අරුණි ශපීරෝ‍ වෙතින්

උත්සාහය – ප්‍රතිඵලය

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 2, 2014

IMG_1321

ඕනෑකම් තෘප්තිමත් කර ගැනීමට මිනිසා විවිධ බාධක ජයගත යුතුයි. ඒ බාධක ජයගැනීම හෝ ඒවා අඩු වශයෙන් බලපාන බාධක බවට හැරවීමට මිනිසා සිය ශාරීරික සහ මානසික ශ්‍රමය යොදා ගනියි. ප්‍රතිඵලයක් අරමුණු කරගත් උත්සාහයක නියැළීමට ශාරීරික සහ මානසික ශ්‍රමය ඵලදායී ලෙසින් යෙදවිය යුතුයි.

ගණිත ගැටළුවක් විසඳීම අරමුණු කරගත් ප්‍රතිඵලය යැයි සිතමු. තමන් කියැවූ නවකතා, බැලූ චිත්‍රපටි හෝ සහභාගී වූ සංගීත සංදර්ශන ගැන සිහි කරන්නට මානසික ශ්‍රමය යෙදෙව්වොත් ඊට හැකියාව ලැබෙනවා ද?

එහෙම නැත්නම්, ගණිත ගැටළුව විසඳන්නට හැකියාව ලැබෙන ගණිත දැනුම එකතු කිරීමත්, වෙනත් අය විසඳුම සොයාගත් ආකාර සලකා බැලීමත්, ඔවුන් සාර්ථක වූ අවස්ථා සහ අසාර්ථක වූ අවස්ථා සැලකීමත්, යනාදී බාධක වලට මුහුණ දී ඒ බාධක ජයගැනීම අවශ්‍ය ද?

ගණිතඥයා එසේ මානසික ශ්‍රමය වෙහෙසද්දී කෑම බීම, ඇඳුම්, බෙහෙත් සහ නිවාසයක් පරිහරණය කරයි. (කිසිවෙක් සිය අවශ්‍යතා තමන් විසින් සපුරාගන්නට නොදන්නා හෙයින්) ඒවා ගණිතඥයා වෙනුවෙන් සපයන්නට වෙනත් පුද්ගලයන් ශාරීරික සහ මානසික ශ්‍රමය ඵලදායී ලෙසින් යොදවන ලද්දෝය. ගණිතඥයාට ගැටළු විසඳන්නට කාලය හා අවකාශය ලැබෙන්නේ ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය දේවල් මිල දී ගන්නට හෝ ඒවා හිඟන්නට ඉඩක් ඇත්නම් පමණි.

තිරිසනුන්ට මෙන් ජීවිතය පවත්වා ගන්නටත්, වර්ගයා බෝ කිරීමටත් සහජයෙන් ලැබුණ දැනුමක් මිනිසාට නැත. දඩයමක් පුළුස්සා ගන්නට, සීතලෙන් ගැලවෙන්නට හෝ සතා සිව්පාවා ගෙන් ආරක්ෂා වෙන්නට ගින්නක් අවුලා ගන්නා දැනුමක් හෝ බඩගිනි නිවාගන්නට කැලෑවේ මේ කොළ හා මේ ගෙඩි කෑම විෂ සහිත නොවේ කියා හෝ රෝගී වූවාම මේ දේවල් ඖෂධ වේ යැයි හෝ මේ දැනුම නිසා දරැවෙක් ප්‍රසූතියේ දී මවත් දරැවාත් දෙදෙනාම බේරාගත හැකි යැයි දැනුමක් මිනිසාට උප්පත්තියේ දී පිහිටා නැත.

ලොවෙන් වඳ වී යන තිරිසනුන් ආරක්ෂාවට ද මිනිසාට හැකියාව ලැබී ඇත්තේ ප්‍රතිඵල අරමුණු කරගත් ශ්‍රමය වෙහෙසීමෙනි.

මිනිසා පරිභෝජකයෙක් වෙද්දී එකවරම නිෂ්පාදකයෙක් ද වෙයි. මිනිසාට නිෂ්පාදනයකින් තොරව පරිභෝජනය කළ නොහැකියි. ඔහු නිෂ්පාදනයක් කරන්නේ ඔහුට අවශ්‍ය අනෙකුත් පරිභෝජනය භාණ්ඩ ලබා ගැනීමටයි.

හැමෝම හිඟන්නන් වූවොත් ඔවුන් හිඟා කන්නේ කවුරැ නිෂ්පාදනය කරන දේවල් ද? සමාජයක වැඩිපුර හිඟන්නන් සිටියොත් තම ඕනෑකම් තෘප්තිමත් කර ගැනීමේ දී හමුවෙන බාධක නැති කරගන්නට හෝ අඩු කරගන්නට වැඩියෙන් අවස්ථාවක් ලැබෙනවා ද? අඩුවෙන් අවස්ථාව ලැබෙනවා ද?

මිනිස් ස්වභාවය හැමවිටම ප්‍රතිඵලය අරබයා ශ්‍රමය වෙහෙසීමයි. කම්කරැවා, ගොවියා, වෙළෙන්ඳා, රචකයා, ගණිතඥයා, දාර්ශනිකයා සහ හිඟන්නා පවා තම ශ්‍රමය වෙහෙසන්නේ තිබෙනවාට වඩා දෙයක් ලබා ගැනීමට, ඉක්මණින් යමක් කිරීමට, හැකි අරපිරිමැස්මෙන් එය කරගැනීමට. තවත් විදියකින් කිව්වොත්, අඩු ප්‍රමාණයකින් වැඩියෙන් කරගන්නට -to do more with less.

වෙහෙසෙන මිනිසා සිය ප්‍රගතිය මනින්නේ කෙසේද?

රස ගුණ පිරි ආහාර, සුව පහසු නිවහන, සනීපදායක වස්ත්‍ර, ලෙඩ රෝග වලට බෙහෙත් යනාදියෙන් පිරි වස්තු සම්පත් දිහා බලා ප්‍රගතිය මනිනවා ද?

නැත්නම් බාධකයක් ජයගන්නට ගත් උත්සාහයේ ප්‍රතිඵලය දිහා බලා ලැබූ ප්‍රගතිය මනිනවා ද?

එහෙමත් නැත්නම් උත්සාහය පමණක් සලකා ප්‍රගතිය මනිනවා ද?

ගත් උත්සාහය සහ ලැබූ ප්‍රතිඵලය අතර සමානුපාතයක් සැම විටම ඇත. උත්සාහය සහ ප්‍රතිඵලය සලකා බැලීමේ දී ප්‍රගතිය මනින්නේ උත්සාහය වැඩි වීම අනුව ද නැත්නම් ප්‍රතිඵලය වැඩි වීම අනුව ද?

උත්සාහය සහ ප්‍රතිඵලය යන දෙකම එක හා සමාන ලෙසින් වැදගත් වුවත් අර්ථ ශාස්ත්‍රයට දේශපාලනය රිංගද්දී මතවාදයන් බෙදෙන්නේ ‘පළමුවෙන් සඳහන් එකයි වැදගත්’ කියා හෝ ‘නැහැ දෙවැනි එකයි වැදගත්’ කියන දෙපිළකට.

ප්‍රතිඵලය සලකන ක්‍රමයට අනුව ධන සම්පත් යනු ශ්‍රමයේ ප්‍රතිඵලයයි. එහි දී ද ධන සම්පත් වැඩිවෙන්නේ උත්සාහයේ පරිදි ප්‍රතිඵල ගෙනෙන අනුපාතයටමයි. කිසිත් උත්සාහයක් නොගෙන අනන්ත ප්‍රතිඵල ලැබීම එහි පරමාදර්ශයයි.

උත්සාහය සලකන ක්‍රමයට අනුව අපේ ධන සම්පත් මැනෙන්නේ කොතරම් උත්සාහයක් යට කරනවා ද අනුවයි. ප්‍රගතිය මැනෙන්නේ එහි දී කොපමණ සමානුපාතික ලෙසකින් උත්සාහය වැඩිකර තිබෙනවා ද අනුවයි. ඉතින් මේ අන්තයේ පරමාදර්ශය වනුයේ සිසිපස් කතන්දරයේ එන පරිදි කොපමණ ශ්‍රමයක් වැය කළත් අසාර්ථක ප්‍රතිඵල ලැබීමයි.

ෆ්‍රෙඩ්රික් බැස්ටියාට් මේ ක්‍රමය සිසිපස්වාදය හඳුන්වයි.

සිසිපස් යනු ඔහු කළ වැරදි ගැන දෙවියන් උරණ වූ නිසා ලොකු ගලක් කන්දක් මුදුනට තල්ලු කරගෙන යෑම යළි යළිත් කරන්නට සිද්ධ වූවෙකි. ඔහු ගල කන්ද මුදුනට ගෙන යනවාත් සමඟ එය ආපහු කන්ද පහළට ඇදගෙන වැටේ. ඒත් ඔහුට ලැබුණ දඬුවම අනුව ඔහුට නියම වී තිබෙන්නේ නැවත නැවතත් ගල කන්ද මුදුනටම තල්ලු කරගෙන යෑමයි.

සිසිපස්ගේ ශ්‍රමය නැවතෙන්නක් නොවේ, එය නිෂ්ඵල උත්සාහයකි.

නිරර්ථක උත්සාහයෙන් බලාපොරොත්තු රහිත ලෙසින් ශ්‍රමය වෙහෙසන සිසිපස් ගැන, කැමුගේ සිසිපස් නොහොත් නිරර්ථක උත්සාහය අරගලයක් සේ දැක සතුටින් එහි නියැළෙන්නා සහ බැස්ටියාට් ගැන කළින් ලියූ සටහනක් මෙතැනින් කියැවිය හැකියි.

ප්‍රතිඵල අරමුණු කරගත් ශ්‍රමය වෙහෙසීමෙන් මිනිස් ඕනෑකම් තෘප්තිමත් කර ගැනීමේ දී හමුවෙන බාධක නැති කරගන්නට හෝ අඩු කරගන්නට ස්වභාවයෙන්ම රැකුල් දීමක් සිද්ධ වේ.

බලවත් යන්ත්‍ර හදාගත්තාම මිනිසාගේ ශක්තිය වැඩි කරන්නට හැකියාව ලැබේ. වැඩිපුර නිෂ්පාදනයෙන් ඒකකයක මිල අඩු කරන්නට හැකියාව ලැබේ. ගෝලීය වෙළඳාමකින් සෑම නිෂ්පාදකයාටම විසල් වෙළඳපොලක් ලැබෙද්දී (නිෂ්පාදනය කරන්නේ ද පරිභෝජනය කරන අයම නිසා) සෑම පරිභෝජකයෙක්ම තම ඕනෑකම් තෘප්තිමත් කර ගැනීමේ දී හමුවෙන බාධක නැති කරගන්නට හෝ අඩු කරගන්නට ද ලැබෙන ඉඩකඩ වැඩිවේ.

ප්‍රතිඵල අරමුණු කරගත් ශ්‍රමය වෙහෙසන අයට ඒ සඳහා ඉඩ ලැබෙද්දී, ඔවුන්ගේ සිත් උණු වීම නිසා හිඟන්නන්ගේ පැවැත්මට ද අවස්ථාව පෑදේ!!!! කල්පනා කර බලන්න, අතීතයක දී හිඟන්නට ඉඩක් තිබුනේ හිඟන්නාට ඇවිද ගෙන යා හැකි තැන්වල පමණකි. අද ගෝලීය වශයෙන් හිඟන්නටම කොපමණ මාර්ග බිහි වී ඇත් ද?!!!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: