අරුණි ශපීරෝ‍ වෙතින්

වෙළඳපොල තරඟය සහ දේශපාලන තරඟය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 9, 2015

අපට අවශ්‍ය එක පොලිස් නිලධාරියෙක් සහ එක විනිසුරැවෙක් ද? නැත්නම් පොලිස් නිලධාරීන් ලක්ෂයක් සහ විනිසුරැවන් ලක්ෂයක් ද? ඔවුනට මාසයකට රැපියල් දහ දාහක් බැගින් ගෙවනවා ද? නැත්නම් ලක්ෂයක් බැගින් ගෙවනවා ද?

අපිට අවශ්‍ය යැයි අපි තීරණය කරන සංඛ්‍යාව අනුව පත් කරගන්නා පොලිස් නිලධාරීන් මහමග මුර සංචාරයේ වැඩියෙන් යෙදිය යුතු ද? හොරැන් අල්ලන්නට වැඩියෙන් කාලය ගත යුතු ද? සොරකම් කරන ලද බඩු සොයා ගන්නට වැඩි කාලයක් යෙදවිය යුතු ද? නැත්නම් ඔවුන් උපහටයන් නොමැති අපරාධ යැයි සැලකෙන ගණිකා සේවය, මත්ද්‍රව්‍ය භාවිතය, හොරබඩු ප්‍රවාහනය යනාදියේ යෙදෙනවුන් අල්ලන්නට චර සේවයේ යෙදිය යුතු ද?

විනිසුරැවන් වැඩි වැඩියෙන් කාලය යෙදවිය යුත්තේ දික්කසාද නඩු අහන්නට ද? මාර්ග නීති උල්ලංඝනය කරන ලද නඩු අහන්නට ද? මිනීමැරැම් නඩු අහන්නට ද? සංගති විරෝධී නඩු අහන්නට ද?

මේවා දාර්ශනික ගැටළු නොවේ. මේවාට අපිට උත්තර සොයා ගන්නට සිද්ධ වෙන්නේ සිතන පතන සියළු සැප සම්පත් පහළ වෙන දිව්‍ය ලෝකයක අප ජීවත් නොවන නිසයි. එක දැයකට මුදල් වැය කරද්දී හා කාලය වැය කරද්දී ඒ මුදල් හා ඒ කාලය තවත් දැයකට වැය කරන්නට නොහැකි වූ ලෝකයක අපි ජීවත්වන නිසයි.

ආණ්ඩුවක් මේ ප්‍රශ්න වලට උත්තර සපයා ගනියි. ආණ්ඩු එසේ කරන්නේ ලාභ-අලාභ උපමානයන් වලට භාජනය වීමෙන් බැහැරව. ඒ නිසා ආණ්ඩුවක ක්‍රියා කලාපය හිතුමතයේ සිද්ධ වෙන්නකි. ඒ ඒ පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලූ විට ආණ්ඩුව ඒ නිසා අත්‍යාවශයෙන්ම අනේක වූ දේවල් සඳහා නාස්තිකාර ලෙස මුදල් වෙන්කරයි. කිසිම සමාජයක සියළු පුරවැසියන් සිය ආණ්ඩුව ගැන එකා සේ තෘප්තිමත් නොවන්නේ ද ඒ නිසයි.

ලාභ-අලාභ උපමානයන් විසින් සපයන කාර්යක්ෂම ක්‍රියාවලිය සැලකිල්ලට නොගන්නා නිසා ආණ්ඩුවක් විසින් හිතුමතයේ අරමුදල් වෙන්කරනවා කියද්දී, එයින් ආණ්ඩුවේ සේවකයන් තමනට හිතෙන හිතෙන හැටියට මුදල් වියදම් කරන බවක් අදහස් නොවේ. ඔවුන් ගන්නා තීරණ වල දී ඔවුන් මුහුණ දිය යුතු සංරෝධන (සීමා හෝ තහනම්) බොහොමයකි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලනඥයන් තරඟ කරද්දී තමනට ජය ලැබේ යැයි අපේක්ෂා කරන ප්‍රතිපත්ති සහ වැඩ සටහන් යෝජනා කරති. ඒ ප්‍රතිපත්ති සහ වැඩ සටහන් සඳහා වැය වෙතැයි සිතන මුදල් සහ ගෙනෙන මුල්‍ය පිළිවෙත් සියල්ලේ අරමුණ තරඟකරැවාට ඉහළම චන්ද ප්‍රමාණයක් ගෙන දීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ආර්ථික ප්‍රතිපත්ති හැදීමේ දී මේ සත්‍ය තත්වයට මුහුණ දෙන්නට සිද්ධ වෙන බව ජෝන්ස් මේනාඩ් කේන්ස් විසින් ලියන ලද පොදු න්‍යාය තුල කිසිම සඳහනක් සිදු නොවන බව පෙන්වා දෙන්නේ 1978 දී ජේම්ස් එම්. බ්‍යුකැනන්, රිචඩ් ඊ. වැග්නර් සහ ජෝන් බර්ටන් යන අර්ථ ශාස්ත්‍රඥයන් විසින් ලියන ලද මිස්ටර් කේන්ස් නිසා හටගත් ප්‍රතිවිපාක (The Consequences of Mr. Keynes) නමින් පළ වූ පොතෙන්.

අද ලොව බහුතර රටවල දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති හැදෙන්නේ කේන්ස්ගේ පොදු න්‍යාය වෙතින් එන අදහස් පෙරදැරි කරගෙනයි. ආණ්ඩු නියාමන වලට යටත් ලොව බහුතර විශ්ව විද්‍යාල උගන්වන්නේ ද ඒ අදහස් පෙරදැරි කරගත් පාඨමාලා වෙති. එවැනි දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති නිසා සිද්ධ වෙන්නේ ඔබේ බදු බර සහ ජීවන වියදම වැඩිවීමයි. ඔබේ වත්කම් අඩුවීමයි. දැනුම වැඩිකර ගන්නට රිසි වූ ප්‍රජාතන්ත්‍රවාදය අගයන චන්දදායකයා ඉහත කියූ පොත කියැවීමෙන් තමන් විසින් ඉල්ලා සිටිය යුත්තේ කුමන දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති දැයි දැනුමක් වර්ධනය කරගනු ඇත.

ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය වෙනවා කියන්නේ රටේ බහුතරයේ කැමැත්ත නිසා සිද්ධ වෙන්නක් බවයි. නමුත් එය ලාභ-අලාභ උපමානයන් විසින් සපයන්නක් නොවේ. එය බහුතර කැමැත්ත දිනාගන්නා ජයග්‍රහණය පිණිස හිතුමතයේ තීරණය කරන ලද්දකි. එය ප්‍රජාත්‍රාන්ත්‍රිකව නොවන ලෙස, එනම් ආඥාදායකත්වයකින් තීරණය වෙන්නේ ද ඒත් හිතුමතයේ තීරණය වෙන්නකි.

සිය කැමැත්තෙන් මිල දී ගන්නා සහ මිල දී නොගන්නා පාරිභෝගිකයන්ගේ ඇසින් බලද්දී ආඥාදායක්තවයෙන් ගත් තීරණයක් වූවා හෝ ප්‍රජාතන්ත්‍රවාදීව ගත් තීරණයක් (එනම් බහුතරයේ කැමැත්ත අනුව ගත් තීරණය) යන දෙකම හිතුමතයේ ගන්නා ලද තීරණ වෙති. ලාභ-අලාභ උපමානයන්ට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙන්නේ සිය කැමැත්තෙන් ඒ ඒ දැය මිල දී ගන්න සහ මිල දී නොගන්න තීරණයට ඒ ඒ පුද්ගලයාට ඒ ඒ අවස්ථාවේ දී ඉඩ ලැබෙද්දී පමණකි.

පුද්ගලික ආයතන ඔවුන් අතර විවිධ හා සංකීර්ණ වූ ආකාර වලින් තරඟයේ යෙදෙති. ඔවුන්ගේ තරඟයේ අපේක්ෂාව පාරිභෝගිකයාගේ කැමැත්ත තම භාණ්ඩයට ලබා ගැනීමටයි.

වෙළඳපොල තරඟය නොනැවතී සිද්ධ වෙන්නකි. සෑම මිල දී ගැනීමක දී ම, විකිණීම සඳහා තරඟ කරන පිරිස අතරින් එකක් තෝරා ගන්නට අවස්ථාවක් මිල දී ගන්නාට ලැබේ. එක වෙළෙන්ඳෙක්ව වෙළඳපොලේ බහුතරයක් විසින් තෝරාගත් නිසා එයින් සුළුතරයට තමන් කැමති වෙළෙන්ඳාව තෝරා ගැනීමේ ඉඩකඩ අහිමි වී නොයයි. එකවර තරඟකරැවන් කිහිප දෙනෙකුගේ පැවැත්මට වෙළඳපොල ඉඩ දේ.

දේශපාලන තරඟය විටින් විට සිද්ධ වෙන්නකි. යම් තීරණයක් සාමාන්‍යයෙන් යම් කාල වකවාණුවකට බැඳී පවතී. දිනුම හෝ පරාජය යන දෙකින් එකක් තෝරා ගැනීමේ අවසානය කරා දේශපාලන තරඟය ගමන් කරයි.

වෙළඳපොල තරඟයේ දී මිල දී ගන්නාට තමන් මිල දී ගත්තෙන් ලැබෙන්නේ කුමක්දැයි ගැන සෑහෙන නිශ්චිතයක් ඇත. ඒත් දේශපාලන තරඟයේ දී චන්දය දෙන්නාට ලැබෙන්නේ දිනුම ලබන්නාගේ සේවයයි. යම් විශේෂිත පොරොන්දුවක් එලෙසින්ම ඉටු කරනු ඇතැයි බැඳීමක් නැත. එසේම දේශපාලනඥයන්ට සිය පොරොන්දු ඉටු කරනු සඳහා බහුතර දේශපාලනඥයන්ගේ සහයෝගීතාවය ලැබෙන බවට ස්ථිර කරගන්නට සිද්ධ වෙද්දී, දේශපාලනඥයෙක්ට දෙන චන්දය යනු බඩුවක් මිල දී ගැනීමේ දී පුද්ගලික ආයතනයකට දෙන කැමැත්තට වඩා අඩුවෙන් පවිත්‍ර වූවකි.

“ආඥාදායකත්වය පීඩිත තත්වයන් වර්ධනය කරයි. ආඥාදායකත්වය වහල්කම වර්ධනය කරයි. ආඥාදායකත්වය කුරිරැ හැසිරීම් වර්ධනය කරයි. ඒත් ඒ සියල්ලටම වඩා ආචාර ධාර්මිකව පිළිකුල් වනුයේ ආඥාදායකත්වය නිසා මුග්ධතාවය වර්ධනය වීමයි.” මෙසේ කියා ඇත්තේ සුපතල රචකයෙක් වූ Jorge Luis Borges විසිනි. මෙයට තව ටිකක් එකතු කරන ලෝරන්ස් රීඩ් කියන්නේ, “ආඥාදායකත්වයට ළං වෙද්දී ඔබට මේ දේවල් වැඩි වැඩියෙන් ලැබෙන බවයි. නිල වශයෙන් ආඥාදායක්තවයක් ඇති වෙද්දී ඒවා හදිසියේම පහළ වෙන්නේ නැත.”

වෙළඳපොල තරඟය සහ දේශපාලන තරඟය අතර වෙනස නොහඳුනන බහුතර ලෝකවාසීන් ආඥාදායකත්වයට විරෝධය පෑවත් එය හදිසියේම පහළ වෙන්නක් නොවන බවත් නොදනිති.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on ජනවාරි 10, 2015 at 8:29 පෙ.ව.

    ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය වෙනවා කියන්නේ රටේ බහුතරයේ කැමැත්ත නිසා සිද්ධ වෙන්නක් බවයි. නමුත් එය ලාභ-අලාභ උපමානයන් විසින් සපයන්නක් නොවේ. එය බහුතර කැමැත්ත දිනාගන්නා ජයග්‍රහණය පිණිස හිතුමතයේ තීරණය කරන ලද්දකි. එය ප්‍රජාත්‍රාන්ත්‍රිකව නොවන ලෙස, එනම් ආඥාදායකත්වයකින් තීරණය වෙන්නේ ද ඒත් හිතුමතයේ තීරණය වෙන්නකි…..// 100% එකඟයින නමුත්…ආඥාදායක්වයට වඩා අනෙක් එකට ඉඩ දීම …හොඳයි

    • arunishapiro said, on ජනවාරි 11, 2015 at 8:05 පෙ.ව.

      krishramanayaka71,

      ආඥාදායකත්වයේ හෝ බහුතරයේ කැමැත්තට අනුව හෝ යන දෙකට අනුව සියල්ලන්ටම වහලුන් සේ ජීවත්වීමට සිද්ධ වීම වඩා වැඩියෙන් හොඳ යුක්ති සහගත ක්‍රමයක් දැනටමත් ලොව තියෙනවා. වැඩේ කාටවත් ඒක මතක් වෙන්නෙ නැති එකයි.

      මැතිවරණ තියද්දී, ආණ්ඩුවකට මැති ඇමතිවරැ තෝර ගනිද්දී, බලය බෙදන්නෙ කාට ද කොහොම ද යන්න ගැන කතා කරන අයටත් ඒවායෙ යෙදෙන අයටත් කන්න බොන්න අඳින්න යනාදිය සපයන්නට වෙහෙසෙන පිරිසක් ඉන්නවා. අනිත් අය ඒවා කරද්දී ඔවුන් නිෂ්පාදනය කරමින් ඒ දේවල් වෙළඳාම් කරනවා. එය පාඩුවේ කරගෙන යන්න ඉඩක් හැරෙන්න වෙන වැඩියෙන් ඉල්ලන්නේ නැති අය. තමන්ගෙ නිෂ්පාදන ගන්න යැයි කාටවත් බලහත්කාරකම් නොකරන අය.

      ඒත් ඉතින් කැමැත්තෙන් ගණුදෙනු කරන මිනිස්සු වෙනුවෙන් එහෙම නිෂ්පාදනයේ සහ වෙළඳාමේ යෙදෙන්නේ ආත්මාර්ථකාමීන් යැයි ගුණ්ඩුවට රැවටී සිටින බහුතරය නිසා ඔවුන්ට පාඩුවේ ඉන්න ඉඩදෙන සමාජයක් ගැන කිසිම කතාබහක් නැහැ. තවත් සිද්ධ වෙන්නේ රට ප්‍රපාතයට ඇදගෙන යන “සමාජ යුක්තිය ඉෂ්ට කරන ආර්ථිකයක්” හදන්නෙ කොහොමදැයි ගැනයි. එහෙම ආර්ථිකයක් හදන බලය කාට කොතරම් දෙනවා ද යන්න ගැනයි.

      තමන්ට වඩා රැපියලක් අඩුවෙන් ඇති මිනිසා ගැන අයෙක් බියයි. ඒ රැපියලට අයිතියක් ඔහුට ඇතැයි සිතා. ඉතින් ඒ ගැන කම්පා වෙනවා. තමන්ට වඩා රැපියලක් වැඩියෙන් ඇති මිනිසාට අයෙක් ද්වේශ කරනවා ඒ රැපියලට තමන්ට අයිතියක් ඇතැයි කියා. තමන්ට වඩා රැපියල් අඩුවෙන් ඇති මිනිසා නිසා ගිල්ටි බවක් දැනෙන ගතිය නිසාත් සහ තමන්ට වඩා රැපියල් වැඩියෙන් ඇති මිනිසා නිසා ඉච්ඡාභංගත්වයක් ඇති වීමත් නිසා ගණුදෙනුවක් කරන හැටි ගැන දැනුමක් එවැනි අයට නැහැ. අයිතිය අත් හරින්නේ කෙසේද, අයිතිය ඉල්ලා සිටින්නේ කෙසේද යන්න තෝරා බේරා ගන්නට දන්නේ නැහැ. දෙන්නේ කොහොම ද ගන්නේ කොහොම ද දන්නේ නෑ. ජීවිතයේ සුන්දරත්ය විඳින්නට තමනට ඇති අයිතිය ගැන දන්නේ නෑ. අනුන්ට ගෙවිය යුතු ණය ගෙවන හැටි ගැන දන්නේ නෑ.

      හැමදාම විප්ලව. හැමදාම ප්‍රශ්නයෙන් පළා යාම. සමාජවාදී න්‍යායෙන් කියා දීලා තියෙන්නේ තමන්ගේ ජීවිතයේ හැම තත්පරයක් පාසාම තමන් ගිල්ටි කියන ආචාර ධාර්මික ප්‍රමිතියක් පිළිගෙන ඉන්නටයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: