අරුණි ශපීරෝ‍ වෙතින්

සහතික මිල

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 4, 2014

Ocean fishing6

පසුගිය කාලයේ දී මීගමුවේ ධීවරයන් අල්ලන ලද මාළු වලට නිසි මිලක් ලැබුනේ නැතැයි මැසිවිලි නඟා ඇත්තහ. එනම්, කිසිවෙක් මැදිහත් වෙන්නේ නැත්නම් ධීවරයන් ඉදිරිපත් කරන ලද මිලට පාරිභෝගිකයන් මාළු ගන්නට අකමැති බව වෙළඳපොල පෙන්වන ලදි.

භාණ්ඩයක මිල යනු පාරිභෝගිකයා මිල දී ගන්නට කැමති සහ නිෂ්පාදකයා විකුණන්නට කැමති මිල යි. ඕනෑම නිෂ්පාදකයෙකුට තමන් කැමති මිලක් අපේක්ෂා කළ හැකියි. ඒත් නිෂ්පාදකයාට එය ගෙවනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ භාණ්ඩය මිල දී ගන්නා පාරිභෝගිකයායි.

ආණ්ඩු විසින් යම් ආකාර වලින් අවම මිල හා ඉහළම මිල තීරණය කරන බලය තමන්ට පවරා ගත් උදාහරණ ඉතිහාසය පුරා දකින්නට හැකියි.

1584 දී ස්පාඤ්ඤයන් විසින් වර්තමාන බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරය අල්ලා ගත්හ. එහි නගර පාලකයන් ආහාර විකුණන ඉහළම මිල ගණන් තීරණය කළහ. ඊට වැඩි මිලකට අලෙවි කරන අයට දැඩි දඬුවම් පැමුණුවූහ. කිසිම වෙළෙන්ඳෙක්ට නැව් මගින් ආහාර ගෙන එන්නට ඒ නිසා ඉඩකඩක් නොලැබුණි. නගරයට ආහාර පැමිණීම එයින් ඔවුන් විසින්ම තහනම් කරගත්හ. ආක්‍රමණික ස්පාඤ්ඤ හමුදාවට වඩා විනාශකාරී වූයේ ඒ පිළිවෙතයි. ඉහළ නොයන අඩු මිල නිසා නගරයේ විසූ වැසියන් අරපිරිමැස්මක් නොකළහ. සියළු ආහාර එකවරම ඉවර වී යන තෙක් ඔවුන් සතුටින් කල් ගෙව්වහ. 1585 දී නගරය සතුරැ හමුදාවට යටත් වූහ.

1770 දී බෙංගාලයේ සහල් වගාව අසාර්ථක විය. ජනගහණයෙන් තුනෙන් එකක් මිය ගියහ. ධාන්‍ය මිල ඉහළ නොයන්නට රජය දමා තිබුණ ප්‍රතිපත්ති මිනිස් ජීවිත අහිමි වූ ඛේදවාචකයට හේතු විය. එහෙත් බෙංගාල වැසියන්ගේ වාසනාවට නැවතත් 1866 දී ඔවුන් සාගතයකට මුහුණ දෙන්නට යද්දී ආණ්ඩුව කළින් සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගෙන තිබුණි. රජය සහතික මිලක් නියම කළේ නැත. ගෞරවනීය සමාජ තත්වයන් හෙබි මිනිසුන් විශාල පිරිසක් වෙළඳාමට බැස්සහ. සෑම දිස්ත්‍රික්කයකම මිල ගණන් සතිපතා පළ කළහ. අඩුවෙන් මිලකට සහල් මිල දී ගන්නේ කොහෙන්දැයි සහ වැඩියෙන් මිලකට සහල් විකුණත හැකියාව ඇත්තේ කොහාටදැයි යන්න හැමෝටම සොයා ගන්නට අවස්ථාව ඉන් පෑදුණි.

මිල ගණන් හැම විටම හුවා දක්වන්නේ අවශ්‍යතාවය වැඩියෙන්ම ඇති පිරිස ඉන්නා ස්ථානය සහ අවශ්‍යතාවය අඩුවෙන්ම ඇති පිරිස ඉන්නා ස්ථානයයි. වැඩියෙන් ඇති පෙදෙස් වලින් ඉතා ඉක්මණින් අවශ්‍ය පෙදෙස් වලට සහල් ලැබෙන්නට ඒ ක්‍රමය නිසා ඉඩක් ලැබුණි.

ඉතාම කෙටි කාලයකට පමණක් යැයි කියා යොදා ගත්තත් සහතික මිලක් තීරණය කිරීම සාර්ථක ක්‍රමයක් නොවේ.

යමක් මිල දී ගන්නාට එහි මිල විසින් සියළු භාණ්ඩ අතර පවතින සාපේක්ෂ හිඟතාවය ගැන දැනුම් දෙයි. ඉල්ලුම අඩුයි ද වැඩිය ද කියා දැනුම් දී හිඟ වී යන දේවල් ඉක්මණින් වෙළඳපොලට ගෙනෙන්න යැයි දැනුම් දෙයි.

සහතික මිලක් නියම කිරීම නිසා වෙළඳපොලට එන බඩු අතර වැඩි කළ යුත්තේ මොනවා ද අඩු කළ යුත්තේ මොනවා ද යන්න දැනුම් දීමට බාධා පැමිණේ. එයින් පාරිභෝගිකයාට රටේ බඩු හිඟයක් දකින්නට ලැබෙයි. හොයන බඩුව දකින්නට නැති වීමත් අනවශ්‍ය බඩු හැම තැනම දකින්නට ලැබීමත් යනු විකෘති කරන ලද වෙළඳපොලක ලක්ෂණයකි.

පාරිභෝගිකයා හොයන බඩු ගන්නට ලැබෙන්නේ කළුකඩ වෙළෙන්ඳන් වෙතිනි. මෙහි දී ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නාකම නිසා අයෙක් කළුකඩ වෙළෙන්ඳාට බනින්නට පටන් ගනියි. කළුකඩකාරයාව වෙළඳපොලට ගෙනාවේ තමන් විසින් පක්ෂපාතීත්වය දැක්වූ සහතික මිල ප්‍රතිපත්ති නිසා දැයි වටහා ගන්නට එසේ බනින අය කිසිත් උත්සාහයක් ගන්නේ නැත.

ලොකු පරව් කිලෝවකට රැපියල් 300 ක් සහ කුඩා පරව් කිලෝවකට රැපියල් 240 ක් සහතික මිලක් දී ධීවර සංස්ථාව මාළු මිල දී ගනිද්දී පාරිභෝගිකයන් මිල දී ගන්නට කැමති මිලට මාළු වෙළඳාම් කළ අය මාළු වෙළඳපොලේ තරඟයෙන් අයින් වෙති. පාරිභෝගිකයන් කැමති මිලකට විකුණා ලාබ සොයාගන්න ආකාරය හඳුනාගත් මෙතෙක් ලාබ උපයන වෙළන්ඳන්ට මෙහි දී වෙළඳපොල තරඟයට ඉඩක් නොලැබී යයි. වෙළඳපොලේ ඉතින් ඉතිරි වෙන්නේ ධීවර සංස්ථාව දෙන සහතික මිලට මාළු සපයන වෙළන්ඳන් පමණි. සහතික මිලක් ඉල්ලන ඔවුන් ලාබ උපයන්නට නොදනිති. වෙළඳපොලේ ඉල්ලුම සැපයුම ඉහළ පහළ යද්දී ව්‍යාපාර කරන්නේ කෙසේදැයි ඉගෙන නොගනිති. එවිට වෙළඳපොලේ ඉතිරි වෙන්නේ විචාර බුද්ධියකින් ආයෝජනය කරන හැකියාව නැති වී ගිය අයයි.

තමන් ඇල්ලූ මාළු සහතික කළ අවම මිලක් යටතේ ආණ්ඩුව මිල දී නොගත්තොත් ජීවිකාව කරගෙන යන්නට නොදන්නා නිසා ඔවුන් තව දුරටත් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව විසින් මැදිහත්විය යුතු කියායි.

මැදිහත්වෙන්නට නළියමින් සිටින ආණ්ඩුව එහෙම සහතික මිලක් දුන්නාම එය ලැබූ මීගමුවේ ධීවරයන් පමණක් නොව අනෙකුත් ධීවරයන්ටත් විශාල සහනයක් ලැබී ඇතැයි ජනතාව රවටති. රටේ හැම බඩුවක්ම දිනෙන් දින ඉහළ යනවා යැයි අනතුරැව ඔක්කොම එකතු වී හූල්ලති.

ඒ අස්සේ උඩරට එළවළු ගිනි ගණන් වෙලා. ඒ කියන්නෙ ගිනි ගණන් වලට හරි පාරිභෝගිකයන් එළවළු ගන්නට කැමති බව ද? නැත්නම් මැදිහත්වන ආණ්ඩුව මාළු ගත්තත් එළවළු ගත්තත් පාරිභෝගිකයාටම බර උසුලන්න කියා තමන් කැමති නිෂ්පාදකයන්ගේ බර සැහැල්ලු කිරීම පමණක් තෝරා ගැනීම ද?

පාලන මිල යනු කොටසක් පාවා දී වෙන කොටසකගේ ඉල්ලීම් සපුරා කැමැත්ත දිනාගන්නට යොදාගන්නා ප්‍රතිපත්තියක් මිසෙක ආර්ථිකය අරමුණු කරගත් ප්‍රතිපත්තියක් නොවේ.

අර්තාපල් ගොවියන්ගේ ඵලදාව හැමදාම සහතික මිලකට රජය මිල දී නොගෙන වැඩියෙන් ඵලදාව ලැබෙන කාලයට පමණක් මිල දී ගන්නේ ඇයි? රජයක් දන්නවා නම් අර්තාපල් වලට ලැබෙන මිල මෙය යැයි තීරණය කරන්නට වසර පුරාම එය කුමන මිලට විකුණත යුතුදැයි තීරණය කළ යුතු නේද?

මීගමුවේ ධීවරයන් අල්ලන ඒ ඒ මාළු වර්ගයට ලැබිය යුතු මිල තීරණය කරන්නට රජයක් දන්නේ කෙසේද? මේ කාලයේ දී එහෙම දන්නවා නම් වසරේ අනිත් හැම දිනයක දී ම එහෙම නොකරන්නේ ඇයි?

ඇයි ආණ්ඩුව සමහර බඩුවල මිල පමණක් සහතික කරන්නෙ හැම බඩුවකම මිල තීරණය කරන්න යන්නෙ නැත්තෙ?

මිල පාලනය නිසා රටවැසියන්ට තීරණ ගැනීමෙන් ගැලවෙන්න ලැබෙනවා යැයි කල්පනා කර ඇත්ද?

වෙළඳපොලක, ඒ කියන්නෙ නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් දෙගොල්ලන්ටම තීරණ ගන්න සිද්ධ වෙනවා. ලාබ ඉහළ යනවා පහළ යනවා. ව්‍යාපාර සාර්ථක වෙනවා බංකොළොත් වෙනවා. රස්සාවල් ලැබෙනවා රස්සාවල් නැතිවෙනවා. ඒත් පාලන ප්‍රතිපත්ති වලින් සිද්ධ වෙන්නෙ තමන් විසින් තීරණ ගන්න අවශ්‍යතාවය නැහැයි කියන මිරිඟුවට මිනිසුන් රැවටීම.

වෙළඳපොලට වඩා වැදගත් මේ මිල තීරණය කරන අය. ලාබ තියාගෙන අල්ලපු මාළු විකුණන්න දන්න ධීවරයන් ඒ රස්සාවල් දාලා කොරියාවට ගිහින්. ඉතින් බදුල්ල පැත්තෙ හැම කඩයකම ලොකු පරව් හරි කුඩා පරව් හරි තමන් කැමති මිලකට ගන්න ලැබෙන්නෙ නැත්තෙ ඇයි කියලා අහන්න දන්න කෙනෙක් රටෙත් නැහැ!!!!

රටකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මොනවා දැයි දන්නෙ නැති හැමෝම වෙනස් කරන්න අවශ්‍ය දේවල් කියලා වැදගත්කමක් දෙන්නෙ වෙන වෙන දේවල් වලට.

මිල පාලනයට වෙනත් ආයතන රාශියක්, සහ රස්සාවල් රාශියක් අවශ්‍යයයි. සහතික මිල තීරණය කරන්න අය, මිල දී ගන්න අය, මිල දී ගත්ත බඩු වලට ඊ ළඟට කරන්නෙ මොකද කියල තීරණය කරන අය!!! ඒ රස්සාවල් නිසා විරැකියාව මගහැරෙනවානෙ කියල හිතන අයත් ඉන්නවා. ඒ අය සිසිපස් ගැන අහලා නෑනේ. ඒ අය හිතන්නෙ රස්සාවක් තිබ්බම ප්‍රමාණවත්. ශ්‍රමය වෙහෙසුවාම ඇති. ප්‍රතිඵලයක් අවශ්‍ය නෑ කියල.

හැම රස්සාවක්ම රජයේ සේවකයන් යටතේ වූ රටක් ලෝකෙ නැත්තෙ ඇයි?!!!!!

සහතික මිලක් තීරණය කරන ප්‍රතිපත්තිය නිසා තමන් උදව් කරන්න හදන අයම තමයි අවසානයේ වැඩියෙන් දුක් විඳින්නේ කියා වටහා ගන්න හොඳ හිතින් උදව් කරන අයටත් ඒක තමයි තමන්ට තියෙන එකම විකල්පය කියලා හිතලා සහතික මිලක් ඉල්ලන අයටත් දැනුමක් නැහැ.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Surendra Fernando said, on දෙසැම්බර් 5, 2014 at 11:59 ප.ව.

    මේ දිනවලනම් ලංකාවේ මිළ ගණන් ගැන කතා එපා , ආස්චර්යේ ප්‍රතිපල නිසා දිනෙන් දින මිල පහල යනවා , අපරාදේ ජනාදිපති තුමා ඉතුරු අවුරුදු 2 ත් ඉඳලා චන්දෙට ගියානම් මේ මිල පහල යන විදිහට එතුමාව යාවජීව ජනාදිපති කියලා පත් කරනවා ;


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: