අරුණි ශපීරෝ‍ වෙතින්

ධන සම්පත් නැතිවෙන හැටි සහ ධන සම්පත් පෑදෙන හැටි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 24, 2014

මිනිසා ස්වභාවයෙන්ම සිටින්නේ සම්පූර්ණ අසරණ තත්වයක.

ඒ අසරණ තත්වය සහ තම උවමනාවන් තෘප්තිමත් කර ගැනීම අතර ශ්‍රමයෙන් ජයගත යුතු බාධක ගණනාවක් ඇත.

සැතපුම් ගණනක දුර ගමනක් යන්නට මම කැමතියි. නමුත් ගමන ආරම්භ කරන තැනේ සිට ගමනාන්තය දක්වා මග දිගට කඳු, ගංගා, ගොහොරැ, වනාන්තර, මංකොල්ලකාරයන්; එනම් බාධක පවතී. මේ බාධක ජයගන්නට නම් ඒවා හමුවේ මම දැඩි උත්සාහයකින් මහත් ශ්‍රමයක් වැය කළ යුතුයි. නැත්නම් මට ඒ ගමන යා හැකි පිණිස වෙන අයෙක් ඊට වෙහෙසක් ගත යුතුයි. අනෙත් අය මා වෙනුවෙන් ඒ වෙහෙස වැය කරනවා නම් මා ඔවුන්ට ඒ සඳහා ගෙවීමක් කළ යුතුයි.

තොටිල්ලෙන් පටන් සොහොන් ටැඹ දක්වා යන ජීවිත ගමනේ දී මිනිසාට තමන් මුහුණ දිය යුතු බාධක රැසකට මුහුණ පාන්නට සිද්ධ වේ. කුසගින්න, පිපාසය, රෝගාබාධ, උෂ්ණත්වය, සීතල යනාදිය ඔහුගේ මාර්ගයේ හැම අතකම ඇති බාධක වෙති.

තනියම ගමන යන්නේ ද, ඔහුට ඒ බාධක සියල්ල හා හරඹ කරන්නට සිද්ධ වෙන්නේ තනිවමයි. දඩයම් කිරීමෙන්, මසුන් මැරීමෙන්, කෘෂිකර්මයෙන්, නූල් හදාගැනීමෙන්, රෙදි වියා ගැනීමෙන්, ගෘහ නිර්මාණ ශිල්පයෙන්, යනාදියේ තමන්ටම නියැළෙන්නට සිද්ධ වේ.

ඉතින් ඒ නිසා මේ බාධක අඩුවෙන් ඇත්නම්, නැත්නම් නැත්තටම නැත්නම්, එය මිනිසාට ගමන යෑමට වඩා හොඳ බව පැහැදිලියි.

සමාජයක ජීවත්වන මිනිසාට තනිවම මේ බාධක ඔක්කොම ජයගන්නට සිද්ධ වෙන්නේ නැත. අනිත් අයත් ඔහු වෙනුවෙන් ඒවා කර දෙයි. ඔහුත් ඒ අනුවම තම සමාජයේ සෙසු වැසියන්ගේ යහපත සඳහා බාධක ඉවත් කරයි. මෙසේ අනෙක් අයෙක් සඳහා ශ්‍රමය වැය කිරීම හැඳින්වෙන්නේ ශ්‍රම විභජනය කියායි.

මනුෂ්‍ය වර්ගයාව සම්පූර්ණයෙන් සලකා බැලීමේ දී ද, මිනිස් සමාජයට පහසුවෙන් ජයගත හැකි වූ බාධක සහ ඒවා අඩුවෙන් ද ඇත්නම් වැඩියෙන් හොඳ යැයි පැහැදිලියි.

ඒත් මේ සරල සත්‍යය පටු දැක්මකින් යුතුව බලද්දී, අපි පිළිගන්නේ බාධක නැත්නම් හොඳ යැයි කියා නොවේ. බාධක ඇත්නම් හොඳ යැයි කියායි. බාධක නිසා පාඩු සිදුවෙනවා වෙනුවට, බාධක යනු ධන සම්පත් වල ප්‍රභවයක් කියායි!

ශ්‍රම විභජනයෙන් වෙනසකට ලක් වූ මිනිසුන්ගේ පුද්ගලික කැමැත්තන් සහ සමාජයේ සංසිද්ධි දිහා විස්තර සහිතව සහ සියුම්ව සොයා බලද්දී, එවිට අපට පහසුවෙන්ම පෙනී යන්නේ උවමනාවන් සපුරා ගන්නට හැකි වීමත්, ඒ හේතුවෙන් බාධක ඉවත් වී ඇති බවයි.

ශ්‍රම විභජනයේ ප්‍රතිඵලය නොහොත් මිනිස්සුන්ගේ වෘත්තීන් විවිධ වීම හේතුවෙන් හැම මිනිසාම තනි තනිවම බාධක සියල්ලම ජය ගන්නට වෙහෙස විය යුතු නැත. සියළු බාධක ජයගන්නට වෙහෙසෙනවා වෙනුවට එක බාධකයක් ජයගන්නට වෙහෙස විය හැකියි.

මේ අයෙක් එක බාධකයක් ජයගන්නට කරන උත්සාහය තමන්ට ලැබෙන ප්‍රතිඵලය පිණිස පමණක් නොවූවකි. එහි ප්‍රතිඵලය සමස්ත මිනිස් වර්ගයාම සඳහා වූවකි. ඔවුන් ද එසේම එක එක බාධක ජයගන්නට වෙහෙසන නිසා මේ පුද්ගලයා වෙනුවෙන් ද වෙහෙසන අය වෙති.

තම වෘත්තියේ බාධක ජයගන්නට වෙහෙසන මිනිසා යනු අනිත් අයට ද ඵල ප්‍රයෝජනයක් ගෙනෙන ලද්දෙකි. ඔහු තම බාධක දිහා බලන්නේ තම ධන වස්තුවේ ආසන්නතම හේතුව ලෙසයි. මේ බාධකය මහත් නම්, බරපතල නම්, දැඩි නම් එය ජයගැනීම නිසා ඔහුට ලැබෙන පාරිතෝෂිකය ද වැඩියි. මන්ද ඒ අසීරැ බාධකය ජයගන්නට හැකි ඔහුගේ ශ්‍රමයෙන් සහනය ලැබෙන අය ද වැඩි නිසයි.

උදාහරණයක් හැටියට වෛද්‍යවරයෙක් තම පාන් පුච්චා ගන්නට, තම ඇඳුම් හදාගන්නට හෝ තම උපකරණ නිර්මාණයට වෙහෙස වෙන්නේ නැත. අනිත් අය ඒවා ඔහු වෙනුවෙන් නිම කරති. ඔහු ඒ වෙනුවට රෝගාබාධ ජයගන්නට වෙහෙස වෙයි.

රෝගාබාධ වලින් ගැලවෙන්නට අනෙක් අය වැඩියෙන් කැමති වෙද්දී ඔවුන් වැඩියෙන් වෛද්‍යවරයාගේ උවමනාවන් සපුරාලන්නට වෙහෙසෙති. සමහර විට තම දිවි ගලවා ගන්නට නම් වෛද්‍යවරයාගේ උවමනා සපුරාලන්නට අකමැත්තෙන් වුවත් සිද්ධ වෙන අවස්ථා ද ඇත.

රෝගාබාධ නොහොත් මිනිස් වර්ගයාගේ සතුටට ඇති බාධකය යනු එවිට වෛද්‍යවරයාගේ සැප පහසුව පෑදීම සඳහා වූ ප්‍රභවයකි.

සියළු දෑ නිෂ්පාදනය කරන අයගේ විචාරය ද එසේමය. වෛද්‍යවරයා රෝගාබාධ වලින් තම ලාබය ලබාගන්නවා සේ, නැව් අයිතිකරැවා දුර යන බාධකය ජය ගනියි. කෘෂිකර්මයේ නියැළෙන්නා කුසගින්න නැමති බාධකය ජය ගනියි. රෙදිපිළි හදන්නා සීතල යන බාධකය ජය ගනියි. ගුරැවරයා ජීවත් වෙන්නේ මුග්ධතාවය පවතින නිසයි!!!! ආබරණ හදන්නා ජීවිකාව උපයන්නේ අහම්මානය (vanity) පවතින නිසයි. නීතීඥයා ජීවිකාව හොයා ගන්නේ මිනිසුන් පොරොන්දු කඩ කරන නිසයි. ඒ ඒ වෘත්තියට ආසන්නතම වූ උනන්දුවක් වනුයේ මිනිසුන් අවධානයක් දෙන බාධක වෙති.

න්‍යායවාදීන් මේ ඒකීය පුද්ගල කැමැත්තන් මත පදනම් වූ ක්‍රමයක් සොයා ගිහින් කියන්නේ: ආශාවන් යනු ධන වස්තු කියායි: ශ්‍රමය යනු ධන වස්තු කියායි: දියුණුවට ඇති බාධකය දියුණුව කියායි: බාධක වැඩි කළහොත් කර්මාන්ත වැඩි වේ යැයි කියායි!!!!!

මෙතැනට රිංගන්නේ දේශපාලනඥයායි. බාධක වර්ධනය කළ පවත්වා ගෙන යෑමෙන් ධන වස්තු වර්ධනය කර පවත්වාගෙන යා හැකි යැයි සිතන මිනිස්සු අතර ඔහු තම උත්සාහය ඒ සඳහා යොදවයි.

උදාහරණයක් හැටියට දේශපාලනඥයා කියන්නේ, අර්තාපල් ආනයනය නැවතුව හොත් අපිට අර්තාපල් ලබාගන්නට කැමති අයට බාධකයක් ගෙනෙන්නට පුළුවන් කියායි. මේ බාධකය දැඩි සේ දැනෙද්දී, ඒ බාධකය ජයගන්නට ඔවුන්ට වැඩියෙන් ගෙවන්නට සිද්ධ වේවි කියායි. අපේ පුරවැසියන් අතර පිරිසක් මේ බාධකය ජයගන්නට කියා වෙහෙස වී එයින් ධනවස්තු රැස්කරාවි කියායි.

බාධකය අතිවිශාල නම්, උදාහරණයක් හැටියට යකඩ වැනි දුලබ, පහසුවෙන් ලබාගත නොහැකි, ප්‍රවාහනය අසීරැ වූ ඛනිජයක් නම්, වෙනත් කර්මාන්තයන් හි යෙදෙනා හා සමාන වූ ශ්‍රමිකයන් රැසක් එහි යොදවන්නට හැකියි.

මෙයාකාරයෙන් සිතීම නිසා තහනම් ද පැනවේ.

මේ බාධක තිබීම වාසනාවක් යැයි අපේ දේශපාලනඥයන් සලකති. ඒ බාධක නිසා අපේ පුරවැසියන්ට ශ්‍රමය වෙහෙසන්නට ඉඩප්‍රස්ථාවක් ලැබෙනවා යැයි ඔවුන් සලකති. ඔවුන් එසේ ශ්‍රමය වෙහෙසන නිසා අපේ පුරවැසියන් පිරිසක් ධනවත් වෙනවා යැයි කියති.

ඉතින් යම් බාධකයක් පහසුවෙන් ලාබයෙන් ජයගත හැකි ක්‍රමය තහනම් කරති.

මේ විතණ්ඩවාදය තුලින් හරිහැටියකට තෝරා බේරා ගන්නට නම් මිනිස් ශ්‍රමය යනු අරමුණ නොව අරමුණ කරා යෑම යැයි වටහා ගැනීම අවශ්‍යයයි. අරමුණ බාධකයක් ජයගැනීමයි. බාධකයක් ජයගන්නට වෙහෙසන්නේ මිනිස් ශ්‍රමයයි.

ශ්‍රමයට රස්සාවක් නැතිවන අවස්ථාවක් නොමැත. එක බාධකයක් ජය ගනිද්දී තවත් බාධකයක් මුණ ගැසේ. එක බාධකයක් ජයගන්නට අවශ්‍ය වූ වෙහෙසෙන් අනතුරැව බාධක දෙකක් ජයගන්නටත් හැකියාව ලැබේ. යතුරැලියන අයගේ ශ්‍රමය අනවශ්‍ය වෙද්දී ඔවුන්ට වෙනස් ආකාරයකට ශ්‍රමය වෙහෙසන්නට යන්නට සිද්ධ වේ.

මිනිස් ශ්‍රමය රස්සාවක් ලබාගැනීමේ ඕනෑකම නිසා අවසන් වෙන්නේ නැත. එහෙම කියනවා නම්, එතකොට මිනිස් වර්ගයා බාධක ජයගැනීම නවත්වා දමාවි යැයි ඔප්පු කිරීම අවශ්‍ය වේ.

ෆෙඩ්රික් බැස්ටියාට් ලියූ ආර්ථික විතණ්ඩවාදයන් (1845) පොත ඇසුරින්.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. විචාරක Wicharaka said, on නොවැම්බර් 24, 2014 at 1:22 ප.ව.

    මේ ඔක්කොම දේවල් එපා වෙලා බවුන් වඩලා බුද්ධත්වයට පත්වීම, නිවන අවබෝධ කරගැනීම, රහත් භාවය ලබාගැනීම, මේවාත් එක අතකට එකම අරමුණක සිත මෙහෙයවීමෙන් ලැබෙන දේවල් කියලයි මටනම් හිතෙන්නේ.

    • arunishapiro said, on නොවැම්බර් 25, 2014 at 7:01 ප.ව.

      විචාරක Wicharaka,

      😀 භෞතික දේවල් එපා වුනාම අධ්‍යාත්මික අරමුණක් සොයා යන්න හිතෙන ආකල්පය යම් මිනිස් ස්වභාවයක් පිළිබිඹු කරන්නක් ද? ඒ ගැන වැඩිය හොයලා නැහැ. ජීවිතයේ යමක් එපාවෙලා එහෙම කියන අය හමුවෙලා තියනවා. ඔවුන් අතරින් සමහර අය ඒ ගැන යමක් කරනවා. අනෙක් අය තවමත් එහෙම කිය කිය ඉන්නවා.

      කිසිත් උත්සාහයක් නොකර, හොයාගෙන නොයන, ඒත් ලැබේවි යැයි බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක් තමන්ට ලැබෙන්නෙ ජීවිතයේ කොපමණ අල්ප අවස්ථා වල දී ද? අනිත් ඒවා ඔක්කොම අරමුණක සිත මෙහෙයවීමෙන් ලැබෙන දේවල් නේද?

  2. කල්‍යාණ මිත්‍ර said, on නොවැම්බර් 25, 2014 at 2:43 පෙ.ව.

    මේ විතණ්ඩවාදය කියන වචනයවත් ඒකෙ තේරුමවත් හරියටම තේරුණේ නෑ.. ඒත් කියවගෙන යද්දි හිතුණ ලංකාවේ තේ කර්මාන්තයත් මේ විතණ්ඩවාදයට අහුවෙලාද කියල.. බාධක වැඩි කරල සුළු පිරිසකට වැඩි වාසියක් හා වැඩි පිරිසකට ගැලවීමක් වෙන්න බැරි විදියට හිර කරල දේශපාලකයින් ඒ දෙපැත්තෙන්ම වාසි ගන්නව..

    • arunishapiro said, on නොවැම්බර් 25, 2014 at 7:20 ප.ව.

      කල්‍යාණ මිත්‍ර,

      විතණ්ඩවාදය කියන්නෙ දුර්මතයක පිහිටා තර්ක කිරීමයි. එය උවමනාවෙන්ම රවටන්නට යොදා ගැනීම. තර්කය යනු විචාරයේ විද්‍යාව සහ කලාවයි .. මෙතැනින් සහ ඊට අමුණා ඇති තව සටහන් වලින් ද තව විස්තර කියවන්න පුළුවන්.

      දර්ශනය ගැන වූ බ්ලොග් එකක් නම් ග්‍රීක විතණ්ඩවාදීන්, ඒ ගැන ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ ඉසෝක්‍රටීස් යනාදීන් සහ හේගල් විසින් විතණ්ඩවාදීන්ව නැවත ගෙනෙන්නට ගත් උත්සාහය ගැන එහෙම කතා කරන්න තිබුණා. ඒත් මේක ඉහළ අධ්‍යාපන මට්ටමක ඉන්න අයට ලියන දර්ශනය ගැන බ්ලොග් එකක් කරන්න බැහැ. සිංහලෙන් ඒ මට්ටමෙන් සංවාදයකට මූලික දැනුම තියෙන දහ දෙනෙක් වත් හොයාගන්න අමාරැයි.

      ඔව්, හැබැයි තේ විතරක් නෙමෙයි ලංකාවේ සෑම කර්මාන්තයක්ම වගේ විතණ්ඩවාදයකට අහුවෙලා තියෙන්නෙ.

  3. හලෝව් රස්ටා said, on නොවැම්බර් 25, 2014 at 10:17 පෙ.ව.

    ඔබ තුමීට හැකිනම් නාට්‍යකරණයේ විතණ්ඩවාදීන් ගැනත් ලිපියක් ලියන්නකෝ.. කියා කියන්න හිතෙනවා.

  4. Vishva Kumara said, on නොවැම්බර් 27, 2014 at 11:19 පෙ.ව.

    ඉතා අගෙයි.!

    කොච්චර වැඩ අධික වුනත් කොහොම හරි මේ හැම ලිපියක් ම, හැම වචනයක් ම කියවනවා..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: