අරුණි ශපීරෝ‍ වෙතින්

හැම දෙයක්ම හිඟ නම් තමයි අපේ රට සරුවෙන්නේ

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 20, 2014

“…. අපේ රටේ හදන දේම
ගත්තොත් අපි හැමදෙනාම
අප රට සරු වේවි හොඳට …” යැයි දරුවන්ට ගීයක් ගයන්නේ ජානකී සූරියාරච්චි විසින් ඇයගේ ‘සිංදු පීඩියා” නම් ලංකාවේ ප්‍රථම කාටූන් සංගීත ඇල්බම් එකේ ටිකිරි ගී අංක 49 ලෙසටයි.

“අපි පුළුවන් තරම් අපේ රටේ හදපු ඒවා ගන්න කොට තමයිලු අපේ රට සරුවෙන්නෙ,” යැයි ඇහෙන ළමා මනස, ගීතයේ රසාස්වාදය සමඟින් රටක ආර්ථිකයක් වැඩ කරන හැටි ගැන වැරදි දැක්මට හුරුවෙති.

මෙයින් කියැවෙන්නේ “හැම බඩුවක්ම හිඟ නම් තමයි අපේ රට සරුවෙන්නේ,” යන්න නොවේ ද?

බඩු හිඟ යුගයක් ලංකාවේ තිබිණ. මේ ටිකිරි ගීයේ දැක්වෙන පරිදි කඩ රාක්ක වල පිංතූරයක් නම් එදා ලංකාවේ දකින්නට නොමැති විය. දේශීය නිෂ්පාදන තෝරාගැනීමට කැමැත්ත එකකි. එහෙත් ඒ නිසා රටක් සරැවේ යැයි වැරදියට සිතීම වෙනකකි.

රටක බහුතරයක් ජනතාව මෙවැනි අදහස් විශ්වාසය කරන්නේ ලෝකයේ බහුතරයක් අර්ථ ශාස්ත්‍රඥයන් එය බැහැරලන ලද්දක් බව නොදැන. ආර්ථික විසංවාදයක් හැටියට මෙය 1867 වැනි ඈත අතීතයක දී ලොවට පෙන්වා දුන්නේ ෆෙඩ්රික් බැස්ටියාට් විසිනි.

මෙන්න ඔබ විසින් තනිවම කල්පනා කර විමසා බැලිය යුතු ප්‍රශ්න කිහිපයක්:

ඒකීය මිනිසාටත්, මිනිස්සු පිරිසක් ලෙසින් ජීවත්වන ඕනෑම සමාජයකටත් වැඩියෙන් හොඳ කුමක් ද? බඩු භාණ්ඩ බහුලව තිබීම ද? නැත්නම් හිඟ තත්වයන් පැවතීම ද?

බහුලත්වය නොව වෙළඳපොලේ භාණ්ඩ හිඟය වැඩියෙන් හොඳ යැයි කියන අය කවුද?*

බඩු හිඟයක් රටේ පැතිර යාම ගැන ප්‍රශංසා කරන දේශපාලනඥයෙක් කිසිම රටක දකින්නට ඉන්නවා ද? නැත්නම් එවැනි අවස්ථාවක දී හැම දේශපාලනඥයෙක්ම කරන්නේ හිඟය නැති කරන්නට මේ මේ දේවල් කරනවා යැයි පොරොන්දු ප්‍රකාශය ද?

වෙළඳපොලේ බඩු භාණ්ඩ බහුලව තිබුණොත් එවිට කුමක් වේදැයි ගැන ජනතාව බියකින් සිටිනවා ද?

පිටරටින් බඩු ගෙන්වීම නරකයි සහ පිටරටට බඩු යැවීම හොඳයි යන්න ඕනෑම රටක ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි ගැන නොදන්නා ලෝක වාසීන්ගේ විශ්වාසයයි.

දේශීය අපනයන නිෂ්පාදන වසර පහක් යද්දී දෙගුණයකින් වැඩි කළ යුතු යැයි යැයි 2010 දී බරක් ඔබාමා කියා සිටියේ එයින් මිලියන දෙකක රස්සා බිහිවෙනවා යැයි කියමිනි.

පිටරටට පටවන අපනයන යනු රටට ගෙනෙන ආනයන සඳහා ගෙවන මිලයි. ඒ නිසා රටක වැසියන් කළ යුත්තේ හැකිතරම් විශාල ප්‍රමාණයකින් ආනයන ගෙන්වා ගැනීම සඳහා හැකි තරම් කුඩා ප්‍රමාණයකින් අපනයන කිරීමයි කියා මුලින්ම පැහැදිලි කර දුන්නේ ඇඩම් ස්මිත් විසිනි. මිල්ටන් ෆ්‍රීඩ්මන් 1978 දී එය මෙසේ පැහැදිලි කළේය:

කෙටියෙන් කිව්වොත්, අපි පිටරටෙන් ගෙන්වන බඩු – අපි පිටරටට පටවන බඩු = අපේ ජීවන මට්ටම

අර්ථ ශාස්ත්‍රයට අනුව, සමාජයක ජීවන මට්ටම ඉහළින්ම පවතින්නේ රටට ගෙන්වන බඩු උපරිමයෙන් වැඩි කිරීමටත්, රට පටවන බඩු හැකිතාක් අඩු කරන්නටත් හැකියාව ලැබෙද්දී ය.

මෙහෙම හිතන්න: ඩිංගක් රට පැටවීමෙන් ගොඩක් රටට ගෙන්වා ගන්නට හැකියාවක් ලැබෙනවා නම් එයට අකමැති මන්ද?

බඩු විකුණන්නා සහ බඩු මිල දී ගන්නා අතර ගැටුමක් නොව ඇත්තේ කැමැත්තෙන් සිද්ධ වෙන හුවමාරුවකි. තමන් අහිමි කරගන්නට කැමති මුදලට වඩා බඩුව අගයකින් යුතු යැයි සිතන්නේ නැත්නම් අයෙක් මුදල අහිමි කරගන්නේ නැත. ඒ මිලට බඩුව ගන්නට සිද්ධ වීම ගැන සිතේ හටගත් අප්‍රසාදය වෙනකකි. ඒත් මුදල දී බඩුව ගෙන යෑමෙන් කියන්නේ ඒ මුදලට වඩා බඩුව අවශ්‍ය වූ බවයි. එනම් අහිමි කරගත් මුදලට වඩා හිමිකරගත් බඩුවේ අගයක් තිබුණ බවයි.

ලාබය සොයන චේතනාවෙන් කටයුතු කරන වෙළෙන්ඳන් මංකොල්ලකාරයන් හැටියට දකින හුරැව නිසා වෙළෙන්ඳා බඩුව ගන්න යැයි පාරිභෝගිකයාට බලහත්කාරකමක් නොකරන අවස්ථා පෙනෙන්නේ නැත.

වෙළෙන්ඳා* යනු ස්වභාවයෙන්ම වෙළඳපොලේ බඩු භාණ්ඩ හිඟයක් තිබෙනවාට, බඩු තොග අඩු වෙනවාට, බඩු මිල වැඩිවෙනවාට කැමැත්තක් දක්වන අයෙකි.

පාරිභෝගිකයා යනු ස්වභාවයෙන්ම වෙළඳපොලේ බඩු බහුලව තිබෙනවාට, තොග යහමින් තිබෙනවාට සහ අඩු මිලට බඩු ගන්නට හැකිවෙනවාට කැමැත්තක් දක්වන අයෙකි.

මෙම ස්වභාවික තත්වයන් යටතේ රටක නීතිය විය යුත්තේ වෙළෙන්ඳාගේ පැත්ත ගැනීම නොවේ. පාරිභෝගිකයාගේ පැත්ත ගැනීම ද නොවේ. විකුණන්නා සහ මිල දී ගන්නා, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා, ඉහළ මිල සහ අඩු මිල, හිඟය සහ බහුලත්වය යනාදියේ පැත්තක් ගැනීම නොව නීතිය කළ යුත්තේ මධ්‍යස්ථව සිටීමයි.

නීතිය මධ්‍යස්ථ වෙද්දී නීති සම්පාදකයන්ට සහ නීතිය ක්‍රියාත්මක කරන අයට අනුන්ට බලය පෙන්වත හැකියාව අහිමි වේ.

නීතිය මධ්‍යස්ථ නොවී පැති ගනිද්දී, සමාජයේ යහපත උදෙසා කියමින් අනුන්ට නීති දාන්නට රිසි බලලෝභීන්ට බලය පෙන්වත හැකියාව හිමි වේ.

බලය මේ තරම් ප්‍රමාණයෙන් තිබිය යුතු යැයි කියන්නට දන්නා ජගතෙක් ලොව නැත.

සියල්ලන්ටම සාධාරණයක් සිද්ධ කරත හැකි නියාමන ගෙනෙන්නට දන්නවා යැයි කියන විද්වතුන් වනාහී බලතණ්හාධිකයන්ට බලය පුදන්නට ඍජුවම හෝ වක්‍ර ආකාරයකින් සහාය දෙන අයයි.

ලාබ සොයන්නාව පහත් කරමින් අනුන්ට බලය පෙන්වන්නාව සහ අනුන්ට බලය පෙන්වන්නට සහාය දෙන්නන්ව ජාතියේ පිනට උපන් අය යැයි මෝඩකම චේතනාවක් කරගත් රටවැසියන් ප්‍රශංසා කරති.

ඒ අස්සේ මේ හුරැවෙන් යුතු වූ නූගත් වෙළෙන්ඳා ද කැමති හිඟ තත්වය පවත්වා ගන්නට නිසා ඔහුත් බලලෝභීන්ගේ සහාය පතයි. එවැනි රටවල ජනතාව හැමදාම හිඟය සහ හිඟනකම උරැමයක් කරගෙන සිටිති.

ඉතින් බහුලත්වය සොයන පාරිභෝගිකයා දේශීය භාණ්ඩ ගැනීමෙන් පමණක් තම රට තවත් සරුවේ කියා රැවටී බලලෝභීන්ගේ සහායෙන් හිඟ තත්වය පවත්වා ගෙන සිටින වෙළෙන්ඳා වෙතින් පමණක් බඩු මිල දී ගනියි.

මෙවැනි සටහන් සිංහලෙන් ලියන්නට වෙන කෙනෙක් නැති නිසා නොදන්නා අය පවා තරහා වෙන්න ඉඩ තිබෙද්දී මේවා මටම ලියන්නට සිද්ධ වේ. ඒත් මගේ අරමුණ කාටවත් පහර දීම නොවේ. සිංහලෙන් කියවන අනාගත පරම්පරාවකට හෝ ආර්ථිකය ගැන නිවැරදි දැක්ම සඳහා යා හැකි පාරක් පෙන්වීමයි. ඒ පාරේ යනවා ද නැද්ද තෝරා ගැනීම කියවන්නා සතුයි.

Advertisements

21 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on නොවැම්බර් 20, 2014 at 10:58 ප.ව.

    ඉස්සෙල්ලම, “අපි පුළුවන් තරම් අපේ රටේ හදපු ඒවා ගන්න කොට තමයිලු අපේ රට සරුවෙන්නෙ,” කියන එකෙන් “හැම බඩුවක්ම හිඟ නම් තමයි අපේ රට සරුවෙන්නේ” යන්න ගත්තෙ කොහොමද කියන්න?

    • arunishapiro said, on නොවැම්බර් 21, 2014 at 7:41 පෙ.ව.

      රාජ් -රාජ්ගෙ නවාතැන-,

      පහුගිය දවස්වල ලංකාවට අර්තාපල් ගෙන්වන එක නතර කළේ ආණ්ඩුවේ රෙගුලාසියකින්.

      ලංකාවේ වැවෙන අර්තාපල් වෙළඳපොලට එද්දී පිටරට අර්තාපල් ද වෙළඳපොලේ තිබුනොත් මොකද වෙන්නෙ? ලංකාවේ වෙළඳපොලේ අර්තාපල් බහුලත්වයක් ඇතිවෙනවා.

      එතකොට අර්තාපල් මිල ට මොකද වෙන්නෙ?
      අර්තාපල් මිල බහිනවා.

      එතකොට අර්තාපල් වවලා වෙළඳපොලට දාපු ගොවියන්ට මොකද වෙන්නෙ?
      ලාබය අඩුවෙනවා.

      එතකොට අර්තාපල් ගන්න කඩේට යන පාරිභෝගිකයට මොකද වෙන්නෙ?
      අර්තාපල් අස්වැන්න ලැබෙන කාලයේ දී පවා අඩු මිලක් දකින්නට නැතිවෙනවා.

      ආණ්ඩුව විසින් සහතික මිලකට අර්තාපල් ගොවියන් අතරින් සමහර අයගෙන් අර්තාපල් මිල දී ගන්න ක්‍රමයෙන් මොකද වෙන්නෙ?
      ගොවියන් අතර සමහර අයට පමණක් විශේෂ වරප්‍රසාද ලැබෙනවා
      ගොවියන් කිසිම ලෙසකින් වෙළඳපොලේ තරඟකාරී මිලකට දිය හැකි අර්තාපල් වගාව නිෂ්පාදනයට ක්‍රම සහ විධි ඇත්දැයි සොයාගැනීමක් සිද්ධ වෙන්නේ නැති නිසා දීර්ඝ කාලීනව පිටරටෙන්ම අර්තාපල් ගෙන්වීමට වහල් වෙනවා

      රට වැසියන් සියල්ලන්ටම මොකද වෙන්නෙ?
      අර්තාපල් ගොවියන්ට සහතික මිල දෙන්නට ගිය වැයෙන් බදු බර සහ ජීවන වියදම තවත් ඉහළ යනවා.

      ඉතින් නොවැම්බර් 19 දා අර්තාපල් ආනයන තහනම රජය ඉවත් කළේ ඇයි?
      වසර අවසානයේ දී හැමෝම උත්සව තියන්න ගත්තම, (මේ සැරේ නම් වැඩියෙන් සිද්ධ වෙන්නෙ අපේ පැත්තට චන්දෙ දෙන්න කියලා හැමෝම දන්සැල් දාන එක වෙයි ද දන්නෑ!!) ඇරඹෙන අර්තාපල් හිඟය නැති කරන්න කියල.

      මිල දිහා තමයි හැමෝම බලන්නෙ. ඒත් අමතක වෙන්නෙ තොග ප්‍රමාණය (quantity).

      මිනිසෙක් ධනවත් වෙන්නෙ තම ශ්‍රමයේ ඵලදාවට අනුව ලැබෙන පාරිශ්‍රමික? (remuneration) ස්වභාවය අනුව. ඉහළ මිලකට සමානුපාතිකව තම නිෂ්පාදන විකුණා ගත හැකියාව අනුව. එයාගේ නිෂ්පාදන වලට ඉහළ මිලක් ලැබෙන්නේ ඒවායේ හිඟයට (scarcity) සමානුපාතිකව. ඉතින් හිඟයක් ඇත්නම් එයා ධනවත් වෙනවා. මේ න්‍යාය ප්‍රායෝගිකව ගත්තම, ඒ ඒ ශ්‍රම කොටස්වල යෙදෙන අයට වරප්‍රසාද බෙදන්නට, කෘතීම ලෙස හිඟයක් නිෂ්පාදනය කරන්නෙ බදු හා තහනම් ගෙනෙන්නට හැකි රෙගුලාසි හා ආණ්ඩුවකට ජනතාවගේම බදු මුදල් වලින් ඔවුනට කැමති සමහර ගොවියන් වෙතින් පමණක් ආණ්ඩුව තීරණය කරන සහතික මිලකට බඩු මිල දී ගත හැකි නීති වලින්.

      මොනොපොලියට කැමති නැතැයි කියන අය ආණ්ඩුව ලවා කැමැත්තෙන්ම මොනොපොලියක් හදවා ගන්නෙ ඇයි?

      ඉතින් යම් නිෂ්පාදනයක තොග ප්‍රමාණයන් සුලබ වෙද්දී එහි මිල බහිනවා. දේශීය නිෂ්පාදකයා දුප්පත් වෙනවා කියල හිතන්නෙ බහුලත්වය නිසා සමාජයක් විනාශයට යනවා කියල විශ්වාස කරන නිසා. ඒ නිසා බහුලත්වය නැති කරලා හිඟය වැඩිවුනොත් තමයි අපේ රට සරැවෙන්නෙ කියන විශ්වාසය ඇතිවෙනවා. බහුලත්වය නැති කරන්න නීති ගෙනෙන්නට පටන් ගන්නවා.

      දේශීය නිෂ්පාදන වලට අඩු මිලක් තරඟකාරී වෙළඳපොලක දී ලැබෙද්දී, ආණ්ඩුවක් මැද්දට පනින්නෙ නැතිව ඉන්නවා නම්, එහි දී ශ්‍රමය වෙහෙසන මිනිස්සු හොයා ගන්නවා වැඩි මිලක් ලැබෙන දේශීය නිෂ්පාදන වෙළඳපොලට ගෙනෙන්න. නිදහස් වෙළඳපොලකට ඉඩක් දෙන්නෙ නැති නිසා ඒ අගනා නිෂ්පාදන මොනවා වේදැයි කියා පවා කවදාවත් දැනගන්නට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඉතින්, අපේ මිනිස්සුන්ට ලෝක වෙළඳපොලක තරඟ කරන්නට බැහැ කියන මිථ්‍යාව වපුරවමින් දිගින් දිගටම ආණ්ඩුවක මැදිහත්වීම් වැඩිවෙනවා.

      මිනිසා නිෂ්පාදනය කරන්නේ පරිභෝජනයට. නිෂ්පාදනය කරපු දේවල් දිහා බලල අඩේ මට මේවා හදන්න පුළුවන් යන උද්දාමයෙන් රසාස්වාදයක් ගන්න නෙමෙයිනෙ.

      අපි අමතක කරන තව එකක් තමයි රටේ හැම කෙනෙක්ම එකම අවස්ථාවේ දී නිෂ්පාදකයෙක් සහ පාරිභෝගිකයෙක් ද වෙන බව.

      ඒත් හිඟය වැඩි නම් නිෂ්පාදකයට හොඳයි කියද්දී අපි සලකන්නෙ එහි දී පුද්ගලයා නිෂ්පාදකයා වෙන බව විතරයි, එයාම පාරිභෝගිකයෙකුත් වෙන බව අමතක කරනවා.

      පාරිභෝගිකයෙක් ධනවත් වෙන්නෙ අඩු මිලට බඩු ගන්න ලැබෙද්දී. ඉල්ලුමක් ඇති භාණ්ඩ බහුලව තියෙද්දී සමානුපාතිකව ඒවාට අඩු මිලක් නියම වෙනවා. ඉතින් බහුලත්වය නිසා පාරිභෝගිකයා ධනවත් වෙනව.

      හැමෝම ශ්‍රමය වෙහෙසන අය නිසාත්, හැමෝම පාරිභෝගිකයන් වෙන නිසාත් එතකොට මොන ක්‍රමය ද හරි? බහුලත්වය ද? හිඟය ද? කවුද දිනන්නෙ? කොයි ක්‍රමයෙන් ද රටක් සරැසාර වෙන්නේ?

  2. mppgunasinghe said, on නොවැම්බර් 20, 2014 at 11:46 ප.ව.

    බොහොම වටිනා ප්‍රයෝජනවත් ලිපියක්. ආර්ථික විද්‍යාව ඉගෙනීමට අත්පොත් තබන දරුවන්ට ඉතාම ප්‍රයෝජනවත් වේවි. ඔබට ගොඩක් තුති

  3. හලෝව් රස්ටා said, on නොවැම්බර් 21, 2014 at 5:09 පෙ.ව.

    මම ගීය නෑසුවෙමි. එහෙත් කුඩා කල හද මාමා, ඉර මාමා වගේම අලි රාළහාමිලා ගැනත් අසා ඇත්තෙමි. එහෙත් දැන් මතකයේ ඇත්තේ අග කොටස් හැලී.. හද , ඉර , අලි ආදී වශයෙනි. ඒ අනුව මගේ අදහසනම් ශපිරෝ නැන්දේ, කුඩා කල අපේ රටේ හදන දේම ගත්තොත් කීවාට ලොකු වෙනකොට මතකයේ රැදෙන්නේ අපේ රටේ දේ කියන ටික විතරයි. ඉතිං ඒ ටිකවත් කුඩා කල ළමා මනසට දැමීම නරකද, රටේ දේ , පිට රට දේ ඔය දෙක ගැන දැනෙන හැගීම් දෙක ටිකක් දැනෙන්න ඇරියොත් අර පස්සට ඉතිරි වෙන ශේෂයන් ලොකු අවධියේ දැනුමත් එක්ක ඒ ගොල්ල ගලපා නොගනීවිද? ඉර මාමා, හද මාමා ගෙන් අපිට නම් වරදක් වුනේ නැහැ. නමුත් දැන් නම් ඉර මාමා හදමාමා ගැන කියාදුන්නත් ඵලක් ඇතිද කියාත් හිතෙනවා. කෙසේ නමුත් ගත්තත් නොගත්තත් අපේ දේ කියන වචානාර්ථයේ දැනීමවත් හරි විදිහට ගොඩනගන්න පුළුවන් නම් කොතනින් හරි.. ටිකෙන් ටික හරි.. ඒත් ඒ කතාව වෙනම එකක්. ආර්ථිකයකට වෙනස් එකක්.

    • arunishapiro said, on නොවැම්බර් 21, 2014 at 7:45 පෙ.ව.

      හලෝව් රස්ටා,

      ඇයි මේ අපේ රට එරෙහි පිටරට යන ගැටුමක් වර්ධනයට අවශ්‍ය?

      නායකයන්ට අවි ගන්නට හැකියාව ලැබෙන්නේ එහෙම වුනාම නේද?

      බඩු දේශ සීමාවන් හරහා යන්නේ නැති විට සොල්දාදුවන් යනු ඇත -ෆ්‍රෙඩ්රික් බැස්ටියාට්

      • හලෝව් රස්ටා said, on නොවැම්බර් 21, 2014 at 2:13 ප.ව.

        ගැටුමක් නොවේ. අපේ දේ ගැන හැගීමක් තිබුනොත් අඩු තරමින් එකම මිලකට තීරණය ‍වන දේකදි හෝ අපේ දේමිලට ගැනීමට හිතන්නේ නැතිවෙත්ද? මූලික ‍තත්වයන් සමානයි කියල හිතුවොත්… හරියට කලිසමත් සරමත් දෙකම ඇදුම් කියල හිතන්න පුළුවන් තැනකදි සරමට බැහීම වගේ. වැදගත් සරම නොවෙයි. අපේ ගතිය.. අපිට පුළුවන් නම් පිටරට්ටුන්ටත් වැඩි වැඩියෙන් සරම් අන්දන්න. අපි විතරක් නොවෙයි පිටරැටියනුත් අපේ දේවල් ගන්න තැනට පත්කරන්න. ඒක ආර්ථිකයට එහා හිතිවිල්ලක් නේද?

        අදවෙනකොට සාම අමර නැතත් අපේ නම් දාල ලියන කතන්දරයකට වැඩිය ජැක් ල ඩික් ල දාල ලියන කතා වලට ළමයි ආස වෙන්නෙ ඇයි?? කොහොමත් අපේ ජානවලට දැනෙන සංස්කෘතියෙන් උපදින දේට පහළ වටිනාකමක් දීම අපිට හුරුවක් වෙලා. හුදු පිළිගැනීම මතම දැනෙන ගතිය අතහැරීම ලොකුකමක්. සිංහල නොදැනීම ඉංග්රීඅසි නොදැනීමට වඩා වටිනාකමක් අදටත්.. අපේ බස පිටරට බස කියා වෙනසක් නොහිතා උගන්වන්න ගිහින් අවසානෙට අපේ සමහර හැගීම් දැනීම් පරම්පරාවෙන් පරම්පරාවට ගලායාම නැවතිලා. ඒක වෙනම කතාවක් වුනත් ඒකෙ කොනක මේ කතාවත් තියනවා කියලා මට හිතෙන්නේ. අපේ රටේ අපේ මිනිස්සුන්ගෙ ජාන වලට දැනෙන අපේ දෙයක් තියනවා කියල අරුණි නැන්දාට හිතෙන්නේ නැතිද? කොයි රටටත් අදාළ විදිහටම අපිටත් ඒක වටිනාකමක් වන තැනක් නැතිද.. එහෙම කිව්වට අනේ මට නම් පිටරට වල උදවියත් එක්ක වැඩි ආස්සරයක් නෑ අනිත් ජාතිකයො ගැන දැන ගන්න නම්.

        අපේ පරණ අයත් දැන්ම කලිසම ඇදන් වලාපට ගහන්න හදන එකත් සරම ඇදන් ෂිප් එක වහන්න හදන හැටිත් දැක්කම අනාගතයේ අපේ අය මොනවා කරයිද කියල හිතනවා. අපි නම් සරම කලිසම අදුනනවා. අනාගතයේ අයට අඩු තරමේ කලිසමක් වෙනුවට සරමක් අරන් ඇදගන්න හැටි කියාදීම වටිනවා. අපේ බඩු පිටරට ගි‍යාවේ. පිටිනුත් බඩු ආවාවේ.. ඒවා වෙළදාම්නේ.. ඉතිං අපි අපේ දේ අදුනාගෙන හිටියොත් තීරණේ හොදින් ගනී. මොකද අර අපේ දේ ගන්න කියන එකේ අග හැලුනම ලොකු කාලේ මතක තියෙන්නෙ අපෙ දේ කියන එක නිසා වත්. අනික් අතට අම්ම තාත්ත අපේ කියල මතක හිටී. නැත්නම් සමහරවිට විද්යාේත්මක ක්ර්මයට විතරක් ඒ දෙන්නා ගැනත් මතක හිටියොත්‍. ඒ කීවෙත් හැගීම ගැන.

        හොද නරක හා ගුණාත්මය අඩු වුනත් හෙලා තලාම නොඉද වැඩි තැනකට ගන්න ඕන නම් අපේ කියන හැගීම දැනෙන්න ඕන නේද. අපේ නිෂ්පාදන හොද වෙන්න ඕන දියුණු වෙන්න ඕන හා බහුල වෙන්න ඕන කියල හිතන්නත් අපේ දේ කියල දෙයක් ගැන හැගීමක් තියෙන්න ඕන නේද. නව නිෂ්පාදන වලට මෙහේ තැනක් නැත්තේ ඇයි? කරන්න අය නැති නිසා නොවෙයි, වෙළද පලට අපේ කියල එවැනි නිෂ්පාදන දාන්න ඕනෙ නෑ..වෙනත් ඒව ඒ තැන අරගෙනයි කියල හිතන නිසා.. ඒනිසා සමහරවිට සමහර නිෂ්පාදන අභිබවන්න පුළුවන් අපේ දේවල් කවදාවත් කරළියට එන්නේ නෑ. මේක අපේ තියෙන ඌනතාවයක්. අපිට අපේ දූපතේ උගතුන් වටින්නෙ නෑ. අපේ වියතුන් වටින්නෙ නෑ. විශ්වාසයක් නෑ. දූපත කුඩයි. අපි පොඩියි. චින්තනයත් පොඩියි. හැබැයි ඒ දේවල්ම ටිකක් සෝබනේට කියූ වෙනත් උගතුන් වටිනවා. ….

        අපේ දේ ගැනීම ගැන තවත් සරලවම කීවොත් පිටරටක උපන්නත් අපේ කෙනෙකුට අපේ නමක් දීම වගේ දෙයක්. එහේ උරූවට පහසුවෙන් කියවෙන එකක් නොදී අපි අපේ නමක් දෙනවා. එතැන තියෙන්නේ අපේ දේ ගැන හරයක් නම්..

        අපේ දේ ගැන හරයාත්මක ගැඹුරු හැගීම මිනිස්සු තුළ බලවත් වුනු දාට අවි ගන්න දේවිද මිනිස්සු නායකයන්ට හිතුමතයට.. බඩු දේශ සීමා හරහා නොයාවිද වෙළදාමට.. සොල්දාදුවෝ හිතමිත්රු ආරක්ෂකයෝ අසල්වැසියෝ නොවේවිද.. සමහරවිට මේ ලියූ කතන්දරේ අරුණිනැන්දා අකමැති තරමේ වැල් වටාරමක් වෙන්න ඇති.. ඒත් ඔය ඒ ගැන අපිට ඇතිවුනු හැගීම් පුංචි වට වන්දනාවකින් නිදහස් කිරීමක් මිස පුද්ගලිකව වෙනත් කතාවක් කීමක් නම් නොවෙයි.

        නැවතත් කිය යුත්තේ හද මාමා පස්සෙ හද වුනා වගේ අපේ රටේ හදන දේම ගත්තොත් අපි හැම දෙනාම කියන කතාවෙන් රට හා අපි ගැන වත් මතක තියෙන්නට යමක් ඉතිරි වුනොත්පොඩිඅයට.. ඒකත් ලොකු දෙයක් ඔය වැඩේ සපුරා ආර්ථිකමය වශයෙන් සිද්ධ නොවුනත්! (අදටත් නොමිලේම දුන්නත් නැතත් රජයේ පාසල තවදුරටත් වටින එකේ එක පැත්තක ඔවැනි කතාවක්ද තිබෙනවා‍. හැබැයි ඒකෙ ප්ර්මිතිය ගැන තත්ව සහතික නම් නැහැ, ඒත් වටිනවා තවමත්)

        • arunishapiro said, on නොවැම්බර් 21, 2014 at 7:18 ප.ව.

          හලෝව් රස්ටා,

          “අපේ” කියද්දී පොදුවේ ලංකාවේ හදන දේවල් ද නැත්නම් ඊට වැඩියෙන් තමන්ගෙ ගම් පළාතේ හදන දේවල් ද? එහෙම නැත්නම් ගම් පළාතටත් වැඩියෙන් තම වාසස්ථානයට සමීප අසල්වැසියන් හදන දේවල් අගය කරන්න ඕනෑ ද? ඊටත් වැඩියෙන් තමන්ගෙ පවුලේ අය හදන දේවල් වලට අගයක් දෙන්න ඕනෑ ද?!!!!!!!!

          • අපි කිව්වම මමත් ඔබත්.. ඔබ කිව්වම ඒ පවුලේ , අසල්වැසි, ගම් වැසි හෝ රට වැසි වෙන්නත් පුළුවන්.. අවසන ලෝක වාසි. පළමුව මම ඉන්නේ පවුලේ. දෙවනුව ගමේ තෙවනුව රටේ , අනතුරුව ලෝකයේ. අපේ කිව්වම මගෙන් පටන් අරන්… අවසන ලෝකවාසී වෙනකම් පරාසයක් වෙන්න පුළුවන්. නමුත් තවමත් අපි ඉන්නේ රටවැසි පදනමක, හැදින්වෙන්නෙ අහවල් රටේ වැසියෙක් හෝ මේ මේ රටවල පුරවැසියෙක් හැටියට. ඒ සීමාවන් බිදල සියල්ලෝ එකම ලෝකයක වාසීන් හැටියට සැබවින්ම පිළිගන්නා, ගනුදෙනු කරන අනාගතයක් එනකම්, ලෝක වාසී පුරවැසි පතක් එනකම් අපි බෙහෙවින්ම හිතන්නෙ රට වැසියො හැටියට. ඉතින් එවිට අපි බොහෝ විට අපේ දේ හැටියට කියන නිෂ්පාදන රට ඇතුළෙදි නම් පවුල් , ගම් , පළාත් වශයෙන් බෙදන්න පුළුවන් වුනත් එතනින් එහා ගත්තම ඒ සියල්ල රටේ දේ… අපේ දේ ලෙස කියන්න පුළුවන්. එතකොට පවුලේ සිට ගම, නගරය, පළාත, රට දක්වාම අපේ දේ මට තේරෙන හැටියට නම්. එනිසා ඒ හැම‍දේටම අගයක් දෙන්න ඕනෑ.

            • arunishapiro said, on නොවැම්බර් 22, 2014 at 8:41 පෙ.ව.

              ශුද්ධ වූ රස්තියාදුව,

              මම ලියූ සටහන ඔබට වැටහී නැති හැඩයි. කැමති ඕනෑම අයෙක් සමඟ, ඒ කියන්නෙ පවුලෙ කෙනෙක් හදන දෙයක් සිට දුරබැහැර රටක නොහඳුනන අයෙක් හදන දෙයක් ගන්න එක දක්වා කැමති අයෙක් එක්ක තම කැමත්ත අනුව කරන ගණුදෙනුවකට තහනමක් වැටී තිබෙන්නෙ “අපේ දේ” ට අගය වැඩියෙන් දෙන්න ඕනෑ මොකද අපේ දේ ගත්තම රට සරැසාර වෙනවා කියන අසත්‍ය අදහන නිසා.

              මෙතෙක් ලංකාවේ ඉතිහාසය පුරා සිද්ධ වූයේ හලෝව් රස්ටාට වගේ පුංචි කාලේ ඉගෙන ගත්තු එකකින් කෑල්ලක් මතකයේ තිබී ඉතිරිය අමතක වීම නොවේ. විමර්ශනයකින් විචාරයකින් තොරව බාරගත් අසත්‍ය පදනමකින් පටන් ගෙන තව තවත් අසත්‍ය ආකල්ප අපේ යැයි හැටියට පිළිගන්නට හුරැවීමේ ස්වභාවය වර්ධනයයි.

              එකම ලෝකයක වාසීන් හැටියට ගණුදෙනු කරන ‘අනාගතයක්‘ එනකම් බලාගෙන ඉන්නෙ ඇයි? අද ඊට හැකියාව තමන්ට නැත්තෙ “අපේ දේ” ට තැන දුන්නම රට සරැසාර වෙන අසත්‍යය පිළිගන්න නිසාම පමණක් යැයි වටහා ගන්න ඔච්චර අකමැති ඇයි?

              හැම දේටම අගයක් දෙන්න බෑ. මම හැම දේටම අගයක් දෙනවා යැයි අයෙකුට පුරසාරම් දොඩවන්න පුළුවන්. ඒත් බහුතරයක් දිහා බලල එක දෙයක් තෝරාගැනීමයි එක අවස්ථාවක දී එක මිනිහෙකුට කරන්න පුළුවන්. එහෙම කරද්දී පමණයි යමකට අගයක් ලැබෙන්නෙ. තමන් තෝරාගන්නේ මොන හේතුවක් මත පදනම් වී දැයි කියා තහනමක් පැනවීමට කැමති නිසා තමන් විසින් තමන්ටම කරගන්නෙ තෝරාගැනීම් අඩුකර ගැනීම, වැඩි වැයක් ගෙවන්නට කැමති වීම, බාල ප්‍රමිතියෙන් යුතු දේ ගන්නට සීමා වීම, ගන්නට ලැබෙන දැයේ කිසිත් දියුණු තියුණුවක් සිද්ධ නොවීම.

              අපේ දේ අගය කිරීම නිසා අපේ රට සරැසාර වේ (තමන්ගෙ දියුණුව සැලසේවි) යැයි කීම අසත්‍යයක් යැයි අවබෝධයට උත්සාහයක් ගන්න.

              • අරුණි නැන්දාගේ ලිපිය මා ආයේ කියෙව්වා. එහි අර්ථය මට වැටහෙනවා. වැඩි අවශ්‍යතාවයකින් යුතු නම් භාණ්ඩ සුළු ප්‍රමාණයක් අපනයනයෙන් ලැබෙන ලොකු මුදලකින් අඩු අපනයනයක් තුළ වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්න අපට පුළුවන්. අර සමීකරණයට අනුව කුඩා ප්‍රමාණයක් අපනයනයෙන් විශාල අනායනයක් කිරීමට හැකිවන්නේ එවිට වගේම ඊට අනුව නම් අපේ ජීවන මට්ටමත් ඉන් කිව හැකියි. තව දුරටත් එකින් එක විස්තර වෙන කාරණාත් නොතේරෙනවාම නොවේ. නමුත් නොතේරෙනවාමයි කියමුකෝ..
                නමුත් මා කියන්නට යන්නේ එය නොව අපේ දේ ගැනීම හා රට සරුසාර වීම යනු හුදු ආර්ථික කාරණාවකට පමණක් සීමා වන දෙයක් නොවන බව. මට වැටහෙන ආකාරයට බුද්ධියට දැනීම ‍දීමෙන් පමණක් අපට සරුවිය හැකිද? හැගීම් දැනීමත් සමග ගලා යා යුතු නැතිද? මේක ජනකලාවක් වගේ දෙයක් නොවේද? කවි කතා ආර්ථිකයත් එක්ක කොහොමත් වැඩි පෑහීමක් නෑ‍ නේද? මෙතනටත් වඩා ඔය කතාව මෙහේ ටීවී ඇඩ් එක්ක හොදට ගලපාගන්න පුළුවන්. වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී කිව් පොඩි අයට මෙසේ අස්සෙ රිංගලා හරි හොරෙන් කන්න කියල උදේ රෑ රස පදනමෙන් පෙන්නුවම තත්වය කොහොමද?
                මම කියන්න හදන්නෙ විද්‍යාව හැදෑරුව මම වුනත් ඒ ඔස්සේ පමණක් හිතුව නම් අද පරීක්ෂණාගාරයක හිරවෙලා ඉන්න තිබුන. අඩු තරමෙ අපේ සංස්කෘතියත් එක්ක ගැටගැහිල තියෙන මෙලෝ එලෝ ගැන කියන දහමත් විද්‍යාත්මක ඇහින් මිස නොදකින්න තිබුන. ඒක පවතින ක්‍රමය තුළ දියුණුවක් කියන්න පුළුවන් වුනත් ඇත්තටම දියුණුව මිනිහෙක් හැටියට දහමේ කොනකින් හෝ අල්ලා වටහා ගැනීම නොවේද?
                මම දකින විදිහට නම් අපිත් එක්ක ජීවත් වෙන අයට මට වගේ පුංචි කාලෙ ඔලුවට ගිය දෙයින් තවත් කෑලි අඩුවෙන් මතක තිබීම වගේම ඒ කෑලිත් විහිළුවක් වෙලා තිබීමයි ගැටලුව, අවබෝධයට කෑල්ලක් හෝ නොවැටීම.
                ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න තමයි ඕන. හැබැයි අපි සංස්කෘතියකින් තොර මිනිස්සු හැටියට එතනට යන්නෙ කොහොමද? අපිට අද වෙනකොට කියන්න තරම් ලොකු සංස්කෘතියක් නෑ තමයි. නමුත් තියෙන නටඹුන් හරහා මනසින් වත් ගමන් නොකර අපේ හරිම ශක්තිය අවදි කරගන්න බෑ. ඒකෙදි අපේ මොළේ එක පැත්තක් හිස්.
                ඔබතුමිය කියන කතාවෙ සත්‍යක් මාත් දකිනව තමයි. හැබැයි එය අර්ධ සත්‍යක්.‍ මම කතා කරන්නෙත් අර්ධ සත්‍යක්. අවබෝධය තිබෙන්නෙ ඔය අතර. එනිසා මම ඔබ තුමියගෙ අදහස බැහැර කරන්නෙ නැහැ වගේම, අපේ දේ අගය කරන එක තුළ දියුණුවක් නැහැ කියන්නෙත් නැහැ. සරුසාර වීම ලබන්න නිෂ්පාදන කරන්න පදනම මනසයි. ඒ මනස ගොඩනැගෙන්නෙ බුද්ධිය ක්‍රියාවේ යෙදවීමෙන් පමණක් නොවෙයි. හරි හැගීම් දැනීම් පදනමක් තුළ බුද්ධිය මෙහෙය වීමෙන් කියන එක මගේ විශ්වාසය.
                අපි අපේ අතීතයෙ නිෂ්පාදන ගැන දැනගන්න ඕන. වර්තමානය ගැන වගේම අනාගතයේ නිෂ්පාදන ගැන හිතන්න ඕන. ගෙදර හදන බත් ‍එකේ නිෂ්පාදන වටපිටාව නොදන්න අපි කෑම කඩයක් දැමීම විහිළුවක්. ස්වභාවික රූප සොබාව නාදුනන අපි රූපලාව්‍ය කටයුතු මුදලට විකිණීම විහිළුවක්. ලෝකයේ වෙන්නෙ හරි දේම නොවෙයි. නමුත් තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන දේ තෝරාගැනීම තුළයි දියුණු නිෂ්පාදන කරන්න පුළුවන්. හැබැයි ඒ නිෂ්පාදන හැකියාව අවදිවෙන නියමිත පිළිවෙලක් නැහැ වගේම ඒකට අපේ දේවල බලපෑමක් නැහැ කියන්නෙ කොහොමද? පළමුව අපිට බලපාන්නෙ ජාන වගේම හැදෙන පරිසරය නොවේද?
                ඒ පරිසරයෙ දි අපි කිවනවනම් පොඩි අයට ආර්ථික කාරණය මේ නිසා මේ චින්තනය වැරදියි කියලා. මං හිතන්නෙ ඒක අපි පුතේ හද කියන්නෙ මාමා කෙනෙක් නෙවේ ග්‍රහලෝකයක් කීම වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ. අද නම් කියන්න දෙයක් නෑ පොඩි අය හිතන්නෙත් එහෙමයි. නමුත් තවමත් පොඩි අය ලොකු කරන්න ඉක්මන් නොවිය යුතු තැන් තිබෙනවා කියල මගේ පොඩි කමට මට හිතෙනවා. අපිට උනත් වයසට කලින් මෝරන්න සිද්ධ වුන එකෙන් කණගාටු හිතෙන දේ ගොඩක් උනා. 🙂 නමුත් ඊටත් වඩා දේ වේවි පොඩ්ඩන්ට අමු ඇත්තෙන්ම උගන්නන්න ගියොත්.
                ඔබතුමියට තරම් ඉගැන්වීම ගැන කතාකරන්න සුදුසුකම් හෝ අයිතිය නැතත් මගේ මොළේට දැනෙන හැටියට නම් පොඩි කාලෙ ඉගෙන ගන්න අර්ධ සත්‍ය පුර්ණ වශයෙන් ලොකු කාලෙ අපි බාර ගන්නෙත් නැහැ. හදට මාම කිව්ව කියල වැඩිහිටි අයට බනින්නෙත් නැහැ. ඒ වගේම අපේ දේ ගන්න කිව්වෙ අපේ දේ ගැන හැගීමෙන් මිස වෙන දෙයක් ගැන වෛරයෙන් නොවෙයි කියල තේරුම් ගන්නවා නේද?
                මම හිතන්නේ විශ්වාස කරන්න පුළුවන් අවසාන අවස්ථාව දක්වා අපේ දේ අපිට වටින්නම ඕන කියලයි නැන්දේ. එතන ලෝකයා කියන විදිහට නැතත් දියුණුවට මාර්ග නැත්තේමත් නැහැ.

                • arunishapiro said, on නොවැම්බර් 23, 2014 at 11:17 පෙ.ව.

                  ශුද්ධ වූ රස්තියාදුව,

                  අවශ්‍ය (need) දෙයක් ද ඕන (want) දෙයක් ද කියා වෙනස් විදියකට සලකන්න බැහැ. වැඩි අවශ්‍යතාවයක්/ඕනෑකම අනුව ද සහ අඩු අවශ්‍යතාවයක් හෝ ඕනෑකම අනුව ද කියා වෙනස් විදියකට සලකන්නත් බැහැ. ඒ නිසා //වැඩි අවශ්‍යතාවයකින් යුතු නම් භාණ්ඩ// කොටස වැරදියි.

                  //මේක ජනකලාවක් වගේ දෙයක් නොවේද? කවි කතා ආර්ථිකයත් එක්ක කොහොමත් වැඩි පෑහීමක් නෑ‍ නේද?// මොකද නැත්තෙ!!! කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි වැනි අසත්‍ය පිළිගැනීමට හුරැවීම නිසා තමයි හැඟීම් උද්දීපනය වෙන්නෙ, ආර්ථික ගණුදෙනු තීරණය වෙන්නෙ, ආර්ථිකය වැටෙද්දී සමාජයක සභ්‍යත්වය කඩා වැටෙන්නෙ.

                  මිනිසා කරන්නේ තෝරාගැනීම්. තෝරාගැනීම් එපා යැයි කියා නැහැ.

                  “අපේ දේ” තෝරාගැනීමත් එපා කිව්වෙ නැහැ. සටහනෙන් කිව්වේ අපේ දේ ගත්තාම රට සරැසාර වෙනවා යන්න බොරැවක් කියායි. ළමයින්ට බොරැ උගන්වන්න එපා කියායි.

                  //දියුණුව මිනිහෙක් හැටියට දහමේ කොනකින් හෝ අල්ලා වටහා ගැනීම නොවේද?// දහම් කොන යනු පට්ටපල් බොරැ කීම ද?

                  මිනිස්සුන්ට කන්න, අඳින්න, ඉන්න තැනක් හෝ බෙහෙත් ගන්න ලැබෙන යහපත් ආර්ථිකයක් නැතිව ඒ මිනිස්සු ඉන්න සංස්කෘතිය දියුණු වෙන්නෙ කොහොම ද?

                  //මම හිතන්නේ විශ්වාස කරන්න පුළුවන් අවසාන අවස්ථාව දක්වා අපේ දේ අපිට වටින්නම ඕන කියලයි නැන්දේ. එතන ලෝකයා කියන විදිහට නැතත් දියුණුවට මාර්ග නැත්තේමත් නැහැ.// වටිනාකමක් දිය යුත්තේ අපේ දේ නිසා නොව ඕනෑම අදහසක, භාණ්ඩයක, කලාකෘතියක අගයක් ඇත්නම් පමණයි. නැත්නම් වෙන්නෙ අපේ දේ වුනත් ගන්න බැරිතරම් දුප්පත් වෙලා, දියුණුවට මාර්ග නැතිවෙලාම යන එක.

                  තමන්ට සිද්ධ වූ අසාධාරණයක් නිසා දෙමව්පියන්ට හෝ ආදරවන්තියට/ආදරවන්තයාට හෝ සමාජයට “හොඳ පාඩමක් උගන්වන්නම්” කියලා හැඟීම් ගලා ගිහින් සියදිවිනසා ගන්න අයත් ඉන්නවා… ඒක ඉතින් එයාලගෙ කැමැත්ත.

                  අපේ දේ ගත්තම රට සරැ සාර වෙනවා කියන බොරැව නොකියා රටේ ආර්ථිකය කඩා වැටුනත් කමක් නෑ අපේ දේ ගැනීම අපේ කැමැත්ත කියලා කියන්න නිර්භීත වෙන්න. 😀

                  • මම කියන්න උත්සාහ කරපු සමහර දේ ඔබතුමී අරගෙන තියෙන්නෙ වෙනස් විදිහට. ඒක මගේ ලීවීමේ හා මෙහෙම සන්නිවේදන‍යේ අඩුවක් වෙන්න ඇති. ඒ ගැන ගැටලුවක් නැහැ. දහමේ කොන අල්ලගැනීම විතරක් නෙවෙයි. දහම කොනක ගෑවීම වුනත් පට්ටපල් බොරු කීමක් වෙන්නෙ නැහැ. මොන අර්ථයකින් කවුරුන් අරඹයා එහෙම කියනවාද මම දන්නේ නැහැ. හැබැයි මම කීවේ අපිට දැනෙන හැගීම, මට දැනෙන හැගීම. ඒක බොරුවක් කියන්න නම් ඔබ තුමියට අයිතියක් නැහැ. ඒක වැරදියි කියන්න පුළුවන්. නමුත් ඒකත් ඔබ තුමියගෙ විග්‍රහයට අනුව.

                    නීර්භීත මිනිස්සු මෙහෙට ඕනෑ තමයි. අපි පොඩිකාලෙ පටන් රටේ අත්වින්ද ගොඩක් කලකෝලහල දුරදි‍ග ගියේ සමහර විට උවමනාවට වැඩි බුද්ධිමත්මකම් නිසා වෙන්නත් පුලුවන්. මෝඩකම් වගේම බය නිසාත් කොහොමත් රටක් අගතියට යන්න ඕන නෑ.

                    අපේ දේ ගත්තම රට සරු සාර වෙනවා කියන්නෙ සරල අදහසක් පොඩිඅයට.. ඒක රටේ ආර්ථිකය කඩා වැටුනත් කමක් නෑ අපේ දේ ගැනීම අපේ කැමැත්ත කියලා කියන අන්තයකට යන්න තරම් නිරභීත වෙන්න ඕන දෙයක්ද? මගේ අදහස එහෙම දෙයක් නෑ. අපේ දේ ගන්න, ඒ ගැන හිතන්න.. රට සරුසාර වෙන්න අපි එහෙම හිතන හා කරන එක වැදගත්. ඒ නිර්භීත කම ‍සෑහෙනවා. එපමණයි. සරුසාර වීම කියන්නේ ආර්ථිකයේ අංක වලින් ඉස්සරහට ඒම කියලා එතන අදහස් වෙනවාද? මගේ අදහස එහෙම නැති බව
                    කාසි වාසි ඇති අය ලග බොහොම හිගයි මනුස්සකම කියන එකේ තියෙන්නෙ අසත්‍ය විතරද? ඒකෙ සත්‍යක බිංදු මාත්‍රයක්වත් නැතිද? මගේ අදහස බිංදු මාත්‍රයකට වැඩිය සත්‍යක් තියෙනවා. ඒකෙන් කියවෙන්නෙ නැහැ කාසි වාසි නැති අය ලග මනුස්සම හිග නෑ කියලා. එතනත් හිගයක් තියෙනවා.
                    අනිත් අතට ඔය දෙපැත්තෙම මනුස්සකම තියෙන අයත් ඕන තරම් ඉන්නවා. නමුත් බොහොම හිග කියන එක කාසි වාසි ඇති කියන දේත් එක්ක මතු කිරීමෙන් කාසිත් එක්ක මනුස්සකම යට යන්න පුළුවන් කියන අදහස දෙන එක වරදක්ද?? එහෙම අය අපි දැකල තිබෙනවා ඕන තරම්. නමුත් කාසි නැති කමත් එක්ක මනුස්සකම අඩුයි කිව්වනම් ඒක සාධාරනීකරණය වෙන්න තියෙන අවස්ථාවත් වැඩී කතාව අසාධාරණ වුනත්. එ‍තකොට එතන තියෙන්නෙ එහෙම ලීව එකේ වැරැද්දද? නැතිනම් අවස්ථා ගැලපීමේ උචිත භාවයද? මට හිතෙන හැටි උචිත දෙයක්.
                    නමුත් ඔය කියන ආර්ථිකමය නිවැරැදි භාවයෙන් ලියන්න ගියොත් මොනදේ ලියුවත් හිරවෙනවා. එක පැත්තකට ලියුවොත් අනිත් පැත්ත. අනිත් පැත්තට ලියුවොත් අනිත් පැත්ත. එතකොට අපි ගන්න ඕන මොන පැත්තද? අපි කැමති පැත්තද, අනිත් පැත්තට බැනීමද.. නැත්නම් ඒ කියන දේ මධ්‍යස්ථව තේරුම් ගැනීම නොවේද විය යුත්තේ. ඔයිට වැඩිය අපි විරුද්ධ වෙන්න ඕන දේවල් නැතිද? තියෙනවා මෙහේ ඕන තරම්.. ඒවත් ගීත වලින් කියවෙනවා. නමුත් කෙළින්ම ආර්ථික උපායන් ගැන ලියවුනු ගී සින්දු මම මෙතෙක් නම් අහල නෑ.
                    ඉතිං මේ වාක්‍ය එක අන්තයකට අරගෙන හමගහන්න ඕන දේවල්ද? එතනදි කෙනෙකුට ගැඹුරට අරන් ඔබතුමිය වගේ කියන්නත් පුලුවන්. කෙනෙකුට සරලව අදහස රස විදින්නත් පුලුවන්. අපි කොහොමද අපේ දැක්මට විරුද්ධ වුන පමණින් ඒක එක පැත්තකට තල්ලුවෙන දෙයක් කියන්නේ?

                    දහමෙ කොනක් ගෑවුන අහුවුනු කෙනෙක් නිසා මම බො‍රු කියන්නේ නැහැ. මට හැගෙන දේ කියනවා. ඒකෙ වැරැද්දක් තේරුනොත් ඊලග තැනදි ඒක හදාගන්නවා. පරිපූර්ණ කෙනෙක් හැටයට එකක හෙ‍ා් තැනක එල්ලිල ඉන්න උවමනාවක් මට නෑ. පට්ටපල් බොරු ගැන නිතරම ‍හිතන අය වෙනුවෙන් ඒ ටික කියන්නේ.

                    ඉතිං අපේ දේ අරගත්තම රට සරුසාර වෙනව කියන කතාව පොඩි කාලෙදි පොඩි විදිහට අරන් ලොකු වෙනකොට ඒක ආපහු හිතෙනවනම් ප්‍රශ්නයක් කියල ඒක ඒ වයසෙ දැනුමෙන් අවබෝධයෙන් නිරාකරණය කරගන්නව. මං කීවෙ සරලවම ඒ අදහස. අනිත් අතට අපේ දේට වටිනාකම් දෙන්න කීවෙ අපේ දේට අනිත් දේ අතරේ සැළකිය යුතු වටිනාකම් ලැබෙන්න තරම් දේවල් තියෙන නිසා. නමුත් අවස්ථාව නෑ. අපේ තියන බය සහ නිවටකම නිසා. ලොකු තැනකට කොක්ක ගහගන්නෙ නැතිව අපිට නැගිටින්නම බෑ කියල අපිට හැම ප්‍රායෝගික දේ තුළම දැනෙන්න අරින්නෙ. අපේ ජීවිත රස්තියාදු වුනේ සමාජය තුළ නිකම්ම නොවෙයි. හරි දේට හරි විදිහට තැනක් නොලැබුන නිසා. සමහරුන්ට ඒව විහිළු. නමුත් රටේ දෙපය ගහගෙන ඉන්න අපිට වඩා හොදින් දැනෙනවා වෙන දේ. ඇත්ත අපේ දේ නොවෙයි. පිරිසකගේ කම්මැළිකමයි, බයයි, තණ්හාවයි දැන් අපේ දේ වෙලා තියෙන්නේ.
                    හරියට තමන්ගෙ කියල මානසික ස්ථාවරයක් හදාගන්න බැරි මිනිහෙක් නැගිටින්නෙ කොහොමද දෙපයින්. අද මිනිස්සුන්ට මෙහේ පුරුදු කරන්නෙ මොනවද? කීයක් හරි අත මිට මොළවනවනම් කියන දෙයක් කියන්න කරන්න කියල. ඒ දේවල්වලට පුරුදු වෙන මිනිස්සුන්ට අපේ දෙයක් ගැන හිතන්න හයියක් නෑ. එහෙම තැනදි අපේ දෙයක් හදන්න ඕන. අපේ දෙයක් ගන්න ඕන කියන දෙයින්වත් හිතට ජීවයක් දෙන්නෙ නැතිව, ඊතලේ වැදුන තැනදි ඒකට ‍බෙහෙත් නොදා ඊතලේ ආව දිශාව හොයන්න ගියොත් කොහොමත් මැරිල මිසක් මිනිහ පණපිටින් ඉතිරිවෙන එකක් නෑ.

                    මේ මොහොතෙ මෙහේ තියෙන හැගීම හරි වෙනස්. යුද්ධෙට පස්සෙ රට කියන දෙයක් ගැන මිනිස්සුන්ට හැගීමක් දැනිල තියෙනවා. අපි කැමති වුනත් නැතත් එකපාරට මෙතනින් පියවර කීපයක් ඉස්සරහට පැනල අපට යන්න බෑ.. අපිට යන්න තියෙන පළමු පියවරේ අපේ දේවල් ගැන අපිට කතාකරන්න වෙනව. කාගෙ දේශපාලනේද? ඒක මොන වර්ගෙද? අපි ධනවාදීද? සමාජවාදීද? කෙහෙල්මල් හොයනවට වඩා අඩු තරමෙ නන්නත්තාර වෙමින් යන අපේ තරුණ හා ළමා අයට ඉති‍රිවෙලා තියෙන අපේ අපේ කියන දේවල් මොනව හරි තොලකට ගෑමේ වරදක් ඇත්තේ නැහැ ක‍ොහොමත්. හැම‍දෙනාම ඉතා‍ ඉහළ බුද්ධිමතුන් වගේම පහළ මොඩයනුත් නොවන නිසා ඒ මාර්ගයෙන් යමක් සිද්ධවෙනව.. අඩු තරමෙ ඒ ගෑවෙන දෙයින් මොකක් හරි අනාගතේ ඉතිරිවේවි. එහෙම නැතිනම් පොඩි ළමයාගේ සිට මේ සියල්ලේ හරි වැරද්ද කියල දෙන්න ටියුෂන් කරමු.. ඒක විහිළුවක් නැන්දේ.
                    ඒක විහිළුවක් නොවෙන්නෙ ටිකක් වැඩි වයස් ඇති උනන්දුවන්ට පමණයි. එතනදිත් ‍අපේ දේවල් මත ඉන්න එපා කීම ඇත්තක් හෝ නැත්තක් වුනත් එය ඔවුන් දුර්වල කිරීමක් පමණයි. ඇත්ත වුනත් ඇදේට කියන්න කියල ඔබ තුමීම මොකක්ද ඉංග්‍රීසි කවියක තිබුන දෙයක් අරගෙන කියල තිබුන බව මගේ බාග මතකයේ තියෙනව. අන්න ඒ වගේ මෙතනදිත් ඇත්ත ඇදට කීවම බොරුවක් කියල කියන එක වැරදියි. පට්ටපල් බොරු කියා හෑල්ලු නොකර එහෙනම් ඇත්ත ඇදේට කියන හරි විදිහ කියල දෙන්න තරම නීර්භීත වෙන්න ඔබතුමියත්. එහෙම එක විදිහක් තියෙනවද? හැබැයි ගොඩක් දෙනා අරක මේක වැරදී කියනව මිස නිවැරදිව කරන කියන විදිහ කියන්නේ නෑ. ඒකත් අපි වගේ යමක් වැරදි වැරදි හරි තේරුම් ගන්න හදන අයට ප්‍රශ්නයක්. 🙂

                    ශපිරෝ නැන්ද කියන දේ ඇත්තක් තිබුනත් නැතත් මම කියන දේත් ඇත්තක් තියෙනව. ඕන නම් ඒකට අපහාස උපහාස කරන්න හෝ මෝඩ කමක් කියන්න ඔබතුමීට පුළුවන්. ඒකට මට කමක් නැහැ. නමුත් ඔබ තුමියගේ විග්‍රහයේ පිළිගන්න ටික මම පිළිගන්නම්. එතනින් එහා බොරු කියනව කියන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් නෙවෙයි. කියන්න බැරි නම් නිකං හිටියත් බොරු කීමේ පුරුද්දක් මගේ නෑ. ඒ නිසා මගේ මතයට හෝ අදහසට ඔබ තුමී කියූ දෙය මම විමසන්නම්.. පට්ටපල් බොරු ඔබතුමියම ගන්න. 🙂 නැත්නම් පට්ටපල් බොරු කියන අයටම එය ගියාවේ..

                    තමන්ට වුන කරදරයක් හිරිහැරයක් නිසා සමාජයට පාඩම් කියාදෙන්න ගිහින් විහින් මැරෙන අය වගේම නොමැරී ඒ පාඩම් සාමාජගත කළ අයත් අප දැක තිබෙනවා. සමහර විට ඒ පාඩම් බොහෝම වැදගත් වූ අවස්ථාත් අසා දැක විද තිබෙනවා. කකුල් දෙකම නැති ගුවන් නියමුවාගේ කතාවේ සිට ගත්කල පැවති අවසානම පැරා එ්ෂියා තරග වල පදක්කම් ලංකාවට ගෙන ආ අය ‍වගේ. අතපය හතරම තියෙන අයගෙ අපේ දේ ගැන හැගීමට වඩා ඒ අයගෙ අපේ දේ ගැන හැගීමේ බලවත් කමකුත් තිබෙන බව පේනවා. ඒ වගේ අපේ අය නිෂ්පාදනය කරන දේවල් ගොඩක් ගැනත් වැඩසටහන් දැක තිබෙනවා. හිතේ හයිය අපේ දේත් එක්ක එක්කහු වුනොත් අපේ අ‍යගෙ බොහෝ නිෂ්පාදන සුලුවෙන් ඔබතුමිය ඉන්න රටට අලෙවි කරල වැඩි ප්‍රමාණයක් අපට අනායනය කරන්න බැරිවෙන එකක් නැහැ නුදුරේ.. නැත්තෙ ඒ උවමනාව තියෙන්න ඕන අයට.
                    එහෙම දවසක ඔබතුමියත් එහෙට එන අපේ දෙයක් වෙතොත් අරගෙන රට සරුකරන්න උදව්වෙන්න අමනාප නොවී.. ඒත් ඔබතුමියගෙ අදහසට අනුවනම් ගන්න එපා අපේ කියන හැගීමෙන්.. 🙂 කැමැත්තක්. අපේ දේ ගන්න මම නිර්භීත වෙන්නම්.. හැබැයි ඒක අන්තයකට යන එකක් ‍‍‍නොවේ. නිතර පිටරට‍ දේ නොගන්න එකක්. තියෙන තරමට අපේ විකල්ප ගන්නා එකක්.

                    • arunishapiro said, on නොවැම්බර් 23, 2014 at 11:50 ප.ව.

                      ශුද්ධ වූ රස්තියාදුව,

                      මිනිසෙක් හැටියට දියුණුවක් ලැබෙන්නෙ දහමේ (doctrine, law, merit) කොනකින් හරි අල්ලා ගැනීම නිසාම තමයි. එහෙම කොනක් අල්ලා ගැනීමට මේ සටහන් කියවන හැමෝටම හැකියාව ලැබේවා යැයි උදක්ම පතමි.

                      18 සියවසේ ලොවට පැහැදිලි වූ ද, එතැන් සිට ලෝකයේ ඒ ගැන හදාරන සියල්ලන්ම විසින් ප්‍රතික්ෂේපයෙන් තොරව පිළිගන්නා වූ ද, ‘අපේ දේ’ ගැනීම නිසා රටක් සරැසාර නොවේ යන්න 21 වැනි සියවසේ දී පිළිගන්නට අකමැති වීම යනු ‘පට්ටපල් බොරැවක්’ අල්ලා ගෙන සිටීමට කැමැත්තයි. එය දහමේ කොනක් හෝ අල්ලා ගෙන සිටීම නොවේ. එහෙම දහමක් කිසිවෙක් ඉදිරිපත් කරලා නැහැ. එහෙම වෙනවා යැයි පට්ටපල් බොරැවක් පවත්වාගෙන යන්නේ ජනතාවගේ චන්දයෙන් බලයට එන්න බලාපොරොත්තුවෙන දේශපාලනඥයන්ගේ උවමනාවට.

                      අයෙක් ප්‍රපාතයකට ඇද වැටෙන්න යද්දී, ඒක පෙන්නලා දුන්නාම එයාට ඒ බව දකින්න නොහැකියාව නිසා “නැහැ නැහැ මට එහෙම ප්‍රපාතයකට ඇද වැටේවි කියා හැඟීමක් නැහැ” කියලා කිව්ව පළියට ඒ මනුස්සයා ප්‍රපාතයට ඇද වැටෙන එක නැවතෙන්නේ නැහැ.

                      // අපේ දේ ගන්න, ඒ ගැන හිතන්න.. රට සරුසාර වෙන්න අපි එහෙම හිතන හා කරන එක වැදගත්. // තමන්ගෙ රටේ දේ ගත්ත පළියට කිසිම රටක් සරැසාර වෙන්නෙ නැහැ. ඒ නිසා එහෙම වෙනවා යැයි හිතන එකත්, එය කරන එකත්, එසේ කරන්න යැයි අනුන්ට කියන එකත් මෝඩකමක්.

                      //ඒකෙ සත්‍යක බිංදු මාත්‍රයක්වත් නැතිද?// නැහැ. කාසි වාසි තියෙනවා ද නැද්ද කියන එක අනුව නෙමෙයි කෙනෙකු තුල මනුස්සකමක් තියෙනවා දැයි තීරණය වෙන්නෙ. මහා ධනකුවේර සහ ඉතා දුප්පත් යන දෙගොල්ලන් අතරම මනුස්සකම පිරැණු පුද්ගලයන් එක සේ හමුවෙන්න අවස්ථාවක් ලැබිච්ච දාට පමණක් එය සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න අවබෝධ වේවි. ඒත් අපේ දේ අරගත්තම රට සරැසාර වේ කියන බොරැවෙන් පිරැණ හැඟීම් වලින් පිරැණ අය ක්‍රමයෙන් හිඟන ණයගැතියන් වෙද්දී ඒ බොරැවෙන් රවටා සල්ලි පොදි ගහන්නට දන්නා මනුස්සකම නැති ධනපතියන් සහ බඩගින්නට හොරකම් කරන දුප්පතුන් තමයි එවැනි සමාජයක වැඩි.

                      //එක පැත්තකට ලියුවොත් අනිත් පැත්ත. අනිත් පැත්තට ලියුවොත් අනිත් පැත්ත.// ආර්ථිකය කියන්නෙ සමාජයක මිනිස්සු ක්‍රියාකරන ආකාරය පෙන්වන්නක්. ඒක එක පැත්තකට සහ අනෙක් පැත්තකට ලිව්වා කියල වැඩක් නැහැ ප්‍රතිඵල පෙන්වන්නේ එකම විදියකට පමණයි. කොමියුනිස්ට් ක්‍රමයන් කඩා වැටුනේ ඒ නිසයි. ධනවාදී කියමින් සමාජවාදී ක්‍රමයන් කළත් කඩා වැටෙන්නේ ද ඒ නිසයි.

                      //එහෙම නැතිනම් පොඩි ළමයාගේ සිට මේ සියල්ලේ හරි වැරද්ද කියල දෙන්න ටියුෂන් කරමු.. ඒක විහිළුවක් නැන්දේ// මට නම් මෙය විහිළුවක් නෙමෙයි. හෙන සීරියස් දෙයක්. හරි වැරැද්ද තෝරා බේරා ගන්නට හැකියාව ලොව පවතින බවත්, එය කරන්නේ කෙසේදැයි නොදන්නා අහිංසක මිනිස්සු ගැන දැනෙන දුක නිසාමත් තමයි මේ බ්ලොග් සටහන් ලියන්න ගත්තෙ. මනුස්සකම නිසාම අත්නොහරින වෑයමක්.

                      //ඇත්ත වුනත් ඇදේට කියන්න කියල ඔබ තුමීම මොකක්ද ඉංග්‍රීසි කවියක තිබුන දෙයක් අරගෙන කියල තිබුන බව මගේ බාග මතකයේ තියෙනව.// එහෙම කිව්වෙ එමිලි ඩිකින්සන්. ඒ ගැන මම ලිව්වෙ මෙහෙම:
                      “කෙනෙක්ගේ හිත රිදවන්නෙ නැතිව ඇත්ත කියන්න පුළුවන් ද? මේක ගැන Emily Dickinson මෙහෙම කියනවා “Tell all the Truth but tell it slant” -සත්‍යය මුළුමනින්ම කියන්න, ඒත් පොඩ්ඩක් ඇදේට කියන්න. ඒ කියන්නේ අදහස් කරන සත්‍යය දේ සිත නොරිදවා කීම සුදුසු බවයි.
                      සියළු දෙනාටම එහෙම පොඩ්ඩක් ඇදේට සත්‍යය පවසන්න හැකියාව නැති බව ඔබ දන්නවා ද?….”

                      //අපේ අ‍යගෙ බොහෝ නිෂ්පාදන සුලුවෙන් ඔබතුමිය ඉන්න රටට අලෙවි කරල වැඩි ප්‍රමාණයක් අපට අනායනය කරන්න බැරිවෙන එකක් නැහැ නුදුරේ.// ලංකාවේ හදන නිෂ්පාදන වර්තමානයේ දී ද වැඩියෙන්ම අරගන්නෙ මම ඉන්න රටේ මිනිස්සු තමයි.

                      ඔබ මගේ සටහන ඔප්පු කරන්න හදනවා ද?!!!!

                      ලංකාවෙන් ලෝකයට අපනයන කරන නිෂ්පාදන වලින් වැඩියෙන්ම ප්‍රමාණය (22.6%) මිල දී ගන්නෙ ඇමෙරිකාව. 2014 සැප්තැම්බර් වෙද්දී ලංකාවෙන් ඩොලර් මිලියන 1,991.9 ක අගයකින් යුතු භාණ්ඩ ආනයනයත්, ලංකාවට ඩොලර් මිලියන 278.1 ක අගයකින් යුතු භාණ්ඩ අපනයනයත් කරලා තියෙනවා. කොයි ආර්ථිකය ද සරැසාර?

                      බැරි බ්ලම්බර්ග්, ජෝනාස් සලක් වගේ අය කොච්චර දෙනෙක් ලංකාවේ ඉන්නවා ද?

  4. හලෝව් රස්ටා said, on නොවැම්බර් 24, 2014 at 3:52 පෙ.ව.

    නැවත කියන්නට උවමනාවක් නැහැ. මම කියන්නේ හැගීම ගැන කතාවක්. ඔබ තුමිය කියන්නෙ ආර්ථික විද්‍යාවත් එක්ක බැදෙන බුද්ධිය හා ගැලපෙන දෙයක්. ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට යන විදිහයි මා දහමෙන් තේරුම් ගෙන තියෙන්නේ. එතනදි වඩා ගැඹුරෙන්ම පැහැදිලි කරගැනීමකින් තොරව වගේම හුදු බුද්ධිය මෙහෙයවාම පට්ටපල් බොරු ගැන ‍තීරණය ගන්නවා නම් දහමේ ශ්‍රද්ධාවක් ගැන කියවෙන්න ඕන නැහැ. මේ රටේ ඉන්නෙ බුද්ධිය වගේම හැගීමෙනුත් වැඩි ප්‍රබලතාවයන් ඇති මිනිස්සු. මෙහේ දහමේ ගැඹුරු අර්ථය එළිපිට නැතත් මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාව අස්සෙ අදටත් හැංගිලා තියෙනවා. ඕනනම් ඒ මෝඩ ශ්‍රද්ධාව ගැන බුද්ධියෙන් මත්වෙලා හෑල්ලු කරන්නත් පුළුවන්. නැතිනම් බුද්ධියෙන් තෙත් වෙලා ලියන්නත් පුළුවන්. නමුත් බුද්ධියෙන් ලියන දේ හැගීම්බර මිනිහට සන්නිවේදනේ වෙන විදිහ හා එතනදි කලාවෙන් යථාර්තය අමුවට ඥානනය කරන්න පුළුවන්ද කියන එකත්, ඒ කොයි කොයි වයසෙ අයත් එක්කද කියන එකත් ගැන හැගීමෙනුයි මම කියන්නෙ ම‍ා කීදේ.
    මමත් මේ දේ තේරුම් ගත්තට ඒ විෂයෙ මහා කෙනෙක් නොවෙයිනේ. නමුත් අපට පුළුවන් හැටියට ඒ ගැන තේරුම් අරන් තියෙන්නේ. එ නිසා එක එක රටවල එක එක ජාතිය අතර තියෙන මේ වෙනස තුළයි නිර්මාණයක් ගැන හිතන්න වෙන්නේ. බමුණු දහම මුල් බැහැල ඒ රටෙන් අපේ රටේ දහම රැදුනෙ ඇයි?? මිනිස්සුන්ගේ හදවත අමතක කරල බුද්ධියට යන්න හදපු දේශපාලකයො කොච්චර දක්ෂ වුනත් එයාලටත් වැරදුනේ ඇයි? වරද මිනිස්සුන්ගෙ හැගීම් ම නොවේ.. ඒ හැගීම් ශුද්ධ කරගන්න විදිහට ඒ අයට දැනීම නොලැබුනු එක.
    බුද්ධියට තර්කයට ගැලපෙන විදිහටම කිව්වට මිනිස්සු දේවල් තේරුම් ගන්න වෙනත් විදිත් තියෙනවා. සමහර දේවල් තේරුම් ගන්නේ අනුලෝම විදිහටම නොවෙයි. ප්‍රතිලෝම විදිහටත් දේවල් තේරුම් ගැනීමේ හැකියාවක් මිනිස්සුන්ට තිබෙනවා. අපේ රටේ ‍දේවල් ගැනීම හෝ සරුසාර භාවය ගැන කතාව ඒ පිළිබද ආර්ථික විග්‍රහය හා පාහන්න පුළුවන් ඇත්ත ඇදේට කියලාද නොකියාද,. ඔබතුමිය තීරණය කරන්න. අනිත් කරුණ පොඩිඅයට ලියැවෙන දේ ගැන.
    අර කව්ද මහත්තයෙක් බ්ලොග් අඩවියක කියලා තිබුන දෙයක දුටුවා වගේම අද දේශපාලනයේත් බුද්ධියෙන් පැරදුනු අය හැගීමෙන් වැඩ කරන්න අරන් තියෙන්නෙ ඇයි?? ඒක කොච්චර සද්භාවයකින්ද කියන එක ඉදිරියේදී තීරණය වේවි.
    ආර්ථිකය හෝ ඒ පිළිබද විද්‍යාව ගැන ඔබතුමි‍යගේ දැනීම හෝ අවබෝධය ගැන ප්‍රශ්න කරන්නට මා සුදුස්සෙක් හෝ තරම් කෙනෙක් නොවෙයි. නමුත් අපේ ‍රටේ සාමාන්‍ය මිනිහාගේ ස්වභාවය ගැන මගේ වයසට මා යම් අවබෝධයක් ලබා ඇති බව මට විශ්වාසයි. නමුත් සාමාන්‍ය මිනිහා සමග ගනුදෙනුවේදී සන්නිවේදනයේ මා තවත් මෝරා නැති වුනත් ඒ විෂය කුමක්දැයි මා හදුනා ගෙන තිබෙනවා. ඒ තුළ සුදුසු දේ අදටත් හෙටටත් මා විසින් කෙරේවි.
    මා වගේ කෙනෙකු වෙනුවෙන් ඔබතුමි‍යගේ දැනීම මේතාක් දුරට ගලපන්න හිතීම ගැන ස්තූතියි.
    අර ඇමරිකාවට අපනයනය කරන කතාව මා කිව්වෙ ඔබ තුමියගේ විග්‍රහය අනුව. ඒ කියන්නෙ ඇමරිකාවට පොඩ්ඩක් අපනයනය කරල ඇමරිකාවෙන් ගොඩක් දේ ආනයන කරල ලබාගන්න සරුසාරභාවය ගැන. ” හිතේ හයිය අපේ දේත් එක්ක එක්කහු වුනොත් අපේ අ‍යගෙ බොහෝ නිෂ්පාදන සුලුවෙන් ඔබතුමිය ඉන්න රටට අලෙවි කරල වැඩි ප්‍රමාණයක් අපට අනායනය කරන්න බැරිවෙන එකක් නැහැ නුදුරේ.. නැත්තෙ ඒ උවමනාව තියෙන්න ඕන අයට.”
    කොහොම වුනත් නිර්මාණ පැත්තෙන් අපේ දේ ගැන තියෙන අදහස අද අපි ඉන්න තැනත් එක්ක තවම පටන් ගෙන වත් නැති තරම්. අපි නිර්මාණ හා නිශ්පාදන කළ යුතුයි. අර ස්වැංපෝශී ආර්ථිකයක් හෝ සංස්කෘතියක් අද නැතත්… නිර්මාණ හා නිශ්පාදන අලුත් දේ අපි කළ යුතුයි. ඒක ආර්ථිකයත් එක්ක ගලපගන්න එක දෙවැනි දෙයක්..
    මද්දුම බණ්ඩාර කතාවේදී මැරෙන හැටි මම පෙන්වමී කියන කතාව කිව්ව හෝ ඒ කතාන්දරය කිව්ව කියල පොඩිදරුවො තුළ හැදෙන්නෙ මැරෙන එක වීර කමක් කියන චින්තනයද? නැතිනම් තීරණාත්මක අවස්ථාවකදී මරණයටවත් බිය විය යුතු නොවේ යන්නද? හැබැයි සුපර් මෑන්ගෙ කතා නම් ඊට බොළදයි. ඒ නිසා මද්දුම බණ්ඩාරලා බිහිවීමේ වරදක් නැහැ තවදුරටත් සුපර්මෑන්ලට වඩා. 🙂 හැබැයි ඒ කිසිදෙයක් විය යුත්තේ අපේ මතවාද තහවුරු කරන්නට නම් නොවෙයි.

    • arunishapiro said, on නොවැම්බර් 24, 2014 at 8:57 පෙ.ව.

      හලෝව් රස්ටා,

      හැඟීම් බැහැර කරලා මේ දේවල් සලකා බලනවා යැයි හලෝව් රස්ටා හිතුවට එහෙම දෙයක් සිද්ධ කරන්න බැහැ අර්ථ ශාස්ත්‍රය හැදෑරීමේ දී.

      හැඟීම් ඇතිවෙන්නෙ තමන් ජීවත්වෙන්න තෝරාගත්තු විදිය අනුව. ජීවත්වෙන්න තෝරාගත්තු ක්‍රමය දෝෂ සහගත අදහස් වලින් පිරිලා නම් ඒ අයගේ සිත තුල ජනිත වෙන්නේ ද දෝෂ සහගත හැඟීම්.

      පව් නොකරන්න යන්න ශ්‍රද්ධාවෙන් පිළිගත්තට පව් මොනවා ද කියා නොදන්නවා නම් ඒ ශ්‍රද්ධාවෙන් නොකළ යුතු දේවල් මොනවා දැයි බුද්ධියක් පෑදෙනවා ද?

  5. හලෝව් රස්ටා said, on නොවැම්බර් 24, 2014 at 3:22 ප.ව.

    එහෙව් ශ්‍රද්ධාවත් වියැකෙමින් යන තැන බුද්ධියට කතා කිරීමට පළමු එම ශ්‍රද්ධාව සදහා ඇමතිය යුතුයැයි සිතමි.

  6. හලෝව් රස්ටා said, on නොවැම්බර් 25, 2014 at 9:47 පෙ.ව.

    ප්‍රඥාව කරා යන්න ඒ ශ්‍රද්ධාවන්තයින් ලැහැස්ති නම් බුද්ධිය පෑදේවි වැඩි කලක් නොගිහින්. නමුත් පටන් ගත්ත තැනම – මාතෘකාවේ සිටම ඔවුන්ගේ විශ්වාසයට පහර ගැහුවොත් ඔවුන් ගෙදර යාවි. පව් නොකරන්න ඕන කියල විශ්වාසයක් හදාගත්ත ගමන් පවේ බරපතළම තැනින් කියන්න ගත්තම බොහෝ දෙනා පව් කරන එක වඩා හොදයි කියල හිතීම වළක්වන්න බැහැ බුද්ධිය පෑදීම කෙසේවෙතත්. එවිට ශ්‍රද්ධාව නැති කපටි බුද්ධිය විතරක් නම් පෑදේවි. නිකං සෘණාත්මක වදන් වලින් ධනාත්මක ‍ගැම්මක් ඇතිවීම ගැන නිර්මාණය කළ විකාර රූපී නාට්‍යක වගේ.
    😀
    මගේ මෝඩ කමට මට හිතෙන්නෙම එහෙමයි නැන්දේ. කවදාවත් ම‍ගේ මෝඩ මොලේ නම් පාදගන්න මට බැරිවෙයි. ඇමරිකන් ක්‍රමයට ඉක්මණින් ම මමත් ක්වික් ‍ෆෝමැට් එකක් කරගන්නව හැකි ඉක්මණින්ම.. මේ ග්‍රාම්‍ය ලාංකික මෝඩ ශ්‍රද්ධාව මටත් දැන් ඇතිවෙලා. වැඩිහිටි ගරුත්වයත් නැතුව නැන්දටත් මිසිස් ශපිරෝ කියල කියන්න හිතෙනව. නැන්දනම් තරහ වෙන එකක් නෑ ඒ විදිහට. තෑන්ක්ස් මිසිස් ශපිරෝ. ඔය රටවල ජීවත් වීමේ අත්දැකීම් නැති නිසා මෙහේ ඉදන් තේරුම්ගන්න විදිහට කියන්නේ. වැරදිනම් ඒකටත් සොරිම වෙන්න. මෙහේ දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තිබෙන ශ්‍රද්ධාව රැකගන්න එක. එතනට හැදෙන දේ ගැන කතා නොකර ඉන් එහාට යන්නෙ කොහොමද? අපේ අල්ලපු ගෙදර මට වඩා අවුරුදු දහයක් බාල තරුණයා කුඩා කල අපි වඩාගෙනත් ඇති කෙනෙක්. දන්න ගොඩක් ශිල්ප අපි විසින් කියාදුන් කෙනෙක්. මිනිහා අද යන්නෙ අපේ මූණවත් නොබලා. හේතුව.. ආර්ථික විද්‍යා සංකල්ප දැන් ඉගෙනීම. ඊට අල්ලපු ගෙදර මට වඩා අවුරුදු පහක් බාල තරුණයා තවමත් උදේ හවා අපේ ගෙදර එන යන කෙනෙක්. මම ඔහු වඩා ගෙන නම් නැහැ. නමුත් ඔහු තරමක් අඩු හැකියා සහිත කෙනෙක්. අපි ඔහුට දැක්වූ දයාවේ කොනක් ඔහුගේ හිතේ තියෙනවා. තවත් අපිත් එක්කම තාරුණ්‍යයේ විවිධ හැල හැප්පීම් එක්ක සටනක් දෙන්න(දේශපාලනමය නොවූ නමුත් සටන්) ගොනු වුනු අය ඔය ආර්ථිකයත් එක්ක නගුට කැඩුනු බල්ලොන්ට ටිකක් මෙහා විතරයි ඉන්න‍ේ. කමක් නෑ. මිසිස් ශපිරෝ මගේ අත්දැකීම් අඩු කම හා බුද්ධියේ තරමට ඕව තේරෙන්නේ නැ. මාත් ඇමරිකන් ක්‍රමයට ක්වික් ‍‍‍ෆෝමැට් එකක් ගන්නම්. අපේ දේ හොදයි ඒත් අරගෙන වැඩක් නෑ. ගන්නවනම් පිටරට දේ වැඩියෙන්.. දියුණුවේවි අපේ රට කියල අපි කිඩ්ස්ලට උගන්නමු. අවුලක් නෑ.ඇත්ත ඒක නම්. දැට්ස්ද වේ.. ඩ්‍රාමා ප්‍රොඩක්ෂන් වල අපට තියෙන ට්‍රබල්ස් ජජ්බෝඩ් එකට ජජ්මෙන්ටල් වගේ මිසිස් ශපිරෝටත් අපේ ට්‍රබල්ස් ජජ්මෙන්ටල් කියල හිතන්නම්.

    • arunishapiro said, on නොවැම්බර් 25, 2014 at 7:32 ප.ව.

      හලෝව් රස්ටා,

      හිත දිනාගන්න මුලින් වැරදි පාරක ගිහින් ඊට පස්සෙ හරි පාරේ යමු කියලා බැහැනෙ එකඟ වෙන්න. 😀 කිසිම ඉඩක් නොදී වැරදි විශ්වාසයට කෙළින්ම පහර දෙන්නෙ හිත රිදුනත් කමක් නෑ හිත හදාගෙන ඇවිත් හොයලා බලන්න කැමති අය එක්ක හරි ගමන පටන් ගන්න ඕන නිසා. නැත්නම් හැමදාම එක තැනම ලැග ඉන්න වෙනවා.

      “කපටි බුද්ධිය” කියල ව්‍යවහාරයේ යෙදුනට ඇත්ත වශයෙන්ම අයෙක් අව්‍යාජ බුද්ධිමතෙක් නම් එයා කපටි වීමෙන් ඵලක් නැති බව වටහා ගත්තෙක්.

      //වැඩිහිටි ගරුත්වයත් නැතුව නැන්දටත් මිසිස් ශපිරෝ කියල කියන්න හිතෙනව. නැන්දනම් තරහ වෙන එකක් නෑ ඒ විදිහට. තෑන්ක්ස් මිසිස් ශපිරෝ. // දෙකම නිසි ගරැත්වයෙන් යුතු හැටියටයි මම නම් දකින්නෙ 🙂

      //අපේ දේ හොදයි ඒත් අරගෙන වැඩක් නෑ. ගන්නවනම් පිටරට දේ වැඩියෙන්.. දියුණුවේවි අපේ රට කියල// මම එහෙම ලිව්වෙ නැහැනෙ. ලියපු දේවල් කියවන්නෙ නැතිව නැති දේවල් ලියපු හැටියට බාරගන්නෙ ඇයි?

      ඕනෑම රටක් දියුණු වෙන්නෙ තමන්ට අගයක් ලැබෙන දේවල් ගත්තම. ගන්න බඩුව හදපු අය කවුද, හදපු තැන කොහේද කියලා අනුව නෙමෙයි.

  7. Lasitha San said, on දෙසැම්බර් 23, 2014 at 9:17 පෙ.ව.

    මම ඔබේ පෙර විග්‍රහ කියවා තිබෙනවා. මේ විග්‍රහය දිහා බලුවම මේකේ ගත යුත්තක් නැත්තේ නැහැ. නමුත් ඔබට වෙලා තිබෙන්නේත් මට පේන විදිහට අර බෞද්ධයා කියල කියාගන්න

    බුද්ධාගම්කාරයට වුන දේ. මොකද යුග දිවියේදී රමණයේ යෙදෙන එක තුලින් යම් පාපයක් වෙනවා කියන සංකල්පයක් තිබෙනවා. මොකද

    භික්ෂුන්වහන්සේලා එවැනි දේ කරන්නේ නැහැ නෙව. කරන්නේ නැත්තේ ඇයි කියන එක ගැන ගැඹුරට නොසොයා, දැන් මේ උඩ තියෙන අකැප

    ගැන ගැඹුරට හිතන බුද්ධාගම කියන එකක් පිළිපදින කෙනා හිතන්නේ දැන් තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමග ලිංගිකව එක්වීම

    අකැපයි කියල. අන්තිමට වෙන්නේ තමන්ගේ මූල ධාතුව වන ජීවිත නැවත බිහි කිරීම නැතිව යන එක. ඒ කියන්නේ මනුෂ්‍යයෙක් වීමට තිබෙන

    අවස්ථාවත් මේකෙන් වැළකිලා යනවා. මූඨ ශ්‍රද්ධාව. ඕනෑම දෙයක් ඔනවට වඩා ගත්තම සහ ඒ කෝණයෙන් බැලීමෙන් සහ එම දර්ශනයේ ඉහපත සිටගෙන

    සරල දේවල් දිහා බැලීමෙන් ඇති වන්නේ මේ මෙතන වුනා වගේ අනවශ්‍ය කලබල.

    මේ ලෝකේ කියන්නේ ආර්ථිකය ම පමණක් ය යන්න ඔබ සිතාගෙන සිටිනවද? බටහිර සංකල්ප වල අන්තය. ඔක තමයි විද්යාවෙනුත් දියුණුවට වඩා හානියක් වෙන්නේ. මොකද ඒක අදහන්න ගැනීමෙන් සහ ඒක තුලින් හැම දේම පිරික්සීමට යාමෙන්. හැම දේම විද්‍යාත්මක කිරීමෙන්. කෝ අර මේ සමහර තැන්වල කියන කලාව? කලාව කියන්නේ මාකටින් හරය පමණයි කියල ගන්න එක විකාරයක්. මොකද එක එක්කෙනාගේ මානසික ප්‍රවේග සහ වේදිකාවලට යම් යම් කලාවන් සහ එහි ඇතුලාන්තය අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. ඇලෙන්නේ ගැටෙන්නේ මොකටද? ලංකාවත් ඒ තරම් ඇලීම් ගැටීම් තිබුන තැනක් නෙමෙයි. මේ කොහෙන්වත් ආපු අප තුලින් බිහි නොවූ එමනිසාම අපට නුහුරු, සමාන්තර නොවන සංකල්ප, නො එසේනම් ගෙඩි පිටින් බටහිරෙන් වැඩිපුර ආනයනය කරනලද ආර්ථික ඉගැන්වීම් මෙහෙ පල කලාම මෙහෙ පසේ නුහුරු කමත් ගොවියාගේ නොදැනීමත් නිසා විපර්යාස වනවා ඵලයන්ට. ඒ විපර්යාස නිසාම, එසේම නිවැරදිව මාර්ගගත කර ගත නොහැකි වූ ඒ සංකල්ප නිසාම, එක එක කොටස් රැගෙන තනාගත් ආර්ථික කන්ද හැළියක පීනන කකුළුවන් රැසක් ඉතිරි වී ඇත්තේ අද. ඔබ කරන්නේ ඒ කැඳ හැලිය ට කුළුබඩු දමන්නට යන එක විනා නැත්නම් හැඳි ගාන්නට යන එක විනා කකුළුවන් බේරාගැනීමට ප්‍රයත්නයක් එහි තිබේද යන්න ප්‍රශ්නයක්. ඔබ එසේ නම් ඔබේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ මෙතැන්සිට මෙහි පලකරන්න. සරල ලෙස, තමන්ගේ දේශයේ මූලයන් ගෙන් දළුලන පරිදි. එය ගතානුගතික වීමට කිසි වුවමනාවක් නැත.

    ඒ අනුව ගත්තම ඔබත් තියරිය පමණක් පසුපස යමින්, ඒ ඒ මානව සමාජ (තනිව ගත කල) සහ ඉතිහාස සන්ධර්භ වලට අදාළ ආර්ථික කුලකයන් තමන් ගේ මූලයන් විනාශ නොකරගෙන තමන් විසින්ම හැඩගස්වා ගත යුතුයයි යන සරල කාරණය නොදකින කෙනෙක් ද කියල සැකයක් එනවා. අනෙත් කරුණ අර ඊනියා සමාජවාදියෝ කියන්නා වගේ සමාජවාදය රටක අභ්‍යන්තර දැවෙන වුවමනා තුලින් එන කමියුනිස්ම් එකක් කෙසේවෙතත් (මා කිසිම රතු කඳවුරක් නියෝජනය කරන්නේ නැත), ලෙනින් හෝ සමාන පුද්ගලයන් අනුව යමින් එක්කෝ විප්ලවයක් අවශ්‍ය යයි පලිගසා කියන (එවන් අවශ්‍යතාවයක් නැති තැන), නැතිනම් විප්ලවයක් අවශ්‍ය කොතැනට ද යන්න නිරාකරණය කරගැනීමට බැරිව කොට කොට ගොස් කෙහෙල් ගහට කෙටු තැන ලෙඩ දමාගන්නා, කොහෙන්වත් ආපු ලෙනින් හෝ මාක්ස් මොඩලයක් ආනයනය කර මෙතන පටවන්න පුළුවන් ය යන තර්කයේ ඉන්න – එනම් යම් යම් ගෝලීය උදාහරණ කොතෙක් තිබුනත් ඒ ඒ උදාහරණයට බඳුන් වන දේශයන්, මනුෂ්‍ය කොටස්, ඔවුන්ගේ අතීතය, ඔවුන් හැඩගැසුණු ප්‍රතිපත්ති සහ සාරධර්ම මත දේශපාලන රටාවක් ගොඩනැගීම අවශ්‍ය බව නොසිතන – උටෝපියානු සංකල්ප (යුනිවර්සල් ෆැන්ටසි) මවන්නෙක්ද යන සැකය එනවා (මෙතනදී දේශපාලන සංකල්ප අනුව නොව ආර්ථික සංකල්ප අනුව).

    අනෙත් කරුණ අතීතය සහ ආර්ථික ගස සලකූ විට දක්ෂිනාංශික අතු ආර්ථික මූලයන් වන දේශයන් මේ ගසේ මුල් වලින් රාශියක්. ඒ මුල රැකගන්න එකම ක්‍රමය තමා ආනයනය අත්‍යවශ්‍යය වඩා වැඩියෙන් අවශ්‍යය කියන සංකල්පය බෝ කිරීම. එවිට පමණයි ගසේ මුල රැකෙන්නේ. ධනවාදී ක්‍රම ඒ ඒ දේශයන් ගේ, ඉන්දියාවේ පවා තිබුන බුද්ධ කාලයේත්. නමුත් එහි තුලනයක් සහ සංයමයක් තිබුන. ඔබ ස්ටේට්ස් වල ඉන්නවනම් ඔබට නොපෙනන දෙයක් කියන්නම්. ඔවුන් හොඳ පාලිත නෝනාවරු මහත්වරු වගේ සිටින්නේ ඔවුන් කොහෙන්වත් ඇවිත් ධනය සහ බලය මෙන්ම ඒ පදනමට උඩින් ඇති නොයෙක් ආකාර ෆැන්ටසි වල රිසි ලෙස නිරත වන්නට දෙන නිසා පමණයි. එය ඔවුන් නිදහස ලෙස අර්ථ දක්වනවා. නමුත් නියමාකාරයෙන් බැලුවම ඔවුන් මොකද අධික ලෙස පීඩිත වෙලා ඉන්නේ තනි තනිව ගත්තම? ඔවුන් වෙනුවෙන් තනන ලද නීති, කම්ප්ලයන්ස් සහ ඒ ආශ්‍රිත සියලු දේ ඔවුන් රකිනවා හැබැයි රකින්නේ ඒ තුලින් ලැබෙන ආදායම සහ වල්බූරු නිදහස නමැති ඵලය නෙලා ගන්න අවශ්‍ය වෙලාවට කිසිම තහංචියක් නැති නිසා. උදාහරණයකට රාත්‍රියට ඔවුන්ට පුළුවන් රිසි සේ හැසිරෙන්න (දවල්ටත් බැරි නෑ නමුත් සමාජය නමැති කොග්නිටිව් මෙන්ටලිටි එක ඔවුන් ව වෙන දෙකට සෘජුව බැඳ හික්මවා තිබෙනවා, වැඩ කරන්න, ආර්ථිකය ගොඩනගන්න කියන එක සහ ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභ වලින් වුවමනා දෙයක් අත්පත් කරගන කියන එක. මේක මේ ස්ටේට්ස් වලට පමණක් නෙමෙයි ඔය අනිත් රටවලටත් පොදු කරුණක් ඒවා බොහොම දියුණු සංයමයකින් යුතු රටවල් වුනාට ඒ සංයමය සාපේක්ෂයි ආර්ථිකයට). සමාජ ආයතන තිබෙනවා, විනෝදය තිබෙනවා. සීමා නැහැ. මෙවන් ක්‍රම වල තියෙන අගතිය තරුණ ජීවිත වලට දැඩි ලෙස බලපානවා. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ඉතින් හඳ මාමා නොදකින හඳ හඳ හැටියට සෞම්යාර්ථ නැතිව ගොරහැඩි ව, උපන්ගෙයි රියලිස්ටික් විදිහට දකින ළමය ට කලාවක් කොහෙන්ද? කෝ ඔහුගේ දකුණු මොලයේ වර්ධනය? රටක් ආර්ථිකමය වශයෙන් දියුණු කරන්න රොබෝවරුන් අවශ්‍යයි කියාද ඔබ කියන්නේ? ඒත් එක්කම කලාවන් ගැනත් කතා කෙරෙනවා. මට තේරෙන්නේ නෑ මේ පරස්පර විරෝධී කතා අතන මෙතන තියෙන.

    එමනිසා ජානකී මහත්මියගේ ගේ කවිය තුල දකින්න පුළුවන් වර්ණ දකින්න ඒක තාර්කිකව පමණක් දකින්නේ නැතිව. මොකද එක් එක් සංකල්ප වලට සිත ඒකාත්මික කලාම වර්ණ අන්ධතා ඇති වෙනවා. මේ පොස්ට් එකෙත් මට පෙන්නේ ඒ දේ ම විතරයි.

    ඔබ උදාහරණ අරගෙන තිබෙනවා. හොඳයි. එයින් ආර්ථික නියමයන් කියවෙනවා. ආර්ථිකය දියුණුවට හිඟ කම අවශ්‍යයි. ඔව්. නමුත් ඔබ බලන්නේ ටොප් ඩවුන් ක්‍රමයකට. මේ හිඟකම පුරවන්න පුළුවන් ද එකවර පිටින් ගෙනත්? අපිට විශාල අපනයන වටිනාකමක් තිබෙන ද්‍රව්‍ය තිබුනත් ඊට වඩා වෙනත් දේ අවශ්‍ය නම් ආනයනයට, අප දෙන දේට වඩා ලැබෙන දේ පරිමාවන් අනුව විශාල නම් එහි ලාභයක් තිබෙනවා. නමුත් ඒ ලාභයේ අගය සහ එහි කාලය සූක්ෂ්මව හසුරුවනවා ධනවාදී රටවල් සමූහය. එසේ නොවන්නේ පිට කසා ගන්න අවශ්‍ය වූ තැනදී පමණයි. ආදේශක, අමුද්‍රව්‍ය මංකොල්ලයන්, බ්ලුප්‍රින්ට් සොරාගනීම් වන්නේ මේ ලාභයට ඇති කෑදරකම නිසා. අන්තිමට වන්නේ ස්වාභාවික උපද්‍රවයකදීත් ලාභ බැලීම නිසා කිසිවකුටත් උපකාරයන් නැති වීම. එය අප බොහෝ රටවල දැක තිබෙනවා. ඔබේ සංකල්ප නිරවද්‍ය වන්නේ එක්කෝ දැඩි ලෙස හසුරුවන ලද නැත්නම් පරමාදර්ශී දක්ෂිනාංශික සන්ධර්භ තුල. ඒවත් උටෝපියානු සංකල්ප සැබෑ වෙන්නේ කලාතුරකින්. එමනිසා ලාභ අපේක්ෂාව ම නෙමෙයි මෙතන තිබෙන්නේ. ලාභ අපේක්ෂාව නරක දෙයක් නොවෙයි. නමුත් ඒ සඳහා කරන අපට නොපෙනෙන සීතල යුද්ධත්, අපගේ රටවල වැනි එළිපිට කෙරෙන ගොන් පොරත් යන දෙකම මෙතන තිබෙනවා. එසේ නැතුව ලාභ සහ අධිකාරීන් හසුරුවන්න බැහැ.

    එමනිසා මෙතන අපේ දේ කියා හඳුන්වන සාරධර්ම සහ සංයමය යන සංකල්ප ඔබට පෙන්නේ නෑ. අපේ දේ කියා කුණුගොඩවල් ගන්න වුවමනා නැහැ. මෙහි කියවෙන්නේ එවන් දෙයක් ගැන නොවේ. දරුවන් සුපර් මාර්කට් වලට එක්ක ගිහින් ගන්න අපේ දේ කියන කතන්දර කොතෙකුත් තිබෙනවා. නමුත් මෙතන දී අපේ දේ යනු අප තනාගත් ගුණාත්මක දෙය සහ ඒ දේවල් විදේශ විනිමය කොට ගෙන්වා ගන්න ලද ආනයනික ද්‍රව්‍යත් ඇතුලත් (කුණුගොඩවල් නොවේ). එකම දෙය එය තවම අපට දුර වන්නත් පුළුවන්. එමනිසා මේ පැදියේ කිසි වරදක් මට නම් පෙනෙන්නේ නැහැ. යම් දේවල් වලට දැඩිව එල්බුනාම සහ ආශක්ත වුනාම යම් යම් දේවල් නොපෙනී යන්න පුළුවන්. ඔබේ බ්ලොග් අඩවිය හොඳයි කෙසේ වුවත් අරුණි. නිවැරදිව මධ්‍යස්ථ ව ගමන යන්නට ශක්තිය ලැබේවා!

    බුදුසරණයි!

    • arunishapiro said, on දෙසැම්බර් 25, 2014 at 9:30 පෙ.ව.

      Lasitha San,

      හපොයි “විද්වත්” වචන සෙට් එකක හිරවෙලා අනාගෙන තියන අනාගැනිල්ලක්!!!

      ලෝකෙ තියන්නෙ ආර්ථිකය විතරක් කියල කිව්වෙ කවුද? බටහිර රටවල වින්සන්ට් වෑන් ගෝ, විලියම් බ්ලේක්, එඩ්ගාර් ඇලන් පෝ වැනි කලාකරැවන් ද සිටිය බව දන්නෙ නැද්ද?

      දරැවන්ට ආර්ථික අසත්‍යයක් බෙදීම කලා නිර්මාණයක් නොවේ.

      නිවැරදි මධ්‍යස්ථ ගමන යන්නට ප්‍රථම එය කුමක්දැයි වටහා ගන්නට හැකියාව ලැබේවා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: