අරුණි ශපීරෝ‍ වෙතින්

ඇල් මැරැණු වතුරේ නිකම්ම නිකම් ඉන්නා ගෙම්බෝ

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 12, 2015

frog

ගෙම්බාගේ දෘශ්ටාන්තය නමින් සටහනක් දැම්මේ මේ බ්ලොග් අඩවිය ආරම්භයේ දී ය. පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ගාමිණී වියන්ගොඩ විසින් ලියන ලද ෆේස්බුක් එකෙන් බෙදා ගනු ලැබූ සටහනකින් ද උණුවෙන වතුර හැලියේ මැරෙන ගෙම්බා ගැන කියවන්නට ලැබුණි.

භාජනයෙන් එළියට පැනීමට තීරණය කළ යුතු සැබෑ මොහොත උගෙන් මගහැරී ගිය බැවින් ගෙම්බා මිය ගිය බැව් කියන ගාමිණී වියන්ගොඩ ලංකාව මුහුණ පා සිටින තත්වය අබියස “මුලින් කළ යුත්තේ කුමක් ද?” යන ප්‍රශ්නය එහි දී විමසීය.

උණු වෙමින් තිබුණ වතුර භාජනයෙන් එළියට පැනිය යුතු ගෙම්බන් යැයි කියද්දී එහි අදහස් කරන ලද්දේ ලාංකීය ජනතාව ද? නැත්නම් ජනතාවගේ යහපත වෙනුවෙන් කියමින් තමන්ගේ පසුම්බි ලොකු කරගන්නට සහ අනුන්ට නීති ගෙනෙන බලයට කෑදර වූ මැති ඇමතිලා ද?

මේ කොටස් දෙකෙන් එක කොටසක් හෝ තමන් බැස සිටින වතුර භාජනය කෙමෙන් උණු වෙන බව දකිනවා ද? නැත්නම් ඔවුනොවුන් උණුවෙන හැලියේම එක කොනක සිට තවත් කොනකට පනිනවා ද?

යටත්විජිතයෙන් නිදහස්ව ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් උපන් දා සිට අද දක්වා එය සමාජවාදය කරා ගමන් කරන්නක් බව වටහා ගන්නට තරම් දැනුමක් ඇත්තේ නොමිලේ බෙදන ලද නිදහස් නොවූ අධ්‍යාපනයෙන් පෝෂණය ලද කීයෙන් කී දෙනාට ද?

මාක්ස්වාදීන්ට සහ කොමියුනිස්ට්කාරයන්ට තහනම් ගෙනාවත් රට උපන් දා සිට පැවති රටේ නායකත්වය ගමන් කරන්නේ ද මාක්ස්වාදය සහ කොමියුනිස්ට්වාදය පෙරදැරි කරගත් අදහස් කරපින්නා ගෙන බව වටහා ගන්නට තරම් දැනුමක් ඇත්තේ නොමිලේ බෙදන ලද නිදහස් නොවූ අධ්‍යාපනයෙන් පෝෂණය ලද කීයෙන් කී දෙනාට ද?

ප්‍රජාතන්ත්‍රවාදය ලොවට හඳුන්වා දුන් එවක අමෙරිකාවේ ආණ්ඩුවක් ඇතැයි පවා නොදැන, විශේෂයෙන්ම ෆෙඩරල් ආණ්ඩුවක් ඇතැයි නොදැන, සාමාන්‍ය පුරවැසියාට තම දිනපතා කාර්යයන් ඉටුකර ගන්නට හැකිවිය. ගොවියාට, වෙළෙන්ඳාට, කර්මාන්තකරැවාට තමන් නිෂ්පාදනය කරන්නේ සහ අලෙවි කරන්නේ කුමක් ද, කෙසේද, කොයි කාලයට ද, කොහේදීද යනාදිය තීරණයට නිදහස තිබිණ. වෙළඳපොල පමණක් ඔහුට බාධක පැමිණ විය. ගොවි සහනාධාර නොතිබිණ. මිල සහතික නොතිබිණ. අක්කර මෙච්චරක් පමණක් අයිතිය තිබිය යුතු යැයි නීති නොතිබිණ….අලෙවි බදු නොවිණ. සමාජ සුබ සාධන බදු නොතිබිණ. ආදායම් බදු නොතිබිණ. ආණ්ඩුවේ නිලධාරීන් එදත් අද වගේම දූෂිත වුවත් ඔවුන්ට එදා දූෂිත වන්නට තිබුනේ අඩු ඉඩකඩකි. සම්පූර්ණ ආණ්ඩුව විසින් වැය කරනවාට වඩා මුදල් පස් ගුණයකින් වැඩි ප්‍රමාණයක් රටේ පුරවැසියන් විසින් වැය කළහ.*

ආණ්ඩුවක මැති ඇමතිවරැ සංඛ්‍යාව අඩු වැඩි කළ පමණින් එය අඩුවෙන් දූෂිත හෝ වැඩියෙන් දූෂිත වෙන්නේ නැත. ආණ්ඩුවක දූෂණ අඩු වෙන්නේ ආණ්ඩුවක් විසින් වෙළඳපොල** මට්ටු කරන සැලසුම් අඩු වෙද්දීය. එනම් ආණ්ඩුවේ කාර්ය භාරය අඩුවෙද්දීය. ආණ්ඩුවක් ඇත්දැයි කියා පවා නොදැනෙන තත්වයක එදිනෙදා ජීවිතය ගෙවන්නට හැකියාව පුරවැසියාට ලැබෙන විටයි.

සාමාන්‍ය පුරවැසියා කැමැත්තෙන් මිල දී ගන්නා එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් නිපදවන සහ වෙළඳාම් කරන අයව මාට්ටු කරන්නට, එනම් වෙළඳපොල මාට්ටු කිරීම සඳහා අනේක විධ සැලසුම් රටට අවශ්‍ය යැයි සිතන හුරැව සමාජවාදී වූවකි. පසු කාලයක දී ජනතාව පිට බර පටවමින් බලතණ්හාධිකයන්ට ඉහළට යන්න හැකියාව ලැබෙන රටක ආර්ථිකයක් එසේ මෙසේ හසුරැවන්නට හැකි යැයි කියමින් අගාධයට යන පාරක් හදා දුන්නේ පොදු න්‍යාය ලියූ ජෝන් මේනාඩ් කේන්ස් විසිනි.

“පරම සමාජවාදී ආණ්ඩුවක, බලයට කෑදර වූවන් බලය අල්ලා ගන්නට පොරකන්නේ නැත. තම ස්වාර්ථය ගැන යාන්තමෙන් හෝ නොසලකා හැර අනුන් වෙනුවෙන් තීරණ කරන අය තීරණ ගනු ඇත. දක්ෂ මිනිසෙකුට තමන්ගේ පරමාර්ථ ඉටු කරගනු වස් ආයතන හරවා ගන්නට කිසිම ඉඩක් නොලැබෙනු ඇත. එමෙන්ම ගංගාවල් කඳුකරයේ ඉහළට ගලනු ඇත.” මෙසේ උපහාස්‍යයෙන් ලියා ඇත්තේ ඩේවිඩ් ෆ්‍රීඩ්මන් විසින් ලියන ලද ‘නිදහසේ යාන්ත්‍රණයන්’ නම් පොතේ.***

උණු වතුර හැලියේ ගෙම්බා ගැන ලියූ සටහනේ ගාමිණී වියන්ගොඩ සිංහලට පරිවර්තනය කරන ලද බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කවියක් ද ලියන ලදි. එය රෑපවාහිනි වැඩසටහනක ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ඩබ්. ඒ. විජේවර්ධන මහතා විසින් ඉංග්‍රීසියෙන් ලිපියකින් එය සාකච්ඡාවට ගත්තේය.

තමන් සහාය දුන් කොමියුනිස්ට් ආණ්ඩුව බලයට පත් වූ පසු පැතූ සමාජවාදී දිව්‍යලෝකය නොලැබී පාලකයන් නොවන අයට ලැබෙන තාඩන පීඩන වැඩිවෙද්දී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අතින් කවි කිහිපයක් ලියැවුණි. එකක් මීට කළින් සඳහන් කරන ලද විසඳුම යන නමින් ලියන ප්‍රශ්නයකින් අවසන් වෙන කවි පංතියයි.

ගාමිණී වියන්ගොඩ සඳහන් කළ ඇති කවි පංතියේ සිංහලට පරිවර්තනය නොවූ කොටස ඩබ්. ඒ. විජේවර්ධනයන් විසින් ඉංග්‍රීසියෙන් සිය ලිපියේ එකතු කර ඇත.

නමුත් අපිත්, තව දුරටත් යටත් වීමේ කලාව ගැන නොතකමු
ඒ වෙනුවට යටත් නොවීම ගැන, එමෙන්ම ඉදිරිපත් කරන්නේ
ලෞකික ස්වභාවයේ විවිධ යෝජනා, එමෙන්ම මිනිසුන් වෙතින් බැගෑපත්ව ඉල්ලන්නේ ඔවුන්ගේ මිනිස් වධකයන් හලා දමන්න, අපිත් විශ්වාස කරනවා
අගනගරයේ එන්න එන්නම බෝම්බ හෙලා මරණ හමුදා කණ්ඩායම් වැඩිවෙද්දී
ඒ හමුවට යන්න සිද්ධ වෙන අය ප්‍රශ්න අසමින් සිටින කාලය වැඩි යැයි කියා
කොහොම ද අපි මෙය කරන්න කියන්නේ, එමෙන්ම එය අනාගතයේ සිද්ධ වේ යැයි බලාපොරොත්තු වෙන්නේ කෙසේද කියා,
එමෙන්ම ඔවුන්ගේ තැන්පතු වලට සහ ඔවුන්ගේ ඉරිදා අඳින කලිසම් වලට කුමක් වේ දැයි කියා
ඒ ගැන කියන්න අපිට වැඩි යමක් නැත.

But we too, no longer concerned with the art of submission,
Rather with that of non-submission, and offering
Various proposals of an earthly nature, and beseeching men
To shake off their human tormentors, we too believe that to those
Who in face of the rising bomber squadrons of Capital go on asking too long
How we propose to do this, and how we envisage that,
And what will become of their savings and Sunday trousers after a revolution
We have nothing much to say.

තුරැල් කරගත් සමාජවාදයෙන් වෙඩි තබා මරන හමුදා කණ්ඩායම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙද්දී පවා සමාජවාදය ගෙනෙන්ට අත දුන් බ්‍රෙෂ්ට් වැනි කලාකරැවන් එහි දොසක් දැක්කේ නැත.

මේ තවකෙකි.

හිස් බඩක් තිබිය දී තුවක්කු එල්ල වීම
හැම ජනතාවගේම රසාස්වාදයට ලක් නොවේ.
ගෑස් බිව්වාට පමණක්
ඔවුන් කියති, තිබහ නිවෙන්නේ නැතැයි කියා
වුලන් කලිසම් නැතිව
සොල්දාදුවෙක්, නිර්භීත වෙන්නේ ගිම්හානයේ දී පමණයි වෙන්නැති.

මිනිස් වධකයන් හලා දමන්න නම් මිනිසුන් අතරින් තෝරාගත් පිරිසකට අනුන් වෙනුවෙන් තීරණ ගෙනෙන බලතල පැවරිය නොයුතුයි. ඒ තරම් සරල කාරණයක් අවබෝධයට නොහැකි නම් ගෙම්බන් සේ උණුවෙන හැලියේ තවත් කාලයක් ලැග සිටිය හැකියි.

ආණ්ඩුවක් ඉදිරිපත් කරන සෑම ප්‍රතිපත්තියක්ම සෑම සැලසුමක්ම ක්‍රියාත්මක කරන්නට වැයක් දරන්නට සිද්ධ වේ. මේ වැය බොහෝ විට දරන්නේ ආණ්ඩුවේ රාජකාරී නොකරන පුරවැසියන් විසිනි. යුද්ධයක් සිද්ධ වෙන්නේ ඒ නායකයා සහ මේ නායකයා අතර නොවේ. ඔවුන් විසින් මෙහෙයවන සොල්දාදුවන් විසින් කරන ජීවිත පරිත්‍යාගයෙනි. මිය යන සංඛ්‍යාව වැඩි වෙද්දී, බදු ඉහළ යද්දී, රටේ වැසියන්ට නිෂ්පාදනය කරන බඩු හා සේවාවන් හිඟ වෙද්දී යුද්ධ වලට ඇති ප්‍රසාදයත් කෙමෙන් පහළ බසියි.

ආණ්ඩුවේ බලයට කෑදර වූවන් යනු පුරවැසියන්ට දරා ගත හැකි සීමාවන් ඇතැයි දන්නා අයයි. ඊට වැඩියෙන් පීඩා පැමිණ වුවහොත් ඔවුන්ගේ ප්‍රතිපත්ති හා සැලසුම් පමණක් නොව ආණ්ඩුවේ පැවැත්ම ද ආරක්ෂා නොවන බවත් ඔවුන් දනිති.

කොච්චර මුදල් නාස්තියක් ආණ්ඩුවක් විසින් සත්‍යයෙන්ම කරනවා දැයි නොදන්නා තාක් කල් පුරවැසියා තමන්ට දරන්නට සිද්ධ වෙන වැය අධික වීම ගැන කිසිවක් නොකරයි. ඔවුන් වෙනසක් ඉල්ලන්නේ, වෙනසක් වෙනුවෙන් පාරට බහින්නේ තව දුරටත් දරා ගන්නට නොහැකි වෙයැයි බිය වූ අවස්ථාව කරා පැමිණි විට.

වෙනසක් කියා තවමත් ඉල්ලන්නේ ඒ නායකයාටත් බැරි මේ නායකයාටත් බැරි අනුන් වෙනුවෙන් හදන ඒත් තමන් සඳහා වැඩියෙන් වාසි ලැබෙන සැලසුම් නම්?!!!!!!

වෙනසක් කියා තවමත් ඉල්ලන්නේ යටින් සෙමෙන් සෙමෙන් රත්වෙන උණු වතුර භාජනයකට බැස ඉන්නා අවසරය නම්?!!!!

විප්ලවය හැමදාම අවශ්‍ය යැයි ඉල්ලා සිටින්නේ යටින් සෙමෙන් සෙමෙන් රත්වෙන උණු වතුර භාජනයට බැස ඉන්නා අවසරය නම්?!!!!

පීඩකයාගේ ග්‍රහණයෙන් මිදිය හැක්කේ ඔහු/ඇය තුට්ටුවකට හෝ සැලකිල්ලට නොගෙන තම එදිනෙදා ජීවිතය සාර්ථකව කරගෙන යන්නට මාර්ග සොයා ගන්නා දක්ෂයන්ටයි.

ඒ වගේම, මිනිසා ගෙම්බෙක් නොවන නිසා 😀 වතුර උණුවෙන හැලියට තමන්ව දැම්මේ කවුදැයි කියා විමසන හැකියාව ද සතුයි!!!!!

* Robert Higgs ලියූ Crisis and Leviathan: Critical Episodes in the Growth of American Government (1978) පොතෙනි.

** වෙළඳපොල යනු පාරිභෝගිකයා සිය කැමැත්තෙන් මිල දී ගන්න සහ වෙළෙන්ඳා සිය කැමැත්තෙන් විකුණන ක්‍රියාවලියයි. වෙළෙන්ඳා ද පාරිභෝගිකයෙක් බව අමතක කරමින් වෙළඳපොල මට්ටු කරන්නට හදන සෑම අවස්ථාවක දී ම පාරිභෝගිකයා පරාජය වේ.

***”In the ideal socialist state, power will not attract power freaks. People who make decisions will show no slightest bias towards their own interests. There will be no way for a clever man to bend the institutions to serve his own ends. And the rivers will run uphill” — David Friedman (economist and son of Milton and Rose Friedman) in his 1973 book, “The Machinery of Freedom.”

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Chamila Eranganath said, on ජනවාරි 12, 2015 at 10:53 ප.ව.

    ලන්කාව තුල මේක බොහොම අමාරු වැඩ පිලිවෙලක්,මම වරක් ආන්ඩුවක් නැති( ආන්ඩුවට බලය අඩු ) ක්‍රමයක් ගැන අදහසක් MBA-( Managerial Economics)පන්තිය තුල විමසිමකින් පවා එහි සිටි ලන්කාවෙ උගත් සිසුවන් මට සිනා සෙන්නට පටන් ගත්හ.මා පිස්සු අදහස් ඇති අයෙක් බවට පත් කරන්නට උත්සාහයක යෙදුනි.බහුතරකට අවශ‍ය් වුනෙ මිශ්‍ර අර්තික ක්‍රමය,They all need free education,free Health,.. etc..and also TAX free conditions…even this lecturer cant understand the behavior of less power government…

    • arunishapiro said, on ජනවාරි 13, 2015 at 7:38 පෙ.ව.

      Chamila Eranganath,

      අතිශය දුෂ්කර වූවක් බව හොඳාකාරව දනිමි. නිදහස් අධ්‍යාපන යැයි නොමිලේ බෙදන්නේ නිදහස් නොවන අදහස් වලට වහල් වෙමින් ජීවත්වන්නට ඉගැන්වීමයි. මුතුන් මිත්තන් සිට මේ දක්වා වෙනස් අදහස් සලකා බලන්නට අවකාශයක් නොලැබෙන විට එවැන්නක් විමසන්නාට විහිළු කිරීම සාමාන්‍යයක්.

      ඒත් මේ අදහස් පිළිගත්, ඒවා අගයන, එකම ආචාර ධාර්මික වූ ජීවන රටාව වෙත එයින් පිවිසෙන අපි ටික දෙනෙක් ලංකාවේ ඒ ගැන කතා බහ කරන්න පටන් ගත්ත. කැමති නම් අපි එක්ක එකතු වෙන්න‍:
      https://www.facebook.com/srilankabastiat

      මිශ්‍ර ආර්ථිකය යන මුලාව ගැන මේ ජෝන් බර්ටන් කරන දේශනයක්:

  2. Pradeep Jayatunga said, on ජනවාරි 13, 2015 at 11:54 ප.ව.

    සමාජවාදය කොහොමවෙතත් කොමියුනිස්ට්, ෆැසිස්ට් , නාසි හෝ වර්ගවාදී ආඥාදායක ක්‍රමයකට යන demagogueලාට කැමැත්තෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවයනම් හොඳට ලංකාවෙ තියනව

    • arunishapiro said, on ජනවාරි 14, 2015 at 9:24 පෙ.ව.

      Pradeep Jayatunga,

      සමාජවාදය කියන්නෙ අනෙක් ඒවාට වඩා ඉහළ ආචාර ධාර්මික මට්ටමක තියෙන එකක් යැයි බොහෝ දෙනෙක් වැරදි විශ්වාසයක සිටින නිසයි ඒ. තමන් උපයන මුදලට තමන්ට අයිතියක් කියන්න බැරි, ඒකට වෙන කෙනෙකුට අයිතියක් කියන්න පුළුවන් ක්‍රමයක් කොහොම ද වැඩියෙන් ඉහළ ආචාර ධාර්මික මට්ටමක තියෙන්නෙ කියලා ඒ අයට කල්පනා කරන්න ශක්තියක් නැහැ. ඔය කියන අනෙක් ඔක්කොම වාද තුලින් දුවන්නෙත් ඒ චින්තනයම තමයි. ෆෙඩ්රික් හයෙක් දාස බවට යන පාර තුලින් පෙන්වා දුන්නා ඇයි ආඥාදායකත්වයට මිනිසා කැමති වෙන්නේ කියා. සබැඳියෙන් ගිහින් මා ලියූ සටහන කියවන්න පුළුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: