අරුණි ශපීරෝ‍ වෙතින්

ජෝනාස් සල්ක්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 28, 2014

jonas-salks-100th-birthday-5130655667060736-hp

ජෝනාස් සල්ක් උපන්නේ අදට වසර 100 කට පෙරයි. 1914 ඔක්තෝබර් 28 වැනි දින නිව් යෝර්ක් නගරයේයි. ඔහු වෛද්‍ය විද්‍යාවේ පර්යේෂකයෙක් සහ වයිරස් පිළිබඳ හදාරන වෛරස්වේදියෙක් (?) විය.

ඔහුගේ දෙමව්පියන් යුදෙව්වන් වූහ. දෙමව්පියන්ට තිබුනේ ඉතා අවම තරමකට ලැබූ ක්‍රමවත් අධ්‍යාපනයකි. ඒත් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම වෙනත් බොහෝ දෙමව්පියන් ලෙසින්ම ඔවුන්ගේ ද අභිප්‍රාය විය.

නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පාසැලේ (පීඨය යැයි හැඳින්වෙන්නට මෙහි කියන්නේ පාසැල කියායි) ඔහු සගයන් අතර කැපී පෙනෙන චරිතයක් වූයේ අධ්‍යාපන කටයුතු වලට දක්ෂතාවය දැක්වීම නිසා නොව වෛද්‍යවරයෙක් ලෙසින් වැඩ කරන්නට නොයා ඔහු පර්යේෂණ පැත්තට යොමු වීම නිසයි.

1957 දී, සල්ක් විසින් එන්නත හඳුන්වා දෙද්දී, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාවේ වැඩියෙන්ම භීතිය දනවන මහජන සෞඛ්‍ය ගැටළුව හැටියට සැලකුනේ පෝලියෝ රෝගයයි. වාර්ෂිකව පැතිර යන වසංගත වැඩි වැඩියෙන් ව්‍යසන ගෙන එන ලදි.

රටේ ඉතිහාසයේ දරුණුතම වසංගතය බෝ වූයේ 1952 දී ය. ඒ වසරේ වාර්තා කරන ලද 58,000 ක රෝගීන් අතරින්, මිනිසුන් 3,145 ක් මිය ගියහ. තවත් 21,269 ක් එතරම් දරුණු නොවන තත්වයන් සිට ඉතා දරුණු තත්වයන් දක්වා අංශ භාග තත්වයන් වලින් පීඩා වින්ඳහ. මේ කොටසේ වැඩියෙන්ම වූයේ දරුවන්.

මහජනතාව ඊට ප්‍රතිචාර දැක්වූයේ මහමාරියට දක්වන ප්‍රතිචාර ලෙස යැයි ඉතිහාසඥ බිල් ඕ’නීල් කියයි. නගරබද විසූ ජනතාව සෑම ගිම්හානයක දී ම මේ බියකරු අමුත්තා නැවත පැමිණීම ගැන භීතියෙන් සිටියහ. 2009 දී නිර්මාණය වූ PBS වාර්තාකරණයකට අනුව පරමාණු බෝම්බය හැරෙන්නට ඇමෙරිකාව වැඩියෙන්ම බිය වූයේ පෝලියෝ වලට යැයි කියයි.

ප්‍රතිඵලයක් හැටියට විද්‍යාඥයන් රෝගයට පිළියමක් හොයාගන්නට වෙහෙසන තරඟයක යෙදුනහ. 1947 දී සල්ක් පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පාසැලට ලැබුණ පත්වීමක් පිළිගත්තේය. 1948 දී හේ පෝලියෝ වයිරස් වල විවිධ වර්ග ගැන තීරණ කරන ව්‍යාපෘතියක නියැළිණ. එහි දී පෝලියෝ සඳහා එන්නතක් ගොඩනඟන්නට මේ ව්‍යාපෘතිය තුලින් හැකියාව ඇතැයි ඔහුට දකින්නට ලැබිණ.

ඔහු එකතු කර ගන්නා කුසලතා පිරි පර්යේෂණ කණ්ඩායමක් සමඟ ඊ ළඟ වසර 7 ඔහු ගෙවන්නේ මේ එන්නත නිපදවන්නටයි. ඉතිහාසඥ ඕ’නීල් පෙන්වා දෙන පරිදි මේ එන්නතේ ක්ෂේත්‍ර පිරික්සීම ඇමෙරිකන් ඉතිහාසයේ එතෙක් නොවි විරූ තරම් විශාල අන්දමකින් සිද්ධ කෙරුණි. වෛද්‍යවරු සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසිදාහක්, පාසැල් කටයුතු බාර අය හැටහතරදාහක්, ස්වේච්ඡා සේවකයන් දෙලක්ෂවිසිදාහක් ඊට සහභාගී කර ගැනිණ.

1955 අප්‍රේල් 12 වැනිදා එන්නතේ සාර්ථකත්වය මහජනතාවට දන්වද්දී සල්ක්ව “හාස්කම් පාන ලද්දෙක්” යැයි නම් වී ඒ දිනය රටේ ජාතික නිවාඩු දිනයක් බවට පත්වෙන්නට තරම් වැදගත්කමකින් වූ දිනයක් විය.

සල්ක්ගේ පරම අභිප්‍රාය වූයේ ඉතාමත් ඉක්මණින් කාර්යක්ෂම සහ ආරක්ෂා සහිත වූ එන්නතක් ඉදිරිපත් කිරීමයි. ආ … ලංකාවේ අය හැම විටම අගයන පුද්ගලික ලාභයක් ගැන කිසිම බලාපොරොත්තුවක් ඔහුට තිබුනේ ද නැහැ!!!!!

කාට ද පේටන්ට් අයිතිය යැයි ඔහුගෙන් ඇසූ විට, සල්ක් කීවේ “එයට පේටන්ට් නැහැ. ඔබට පුළුවන් ද සූර්යයාව පේටන්ට් කරන්න?” කියායි. එය පේටන්ට් කළා නම් එන්නතේ අගය ඩොලර් බිලයන 7 ක් යැයි ගණන් බලා ඇත.

1960 දී ඔහු කැලිෆෝර්නියාවේ වෛද්‍ය සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ආයතනයක් ආරම්භ කරන ලදි. 1995 ජූනි 23 වැනිදා වයස 80 දී සල්ක් හෘදයාබාධයකින් මිය ගියේය.

ඉහත තොරතුරු විකිපීඩියාවෙන්.

ඉහත පින්තූරය අද ගූගල් සර්ච් පිටුවෙන්.

ලොව වැඩියෙන්ම සංඛ්‍යාවක් මිනිසුන් මිය ගියේ මසූරිකා/වසූරිය රෝගයෙන්. අද එය ලොවෙන් තුරන් කරන්නට සමත් වූ බෝවෙන රෝගයකි. ලොවෙන් තුරන් කරන්නට සමත් වෙන අනෙක් වයිරල් රෝගය ගවයන්ට හැදෙන ගව වසංගතය නොහොත් Rinderpest යන්නයි.

තමන් විසින් තතු සොයා දැනගන්නට හැකි යුගයක, කිසිම සෙවිල්ලකින් බැලිල්ලකින් තොරව තමන්ගේ හිතේ ඇති ආකල්ප මතවාද ඔප්පු කරන ලද සත්‍යයන් සේ බෙදන අය සිටිති. අසත්‍ය එහෙත් හාස්‍යජනක සිද්ධීන් මාධ්‍ය වාර්තා ලෙසින් ඉදිරිපත් කරන වෙබ් පිටු පවත්වාගෙන යන අය ඒවා එලෙස යැයි සඳහන් කර තිබුණත් සමහරු උඩින් පල්ලෙන් කියවන හැදියාව නිසා ඒ සිද්ධීන් සත්‍යය යැයි බාරගනිති. අම්මා හා දුවක් පවුල් ගෙවන අසත්‍ය ප්‍රවෘත්තියක එල්ලී ඒ ගැන දිගින් දිගට ෆේස්බුක් එකේ ප්‍රතිචාර දමන්නට කාලයත් මුදලුත් නාස්ති කරති. එය බොරුවක් යැයි සාක්ෂි ඉදිරිපත් කළාට පසුවත් ඒ ගැන කතාව තව දුරටත් දිගින් දිගට ඇදී යෑම දකින්නට හැකියි.

ඒ අස්සේ නව තාක්ෂණයෙන් හනිකට ලැබෙන මහත් ප්‍රතිචාර වලින් මුදල් ලාභ ප්‍රයෝජන ගන්නට එංගලන්තයේ දෙමව්පියන් විසින් වයස 13 නේ දරුවා පියෙක් යැයි බොරුවක් ගොතති.

මාධ්‍ය බොරු කිව්වාට, දෙමව්පියන් බොරු කිව්වාට වඩා වෛද්‍යවරයෙක් නිසි පර්යේෂණ නොපවත්වා වෛද්‍ය පිළියමක් ගැන පතුරුවා හැරීම අතිශය භයානක වූවකි. දකුණු අතේ මාපට ඇඟිල්ලේ නිය පොත්ත උඩ බඳින පාරම්පරික වට්ටෝරුවකට හදන ඖෂධයකින් ඇසේ සුද (cataract) ඉවත් කරත හැකියාව ඇතැයි කියන්නේ බන්දු ලන්දේ ගෙදර වෙද මහතා විසිනි. ඔහු අප්‍රකට වෛද්‍යවරයෙක් වීම ගැන සිතට සතුටක් මෝදු වීම මගේ කුහක කමක් ද?!!!!!!!!! 🙂

ලොව රස විඳින්නට හැකියාව ඇති බොහෝ දේවල් අතරින් මිනිස් ප්‍රාණියෙකුට ලැබෙන මේ කෙටි ජීවිතයේ දී තෝරා ගන්නට ලැබෙන්නේ ඉතාමත් සොච්චමකි. අගය ඇති දේවල් සහ අගයක් ඇති මිනිසුන් ජීවිතයට ළං කරගන්න මේ මෝඩකම චේතනාව කරගෙන සිටින ජීවිත දකිද්දී මම නැවත නැවතත් මට මතක් කරගන්නෙමි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 28, 2014 at 11:33 ප.ව.

    //මාධ්‍ය බොරු කිව්වාට, දෙමව්පියන් බොරු කිව්වාට වඩා වෛද්‍යවරයෙක් නිසි පර්යේෂණ නොපවත්වා වෛද්‍ය පිළියමක් ගැන පතුරුවා හැරීම අතිශය භයානක වූවකි.// ලංකාව තුළ මේ තත්ත්වය කිදිමට දැකිය හැකියි.

  2. deshakaya said, on ඔක්තෝබර් 30, 2014 at 5:16 පෙ.ව.

    අවසන් ඡේද කිහිපය කාට කිව්වත් හරිම වැදගත්.. පේටන්ට් කරානං මේ එන්නත ඒ තරං වෙන එක කො‍ෙහාමද වෙන්නේ.. මට ඒ ගැන තේරුමක් නැහැ..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: