අරුණි ශපීරෝ‍ වෙතින්

බෙදන ක්‍රමයේ බලය දිනන්නේ වමයි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 25, 2015

ඒත් බෙදන ක්‍රමයේ හානියෙන් හැමදාම දුක් විඳින්නේ වාමාංශිකයන් විසින් උදව් කරන්නට දන්නවා කියූ ජනතාව විසින්මයි.

ග්‍රීසියේ පැවැත්වුන ජාතික මැතිවරණය කොමියුනිස්ට්වාදියෙක් වූ ඇලෙක්සිස් සිප්රස් මුලසුන දරන සිරීසා හෙවත් රැඩිකල් වාමාංශික පක්ෂ සන්ධානය විසින් ජය ගන්නා ලදි.

සල්ලි අච්චු ගසා රට තුල වියදම් කිරීමෙන් ආර්ථික වර්ධනයක් ඇති වේ යැයි කියන දෝෂ දැක්ම හෙවත් ජෝන් මේනාඩ් කේන්සියානු සම්ප්‍රදාය සිරීසා විසින් පෙනී සිටින්නයි. ග්‍රීසියේ බදු වැඩි කරන්නට තියා බදු අය කරගන්නට හැකි ආර්ථික කටයුත්තක් පවා සිද්ධ වෙන්නේ නැත. ගත් ණය ගෙවා ගන්නට තියා ජීවත්වෙන්නට අවශ්‍ය වියදම පියවා ගත නොහැකියි. ඉතින් බදු නැතිව සහ ණය නැතිව ඒත් සහනාධාර බෙදන්නට හැකි ඊ ළඟ ක්‍රමය සල්ලි අච්චු ගැසීමයි. ඒ සඳහා යුරෝ වලින් අයින් වී ඩ්‍රාහ්ක්මා වෙත නැවත යන්නට අදහසක් ඔවුනට ඇත. මෙය ස්විස් බැංකුව ඔවුන්ගේ ෆ්‍රෑන්ක් නිදහස් කරන්නට ගත් තීරණයට සම්පූර්ණයෙන් වෙනස්. ස්විස් තීරණය යහපත් මුදල් ක්‍රමයක් කරා යන්නට ගත් වෑයමක් වෙද්දී ග්‍රීසිය මෙතෙක් කාලයක් නියැළුන අයහපත් ක්‍රමයන් වලටම තදින් ඇදී යයි.

සෝවියට්-විරෝධී කවියෙක් යැයි ලේබල් ඇලවුන යෙව්ගිනි යෙව්තුෂෙන්කෝ සිය පැහිච්ච චරිතපදානය නම් කෘතියේ මෙසේ සඳහනක් කරන ලදැයි කියැවේ*: “ප්ලේටෝ සිට කෆ්කා සහ ජොයිස් දක්වා සෑම දෙයක්ම උපුටා දක්වමින් පැය ගණන් ගෙවා දැමිය හැකියාවෙන් නොව වංශවත් භාවාර්ථය හැදෙන්නේ අනුන්ට තම හදවත් විවෘත කරත හැකියාවෙන්. කොතරම් අධ්‍යාපනයක් ලැබුවත්, ඔවුන්ගේ ඒ අධ්‍යාපනය උපකාර වෙන්නේ ඔවුන්ට තවත් දුර්ජනයන් වෙන්නට නම්, මට ඔවුන් නොහික්මුණු අයම වෙයි.”

කඩදාසි සුදුසුකම් වලින් වැඩක් නැහැ, අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මෙවැනි (බුද්ධිමත්) මිනිසුන් යැයි කියා යෙව්ගිනි උපුටනයක් (ටිකක් වෙනස් කරගත්තු එකක්) සමඟ ෆේස්බුක් වෙතින් දැක්කෙමි.

යෙව්ගිනිගේ “තම හදවත් විවෘත කරන හැකියාව” යන්නෙන් “ජනතාව තේරැම් ගන්න අයුරින් සහ ජනතාවට උදව් කරන අයුරින් අයෙක් බුද්ධිමතෙක් වෙතැයි” යන්න එන්නේ කෙසේදැයි පැහැදිලි නැත. එතැනින් ඒ “බුද්ධිමතා” දේශපාලනඥයෙක් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත.

ඒත් වාමාංශිකයාට තර්කයේ පැහැදිලිතාවයක් නැතිවීම හෝ සැලසුමේ ඵලදායීතාවයක් නැතිවීම කිසිදා ගැටළුවක් නොවීය. අරමුණ විශිෂ්ඨ නම් එය ප්‍රමාණවත්, ප්‍රතිඵල පෙන්වන්නට අවශ්‍ය නැහැ.

අයෙක් ශ්‍රමය වෙහෙසා උපයා ගත්තෙන් කොටසක් උදුරා වෙන අයට බෙදා දෙන බලහත්කාරම කොතරම් අගනේ දැයි උදේ හවා ගුණ වයමින් තමන් අනික් සියල්ලන්ටම වඩා ආචාර ධාර්මික ඉහළ තැනක සිටිනවා යැයි ඔවුන් කියා ගනියි.

ඔවුන් කැමති අයට බෙදා දෙන්නට තව දුරටත් උදුරා ගන්නට නොහැකි වෙද්දී, එනම් නිෂ්පාදනයක් නැති වෙද්දී, වෙහෙස වූ අය ඉතිරි කරගත් වස්තු සම්පත් තවත් ක්ෂය වී යන්නට ජාත්‍යන්තර ණය ගෙන තමන් නිවැරදි යැයි සිතන සැලැස්මට අනුව තව දුරටත් බෙදා දීම ආචාර ධාර්මික යැයි සිතති.

ණය දුන් අය කියන විදියට බෙදන ප්‍රමාණයන් අඩු කිරීමට සිද්ධ වෙද්දී, එහෙම කළේ නැත්නම් තව ණය ලැබෙන්නේ නැතැයි පෙනී යද්දී, ආපහු ගෙවන්නම් කියා ලබාගත් ණය ගෙවා නොසිටිය හැකියාව ලැබෙන සමාවක් ඉල්ලන්නේ ද තමන් තව දුරටත් අනෙක් සියල්ලන්ටම වඩා ආචාර ධාර්මික බැවින් ඉහළ යයි කියා ගනිමිනි.

අනුන්ගේ දුක දැනෙන විවෘත හදවත් ඇතැයි කියාගත් දේශපාලනඥයන් බලයේ ඉන්නට බෙදන්නේ ඔවුන්ගේ පුද්ගලික වස්තු සම්පත් වලින් කොටසක් නෙමෙයි. ඔවුන් හිතුමතයේ එළඹෙන මේ මේ ප්‍රමාණයෙන් නුදුන්නොත් මේ මේ දඬුවම් විඳින්නට සිද්ධ වෙනවා යැයි කරන තර්ජනයෙන් උදුරා ගත් අනුන් ඉපැයූ වස්තු සම්පත් තමන් කැමති අයට බෙදති.

රටක ජනතාව තමන් ඉදිරියේ ඇති සම්පත් සඳහා විවිධාකාරයෙන් තරඟ කරති. මහා ජනතාවක් විසින් අනේක විධ අවශ්‍යතා සපුරා ගන්නට අනේක විධ අගැයුම් ඒ ඒ අවස්ථාවේ දී දෙන ආකාරය අවබෝධයට එක මොළයකට (කොතරම් බුද්ධිමත් වුවත් 🙂 ) හැකියාවක් නැත.

විවෘත හදවතක් ඇත්තා බුද්ධිමතෙක් යැයි කියන්නට පෙර, එයා ආත්මාර්ථකාමියෙක් ද නැත්නම් පරාර්ථකාමියෙක් දැයි ලේබල් ගහන්නට පෙර, ඕනෑම මනුෂ්‍යයෙකුට තමන්ගේ අවශ්‍යතා සහ තමන්ට සමීපතම කිහිප දෙනෙකුගේ අවශ්‍යතා යාන්තමකට හැරෙන්නට සියළු මිනිසුන්ගේ අවශ්‍යතා මොනවා දැයි කියන්නට දැනුමක් කොහෙත්ම නැත. රටවැසියන් සියළු දෙනා තම තමන්ට වැදගත් යැයි හිතන ආකාරයෙන් අවශ්‍යතා සපුරා ගන්නා හැටි ගැන දැනුමක්/බුද්ධියක් ඇති කිසිවෙක් ලොව නැත.**

ඉතින් ජනසිත හඳුනන බුද්ධිමය හැකියාවක් මිනිසෙකුට නැති නිසා, ජනතාවගේ හද ගැස්ම දන්නවා කියාගත් අය බලයට පත් වූවාම ඔවුනට සියළු ජනතාව සතුටු කරන්නට නොහැකි වෙති. දක්ෂිණාංශ දේශපාලනඥයන් කියා ගන්නා අයව ඉක්මණින් ද, ජාතික/ආගමික නැඹුරැව ඇති හෝ වාමාංශික දේශපාලනඥයන් කියා ගන්නා අයව තව ටික කාලයක් යද්දී ද, ජනතාවටම එපා වී යයි. ජනතාව පැතූ දේවල් මොනවාදැයි නොදත් බැවින් හා ඒවා ඉටු කරන්නේ කෙසේදැයි කියා නොදත් බැවින් මේ ජනසිත් හඳුනනවා කියාගත් දේශපාලනඥයන් රටේ සියල්ලන්වම සතුටු කරන්නට සමත් වෙන්නේ නැත.

භූමියේ උපන් නිසා රටේ සම්පත් වලට තමන්ට යම් අයිතියක් ඇතැයි සිතන චින්තනයෙන් බහුතර රටවැසියන් ජීවත් වෙන්නේ නොමිලේ බෙදන ලද නිදහස් අධ්‍යාපනයෙන් ඒ දෝෂ සහගත චින්තනය පමණක් බෙදා දෙන ලද නිසයි. ස්වභාවික සම්පත් වලින් මිනිසාගේ ප්‍රයෝජනයට සම්පත් බිහි වූයේ කෙසේදැයි කියා දෙන්නට බෙදන ක්‍රමය වැඩියෙන්ම ආචාර ධාර්මික යැයි කියන අය ඉදිරිපත් නොවෙති.

සිරීසා ලද මේ ජයග්‍රහණය අනිත් රටවල, විශේෂයෙන්ම ස්පාඤ්ඤයේ වාමාංශික පක්ෂ වලට ද දේශපාලනික වාසියක් ලැබේ යැයි පෙන්වා දෙන්නේ වොල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතයි.

බෙදන්න නොදන්නවා යැයි බහුතරය පිළිගත් නායකත්වයක් පළවා හැර බෙදන්නට දන්නවා යැයි බහුතරය විශ්වාස කරන නායකත්වයක් ගෙන්වා ගත්ත ද, බෙදන්නට දන්නා නායකත්වයක් ලොව කොහේවත් නැතැයි යන්න අවබෝධයට ඉඩක් බෙදන ආණ්ඩු ක්‍රමය යටතේ ජනතාවට නොලැබේ.

උදව් කරන්නට ගිය අයට ලැබිච්ච ප්‍රතිඵල කිසිවක් නැතිවුනාට කමක් නෑ අනගි අරමුණු පමණක් ප්‍රමාණවත් යැයි ජනතාව පිළිගන්නා තාක් කල් ප්‍රතිඵල ලැබෙන අනුන්ගේ වෙහෙස මංකොල්ල නොකන සැබෑ ආචාර ධාර්මීය වූ ක්‍රමය කුමක්දැයි අවබෝධයට ජනතාවට ඉඩක් නොලැබේ.

*මම එම කෘතිය කියවා නැත.

** ලුඩ්විග් වොන් මීසස් සහ එෆ්. ඒ. හයෙක් දෙදෙනා මිනිස් ස්වභාවයේ මේ අපූර්ව ලක්ෂණය ගැන දීර්ඝ වශයෙන් පැහැදිලි කරමින් පොත් ගණනාවක් ලියා ඇත.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජනවාරි 25, 2015 at 11:23 ප.ව.

    //භූමියේ උපන් නිසා රටේ සම්පත් වලට තමන්ට යම් අයිතියක් ඇතැයි සිතන චින්තනයෙන් බහුතර රටවැසියන් ජීවත් වෙන්නේ නොමිලේ බෙදන ලද නිදහස් අධ්‍යාපනයෙන් ඒ දෝෂ සහගත චින්තනය පමණක් බෙදා දෙන ලද නිසයි. ස්වභාවික සම්පත් වලින් මිනිසාගේ ප්‍රයෝජනයට සම්පත් බිහි වූයේ කෙසේදැයි කියා දෙන්නට බෙදන ක්‍රමය වැඩියෙන්ම ආචාර ධාර්මික යැයි කියන අය ඉදිරිපත් නොවෙති.//සිත තදින්ම පැහැරගත් ඡේදයයි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: