අරුණි ශපීරෝ‍ වෙතින්

නැහැ මේ පාර ඒක වෙනස් නැහැ

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 29, 2014
(Xaume Olleros / AFP / Getty)

(Xaume Olleros / AFP / Getty)

“ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම වැය අධික වචන හතර “මේ පාර ඒක වෙනස්” -This time it’s different-” යැයි කියා ඇත්තේ සර් ජෝන් ටෙම්පල්ටන් විසිනි.

1912 දී ටෙනසි ප්‍රාන්තයේ ඉපදුන ඔහු යේල් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන්නට ටියුෂන් වලින් කොටසක් හොයාගත්තේ පෝකර් සූදු ක්‍රීඩාවෙනි. කොටස් වෙළඳපොලේ ලද ජයග්‍රහණ වලින් බිලියනපතිවරයෙක් වූ ඔහු බිලියනකට වඩා මුදල් සමාජ සේවා කටයුතු සඳහා පරිත්‍යාග කර ඇත. 1964 දී ඇමෙරිකන් පුරවැසිකම අත්හැර දැමූ ඔහු එම ක්‍රියාවෙන්, සිය ජාත්‍යන්තර අයෝජන අරමුදල විකුණා ලැබූ මුදල් වලින් තවත් ඩොලර් මිලියන සීයක් ද පරිත්‍යාග කරන්නට සමත් විය.

“මේ පාර ඒක වෙනස්,” බව මැද පෙරදිග නැවත පටන් ගත් ඇමෙරිකන් යුද්ධ ගැන බහුතරයකගේ මතයයි. විපක්ෂයක් සොයා ගැනීම මේ දිනවල අසීරු වූවකි.

ප්‍රස්තුතයක් සදොස් නම් එය බුෂ්ලා කරද්දී වැරදි වෙන්නේත් ඔබාමා කරද්දී නිවැරදි වෙන්නේත් නැත.

ඉස්ලාම් දේශයක් හදන්නට යන ත්‍රස්තවාදීන් කුරිරු අන්ධ භක්තික උන්මාදයකින් පෙළෙනවුන් යැයි පැහැදිලි කරන්නට අමුතුවෙන් උත්සාහයක් ගැනීම අවශ්‍ය නැත. ඔවුන් සිවිල් වැසියන් අමු අමුවේ මරා දමන රාක්ෂයන්ය.

එහෙත් ඒ නිසා ඇමෙරිකාව රාක්ෂයන් වඳ කරන පරමාර්ථයෙන් යුද්ධයට යෑම අනවශ්‍යයයි. ලෝකයේ තැන් තැන් වල තමන්ගේම සිවිල් වැසියන් අමු අමුවේ මරා දමන රාක්ෂයන් බොහොමයක් සිටියහ. අදත් සිටිති. හෙටත් සිටිනු ඇත. ඇමෙරිකාවට ඔවුන් වඳ කරන බලය (එයට හැකි වූ බවක් මේ තාක් කල් පෙන්වා නැති බවත් පැත්තකින් තියමු!!!!) ලැබෙන්නේ කුමන ආචාර ධාර්මික වගකීමක් යටතේ ද?

නයිජීරියාවේ ඊසාන දිග පිහිටි විශාලතම නගරය සහ බොර්නෝ ප්‍රාන්තයේ අගනගරය වූ මයිදුගුරි “සාමයේ නිවස” යන ජනප්‍රිය නාමයෙන් හැඳින්වෙයි. මුස්ලිම් අය විසින් මුස්ලිම් නොවන අයව සමූලඝාතනය 1960 ගණන් හා 70 ගණන් සිට සිද්ධ වෙන්නකි.

2009 ජූලි මස එහි දී බොකො හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය විසින් 700 ක් පමණ පිරිසක් ඝාතනය කළහ. 2003 ජූනි 18 වැනිදා පාසැලකට කඩා වැදුනු බොකො හරාම් විභාගයට පෙනී සිටින සිසුන්ට පහර දී නව දෙනෙක් මරා දැමූහ. ග්වාසා සහ බාමා ඇතුළු යාබද තවත් නගර කිහිපයක් දැන් ත්‍රස්තවාදීන්ගේ යටතේ පවතී. ඔවුන්ගේ අරමුණ මයිදුගුරි අල්ලා ගැනීමයි. එය අල්ලා ගත්තොත් නයිජීරියාවේ ඊසාන දිග කලාපය සම්පූර්ණයෙන් බොකො හරාම් අතට වැටේ. මයිදුගුරි හි මහජන පාසැල් වසා දමා ඇත. අන්තර්ජාතික රාජ්‍ය නොවන සහ ආධාර සපයන සංවිධාන පළාත අත්හැර දමා ගිහින් ඇත්තේ බොහෝ කලකට පෙරයි. වගා කටයුතු නැවතුන නිසා ආහාර මිල ඉහළ නැඟ ඇත.

1994 අප්‍රේල් 7 දා සිට ජූලි මැද තෙක් දවස් සීයක පමණ කාලයක් තුල දී ලක්ෂ පහක් සහ මිලියනයක් අතර රුවන්ඩාවේ වැසියන් සමූල ඝාතනය කෙරිණ. ඒ රටේ මුළු ජනගහණයෙන් 20% ක් පමණ. එවක රැවන්ඩාවේ ජීවත් වූ ටුට්සි ජනතාවගෙන් 70% ක් පමණ මිය යද්දී ඇමෙරිකාව නිකම් බලාගෙන සිටියේය. එවක නැති වගකීමක් එක මාධ්‍යවේදියෙකුගේ (යුද පවතින තැන්වල සිට වාර්තා කරන්නට යන්නේ අනතුරුදායක තත්වයක් නැතැයි සිතන වාර්තාකරුවන් ද?!!!!) හිස ගසා දැමීම නිසා හදිසියේම පහළ වී ද?

ඒ කාලයේ දී ම උතුරු කොරියාවේ දිනකට මිනිසුන් දෙදහසක් පමණ මරා දැමිණ. වසර තුනක කාලයක දී මිලියන 3.5 ක කොරියන් ජීවිත අහිමි වූ අතර අන්තර්ජාතික ආධාර සහ මුළු උතුරු කොරියාවටම කන්න දෙන්න ආහාර යැව්වත් ඔවුන්ගේ නායකත්වය එම අරමුදල් හමුදාව ශක්තිමත් කරන්නට යොදාගත් බව කියැවේ. උතුරු කොරියානුවන් තම කුරිරැ පාලකයන් වෙතින් බේරාගත යුතු මනුෂ්‍යයන් නොවේ ද?!!!!

Shin Dong-hyuk උපදින්නේ ශ්‍රම සිරකඳවුරකයි. හාමතයෙන් හා වධහිංසා වලින් පීඩා විඳින සිරකරුවන් උතුරු කොරියාවේ දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටින බව නිදහස සොයා නොව බඩගින්න නිවාගන්නට ඒ සිර කඳවුරෙන් පැන ආ ෂින් කියයි. සිරකරුවන් අතර තුනෙන් එකක් දරුවන් වෙති. ඒ දරුවන් ගැන දුක්වෙන ලෝක ජනතාවක් නැත්ද?

2013 දී සෝමාලියාවේ මොගාදිෂූ හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ළඟ දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් මිනිස් ජීවිත 15 ක් ඝාතනය කරන්නට සමත් විය.

මේ වසරේ අගෝස්තු මාසය තුල දී සවුදි අරාබිය විසින් සෑම දිනකටම එක මිනිසෙකු තරම් ආසන්න ප්‍රමාණයක් මරා දමන්නේ නීති සම්පාදනය තමනට පවරාගත් ඔටුනු පැළඳි ලෝකයක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙනි.

ඉරකායේ, පාකිස්තානයේ, යෙමෙන් හි එකිනෙකා හා යුද වදින කල්ලි විසින් හිස් ගසා දමමින් මිනිසුන් මරණ හැටි සොයාගන්නට අවශ්‍ය ඕනෑම අයෙකුට (චීනයේ දී හැර) අද තම ස්මාට් ෆෝන් එකෙන් පුළුවනි. අනෙක, දිනන්න බැරි යුද්ධ වලට තවමත් යනවා නම්, නිදහස් මිනිස්සු බලලෝභීන් අතින් මැරෙන්න කළින් බේරාගන්න යනවා නම්, එහෙනම් ඇයි හොංකොං වැසියන් වෙනුවෙන් වහාම ඇමෙරිකන් හමුදාවක් යවන්න බැරි?!!!!

බටහිර ආක්‍රමණිකවාදය සහ බටහිර කුමන්ත්‍රණවාදය ගැන කියන්නට පසුබට නොවෙන, තමන් උඩුගං බලා පිහිනනවා යැයි කියාගත්තවුන් ද, ඒවා ගැන කිසිත් නොකියා ඒත් ඉස්ලාමීය දේශය හදන්නට යන අය නැතිභංග කරන්නට සිරියාවට ගහන එක අවශ්‍ය යැයි ද, කමක් නැතැයි ද, කියති.

ජනතා හතුරෙක් නැත්නම් හතුරාගෙන් ජනතාවගේ ආරක්ෂාව සලසන නායකයා තමන් යැයි කියාගන්නට ද නොහැකියි. බුෂ් පුතාට ත්‍රස්තවාදී හතුරෙක් අවශ්‍ය වූවා සේ බරක් ඔබාමාටත් ත්‍රස්තවාදී හතුරෙක් අවශ්‍යයයි. ඉස්ලාමීය දේශයක් හදන්නට යන අයව මුලිනුපුටා දමන්නට යැයි ඇමෙරිකාව මුල් වී යුද්ධයක් පටන් ගත්තාම, ඔවුන්ටත් ඇමෙරිකන් හතුරා ලැබේ.

ඉස්ලාමීය දේශයක් හදන්නට එකතු වෙන අයට වැඩියෙන් ලෝකය පුරා ඇමෙරිකන් හතුරාට එරෙහිව සටන් කරන්නට එකතු වෙන අය හැමදාම වැඩියි.

ඉතින් ඇමෙරිකන් හතුරා නිසා දැන් ඔවුන්ගේ සංවිධානයට වැඩි අවධානයක් ද, ඒ නිසාම ඔවුනට වැඩියෙන් ආධාර මුදල් එකතු කරගන්නට ද අවස්ථාව පෑදේ.

බුෂ් තාත්තා වේවා, බිල් ක්ලින්ටන් වේවා, බුෂ් පුතා වේවා, නොබෙල් සාම තෑග්ග දිනාගත් බරාක් ඔබාමා වේවා, අනුන්ට නීති හදන්න කැමති බලලෝභීන්ට අවශ්‍ය හතුරෙක් සොයාගන්නටයි. ලෝකයේ බියකරු මුස්ලිම් අන්තවාදයක් පැතිරෙනවා යැයි බටහිර රටවල බලලෝභීන් කියද්දී ලංකාවේ ද මුස්ලිම් අන්තවාදයක් පැතිර යනවා යැයි කියන්නට ලංකාවේ බලලෝභීන් ද පෙරට එති. ඒ කිසිවෙකුට තමන්ගේ අන්තවාදීග්‍රාහීත්වය දකින්නට නොහැක!!!!!!

වැරද්ද ඇත්තේ අයෙක් අන්තවාදයක එල්බ සිටීම ද?

වැරැද්ද ඇත්තේ අන්තවාදයක් පෙරටු කරගනිමින් මිනිස් ජීවිත හිංසනයට එළඹීම ද?

ඉස්ලාමීය දේශයක් හදන්නට යන ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම හා පරම වශයෙන්ම භූමි කොට්ඨාශයක හිර වී සිටින සහ හතුරන් විසින් වටකරගත් කොටසකි. ඔවුන් විසින් ආක්‍රමණය කර පාලනය කරන බටහිර ඉරාකයේ සහ නැගෙනහිර සිරියාවේ සුන්නි අරාබි වැසියන් ඔවුන්ට ද්වේශ කරන සහ ඔවුන්ව නැති කර දමන්නට වඩාත්ම කැමති පිරිසයි. භූමියේ පිහිටීම සහ වටේම ඉන්නා හතුරන් නිසා මේ ත්‍රස්තවාදීන්ට වැඩි කාලයක් එහි පැවත්ම ආරක්ෂා කරගත නොහැකියි. නමුත් ඇමෙරිකන් හතුරෙක් එද්දී, ලෝකයේ වෙන තැන් වල සිටින ඇමෙරිකන් හතුරන් ද ඔවුන් සමඟ අත්වැල් බැඳ ගැනීම එදත් සිද්ධ විය. අදත් සිද්ධ වේ. හෙටත් සිද්ධ වෙනු ඇත.

ඇමෙරිකාව සිරියාවට බෝම්බ දැමීම හරි හොඳ වැඩක් කියමින් දැන් හුරේ දමන අය, ඒ ඉස්ලාමීය දේශයක් හදන්නට යන ත්‍රස්තවාදීන්ට අවශ්‍ය වූයේ ද ඇමෙරිකාවේ හතුරෙක් වී ඇමෙරිකාවේ අනෙකුත් හතුරන්ගේ සහාය ලබාගන්නට බව නොදැක්කා සේ සිටිති.

ඕවා ඇමෙරිකාව පටන් ගත්තු මැදිහත්වීම් වල ප්‍රතිඵල යැයි කීම තවත් අමනෝඥ හැදියාවකි. මේ තත්වය 99.9% ක් ඇමෙරිකාවේ වරද යැයි 100% ක් පැහැදිලි නම් ස්කොට් හෝර්ටන් පෙන්වා දෙන්නේ, ඊ ළඟ යුද්ධයෙන් පහුගිය යුද්ධයේ වැරදි විසඳේවි යැයි කියමින්, මේ පාර ඒක වෙනස් නොකියා, මැද පෙරදිග මැදිහත්වීම් වලින් ඇමෙරිකාවට අයින් වී සිටීමට වඩාත්ම සුදුසු අවස්ථාව මේ දැන් යැයි කියායි.

“බඩු භාණ්ඩ මායිම් ඉක්මවා නොයන විට, සොල්දාදුවන් එසේ යනු ඇත.” -ෆ්‍රෙඩරික් බැස්ටියාට්

බඩු භාණ්ඩ මායිම් ඉක්මවා යා යුත්තේ ආණ්ඩු අතර ගහන ගිවිසුම් වලින් නොව වෙළෙන්ඳන් අතර ගහන ගිවිසුම් වලින් බව බැස්ටියාට් පෙන්වා දුන්නේය.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Chanaka Munasinghe said, on සැප්තැම්බර් 29, 2014 at 9:15 පෙ.ව.

    This time it’s different- කියල සර් ජෝන් ටෙම්පල්ටන් කියපු කතන්දරෙත් කියන්නකො අපිට

    • arunishapiro said, on සැප්තැම්බර් 29, 2014 at 12:51 ප.ව.

      Chanaka Munasinghe,

      ඒක කතන්දරයක් නෙමෙයි. කොටස් වෙළඳපොල ආයෝජකයන්ට ඔහු දෙන ලද උපදෙස් අතරින් එකක්. ඉතිරි කරන්න, වියදම් කරන්න එපා, කීමත් ඔහුගේ අවවාදයක්. ටෙම්පල්ටන් ජීවිතය පටන් ගත්තේ දුප්පතෙක් විදියට. අරපිරිමැස්ම සහ කට්ට කෑමෙන් තමයි ඔහු මහා ධනකුවේරයෙක් වෙන්නෙ. ණයට අරන් ආයෝජනය කළත් ඔහු ණය අරන් පරිභෝජනය කිරීමෙන් වැළකී සිටියෙක්.

  2. Krishna Ramanayaka said, on සැප්තැම්බර් 29, 2014 at 11:14 පෙ.ව.

    කියන දේ ගැන ගැටලුවක් නෑ !! නමුත් ක්ෂණිකවම යුධ විසඳුම් අවශ්‍ය තැනකට එය දිය යුතු නොවේද..උදා – isis ඇමෙරිකාවේ යටි අරමුණු කෙසේ වෙතත් මේ වෙලාවෙ එය ඇමරිකාව කිරීම . සිදුවිය යුත්තක් නොවේද ( ඔබේ අන් කරුණු සමග 100% ක්ම එකගයි )

    • arunishapiro said, on සැප්තැම්බර් 29, 2014 at 12:59 ප.ව.

      Krishna Ramanayaka,

      //උදා – isis ඇමෙරිකාවේ යටි අරමුණු කෙසේ වෙතත් මේ වෙලාවෙ එය ඇමරිකාව කිරීම .// ??? පැහැදිලි නැහැ.

      යුද විසඳුමක් අවශ්‍ය හතුරා තමන් ඉදිරියට ඇවිත් අවි අමෝරා පහර දෙන්නට සූදානම් නම් පමණි. ලංකාවේ වැසියන්ට මරාගෙන මැරෙන බෝම්බ දමාගත් ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙද්දී යුද විසඳුමක් අවශ්‍ය විය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: