අරුණි ශපීරෝ‍ වෙතින්

මලාලා, නොබෙල් තෑගි සහ බටහිර කුමන්ත්‍රණ

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 19, 2014
රැසියාවේ සාර්ට මුහුදු බෝම්බ වලින් නැව් ගිනිබත් කරන හැටි පෙන්වූ ආකාරය ගැන ඉමැනුඑල් නොබෙල් විසින් අඳින ලද්දකි.

රැසියාවේ සාර්ට මුහුදු බෝම්බ වලින් නැව් ගිනිබත් කරන හැටි පෙන්වූ ආකාරය ගැන ඉමැනුඑල් නොබෙල් විසින් අඳින ලද්දකි.

ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ පියා වූ ඉමැනුඑල් නොබෙල් ක්‍රයිමියා යුද්ධයේ දී රුසියාවේ සාර්ට මුහුදු බෝම්බ හදා දුන් අයයි. ඇල්ෆ්‍රඩ් නොබෙල් ලොවට දායාද කළේ ඩයිනමට්. ප්‍රංශ-පෲසියන් යුද්ධයේ දී පෲසියන් (ජර්මන්) අය ද පසුව ප්‍රංශ අය ද යුද්ධ සඳහා ඩයිනමයිට් භාවිතා කළහ.

තමන්ගේ ඩයිනමයිට් කම්හල් ගැන ඇල්ෆ්‍රඩ් නොබෙල් 1891 දී ඔස්ට්‍රියන් කවුන්ටස් බර්තා වොන් සට්නර්ට මෙසේ කියා ඇත: “සමහර විට මගේ කම්හල් යුද්ධයට තිතක් තියාවි ඔබේ කොංග්‍රසයට කළින්. යුද හමුදා දෙකක් එකිනෙකාව ක්ෂණයෙන් සහමුලින් තුරන්කර දැමිය හැකියාව ඇතැයි දකිද්දී සියළු සභ්‍ය ජාතීන් එම බීහත්ස්‍ය දැක තමන්ගේ යුද හමුදා අහෝසි කර දමනු ඇත.” එහෙත් පළමු ලෝක සංග්‍රාමය තුලින් ඔහුගේ ඒ මතය කොතරම් වැරදි දැයි දකින්නට ඔහු ජීවත්වූයේ නැත.

ඇල්ෆ්‍රඩ්ට වඩා ඇල්බට් (අයන්ස්ටයින්) පරමාණු බෝම්බයෙන් ලෝක යුද්ධ වලට තාවකාලික විරාමයක් ලබා දුන්නාදැයි විවාද කළ හැකියි. ඇල්බට් කියූ එක ප්‍රකාශයක් නම් “අයෙකුට බැහැ එකවර යුද්ධය වළක්වන්නට සහ යුද්ධයට සූදානම් වෙන්න,” කියායි. ඔහු කියූ තවත් ප්‍රකාශයක් නම්, “තුන්වැනි ලෝක යුද්ධය සටන් වදින්නේ මොන ආයුධ වලින් දැයි මා නොදනිමි, ඒත් හතරවැනි යුද්ධය නම් සටන් වදින්නේ මුගුරු සහ ගල් වලින්.”

1890 ගණන් වල දී ආයුධ තාක්ෂණ වෙනුවෙන් වැඩි කාලයක් කැප කළ ඇල්ෆ්‍රඩ් නොබෙල්ට උවමනා වූයේ තවත් ධනවෙතක් මිය ගියාය යන මරණ දැන්වීම පමණක් ලොවට ඉතිරිකර සමුනොගන්නටයි. ලෝකයේ සාමය ස්ථාපිත කරන්නට කැපවුන පුද්ගලයන් අගය කිරීම ගැන කොතරම් උවමනාවක් ඔහුට තිබුණා දැයි යන්න ගැන විවාද කළ හැකියි.

විද්‍යා ක්ෂේත්‍රයන් හැරුණු විට සාම, ආර්ථික විද්‍යා, සාහිත්‍ය යන නොබෙල් තෑගි දේශපාලනීකරණයෙන් සිද්ධ වීම පුදුමයක් නොවේ.

සාමය සාක්ෂාත් කරන්නට යුද බලයෙන් හැකි යැයි සිතන අය ලොව සිටිති. සාමය සාක්ෂාත් කරන්නට ඒකීය පුද්ගලයන්ට එකිනෙකා හා ගණුදෙනු වලට ඉඩ දීමෙන් හැකි යැයි සිතන පිරිසක් ලොව සිටිති. පළමු කොටස නැවත නැවතත් එයට නොහැකියාව මනාව පෙන්නුම් කරති. දෙවැනි කොටස ලැබෙන ඇබිත්තන් ඉඩකින් පවා එය කළ හැකි යැයි ඔප්පු කරති.

ආර්ථික විද්‍යාවේ ප්‍රධාන බෙදීම ඔස්ට්‍රියන් සහ ඔස්ට්‍රියන් නොවන අය අතරයි. ඔස්ට්‍රියන් අය ආණ්ඩුවේ මැදිහත්වීම් අඩුවෙන තරමට ආර්ථිකයක් සංවර්ධනය වෙන ආකාරය ඔප්පු කරති. ඔස්ට්‍රියන් නොවන අය නැවත නැවතත් අනේක විධ මහා පරිමාණ උත්සාහ ගෙනෙමින් මැදිහත්වීම් නිසා ආර්ථිකයන් බංකොළොත්වෙන ආකාරය ඔප්පු කරති.

සාහිත්‍ය කෘතියක් එකම විදියට රස විඳින දෙදෙනෙක් සොයාගත නොහැකියි. එවැනි ක්ෂේත්‍රයකට ත්‍යාගයක් ලැබිය යුතු ද යන්න විවාද කළ හැකියි. සාහිත්‍යයටත්, සිනමාවටත්, සංගීතයටත් සම්මාන ලැබෙන ලෝකයක අපි ජීවත් වෙමු. ඒ අය ඒ අයට සම්මාන හා තෑගි දී ගත්තාට අපි ඒ නිර්මාණ අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්‍රදායක් කොතැනකවත් නැත.

හොලිවුඩ් ඔස්කාර් සම්මාන ලැබුණු චිත්‍රපටි අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්‍රදායක් කොතැනකවත් නැත.

නොබෙල් සාම, ආර්ථික විද්‍යා, සාහිත්‍ය තෑගි නිසා අපි ඒ ලැබුණ අයව හෝ ඒ අදහස් හෝ ඒ නිර්මාණ අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්‍රදායක් කොතැනකවත් නැත.

නොබෙල් විද්‍යා තෑගි හිමිවූ අයගේ නිර්මාණ හේතුවෙන් මිනිස් ජීවිත අදට වඩා හෙට අනගි කරගන්නට ලැබෙන හැකියාව ඒවා ගැන සොයාබලන්නට දන්නා අයත් නොදන්නා අයත් දෙගොල්ලන් විසින්ම අත්දකින්නකි. එහෙත් නොබෙල් විද්‍යා තෑගි හිමි නොවූ අගනා විද්‍යා නිර්මාණ දිනපතා කළ එළි බසිති. තෑගි ලැබුණ ඒවා හෝ තෑගි නොලැබුණ ඒවා අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්‍රදායක් කොතැනකවත් නැත.

තම ජීවිතය අනගි කරන දේවල් ලැබුනේ කෙසේදැයි නොදැන, එයට කිසිම අගයක් නොදී (අන්තර්ජාලය, එන්නත්, මොබයිල් දුරකතන යනාදිය) දිනපතා භාවිතා කරන මිනිස්සු කොතරම් ලොව සිටිනවා ද?!!!!!!

සිළුමිණ විශේෂාංගයක් ලියන ටිරෝනි වෑවලගේ හැමදාම දකින්නට ලැබෙන ලංකාවේ සිංහලෙන් කියවන්නාට ලැබෙන අවුල් එලෙසින්ම ඉදිරිපත් කරන්නට විශිෂ්ඨ ලෙසින් සමත් වී ඇත. ඒත් ඉතින් දැන් කාලේ ලෝකවාසීන් එක්ක සිංහලෙන් අදහස් බෙදාගන්නට මා වැනි මාධ්‍යවේදීණියක් නොවන ගෘහණියකටත් හැකියාව ලැබීම කාගේ වාසනාව ද?!!!!! 😀

අවුල හැදෙන්නේ මෙහෙමයි: ඇය මෙසේ ලියයි: “අද නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ බටහිර දේශපාලනික අරමුණු වෙනුවෙන් ඉත්තන් බවට පත්වන පුද්ගලයන්ට ප්‍රසිද්ධිය ලබා දීමටය.” පළමු වචනය හැරෙන්නට ඇය නිවැරිදියි. “අද” විතරක් නෙමෙයි, ආරම්භයේ පටන් සිද්ධ වූයේ එයයි.

ඊ ළඟට ටිරෝනි වෑවලගේ සටහනට සිරස්තලයක් වැටෙන්නේ “සී.අයි.ඒ. වෙඩිපහර මලාලාට නොබෙල් තෑග්ග ලබා දෙයි,” කියායි. සටහන් වලට වැටෙන සිරස්තල ගැන ලේඛිකාවට දෝෂාරෝපණය නොකරන්නට කියවන්නා මතක තබාගත යුතුයි. සටහනේ (අන්තර්ජාලයෙන් කියවන්නට හැකි කොටසේ) එවැනි අදහසක් ලියැවී නොමැත.

ටිරෝනිගේ සටහනේ අවසානයේ මහත්මා ගාන්ධිට සාම තෑග්ගක් දෙන්නට නොබෙල් කමිටුවට අමතක වී දැයි ලිවීම ඒ නිසා වැරදි උපකල්පනයකින් වැරදි නිගමනයක් කරා එළඹීම පෙන්නුම් කරයි. ගාන්ධි අඩු වයසේ කෙල්ලන් හා නිදි යහනේ පර්යේෂණ පැවැත්වීම මෙතැන දී අදාල නැත.

ඒත් බටහිර අරමුණු හෝ බටහිර කුමන්ත්‍රණ යැයි ගනිද්දී බටහිර රටවල දෙපැත්තක් ඇති බව බහුතර ලෝකවාසීන් නොදිනිති. බටහිර එක පැත්තක් රාජ්‍ය මැදිහත්වාදය ඉත සිතින් වැළඳගන්නා අයවෙති. ඉස්ලාමීය දේශය හදන්නට යන අයට ඇමෙරිකාව විසින් පහර දිය යුතුයි යන්නට ඔවුන් එකඟ වෙති. ඇමෙරිකාවේ ඒකීය පුද්ගල නිදහස් උත්සාහයන් මැඬලීමට ආණ්ඩුවට බලය දිය යුතු යැයි ඔවුන් එකඟ වෙති. එසේ එකඟ වෙන ගමන්, එහි ප්‍රතිඵලය ලෙස ඇමෙරිකන් ආණ්ඩුව කරන විනාශයන් උලුප්ප උලුප්පා කතාකරන්නේ මේ අයමයි. හරියට ලංකාවේ අය රටේ පෞද්ගලික අංශය මෙල්ල කරන්නට ආණ්ඩුවට බලය පවරමින් හැමදාම “බලයේ ඉන්න මේ රජයේ” වැරදි ගැන කතා කරමින් සිටිනවා වැනියි!!!!!

ඇයි මට මලාලාගේ නොබෙල් තෑග්ග ගැන ප්‍රශංසා කරන්නට බැරි” යැයි සටහනක් මෙසේ ඉංග්‍රීසියෙන් ලියැවී ඇත. මලාලාව ඩ්‍රෝන් ප්‍රහාරයකින් මැරුවා නම් ඇයගේ නම එක්සත් රාජධානියේ මාධ්‍යයකින් ඇසෙන්නේ නැතැයි ජෝර්ජ් ගැලොවේ ටීව්ට් කරයි. ඔබාමා ගෙනයන ඇමෙරිකන් ඩ්‍රෝන් ප්‍රහාර රටේ ව්‍යවස්ථාව උල්ලංඝණයකි. ලෝකයේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා යුද වදින්නට ලොව ඕනෑම තැනක වැසියෙකුට රහසිගත හේතු, රහසිගත සාක්ෂි, නම්ගම් සඟවන ලද නිලධාරීන්ට රහසිගත ආකාරයකින් කරන්නට හැකියාව ලැබෙන බලයක් රටේ විධායකයට පවරා නැත යැයි ජෝන් ඔලිවර් පෙන්වා දෙයි.

මලාලා සමඟ සංසන්ඳනයක් කරන්නට තවත් සටහනක් යොදා ගන්නේ නැබිලියාගේ කතාවයි. ඒත් රිපබ්ලිකන් ජනාධිපතිවරයෙක් සිටියා නම් පමණක් දොස් කීම හැදියාව කරගත් ලෝකයක, නබියා සිය ඛේදවාචකය ඇමෙරිකාවේ කොංග්‍රසයට පැමිණ කියද්දී බරක් ඔබාමා තවත් දේවල් වලට අමතරව ආයුධත් නිෂ්පාදනය කරන ආණ්ඩුවේ වරප්‍රසාද ලැබෙන ලොක්හීඩ් මාටින් කොම්පැණියේ CEO සමඟ රැස්වීමක සිටීම ගැන කිසිවක් නොකියති.

රාජ්‍ය මැදිහත්වාදය අගයන අය ඊට ප්‍රංශසා කරන්නට අවස්ථාවක් කරගන්නේ පාඨකයා අවුලක පටලැවීමෙනි.

රාජ්‍ය මැදිහත්වාදයක් නැත්නම් මලාලාට තෑග්ගක් දෙන්නට පවා අවශ්‍යතාවයක් ඇතිවේවි ද?

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. රහස said, on ඔක්තෝබර් 19, 2014 at 11:00 පෙ.ව.

    මම සිළුමිණ පත්තරේ ඔය කියන ලිපිය අකුරක් නෑර කියෙව්වා. ඒ කියවිල්ලෙදි මලාලා ගැන මගේ හිතේ තිබුනු පැහැදිම පළුදු වුනා දෝ කියලත් මට හිතුනා. බලාන ගියාම මේ හැමදේම කලින් සූදානම් කරපු නාට්‍ය වගේ. වැඩේ හරියට කරේ නැහැ කියල මලාලාට වෙඩි තියපු අයම මලාලාට තෑගි දෙන්න හදනවා.
    ඒ ලිපියේ තිබ්බ පින්තූරයේ දැක්කේ බැරක් ඔබාමා ,ඔහුගේ භාර්යාව සහ දියණිය මලාලා සමඟින් සුහද කතාබහක නිතරවන අයුරු.

    කියවිල්ල වැඩි නිසා ම වෙලාවකට මාව නන්නන්තාර වෙනවා. එහෙම වුනු තවත් එක සිද්ධියක් තමා බුරුමයේ අවුන්සාන් සුකී.කලක් වීරවරියක් වුනු ඇය , මගේ කියවිල්ල වැඩි නිසා ම ඈ ගැන තිබ්බ පැහැදීම නැති වෙලාගිහින් ඇය වංචාකාරියක් ගානට වැටුනා.

    මලාලාටත් ඒ දේම වෙයිද මන්දා. ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතු බව ඇත්ත. ඒත් ඇත්ත යුත්ත හිතා ගන්න ගියාම මනස පැටලෙනවා….

    අරුණි අක්කා වුනත් හැමවෙලේම ලියල ලියල ඉතිරි කරන්නේ කියවන්නාට හිතාගන්න ඉඩ ඇරල නෙ… 🙂

  2. හලෝව් රස්ටා said, on ඔක්තෝබර් 19, 2014 at 12:50 ප.ව.

    ටී වී එකේ ඔය ගැන ප්‍රවෘත්තිය දකිනවිටම මේ තෑගී තුළින් ඔසවන්නේ මොනවාදැයි මටත් සිතුනා. ඒ වගේම නොබෙල් ත්‍යාග ප්‍රතික්ෂේප කිරීමක් ගැන සිහිපත් කරමින් ලියවී තිබූ පුවතක් ලගකදි දුටුවා මතකයි. මේ ත්‍යාග ප්‍රතික්ෂේප කිරීමේ ඉතිහාසය හා පසුබිමෙහිත් සුවිශේෂී යමක් නැතිද? මාධ්‍යවේදිනියක් නොවන ගෘහණියක් වන ඔබගෙන් මේ ගැන ඇසීම වරදක්ද මන්දා ; ඔබ තුමියට හැකිනම්.. 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 19, 2014 at 1:40 ප.ව.

      හලෝව් රස්ටා,

      නොබෙල් තෑගි ලැබිච්ච දෙන්නෙක් දැනට ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. 1964 දී සාහිත්‍ය තෑග්ග හිමි වූ ජෝන්-පෝල් සාත්‍ර සහ 1973 දී සාම තෑග්ග ලැබිච්ච ලේ ඩක් තෝර් (Lê Đức Thọ) දෙදෙනා. සාත්‍ර කිව්වෙ කොතරම් ගෞරවනීය ලෙසකින් දුන්නත් රචකයෙක් තමන්ව ආයතනයක් බවට හරවනවාට ඉඩ දිය යුතු නැතැයි කියා. තෝ කිව්වෙ සාම ගිවිසුම අත්සන් වුනාට වියට්නාමයේ අව්‍යාජ සාමයක් නැතැයි කියා.

      නොබෙල් තෑගි ලැබුනට ගන්න යන්න ඉඩ නොලැබුන අයත් ඉන්නවා. 1935 දී හිට්ලර්ව සහ නාට්සිවාදය විවේචනය කළ කාල් වොන් ඔසීට්ස්කිට නොබෙල් සාම තෑග්ග පිරිනැමුන. හිට්ලර් ජර්මන් ජාතිකයන්ට නොබෙල් තෑගි පිළිගැනීම තහනම් කළා. 1939 ගෙයර්හාඩ් ඩොමැග්ක්, 1938 රිචඩ් කුහ්න්, 1939 ඇඩොල්ෆ් බුටෙනන්ඩ්ට් යන තිදෙනාටම ඒ නිසා පිළිගන්නට ඉඩ නොලැබීමෙන් පසු කාලයක දී පදක්කම් සහ සහතික ලැබුනත් මුදල් ත්‍යාග ලැබුනේ නැහැ.

      බොරිස් පැස්ටර්නැක්ගේ ඩොක්ටර් ශිවාගෝ නවකතාව 1905 රැසියන් විප්ලවය සහ දෙවැනි ලෝක යුද්ධය අතර මැද දිවෙන කතාවක්. එය සෝවියට් රැසියාවේ ප්‍රකාශනයට ඉඩ නුදුන්නක්. මිලානයට ගෙන ගොස් ප්‍රකාශයට පත්වෙන්නේ 1957 දී. 1958 දී ඊට නොබෙල් සාහිත්‍ය තෑග්ග හිමිවෙනවා. එයා පිළිගන්නව. ඒත් සෝවියට් බලධාරීන් ඔහුට අවසර දෙන්නෙ නැහැ එය ගන්නට. ඔහුගේ පුතෙක්ට පසු කාලයක දී පදක්කම ලැබෙනවා. මාධ්‍යවේදී ඉවාන් තොලස්තෝයි කියන්නේ බ්‍රිතාන්‍ය M16 සහ ඇමෙරිකන් CIA විසින් රැසියන් බසෙන්ම කොපියක් නොබෙල් කමිටුවට ලැබෙන්නට සැලැස්වූ බව. CIA විසින් රැසියන් බසින් ප්‍රංශයේ කරන මුද්‍රණය රැසියාවෙන් පිටවී ගිය අය අතර ජනප්‍රිය වූවක් හැටියත් සැලකෙනවා. පැස්ටර්නැක්ට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න බිය නොවූ එකම එක සෝවියට් ලේඛකයා “දුරකතනය” නමින් ලංකාවේ ද ජනප්‍රිය වෙන ළමා ප්‍රබන්ධයක් ලියූ කොර්නෙ චුකොව්ස්කි.

      2010 දී චීන ආණ්ඩුව ලියු ක්ෂියාබෝට හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුට නොබෙල් සාම තෑග්ග ගන්නට යන්න ඉඩ දෙන්නේ නැහැ.

      ගාන්ධිගේ නම 1937-1948 දක්වා පස් වතාවක් ඉදිරිපත් කෙරෙනවා. ගාන්ධි මිය ගිය 1948 වසරේ දී නොබෙල් සාම තෑග්ගට සුදුසු ජීවත්ව සිටින අයෙක් නැතැයි කියා නොබෙල් කමිටුව සාම තෑග්ග දීමෙන් වැළකෙනවා. ඒත් 1961 දී ස්විඩිශ් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ Dag Hammarskjöld ගේ නම ඉදිරිපත් වීමෙන් පසුව ඔහු මිය ගියත් ඔහු දිනපු නිසා ඔහුට මරණින් පසුව තෑග්ග පිරිනැමෙනවා!!!! 2006 දී ඔවුන් තම වසර 106 ක ඉතිහාසයේ මහත්මා ගාන්ධිට සාම තෑග්ග නොදීම ගැන කණගාටුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.

      නොබෙල් තෑගි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකින්නට ඇත්තෙ ඇමෙරිකාවට කත් අදින බටහිර කුමන්ත්‍රණ වලට වඩා යුරෝ කේන්ද්‍රීය වූ ආකල්ප හැදියාවක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: