අරුණි ශපීරෝ‍ වෙතින්

අවුලක් උදෙසා සැලසුම් හදන හැටි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 16, 2015

IMG_0047

තවමත් අප ජීවත්වෙන්නේ බෙහෙවින් ධනවාදී විරෝධී වූ ආඥාදායකයන් බහුල, යුද්ධ හා අරගල පිරී ඇති ලෝකයකයි. බොහෝ ආණ්ඩු සහ දේශපාලන පක්ෂ විසින් පුද්ගලික අංශයේ උත්සාහයන්ට සහ නිදහස් ව්‍යවසායකත්වයට සීමා පනවන්නට ඉතා යුහුසුළු වෙති. ධනවාදය ප්‍රතිඵල රහිත වූවක් යැයි කියන්නට තවමත් උත්සුක වෙන බහුතර ලෝකය ආර්ථික කටයුතු නියාමන කළ යුතු යැයි තරයේ විශ්වාස කරති.

එහෙත් ධනවාදය තවමත් බටහිර ලෝකයේ ජවයයි. ධනවාදී නිෂ්පාදනය නිසා අපූරැ නිර්මාණ දිනපතා බිහිවෙමින් පවතී. නිෂ්පාදන ක්‍රම අති විශාල ප්‍රමාණයකින් දියුණු වී ඇත. පාරිභෝගිකයන්ට වඩා හොඳ බඩු ඉදිරිපත් කරන්නටත් තියෙන බඩු වල මිල අඩු කරන්නටත්, බොහෝ දේවල් වසර කිහිපයකට පෙර ලොව නොතිබුණු දේවල් පවා දැන් දුර බැහැර දුප්පත් රටක වැසියෙකුටත් මිල දී ගත හැකි මිලකට සපයන්නට ධනවාදී නිෂ්පාදනය සමත් වී ඇත.

ධනවාදී රටවලින් අලුතින් බිහිවෙන නිෂ්පාදන දුප්පත් රටක වැසියෙකුට ගන්නට නොහැක්කේ ඒ දුප්පත් රටේ දේශපාලනඥයන් විසින් බාධක පනවා ඇති නිසා මිසෙක මිලට ගත හැකියාව දුප්පත් රටේ වැසියාට නැති නිසා නොවේ. දුප්පත් රටක අලුත් නිෂ්පාදන බිහි නොවන්නේ, දුප්පත් රටවල ආර්ථිකය මෙහෙයවන්න දන්නවා කියාගත් දේශපාලනඥයන් ආණ්ඩුව තර කරන මුදල් නාස්තියෙන් වැසියන්ට කිසිදා එවැනි නිර්මාණ බිහිකරන ආයෝජනයට ඉතිරියක් කරනු නොහැකියාවෙනි.

ධනවාදී විරෝධී ප්‍රතිපත්ති සියළු ආණ්ඩුවලින්ම පාහේ සහ සියළුම දේශපාලන පක්ෂ වලින් වාගේ දියත් වූවත්, බොහෝ රටවල පාරිභෝගිකයන්ට වැඩියෙන් හොඳ අඩුවෙන් මිලකට භාණ්ඩ සපයන්නේ තවමත් ධනවාදී ක්‍රමයේ නිෂ්පාදනයයි. එය සිද්ධ වීම සම්බන්ධයෙන් කිසිම ලෙසකින් ආණ්ඩුවකට, දේශපාලනඥයන්ට, රජයේ නිලධාරීන්ට හෝ වෘත්තීය සමිති නායකයන්ට ප්‍රශංසා කරන්නට නොහැකියි. රජයේ ප්‍රතිපත්ති හා නීති සම්පාදනය නිසා පාරිභෝගිකයන්ට වැඩියෙන් හොඳ බඩු, මීට පෙර ලොව නොතිබූ බඩු පරිභෝජනයට අවස්ථාව පෑදුනේ නැත. එම හැකියාව ලැබුනේ තමන්ගේ නිෂ්පාදන සඳහා කම්හල් හදමින්, ඒවා නිෂ්පාදනය කරන තාක්ෂණය දියුණු කරමින් බඩු වෙළඳපොලට ගෙනෙන්නට බාධක මධ්‍යයේ උත්සාහය අත් නොහැරි ව්‍යාපාරිකයන් නිසයි.

කලාකරැවන් සිය නිර්මාණ නිදහසේ කරගෙන යන්නට අවසර ඉල්ලද්දී ලෝක ජනතාවක් ඊට සහයෝගය ප්‍රකාශ කරති. ව්‍යාපාරිකයෙක් තම නිෂ්පාදනය නිදහසේ කරගෙන යන්නට අවසර ඉල්ලද්දී ලෝක ජනතාව අහක බලා ගනිති. ඒ නිෂ්පාදකයා යනු ආණ්ඩුවක් විසින් මෙල්ල කළ යුත්තෙක් යන්න ජනහිත් පතුලේ කිඳා බැස රැඳී ඇති නිසයි.

මේ කරැණ කොතරම් වැදගත් දැයි අද අර ප්‍රතිපත්තිය හොඳ යැයි මේ ප්‍රතිපත්තිය හොඳ යැයි යතුරැ පුවරැවේ කොටමින් පුටු රත්කරන එහෙත් කිසිම දවසක පාරිභෝගික නිෂ්පාදනයක් වෙළඳපොලකට ගෙනැවිත් නැති අයෙක් දන්නේ නැත. අද බහුතරයක් ජනතාව ආණ්ඩුව යනු සියල්ල ඉෂ්ට කරන්නට දන්නා මහා බලවත් වූවක් යැයි සිතා මේ ගැන කල්පනා කිරීම බැහැරලති.

ආණ්ඩුවෙන් ආයෝජනය කරන ලදැයි ඇහෙද්දී අයෙක් ආණ්ඩුවක් යනු 100% ක් ම බදුගෙවන වැසියන් ලවා බලහත්කාරයෙන් ආයෝජනය කරවාගන්නක් යැයි අමතක කරති.

බහුතරයක් ජනතාව අද සෑම දෙයක්ම පාහේ ආණ්ඩුව ගන්නා යම් ක්‍රියාවක් නිසා තමන්ට ලැබේ යැයි සිතන අයයි. ඒ ආණ්ඩුව ගත් ක්‍රියාව කුමක් ද, ඒ නිසා භාණ්ඩයක් තම අතට ලැබෙන්නේ කෙසේදැයි කියන්නට, එනම් මුල සිට අගට එය සිද්ධ වෙන්නේ කොහොමදැයි කියන්නට ඔවුන් නොදනිති.

ඔවුන් ව්‍යවසායකත්වයේ යෙදෙන පුරවැසියන්ගේ වෑයම කුමක්දැයි නොදනිති. ව්‍යවසායකත්වයේ යෙදෙන්නා තමන් මුලින් මුදලක් උපයා ගත යුතුයි. ඒ උපයා ගත්ත මුදල පරිභෝජනයෙන් අහවර නොකර ආයෝජනයට යම් කොටසක් ඉතිරි කරගත යුතුයි.

ව්‍යවසායකත්වයේ යෙදෙන්නා ලාභයක් සොයන්නා සේ ම අලාභයට මුහුණ දෙන්නෙක් යැයි ද බහුතර ජනතාව අමතක කරති. ඔවුන් බලන්නට හුරැ වී ඇත්තේ ලාබ ඉපැයීම දිහා පමණි. අලාභ ලබන ව්‍යාපාර කොපමණක් වැසී ගිහින් ලාභ උපයන දක්ෂයන්ට වෙළඳපොල ඉඩකඩ හැරෙන නිසා රටේ ස්වභාවික සහ මිනිස් සම්පත් විනාශය අවම වෙන බව දන්නේ නැත.

ආණ්ඩුව යනු හොඳ යහපත් වූවක් යැයි ද, රටවැසියන් සහ ව්‍යාපාරිකයන් යනු එකිනෙකා හා ඇනකොටා ගෙන මරාගන්නට හදන කොටසක් නිසා ඔවුන්ට ආණ්ඩුවක රැකවරණය නැතිවම බැරි යැයි ද යන්න සත්‍යයක් ද නැද්ද යන්න කිසිවෙක් විභාග කර බලන්නට නොයති. ඒ නිසා ආණ්ඩුව යන්නට හොඳ යහපත් පුද්ගලයන් පත් කරගත යුතු යැයි කියද්දී ඔවුන් ද ආණ්ඩුව විසින් රැකවරණය දිය යුතු රටවැසියන් අතරින්ම තෝරාගන්නට සිද්ධ වෙන කොටසක් බව මේ අයට අමතක වේ.

අප තවමත් ජීවත්වෙන්නේ ආඥාදායකයන් සහ ප්‍රජාපීඩකයන් රටවල් පාලනය කරන යුගයක බව ඉතිහාසය පෙන්වනු ඇත. ස්ටාලින් සහ හිට්ලර් නොමැති වුවත් අද ඔබාමා, පූටින්, මධූරෝ සහ ගුඩ්ලක් ජොනතන්ලා නොමඳව සිටිති. එයින් පෙනී යන්නේ එදා ස්ටාලින් හා හිට්ලර් වැන්නවුන්ව බලයට ගෙනා “බලවේගයට” තවමත් ජීවයක් ඇති බවයි.

මේ බලවේගය පෙළ පොත් වලින්, පුවත්පත් සඟරා වලින් මෙන්ම ගුරැවරැන්ගේ හා දේශපාලනඥයන්ගේ මුවින් සහ ආගමික නායකයන්ගේ මුවින් ද නිතර පාහේ අහන්නට ලැබේ. සාහිත්‍ය, නාට්‍ය, සිනමාව තුලින් නොමඳව දකින්නට ලැබේ. ඒ “බලවේගය” පවතින තාක් කල් තිරසාර සාමයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, නිදහස ආරක්ෂා වීමක් හෝ ජාතියක ආර්ථික පැවැත්මේ දියුණුවක් දකින්නට ලැබෙන්නේ නැත.

ඒ බලවේගය කුමක්දැයි සරලව කිව්වොත් මැදිහත්වීමවාදයයි. නිදහස් භාෂණයට එරෙහිව තමන් ගෙනා අහිතකර මැදිහත්වීම් ප්‍රතිපත්ති නිසා පැරිසියේ පුවත්පත් කලාවේදියා මිය ගියා යැයි ප්‍රංශ රජය කිසිසේත්ම පිළිගනු නොමැත. නිදහස් භාෂණය යනු ජනතාවක් උරණ වෙද්දී සීමා පැනවිය හැකිය වූවක් නම් එවිට භාෂණයට නිදහසක් ඇතැයි කිය නොහැක. මේ නාට්‍යයෙන් මෝර්මන් ඇදහිල්ල පිළිබිඹුව නිදහස් භාෂණයට ඇති නිදහස මනාව පෙන්වූවකි. නිදහස් භාෂණයට ඇති නිදහස නිසාම තමනට මෝර්මන් ආගම අදහන්නට ද ඉඩ ලැබී ඇතැයි දන්නා මෝර්මන් පල්ලිය ඒ ගැන උරණ වුනේ නැත. ලෝකය දියුණුවට පා තබන්නේ මෙවැනි මිනිසුන් අතලොස්සක් තවමත් ඒ විනාශකාරී බලවේගය ඉදිරියේ නොසැලී සිටින නිසා මිසෙක ආණ්ඩු විසින් හැමදාම එක වැරදිච්ච ප්‍රතිපත්තියක් හදන්නට තවත් වැරදෙන ප්‍රතිපත්තියක් ගෙනෙන නිසා නොවේ.

මැදිහත්වීම්වාදය තුලින් සමාජවාදයක් කරා යා යුතු යැයි විශ්වාස කරන අය ලොව සිටිය ද, එවැන්නෙකුට ඔබ සමාජවාදියෙක් යැයි කිව්වොත් අමනාප වෙනු ඇත. ඔවුන්ගේ අරමුණ වනුයේ ධනවාදයත් නොවන සමාජවාදයත් නොවන සදාකාලික රාජ්‍ය කළමනාකරයෙන් ගෙන යන ආර්ථික ක්‍රමයක් පිහිටුවීමයි. ඔවුන් උත්සාහ කරන්නේ ධනවාදය මෙල්ල කරන්නටය. එය නියාමන කරන්නටය. ආණ්ඩුවේ මැදිහත්වීම් තුලින් ව්‍යාපාර හා වෘත්තීය සමිති අතර මැදට පැන ධනවාදය “වැඩි දියුණු” කරන්නටය.

1951 දී ලුඩ්විග් වොන් මීසස් විසින් ලියූ සමාජවාදය: ආර්ථික සහ සමාජීය විශ්ලේෂණයක් යන පොත ඇසුරින් මෙය ලියන ලදි. ඉදිරි සටහන් කිහිපයක් ඒ ඇසුරින් ලියන්නට අදහස් කරමි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Sudath Mohan Biyanwela said, on ජනවාරි 17, 2015 at 12:56 පෙ.ව.

    //බෙහෙවින් ධනවාදී විරෝධී වූ ආඥාදායකයන් බහුල//
    අපොයි මටනම් පේන්නෙ ඒකෙ ප්‍රතිවිරුද්ධ තත්වයක්.
    බහුලව ඉන්නෙ ප්‍රතිසංස්කරණවාදීන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: