අරුණි ශපීරෝ‍ වෙතින්

සත්‍ය චේ ගුවේරා කවුදැයි හෙළිදරව්ව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 9, 2014

che

අර්නෙස්ටෝ ‘චේ’ ගුවේරා මිය ගියේ 1967 ඔක්තෝබර් 9 වැනි දිනයි. මීට කළින් චේ ගුවේරා ගැන ලියූ සටහන් මෙතැනින්, සහ මෙතැනින් කියවත හැකියි.

1964 දෙසැම්බර් 11 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා රැස්වීම අමතන්නට චේ නිව් යෝර්ක් නගරයට පැමිණියේය. දිග වැසි කබායක් සහ  රතු තරුවක් සහිත බෙරෙ තොප්පිය ඇදේට පැළඳගත් ඔහුගේ ආරක්ෂාවට පොලීසිය යොදවා තිබිණ. අසලබඩ නිව් ජර්සි හි පදිංචි කියුබාවෙන් පිටමං කරන ලද්දවුන් “ඝාතකයා!” කියමින් චේ ට එරෙහිව උද්ඝෝෂණ කරන්නට පැමිණ සිටියහ. චේගේ ආරක්ෂාවට නිව් යෝර්ක් හි පොලීසිය සීරුවෙන් සිටියහ.

එක්සත් ජාතීන්ගේ ගොඩනැඟිල්ල අසල රොබට් කොනොලි නම් නිව් යෝර්ක් පොලිස් නිලධාරියා සේවයේ යෙදී සිටියේය. ග්ලැඩිස් පේරේස් නම් කාන්තාවක් ස්පාඤ්ඤ බසින් මොර දෙමින් චේ ට පිහියෙන් අනින්නට පොරකද්දී රොබට් සහ තවත් පොලිස් නිලධාරියෙක් නියපොතු සීරුම් සහ හපාකෑම් විඳගෙන ඇය අතින් පිහිය ඉවත් කරන්නට සමත් වූහ.

එක්සත් ජාතීන්ගේ මහා රැස්වීමේ දී චේ ගුවේරා සිය කතාව පැවැත්වීය. “ඝාතන?” ඔහු මඳක් නිහඬ වූයේ එය අසන්නන් සිත් තුල කිඳා බසින තෙක්ය. “සහතිකයෙන්ම, අපි ඝාතන කරනවා!” ඔහු කියා සිටියේ ඒ මහා සභාවේ අත්පොළසන් නාදය මැද්දේය. “අපි දිගටම ඝාතන කරගෙන යනවා එහි අවශ්‍යතාවය ඇති තාක් කල්. මෙය අරගලයේ හතුරන්ට එරෙහිව මරණය දක්වා කරන සටනක්!” යැයි ඔහුගේ වදන් සභා ගර්භය තුල රුව් දුනි.

කොමියුනිස්ට්වාදයේ කළු පොත යැයි හැඳින්වෙන්නෙහි ඒ ගැන පර්යේෂණ පවත්වන ලද්දවුන් විසින් සටහන් තබන පරිදි ඒ දශකය අවසන් වෙද්දී 14,000 ක් කියුබානුවන් නීතිමය ක්‍රියාදාමයකින් තොරව ඝාතනය කරන ලදි.

එදා චේ ගුවේරා එසේ කියද්දී අත්පොළසන් දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පසු කලක දී ස්ලොබොඩාන් ම්ලෝසවිච් අටදාහක් මරන්නට අණ දුන්නා කියා ඔහු සමූල ඝාතකයෙක් යැයි නම් කළහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය බටහිර රටවල කැමැත්ත අනුව කටයුතු කරනවා යැයි සමහර අය සිතති. එක්සත් ජාතීන්ට තිබෙන ඔවුන්ටම ආවේනික වූ හැදියාව කුමක්දැයි මේ අය සොයා බලන්නට නොදනිති.

චේ ගුවේරා එදා එක්සත් ජාතීන් ඉදිරියේ දී මෙසේ ද කියයි, “එක්සත් ජනපදයේ ආණ්ඩුව නිදහස වෙනුවෙන් පෙනී සිටින්නක් නොවේ, එය එරටේම ජනගහණයෙන් විශාල කොටසක් සහ ලෝක ජනතාව පීඩනය කරන සහ සූරා කන්නකි!” අත්පොළසන් නාදය සහ හුරේ දැමිල්ල තවත් වැඩිවේ. යැංකි අධිරාජ්‍යවාදය “කරකියාගත නොහැකිවුන්ව ගිල දමන මාංශ භක්ෂක සතෙක්,” කියද්දී තවත් ප්‍රීති ඝෝෂාවක් සභාවේ පැතිර යයි.

නිව් යෝර්ක් නගරයේ චේ ගෙව්වේ දවස් අටක් පමණි. එහෙත් ඔහුව හමුවෙන්නට ආ අය සියල්ලන්ම තම අපේක්ෂා ඉටුකර නොගත්හ. ලීසා හවර්ඩ් නම් හොලිවුඩ් නිළිය තම මෑන්හැටන් පෙන්ත්හවුස් හි චේ සහ ඩෙමොක්‍රැටික් පක්ෂ සෙනෙට්වරයෙක් සඳහා සාදයක් පැවැත්විය. නිව් යෝර්ක් ටයිම්ස් සඟරාව ඔහුව සම්මුඛ සාකච්ඡාවකට සහභාගී කරගති. “නිදහසේ පාර යන්නේ බුලට් මැදින්,” යැයි චේ එහි දී කීය.

චේ හමුවන්නට පැතූ මැල්කම් X ට ලියන ලද පණිවිඩයක් පමණක් ලැබිණ. මැල්කම් X හාලම් හි ඔඩොබොන් බෝල්රූම් එකට රැස්වූ ජනතාව සමඟ ඒ ලියුම හැර “මේක චේ ගුවේරා වෙතින්,” යැයි කියද්දී ප්‍රීති ඝෝෂාවෙන් ශාලාව දෙදරුම් දුනි. “ඔබත් සමඟ එකතුවෙන්නට ලැබුනා නම් හොඳයි බ්‍රදර් බාබු .. ඒත් කියුබන් ජනතාවගේ සහ විශේෂයෙන්ම ෆිඩෙල්ගේ උණුසුම් සුබ පැතුම්!” යැයි චේ එහි මැල්කම් X ට ලියා තිබිණ.

නිව් යෝර්ක් හි රොකෆෙලර්ලා සහ හොලිවුඩ් නිළියන් සමඟ ගැවසෙන අස්සේ චේ ලිබර්ටි ප්‍රතිමාව, ලිබර්ටි සීනුව සහ වොෂිංටන් ස්මාරකය යනාදිය පුපුරැවා හරින බෝම්බ ප්‍රහාර කළු ජාතිකයන්ගේ නිදහස් බලඇණියක් සමඟ සැලසුම් කරන්නට ද කාලයක් සොයාගෙන තිබුණු බව නිව් යෝර්ක් පොලීසිය, FBI, සහ කැනඩාවේ අශ්වයන් මත නැඟගත් රාජකීය පොලිස් හමුදාව විසින් සොයා ගන්නේ තවත් මාස කිහිපයකට පසුවයි.

එහෙත් මෝඩකම චේතනාවක් වූ ලෝකයක එයින් මිදෙන්නට නොව එහි ඇලී ගැලී සිටින්නටම මිනිසා පෙළඹෙයි.

2004 දී නිව් යෝර්ක් මහජන පුස්තකාලයේ ඇති තෑගි කඩයේ චේ ඔරලෝසු විකුණන ලදි.

2005 දී “හාවානා හි සාහිත්‍ය” නමින් උත්සවයක් නිව් යෝර්ක් මහජන පුස්තකාලයේ දී ම පැවැත්විණ.

නිව් යෝර්ක් පුස්තකාලයේ අය එවැනි තීරණ ගන්නේ මෝඩකම චේතනාවක් කරගෙනයි.  ජෝර්ජ් ඕර්වෙල් ගේ “1984” ප්‍රබන්ධය කියවන්නට දීම යනු කඩාකප්පල්කාරී අදහස් බෙදා හැරීමක් කියා කැස්ත්‍රෝගේ කියුබාවේ ඒ වරදට වසර 25 ක් සිරබත් කන පුස්තකාලාධිපතිවරු දහ දෙනා ඔවුනට සිහිවෙන්නේ නැත. 2004 දී සිරබත් කන ඔවුන් 10 දෙනා සමඟ සිරබාරයේ සිටින තවත් 65 ක් නිදහස් කරන්නට යැයි ඇමෙරිකන් පුස්තකාල සංගමය එක්සත් ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේය.

එදා “සහතිකයෙන්ම, අපි ඝාතන කරනවා!” කියද්දී චේ ගුවේරාට ශාලාව දෙදරන්නට අත්පොළසන් දුන්නේ එක්සත් ජාතීන් විසිනි. මෙදා එක්සත් ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් කොමිසම ප්‍රබන්ධයක් බෙදා හැරි නිසා සිරබත් කන දහ දෙනෙක් නිදහස් කරන්නට යන ඉල්ලීම නොසලකා හැර කැස්ත්‍රෝ ගැන කිසිත් වරදක් නොකියා මුනිවත රකිති.

බුද්ධි හීන ලෝකයක බුද්ධිමතෙක් ජීවත් වන්නේ කෙසේද?

උම්බෙර්ටෝ ෆොන්ටොවා 2007 දී ලියන ලද “සත්‍ය චේ ගුවේරා කවුදැයි හෙළිදරව්ව: සහ ඔහුට අතිශයින් ඇලුම් කරන ප්‍රයෝජනවත් මොට්ටයන්” පොත ඇසුරිනි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Arjuna Ahangama said, on ඔක්තෝබර් 9, 2014 at 12:49 ප.ව.

    Would love to see ur review on “confessions of an economic hitman” 🙂

  2. atampahura said, on ඔක්තෝබර් 9, 2014 at 8:46 ප.ව.

    අළුත් පරම්පරාවට නං චේ ගේ තියා බොබ් මාලෙගේ වත් වටිනාකමක් නැ , සමහරු කවුද කියල දන්නෙත් නැ , උන්ට ටී ෂර්ට් එකකට කැප් එකකට වාහනේකට ගහන පට්ට ස්ටිකරයක් විතරයි

    • arunishapiro said, on ඔක්තෝබර් 19, 2014 at 10:55 පෙ.ව.

      atampahura,

      අගය කළ යුතු කොටස සහ හෙළා දැකිය යුතු කොටස වෙන්කර හඳුනාගන්න නම් චේ ගැන විතරක් නෙමෙයි ඕන කෙනෙක් ගැන සම්පූර්ණයෙන් දැන සිටිය යුතුයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: