අරුණි ශපීරෝ‍ වෙතින්

ආකල්ප වෙනස් කරගැනීම කාගේ වගකීම ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 9, 2014

Arthur Furst

කළින් සටහනක ලියූ ඉසිවර දියණිය ගැන හෙළිදරව්වක් කළ බැලුම්ගල වැඩ සටහන මෙතැන. එහි එක ප්‍රතිචාරයක් ලංකාවේ බහුල ලෙස පැතිර ඇති ආකල්ප දෙකක් මනාවට විදහා පායි. දෙකම ලාංකික ජන සිත් වශී කරගන්නට සමත් වෙන ආකල්ප වෙති. ප්‍රතිචාරය දමන්නා කියන්නේ ඒ වෙද හාමිනේට අනුව ලංකාවේ ආණ්ඩුවේ පිරිසක් ඇයගේ ඖෂධයේ රහස අරගෙන විදේශ රටවලට විකුණන්නට තැත් කරන බවයි. එසේම ඒ වෙද හාමිනේට අනුව විදේශ රටවලින් සොයාගැනීමට අනේක ඇරයුම් ලැබී ඇතත් ඇය ලංකාවේ ජීවත්වෙමින් ලංකාවේ රස්සාව කරන්නට කැමැතියි.

යම් අයෙක් ඉතා දක්ෂ සේ යමක් කරන්නට සමත් වේ ද, ඒ පුද්ගලයාගේ ඵලය උදුරා ගන්නට රිසි අය හැම අතකම කුරුමානම් බලමින් සිටින්නහ. රජයේ සේවකයෙක් දක්ෂ වූයේ ද, ඒ කටයුත්ත තම බාරයට පවරා ගන්නා ඉහළ රජයේ නිලධාරියෙක් සැම විටම සිටියි. බහුතර පුරවැසියන්ට මෙවැනි අත්දැකීම් ඇති නිසා, අයෙකුගේ නිර්මාණයක් උදුරා ගන්නට රජයේ බලයැති පිරිසක් හදනවා යැයි ඇහෙද්දී, එයාට සාමාන්‍ය රටවැසියාගේ සභානුභූතිය නිතැතින්ම ලැබේ.

ඊ ළඟට යටත්විජිත ඉතිහාසයකින් යුතු වූ නිසාත්, නිදහස් ලංකාවේ වැසියන් උපන් දා පටන් බෙදන පිළිවෙත් මිසෙක වෙනත් ක්‍රමයක් නොදන්නා හේතුව නිසාත්, බටහිර රටවල් තමනට වින කරන්නට ලක ලැහැස්තියේ නිරතුරුවම සිටිනවා යන්නට බහුතර ලාංකිකයා එක පයින් රුවටෙන හැදියාවක් ඇත. බටහිර නොවන රටවල් කරන වින කිසිවක් මේ අයට පෙනෙන්නේ නැත!!!!

තවත් අපූරැ හැදියාවක් ලාංකිකයන් සතුයි. තමන් හෙළා දකින ඒ බටහිර රටවල් වලින් ඉල්ලුමක් ඇතැයි කීමෙන් තම දේශීය නිෂ්පාදනයට ඉහළ ලකුණක් ලැබී ඉන් තමන් වැනි අනෙකුත් ලාංකිකයන් රවටත හැකියාවක් සමාජයේ පවතියි.

දේශීය දේ අගයන්නට නිති පෙරමුණු ගත්ත ද, බටහිර රටවල් ගැන ද්වේෂයෙන් ඉන්නා ලංකාවේ අය පවා බටහිර රටකින් ලැබෙන යම් පිළිගැනීමක්, තෑග්ගක්, සම්මානයක් ගැන සාඩම්බරයට පත්වෙන හැදියාවක් සමාජයේ දකින්නට හැකියි.

මෙවැනි ආකල්ප මඩ ගොඩක එරී සිටින නිසා බහුතර ලාංකිකයන්ගේ සිතට සතුටක් එන්නේ තමන් විසින් අනගි ප්‍රතිඵල ලැබෙන යමක් කරන්නට සමත් වූවා කියා නොවේ. දේශීය ජයග්‍රහණයෙන් බටහිර රටවලට පාඩමක් උගන්වන්නට සමත් වූවා යැයි සිතන පටු චින්තනයෙන් ලාමක සිත් සතුටින් පිරී යති.

උදාහරණයක් හැටියට පුබුදු දිනේෂ් අනුරුද්ධ චිත්‍රානන්ද කපුගේ විසින් ලෝක නව නිපැයුම් තරඟාවලියේ දී හොඳම නව නිර්මාණකරුවා හැටියට තේරුණු බව සිංහල පුවත්පත් බොහොමයක කියැවුනේ “රටවල් හැත්තෑ හයක මොළකාරයන් දණ ගස්සවා ..” හා සමාන සිරස්තල සමූහයකිනි.

වසරකට එවැනි තරඟ ගණනාවක් බටහිර රටවල් වල දී දකින්නට හැකියි. එසේම එවැනි තරඟ වලට නොයා, දේශපාලනඥයන්ට දෙකට තුනට නැවී වඳින්නේ නැතිව, තම නව නිර්මාණ කෙළින්ම පළාතේ, ප්‍රාන්තයේ, රටේ සහ ජාත්‍යන්තර වශයෙන් වෙළඳපොලට දාන්නට නිදහස් හැකියාව බටහිර බොහෝ රටවල තිබීමේ වැදගත්කම සුලුපටු දෙයක් නොවේ යැයි සිංහලෙන් කියවන්නාට ලියන බහුතරය පෙන්වා දෙන්නේ නැත.

මිලියන 1.7 ක ලාංකිකයන් පිරිසක් විදේශයන්හි සේවය කරමින් ලංකාවට විදේශ විනිමය වැඩියෙන්ම ගෙනෙන අය බවට පත් වී සිටින කාලයක දී පිටරට වාසය සහ සේවය වෙනුවට ලංකාවේ වාසය සහ රස්සාව තෝරාගැනීම උතුම් දේශප්‍රේමීත්වයක් ලෙස සලකන්නේ ගෝත්‍රික මානසිකත්වයකින් බව සිංහලෙන් කියවන්නාට ලියන බහුතරය පෙන්වා දෙන්නේ නැත.

වීර මාතාවක් සේ සැලකුණ වෙද හාමිනේට ලාංකික සමාජයේ යම් ප්‍රසාදයක් ලැබෙන්නේ සමාජයක් වශී කරත හැකි දේශීය යැයි කිව්වොත් අනිවාර්යෙන්ම එය උතුම් වේ යන ආකල්පයත්, ඖෂධය පිටරට ගෙන යන්නට හැකියාව තිබිය දී ත් ලංකාවේ වැසියන්ගේ සේවයට ඇය ඇප කැප වී සිටීම කොතරම් උතුම් ද යන ආකල්පයත්, නිසයි.

ඒ අස්සේ නොමිලේ බෙදනවා කියන සෞඛ්‍ය පහසුකම් දිනෙන් දිනම මිල ඉහළ යයි. ඒවායේ බරපැන දිනෙන් දිනම ණය බරෙන් දෙකට තුනට නැවෙන ජනතාව මත පැටවෙයි. නොමිලේ බෙදන සෞඛ්‍ය පහසුකම් අගයමින් බෙහෙත් වලට යන වියදම් ගැන ජනතාව හූල්ලති. පුද්ගලික රෝහල් වලට හා වෛද්‍යවරැන් නියම කරන අනේක පරීක්ෂණ සඳහා ගෙවන්න වූ ගණන් ගැන කම්පා වෙති.

අතීතයක දී ද රටේ ආර්ථිකය දුර්වල වෙද්දී වැඩියෙන්ම බැට කෑවේ නොමිලේ බෙදූ සෞඛ්‍ය සේවයයි. එදත් අදත් සල්ලි ඇති අයට ලංකාවේ හොඳම වෛද්‍යවරු, හොඳම පහසුකම් හා විදේශයෙන් එන බෙහෙත් මදි නම් එවිට වෙන රටකට යා හැකියි.

බහුතර ඇමෙරිකන් ජනතාව අගයන්නේ යමක් දේශීය වූ නිසා පමණින් නොව එය අනගි ප්‍රතිඵල ගෙනෙන්නට සමත් වූවා නම් පමණකි. ඇමෙරිකන් වෙළඳස්ථානයකට ගිය විට ලෝකයේ නන් දෙසින් එන භාණ්ඩ දකින්නට ලැබෙන්නේ ඒ නිසයි.

පැරණි චීන වෛද්‍ය ක්‍රම වලින් විස්කම් පෑ වෛද්‍ය හුයි පොක් 1890 ගණන් වල දී ඇමෙරිකන් වැසියන්ගේ ජනාදරයට පත් වෙන්නේ ඔහු ප්‍රතිඵල පෙන් වූ නිසයි. වර්තමානයේ දී ආයූර්වේද, හෝලිස්ටික්, හෝමියෝපති, චීන කටු චිකිත්සා යනාදී මෙකී නොකී වෛද්‍ය ක්‍රම වලට ඇමෙරිකන් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුල ඉඩ ඇත්තේ ද ඒ නිසාමයි.

කුමන වෛද්‍ය ක්‍රමයක් තෝරා ගන්නවා දැයි යන තීරණය පාරිභෝගිකයා සතු වූවකි. එහෙත් ඒ සමඟින්, පාරිභෝගිකයා හැම විටම තමන් මිල දී ගන්නා දැය ගැන අවදානමක් ගන්නෙක් බව සිංහලෙන් කියවන්නාට ලියන බහුතරය පෙන්වා දෙන්නේ නැත.

ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකින් අනුමැතියක් දීමෙන් ඖෂධයක අවදානමක් ඉවත් කර දැමිය නොහැකියි. පේටන්ට් බලපත්‍රයක් දීම යනු එය බලපත්‍රය ලැබෙන්නාගේ නව සොයාගැනීමක් යැයි එම බලපත්‍රය දුන් රජයේ පිළිගැනීමක් පමණි. එයින් ඖෂධයක අවදානමක් ඉවත් කර දැමිය නොහැකියි. පළාත් සභාවකින් දේශීය නිෂ්පාදනයක් දිරි ගැන්වීමට රැපියල් ලක්ෂයක තෑග්ගක් ඇමතිවරයෙකුගේ අතින් ලැබීම යනු නිෂ්පාදනයේ කීර්ති නාමයෙන් ඇමතිවරයා ලකුණක් දා ගැනීම පමණකි. එයින් ද ඖෂධයේ අවදානමක් ඉවත් කර දැමිය නොහැකියි.

භාණ්ඩයක් දේශීය වූ නිසා කිසිදු අවදානමකින් තොර වෙන්නේ නැත. එසේම භාණ්ඩයක් විදේශීය වූ නිසා හැම විටම වස විසෙන් පිරී තිබෙන්නක් වෙන්නේ ද නැත.

සිංහලෙන් කියවන්නාට ලියන ජන මාධ්‍ය විසින් තවමත් ගෙන යන්නේ එකම ආකල්ප රටාවක් ගිලින්නට දීමයි. කාලයක් තිස්සේ ගිලින්නට ලැබී තිබෙන ඒ හුරුව නිසා යළි යළිත් ඒවාම ගිලින්නට ලැබෙද්දී සිත් සතුටින් පිනා යවති.

එන්ජින් ඔයිල්!” දිවයින කතුවැකිය උදාහරණයකට ගනිමු. එහි කියන පරිදි ලෝකයේ තෙල් වර්ග දෙකකි. නමුත් ශාඛ වලින් ලබා ගන්නා (එළවළු තෙල්) අමතරව ඛනිජ තෙල් සොයා ගන්නට පෙර කාර්මික ලෝකයේ රටවල් සත්ව තෙල් භාවිත කළහ.

තල්මස් තෙල් වලින් ලාම්පු පත්තු කරන්නටත්, මාගරීන් හදන්නටත් එසේම සබන් හදන්නටත් පුළුවනි. රසායන විද්‍යාව ගැන යාන්තමකට හෝ දැනුමක් ඇති අය දුලබ සමාජයක, ලාම්පු පත්තු කරන්නට සහ සබන් හදන්නට ගන්න දැයෙන් මාගරීන් හදා කන්නට හැකියි කිව්වොත් හපොයි වසවිසම තමයි කියා රැවටිය හැකියි.

එම කතුවැකියේ කියන පරිදි එළවළු තෙල් කියද්දී පතෝල .. ගොටුකොළ වලින් සිඳින ලද තෙල් පින්තූරයක් සිතේ මැවෙන ‘සාමාන්‍ය ජනයා’ අතරින් අයෙකු හඳුනාගන්නට අවස්ථාවක් මට ඇත්නම් මට අහන්නට ප්‍රශ්නයක් ඇත: ඔබ මෙතෙක් කාලයක් දැනුම ලබාගත්තේ නොමිලේ බෙදන ලද අධ්‍යාපනයෙන් ද නැත්නම් සිංහලෙන් කියවන්න ලැබෙන පත්තර වලින් ද?!!!!

කටුපොල් වගාව ලංකාවේ (ආසියාව තුල) රාජ්‍ය මැදිහත්වීම් නිසා පැතිර යන්නකි. සෝයා, ඉරිඟු, රටකජු හෝ සූරියකාන්ත යනාදියෙන් තෙල් හදා තරඟ කරන්නට ඉඩක් නැත්තේ මහා පරිමාණ සැලසුම් අගයන ජනතාවක් විසින් වෙළඳපොල වෙනුවට සමෘද්ධිය ගෙනෙන්නට නායකත්වය දන්නවා යැයි සිතන ආකල්පය හේතුවෙනි.

තමන් මිල දී ගන්නා භාණ්ඩයේ අවදානම් මොනවාදැයි සොයා බලා කැමති තෙලක් තෝරා ගන්නට නොලැබෙන්නේ වෙළඳපොලට මැදිහත්වෙන ආණ්ඩුව අගයන අය රටේ බහුතරය නිසා යැයි සිංහලෙන් කියවන්නාට ලියන බහුතරය පෙන්වා දෙන්නේ නැත.

කටුපොල් භාවිතය නිසා රුධිරයේ කොලෙස්ටොරොල් මට්ටම වැඩිවෙනවා යන්න ඇමෙරිකාව ඇතුළු මුළු ලෝකයේම පැතිර ගියේ කටුපොල් තෙල් වෙළඳපොල කොටස ඉතා තරඟකාරී වූ ද, අනුභව කරන තෙල් හා මේද වෙළඳපොලේ දැවැන්ත කුට්ටියක් ද වීම නිසාත් ඒ වෙළඳ ගණුදෙනු අතර මැද්දට ආණ්ඩු මැදිහත්වීමේ ප්‍රතිඵලයක් හැටියටයි. එහි විද්‍යාත්මක පදනමක් නැත.

ඊ ළඟට ආහාර උයන්නට කළින් යොදාගත් තෙල් පාවිච්චි කරන්නේ නම් එයින් සිරුරට හානි සිද්ධ වෙන්නේ ඒ තෙල් පිළුණු වී හෝ මුඩු වී ඇත්නම්ය. අපුල රස හා අමිහිරි ගන්ධයක් දැනීම හැරෙන්නට නරක් වූ තෙල් වල carcinogenic free radicals තිබෙන්නට ද හැකියි. මේ අණු තෙලෙන් බදින ලද ආහාර වලට ඇතුල් වී ඒවා අනුභව කළ අයව ලෙඩ කරයි.

භාවිතා කළ තෙල් යළි භාවිතයට ගනිද්දී තෙල් නරක් වී නැත්දැයි වගේ ම ආහාර බදින තෙල් වල උෂ්ණත්වය ද සැලකිල්ලට ගත යුතුයි. ලංකාවේ ආහාර කඩවල් කොපමණක උණු තෙල් හි උෂ්ණත්වය මනින මාපක තියෙනවා ද? ජනතාව නිකරැණේ බිය ගන්වන්නටත්, ජනතාව දේශපාලන අරමුණු සඳහා නොමග යවන්නටත් පිණිස මිසෙක ආහාර ගැන විද්‍යාත්මක සත්‍යයන් සිංහලෙන් කියවන්නාට ලියන අය වැඩිය දකින්නට නැත.

තමන්ගේ ආකල්ප වලට වගකිව යුත්තේ තමන් විසින්මයි. තම ආකල්ප නිසා ජීවිතය යහපත් කරගන්නේ සහ අයහපත් කරගන්නේ තමන්මයි. ඒ නිසා තමන්ගේ ආකල්ප නිවැරදි දැයි ද ඒවායෙන් තමන්ගේ ජීවිතය අදට වඩා වාසනාවන්ත හෙට දවසක් උදාවේවිදැයි සොයා බලා ආකල්ප වෙනස් කරගැනීම තමන්ගේම වගකීමයි.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. S Malwattage said, on නොවැම්බර් 10, 2014 at 1:21 පෙ.ව.

    මහත්මියනි,

    ඔබ කියන පරිදි ඉදිරිපත් වන සියලුම දේශීය සොයාගැනීම් යයි සදහන්වන දෙය තුල බොහෝ වංචාවන් සිදුවීමට හැකි අතර ඔබ අන්තර්ජාලය ඔස්සේ තව සේවුවොතින් බටහිර ඔවුෂද මාෆියාව කුමන අයුරින් හැසිරෙනවාද යන්න සොයාගත හැකි කදිම නිදසුනක් දොස්තර Max Gerson ගතහැකියි. පිළිකාවට ඔහු සොයාගත් පිලියමට එක්සත්ජනපද රජය ඉඩ නුදුන් අයුරුන් පසුව මෙක්සිකෝවේදී ඔහු තම අරෝග්‍යෂලාව ඉදිකරන ලද අයුරුත් අද පවා බොහොඕ පුද්ගලයන් එයින් ප්‍රයෝජන ගන්නා අයුරුත් දැකගතාහක.

    S Malwaththage

    • arunishapiro said, on නොවැම්බර් 10, 2014 at 7:48 පෙ.ව.

      S Malwattage,

      මේ සටහනේ හෝ මේ අඩවියේ කිසිම තැනක මෙහෙම දෙයක් මම කියා නැහැ: //ඉදිරිපත් වන සියලුම දේශීය සොයාගැනීම් යයි සදහන්වන දෙය තුල බොහෝ වංචාවන් සිදුවීමට හැකි අතර//

      ඒ නිසා //ඔබ කියන පරිදි// යැයි කියමින් ලියන්නට පෙර මා කියූ දේවල් මොනවා දැයි හරියට කියවා බලන්න.

      ඊ ළඟට, ඔබ අමුණන ලද මිනිසුන් නොමග යවන යූටියුබ් ලින්ක් වලට ද මේ අඩවියෙන් ප්‍රචාරයක් නොලැබෙන බව කරැණාවෙන් සලකන්න.

      මැක්ස් ගර්සන් යනු වෛද්‍යවරයෙක් නොව “නයි තෙල් වෙළෙන්ඳෙකු” පෙන්වන කදිම නිදසුනකි. ඉංග්‍රීසියෙන් snake oil salesman යන නාමය වැටෙන්නේ තමන් දැනුවත්වම වංචාකාරී භාණ්ඩ විකුණන ප්‍රෝඩාකාරී, කූට, මිනිසුන් රවටන (fraud, quack, charlatan) යනාදියෙන් හඳුන්වන හොරැන්ටයි. ජර්මන් අධිරාජ්‍යයේ ඉපිද පෝලන්තයේ වෛද්‍ය වෘත්තියේ යෙදුනු ගර්සන් ඇමෙරිකාවට එන්නේ 1936 දී ය. ඔහු මුලින්ම සොයා ගත්තා යැයි කියන්නේ මයිග්‍රේන් හිසරද සහ ක්ෂය රෝගය සුව කරන ක්‍රමයකි. 1928 දී ඔහු එයින් පිළිකා සුව කරත හැකි යැයි ප්‍රසිද්ධ කර ප්‍රතිකාරයක් ලෙසින් යොදා ගනියි. වියානාවටත්, අනතුරුව ප්‍රංශයටත්, එතැනින් 1936 දී ලන්ඩනයටත් අවසානයේ දී නිව් යෝර්ක් නගරයටත් එයි. ඔහු 1959 දී නියුමෝනියාව හැදී මිය යයි.

      යම් ඖෂධයකින් යම් රෝගයක් සුව කළ හැකි නම් එය ඖෂධය නිර්මාණය කළ අයට බැහැරව ඉන්නා ඒ ගැන දැනුම ඇති අය විසින් කරන ස්වාධීන පරීක්ෂණ වලින් එය ඔප්පු විය යුතුයි. එහෙම කරද්දී සසම්භාවී ලෙස පවත්වන පාලිත සමේෂණ (trails) පවත්වා තිබිය යුතුයි. එහෙම නැත්නම් ඖෂධයක් කියා විකුණන රහසිගත වූවක් ඇමෙරිකාවේ (බටහිර රටවල) වෙළඳපොලට දාන්න නීතියෙන් තහනම්.

      ගර්සන්ගේ දුව විසින් ආයතනයක් පිහිටුවා ගෙන යන ඒ ප්‍රතිකාර ක්‍රමය, ස්වාධීන පර්යේෂණ නොමැතිව, සුව වූ රෝගීන්ගේ සහතික වලින් පමණක් සහ උපාඛ්‍යාත සාක්ෂි වලින් පමණක් ඔප්පු කරත හැකි යැයි කියන්නකි. ඒ සඳහා ගර්සන් ප්‍රකාශ කරන ලද පොතේ සුවය ලැබූ රෝගීන් 50 දෙනා ගැන ජාතික පිළිකා ආයතනය විසින් සොයා බලද්දී ඒ කිසිවක් නිවැරදි යැයි පෙන්වන සාක්ෂි නොමැති විය.

      යම් ඖෂධයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් සත්‍යයෙන්ම යම් රෝගයක් සුව කරන්නේ ද, ඒ ඖෂධය හෝ ප්‍රතිකාර ක්‍රමය වෙනත් අයෙකුට ද එලෙසින්ම ප්‍රතිඵල ගෙනෙන පරිදි නිර්මාණය කළ හැකියි. ගර්සන්ගේ ක්‍රමය වෙන කිසිවෙකුට ප්‍රතිඵල ලැබෙනවා කියූ ලෙසින් ප්‍රතිඵල පෙන්වන්නට ද නොහැකි වූවකි. ඒ ආයතනය විසින් සුවය ලැබුවා යැයි වාර්තා කරන්නේ පිළිකා රෝගයෙන් සුව වූවන් නොව “එතැනින් පිට වී යන රෝගියාට ජීවත්වෙන්නට යම් ප්‍රමාණයක චාන්ස් එකක් ඇතැයි වෛද්‍යවරයා ඇස්තමේන්තු කිරීම සහ ආයතනයේ සේවකයන්ට ඔවුන් අමතන රෝගීන් ගැන ඇති හැඟීම” අනුවයි.

      මෙතැනින් ගර්සන් ප්‍රතිකාර ක්‍රමය ගැන තව විස්තර කැමති අයට කියැවිය හැකියි.

      විද්‍යාව යැයි කියන අවිද්‍යාව රජයන සමාජයන්හි මත්පැන් බී, බීට්රැට් හා සුදුළුණු කා ඒඩ්ස් වුනත් සුව වේ යැයි කියද්දී පිළිගන්නා අය සිටීම පුදුමයක් නොවේ. එවැනි සමාජ වල එහෙම කියන අය සෞඛ්‍ය ඇමතිලා හැටියටත් පත්වීමත් පුදුමයක් නොවේ.

  2. mppgunasinghe said, on නොවැම්බර් 10, 2014 at 10:39 ප.ව.

    “ආකල්ප” යන්න පටු සීමාවන් තුළ සිරගතව තිබීම ගැටළුවකි. එය වෛද්‍ය ක්ෂෙත්‍රයට පමණක් සීමා වී නැහැ. බටහිර නිසා පිළිගැනීම හෝ නොපිළිගන්නාබව අනෙක් ක්ෂෙත්‍ර තුළත් අඩුවක් නැතිව පෙනී යනවා. “අපේ කියන හැම දේමත් එපා උනා . පිටරට එවුන්ගෙත් හොඳ දේ එපා වුනා” යනුවෙන් එස්.මහින්ද හිමියන් කිව්වේත් මේ තත්වය ගැන නේද ?

    • arunishapiro said, on නොවැම්බර් 11, 2014 at 3:43 ප.ව.

      mppgunasinghe,

      ඔව්, වෛද්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා වී නැහැ. නොදියුණු රටවල අය තමයි වැඩියෙන් මේ බටහිර නිසා පිළිගැනීම හෝ නොපිළිගැනීම පිළිබඳ අවුල් වූ ආකල්ප වල හිර වී ඉන්නෙ.

  3. sHin dEzO said, on නොවැම්බර් 11, 2014 at 7:35 පෙ.ව.

    Malwaththage වැඩියෙනුත් එක්ක අහා ගත්තද මන්දා. ^_^

    • arunishapiro said, on නොවැම්බර් 11, 2014 at 4:06 ප.ව.

      sHin dEzO,

      එයා එහෙම දකින්නෙ නැතිව ඇති. මොකද, මෙතැන කියන දෙයක් අහලා බලන්න නෙමෙයි එයාලගෙ ආකල්පය අපි පිළිගන්න ඕනෑයි කියල හිතන අය මේ අඩවියට ගොඩ වැදෙනවා ඉඳ හිටලා. එයත් ඒ වගේ කෙනෙක්. වැරදි ආකල්පයක් වෙනස් කරගන්න තමන් වගකීමක් නොගන්න අය ගැන නාස්ති කරන්න කාලයක් මට නම් නැහැ 🙂

  4. Balasooriya Lansakara said, on නොවැම්බර් 12, 2014 at 10:09 පෙ.ව.

    අරුනි ඔයාගේ ලිපිය ඉතාම හරවත්. ස්තූතියි.මට මේ තෙල් වල උශ්නත්වය ගෑන තව ටිකක් පෑහෑදිලි කරලා දෙන්න. ‘”තෙල් යළි භාවිතයට ගනිද්දී තෙල් නරක් වී නැත්දැයි වගේ ම ආහාර බදින තෙල් වල උෂ්ණත්වය ද සැලකිල්ලට ගත යුතුයි.”

    • arunishapiro said, on නොවැම්බර් 12, 2014 at 1:20 ප.ව.

      Balasooriya Lansakara,

      උත්සාහයක් ගන්නම්. මේ ගැන තමන් විසින් තව සොයා බැලිය යුතුයි.

      සියළු තෙල් වල මේද තියෙන අතර සියළු මේද එකම ආකාරයකින් ඇත්තෙ නැහැ. තෙල් අතර saturated සහ trans-fatty acids, trans fat partially hydrogenated යනාදී වචන අඩංගු ඒවා තමයි අහිතකර වෙන්නෙ. හොඳ යැයි සැලකෙන්නේ unsaturated, monounsaturated, polyunsaturated සහ omega-3 fatty acids යන ඒවා. තව විස්තර මෙතැනින්.

      තෙල් වල ඉහළ උෂ්ණත්වයක දී unsaturated fats හානි පැමිණ ඒවා trans fat බවට හැරෙනවා.

      සමහර තෙල් වර්ග ඉහළ උෂ්ණත්වයකට ගෙනියන්න පුළුවන්. තෙල් රත් කරද්දී මේකට කියන්නෙ smoke point එක කියල. ඒ කියන්නෙ තෙල් රත්වෙලා දුම් දාන්න ගනිද්දී සහ තෙල් වල පාට වෙනස් වෙද්දී. එතකොටයි තෙල් වල යහපත් සංයෝගය කැඩිලා යන්නෙ. එහෙම තෙල් වලින් බැද්දම අප්‍රසන්න සුවඳක් සහ අප්‍රසන්න රහක් කෑම වලට එකතු වෙනවා.

      ඕනෑම මේදයක ඒ smoke point තීරණය වෙන කාරණා කිහිපයක් තියෙනවා:
      * සංයෝගයේ තියන විවිධ තෙල් වර්ග
      * බදින දේට තවරලා තියෙන දේවල්
      * තෙල් රත් කරන ලද උෂ්ණත්වය
      * බදින කෑමේ ලුණු අඩංගු වීම
      * තෙල් කොපමණ වතාවක් බදින්න භාවිතා කළා ද යන්න
      * කොච්චර වේලාවක් තෙල් රත් වෙමින් තිබුණා ද යන්න
      * තෙල් කෙසේ ගබඩා වී තිබුණේ ද යන්න (ඔක්සිජන් වලට විවෘත, එළිය, සහ පරිසරයේ උෂ්ණත්වය)

      තෙල් වල ගිල්වා බදින්න ගන්න තෙල් වලට ඉහළ smoke point එකක් තියෙන තෙල් වර්ග වෙන්න ඕනි. බටර්, මාගරීන් සහ සමහර ඔලිව් තෙල් යනාදියට තියෙන්නෙ අඩු smoke point එකක්.

      මේදයෙන් බදින උෂ්ණත්වය ගැන දී Flash point කියන්නෙ තෙල් ෆැරන්හයිට් 600° දක්වා රත් වුනාම. එවිට තෙල් වලින් ගින්දර යාන්තමින් පිටවෙන්න පටන් ගන්නවා. ඊ ළඟට එන්නෙ Fire point කියන 700°F දක්වා රත් වුනාම. මෙහි දී තෙල් ගිනි ගන්නවා.

      තෙල් වල ගිල්වා බදින විට ඒ සඳහා උෂ්ණත්වය මනින මාපකයක් deep-fat thermometer නමින් වූවක් සහායට ගන්න පුළුවන් නම් හොඳයි. එය භාජනයේ පතුලේ නොවදින්න දමා මැනිය යුතුයි. එහෙම එකක් ගන්න බැරි අයට තෙල් රත්වෙලා දැයි බලන ක්‍රමයක් තමයි හාල් ඇටයක් තෙලට දැම්මම එය දැමූ සැනෙකින් උඩට ඇවිත් පිපිරිලා ඉදෙනවා නම් ඒ කියන්නෙ තෙල් වල උෂ්ණත්වය 360°F ක් දක්වා රත්වෙලා. සාමාන්‍යයෙන් අපි ගෙවල් වල බදින බොහෝ ආහාර මේ උෂ්ණත්වයෙන් එහාට යන්න අවශ්‍ය නැහැ. බොහෝ ආහාර රත්තරන් පාටට, හොඳ රහට සහ ක්‍රිස්පි කියන තත්වයට බැදෙනවා 325°F ත් 375°F ත් අතර උෂ්ණත්වයක දී.

      වැඩියෙන් ඉහළ උෂ්ණත්වයකින් බැදීම නරක වගේම අඩු උෂ්ණත්වයකින් බැදීම නිසාත් ආහාරයට තෙල් උරාගැනීම වැඩිවෙනවා. රහ අඩු වෙනවා සහ පාට එතරම් ප්‍රියදායක නැතිවෙනවා.

      ඉතින් බදින කෑමට සහ බදින්න ගන්න තෙල් වලට අනුව ගැලපෙන ඉහළත් නැති අඩුත් නැති හරියන තෙල් උෂ්ණත්වය භාවිතා කළ යුතුයි.

      යමක් හැම පැත්තෙන්ම එක හා සමානව
      * තත්පර 60 ක් ඇතුලත බැදෙනවා නම් තෙල් වල උෂ්ණත්වය 350°F ත් 365°F ත් අතර
      * තත්පර 40 ක් … 365°F ත් 382°F අතර
      * තත්පර 20 ක් … 382°F ත් 390°F අතර

      තෙල් වල පාට ලා නම් ඒ කියන්නෙ සාමාන්‍යයෙන් එය වැඩි උෂ්ණත්වයකින් බදින්නට ගන්න පුළුවන්. ඔලිව් තෙල් මීට හොඳ උදාහරණයක්. කොළ පාට ඔලිව් තෙල් 320°F ක උෂ්ණත්වයක දී smoke point එනවා. එක්ස්ට්‍රා-වර්ජින් කියන ලා කොළ පාට යාන්තමට තියෙන එක 406°F දී සහ කොළ පාට නැති ඉතා ලා පාට එක්ස්ට්‍රා-ලයිට් ඔලිව් තෙල් 468°F ක දී තමයි smoke point වෙන්නෙ. ඉතින් කවුරු හරි කිව්වොත් ඔලිව් තෙල් භාවිතය හොඳයි කියල මතක තියාගන්න ඕන තද කොළ පාට ඔලිව් තෙල් සැලඩ් වගේ ඒවට ඉහින්න ගන්නත් ඉතාම ලා පාට ඔලිව් තෙල් පමණක් තෙලෙන් බදින්න ගන්නටත්.

      safflower තෙල් කියන්නෙ unrefined වූවක් වුනාට එය 510°F ඉහළ උෂ්ණත්වයක දී තමයි smoke point එන්නෙ. සාමාන්‍යයෙන් අනෙකුත් unrefined තෙල් 320°F ට වඩා ඉහළ උෂ්ණත්වයකට ගෙනියන්න නරකයි.

      සාමාන්‍යයෙන් ඇට වර්ග (වෝල්නට්, පිස්ටෑෂියෝ, හේසල්නට්) වලින් ගන්න තෙල් වල smoke point එක අඩුයි. ඒ නිසා සැලඩ් වලට ඉහින්න ගන්නවා මිසක් තෙලෙන් බදින්න ගන්නෙ නැහැ. ඒ වගේම සීතකරණයක දාලා තියන්න ඕන පුළුටු නොවෙන්න නම්. නමුත් රටකජු (peanut) තෙල් 437°ෆ ක ඉහළ උෂ්ණත්වයක දී තමයි smoke point එන්නෙ. ඒ නිසා වැඩියෙන්ම බදින්න සුදුසු තෙල් මෙයයි.

      එළවළු තෙල් කියලා ඇමෙරිකාවේ තියන තෙල් වල වැඩියෙන්ම අඩංගු සෝයා තෙල්. එය 460°F ක ඉහළ උෂ්ණත්වයක දී තමයි smoke point එන්නෙ. කැනෝලා තෙල් 400°F ක දී smoke point එන්නෙ.

      ඒ වගේම rice bran තෙල් වල විටමින්, ඇන්ටිඔක්සිඩන්ට්ස් එහෙම තියෙන නිසා එයින් කොලෙස්ටරෝල් තත්වය වඩා යහපත් කරනවා යැයි ද මතයක් තියෙනවා!!! ඒකෙ smoke point එක 490°F ක. ඉතින් කැනෝලා තෙල් සහ එළවළු තෙල් වලට වඩා තෙලේ ගිල්වා බදින්න ගන්න සුදුසු වූවක්. හැබැයි ඉතින් අනෙක් තෙල් වර්ග වලට වඩා එය මිල අධිකයි.

      පොල් තෙල් වල smoke point එක යැයි සැලකෙන්නේ 280°F දී. ලංකාවේ අය බහුතරයක් පොල් තෙල් අනවශ්‍ය ඉහළ උෂ්ණත්වයකින් පුච්චනවා. පොප් කෝර්න් ගෙදර දී හදද්දී පොල් තෙල් ඩිංගක් දාලා හැදුවම ආයේ උඩින් බටර් උණු කරලා දාන්න අවශ්‍යතාවයක් නැහැ!!!

  5. Balasooriya Lansakara said, on නොවැම්බර් 14, 2014 at 6:06 පෙ.ව.

    අරුනි ගොඩක් ස්තුතියි ඔයාගේ දීර්ග පිලිතුරට.එහි ගොඩාක් වෑදගත් කරුනු තියනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: