අරුණි ශපීරෝ‍ වෙතින්

මැදිහත්වීම්වාදය හඳුනාගැනීම

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 20, 2015
අර්ථ ශාස්ත්‍රයේ අපූර්ව කාර්ය භාරය වනුයේ තමන් සැලසුම් කරන්නට දන්නවා යැයි සිතන්නෙන් කොපමණ අල්පයක් තමන් දන්නවා දැයි කියා මිනිසාට දැන්වීමයි.

අර්ථ ශාස්ත්‍රයේ අපූර්ව කාර්ය භාරය වනුයේ තමන් නිර්මාණය කරන්නට දන්නවා යැයි සිතන්නෙන් කොපමණ අල්පයක් තමන් දන්නවා දැයි කියා මිනිසාට දැන්වීමයි.

යම් භාණ්ඩයක් හෝ සේවාවක් නොමිලේ සපයන්නට හෝ අඩු මිලට සපයන්නට ආණ්ඩුවක් දන්නවා යැයි සිතන අය අතර වර්තමාන ඇමෙරිකන් ජනාධිපති බරක් ඔබාමා ද සිටියි.

පුද්ගලයෙකුට, පිරිසකට හෝ ආණ්ඩුවකට ඒ දැනුම නැති බව ලොවට මුලින්ම පෙන්වා දුන්නේ සමාජවාදී සමූහාණ්ඩුවේ ආර්ථික ගණනය ලියූ ලුඩ්විග් වොන් මීසස් විසිනි. ඒ සෝවියට් රැසියාව ආරම්භයේ දී ම එහි ආර්ථිකය සහ මුදල් ක්‍රමය සම්පූර්ණ අවුල් ජාලයක් වෙන්නට යද්දීයි. ලුඩ්විග් වොන් මීසස් පෙන්වා දුන්න වෙන කරන්නට විකල්පයක් නොමැති නිසා සැලකිල්ලට ගන්න සිද්ධ වූ සෝවියට් සහෝදරයන් තමන්ගේ සමාජවාදී ආර්ථික ක්‍රමය ඉපදුන සැණින් වලපල්ලයට නොයා දී මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කරගෙන තවත් වසර 76 ක් ඇදගෙන යන්නට සමත් වූහ.

සමාජවාදී ආර්ථික ක්‍රමයක හා මැදිහත්වීම්වාදී ආර්ථික ක්‍රමයක වෙනස කුමක්දැයි ලුඩ්විග් වොන් මීසස් පැහැදිලි කරන ලද්දේ මෙසේයි.

භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ කොහොමදැයි තීරණය කරන අයිතිය පුද්ගලික අයට ලැබෙන සමාජ ක්‍රමයක් පවතිද්දී, නිෂ්පාදනයේ වෙනත් නීති රෙගුලාසි තීරණය කරන ආණ්ඩුවක් තිබි පමණින් එය සමාජවාදය සහ පුද්ගලික අයිතිය මුසු වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් වෙන්නේ නැත.

පුද්ගලික ව්‍යවසායක උත්සාහයන් කිහිපයකට හෝ නිදහස් ඉඩක් ලැබෙද්දී, ඒවා මහජන පාලනය යටතේ පවතිද්දී (එනම් පාරිභෝගිකයාට මිල දී ගන්නවා ද නැද්ද යන තීරණයෙන් එකක් තෝරා ගන්නට හැකියාව පවතිද්දී) එවිට ආර්ථික කටයුතු වෙළඳපොල ආර්ථිකයෙන් තීරණය වීම ප්‍රධාන වශයෙන් බාධාවකින් තොරව පවතියි.

අමුද්‍රව්‍ය මිල දී ගැනීම මහජනතාව අතින් සිද්ධ වෙද්දී, ශ්‍රමය සැපයීම මහජනතාව අතින් සිද්ධ වෙද්දී, නිමි නොවන භාණ්ඩ මහජනතාව අතින් නිෂ්පාදනය වෙද්දී, භාණ්ඩ සහ සේවා විකිණීම මහජනතාව අතින් සිද්ධ වෙද්දී,  මහජන අයිතියෙන් යුතු කියන ජනසතු වූ ව්‍යාපාර පැවතිය ද, ඒවා ද මේ වෙළඳපොල ආර්ථිකයේ යාන්ත්‍රණයටම හසුව පවතියි. එනම් ඒවා ද වෙළඳපොල නීතියට යටත් වී පවතියි. එහි දී ඔවුන් සියල්ලන්ටම ලාබයක් සොයන්නට සිද්ධ වේ.  නැත්නම් පාඩු සිද්ධ වීම වළක්වා ගන්නට සිද්ධ වේ.

පුද්ගලික අයිතියෙන් යුතු වූව ද, මහජන අයිතියෙන් යුතු වූව ද, ඒ ව්‍යාපාරයන්හි අලාභ පාඩු පියවා ගන්නට ආණ්ඩුවේ සහනාධාර හෝ මහජන මුදල් ලබා ගැනීමේ දී වෙළඳපොල ක්‍රමය බිඳ වැටෙයි. මන්ද ඒ සහනාධාර කොහෙන් හෝ හොයාගන්නට ඒවා බෙදන අයට සිද්ධ වෙන නිසයි.

බදු ඉහළ යවමින් අලාභ පියවා ගැනීම පහසු ක්‍රමයයි. බදු පැටවෙන්නේ ඉහළ ධනවතුන් පිට යැයි මහත් ජනතාවක් සනසන්නට චන්ද අපේක්ෂකයන්ට පුළුවනි. එහෙත් ඉහළ ධනවතුන් යැයි හැඳින්වෙන කොටස සෑම රටකම ඉන්නේ සුළු සංඛ්‍යාවකි. ඉතින් ජනතාව සනසන්නට සහනාධාර බෙදීම නිසා ඉහළ යන බදු බර අවසානයේ පැටවෙන්නේ බදු එකතු කරන ආණ්ඩුවට නොව ආණ්ඩුව විසින් ආරක්ෂා කරනවා යැයි පොරොන්දු දුන් මහජනතාව පිටමයි.

මෙහි දී බිඳ වැටුනත් තවමත් අබලන් ලෙසින් දුවන වෙළඳපොලක් පවතින නිසා, ආදායම් බදු දෙපාර්තමේන්තුවට නොව බදු බර වැටෙන්නේ කාගේ පිටට දැයි තීරණය කරන්නේ වෙළඳපොල හෙවත් භාණ්ඩ සහ සේවා මිල දී ගන්නා අය සහ භාණ්ඩ හා සේවා කෙසේ නිෂ්පාදනය කරන්නේ දැයි තීරණය කරන අය විසිනි.

වෙළඳපොල නම් යාන්ත්‍රණය, අදට වඩා සුවපහසු තත්වයක් සොයමින් මිනිස් ක්‍රියාකාරකම් හි නිති යෙදෙන මිනිසුන් සිටින ලෝකයක සුපිරි ස්ථානයක් ගනියි. යම් අයෙක් අදට වඩා හෙට බලාපොරොත්තු වෙන යහපත් තත්වයක කුමක්දැයි කියන්නට තවත් අයෙක් නොදන්නා හේතුවෙන් වෙළඳපොල නීතියෙන් ගැලවෙන්නට කිසිවෙකුට නොහැකියි.

සමාජවාදී ආර්ථික ක්‍රමයේ ආකාර දෙකකි. පළමුවැන්න, රාජ්‍ය නිලධාරි බලයෙන් (මාක්ස්වාදී, සෝවියට් ක්‍රමය)  දුවන ආර්ථිකයයි. තැපැල් සේවාව මෙන් නැත්නම් යුද හමුදාව මෙන් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකින් ආර්ථික වෑයම් සිද්ධ වීමයි. සෑම කම්හලක්ම, සෑම කඩයක්ම, සෑම ගොවිපලක්ම, සෑම කුඩා තැපැල් කන්තෝරැවක්ම මහා තැපැල් කාර්යාලයෙන් මෙහෙයවනවා සේ, පාලනය වීමයි. සම්පූර්ණ රටක් විසින් එක ශ්‍රම හමුදාවක් නිර්මාණය කර අනිවාර්යෙන් එහි සේවය කළ යුතු වීමයි. මේ ශ්‍රම හමුදාවේ නායකයා රටේ ප්‍රධානියායි.

දෙවැන්න, ජර්මන් ක්‍රමය නොහොත් Zwangswirtschaft යැයි හඳුන්වන්නයි. ඉහත පළමුවැන්නෙන් දෙවැන්න වෙනස් වෙන්නේ, නිෂ්පාදන ක්‍රම අයිතියට, ව්‍යවසායකත්වයට, වෙළඳපොල ගණුදෙනු වලට බැලූ බැල්මට එනම් නමට අයිතිය හා නිදහස් ඉඩකඩ ඇති සේ දකින්නට තිබීමෙනි. මේ ක්‍රමයේ දී ව්‍යවසායකයන් යැයි කියාගත්තවුන් මිල දී ගනිති. විකුණති. පඩි ගෙවති. ණය හා පොලී ගෙවති. ක්‍රමක්ෂයය (amortization) කරති. එහෙත් ඔවුන් ව්‍යවසායකයන් නොවෙති. නාට්සි ජර්මනියේ මොවුන්ට කියන ලද්දේ කඩ-මැනේජර්ලා (Betriebsführer) කියායි.

මේ අයට ආණ්ඩුව විසින්

-මොනවා නිෂ්පාදනය කළ යුතු දැයි කියති.

-කෙසේ නිෂ්පාදනය කළ යුතුදැයි කියති.

-කොතරම් මිලකට කවුරැ විසින් මිල දී ගත යුතු දැයි නියම කරති.

-කොතරම් මිලකට හා කාට විකිණිය යුතුදැයි නියම කරති.

-ශ්‍රමිකයන් කොතරම් පඩියකට ශ්‍රමය වෙහෙසිය යුතුදැයි නියම කරති.

-මූල්‍ය අයිතිකරැවන්ගේ මුදල් කාට කුමන කොන්දේසි යටතේ ආයෝජනය කරන්නට පැවරිය යුතුදැයි නියම කරති.

ඉතින් වෙළඳපොල හුවමාරැවක් වෙනවා යැයි කීම මෙවැනි ක්‍රමයක දී හුදු ප්‍රෝඩාවකි. සියළු මිල ගණන්, වේතන හා පොලී අනුපාත ආණ්ඩුවේ අධිකාරියක් විසින් තීරණය කරන ලද්දක් නිසා ඒවා මිල ගණන්, වේතන හා පොලී අනුපාත වෙන්නේ නාමික වශයෙන් පමණි. ඒ ඒ පුරවැසියාගේ ආදායම, පරිභෝජනය හා ජීවන වියදම අනුව මිල ගණන්, වේතන හා පොලී අනුපාත යනු අධිකාරිය විසින් දෙන ප්‍රමාණාත්මක පද වහරක් පමණි.

පාරිභෝගිකයා නොව නිෂ්පාදනය මෙහෙයවන්නේ අධිකාරියයි. වෙළඳපොල සුපිරි නොවී නිෂ්පාදන කළමනාකරණයේ යෙදෙන රටේ ඇමති මණ්ඩලය සුපිරි වෙයි. සියළු ජනතතාව සිවිල් සේවකයන් බවට පත්වේ. ධනවාදී වෙළඳපොල ආර්ථිකයක් යැයි කියන ලේබල් කිහිපයක් පමණක් තබා ගැනීම නිසා මෙවැනි ක්‍රමයක් ධනවාදය පවතින ආර්ථික ක්‍රමයක් යැයි පෙනුනාට එහි සත්‍යයෙන් පවතින්නේ සමාජවාදයයි. ඒ නිසා වෙළඳපොල ආර්ථික ක්‍රමයක් එයින් කිසිසේත්ම පිළිබිඹු වෙන්නේ නැත.

ආණ්ඩුව විසින් වෙළඳපොලට බලපෑම් කරන්නේ තමන්ගේ බලය පෙන්වීමට හැකි නීති සම්පාදන හැකියාවෙනි.

කිසිම බලපෑමක් සිද්ධ නොවන, මැදිහත්වීමක් සිද්ධ නොවන නිදහස් වෙළඳපොලක් වර්තමානයේ ලොව නැති වුවත්, නිෂ්පාදනය කරන්නේ කොහොමදැයි තීරණය කරන අයිතිය, ශ්‍රමය කුමන මිලකට සපයනවා ද නැද්ද යන්න ජනතාව අතින් තීරණය වෙන, අමුද්‍රව්‍ය කුමන මිලකට කාගෙන් ගන්නවා දැයි තීරණය කරන අයිතිය හා කුමන මිලකට කාට භාණ්ඩ හා සේවා විකුණනවා ද යන්න තීරණය කරන අයිතිය මහජනතාව අත පවතිද්දී ඒ ආර්ථිකය තවමත් ධනවාදී ආර්ථකයන් යැයි කියන්නට පුළුවනි.

ආණ්ඩුව විසින් නිර්දේශ කරන ආකාරයෙන් නිෂ්පාදනය සහ පරිභෝජනය සිදුවිය යුතු යැයි කීම ධනවාදී ආර්ථික ක්‍රමයක ලක්ෂණයක් නොවේ. මන්ද ඒ පරමාර්ථය ඉෂ්ට කරගන්නට ඔවුන්ට වෙළඳපොලට තහනම් පනවන්නට සිද්ධ වෙන නිසයි. වෙළඳපොල යනු ලොව ඕපපාතිකව බිහි වූ, ඔබත් මමත් ඇතුළු භාණ්ඩ හා සේවා මිල දී ගන්නවා ද නැද්ද යන්න තීරණය කරන සියල්ලන් වෙතින් නිර්මාණය වෙන්නක් මිසක ඇමෙරිකන්කාරයෙක් හෝ මහා දැනුමැති විද්වතෙක් හදපු එකක් නෙමෙයි!!!

යම් ආණ්ඩුවක් භාණ්ඩ සියල්ලේම මිල ගණන්, සියල්ලන්ගේම වේතන නියම කරන්නට හෝ පොලී අනුපාත සියල්ලම තීරණය කරන්නට ගියොත් නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ සම්පූර්ණ පාලනය රටක අධිකාරියට පැවරෙයි. වෙළඳපොල අනුකරණයට හැකියාවක් කිසිවෙකුට නැති නිසා එහෙම කරන්නට ගත් වෑයමෙන් බඩු හිඟ ඇති වී වේගයෙන් රටක් අගාධයේ අද්දරට යයි. ඒ නිසා අද ලොව කිසිම ආණ්ඩුවක්* රටේ විකිණෙන භාණ්ඩ සියල්ලේම මිල ගණන් සහතික කරන්නට යන්නේ නැත. කාලයෙන් කාලයට එකින් එකට ඇඟිලි ගැසීමෙන් ආණ්ඩුවක්, රටේ ආර්ථිකය තුල තමනට කරන්නට යම් වැදගත් කාර්ය භාරයක් ඇතැයි පෙන්වමින් සිටියි.

*එන්න එන්නම එහෙම තීරණ වැඩි කරන ලද වෙනෙසියුලාව අද අගාධයේ අද්දරට පැමිණ සිටියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: