අරුණි ශපීරෝ‍ වෙතින්

ශ්‍රමයේ ඵලදාව නැති භංග කරන දේශපාලනය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 30, 2015

IMG_0179

සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් සම්පූර්ණයෙන් වෙළඳපොල අහෝසි කර දැමූ විට බඩු හිඟය ඇති වී මිනිසුන් කර කියා ගත නොහැකි වන බව අත්දුටුවේ සෝවියට් රැසියාව ආරම්භයේ දී ය.

එදා සපත්තු ගන්න කඩේ ගිය මනුස්සයාට ලුණු දැමූ හෙයරින් මාළු පමණක් කඩ රාක්කයේ දකින්නට තිබිණ. හැම තැනකම පෝලිම් බිහි වී මිනිස්සු කඩේ තියෙන දෙයක්, තමන්ට අවශ්‍ය නොවූවත් පෝලිමක තැප සිට මිල දී ගත්තේ එය අවශ්‍ය කෙනෙකුට දී තමන්ට අවශ්‍ය බඩුවකට හුවමාරැ කරගැනීමේ අපේක්ෂාවෙනි. රජය නීතියක් පනවා ඉඩම් රජයට පවරා ගත්ත ද, ධාන්‍ය රජයට පවරා ගත්ත ද, කම්හල් රජයට පවරා ගත්ත ද, සියළු වැසියන් ශ්‍රමිකයන් බවට හැරවූව ද, පාන් අවශ්‍යතාවය පිරිමසන පාන් නිපදවීම සිද්ධ වූයේ කෙසේදැයි පැහැදිලි කරන්නට රටේ කිසිවෙක් නොදත්හ.

එහෙත් ඒ ජනතාව ගියේ යළිත් ලොව පැරණි හුවමාරැ ආර්ථිකයට ද නොවේ. පුද්ගලික අයිතියෙන් තොර වූ නිසා තමන්ගේ නිෂ්පාදන ක්‍රම සඳහා අවසර නොලැබුණි. ඔවුන් මෙය හදමු සහ මෙසේ හදමු යැයි අනුන් කියන නිෂ්පාදනයේ ශ්‍රමය වෙහෙසෙන ලදි. බෙහෙත් හිඟය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හමුවේ මිනිස්සු රටේ නීතිය උල්ලංඝණය කරමින් කළුකඩකාරයන්ගේ සෙවන පැතූහ.

පැරණි හුවමාරැ ආර්ථිකයේ දී අයෙක් තම කුසලතාවය හෝ සම්ප්‍රදාය අනුව දැයක් හදයි. එය තමන්ට අවශ්‍ය දැයකට හුවමාරැ කර ගනියි. මුදල් ක්‍රමය ඕපපාතිකව ලොව බිහි වීමත් සමඟ තමන්ට අවශ්‍ය දැය තමන් කැමති මිලකට මිල දී ගන්නට මිනිසාට ඉඩ ප්‍රස්ථාව ලැබිණ. මැටි හට්ටියක් ගන්නට වරකා ගෙඩියකින් බාගයක් කපන ගැටළුව විසඳාගත හැකිවිය!!

භාණ්ඩ වල මිල ගණන් (prices) විසින් වෙළඳපොලේ, එනම් මිල දී ගන්නා සියල්ලන් හා විකුණන අය සියල්ලන් අතර සිද්ධ වෙන අනේක සංඛ්‍යාවක ගණුදෙනු වෙතින්, ඉෂ්ට කරන්නේ අපූර්ව කාර්යයකි. කඩේට යන මිනිසාට තමන් සොයන භාණ්ඩය හෝ සේවාව තමන් කැමති මිලකට මිල දී ගන්නට ඉඩක් පාදා දෙයි.

ලොව කිසිම මිනිසෙකුට හෝ මිනිසෙක් වෙතින් නිර්මාණය වූ පද්ධතියකට නැති දැනුමක් වෙළඳපොල සතුයි. එය හැම මොහොතකම යාවත්කාලීන වෙන තොරතුරැ සමූහයකින් යුතුයි. හැම මොහොතකම දත්ත ගලපයි. හැම මොහොතකම වැඩියෙන්ම හොඳ නිෂ්පාදනය අඩුම මිලකට ලබාගත හැකි ආකාරය පාදා දෙයි.

මිල ගණන් විසින් කරන අගනා කාර්ය භාරය ගැන ලොව ප්‍රථම වරට විධිමත් ලෙස අධ්‍යයනය පටන් ගත්තේ ලුඩ්විග් වොන් මීසස් විසිනි. ඔහු මුලින්ම අධ්‍යයනය කළේ සමාජවාදී වෙන්නට ගිය ඔස්ට්‍රියන්-ජර්මන්-හංගේරියන් අධිරාජ්‍යයේ ආර්ථික ක්‍රමයයි. යුරෝපීයයන් සමාජවාදී ආර්ථික නැඹුරැවක සිටිය දී රැසියානුවන් සමාජවාදී ආර්ථික ක්‍රමයක් විප්ලවයක් දියත් කර පිහිටුවා ගත්හ. ලුඩ්විග් වොන් මීසස් එදා රැසියාවේ බැංකු ක්‍රමය හා ආර්ථිකය බංකොළොත් වෙන්නට යා නොදී බේරාගත්තේ මිල ගණන් කරන වැදගත් මෙහෙය ඉතා රළු ලෙසකින් ඉදිරිපත් කරන්නට සමත් වූ නිසත් වෙන විකල්පයක් නොදැකි (වෙන විකල්පයක් නැති නිසා) ඔහුගේ උපදෙස් සෝවියට් බැංකුකරැවන් ක්‍රියාත්මක කිරීම නිසාත්ය.

වැඩ කරන්නේ කෙසේදැයි සොයා නොබලා දියත් කළ ආර්ථික ක්‍රමයකින් ශ්‍රමය වෙහෙසන පිරිස කොතරම් ඉහළ වුවත් (එදා සෝවියට් දේශයේ රස්සාවක් නොමැති පුද්ගලයෙක් නොවිණ) ජනතාවට අවශ්‍ය භාණ්ඩ සහ සේවා රජයේ සමූපාකාරයට එන්නේ කෙසේදැයි ගැන දැනුමක් සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් නොලැබුණි.

වෙළඳපොල ආර්ථිකයට බාධා ගෙන එන සෑම සුළු රාජ්‍ය නීතියක දී ම පවා පරදින්නේ භාණ්ඩ මිල දී ගන්නා ජනතාවයි. බඩු මිල මෙපමණකින් අඩු කරන්නට රජය සමත් වූවා යැයි කියද්දී හුරේ දමන අය, රජය යනු නීතියක් ගෙනැවිත් බඩු මිල අඩු කරන්නට හැකියාවක් නැති යාන්ත්‍රණයක් බව නොදනිති.

භාණ්ඩ මිල දී නොගන්නා අයෙක් ලොව නැත. හැමෝම ළඟට වැටෙන දෙයක් කා ජීවත්වෙන වනගත තපසුන් නොවෙති. පාන් වෙනුවට මුං කැවුම් කන්න, මේද වැඩි ආහාර කන්න එපා, මත්පැන් බොන්න එපා, සිගරට් බොන්න එපා, යනාදිය කවුරැ කෙසේ කීවත්, මොන පර්යේෂණ දත්ත පෙන්වූවත්, මොන නීතියක් පැනවූවත් මිනිසා මිල දී ගන්නේ තමන් කැමති දෙයකි. මෙහි වැදගත්කම අමතක කරමින් නිෂ්පාදනය සහ පරිභෝජනය හසුරැවන්නට තමන් දන්නවා යැයි මැදිහත්වීම්වාදී රජයක් විශ්වාස කරයි.

සමාජවාදයට වඩා මැදිහත්වීම්වාදය වෙනස් වුවත්, රටක බාධා සහිත වෙළඳපොල ආර්ථිකයක් තිබෙන විට, එනම් බඩු මිල නියම කරන ආණ්ඩුවේ බලහත්කාරකම් කිරීමේ බලය පවතින විට එයින් නිෂ්පාදනය සහ පරිභෝජන සිද්ධ වෙන්නේ වෙළඳපොල හෙවත් බඩු මිල දී ගන්නා සහ විකුණන අය කැමති විදියට නොවේ. අනුන් විකිණිය යුත්තේ මොනවාදැයි සහ මිල දී ගත යුත්තේ මොනවාදැයි නීති පනවන අය පවා මිල දී ගන්නේ ඔවුන් කැමති දේවල්!!!! ඔවුන් මිල දී ගන්නට කැමති දේවල් වලට වියදම් කරන්නේ ඔවුන් ගෙනා නීතිය අනුගමනය නොකිරීමෙන් අපරාධකාරයෙක් වෙන ඔබයි.

මැදිහත්වීම් සියල්ලක්ම අසාර්ථකත්වය කරා ගමන් කරති.

මැදිහත්වීම් සියල්ලක්ම ඒවා ගෙනා අයගේ දැක්ම අනුව වෙනස් විය යුතු කොන්දේසි මිසක රටේ සියල්ලන්ගේම කැමැත්ත අනුව වෙනස් වෙන කොන්දේසි නොවේ. ඉතින් ඒ මැදිහත්වීම් සියල්ල අගයන ජනතාවක් නැති නිසා ජනතාව අතර කෙමෙන් මැදිහත්වීම්කරැවන් ගැන අප්‍රසාදය හටගනියි. මේ පාලකයා ද පළවා හැර වෙන පාලකයෙක් සොයන්නට පටන් ගනියි.

ජනතාව විසින් සියල්ලන්ටම සාධාරණත්වය ඉටු කරන වෙළඳපොල කුමක්දැයි විමසීම පවා අත්හැර දමා, නැවත නැවතත් දේශපාලනයෙන් විසඳුම් සොයන්නට ශ්‍රමය වෙහෙසති.

තම ශ්‍රමය ඵලදායී ලෙස වෙහෙසන්නේ කෙසේදැයි උරගා බලන්නට බාධක වැඩි වෙළඳපොලේ ඉඩක් නොලැබෙන නිසා ජනතාව රජයේ යාචකයන් බවට පත් වෙති. වැටුණු කටෙන්ම ගොඩ එන්නට ඕනෑ යැයි සිතා මේ ආණ්ඩුව වෙනස් කර වෙන ආණ්ඩුවක් ඉල්ලති. එහෙමත් නැත්නම් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වගේ ජනතාව වූ අපිට වෙනස් වෙන්න බැරි නිසා, වෙන ජනතාවක් පත් කරගන්න යැයි ආණ්ඩුවෙන් ඉල්ලයි!!!!!

සහතික මිල ඇති රටවල බඩු මිල ඉහළ බවත් සහතික මිල නැති රටවල බඩු මිල අඩු හා අනේක විධ භාණ්ඩ වෙළඳපොලේ පවතින බවත් කිසිම මාධ්‍යයක් හෝ කිසිම රජයේ පාසැල් අධ්‍යාපනයකින් පැහැදිලි කර නොදේ.

ඵලදායී ශ්‍රමය නැතිව ඵලදායී ආර්ථිකයක් බිහි නොවේ. ඉතින් තවත් කොපමණ කාලයක් වෙළඳපොලට මැදිහත්වීම් කරමින් තව තවත් නිෂ්පල ලෙසකින් ශ්‍රමය වෙහෙසමින් රට දියුණු වෙන්නේ නැත්තේ ඇයිදැයි සුසුම් හෙළන්නේ ද? නැත්නම් ආණ්ඩුව විසින් රටේ බඩු මිල සහතික කිරීම නවත්වා දැමිය යුතු කාලය පැමිණ ඇතැයි කියනවා ද?

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on ජනවාරි 30, 2015 at 9:39 ප.ව.

    සහතික මිල ඉවත් කලවිට භාණ්ඩ මිලෙහි වැඩීවීමේ බිය..ගජමිතුරු ධනවාදී හුරුවයි…..අදාල භාණ්ඩයට වෙළඳපොලට එන්නට ඇති බාධාද…මේ සමග ඉවත්කල යතු බව…ඒ නිසා මෙහිදී එකතු විය යුතුයි…නැත්නම්..කීප දෙ
    නෙක් එකතු වී කරන ඒකාධිකාධිකාරිය බලවත් වීම සිදුවෙ..

    • arunishapiro said, on ජනවාරි 30, 2015 at 11:18 ප.ව.

      krishramanayaka71,

      ගජමිතුරන් එකතු වෙලා බඩු මිල ඉහළ යවයි කියන බය ඇති කරලා ආණ්ඩුව සහතික මිලක් දාන්නේ ආණ්ඩුවට සහාය දෙන ගජමිතුරන් හදාගන්න. රාජ්‍ය මැදිහත්වීමක් නැති වෙද්දී ගජමිතුරන් කියලා අය වෙළඳපොලේ නැහැ.

      අනෙකාට වඩා අඩු මිලට වැඩියෙන් අනගි භාණ්ඩයක් දෙන්න හැකියාව ඇත්නම් පාරිභෝගිකයා හැම විටම වැඩියෙන් මිල දී ගන්නෙ වැඩියෙන් අනගි භාණ්ඩය බව වෙළඳපොලේ බඩු ගන්න සහ බඩු විකුණන දෙගොල්ලන්ම දන්නවා. එය නොවෙන එකම අවස්ථාව මැදිහත්වීම් සිද්ධ වෙද්දී.

      එකම බඩුවක් හදන දහයක් විස්සක් හිටියත් හරි දෙන්නෙක් හිටියත් හරි ඒ හැමෝම එකවගේ තරඟකාරීයි කියන එක අමතක නොකළ යුතුයි.

      අඩු මිලකට ඉහළ නිෂ්පාදනයක් ඉදිරිපත් කරල පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් පිරිමසන්නටයි මැදිහත්වීම් නැති වෙළඳපොලක බඩු හදන/විකුණන අය එකමුතු වෙන්නෙ. තමන්ට වෙළඳපොල කොටසක් රාජ්‍ය මැදිහත්වීමේ නීතියකින් ලැබෙනවා නම් අඩු මිලකට භාණ්ඩ නිෂ්පාදනය කරන ක්‍රමවේද සෙවීම හෝ තව තවත් අනගි තත්වයක් කරා දියුණු කළ යුතු වීම යන දෙකම අනවශ්‍යයයි.

      අදාළ භාණ්ඩයකට වෙළඳපොලට එන්න නොලැබෙන බාධක ඇතිවෙන්නෙ අනිකුත් වෙළඳපොල අයවළුන් නිසා නොව රජයක් විසින් මැදිහත්වීම් කරද්දී පමණයි. මොකද ස්වභාවයෙන්ම වෙළඳපොල කියන්නෙ අනෙකුත් අය සමඟ ගණුදෙනු කිරීමයිනෙ.

      උදාහරණයක් හැටියට ඉස්සර සැටලයිට් රේඩියෝ සපයන දෙන්නයි ඇමෙරිකාවේ හිටියෙ. XM සහ Sirius කියල. අවුරැද්දක් හමාරක් විතර මේ දෙගොල්ල එකතු වෙන්න ට්‍රයි කළා ඒත් ඇමෙරිකන් ආණ්ඩුව අවසර දුන්නෙ නැහැ දෙන්න විතරයි ඒ සැටලයිට් රේඩියෝ සපයන්නෙ, එකතු වුනොත් ඒකාධිකාරයක් හැදෙනවා කියල. ඒත් අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වා දුන්නේ ඒ දෙගොල්ල සැටලයිට් රේඩියෝ වුනාට දෙන්නා අතර විතර නෙමෙයි තරඟය තියෙන්නෙ කියන එක. වෙනත් නොමිලේ රේඩියෝ සේවා සපයන අය, MP3, අන්තර්ජාල රේඩියෝ, කේබල් රේඩියෝ සහ මොබයිල් දුරකතන පවා ඔවුන් හා තරඟයේ යෙදී සිටින බව. ඒ වගේම අනාගතයේ ඇති වෙන්න තියන තාක්ෂණය ද ඔවුන් හා හැම විටම තරඟයේ ඉන්නවා. කොහොම හරි අර්ථ ශාස්ත්‍රයේ තර්කය පිළිගෙන ඒ දෙගොල්ලන්ට එකතු වෙන්න ඉඩක් ලැබුණ.

      කිහිප දෙනෙක් එකතු වී ඒකාධිකාරයක් බලවත් වෙනවා නම් එය රාජ්‍ය මැදිහත්වීම් නොමැති වූ විට පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව පමණක් සිද්ධ වෙන එකක්.

      ඒකාධිකාරයන් වර්ග දෙකක්: බලහත්කාරයෙන් (coercive) සහ කාර්යක්ෂම (efficiency). බලහත්කාරයෙන් ඒකාධිකාරයක් හදන්නෙ ආණ්ඩුව උදාහරණය: තැපැල් කන්තෝරැවට පමණක් සාමාන්‍ය ලියුම් බෙදන්න අවසරය. කාර්යක්ෂම ඒකාධිකාරයක් බිහිවෙලා ඇත්නම් එහෙම වෙන්නෙ ඒ අය හොඳම භාණ්ඩය හදන නිසා වැඩියෙන්ම වෙළඳපොල කොටසක් හිමිවූ නිසයි. අනිත් අයට තරඟයට ඉඩ අවහිර කරලා නැත්නම්, පාරිභෝගික කැමැත්තෙන් තමයි ඒ අය විසල් බවට පත්වෙලා තියෙන්නෙ. ගූගල් ඒකට හොඳ උදාහරණයක්.

      ආණ්ඩුවක් තරඟයේ යෙදෙන්න කියල භාණ්ඩ විකුණන අයට ආඥාවක් නිකුත් කරන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවක් කළ යුත්තේ බලහත්කාරකම, ප්‍රචණ්ඩත්වය, වංචනික හා ගිවිසුම් කඩකිරීම වැනි දේවල් සඳහා දඬුවම් පැනවීම හා ඒවා දිගින් දිගට කරගෙන යාම වැළැක්වීමයි. ඒත් ආණ්ඩුව ඇත්තෙන් කරන්නේ ආණ්ඩුවට සහාය දෙන අයට ඒවට ඉඩ දීමයි.

  2. indika27 said, on ජනවාරි 31, 2015 at 1:45 පෙ.ව.

    මිනිසුන්ගේ ආසාවන් අනුව රටවල් පාලනය කරන්න සිද්ද වෙනවා නේ. දැන් අපේ රටේ මිනිස්සු ආසා කරන බලාපොරොත්තු වෙන විදියක් තියෙනවා නේ. ඒවිදියට පාලනය ගෙනියන්න සිද්ද වෙනවා නේ. කොය ිතරම් සරල විදියට කියලා දුන්නත් නිදහස් සෞඛ්‍යය නිදහස් අධ්‍යාපනය නැතිකිරීම කියන දේ ප්‍රතිපත්ති ප්‍රකාශයකට ඇතුලත් කලොත් ඒ පිල උඩින්ම පරාද වෙනවා නේ..
    ඒ නිසා අපිට සිද්ද වෙනවා මහජනයාගේ ආහාර වලින් බදු අය කරලා ඒ අයට අදාල සේවා සපයන්න. මහජනයාට අහිතකර වෙන පුරුදු ආදියෙන් වැඩිපුර බදු මුදල් ලබාගන්න එක ලේසියි. ඒකට ජනතාව ගොඩක් කැමතියි..

    ජනතාව අකමැති දේවල් කරන්න හරිම අමාරුයි ප්‍රජාතන්ත්‍රවාදි රාමුව ඇතුලෙ. මෙහේ ජනතාව ආන්ඩුවෙකින් කුමක්ද බලාපොරොත්තු වෙන්නෙ? ආන්න ඒ දේ මෙහේ ජනතාවට දෙන්න ඕනි… අමරිකානු ජනතාව ඒ ආන්ඩුවෙන් බලාපොරෝතතු වෙන දේ අපි අපේ ආන්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ..

    ලෝකෙ වටෙන් අතින්න මෙතනින් උදාහරණ ගත්තට ලෝකෙ ඉන්න ජනතාව ඔක්කොම සිතන විදියට සමාන නැහැ. ඒක විවිධයි. ඒ මතිමතාන්තර වල තියෙන වෙනස ඔවුන්ගේ පාලන විදි වලත් තියෙනවා. වඩාත්ම සාධාරනය් කියලා ලෝකෙම පිලිගත් සමහර දේවල් සමහර ප්‍රජාවන් ප්‍රතික්ෂේප කරනවා..

    සරලම උදාහරණය තමයි කොයි තරම් කොමන් වුනත් ලෝකේ එක එක පැති අනුව ජනප්‍රිය ස්මාට් ජංගම දුරඛතනය සහ ඒ දරකථන පාරිබෝගිකයින් වැඩිපුර භාවිත කරන ඇපලිකෛ්ෂන් වෙන්ස වෙනවා.. ඉතිං ඒ වෙනස් රටවල වෙනස් මිනිස්සුන්ගේ වෙනස් අවශ්‍යතාවයන් අවබෝධ කරගත්තෙ නැතිව එක ජංගම දුරකතන මාදිලියකට වුනත් මුලු ලෝකෙම අල්ලන්න බැහැ..

    • arunishapiro said, on ජනවාරි 31, 2015 at 9:16 පෙ.ව.

      indika27,

      ඔව් ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු කියන අය පෙනී සිටින්නේ මිනිසුන්ගේ ආශාවන් අනුව රට පාලනයට තමයි. ඒත් වැදගත් කාරණය “ආසා කරන දේවල්” ඔවුන් “බලාපොරොත්තු වෙන විදියෙන්” ලැබෙනවා ද නැද්ද යන්න විමර්ශනයයි. ඊට හැකියාවක් ද ඇත්තේ වෙන කිසිම සතෙක්ට නොව මිනිසාටම පමණයි.

      ඔබේ තර්කයට අනුව යම් රටක බහුතර ජනතාවක් එහි යම් ජනවාර්ගිකයන් මිනිසුන් අතර පහත් මිනිසුන් කොට්ඨාශයක් යැයි හංවඩු ගසා වෙනස් විදියට සලකනවා නම් එහි වැරැද්දක් නෑ.

      ඔබේ තර්කයට අනුව යම් රටක බහුතර ජනතාවක් එහි කාන්තාවන් විසින් යම් ආකාරයකින් පමණක් හැසිරිය යුතු යැයි කියා නීති සම්මත කරගන්නවා නම් එහි කිසිම වැරැද්දක් නැහැ.

      ඔබේ තර්කයට අනුව යම් රටක බහුතර ජනතාවක් එහි සමලිංගිකයන්ව එල්ලා මරා දැමිය යුතු යැයි නීතියක් සම්මත කරගත හොත් එහි කිසිම වැරැද්දක් නැහැ.

      නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු කියද්දී සිද්ධ විය යුත්තේ බහුතරයක් විසින් සුලුතරයක් පීඩනයට ඉඩ දීම නොව සමාජයේ සියල්ලන්ගේම ආරක්ෂාව, සිතුම් පැතුම් සාක්ෂාත් කරගැනීමේ මාර්ගයන් සොයා යන්නට නිදහස සලසා දීමයි. රටක වඩාත්ම කුඩා වූ සුලුතරය නම් ඒකීය පුද්ගලයායි (individual). ඒකීය පුද්ගලයාට ආරක්ෂාවක් නැත්නම්, එයාට සිතුම් පැතුම් සාක්ෂාත් කරගැනීමේ මාර්ගයන් සොයා යන්නට නිදහසක් නැත්නම් එතැන දී ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිලා නැහැ.

      නොමිලේ බෙදන අධ්‍යාපනය සහ සර්ව සෞඛ්‍ය නිසා වැඩියෙන්ම සෞඛ්‍ය පහසුකම් අහිමි වෙන්නේ සහ අධ්‍යාපනයෙන් වැඩියෙන් පාඩු විඳින්නේ ද ඔවුන් සමාජයේ උදව් කරන්න හදන අයටම බව පහදා ගන්න හැකියාව ලැබෙද්දී ඔවුන් තව දුරටත් ඒ ආසා කරන දේවල් ඒ බලාපොරොත්තු වෙන විදියෙන් (ලැබෙන්නෙ නැති බව දකිද්දී) ඉල්ලා සිටීවි ද?

      //මහජනයාට අහිතරකර වෙන පුරැදු// කවුද මේවා තීරණය කරන්නෙ? මහජනතාව වෙතින්ම පත් කරගත්තු අයම ද? ඒ මහජනතාව වෙතින් පත් කරගත්තු අයට පුළුවන් නම් ඒවා තීරණය කරන්න ඇයි මහජනතාවටම තීරණය කරගන්න බැරි?

      //ඒකට ජනතාව කැමති// කියද්දී සිද්ධ වෙන්නේ රටක සියළු ජනතාව කැමත්ත දැක්වීමක් නොවේ, ඒ ඒ කට්ටියක් ඒ ඒ දේවල් වලට කැමැත්ත දැක්වීමක් පමණයි. උදා: හයිබ්‍රිඩ් වාහන මිල ඉහළ දැම්මයි හෝ පහළ දැම්මයි කියල බයිසිකලෙන් වැඩට යන මිනිහ ඒකට කැමති වෙන්න ඕන කියල හිතන්නේ ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නකම නිසා. හයිබ්‍රිඩ් වාහන වල මිල රජය නොව වෙළඳපොල තීරණය කරනවා නම්, එවිට බයිසිකලෙන් යන එන මිනිහාට එම සහනාධාරයේ ණයබර ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ.

      ජනතාව අකමැති දේවල් කරන්න හරිම ලේසියි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලෙ. බහුතරයකගෙ කැමැත්තෙන් පත්වෙලා හැමෝටම බලපාන නීතියක් ගෙනැවිත් නීතිය කඩන අය අපරාධකරැවන් වීම රෑ දොළහට ක්‍රියාත්මක වෙද්දී, ලංකාවේ එහෙම කාලයක් තිබුණ!!

      මිනිස්සු ලෝකෙ කොතැනක හිටියත් මිනිස්සුම තමයි. ඇමෙරිකන් ජනතාව ඇමෙරිකන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන දේම තමයි ලංකාවේ මිනිස්සු ද නැත්නම් වෙන ඕනෑම රටක මිනිස්සු ද බලාපොරොත්තු වෙන්නෙ. ආණ්ඩුවෙන් ආරක්ෂාව තම සිතුම් පැතුම් සොයා යන්න. සිතුම් පැතුම් ඒ ඒ රට අනුව නොව ඒ ඒ මිනිසා අනුවයි වෙනස් වෙන්නෙ. ඇමෙරිකාවේ අයට ඉතිහාසයක් තියෙන නිසා බලාපොරොත්තු වූ දේවල් සාක්ෂාත් කරගන්න ආණ්ඩුවේ පීඩනයක් නොමැති වූ ඇමෙරිකාවේ සමහර පිරිසකට ඒ ගැන යාන්තමෙන් හෝ දැනුමක් තියනවා. අනිත් රටවල බහුතර අයටත් තම තමන් බලාපොරොත්තු වෙන දේවල් ඔය යන විදියට ලැබෙන්නෙ නැති බව අවබෝධය ලැබුණාට පස්සෙ ඔවුන් ද ආණ්ඩුවේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. හැබැයි, ඒකට කොච්චර කාලයක් යයි ද දන්නෑ, දැනුම බෙදන බලය පාලකයන්ගෙ අතේ තියෙද්දී!!!!

      ස්මාට් ෆෝන් උදාහරණය ඔබේ තර්කයට නොව මගේ තර්කයට කදිම උදාහරණයක්. මිනිස්සුන්ට අවශ්‍ය ස්මාට් ෆෝන් භාවිතයට හෝ භාවිතා නොකර ඉන්නට ඇති නිදහසයි. ආණ්ඩුව එයට තහනමක් නොදමා හිටියම ප්‍රමාණවත්. ඒවායේ ඇප්ලිකේෂන්ස් මොනවා දැයි ඒ ඒ අයට තෝරා ගැනීම ඒ ඒ අයගේ කැමැත්ත අනුව සිද්ධ වේවි. මිනිස්සුන්ගේ ආසාවන් විවිධ නිසා යම් ජංගම දුරකතන කොම්පැණියකට මුළු ලෝකෙම අල්ලන්න බැරිකම තමයි නිදහස් වෙළඳපොලේ අපූර්වතම ලක්ෂණය. මිනිස්සුන්ගේ අනේක වූ අවශ්‍යතාවයන් අවබෝධ කරගන්න සමත් කිසි ජගතෙක් ලොව නැහැ. ඒ නිසා ඕනෑම නිෂ්පාදනයක් හමුවේ ප්‍රචණ්ඩත්වය, බලහත්කාරකම, වංචාව නැත්නම් හැමෝටම එය භාවිතයට හෝ භාවිත නොකර ඉන්න තෝරාගැනීමේ නිදහසට ඉඩ දීලා ආණ්ඩුවේ කාර්ය භාරය එතැනින් අවසන් නිසා රජය පැත්තකට වෙන්න ඕනෑ විපරමේ පමණක් යෙදෙමින්.

  3. krishramanayaka71 said, on පෙබරවාරි 9, 2015 at 9:17 ප.ව.

    කියවූ ලිපියකට යලිත් පැමින අදහසක් දක්වන්න හිතුන……//…ඒ නිසා ඕනෑම නිෂ්පාදනයක් හමුවේ ප්‍රචණ්ඩත්වය, බලහත්කාරකම, වංචාව නැත්නම් හැමෝටම එය භාවිතයට හෝ භාවිත නොකර ඉන්න තෝරාගැනීමේ නිදහසට ඉඩ දීලා ආණ්ඩුවේ කාර්ය භාරය එතැනින් අවසන් නිසා රජය පැත්තකට වෙන්න ඕනෑ විපරමේ පමණක් යෙදෙමින්….// …බොහෝ.. අය මෙය මැදිහත්වීමක් ලෙස (නියාමනය ) ලෙස ගන්න බවක් තමයි පේන්නෙ….නමුත් මෙය මැදිහත්වීමක් නොව වෙළඳපොලට ඉඩදීමයි…එම ඉඩ අහුරන යමක් ඇත්නම් එය වැලැක්වීමයි…..

    • arunishapiro said, on පෙබරවාරි 10, 2015 at 10:55 පෙ.ව.

      krishramanayaka71,

      හරි! බොහෝ අය වැරදියට හිතන්නේ එහෙම රජයක් පැත්තකට වුනාම රජයක් කරන්නේ ධනපති පංතිය වෙනුවෙන් මැදිහත්වීමක් යැයි කියලයි. ආර්ථිකයක් වැඩ කරන්නෙ කොහොමදැයි විමසා බලන්නට දැනුමක් නැති නිසා, එහෙමත් නැත්නම් යම් දැක්මක් නිසා ධනවත් අය ගැන ද්වේෂයක් තියෙන අයට මේක වටහා ගන්නට හැකියාවක් නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: