අරුණි ශපීරෝ‍ වෙතින්

බලකාමය සහ මෝඩකම යන දෙකම හොඳ චේතනා නොවේ

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 2, 2014
Photographer: Lakruwan Wanniarachchi

Photographer: Lakruwan Wanniarachchi

තමන් උඩුගං බලා පිහිනනවා යැයි පාරට්ටු බාන අය හිටියාට හැම පැත්තකින්ම දකින්නට ලැබෙන්නේ ගලන අතටම අනිකුත් අයටත් වඩා වේගයෙන් පිහිනන අයයි. වෙනසක් ගෙනෙනවා යැයි පොරොන්දු වෙන සියල්ලන්ම පෙනී සිටින්නේ අනුන්ට නීති හදන අසාර්ථක ක්‍රමයේය.

සාමූහිකත්වය අගයන මිනිස්සු ඇයි මේ උඩුගං බලා යනවා යැයි කියාගත්තාව වීරයෙක් සේ දකින්නේ යැයි ද තවත් අවුලකි!!!!

හතුරෙක් මවා පාමින් කල්ලියේ බලය තමන් අතට ගන්නට උත්සාහ කළ බලලෝභින් බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් මුලින්ම ගැලවුන ඇමෙරිකාවේ ද සිටියහ. එහෙත් 1796 දී “ව්‍යාජ ජාත්‍යාලය මවා පාන රැවටීම්කරුවන්ගෙන් ආරක්ෂා වෙන්න,” යැයි කියූ ජෝර්ජ් වොෂිංටන් වැන්නෙක් 1948 ලංකාවේ නොසිටියේය. 1787 දී ව්‍යවස්ථා සමුළුවේ අවසන් වාද වටය නිම වී නිදහස් ශාලාවෙන් පිට වී යන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් වෙතින් කාන්තාවක් “ඉතින් ඩොක්ටර්, අපිට ලැබුනේ මොකක් ද, ජනරජයක් ද රාජාණ්ඩුවක් ද?” යැයි විමසීය. ඔහුගේ පිළිතුර වූයේ “ජනරජයක්, අපට තියාගන්නට හැකිනම්,” කියායි.

නිදහස යන්න ව්‍යවස්ථාවක ලිව්වාට, සම්මත කරගත්තාට ඉබේ ආරක්ෂා වෙන්නේ නැත. එක පුද්ගලයෙකුගේ නිදහස කප්පාදු වෙන සෑම අවස්ථාවකම සමාජයක සියළු සාමාජිකයන්ගේ නිදහස ද කෙමෙන් කප්පාදු වෙන්නට පටන් ගනියි. ඒ නිසා නිදහස ආරක්ෂා කරගන්නට නම් නිතර දෙවේලේ විමසිල්ලෙන් සිටිය යුතුයි. නැත්නම් ජනරජයක දීත් රාජාණ්ඩුවක ලෙස ක්‍රියාකරන අයව ඊට අකමැති ජනතාව විසින්ම පත්කර ගෙන ඇතිබව දකින්නට ලැබේ.

මම අකැමති නිසා පමණින් යම් දෙයක් කරන්නට වෙනකෙකුට නිදහසක් මම නොදෙන්නේ නම්, ඔහු අකමැති වූ මම කැමති දෙයක් මට කරන්නට ද නිදහසක් සාමකාමීව ලැබෙන්නේ නැත. ඒ කෙසේදැයි වටහාගත හැකියාව නැතිවෙද්දී, නිදහස නිසා දෙදෙනාගේම ජීවිත යහපත් වෙන ආකාරය වැටහෙන්නේ නැත. ඉතින් දෙදෙනාගේම නිදහස කප්පාදු කරන්නට අහක ඉන්න බලලෝභීයෙක්ට බලය අල්ලාගත හැකියාව ලැබේ.

මිනිස් වර්ගයාගේ ප්‍රගතිය අනිවාර්යෙන්ම සිද්ධ වන්නක් නොවේ. ඉතිහාසයේ අඳුරු යුගයන් බොහොමයකි. ආයුෂ දීර්ඝ වීම, දැනුම වර්ධනය, වළක්වාගත හැකි රෝගාබාධ අඩුවීම, උප්පත්තියේ දී ම මිය යන සංඛ්‍යාව පහළ යෑම, මන්ද පෝෂණයෙන් පෙළෙනවුන් අඩුවීම යනාදිය ක්‍රමානුකූලව යහපත් පැත්තට පමණක් ගමන් කරන ලද ඉතිහාසයක් මිනිසාට නැත. සමහර යුගයන් හි දී මිනිසා වේගයෙන් ප්‍රගතිය සාක්ෂාත් කරගත්තෙකි. තවත් කාල වකවාණු වල දී කළින් ලැබූ දියුණු තත්වයන් බොහොමයක් වේගයෙන් අහිමි කරගත්තෙකි.

සම්මාදිට්ඨිය යනු තමන් විසින් වටහා ගත යුත්තකි. එහෙත් සිංහල බෞද්ධයන් අද පෙනී සිටින්නේ අනුන්ගේ සම්මාදිට්ඨිය කුමක් විය යුතුදැයි තීරණය සඳහා නම් ඔවුන් බෞද්ධයන් ද?

චතුරාර්ය සත්‍යයක් හැටියට දුකට හේතුව තණ්හාව යැයි බුදුන් වදාළහ. ධනවතාට ඔහුගේ වස්තු සම්පත් වලට තණ්හාවක් ඇතැයි කියා ඒවා බලහත්කාරයෙන් උදුරාගෙන දුප්පතුන්ට බෙදා දෙන්න යැයි බුදුන් වදාළේ නැත. තමන්ගේ පියරජු ලවා රටවැසියන්ට නීති හදන්නට නොව බුදුන් වෙහෙසුනේ එක එක පුද්ගලයාට ධර්මය කියා දෙන්නටයි. ධර්ම සංගායනා පැවැත්වූයේ ධර්මය පැහැදිලි කරගන්නටයි. නැතිව රටේ නීති මොනවාදැයි තීරණය කරන හෝ ඒවාට බලපෑම් කරන බලය අල්ලා ගන්නට නොවේ.

ධනවතාට ඔහුගේ වස්තු සම්පත් වලට තණ්හාවක් ඇතැයි ගිරව් මෙන් කියන අයට බලලෝභය ද තණ්හාවක් බව වටහා ගැනීම ඉතා අසීරු ඇයි?!!!!

මේ අනගාරික ධර්මපාලගේ 150 වැනි ජන්ම සංවත්සර වසරයි. ඒ අනුස්මරණ දේශනයක දී මහාචාර්ය ජේ. බී. දිසානයක විසින් කියන ලද්දක් ලංකාවේ ඉංග්‍රීසි පුවත්පතකින් කියැවීමි. බුද්ධ ශාසනය නඟාලීමටත්, ලෝකයට බුදු වදන ගෙන යාමටත් අඩුම වශයෙන් තව 25 වතාවක් හෝ නැවත ඉපදෙන්නට කැමැත්තක් අනගාරික ධර්මපාලට තිබුණාලු. ඉතින් අප්පමාදෝ අමතපදං යන්න වටහා නොගෙන බුදු දහමේ චිරස්ථායී බව වෙනුවෙන් පෙනී සිටි අනගාරික ධර්මපාල වීරයෙක් වූ බෞද්ධයන් තමන් නිවන් දැකීම කල් දානවා යැයි කියන බවක් ඇහෙද්දී එය පුදුමයක් නොවේ.

එසේම සම්මාදිට්ඨිය ප්‍රතික්ෂේපය නිසා බුද්ධාගම කුමක්දැයි අමතක වී ඇති රටක වැසියන් නිවන් දැකීම කල් දැමීම කරන්න පුළුවන් ද බැරි ද ගැනත් සංවාදයක් ගෙන යනවා ඇසීමත් පුදුමයක් නොවේ!!!!!

මියන්මාරයේ මුස්ලිම් වැසියන් ඝාතනය කළ 969 සංවිධානයේ නායක අශාන් විරතු ද අනුන්ට හොඳ මොනවාදැයි තීරණ ගන්නට තණ්හාධික වූ බලලෝභියෙකි. බුද්ධාගමේ සහ මුස්ලිම් ආගමේ අය අතර විවාහ වලට අවසර නොදෙන්න යැයි නීති ගෙනෙන්නට යෝජනා කරන, රොහින්ග්යා මුස්ලිම් වැසියන් වෙනත් රටකට පිටමං කරන රාජ්‍ය සැලැස්මකට පක්ෂ වූ, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න යැයි පෙනී සිටින්නෙකි.

වස්තු සම්පත් ලෝභී තණ්හාධික ධනවතා ඉන් තම නිවන කල්දමා ගත්තෙකි. ඔහු වස්තු ගොඩගහන්නට රටේ නීති කඩා ඇත්නම් ඔහුව සිරගෙදරට යැවිය හැකියි. එහෙත් අනුන්ට නීති හදන බලලෝභී තණ්හාධිකයෙක් නූගත් ජනතාව විසින් වීර නායකයන් කරගනිද්දී සිරගෙවල් වලට වැඩියෙන් යන්නේ ඒ නූගත් ජනතාවයි. ජීවිත අහිමිවෙන්නේ ඒ නූගත් ජනතාවටයි.

යුරෝපය යුදෙව්වන්ට සැලකූ ආකාරයෙන් ලෝකයේ බෞද්ධයන් වඳ කරන්නට යන මුස්ලිම් ජනකොට්ඨාශයක් ලොව නැත. ඇමෙරිකාවට ඉස්ලාමීය දේශයක් හදන්නට යන ත්‍රස්තවාදී හතුරා අවශ්‍ය මෙන්, ඉස්ලාමීය දේශයක් හදන්නට යන අයට ඇමෙරිකන් හතුරා අවශ්‍ය මෙන්, සිංහල බෞද්ධයන්ට ද දැන් පොදු හතුරෙක් පෙන්වා අනුන්ට නීති ගෙනන තම බලය වැඩිකරගන්නට යන බලලෝභීන් කොට්ඨාශයක් ලැබී ඇත. එවැනි බලලෝභීන්ව වීරයන් සේ දකිනවා ද නැද්ද යන්න අනුව සිංහල බෞද්ධයන්ගේ අනාගතය තීරණය වෙනු ඇත.

ස්මාට් ෆෝන් අතැති වුවත්, ‘එව බලව’ භාවිතයට නොගන්නේ නම් බෞද්ධ යැයි කියාගැනීම නමට කරන්නක් පමණි. ලොව ආශ්චර්යයමත් තම ඒකීය පුද්ගල මෝක්ෂය සාක්ෂාත් කරගත හැකි පැහැදිලි බෞද්ධ දර්ශනය දායාද වූවත්, “එව බලව” භාවිතයට නොගෙන රැල්ලේ යාමේ හුරැවෙන් ගැලවීම ව්‍යාජ ජාත්‍යාලයෙන් අන්ධ වූවන්ට ඉතා දුෂ්කර වූවකි.

“අවංක එහෙත් රැවටුන පරමාදර්ශීවාදීන්,” හැටියට සාමූහිකවාදීන්ව කිසිවිටෙක සැලකිය නොයුතුයි. අනෙකුත් අය වෙනුවෙන් කියමින් යම් මිනිසුන් පිරිසක් වහල්ලු කරගැනීම පරමාදර්ශයක් නොවේ; එයින් යෝජනා වෙන්නේ කුමක් වුවත් සාහසිකත්වය යනු ‘පරමාදර්ශීය’ වූවක් නොවේ. බලහත්කාරයෙන් “හොඳක් කරන්න’ යන්න හොඳ චේතනාවක් යැයි කිසිවිටෙක සැලකිය නොයුතුයි. බලකාමය සහ මෝඩකම යන දෙකම හොඳ චේතනාවන් නොවේ. -අයින් රෑන්ඩ් “ඇමෙරිකන්වාදයට පෙළපොතක්”

“Do not ever consider collectivists as ‘sincere but deluded idealists.’ The proposal to enslave some men for the sake of others is not an ideal; brutality is not ‘idealistic,’ no matter what its purpose. Do not ever say that the desire to ‘do good’ by force is a good motive. Neither power-lust nor stupidity are good motives” — Ayn Rand in her “Textbook of Americanism.”

**** සටහනේ ඡායාරූපය Foreign Correspondents Association of Sri Lanka හි අවසරයෙන් පළකරන්නකි. ඡායාරූප ශිල්පියාගේ හෝ එම සංවිධානයේ අදහස් නොව මේ සටහනේ අන්තර්ගතය මගේ දැක්මයි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Sudath Munasinghe said, on ඔක්තෝබර් 2, 2014 at 11:29 ප.ව.

    මෝඩකම යනු චේතනාවක් නොවේ.

  2. Pradeep Jayatunga said, on ඔක්තෝබර් 3, 2014 at 1:12 පෙ.ව.

    //බලකාමය සහ මෝඩකම යන දෙකම හොඳ චේතනාවන් නොවේ//

    අන් සියල්ලට වඩා භයානක මෝඩ සහ / හෝ නූගත් අන්තවාදයයි හෝ උම්මත්තකබවයි. කපටින් හා බල ලෝභීන් සමග එකඟතාවයකට ඒමට හෝ අඩුවශයෙන් උන්ව තේරුම් ගැනීමට හැක. ඒත් “මෝඩකමට බේත් නෑ” (සෑහෙන තේරුමක් තියන විහිලුවක් ). පිස්සන් හා මෝඩයින් අති භයංකාර කොටස්.
    ලොවේ බිහිසුනුම ත්‍රස්තවාදය කියපු LTTE එකට තර්කානුකූල අරමුණු තිබුන. ආගමික අන්තවාදීන්ට එහෙම තියනව කියල සමහරු හිතුවට ආගමික අන්තවාදය මානසික ප්‍රශ්නයක්. (Extremists feed off each other- more extreme enemies the better ! Countering one extremism with another leads to a vicious circle)

    //එව බලව’ භාවිතයට නොගන්නේ නම් බෞද්ධ යැයි කියාගැනීම නමට කරන්නක් පමණි. // //තමන් නිවන් දැකීම කල් දානවා යැයි කියන බවක් ඇහෙද්දී //

    අවිද්යාව දුරු කර ගන්න එක ??

  3. Dasun Chathuradha (@Dasun88) said, on ඔක්තෝබර් 6, 2014 at 4:17 පෙ.ව.

    ස්මාට් ෆෝන් අතැති වුවත්, ‘එව බලව’ භාවිතයට නොගන්නේ නම් බෞද්ධ යැයි කියාගැනීම නමට කරන්නක් පමණි. ලොව ආශ්චර්යයමත් තම ඒකීය පුද්ගල මෝක්ෂය සාක්ෂාත් කරගත හැකි පැහැදිලි බෞද්ධ දර්ශනය දායාද වූවත්, “එව බලව” භාවිතයට නොගෙන රැල්ලේ යාමේ හුරැවෙන් ගැලවීම ව්‍යාජ ජාත්‍යාලයෙන් අන්ධ වූවන්ට ඉතා දුෂ්කර වූවකි.: [ජීවිතේ අහපු පට්ටම පට්ට වචන ටිකක් තමයි මේ..]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: