අරුණි ශපීරෝ‍ වෙතින්

නෙදර්ලන්තයේ සිරගෙවල් 19 ක් වසා දැමීම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 27, 2014

535927_10204187542122909_3051333411036105854_n

මෙම පින්තූරය ඇහැ ගැටුනේ ෆේස්බුක් එකේ දී. සිරස්තල වලින් ප්‍රවෘත්ති බෙදා හැරීම නිසා පාඨකයා අවුලක පටලැවෙනවා මිසෙක දැනුවත් කිරීමක් සිද්ධ වෙනවා දැයි සැකයි.

කෙටියෙන් කිව්වොත් නෙදර්ලන්තයේ සිරගෙවල් වල කොතරම් දෙනෙක් රැඳවිය හැකිදැයි කියන ගණන් දිහා බැලීමෙන් නෙදර්ලන්තයේ අපරාධ අඩු වැඩි වෙලාදැයි ගැන පැහැදිලි දැක්මක් ලැබෙන්නෙ නැහැ. නෙදර්ලන්තයේ දණ්ඩ නීති පද්ධතිය අවබෝධයට එහි බන්ධනාගාරගතවීම් කොපමණක් වෙනවා ද යන්න සුදුසු වූවක් නෙමෙයි.

අනෙක් අතිශය ඛේදනීය තත්වය තමයි, ලෝකෙ ඕනෑම ආණ්ඩුවක් අද තමන්ට බලය පවරාගෙන තියෙන්නෙ නීතියක් වෙනස් කරලා ඊයේ නිදහස් මිනිසුන්ව අද සාපරාධී මිනිසුන් කරන්න. අද ඇමෙරිකාවේ සමරිසි අයගෙ විවාහ මංගල්‍යයට කේක් හදන්න බෑ කිව්ව කියල හරි කසාද බඳින උත්සවයට නිල ලෙස පෙනී සිටින පූජකයා වෙන්න බෑ කිව්වම නීතිය ඉදිරියේ වැරදිකරුවෙක් වෙන තත්වයක් උදාවෙලා තියනව සමහර ප්‍රාන්ත වල. නීතිය විකෘති කරනවා යැයි ෆෙඩ්රික් බැස්ටියාට් ආණ්ඩුව යන සටහනෙන් පෙන්වා දුන්නෙ මේ තත්වය අද ඊයේ හටගත්තක් නොවන නිසයි.

නෙදර්ලන්තයේ 1947 සිට 1974 දක්වා දිගු කාලීන සිර දඬුවම් ලැබීම අඩු වී ගිය කාලයක්. ඒත් 1975 දී තත්වය වෙනස් වුනා. සිරගත කිරීම් හය ගුණයකින් වැඩිවීමක් පසුගිය වසර 30 දී දකිනන්ට ලැබුණ. ඒ එක්කම අපරාධකරුවන් රඳවන සිරගෙවල් හිඟයක් ද පැතිරුණා. ඒ එක්කම නෙදර්ලන්ත උසාවි වලින් හිරේට නියම කරන අයගෙන් 14% කට පමණක් සිර දඬුවම් විඳීම කමා කෙරුණ. ඒත් මෑත කාලය නෙදර්ලන්තයේ දඬුවම් පැනවීම එහි ඉතිහාසයේ වැඩියෙන්ම සිද්ධ වූ කාලය හැටියටයි සැලකෙන්නෙ.

උසාවියෙන් වරදකරු යැයි තීන්දු වෙන නෙදර්ලන්තයේ වැඩිහිටියන්ව සිරබන්ධනාගාරයට යවන කාර්යය භාර වී ඇත්තේ Custodial Institutions Agency නම් ආයතනයටයි.

නෙදර්ලන්තයේ අපරාධකරුවන්ට දඩයක් ගෙවලා සිරදඬුවමකින් ගැලවෙන්න පුළුවන්. 1983 දී ගෙනෙන Financial Penalties Act නම් වූ ඒ පනතට එහි විශාල ජනප්‍රියත්වයක් ලැබුණි. බන්ධනාගාරයට නියම වූ අය අතර තුනෙන් එකක පිරිසක් ඒ අනුව දඩයක් ගෙවා සිරබත් කෑමෙන් නිදහස් වෙන බව කියැවේ. පනතේ 24 වැනි වගන්තිය අනුව වන්දිය ගෙවත හැකියාව සහ අපරාධය කුමක්දැයි අනුව තමයි දඩය කොච්චරක් ගහනවා ද යන්න තීරණය වෙන්නෙ.

මේක යුරෝපීය හැදියාවක්. පුද්ගලයාගේ වත්කම අනුව දඩය තීරණය වීම. ඉතින් වැඩියෙන් ආදායම් ඇති අය ලොකු දඩයක් ගෙවලා නිදහස් වෙන්න පුළුවන්. ඒත් අර පනතේ ජනප්‍රියත්වය තරමට දඩය ගෙවනවා යැයි කියමින් සිරබත් නොකන අය අවසානයේ දී දඩය නොගෙවා සිටින අවස්ථා සැලකිය යුතු ප්‍රමාණයක් ඇතැයි ඔවුන්ට අත්දකින්නට ලැබෙනව.

සිරබත් නොකන තවත් ක්‍රමයක් තමයි විවිධ මුල්‍ය කොන්දේසි අනුගමනයට එකඟ වීම. අභිචෝදන නීතීඥයන්ට (නඩුව දාන) ලොකු ඉඩකඩක් ලැබෙනවා දඩය සහ මේ මුල්‍ය කොන්දේසි මොනවාදැයි තීරණය කරන බලය පාවිච්චියට. වසර හයකට අඩු සිර දඬුවමක් තීන්දු වෙන අපරාධ සඳහා පමණයි මේ ගණුදෙනුවට අවසර ලැබෙන්නෙ. සාමාන්‍යයෙන් නඩු තීන්දුවක දී හිරේට තීරණය අයගෙන් 90% ක සංඛ්‍යාවක් මේ ආකාරයෙන් දඬුවම් විඳීමට සුදුස්සන් යැයි සැලකෙනව. නමුත් ප්‍රායෝගික වශයෙන් එම ක්‍රමයෙන් දඬුවම් විඳින්න කැමති වෙන්නෙ 30% ක ප්‍රමාණයක්.

තවත් ක්‍රමයක් තමයි අපරාධකරුවා විසින් අපරාධ හැදියාවෙන් වෙනස් වෙන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඒ සඳහා දින නියමයක් නැති කාලයක් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පොරොන්දු වීම. 1955 වසරේ දී සිරබන්ධනාගාරයට නියම වූ අයගෙන් සියයට තුනක් මානසික රෝහල් වල ලැගුම් ගත්ත. 1970 වෙද්දී මානසික රෝහල් වලට ගිය අය දහයෙක් එකක් දක්වා අඩු වී ගියා.

1970 ගණන් වල දී නෙදර්ලන්තයේ සිරගෙවල් සම්පූර්ණ ලෙසින් පිරිලා තිබ්බෙ. ඒත් අපරාධ අධිකරණ පද්ධතියට සරිලන්න සිරගෙවල් ඉදිකරන්න මුදල් යට කරන්න ඔවුන් කැමති වුනේ නැහැ. ඒ නිසා සිරගත කරන සංඛ්‍යාව කෘතීම ලෙස අඩුවෙන් තැබුණ. නඩුවෙන් වරදකරු ලෙස තීරණය වුනාට හිරේට නොයවන රටක්. ඔවුන් නීති වෙනස් කළෙත් නෑ. නීතියෙන් වරදකරුට නියමිත දඬුවම දුන්නෙත් නෑ. ඔවුන් ගැටළුව විසඳුවේ සියළු අපරාධ වලින් හතරෙන් තුනක් අස් කරගැනීමෙන්. අභිචෝදනා වලින් නිදහස් නොවෙච්ච අයව පවා සිරගත වීම නැවතුණා. ඒ අස්සෙම ඒත් හිරේට නියම වෙච්ච අයව ඉඩ නැති හිරගෙවල් වලටත් දැමුණ.

ඒකට පිළියමක් හැටියට ඔවුන් කළේ සිරගෙවල් සඳහා පොරොත්තු ලේඛන හැදීමයි. අපරාධයේ බරපතලකම හැටියට ඔවුන්ව පොරොත්තු ලේඛනයේ තැබුණ. ඉතින් දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ නම තිබුණා නම් එයත් අහෝසි කරන්න ඔවුන් පටන් ගත්ත. 1995 දී පමණක් සිරගෙවල් වල ඉඩ නැතිකම නිසා පන්දහසකට අධික සංඛ්‍යාවක් සිරදඬුවම් අහෝසි වෙනවා.

1980 ගණන් වල දී 3,300 සිට 12,800 දක්වා සිරගෙවල් හි රැඳවුම්කරැවන් සඳහා ඉඩකඩ වැඩි කළා. 1990 ගණන් වල දී තවත් අමතර 3,500 කට ඉඩකඩ හැදුව. 16,300 ක් හිරේට දාන්න පුළුවන්. 2002 වෙද්දී සෑම පුරවැසියන් ලක්ෂයකටම 93 දෙනෙක් හිරේට දැම්ම. අභිචෝදන නීතීඥයන්ට තිබ්බ බලතල අඩු කෙරුණ.

නමුත් යුරෝපීය මායිම් අතර ගමනාගමනයට ඉඩ දීමත් සමඟින් 2000 වසරේ දී අත් නොහිටුවන සිරදඬුවම් ගණන දෙගුණයකින් වැඩිවෙනව. ආයෙත් සිරගෙවල් වල ඉඩකඩ වැඩි කරන්න සිද්ධ වෙනවා. වසර අටක දී රටට නීතිවිරෝධී ලෙසින් ඇතුල් වූ අයව හිරබාරයේ තබන්නට පමණක් 9,600 ක් දක්වා (380% ක් වැඩිවී) ඉඩකඩ හැදෙනව. හොරෙන් රටට එන අය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙසින් සිරබාරයේ තබන අයගෙන් සියයට දහයක් ඉඩ අවශ්‍ය වෙන්නෙ එහෙම අයව දාන්නට.

2009 වෙද්දී නෙදර්ලන්තයේ අධිකරණ අමාත්‍යාංශය හිරගෙවල් අටක් වැහුව. එක හේතුවක් වර්තමානය යනු ලෝකයේ අපරාධ දැඩි සේ පහළ යන කාලයක්. ඇමෙරිකාවේ අද හිරගෙවල් වල වැඩියෙන් ඉන්නෙ රටේ නීති පද්ධතියෙන් අපරාධකරුවන් යැයි නියම වෙච්ච අය. සමහර අය අනිත් අයට අපරාධ කළාට වඩා තමන්ටම අපරාධ කරගත්ත කුඩුකාරයෝ.

නෙදර්ලන්තයේ මත්ද්‍රව්‍ය භාවිතයේ නීති ලිහිල් වීම එහි අපරාධකරුවන් අඩුවීමට එක හේතුවක්. ඒ කියන්නෙ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය අඩු වුනා කියල නෙමෙයි. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා තව දුරටත් අපරාධකරුවන් නොවෙනවා යන්න පමණකින් නීතිය වෙනස්වීම.

සිරදඬුවමකින් ගැලවෙන්නට හැකියාව ලැබෙන තවත් මෑත කාලීන ක්‍රමයක් තමයි ඉලෙක්ට්‍රොනික් ටැග් එකක් පළඳින්නට එකඟ වීම. විශේෂයෙන් පවුල් අවුල් සහ දරුවන්ට ලිංගික අතවර කරන අයව මෙයාකාරයෙන් මෙල්ල කිරීම.

ඉතින් 14,000 ක් හිරේ දාන්න ඉඩකඩ තියෙන නෙදර්ලන්තයේ බන්ධනාගාර රැඳවුම්කරුවන් ඉන්නෙ 12,000 ක් පමණයි.

ඇමෙරිකාවේ අයව හිරේ දාන ප්‍රමාණය නෙදර්ලන්තයට වඩා දහ ගුණයකින් වැඩියි. ඒත් 2011 දී FBI දැනුම් දුන්නා වසර 40 ක දී අඩුම ප්‍රචණ්ඩ අපරාධ දකින්නට ලැබෙන සමයක් උදාවෙලා කියල. ඒක අහලා අන්දුන් කුන්දුන් වෙලා තියෙන්නෙ  අපාරධවේදියන්ලු!!!!

වර්තමානයේ අපරාධ යැයි හැඳින්වෙන ඒවා වැඩියක් තමන්ගෙ තෝරාගැනීම් වලට ආණ්ඩුව පනවන නීතියක් එරෙහි වීමෙන් සිද්ධ වෙන ඒවා. ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ අයෙක්ගෙ පොකැට්ටුවෙ අහම්බෙන් දා ගත්ත පෙත්තක් නිසා තව පොඩ්ඩෙන් සම්පූර්ණ ජීවිතයම අනාථ වෙනවා. හැබැයි මෙහෙ එකම දේ උප ජනාධිපතිගෙ පුතා වුනත්, මොන සල්ලිකාරයා වුනත් හෙරොයින් ගහලා අහුවුනොත් අනිත් අයට ලැබෙන දඬුවම එයාටත් විඳින්නට සිද්ධ වීම.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Surendra Fernando said, on ඔක්තෝබර් 27, 2014 at 7:50 ප.ව.

    (වර්තමානයේ අපරාද කියන බොහෝ දේවල් ආණ්ඩුව පනවන නීතියකට එරෙහි වීම ) ඇත්තටම ලංකාවේ නම් නීති දමලා තියෙන්නේ ඒ දේවල් වලක්වන්න නොවේ නීති රකින්න ඉන්නා අයට ගානක් හම්බකර ගන්න මාර්ගයක් ලෙසයි , ලංකාවේ නීතිය තරාතිරම අනුව වෙනස් වෙනවා , අනිත් කරනේ තමා ලංකාවේ නීති කාලය අනුව වෙනස් නොකිරීම , ඒ වගේම නීතියක් වෙනස් කරන්න ගියාම අපේ පුජක පක්ෂය වගේම තවත් සමාජ හිතකාමී කියනා හොරු ඒවාට විරුද්ද වීම , ලංකාවේ දැන් සිදුවෙන බොහොමයක් අපරාද කියන ඒවාට මුල ලිංගික කියන කාරණාවට සම්බන්ද දේවල් , මිනීමැරුම් දුෂණ , පවුල් ආරවුල් ,මේ වගේ දේවල්. වාහනයක් ගන්න පුළුවන් කෙනා එය මිලදී ගන්නවා බැරි කෙනා කුලී වාහනයක යනවා ,කුලී වාහන තහනම් කලොත් වහනයක් මිලදී ගන්න බැරි කෙනාට මොකද වෙන්නේ ? අතීතයේ වගේ නෙමේ අද පවුල් ජීවිතේ , එදා බොහොම සරල ජීවිතයක් තිබුනේ , අද මගුල් ගෙයක් ගන්නත් ලක්ෂ ගණනක් ඕනේ , ලංකාවේ මේ අනුව නීති වෙනස් වෙන්න ඕනේ , මිනිසුන්ගේ සිතුම් පැතුම් විවිදා කරාවේ , පවුල් ජීවිත ගෙනියන්ට කැමති කොටසක් ඉන්නවා , වගකීම් ගන්න බැරි හා අකමැති කොටසක් ඉන්නවා ඒ අයට බලෙන් වගකීම් පවරුවම සියල්ල විනාස වෙනවා ,

  2. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on ඔක්තෝබර් 28, 2014 at 4:32 පෙ.ව.

    /නෙදර්ලන්තයේ සිරගෙවල් වල කොතරම් දෙනෙක් රැඳවිය හැකිදැයි කියන ගණන් දිහා බැලීමෙන් නෙදර්ලන්තයේ අපරාධ අඩු වැඩි වෙලාදැයි ගැන පැහැදිලි දැක්මක් ලැබෙන්නෙ නැහැ.//
    පැහැදිලි කරන්න හිතාගෙන ආපු එක ලිපියෙන්ම පැහැදිලි කරල නෙව. දැං කියන්න දෙයක් නෑ 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: