අරුණි ශපීරෝ‍ වෙතින්

කූලේඩ් බීම නොහොත් විචාරයෙන් තොර ඇදහිල්ල

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 18, 2014

කූලේඩ් බීලා දැයි අහද්දී එය බීමක් පිළිබඳව නොවෙන අවස්ථාවක් ඇත. විචාරයෙන් තොර ඇදහිල්ලක ලැග සිටිනවා දැයි අහන්නට එය භාවිතා වෙන්නේ ඛේදනීය සිද්ධියක් හේතුවෙනි.

එම සිද්ධිය වූයේ 1978 නොවැම්බර් 18 වෙනිදා. ඔවුන් අයිති වූයේ දකුණු ඇමෙරිකාවේ ගයානා හි පිහිටි ජනතාවගේ පංසල නාමයෙන් සංවිධානය කරන ලද ජනතාවගේ පංසල කෘෂිකාර්මික ව්‍යාපෘතිය හෙවත් “ජෝන්ස්ටවුන්” යැයි හැඳින්වුන ඇමෙරිකන් ආගමික සංවිධානයකට. ඔවුන් සිය ඇදහිල්ල හඳුන්වා ගත්තේ “ධර්මදූතික සමාජවාදය” කියායි. ආගම නැමති අබින් වලින් මත් වී සිටින අයව සමාජවාදය නැමති නිර්වානය කරා රැගෙන යාමට ඔවුන්ගේ ධර්මය ප්‍රචාරය විය.

සංවිධානයේ නායකත්වය දැරුවේ ජිම් ජෝන්ස් විසිනි. ඔහු දේශපාලන බලය මැනවින් ප්‍රයෝජනයට ගත්තෙකි. ඉන්දියානා ප්‍රාන්තයේ දී පංසලට විවේචන වැඩියෙන් එල්ල වෙද්දී ඔවුන් කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ඇදෙති. වෙනත් කල්ට් නායකයන් මෙන් නොව ජිම් ජෝන්ස් යනු කැලිෆෝර්නියා ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙරි බ්‍රවුන්, ඇමෙරිකාවේ උප ජනාධිපති වෝල් මොන්ඩේල් ඇතුළු දේශපාලනඥයන් සමඟ සබඳතා පැවැත්වූයෙකි.

වර්ගවාදය තුරන් කිරීමටය කියා ජිම් ජෝන්ස් සහ මාසෙලීන් ජෝන්ස් දෙදෙනා “දේදුන්නක පවුලක්” යැයි හඳුන්වා ගනිමින් හදාගන්නට දරුවන් එකතු කරගත්හ. කොරියානු, ස්වදේශී ඇමෙරිකන් හා කළු හා සුදු ඇමෙරිකන් දරැවන් හදාගන්නට ගත් ඔවුන් දෙදෙනට දාව ඉපදුනේ ස්ටීවන් ගාන්ධි ජෝන්ස් පුතා පමණි. ජිම් ජෝන්ස් සිය අනුගාමිකයන් අතර ගෑණු පිරිමි භේදයක් නොසලකා ලිංගික සබඳතාවයන් පැවැත්වූයෙකි. ඔහු වෙතින් දරැවන් ගැබ්ගත් කාන්තාවන් කිහිප දෙනෙක් සංවිධානයේ සාමාජිකයන් අතර වූහ.

ඉන්දියානා ප්‍රාන්තයේ කරදර වෙද්දී කැලිෆෝර්නියාවටත් එහි දී සංවිධානයේ ඇදහිලි ගැන ජනමාධ්‍ය වලින් විවේචන එල්ල වෙද්දී ඔවුන් දකුණු ඇමෙරිකාවේ ගයානා රට වාසයට තෝරා ගත්තහ. ඇමෙරිකාවේ වර්ග වාදය දක්වමින් ගායානාවේ කළු ජාතික දේශපාලනඥයන් වෙතින් තම සංවිධානයට අනුබලය සහ නිල වශයෙන් ආරක්ෂාව ලබාගන්නට ජිම් ජෝන්ස් අපේක්ෂා කළේය.

අක්කර 3,000 ක පමණ (12 km²) භූමියක් වනාන්තර පෙදෙසකින් ඔවුන් ලබාගන්නේ වෙළඳ ගිවිසුමක් යටතේ කෘෂිකාර්මික පර්යේෂණාත්මක අධ්‍යනයකට කියායි. ඒත් එතැනට ආසන්නම වතුර සැපයුම තිබුණේ සැතපුම් හතකට එහායි. ජිම් ජෝන්ස්ට උවමනා වූයේ ජනමාධ්‍යයේ ඇස් වලින් සැඟවෙන්නට හැකි තැනකි. වෙනෙසියුලාවත් සමඟ මායිම් පලහිලව්වක සිටි ගයානාවේ පාලකයන් තමන් හා වෙනෙසියුලාව මැද්දේ ඇමෙරිකන් කාරයන්ව දැම්මාම වෙනෙසියුලාවෙන් ආක්‍රමණයක් එන්නේ නැතැයි විශ්වාස කළහ.

සමාජවාදය වෙනුවෙන් ඇප කැප වූ ජීවිත ගෙවන, ආර්ථික, වාර්ගික සහ සමාජයීය සමානාත්මතාවයෙන් යුතු පිවිතුරු කොමියුනිස්ට් සමාජයක් හැදීම ජිම් ජෝන්ස්ගේ අපේක්ෂාව විය. ජෝන්ස්ටවුන් එම “සමාජවාදී පරාදීසිය” වේ යැයි ඊට එකතු වූ සාමාජිකයන් විශ්වාස කළහ.

ගයානාවට ගිය ඔවුන් හා ජෝන්ස් එකතු වූ පසු ඔහුගේ අවසර නොමැතිව ජෝන්ස්ටවුන් වලින් පිට වී යන්නට ඉඩ නොලැබුණි. සෝවියට් ප්‍රොපගැන්ඩා සහ ඇමෙරිකන් සමාජ ගැටළු ගැන වාර්තාකරණ චිත්‍රපටි පමණක් බලන්නට ඔවුනට අවසර ලැබුණි. උතුරු කොරියාවෙන් සහ මාවෝගේ චීනයෙන් ගත් හැදියාවන් වෙනස් කරන, මනස පාලනය කරන විධි ක්‍රම වලට එහි වැසියන් භාජනය වූහ. එහි සිටි දරුවන් සහ වැඩිහිටියන් ජොන්ස් ඇමතුවේ ‘පියා’ සහ ‘පියතුමා’ කියායි. දරුවන්ට ඔවුන්ගේ දෙමව්පියන්ව දකින්නට අවසර ලැබුනේ රාත්‍රියේ සුළු වේලාවකට පමණි.

ඔහු චීනයට, උතුරු කොරියාවට සහ සෝවියට් යුනියනයට පාක්ෂික වූයේය. පැය අටක් වැඩ කරවා අනතුරුව සංවිධානයේ අය ලවා පැය අටක් සමාජවාදය අධ්‍යයනය කරවීම ඔහුගේ අපේක්ෂාව විය. රේඩියෝ මොස්කව් සහ රේඩියෝ හවානා වලින් ලැබෙන ප්‍රවෘත්ති සහ වාර්තා ඔහු විසින් සාමාජිකයන්ට කියවන ලදි. සාමාජිකයන් විසින් ප්‍රවෘත්තියක් කියවිය යුත්තේ කෙසේදැයි පිළිබඳව අවුල් සහගත දීර්ඝ දේශන ඔහු පවත්වන ලදැයි කියැවේ.

ඇමෙරිකන් ආණ්ඩුවෙන් ගෙවන සුබසාධන සහනාධාර මුදල් $65,000 ක තරම් මුදලකට හිමිකම් කියූ ජෝන්ස්ටවුන් වැසියන් එම මුදල් මාස්පතා පංසලට ලැබෙන සේ පවරා දී තිබිණ. ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෝන්ස්ටවුන් හි වැසියන් 75 දෙනෙකු හමු වී සම්මුඛ සාකච්ඡා පැවැත්වූහ. ඒ සුබසාධන මුදල් පවරා දෙන්නේ කැමැත්තෙන් යැයි ද, එහි තමන්ව අකමැත්තෙන් රඳවා ගෙන සිටින්නේ නැතැයි ද, ජොන්ස්ටවුන් වලින් පිට වී යන්නට වුවමනාවක් නැතැයි ද ඔවුන් කියා සිටියහ.

1978 වසරේ පංසලේ ආදායම ඩොලර් මිලියන විසිහයක් පමණ වූයේ යැයි ඇස්තමේන්තු විය.

“ධවල රාත්‍රී” නමින් හැඳින්වුන් අවස්ථා වල දී දරැවන් සහ වැඩිහිටියන් එකට පෙළ ගස්වා ඔවුනට කුඩා වීදුරු වල දමන ලද රතු පානයක් බොන්නට සැලැස්වීය. එහි වස ඇතැයි ද බීමෙන් මිනිත්තු 45 ක දී මිය යන බව ද කීය. එහෙත් මිනිත්තු 45 ගෙවෙද්දී එය බෙදුවේ ඔවුන්ගේ හිතෛෂී (loyal) බව කොතරම්දැයි දැන ගන්නට යැයි ද කීවේය. එසේම, අනාගත දවසක සියදිවිනසා ගන්නට ද සිදුවිය හැකි යැයි අනතුරු ද ඇඟවීය.

මේ අතරතුර දී ජිම් ජෝන්ස්ගේ සෞඛ්‍යය පිරිහෙන්නට පටන් ගති. පෙනහළු පිළිකාවක් නිසා ඔහු බොහෝ වේදනා නාශක බෙහෙත් තමන් ගත් බව කියැවේ. මානසික රෝගයන් කිහිපයක ලක්ෂණ ද ඔහු වෙතින් දකින්නට හැකිවිය.

කැලිෆෝර්නියාවේ කොංග්‍රස් සභිකයෙක් වූ ලියෝ රයන් මේ තොරතුරු අසා ජෝන්ස්ටවුන් වැසියන් බලන්නට ගියේය. 1978 නොවැම්බර් 14 වැනිදා ඔහු NBC නාලිකාවේ ජනමාධ්‍යකරුවන් ඇතුළු 18 ක පිරිසක් සමඟින් ගයානාවට පිවිසීය. එහි දී ජෝන්ස්ටවුන් වලට ඇතුල් වෙන්නට ඉඩ ලැබුනේ හතර දෙනෙකුට පමණි. එහි දී පංසලේ සාමාජිකයන් දෙදෙනෙක් තමන්ව එතැනින් එළියට යන්න අධාර වෙන්න යැයි පණිවිඩයක් රහසේ ඔවුන් අතට පත් කරන ලදි. රයන් ඇතුළු පිරිස ජෝන්ස්ටවුන් හි රාත්‍රිය ගෙවූහ. ඔහු හා ගිය පිරිසේ අනෙක් අය අසල පිහිටි අහස් යානා තීරුවක් වූ පෝට් කයිටුමා ටවුමේ රැඳී සිටියහ.

නොවැම්බර් 18 වැනිදා ජෝන්ස්ටවුන් හි ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ පවුලේ අය ඇතුළු 11 දෙනෙක් ජෝන්ස්ටවුන් වලින් පැන ගියහ.

රයන් ඇතුළු පිරිස සමඟින් ආපහු ඇමෙරිකාව බලා යන්නට අවසර ඉල්ලූ අය ක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගති. ඔවුන් ආපහු රැගෙන යන්නට තවත් ගුවන් යානාවක් ඔවුනට අවශ්‍ය විය. ඔවුන් අතරට එක් වූ ජෝන්ස්ටවුන් හි සාමාජිකයෙක් වූ ලැරී ලේටන් නැමැත්තා පළමු ගුවන් යානය ගුවනය නංවන්න යද්දී එහි මගියන්ට වෙඩි තබන්නට පටන් ගති. කොංග්‍රස් සභික රයන්ට විසිවතාවකට වඩා වෙඩි පහර වැදිණ. එහි දී පස් දෙනෙක් ඝාතනය වූහ.

1978 වසරේ අද වැනි දවසක දී ජෝන්ස්ටවුන් හි මිනිස් ජීවිත 909 ක් සමූල ඝාතනයකට ලක්විය. දෙදෙනෙක් මිය ගියේ සයිනයිඩ් විෂ වීමෙනි. මිදි රහ මුසු කූලේඩ් හා සමාන වූ බීමකට වසවිෂ එකතු කර පානය කරන ලද වැඩිහිටියන් හා දරුවන් මිය ගියහ. ගයානා හි අගනගරය වූ ජෝර්ජ්ටවුන් හි දී මේ ආගමික නායකයාගේ ආඥාවකින් තවත් පංසලේ සාමාජිකයන් හතර දෙනෙක් මරුමුවට පත්වූහ. ජිම් ජෝන්ස් මිය යන ලද්දේ හිසට තබාගත් වෙඩි පහරකිනි. ඔහුගේ දරුවා කියන පරිදි සමහර විට එය ඔහු විසින්ම සියදිවිනසා ගැනීමක් නොව සාමාජිකයෙකු ලවා වෙඩි පහරක් තබා ගැනීමක් විය හැකි යැයි කියැවේ.

සංවිධානයේ ඉහළ තනතුරු හිමි වූ සාමාජිකයන් තිදෙනෙක් මිය නොගියේ ඔවුන් $550,000 ක ඇමෙරිකන් මුදල් සහ $130,000 ක ගයානා මුදල් සමඟ ගයානා හි සෝවියට් තානාපති කාර්යාලයට ලියූ ලියුමක් ද රැගෙන යමින් සිටි නිසයි. ලියුමේ කියැවුනේ මුදල් රැසියාවේ කොමියුනිස්ට් පක්ෂයට තෑගි කරන බවත්, ඩොලර් මිලියන 7.3 කට වඩා ප්‍රමාණයක් එවන්නට බැංකු මඟින් කටයුතු සලසා ඇති බවත්ය. ඒ මුදල් සඳහා ජෝන්ස් සිය සාමාජිකයන් සමඟ රැසියාවට එන්නට අවසර ඉල්ලා සිටියේය. සිද්ධිය දිග හැරෙන බව ඇසී ආපහු ආවත් ටිම් කාටර්ට තමන්ගේ දරැවා වස බී මිය යන හැටිත් එය දරා ගත නොහැකි මවත් සියදිවිනසාගත් හැටිත් දකින්නට ලැබුණි.

ශ්‍රව්‍ය ආබාධිතයෙක් වූ ග්‍රෝවර් ඩේවිස්ට ලවුඩ්ස්පීකරයෙන් දුන් දැනුම් දීම ඇසුනේ නැත. සිද්ධ වෙන්නේ කුමක්දැයි අවබෝධ වෙද්දී ඔහු අගලක බැස මිය ගිය ලෙසකින් සිටියේය. හයසින්ත් ත්‍රෑශ් ඇඳ යට සැඟවී ජීවිතය බේරාගත්තාය. ඔඩෙල් රෝඩ්ස් ගොඩනැඟිල්ලක් යට සැඟවී ද, තවත් දෙදෙනෙක් ආරක්ෂක නිලධාරීන් රවටා කැළයට පැන ගොස් ජීවිත බේරාගත්හ.

ජෝන්ස්ගේ බිරිඳ වූ මාසෙලීන්ගේ මළසිරුර අසල එදින දිනය යෙදූ ටයිප් කරන ලද ලිපියක් විය. එයින් ඉල්ලා තිබුනේ ද තමන් හදාගන්නට ගත් දුවගේ අතට නොයා තම නමින් බහාමාස් බැංකුවේ වූ සියළු වත්කම රැසියාවේ කොමියුනිස්ට් පක්ෂයට යවන ලෙසයි.

ඇනී මුවර් නැමැත්තිය සටහනක් ලියුවේ “මෙවැනි සටහනක් ලියන්නේ මන්දැයි පවා නොදන්නා තරමට මට ලෝකය එපා වෙලා” කියමිනි. “සමහර අය හිතාවි මට පිස්සු කියලා නැත්නම් විශ්වාස කරාවි ජෝන්ස්ටවුන් හි නැති යදම් ඇතැයි කියා,” සහ වෙනත් පාටක තීන්ත වලින් “අපි මිය ගියේ ඔබ අපිට සාමයෙන් වාසයට ඉඩක් දුන්නේ නැති නිසයි,” යැයි ද සටහන් තබයි.

1987 වසරේ රැසියාවේ දී පොතක් පළවෙන්නේ මෙය සීඅයිඒ කුමන්ත්‍රණයක් කියායි. චිත්‍රපටි කිහිපයක් මේ සිද්ධිය පාදක කරගෙන බිහි වී ඇත.

අනගි පාරට්ටු බාන අයට රැවටී කූලේඩ් බොන්නට කැමැත්තෙන්ම ඉදිරිපත් වීම මිනිස් ස්වභාවයකි.

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. nishanthakamaladasa said, on නොවැම්බර් 19, 2014 at 2:43 පෙ.ව.

    This shows how irrational people could become. Unimaginable!

  2. Pradeep Jayatunga said, on නොවැම්බර් 19, 2014 at 2:55 පෙ.ව.

    //ඔහු චීනයට, උතුරු කොරියාවට සහ සෝවියට් යුනියනයට පාක්ෂික වූයේය//

    ප්‍රජාතන්ත්‍රවාදී රටවල eccentric, රැඩිකල් (හෝ ලිබරල් යයි කියාගන්නා), අන් අයට වඩා ඉතා වෙනස් ලෙස හැසිරෙන හා සිතන අයගෙන් සමහරක් කොමියුනිස්ට් සමාජවාදී ක්‍රමයන්ගේ හොඳ කියනව (ඉස්සර හුඟක් කිව්ව). හිනායන වැඩේ ඒවගේ අය කොමියුනිස්ට් (එකල හා දැන් ) රටවල හිටියනම් – සයිබීරියාවෙ ලේබර් කඳවුරක, හිරේ, firing squad ඉස්සරහ, නැත්නම් දඩයම් බල්ලන් විසින් දඩයමට.

    • arunishapiro said, on නොවැම්බර් 19, 2014 at 7:45 පෙ.ව.

      Pradeep Jayatunga,

      තවමත් ඉන්නවා එදා පටන් අද දක්වා කොමියුනිස්ට්/සමාජවාදී රටවල් සාර්ථක නොවූයේ ක්‍රමයේ වැරැද්ද නිසා නොව නායකත්වයේ වැරැද්ද නිසා යැයි කියන අය. ඒ ක්‍රමයේ වැරැද්ද තමයි නායකත්වයක් අවශ්‍ය වීම කියල ඒ මීටර් වලට වැටෙන්නෙම නැහැ.

      ඒ අස්සෙ ළඟක දී දැක්කා කවුදෝ සිංහලෙන් ලියනවා අපිත් ආර්ය නිසා කරදරයක් නොවී නාට්සීන්ට එකතු වෙන්න පුළුවන්කම තිබුනනෙ කියල. අනේ අපොයි!!!

  3. Pradeep Jayatunga said, on නොවැම්බර් 20, 2014 at 12:28 පෙ.ව.

    20වෙනි ශතවර්ශයේ මුල් භාගයේ (19 හි අග? ) ලියවුනු පාසැල් පොතක මම හුඟක් ඉස්සර දැක්ක ඉන්ගලන්තේ ආර්ය රජවරුන් අපිව අනාර්ය වඩුග රජවරුන්ගෙන් මුදවාගත්තා කියල. මං හිතන්නෙ ඒ ජර්මනියේ scholars ල ආර්ය තියරි එක ප්‍රොමෝට් කරන්න ගත්ත කාලෙ

    • arunishapiro said, on නොවැම්බර් 20, 2014 at 7:15 පෙ.ව.

      Pradeep Jayatunga,

      කාල් පොපර් ලියූ The Open Society and Its Enemies (1962) හි ඵෛතිහාසිකවාදය ගැන අනගි විචාරයක් තියෙනව. ඒ වගේම The Poverty of Historicism (1944) හි ඔහු විද්‍යාත්මක (prediction) අනාවැකි සහ ඉතිහාසමය (prophecy) අනාවැකි අතර වෙනස නොසලකා හැර කොහොම ද විද්‍යාත්මක විධික්‍රම වැරදියට වටහාගෙන තියෙන්නෙ කියල පෙන්වනව. පොපර් ඵෛතිහාසිකවාදය කියල ආකල්පයක් පෙන්වනව පළමු පොතේ; පරණ අදහසක්, නැත්නම් යාන්තමට ගැටගහා ගත්ත අදහසක් අනතුරුව ඛේදනීය ලෙසින් කිසිම ප්‍රශ්න කිරීමක් නැතිව පිළිගැනීමට පාත්‍ර වී අධ්‍යාත්මික වශයෙන් ලොකු තැනක් ගන්න හැටි ගැන.

      ඒ පොත් වල දාර්ශනික අදහස් සිංහලෙන් ලියන මේ සටහන් වලට එකතු කරන්න ඉන්නෙ … කවදා හරි ඉඩ ලැබෙන විදියට. නැත්නම් හැමදාම සිංහලෙන් කියවන අයට ලැබෙන්නෙ එකම අසාර්ථක ක්‍රමයක් ගැන විවිධ පැතිකඩ වලින් කියවන්න පමණයි.

      ආර්ය යන සංස්කෘත වචනයෙන් කියන්නෙ noble =ශ්‍රීමත්, කුලීන, සභ්‍ය, මහාත්ම යන අර්ථ මිසෙක වාර්ගිකයක් (race) නොවේ. ඉඩක් ඇත්නම් කියවන්න රසවත් විස්තරයක් මෙතැන. Aryan Invasion – History or Politics? By Dr. N. S. Rajaram


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: