අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් මැද වාරයේ මැතිවරණය හෙට

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 3, 2014

141031171931-01-mandatory-voting-1031-story-top

හෙට ඇමෙරිකාවේ මැද වාරයේ මැතිවරණයයි. ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ සෑම වසර හතරකටම වතාවකි. ඒ වසර හතර මැද දී පැවැත්වෙන්න මැද වාරයේ මැතිවරණය නමින් හැඳින්වෙයි. මෙහි දී නියෝජිත සභාවේ ආසන 435 ට සහ සෙනෙට් සභාවේ ආසන 100 න් 33/24 කට කොංග්‍රසයේ නියෝජිතයන් තෝරා ගැනීමත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 න් 36 ක පමණ ආණ්ඩුකාරයන් තෝරාගැනීමත් සිද්ධ වේ.

මෙවර චන්දය දමන්නට චන්ද පොළට යන අය වෙනදාටත් වඩා සුළු පිරිසක් වෙතැයි (මිලියන 90 ක් පමණ) අපේක්ෂා වෙයි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මැද මැතිවරණය අවලංගු කළ යුතු යැයි මතයක් පළවිය.

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ පටන් බලයේ සිටින ජනාධිපතිගේ පක්ෂය සාමාන්‍යයක් ලෙසින් නියෝජිත සභාවේ ආසන 25 ක් ද, සෙනෙට් සභාවේ ආසන 4 ක් ද මැති මැතිවරණයේ දී අහිමි කරගනිති. බලයේ සිටින්නේ කුමන දේශපාලන පක්ෂයක් වුවත් මෙයාකාරයෙන් වෙනසක් සිද්ධ වීම සාමාන්‍යයෙන් දැකිය හැකි වූවකි.

මෙහි දී වසර දෙකක් පුරා චන්ද කටයුතු දිගින් දිගට ඇදී ගොස් අවසානයේ දී ජනාධිපතිවරයෙක් තෝරා ගැනේ. එහෙත් ජනාධිපතිට ලැබෙන වසර හතරක බලය, දිව්රුම් දීමෙන් අනතුරුව වසර දෙකකින් පසුව පැවැත්වෙන මැද මැතිවරණයේ දී ඉහත කියූ ලෙස බලයේ සිටින පක්ෂයේ බලය හීන වී යාමත් සමඟින් ජනාධිපතිගේ බලය ද අඩු වී යයි.

මැද මැතිවරණය අහෝසි කර දමන්න යැයි ඉල්ලන අය කියන්නේ ජනාධිපතිට අවශ්‍ය කටයුතු කරගෙන යාමට මැද මැතිවරණය නිසා ඉඩක් ලැබෙන්නේ නැති බවයි. එහෙත් ජනාධිපතිගේ පාලන කාල සීමාව මැද දී ජනතාවට සිය මතය ප්‍රකාශ කරන්නට ද ඉඩක් ලැබීමත්, කොංග්‍රසයේ බලය වෙනස් කරන්නට හැකියාව ලැබීමත් නිසා ඒ කාරණා මැද මැතිවරණය පැවැත්වීමට සුදුසුම කාරණා වේ යැයි එය අහෝසි කරනවාට අකමැති අය කියති.

හෙට අපේ ගමේ චන්ද පොලේ වැඩට යන මා ඇතුළු අපි අට දෙනාගෙන් කිසිවෙක් රජයේ සේවකයන් නොවෙමු. අපි සියල්ලන්ම ස්වේච්ඡාවෙන් එදින සේවයට ඉදිරිපත් වී සිටින අයයි. එහි උදේ හයේ සිට හවස අට නමය දක්වා දිගටම රැඳී සිටින නිසා, එක එක්කෙනා බෙදාගෙන කන්නට විවිධ ආහාර පාන වර්ග හදාගෙන එන්නට කළින් කතා කරගත්තෙමු.

චන්දය දමන ඩිංගිත්තන් කාලය හැරෙන්නට කිසිම චන්ද අපේක්ෂයෙකුට එතැන රැඳී සිටින්නට අවසර නැත. ඔවුන්ව එතැනින් පළවා හැරීම අපේ කාර්ය භාරයයි. මේ ඇමෙරිකාව නිසා, “අවට ඉන්න අයට අත දෙමින් හලෝ කිය කිය ඉන්න බැහැ දැන් මෙතැනින් යන්න,” කියද්දී පළාතේ පොලිසීයේ ලොක්කා (Sheriff) පවා පිට වී යන්නේ ඉක්මණින් පිට වී නොගියාට සමාව ඉල්ලමින්.

ඩෙලවෙයාර් හි මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඩෙමොක්‍රැටික්, රිපබ්ලිකන්, ග්‍රීන්, ස්වාධීන, ලිබටේරියන් යනුවෙන් දේශපාලන පක්ෂ පහකින් නියෝජිතයන් වෙති. සමහර පක්ෂ වලින් ඉදිරිපත් වෙන්නේ එක චන්ද අපේක්ෂයෙක් හෝ දෙන්නෙක් පමණි. සමහර චන්ද අපේක්ෂයන්ට ප්‍රතිවාදියෙක් පවා නැත.

මෙම මැද වාරයේ මැතිවරණයේ දී ඇමෙරිකන් කොංග්‍රසයේ සෙනෙට් සභාව රිපබ්ලිකන් පක්ෂයට යාවි යැයි අනුමානයක් ඇත. ඔවුන්ට එය අවසන් වරට අහිමි වූයේ 2006 දී ය. ජනාධිපති තනතුර සහ නියෝජිත සහ සෙනෙට් සභා දෙකත් එකම දේශපාලන පක්ෂයක් සතු වූ කාල සීමාවන් ඇමෙරිකාවේ සාමාන්‍යයක් නොවේ. ඔබාමා ජනාධිපති වෙද්දී නියෝජිත සභාවත් සෙනෙට් සභාවත් ඩෙමොක්‍රැටික් පක්ෂයේ බහුතර නියෝජිතයන් වෙතින් පිරී තිබුණහ. ඔබාමා දිව්රුම් දී වසර දෙකකින් පැවැති මැද මැතිවරණයේ දී ඩෙමොක්‍රැටික් පක්ෂයට නියෝජිත සභාව අහිමි විය. ඔහුගේ දෙවැනි පාලන වාරයේ මැද මැතිවරණයේ දී හෙට සෙනෙට් සභාව අහිමි වූවොත් එය සාමාන්‍යයක් මිස ඵෛතිහාසිකව සිදුවෙන සුවිශේෂී වෙනසක් නොවේ.

ඉතින්, නියෝජිත සභාව දැනටමත් රිපබ්ලිකන් පක්ෂයේ නිසා, සෙනෙට් සභාව ද රිපබ්ලිකන් පක්ෂයට ගියහොත් ඊ ළඟ එනම් 2016 ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකුට දිනන්නට වැඩියෙන් ඉඩකඩ ලැබේවි යැයි සමහර අයගේ මතයයි. මේ නායකයා බෙදන්න නොදන්නා නිසා බෙදන්න වැඩියෙන් හොඳින් දන්නා වෙන නායකයෙක් ඇතැයි සිතීම ඇමෙරිකන් බහුතරයගේ ද හැදියාවයි.

මෙරටේ සමහර පුරවැසියන් බෙදන්න දන්නා නායකයෙක් පත්කරන බහුතරය විසින් සුලුතරයකට බලපෑම් කරන්න බලය ලබාගන්නා මැතිවරණ සඳහා සහභාගී නොවීමෙන් මේ දේශපාලන බෙදන ක්‍රමයට විරෝධය දක්වති.

සමහර රටවල චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වූවකි. ආජන්ටීනාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, සයිප්‍රසය, ඉක්වදෝරය, ලීෂන්ස්ටයින්, ලක්සම්බර්ග්, නාවුරු, පේරූ, සිංගප්පූරැව සහ උරුගුවායි යන රටවල් චන්දය දැමීම අනිවාර්ය වූ සහ බලාත්මක (enforce) කිරීමක් තිබෙන රටවල් වෙති.

චන්දය ප්‍රකාශය අනිවාර්ය වූ ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18 සහ ඉන් ඉහළ පුරවැසියන් ෆෙඩරල් සහ ප්‍රාන්ත මැතිවරණ වල දී චන්ද ප්‍රකාශ නාම ලැයිස්තුවට එකතු වී, චන්ද පොළට ගිහින් චන්ද පත්‍රිකාව රැගෙන එය චන්ද පෙට්ටියට දැමිය යුතුයි. එහි දී තෝරා ගැනීමක් කළ යුතුම යැයි පැහැදිලි නොවූවත් චන්ද පත්‍රිකාවට ලකුණක් දැමීම අවශ්‍ය යැයි කියැවේ. අයෙක් කුමන ආකාරයකින් එහි ලකුණක් සටහන් කරනවා යැයි ද යන්න ඒ පුද්ගලයා සතු තෝරාගැනීමකි!!!! සමහර පෙදෙස් වල පළාත් මැතිවරණ ද අනිවාර්ය වූවකි. 2010 ටැස්මේනියා පළාත් මැතිවරණයේ දී හය දහසක් පිරිසකට එක් අයෙකුට ඩොලර් 26 බැගින් චන්දය නොදැමීම නිසා දඩයක් වැදුනු බව කියැවේ. එයින් දෙදහසක් දඩය ගෙවන ලදැයි ද කියැවේ.

බෙල්ජියම, බොලිවියා, කොස්ටා රීකා, කොන්ගෝ, ඩොමිනිකන් රිපබ්ලික්, ඊජිප්තුව (හමුදා අයට සහ පොලීසියේ අයට චන්දය නැත), ප්‍රංශය (සෙනෙට් පමණි), ගබොන්, ග්‍රීසිය, ගුවාතමාලා, හොන්ඩූරාස්, ලෙබනන් (පිරිමින්ට පමණි), ලිබියාව, මෙක්සිකෝ, පැනමා, පැරගුවේ, තායිලන්තය හා තුර්කිය (තුර්කි ලීරා ₺22 ක දඩයක් ද නියමිත වුවත්) යන රටවල චන්දය අනිවාර්ය වූවාට එය බලාත්මක කිරීමක් නැත.

මේ දිනවල ඇමෙරිකාවේ ද චන්ද ප්‍රකාශය අනිවාර්ය කිරීමක් ගැන කතාබහක් ද නැවත පටන් ගෙන ඇත.

චන්දය ප්‍රකාශයක් නැත්නම් අනුන්ට නීති රෙගුලාසි හදන්නට රිසි වූවන්ට පාලන බලය ලබාගන්නට නොහැකියි. චන්දය ප්‍රකාශයට ඉඩක් ලැබීම නිසා පුරවැසියා දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන විශ්වාසය තබයි. පුරවැසියාගේ අයිතීන් ආරක්ෂා කර දෙනවා යැයි කියා බලය අල්ලා ගන්නා අයවත්, බහුතරයට සුලුතරයක් පාලනය කරත හැකියාව ඇතැයි කීමත් පුරවැසියා එහි දී පිළිගනියි.

හෙට අපි චන්ද පොලෙන් යන්නේ චන්දය දිනුවේ කවුදැයි දැනගෙන. චන්ද දැමීම අවසන් වූ සැනින් එම යන්ත්‍ර විසින් මුද්‍රණය කරන ප්‍රතිඵල කොළයක් අපි චන්ද පොලේ දොරේ අලවා පිට වෙන්නෙමු.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: