අරුණි ශපීරෝ‍ වෙතින්

පහළ බහින ඛනිජ තෙල් මිල

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 13, 2014

IMG_0065

ගෝලීය වෙළඳපොලේ ඛනිජ තෙල් මිල පහළ යමින් පවතී. පසුගිය මාස හයේ දී 40% කට ආසන්න පහත යෑමක් දකින්නට ලැබෙන අතර තව දුරටත් මිල බහිනු ඇතැයි අපේක්ෂා වේ. වෙළඳපොලක් කුමක්දැයි නොදැනීමත් භාණ්ඩයක මිල තීරණය වෙන්නේ කෙසේදැයි නොදන්නාකමත් නිසා අනේක මතවාද වලින් පහළ යන තෙල් මිල ගැන කතාබහ පැතිර යන්නට ද පටන් ගෙන ඇත.

තෙල් මිල ඉහළ යද්දී මේ ඇමෙරිකාව යුද්ධ කරන්නෙ තෙල් වලටයි කියන අය තෙල් මිල පහල යද්දී (ඒ දවස්වලටත් වඩා රටවල් ගණනාවකට ඇමෙරිකන් සොල්දාදුවන් ගිහින් සිටිද්දී) මේ රැසියාවට නැත්නම් ඉරානයට බැටේ දෙන්නයි කියති.

ලෝකයේ තෙල් සංචිත වලින් 80% ක ප්‍රමාණයක අයිතිය ඇත්තේ ආණ්ඩු විසින් අයිතිය කියන කොම්පැණි වලටයි.

ඇමෙරිකාවේ ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් කොම්පැණි හි වැඩි අයිතියක් තිබෙන්නේ ඒකීය ආයෝජකයන්ටයි. මොවුන් ඒ තෙල් හා ගෑස් කොම්පැණි වල විධායක හෝ අධ්‍යක්ෂක තනතුරැ දරන අය නොවෙති. විශ්‍රාම වැටුප් හා ආයෝජන ගිනුම් (මහජන සහ පුද්ගලිකව ඇති 401(k) සහ IRA වැනි) සියළු තෙල් අයිතියෙන් 46.8% කට අයිතිය කියති. එවැනි විශ්‍රාම ගිනුම් වලට බාහිරව ඇති කර්මාන්තයේ විධායක හෝ අධ්‍යක්ෂක නොවන පුද්ගලික ආයෝජකයන් තවත් අමතර 18.7% කට අයිතිය කියති. අපිත් මේ 18.7% ක කොටසේ සිටියෙමු. ගෙයක් මිල දී ගැනීම සඳහා කාලයක් තිස්සේ තිබුන ඛනිජ තෙල් කොම්පැණියේ කොටස් විකුණන ලද නිසා තෙල් මිල පහළ වැටෙද්දී පාඩු විඳින්නට සිදු නොවිණ. ඇමෙරිකන් නිවාස අර්බූදය අපේ ජීවිත කාලයේ විසඳෙන්නේ නැත. “බදු ගසා වියදම් කරන පක්ෂය”* පරාජය වී “ණයට ගෙන වියදම් කරන පක්ෂය”* (දරැවන්ව ණය කරවා වියදම් කරන පක්ෂය)* යළි බලයට එන හෝඩුවාව දකින්නට ලැබේ.

ගෝලීය වශයෙන් තෙල් මිල පහළ යන්නට හේතු කිහිපයකි.

ඔපෙක් හෙවත් පැට්‍රෝලියම් (ඛනිජ තෙල්) අපනයන රටවල් හි සංවිධානය පිහිටුවා ගත්තේ අන්තර්ජාතික තෙල් වෙළඳපොලේ මිල තහවුරැ කර ගැනීම සඳහා යැයි ඔවුන්ගේ නිල ප්‍රඥප්තිය කියයි. 2014 ජූනි මාසයේ දී ඛනිජ තෙල් බැරලයක් $115 විය. දැන් එය $70 දක්වා බැස ඇත.

ඉතින් තම රටේ ආර්ථිකය ඉහළ යන තෙල් මිල මත රඳා පවතින්නේ ද ඒ තෙල් නිෂ්පාදනය කරන රටවල් තෙල් මිල පහළ යද්දී අමාරැවේ වැටෙති. සවුදි අරාබිය, ඉරානය, ඉරාකය, නයිජීරියාව, වෙනෙසියුලාව, රැසියාව මේ අතර කැපී පෙනෙන රටවල් වෙති.

ලොව තෙල් නිෂ්පාදනය කරන රටවල් අතර මුලටම ඉන්නා “ප්‍රජාතන්ත්‍රවාදී” වෙනෙසියුලාව තෙල් මත පදනම් වූ බැඳුම්කර බිලියන ගණන් සඳහා ණය ගෙවීම පැහැර හරින්නේ නැතැයි තරයේ කියති. ඒත් එහාට මෙහාට පනින ගෙම්බන් ගැන ප්‍රවෘත්ති නොව ලෝකයේ සිද්ධ වෙන්නේ මොනවාදැයි කියවන අයට වෙනෙසියුලාව ණය ගෙවීමට (රක්ෂණ සුරක්ෂිතයන් ගෙවීමට) නොහැකියාව නිසා එය පැහැර හරින්නට සිද්ධ වෙන බව දකිනු ඇත. ඒ ඇමෙරිකන් කුමන්ත්‍රණ නිසා නොව හැමදාම වගේ අදත් සමාජවාදීන් ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි නොදන්නාකම නිසයි.

මිල තහවුරැ කරන්න කාට ද පුළුවන්?!!!!!!

ගෝලීය ආර්ථිකය මන්දගාමී ගමනක යෙදෙයි. ලෝකයේ ආණ්ඩු ජනතාව මත තව තවත් බර පටවනවා මිසෙක බර අඩු කරන සේයාවක් දකින්නට නැත. ඒ නිසා මන්දගාමී ආර්ථික යළි කොපමණ ඉක්මණින් කඩිනම් ආර්ථික වේදැයි කියන්නට ද නොහැකියි.

මන්දගාමී ආර්ථිකය යනු ආයෝජකයන් තම මුදල් කෙසේ ආයෝජන කරනවා ද යන්න ගැන කුතුහලයකින් සේ ම නොසන්සුන්බවකින් ද ඉන්නා කාලයකි. නොපැහැදිලි තත්වයන් නිසා ආයෝජකයන් ද මන්දගාමී වෙති. කෙසේ වෙතත්, 2014 වාර්තා පෙන්වන්නේ ලොව අන් කිසිම රටකට වඩා ඇමෙරිකාවේ කරන ලද ආයෝජනයන් මේ වසරේ දීත් වඩා ඵලදායක වූ බවයි.

ඇමෙරිකාවේ ශේල් තෙල් ආයෝජකයන් වූයේ ඛනිජ තෙල් කර්මාන්තයේ දැවැන්තයන් නොවේ. ඒත් 2008 දී බැරල් මිලියන 5 ක් නිපැද වූ දේශීය තෙල් ප්‍රමාණය පසුගිය මාසයේ දී බැරල් මිලියන 9 ක් දක්වා ඉහළ දමන්නට ඇමෙරිකාවේ ෆ්‍රැකින් බුබ්බුලයට හැකි වී තිබේ.

මැද පෙරදිග රටවල් වල දී තෙල් බැරලයක් භූමියෙන් මතුපිටට ගන්නට ඇමෙරිකන් ඩොලර් 10 කට අඩුවෙන් වැයක් යයි. ෆ්‍රැකින් තාක්ෂණය අලුත්. ඒත් දිනෙන් දින එය වැඩි දියුණුව සඳහා තම තැන්පතු පරදුවට තබමින් එකතු වෙන ආයෝජකයන් සිටිති. මේ නිසා ඇමෙරිකාවේ ෆ්‍රැකින් වලින් තෙල් බැරලයක් ගන්නට පසුගිය අවුරැද්දේ ඩොලර් 70 ක් වූව මේ වසර් දී ඩොලර් 57 දක්වා අඩු විණ.

ඕනෑම තාක්ෂණයක් මුල් අවදියේ වැය වැඩි අතර ක්‍රමයෙන් ඒ තාක්ෂණය දියුණු කරගන්නට හැකියාව ලැබෙද්දී නිෂ්පාදන වැය අඩු කරගන්නට ද අවස්ථාව පෑදේ. ඒත් පටන් ගනිද්දීම මහත් සේ පාඩු විඳින්නට සිද්ධ වුවහොත් ඒ තාක්ෂණය උපන් ගෙයිම මිය යන්නටත් පුළුවනි.

සවුදි අරාබිය තෙල් යහමින් නිෂ්පාදනය කර ගෝලීය වෙළඳපොලට එවද්දී ඛනිජ තෙල් මිල පහළ යන්නේ නම් සවුදි අරාබිය එසේ කරන්නේ ඇයි? ඇමෙරිකාවේ ඉල්ලීම මත යම් රටක් තම දේශීය සම්පත් වැඩි මිලකට විකුණන්නට හැකියාව තිබිය දී අඩු මිලට විකුණනවා යැයි සිතන අයත් ලොව සිටිති!!!!

ඔපෙක් සංවිධානය ඔවුන්ගේ සාමාජිකයන් අතර තෙල් නිෂ්පාදනය අඩු කිරීම (එවිට මිල ඉහළ දමා ගන්නට හැකියාව ලැබීම) ප්‍රතික්ෂේප කරන ලද්දේ සවුදි අරාබියේ ඉල්ලීමක් අනුවයි. එහි දී මැද පෙරදිග තෙල් නිෂ්පාදකයන්ගේ අරමුණ, ෆ්‍රැකින් ක්‍රමයෙන් තවමත් තෙල් නිෂ්පාදනයට වැඩි වියදමක් යන ඇමෙරිකාවේ ශේල් තෙල් පාඩුදායක කර, ඒ ක්‍රමය සහ ඒ හැකියාව ඇති තවත් බොහෝ රටවල් කරා ද යෑම හැකි තරම් කාලයක් කල් දමන්නටයි.

වෙළඳපොල යනු තරඟයක් තිබීම නිසා පාරිභෝගිකයාට වාසිදායක වූ යාන්ත්‍රණයකි. වෙළඳපොලට මැදිහත්වීම් කරන “ජාතියේ පිනට උපන් නායකයන්” මේ සත්‍යයට ඇහුම් කන් දෙන්නට අකමැති වූවත් වෙළඳපොල විසින් ඉඩක් ලැබෙන සෑම අවස්ථාවක දී ම එය මතක් කරයි.

2010 සිට මේ දක්වා ඇමෙරිකාවේ අලුත් ශේල් තෙල් ළිං විසිදාහක් හාරන්නට පුද්ගලික ආයෝජකයන් සමත් වී ඇත. එය සවුදි අරාබියේ මේ කාලය තුල පටන් ගත් අලුත් තෙල් ළිං වලට වඩා දහ ගුණයකින් වැඩියි. නිෂ්පාදන වැය අධික වුවත් ඇමෙරිකාවේ තෙල් නිෂ්පාදනය තුනෙන් එකක් වැඩි කරන්නට, එනම් දිනකට බැරල් මිලියන 9 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනයට මෙයින් හැකියාව ලැබී ඇත.

ඉතින් යම් අනුපිළිවෙලකට නොව, මේ ප්‍රධාන හේතු සියල්ල නිසාම, එනම්, ලෝකයේ සියළුම රටවල ආර්ථිකයන් සෙමෙන් යෑම නිසා ඛනිජ තෙල් අවශ්‍යතාවය අඩු වීම; සවුදි අරාබිය මිල අඩු වුවත් වැඩියෙන් තෙල් නිෂ්පාදනය කර ඇමෙරිකන් ෂේල් බුබ්බුලය පුපුරවා හරින්නට ගන්නා වෑයම; ඇමෙරිකන් ෆ්‍රැකින් තාක්ෂණය දිනෙන් දින දියුණු වීම යනාදිය නිසා ගෝලීය ඛනිජ තෙල් මිල පහල යයි.

මිල බහින්න තව අතුරැ හේතු තියෙනවා. මං අලුතෙන් ගත්ත වාහනේට ඩොලර් 36 ක ඩීසල් පිරෙව්වම යන්න පුළුවන් හැතැප්ම ගාණ තමයි ඔය පිංතූරේ කියන්නෙ. ටැංකියක් පුරවලා ඒ වගෙ දුර ගමන් දෙකක් ගිහින් ඒ කතාව සත්‍යයක් බව සොයාගත්ත. අද වාහන ඉතා කාර්යක්ෂමයි. ඒත් අද යන්න ඕනෑ දුර ගමන් අඩුයි!!!!

නිවසේ සිට රැකියාව කරන අය ගැන එන්න එන්නම අහන්න ලැබෙනවා වැඩියි. ඔක්කොම බඩු අද අන්තර්ජාලයෙන් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. එහෙම තියෙද්දී ඇයි කඩවල් වල මහ පාරවල් වල රස්තියාදු වෙන්නෙ. චෙක්පත් ගිණුමට බැර කරන්නයි බිල්පත් ගෙවන්නයි දෙකම පුළුවන් මොබයිල් එකෙන්. පත්තරේ ගන්න කියලා කඩේට දුවන්නත් අවශ්‍ය නෑ මොබයිල් එකෙන් ලෝකෙ අනිත් පැත්තෙ රටක තියෙන පත්තර වුනත් කියවන්න ලැබෙනවා. FedEx සහ UPS පාර්සල් බෙදන්න ඩ්‍රෝන්ස්ලා පාවිච්චි කරන්න පටන් ගත්තම ඛනිජ තෙල් පාවිච්චිය තව අඩුවෙලා මිල තවත් පහළ බහීවි.

මිනිස්සු තමන්ගෙ සල්ලි යට කරලා තරඟෙට ආයෝජන වෑයම් ගනිද්දී බඩුවල මිල අඩුවෙලා පාරිභෝගිකයන්ට වාසි වෙනවා දැක්කම පඬුපුල් ආසන උණුවෙන දේශපාලනඥයන් ඔන්න දැන් තෙල් බදු වැඩි කරන්න කාලේ හරි යැයි කියන්න පටන් ගෙන!!!! ඒ අස්සෙ එද්දලයන් ද (තෙල් කොම්පැණි අයිති) තෙල් බදු වැඩි කරන්න යැයි ඉල්ලති!!!!

* ලොව නන් දෙසින් අනගි ප්‍රවෘත්ති රසවත් ලෙසින් සපයන ජෝන් ඩාර්බිශර් හඳුන්වා දුන් පද වහරයි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on දෙසැම්බර් 13, 2014 at 9:18 පෙ.ව.

    ඉතාම ප්‍රයෝජනවත් ලිපියක්. ස්තුතියි අරුණි

  2. Sahan Weerasinghe said, on දෙසැම්බර් 14, 2014 at 10:47 පෙ.ව.

    පාළු ගෙයි වළං බිඳින්නන්ට හොඳ මාතෘකාවක්

  3. Vishwajith Rajapakse said, on දෙසැම්බර් 15, 2014 at 2:37 පෙ.ව.

    ලංකාවට ඕවා දැන් අදාළ නෑ වෙන්න ඕනේ. කොච්චර අඩු උනත් “හෙජින්” ගිවිසුම නිසා ඊ ගෙවන්නේ වැඩි මිලක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: