අරුණි ශපීරෝ‍ වෙතින්

ඔව් ඒකටත් ඇප් එකක් තියෙනවා

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 24, 2014

buypartisian-app

පරිභෝජන භාණ්ඩයක් කුමන දේශපාලන පක්ෂයට සහයෝගය දෙන අය වෙතින් වෙළඳපොලට බිහි වී ඇත්දැයි සොයාගන්නට හැකි ඇප් එකක් ඇමෙරිකන් වැසියන්ට ලැබී ඇත.

මේ ඇප් එකේ නම “පක්ෂයට අනුව මිල දී ගන්න” යැයි කියැවෙන BuyPartisan නමින් වෙයි. එය හා සමානව උච්චාරණය වෙන bipartisan හි අදහස සාමාන්‍යයෙන් එකිනෙකාට විරුද්ධ මතධාරී වූවත් යම් අවස්ථාවක දී දක්වන ද්වීපක්ෂ සහයෝගීතාවයයි.

ස්මාට් ෆෝන් එකකින් භාණ්ඩයක තීරු සංකේතය ස්කෑන් කරද්දී එය නිෂ්පාදනය කළ සමාගමේ නිලධාරීන් සහ සේවකයන් කුමන දේශපාලන පක්ෂයට වැඩියෙන් මුදල් පරිත්‍යාග කර ඇත්දැයි මේ ඇප් එක පෙන්වන බව එහි නිර්මාණකරුවන් කියති.

කොංග්‍රසයේ සේවය කළ මැතිව් කොල්බර්ට් ඔබේ දේශපාලන දැක්මට අනුව “සවිඥානිකව වියදම් කරන්න” නමැති සංවිධානයේ නිර්මාතෘ වෙයි.

ඒත් පාරිභෝගිකයෙක් වියදම් කරන්නේ දේශපාලන දැක්මකට අනුව ද?

සමරිසි විවාහ නොව සම්ප්‍රදායික විවාහයට පුද්ගලික කමැත්ත ප්‍රකාශ කළ පුතෙක් නිසා කුකුල් මස් ආහාර සපයන Chick Fil-A කොම්පැණිය වර්ජනය කරනවා යැයි පිරිසක් ද, වැඩියෙන් එයින් ආහාර ගන්නවා යැයි තව පිරිසක් ද, පසුගිය දවසක කියා සිටියහ. එම කොම්පැණිය ඉදිරි වසර පහ ඇතුලත දී ඇමෙරිකන් පාරිභෝගිකයාට ප්‍රතිජෛවක (antibiotic) භාවිතා වී නොමැති කුකුල් මස් ආහාර පමණක් විකුණන බවට පොරොන්දුවක් දී ඇත. දැනටමත් එය පටන්ගෙන ඇති වුවත් නිෂ්පාදනය තවමත් ජාතික මට්ටමට සපයන්නට තරම් ප්‍රමාණවත් නැති හෙයින් ඔවුන්ට ඒ සඳහා අවම වශයෙන් වසර පහක් වත් ගතවේ.

ඉතින් කුකුල් මස් ආහාර අනුභවයට ෆාස්ට් ෆුඩ් අවන්හල් වලට යන පාරිභෝගිකයා ඉදිරියේ ඇති තෝරාගැනීම් අතර මේ දෙක ඇත: ඒ ආහාර මිල දී ගැනීමේ දී සමාගමේ අයිතිකරැවා සමරිසි විවාහයට දක්වන පුද්ගලික කැමැත්ත/අකැමැත්ත තෝරාගන්නවා ද? එහෙම නැත්නම් තමන් බුදින ආහාරයේ ප්‍රතිජෛවක භාවිතා වී තිබීම/නොතිබීම තෝරාගන්නවා ද?

නිදහස් තෝරාගැනීමකට ඉඩ ලැබෙද්දී පාරිභෝගිකයාගේ සාමාන්‍ය හැදියාව නම් කවුරු කෙසේ කුමක් කීවත් තමන්ට සුදුසු යැයි සිතන දේ මිලට ගැනීමයි.

ස්ටාර්බක්ස් කොම්පැණියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අය ඩෙමොක්‍රැටික් පක්ෂයට පස් ගුණයක් වැඩියෙන් මුදල් පරිත්‍යාග කර ඇති බව දැන ගැනීමෙන් ලාටේ (කිරි තේ/කෝපි) බොන, අයිපෑඩ් අතැති, ලිබරල්වාදීන් (මෙහෙ වාමාංශික/සමාජවාදීන් හඳුන්වන ආකාරය) සතුටට පත්වනු ඇතැයි මේ ගැන සටහනක් ලියන ද ඉකොනොමිස්ට් සඟරාව පවසයි.

පාරිභෝගිකයෙක් විසින් භාණ්ඩයක් මිල දී ගන්නට තෝරාගන්නේ කෙසේදැයි කියන්නට දන්නවා යැයි සිතන අයට වැරදුන ආකාරයක් එතැන මනාවට පෙන්නුම් වේ. අයිපෑඩයක් භාවිතා කරන, ස්ටාර්බක්ස් කඩයට නිතර ගොඩවදින මම ෆාස්ට් ෆුඩ් ගනිද්දී සල්ලි වැය කරන්නේ එහි ලාටේ කෝපි බොන්න පමණි. ඒත් මම වාමාංශික/සමාජවාදියෙක් යැයි වරද්දා ගන්නේ කවුද?!!!! 😀

මාර්ක් සකර්බර්ගේ දේශපාලන දැක්මට අකමැති වුවත් ඔහුගේ ෆේස්බුක් ජාලය දිනපතා භාවිතා කරන මම ඇමෙරිකාවේ වැඩියෙන්ම ජනප්‍රිය එම ෆේස්බුක් ඇප් එකත් ඉඳහිට භාවිතා කරමි.

ඉකොනොමිස්ට් සඟරාවේ කියන්නේ රස්සාවල් කරන, දරුවන් ඇති සහ සීමිත කාලයකින් යුතු අයගේ පරිභෝජන රටාව වෙනස් කරන්නට මෙය සමත් නොවනු ඇත කියාය. ඊට උදාහරණයක් ලෙස, වොෂිංටන් නගරයේ සුපර්මාකට් එකක දී දරුවෙක් උරයේ රඳවාගත් මවක් “ගමි බෙයාර්ස් (පැණිරස අතුරුපසක්) කන්න ඕන නම් මම ගමි බෙයාර්ස් කනවා, එයාල රිපබ්ලිකන් අය හදනවා ද කියන එක මට වැදගත් නැහැයි,” කියූ කතාව දක්වයි.

එහෙත් රස්සාවක් නොකරන, දරුවන් කරපින්නා ගත් සමය ඉක්ම වී ගිය, ගමි බෙයාර්ස් නොක මමත්, ජීවිතයේ ඇත්තේ සීමිත කාලයක් බව දන්නා හෙයින් 🙂 මේ ඇප් එක භාවිතයට ගන්නේ නැත.

හැබැයි එය භාවිතයට ගන්න කැමති අයට එය අහිමි කරන නීතියක් ගෙනෙන්නට මම එකතු වෙන්නේ ද නැත.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on සැප්තැම්බර් 24, 2014 at 11:57 ප.ව.

    මේ දේවල් එක පැත්තකින් බලද්දි පිස්සු වැඩ. නැත්තං විකෘතීන්. තවත් පැත්තකින් බලද්දි භයානක වැඩ.
    අරුණිගෙ ලිපි අනුව මම තේරුම් අරගෙන තියන ‘ඇමෙරිකාව’ ලංකාවට සාපේක්ෂව නිදහස අගයන ප්‍රජාතන්ත්‍රවාදී රටක්. නමුත් මේ තියන නිදහස වෙනත් පැති වලට යයිද කියලත් හිතෙනව. උදාහරණයක් විදියට එක වර්ගයක භාණ්ඩයක් නිපදවන X සහ Y සමාගම් දෙකක් තියනව. ඔවුන් ආධාර කරනව Aහා B දේශපාලන පක්ෂ දෙකට. ඔන්න රටේ වැඩිපුර ඉන්නෙ A උදවිය නං එයාලට ආධාර කිරීම මුල් කරගෙන විශාල අවුල් හැදෙන්න පුළුවන්. මේක හරියටම කියනව නං අර ලංකාවේ ‘අහවල් පවුලේ’ සම්බන්ධයක් නැතිව ව්‍යාපාර කරන්න අමාරුයි වගේ තැනකට එන්න සිදු නොවෙයිද කියල කාටද කියන්න පුළුවන්?
    මේ වගේම තමයි අරුණි කලින් ලිපියක දාපු ඡන්ද ද‍ායකයා කලින්ම පක්ධයක් වෙනුවෙන් ලියාපදචිංචි වීමත්.

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2014 at 7:37 පෙ.ව.

      රාජ් -රාජ්ගෙ නවාතැන-,

      ලංකාවට විතරක් නෙමෙයි රාජ් ලෝකෙ අනෙත් රටවල් සියල්ලටම සාපේක්ෂව නිදහස අගයන ප්‍රජාතන්ත්‍රවාදී රටක්.

      නිදහස හැමෝටම ඇත්නම් එය කවදාවත් භයානක පැත්තකට ඇදිලා යන්නෙ නැහැ. එහෙම යැයි බය කරලා ඊට බය වෙන්න හුරුවෙලා තියන නිසා තියෙන භයානක තත්වයන් නොදැක නැති භයානක තත්වයන් ගැන කතා කරන්න හුරුවෙලා ඉන්නවා මිසෙක.

      නිදහසට මායිම් දාන්න හැදීමේ දී පමණයි ඒ මායිම් හදන, ඒවා කඩන අයට දඬුවම් පමුණුවන්නට හැකි අය අතින් නිදහස කප්පාදු වෙන්නට පටන් ගන්නෙ.

      මාත් එක්ක ෆේස්බුක් එකේ GMO ගැන සංවාදයක් ගෙන ගිය අයෙක් ද GMO වැඩ කරපු අය ආණ්ඩුවේ නීති හදන තනතුරු දරණ බව කියා පාලා අනතුරුව GMO බලය අඩු කරනු පිණිස එයාගේ යෝජනාව තව දැඩි නීති ගෙන ඒමයි. කට්ටියකට වරප්‍රසාද දෙන්නට, පැවතිච්ච නීති වෙනස් කළ අය (මිනිස්සුම) නේද අලුත් දැඩි නීති ගෙන එන්නේත් කියන එක නොදැක, මේ අයට බැරි වුනාට අලුත් අයට පුළුවන් යැයි හිතන හුරුව නිසයි එහෙම කියන්නෙ. GMO බලය අඩු කරන්නට අයෙක් අව්‍යාජ ලෙසකින් කැමති නම්, ආණ්ඩුවේ බලය අඩු කල යුතුයි. මේ ආණ්ඩුවේ අයව ගෙදර යැව්වට වැඩක් නැහැ ඊ ළඟට එන ආණ්ඩුවට හේත්තු වෙන්නේ ඊට වැඩියෙන් මුදල් පරිත්‍යාග කර එය ලවා තම බලය පතුරවන්නට මාර්ග හොයත හැකි අයයි.

      ආණ්ඩුවේ බලය සීමිත වුනාම පමණයි කාටවත් වරප්‍රසාද බෙදන හැකියාව නැති වී යන්නේ. නැතිව මිනිසුන් අතර දෙවියන් හොයන්නට යන නිශ්ඵල ක්‍රියාවේ යෙදීමෙන් නෙමෙයි.

      වරප්‍රසාද බෙදන බලය ආණ්ඩුවක් ගනිද්දී, විශාල සමාගම්වල නිලධාරීන් කරන්නෙ බලයට එන්න හැකියාව ඇති ප්‍රධාන පක්ෂ දෙකටම පරිත්‍යාග කිරීම. දැන් බලයේ සිටින අයට වැඩියෙන් පරිත්‍යාග කිරීම. ඇපල් සේවකයන් වුනත් එහෙමයි. මයික්‍රොසොෆ්ට් සේවකයන් වුනත් එහෙමයි. ලංකාවේ අයත් එහෙමයි.

      //මේක හරියටම කියනව නං අර ලංකාවේ ‘අහවල් පවුලේ’ සම්බන්ධයක් නැතිව ව්‍යාපාර කරන්න අමාරුයි වගේ තැනකට එන්න සිදු නොවෙයිද කියල කාටද කියන්න පුළුවන්?// වරප්‍රසාද බෙදන බලය ආණ්ඩුවක් වැඩි වැඩියෙන් අල්ලා ගනිද්දී, ඕනෑම රටක් එවැනි තත්වයකට එයි. එහෙම නොවෙන එකම විදිය ඒ වරප්‍රසාද බෙදන බලය ආණ්ඩුවට අහිමි කිරීමේ දී විතරයි.

      තෝරාගැනීමේ නිදහසක් තියෙනවා නම්, එකම පක්ෂයකට සෑම මැතිවරණයක දී ම චන්දය දෙන අය වැඩිපුර සිටීවි කියල ලෝකෙ කිසිම රටක් දිහා බලල පෙන්වන්නට බැහැ. මොකද පක්ෂයට කැමති වුනාට පක්ෂයේ වැඩ ගැන සහ පක්ෂ නායකත්වය ගැන අප්‍රසාදයෙන් චන්දය නොදෙන අය එමටයි. ඒ නිසාම X සහ Y සමාගම හැම විටම A සහ B දේශපාලන පක්ෂ වලට පමණක් ආධාර කිරීම තෝරා ගන්නේ ද නැහැ.

      පාරිභෝගිකයා භාණ්ඩයක් මිල දී ගනිද්දී ඒ ඒ අවස්ථාවේ දී කරන තෝරාගැනීම කුමන හේතුවක් නිසාදැයි කළින් කියන්නට බැරි වගේම, අයෙක් කාට චන්දය දේවි ද කියන එකත් කළින් කියන්නට බැහැ. ඉතින් A හෝ B දේශපාලන පක්ෂයේ කියන වැඩි ජනගහණයක් හිටියයි කියල ඔවුන් තම පක්ෂයේ ප්‍රතිපත්ති වලට හැමවිටම එකඟත්වය දක්වයි කියා හෝ ඔවුන් හැමෝම චන්දයක දී පක්ෂයෙන් ඉදිරිපත් කරන අයට චන්දය දේවි කියල බලාපොරොත්තු වෙන්නත් බැහැ.

      ඒ අපූරු මිනිස් ස්වභාවය පැත්තකට දාලා න්‍යාය හදන අය කොච්චර හිටියත්!!!

      කළින් සටහන අනුව, චන්දදායකයා ලියාපදිංචි වෙන්නේ “මුල් මැතිවරණයේ” තම පක්ෂයේ අපේක්ෂකයාව තෝරාගන්න පමණයි. මහා මැතිවරණයේ දී විරුද්ධ පක්ෂයේ අයට වුනත් චන්දය දෙන්න පුළුවන්.

      උදාහරණයක් විදියට ලංකාවේ චන්ද අපේක්ෂකයා කවුදැයි තීරණය කරන්නෙ පක්ෂය විසින්. ජනතාව කරන්නේ ඒ ඒ අපේක්ෂකයාට කැමැත්ත/අකමැත්ත ප්‍රකාශ කිරීම.

      මෙහෙ “මුල් මැතිවරණය” කියන්නේ තම පක්ෂයෙන් ඉදිරියට යැවිය යුතු චන්ද අපේක්ෂකයා තීරණය කරන බලයත් ජනතාවට ලැබීම. එතකොට පක්ෂ නායකත්වය කැමති වුනාට ඒ පක්ෂයේ බහුතරය අකමැති නම් එවැන්නාට මහා මැතිවරණයේ දී අනෙක් පක්ෂයේ චන්ද අපේක්ෂකයා සමඟ තරඟයට පෙනී සිටින හැකියාව නැති වී යනවා. පක්ෂයේ නායකත්වයට තම අප්‍රසාදය දක්වා සිටින්නට පක්ෂයට චන්දය දෙන සියල්ලන්ටම හැකියාව ලැබෙනවා. මුල් මැතිවරණයට කළින් ඕනෑම චන්දදායකයෙකුට යම් කාලයක් තුල දී තම පක්ෂය වෙනස් කරන්නත් පුළුවන්.

      • arunishapiro said, on සැප්තැම්බර් 25, 2014 at 7:50 පෙ.ව.

        භයානක වැඩ වෙන්න ලංකාවේ නේද?!!!!! අනික, කොච්චර බෙදුවත් චන්දදායකයා තෝරාගන්නේ තමන්ට සුදුසු යැයි හිතන එකම නේද?!!!!

        (ලංකා ඊ නිව්ස් -2014.සැප්.24, ප.ව.9.00) තමාට පහරදුන් අවස්ථාවේ තුන්දහසකට අධික පිරිසක් තමාගේ නිවසට පැමිණ ආරක්‍ෂාව ලබා දුන් බවත් ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු වුණා නම් ඩිලාන් පෙරේරා ඇමැතිවරයාගේ නිවස ඔසවා ගෙන ගොස් වෙනත් තැනක තැබීමටත් හැකියාව තිබූ නමුත් එසේ නොකොට ඩිලාන් පෙරේරා ඇමැතිවරයාට කතා කොට ඒ පිළිබඳ විමසා ඔහුගේ දෙමාපියන්ගේ නිවසට ගොස් පැමිණිලි කළ බවත් නීතිය ක්‍රියාත්මක කරන්න නොහැකි නම් නීතිය අතට ගැනීමට සිදුවන බව පොලිසියට කී බවත් විපක්ෂයේ තාරකාව හරීන් ප්‍රනාන්දු අද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය. ඒහිදී වැඩි දුරටත් කතා කළ ඔහු…

        ”උෟව පළාත් සභා මැතිවරණයේදී හරීන් ප්‍රනාන්දු නැමැති චරිතය ඉදිරියට ගෙන යෑම සඳහා ජනමාධ්‍ය විසින් ලබා දෙන ලද දායකත්වය වෙනුවෙන් මම මගේ ස්තූතිය පළමුව පුද කරනවා. එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට ඓතිහාසික වෙනසකට මුලපිරීමට ලැබීම පිළිබඳ මම හදවතින්ම ආඩම්බරයට පත් වනවා.

        ආණ්ඩුවේ රූපවාහිනි ඇතුළු ජනමාධ්‍යවලින් එක්සත් ජාතික පක්‍ෂය ලබා ගත් දැවැන්ත බලය හීන කිරීමට ගනු ලබන නිරර්ථක උත්සාහයන් පිළිබඳ මම කනගාටුවට පත් වනවා. එක්සත් ජාතික පක්‍ෂය ලබා ගත්තේ ජයග්‍රහණයක් නොවන බව ප්‍රකාශ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය ඔවුන්ට අනුව සාධාරණ වුවත් ඕනෑම කෙනෙකුගේ හදවත ප්‍රකාශ කරන්නේ සැබෑ ජයග්‍රහණය ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය පමණක් බවයි.

        සුසිල් පේ්‍රමජයන්ත අමාත්‍යවරයා උෟව මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී හරියට ඔළුව ඔසවාගෙනවත් කතා කරන්නේ නැහැ. ඔවුන්ට ඔළුව ඔසවාගෙන කතා කිරීමට නොහැකි තත්ත්වයට මේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්‍ෂය ලබා ගෙන තිබෙන බව එමගින් පැහැදිලි වනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ සමස්ත විපක්‍ෂය ආණ්ඩු බලය අභිබවා ගිය අවස්ථාවක් ලෙස මෑත කාලයේ අප දැක්කේ උෟව පළාත් සභා මැතිවරණයයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආණ්ඩුව 47.3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට එක්සත් ජාතික පක්‍ෂය 45.2% ක් ද ජනතා විමුක්ති පෙරමුණ 4.8% ක් ද වශයෙන් ඡන්ද ලබා ගත්තා. ඒ සියල්ල එකතු කළ විට ආණ්ඩුව සැබෑ ලෙසම පරාජයට පත්වී ඇති බව රහසක් නොවේ. එක්සත් ජාතික පක්‍ෂය බදුල්ල දිස්ත්‍රික්කය පැරදුණේ ඡන්ද 11,000 කින් පමණයි. තවත් ඡන්ද 6000 ක් ලබා ගත්තේ නම් බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකි වනවා.

        එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ දේශපාලන පරිනත භාවය පිළිබඳත් මම ලැජ්ජාවට පත් වනවා. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා විසින් රැකියා දෙන ලද පිරිස කොළඹඇතුළු ප්‍රදේශවල සිටින නිසාත් ඩිලාන් පෙරේරා මහතා විසින් රැකියා ලබා දෙන ලද පිරිස කොරියාවේ සිටීම නිසාත් ඔවුන් දෙදෙනාට බදුල්ල සහ හාලිඇල ආසන ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බව එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ දේශපාලනයේ නොදැනුවත් බව පෙන්වන්නක් බව කිව යුතුයි.

        මෙවර 77% ක් පමණ ඡන්දදායකයින් බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කොට තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් භාවිත වූ අවස්ථාවක් ලෙස එය සැලකිය හැකියි. එම ඇමැතිවරුන් රැකියා දෙන ලද පිරිසත් අපට ඡන්දය ප්‍රකාශ කළා. ඒ වගේම වැඩිම ඡන්ද ප්‍රමාණයකින් එක්සත් ජාතික පක්‍ෂය බදුල්ල ජයග්‍රහණය කළේ ද මෙවර මැතිවරණයෙනුයි. බදුල්ල ආසනය එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරාවි යැයි මේ හරීන් ප්‍රනාන්දුවත් විශ්වාස කළේ නැහැ. ඊටත් වඩා වැඩිපුර විශ්වාසයක් මම පස්සර ආසනය පිළිබඳ තබා තිබුණත් එම ආසනයෙන් අපි පරාජයට පත් වුණා.

        පසුගියදා පැවැති රූපවාහිනි සාකච්ඡාවකදී ආණ්ඩුව පස්සර ආසනයේ පමණක් විදුලි ස්ත්‍රික්ක 20000 ක් පමණ මැතිවරණ කාලයේ බෙදාදී ඇති බව අජිත් පී. පෙරේරා මන්ත්‍රී තුමා ප්‍රකාශ කළා. නමුත් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම ආණ්ඩුවෙන් බෙදන ලද්දේ ස්ත්‍රික්ක 6000 ක් පමණක් බව එහිදී පිළිගත්තා. මැතිවරණය වෙනුවෙන් අල්ලසක් ලබා දුන් බව එවැනි සරල කරුණුවලින් පවා පැහැදිලි වනවා. මෙවැනි තත්ත්වයන් ඉදිරියේ මැතිවරණ කොමසාරිස්වරයා නිදාගෙන සිටින්නේ දැයි අපි විමසනවා.

        මැතිවරණයක් වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතිහාසයේ වැඩිම කාලයක් ගත කළේ ද බදුල්ල දිස්ත්‍රික්කයේයි. සෑම ගමකටම, සෑම පාසලකටම එතුමා ගියා. කඩිමුඩියේ බස්නැවතුම් පොළවල්, මාර්ග විවෘත කළා. වැව් හෑරුවා. වතුර දුන්නා. එසේ කටයුතු කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්‍ෂය පස්සරදී තම 68 වන සම්මේලනය පැවැත්වුවත් පස්සර ආසනය දිනාගැනීමට අපොහොසත් වූ බව ප්‍රකාශ කළා. නමුත් අපි ආණ්ඩුවට ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ සංවත්සරය තිබුණු බදුල්ල ආසනය ඡන්ද 6000 කින් පමණ සන්ධානය පරාජයට පත්වූ බව පිළිගන්නා ලෙසයි. එම නිසා පරාජය පරාජයක් ලෙස පිළිගන්නා ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

        පස්සර ආසනයේ වතුකරයේ ඡන්ද ලබාගැනීමේදී අපට කිසියම් අඩුපාඩුවක් සිදුවූ අතර, ඒ පිළිබඳ මම කනගාටුවට පත් වනවා. නමුත් කම්කරු කොංග්‍රසයේ සෙන්දිල් තොණ්ඩමන්, කඳුරට පෙරමුණ, වඩිවේල් සුරේෂ්ගේ දේශපාලන පක්‍ෂයත් දෙමළ ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති එක්ක එම ප්‍රදේශයෙන් ආණ්ඩුව සමග තරග කළා. එහිදී තනි පක්‍ෂයක් ලෙස අපට කිසියම් අවාසියක් සිදු වූ බව මගේ විශ්වාසයයි.

        බණ්ඩාරවෙළ සහ උෟව පරණගම ආසන දෙක අපි පරාජයට පත් වූයේ ඡන්ද 200 කටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයකින් පමණයි. බදුල්ල, වැලිමඩ සහ හාලිඇල මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය කිරීමට අපට හැකි වුණා. එම නිසා මේ මැතිවරණයේ නියම ජයග්‍රහණය ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂයයි. එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ අපට තිබූ මන්ත්‍රී ධූර 2 ක රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ඇතුළු පිරිස ආසන 5 දක්වා වැඩි කිරීමට සුවිශාල කැපකිරීමක් සිදු කළා. මම මොණරාගල දිස්ත්‍රික්කයේ රැස්වීම්වලින් සහභාගී වූයේ එකකට පමණයි. තවත් රැස්වීම්වලට සහභාගී වූවා නම් එම මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7 දක්වා ඉහළ දැමීමට හැකියාව තිබුණා. දින 4 ක් රෝගී තත්ත්වයෙන් සිටී නිසා එම කටයුතු සිදු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

        උෟව පළාතෙන් ලැබූ ජයග්‍රහණය හරීන් ප්‍රනාන්දුගේ හෝ එක්සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණයක් නොවන බව ප්‍රකාශ කරන්නට ඇතැම් මාධ්‍ය කටයුතු කරනවා. නමුත් මේ ප්‍රතිඵලය ලබා ගත්තේ සමස්ත එක්සත් ජාතික පක්‍ෂය විසින් බව මම අවධාරණය කරනවා. ජයග්‍රහණය ලැබුණේ තනි පුද්ගලයකු නිසා පමණක් නොවේ. මේ මම නිසා ලැබුණු ජයග්‍රහණයක් යැයි ප්‍රකාශ කිරීමට තරම් මම උඩගු වන්නේ නැහැ.

        පසුගිය අගෝස්තු මස 05 වැනි දා පාර්ලිමේන්තුවෙන් ඉවත් වී එන විට මම රනිල් වික්‍රමසිංහ නායකතුමාට ප්‍රකාශ කළේ මගේ උත්සාහය පක්‍ෂයට 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙන බවයි. එය විශාල අභියෝගයක් බවට පත් වුණත් මම ආත්ම විශ්වාසයෙන් කටයුතු කළා. මාසයක් පුරා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන අතර, සැප්තැම්බර් 06 වැනිදා අපේ පක්‍ෂයේ සියලූම නායකයින් එකම වේදිකාවකට ගොඩ වෙමින් එකමුතුකම ප්‍රදර්ශනය කළා. කරු ජයසූරිය මැතිතුමා නොවන්නට මට මේ පළාත් සභාවට තරග කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් ඉවත්වී තරග කිරීම සඳහා මගේ පියා සමග සාකච්ඡා කොට අවසරය ලබා දීමට එතුමා කටයුතු කළා. ඉන්පසුව රනිල් වික්‍රමසිංහ නායකතුමත් මගේ පියා හමුවී සාකච්ඡා කොට මැතිවරණය සඳහා තරග කිරීමට අවසර ලබා ගත්තා.

        අපිත් සමග තරග කළ අපේක්‍ෂකයින් මෙන්ම මගේ පවුලේ අයත් බදුල්ල ආසනයේ ගෙයින් ගෙට යමින් මැතිවරණ කටයුතුවල නිරත වුණා එම නිසා බදුල්ල ආසනය ඓතිහාසික ජයග්‍රහණයකට මුල පිරුණා. නිමල් සිරිපාල ද සිල්වා සහ ඩිලාන් පෙරේරා ඇමැතිවරුන්ගේ ආසන ජයග්‍රහණය කිරීමට ලැබීම පිළිබඳ මම සතුටට පත් වනවා. අනෙකුත් ආසනවල සිටින්නේ පන තිබෙන නායකයින් නොවන නිසා එම ආසන පැරඳුණත් ප්‍රශ්නයක් නොවන බව මගේ විශ්වාසයයි. නමුත් ලබන මැතිවරණයේදී එම සියලූ ආසන ජයග්‍රහණය කිරීමටත් අපි ක්‍රියා කරනවා.

        එක්සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණයෙන් වියරු වැටුණු බදුල්ල දිස්ත්‍රික්කයේ කිහිප දෙනෙක් ප්‍රචණ්ඩක් ක්‍රියා සිදු කරනවා. නමුත් දේශපාලනයේ අවංක පුද්ගලයෙක් ලෙස නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා ඒ කිසිවෙකට සම්බන්ධ නොවූවත් තවත් සමහර පිරිසක් එම ප්‍රචණ්ඩක්ක්‍රියාවලට ඍජුවම සම්බන්ධ වී සිටිනවා. මුස්ලිම් ජාතිවාදය ඇවිස්සීමට තරම් තවත් පිරිසක් පහත් තත්ත්වයට ඇදවැටිලා. මට සහය දක්වන ලද දහතරදෙනෙකු මේ වන විටත් රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් හයදෙනෙකු දැඩිසත්කාර ඒකකයේ සිටිනවා. ප්‍රචණ්ඩත්වය දේශපාලනයේ සාදාචාරය විනාශ කරන අශෝබන දෙයක් බව මගේ විශ්වාසයයි.

        අපේ පළාත් සභා අපේක්‍ෂක රෝහී මහතාටත් පහරදී ඔහුගේ අත පය කඩා දමා තිබෙනවා. මේ අස්ලීල දේශපාලන ක්‍රමයට තිත තැබිය යුතුයි. මැතිවරණය දවසෙත් මම අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මෙවැනි ප්‍රචණ්ඩක්‍රියාවලට ඉඩ නොදෙන ලෙස ඉල්ලීමක් කරන්නට උත්සාහ කළත් ඔහු දුරකථනයට සම්බන්ධ වූයේ නැහැ. අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා පොලිසිය ඇතුළටම පැමිණ අපේ බණ්ඩාරවෙල නගරාධිපතිවරයා ඇතුළු පිරිසකට පහරදී තිබුණා.

        මේ ප්‍රචණ්ඩක්‍රියා තත්ත්වය මුලදී පාලනය නොකළත් මේ වන විට පොලිස්පතිවරයාගේත්, නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේත් මැදිහත්වීමෙන් කිසියම් ප්‍රමාණයකට පාලනය කොට තිබෙනවා. මගේ ජනතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පොලිසිය කටයුතු නොකරන්නේ නම් නීතිය අතට අරගෙන කටයුතු කිරීමට සිදු වන බවත් මා පොලිසියට මතක් කළා. ඡන්ද 173,000 ක් ලබා ගත් මම එක් දුරකථන ඇමැතිතුමක් දුන්නත් දෙතුන් දහසක සෙනඟක් එකතු කර ගත හැකියි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් තුන්දහසක්වත් එකතු කර ගැනීමට නොහැකි බව ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළත් ඔහු හාලිඇලට සෙනඟ ගෙන ආවේ විදේශ සේවා නියුක්ති කාර්ය අංශයේ වාහනවලින් බව පැහැදිලිව කිව යුතුයි.

        මට පහරදුන් අවස්ථාවේ තුන්දහසකට අදික පිරිසක් අපේ නිවසට පැමිණ මට ආරක්‍ෂාව ලබා දුන්නා. මම ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු වුණා නම් ඩිලාන් පෙරේරා ඇමැතිවරයාගේ නිවස ඔසවා ගෙන ගොස් වෙනත් තැනක තැබීමටත් හැකියාව තිබුණා. නමුත් එසේ නොකොට මගේ වාහනයට පහරදුන් අවස්ථාවේදී මම ඩිලාන් පෙරේරා ඇමැතිවරයාට කතා කොට ඒ පිළිබඳ විමසා සිටියත් ඒ පිළිබඳ ඔහු කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළා. ඔහු මගේ වාහනයට පහර දෙන ස්ථානයට මීටර් කිහිපයක් දුරින් සිටි බවත් මම දැනගෙන සිටියා. එම නිසා මම එතුමාගේ ගෙදරට ගොස් ඒ දෙමව්පියන්ට මේ සිද්ධිය පිළිබඳ ප්‍රකාශ කළා.

        මම දේශපාලනයේ කාත් එක්කවත් හතුරුකම් තබා ගන්නේ නැහැ සියලූ දෙනා සමගම සහයෝගයෙන් කටයුතු කරනවා. මට තේ බොනවා කියා චෝදනා එන්නෙත් එම නිසයි. මට සැමදාම මඩ ගසන පුවත් පතෙන් ජනතාව ගහගනිද්දී මම ඔවුන්ගේ ගෙවල්වලට ගොස් තේ බොන බව ප්‍රකාශ කොට තිබෙනවා. දේශපාලනය යනු ප්‍රතිපත්තිත් එක්ක තරග කිරීමක් නිසා කිසිවෙකුත් සමග ගහ බැණ ගැනීමට අවශ්‍යතාවක් නැහැ. මාත් සමග ගහ ගැනීමට කිසිවෙකුට හෝ උවමනාවක් තිබේ නම් ඔහුට විවෘතව පැමිණ එය සිදු කළ හැකියි. ඒ වෙනුවට මගේ මිනිස්සුන්ට පහර දෙන්න එපා යැයි මම යළිත් ප්‍රකාශ කරනවා.

        දවස් පහක් ගත වනතුරු කිසිදු පෙළපාලියක් යෑම තහනම් බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළත් ඡන්ද 173,000 ක් ලබා ගත් මම කිසිදු පෙළ පාලියක් ගියේ නැහැ. නමුත් ආණ්ඩුවේ සියලූම ජයග්‍රාහී අපේක්‍ෂකයෝ පෙළ පාලි යමින් එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ නිවාස වෙත ගොස් රතිඤ්ඤා පත්තු කරමින් හිරිහැර සිදු කළා. නමුත් මම මැතිවරණ නීති ගරු කරමින් පෙළ පාලි ගියේ නැහැ. මෙම ප්‍රචණ්ඩක්‍රියාවලට මැතිවරණ කොමසාරිස්වරයා පොලිසියටත් වඩා වගකීම භාර ගත යුතුයි.

        සිරස මාධ්‍ය ආයතනයේ චන්දන නැමැති මාධ්‍යවේදියාටත් මැර ප්‍රහාරයක් එල්ල කොට බරපතල තුවාල ලබා තිබෙනවා. ඒ වගේම පාලිත ආරියවංශ මාධ්‍යවේදියාටත් පහරදී තිබෙනවා. මෙම පහරදීම්වලට සම්බන්ධ වන්නට ඇත්තේ ඩීලාන් පෙරේරා කොළඹසිට ගෙන්වන ලද කණ්ඩායමක් බව විශ්වාස කළ හැකියි. බදුල්ලේ ජනතාව කවදාවත් අපේ මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ නැහැ.

        මගේ ළඟ සිටින කණ්ඩායම පාලනය කිරීමට නොහැකි නම් මම නියම නායකයකු නොවේ. ඩිලාන් පෙරේරා ඇමැතිවරයා තමන්ගේ ළඟ සිටින කණ්ඩායම් පාලනය කර ගැනීමට අපෝසහත් වන්නේ නම් එය විශාල අඩුපාඩුවක් ලෙස මම දකිනවා. බදුල්ල ආසනය පරාජයට පත් වූවත් නිමල් සිරිපාල ඇමැතිවරයා එය නියහතමානීව පිළිගෙන පාක්‍ෂිකයන්ට පහර දෙන්නට යන්නේ නැහැ. එවැනි ආදර්ශයන් අනික් ආණ්ඩුවේ ඇමැතිවරුත් ලබා ගත යුතුයි.

        මෙවර මැතිවරණයේදී රාජ්‍ය සේවකයින් ආණ්ඩුව ප්‍රතිෙක්‍ෂ්ප කොට තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ විපක්‍ෂය ලබා ගත් තැපැල් ඡන්ද ප්‍රමාණය ආණ්ඩුව ලබා ගත් තැපැල් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩිවීමෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ඔවුන් ප්‍රතිෙක්‍ෂ්ප කරන බවයි.

        අවංක දේශපාලනඥයෙක් ලෙස රුවන් විජයවර්ධන මහතා ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරයෙන් ඉවත් වී එම තනතුර මට ලබාදීමට කටයුතු කොට තිබෙනවා. එවිට එතුමාට නායකත්ව මණ්ඩලයේ තිබෙන තනතුර පවා අහිමි වනවා. ඒ සියලූ දේ අහිමි වෙද්දීත් එතුමා තම තනතුර මට පරිත්‍යාග කිරීමට පක්‍ෂ නායකත්වය හෝ දැනුවත් නොකොට ක්‍රියා කොට තිබෙනවා. නමුත් මම ජාතික මැතිවරණයක් වෙනුවෙන් රුවන් විජයවර්ධන මැතිතුමා කර ගෙන එන සේවය තවදුරටත් සිදු කිරීමට අවස්ථාව ලබා දෙමින් එම තනතුර භාර ගැනීම ප්‍රතිෙක්‍ෂ්ප කළා.

        මම තනතුරු බලාගෙන දේශපාලනය කරන්නේ නැහැ. මට ඡන්දය ලබාදීපු ජනතාව වෙනුවෙන් මම තවදුරටත් වැඩි කාලයක් බදුල්ලේ රැඳී සිටිය යුතුයි. 88% ක ඓතිහාසික ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් මම ජනතාවගේ මහඇමැතිවරයා වශයෙන් එම ජනතාවට සේවය කළ යුතුයි. ඒ සඳහා අරමුදල් සොයා ගනිමින් ඒ සේවය සිදු කිරීමට සිදු වනවා.

        උෟව පළාත් සභාව ජනතාවට සේවයක් කරන ස්ථානයක් බවට පත් කිරීමටත් ක්‍රියා කරනවා. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග ලෙස සලකමින් මට භාර දුන් යොවුන් පෙරමුණේ සභාපති තනතුර මම නැවතත් රුවන් විජයවර්ධන මැතිතුමාට භාර ගන්නා ලෙස ප්‍රකාශ කළේ බදුල්ලේ ජනතාව වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට අවශ්‍ය නිසයි. රුවන් විජයවර්ධන මැතිතුමා එළඹෙන ජාතික මැතිවරණය වනතුරු එම වැඩකටයුතු සිදු කරද්දී මම එතුමාගේ දෙවැනි ලෙස සිටිමින් මම ඊට සහයෝගය ලබා දෙනවා.

        අපේ පක්‍ෂයෙන් මට ජාතික මට්ටමේ තනතුරු ලබා දීම සඳහා කැමැත්ත අකමැත්ත මේ වන විටත් විමසා තිබෙනවා. ඒ පිළිබඳ ජනතාව සමග සාකච්ඡා කොට ඉදිරියේදී පියවර ගන්නවා. සජිත් පේ‍ර්මදාස මහතාට නියෝජ්‍ය නායකත්වයත්, රවී කරුණානායක මහතාට උපනායකත්වයත් යන තනතුරු ලැබීම පිළිබඳ මම ආඩම්බර වනවා. මේ එකමුතුවත් සමග එක්සත් ජාතික පක්‍ෂය ජය මාවතකට පැමිණ තිබෙනවා. කිසිදු තනතුරක් නොමැතිව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තැබූ පියවරත් සමගම එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට යෑම පිළිබඳ මම සතුටට පත් වනවා. මේ පිබිඳීම ලංකාව වටේ ගෙන යෑමට සජිත් පේ‍ර්මදාස මැතිතුමාට හැකියාව ලැබේ යැයි මම විශ්වාස කරනවා. මේ දිනන එකමුතුව බේද බින්න කිරීමට සජිත් පේ‍ර්මදාස මහතා යොදා ගනිමින් කිසිවෙක් කටයුතු කරන්නේ නම් අපි ඊට විරුද්ධ වනවා යැයි ද හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

        එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

        ප්‍රශ්නය : ‘මැතිවරණ කටයුතු සඳහා ඔබට රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලැබී ඇති බව ආණ්ඩුව වෙතින් චෝදනා කොට තිබුණා. ඒ පිළිබඳ ඔබේ පිළිතුර දැනගන්න කැමැතියි.’

        ”මම මේ මැතිවරණයට ඉදිරිපත් වන්න පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන වන විට තිබුණේ රුපියල් 19,000 ක් පමණයි. නමුත් මට ඒ සඳහා විවිධ අය උදව් කළා. රාජ්‍ය නොවන සංවිධානවලින් හෝ වෙනත් ආයතනවලින් මුදල් ලැබුණේ නැහැ. මම අරක්කු දුන්නේ නැහැ. බත් පැකට් දුන්නෙත් නැහැ. එවැනි දෙයක් ඔප්පු කරන්න යැයි මම අභියෝග කරනවා. රාජ්‍ය නොවන සංවිධානයක් මුදල් ලබා දෙන්නේ නම් එය ලබා දෙන ලෙසත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ”

        ප්‍රශ්නය : ‘එක්සත් නායකත්ව මණ්ඩලය තවදුරටත් පැවැතිය යුතු ද? ‘

        පිළිතුර : “ඔව්. මම හිතනවා නායකත්ව මණ්ඩලය තිබිය යුතුයි කියලා. එමගින් පක්‍ෂයට සවියක් ලැබෙනවා. නායකත්ව මණ්ඩලයෙන් විශාල සේවයක් සිදු වෙන අතර, බොහෝ ප්‍රශ්න විසඳීමට මැදිහත්වී ක්‍රියා කරන්නේ අපේ එක්සත් නායකත්ව මණ්ඩලයයි. කරු ජයසූරිය මහතාට මේ පක්‍ෂයේ ගෞරවාන්විත ස්ථානයක් අනිවාර්යෙන්ම ලැබිය යුතුයි. ඇත්ත වශයෙන්ම කරු ජයසූරිය කියන්නේ ප්‍රශස්තියට ලක් නොවූ නිහඬ වීරයකු බව කිව යුතුයි. ඔහු ගැන කවුරුවත් කතා නොකරන අතර බොහෝ අය කරන්නේ ඔහුට මඩ ප්‍රහාර එල්ල කිරීමයි. සජිත් පේ‍ර්මදාස මහතාට නියෝජ්‍ය නායක ධූරය ලබා දෙනවාට තමා විරුද්ධ යැයි කියා අර්බුදයක් ඇති කිරීමට කරු ජයසූරිය මහතාට තිබුණත් එතුමා එසේ කළේ නැහැ. එතුමා අර්බුද නිර්මාණය කරන පුද්ගලයකු නොව ඒ සියලූ අර්බුද විසඳන පුද්ගලයකු බව කිව යුතුයි. නායක රනිල් වික්‍රමසිංහ මහතා කියන ඕනෑම දෙයකට සහයෝගය දෙන පුද්ගලයකු වන කරු ජයසූරිය මහතා සජිත් පේ‍ර්මදාස මහතාගේ පත්වීමට ද කෙනහිලිකම් කළේ නැහැ. එම නිසා එතුමාට එක්සත් නායකත්ව මණ්ඩලය ඇතුළත ඒ ගෞරවය තිබිය යුතුයි. මැති ඇමැතිවරුන් 110 ක් පත් කර ගැනීමට ආණ්ඩුවට පුළුවන් නම් අපේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා වැඩිපුර තනතුරු ඇති කළා කියා කිසිම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ”

        ප්‍රශ්නය : ‘උෟව පළාත් සභාවෙන් ලබා ගත් ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණයට කෙසේ බලපායි ද?’

        පිළිතුර : ”උෟවෙන් ලැබුණේ හරීන් ප්‍රනාන්දුට පමණක් ලැබුණු ඡන්ද නොවේ. අපි ඒවා පක්‍ෂයට එකතු කර ගත යුතුයි. පුද්ගලයකුට ලබා දෙන ඡන්දවලට වඩා ප්‍රතිපත්තියකට අපි ඡන්ද ලබා ගත යුතුයි. රට විනාශ කරන ආණ්ඩුවට විරුද්ධව අපි සටන් කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණට, සරත් ෆොන්සේකා මහතාගේ පක්‍ෂය ඇතුළු සියලූම පාර්ශවවලට මේ ආණ්ඩුව පෙරලා දැමීමේ වැඩ කටයුත්තට එකතු වන ලෙස අපි ආරාධනා කරනවා. චරිත වෙනුවට වැඩ පිළිවෙළක් අපි ජයග්‍රහණය කර විය යුතුයි. එම නිසා උෟවෙන් ලැබුණ ඡන්ද ප්‍රතිඵලය අයිති මේ රටේ ජනතාවටයි. මේ රට අයිති වන්නේත් ජනතාවට බව උෟවේ ජනතාව ඔප්පු කර පෙන්වා තිබෙනවා.”

        (සේයාරුවේ දැක්වෙන්නේ ජයග්‍රහණයෙන් පසු නිවසට අා අවස්ථාවේදී මෑණියන් හරීන්ව සිප වැළඳගත් අයුරුයි)

        Facebook වලින් ගත්තෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: