියේ සුබසාධනය සලසන ඉහළ සද්ගුණයක අයිතියෙන් යුතු වූවන් ඔවුන්ම පමණි.

මුඛර විද්වතුන්ට, දේශපාලනඥයන්ට සහ අනෙකුත් අනුන්ට හොඳ මෙයැයි කියන්නට ඉදිරිපත් වෙන ආචාර ධාර්මිකයන් වෙතට ඉහළ සද්ගුණය (moral high ground) පවරා දීම වෙනුවට, බැස්ටියාට් සමාජය සාමාකාමී සහ ලාබදායක ව්‍යාපාර කළාවේ සද්ගුණවත් අධිකාරිය තමනට පවරා ගනිති.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on සැප්තැම්බර් 21, 2014 at 10:09 ප.ව.

    නිදහස් වෙළදපොල සංකල්පය කියන වචනය ..අතපත ගාපු දා ඉඳන් මගේ …හිතේ උපන්න ..සිතුවිල්ල !!!..ඔන්න දැන් ..ඵල දරල…අරගලයක්, කැරැල්ලක් දියත් කර පවතින ආණ්ඩුවක් පෙරළන්නට අවශ්‍ය නැත./මෙය දේශපාලන පක්ෂයක් නොවේ. දැනුම බෙදාගන්නා උත්සාහයක් පමණකි./……………..සියලු මිතුරන්ට එන්නයැයි ආරාධනා කරමු…..(අරුණි ඔබට ස්තූතියි !! )

  2. maathalan said, on සැප්තැම්බර් 23, 2014 at 2:17 ප.ව.

    මේ තියරියට අනුව.. මහින්ද කිසි අවුලක් නැත…

    • arunishapiro said, on සැප්තැම්බර් 23, 2014 at 4:25 ප.ව.

      maathalan,

      මහින්දට අවුලක් නැත යැයි මාතලන් කියන්නේ, මේ නායකයා ගෙදර යවා වෙන නායකයෙක්ට බලය දුන්නාම ඔක්කොම හරියාවි යැයි සිතන යල්පැන ගිය චින්තනයෙනි.

      අයෙක් බලලෝභීයෙක් නම් බලය අහිමි වෙන තත්වයකට මුහුණ පාන්නට සිද්ධ වෙන්නේ මේ තියරියෙන් පමණකි. එය සිද්ධ වෙන්නේ බලලෝභීයා තියරිය වටහා ගැනීමෙන් නොව බලලෝභියාට කැමැත්තෙන්ම බලය පවරන්නට එකතු වෙන ගැත්තන් විසින් එයින් තමනට වාසියක් නොව අලාභයක්ම වෙනවා යැයි පහදන මේ තියරිය වටහා ගැනීමෙනි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: