අරුණි ශපීරෝ‍ වෙතින්

හර්බට් ඩව් හැදූ රසායන කොම්පැණියේ ඉතිහාසයෙන් බිඳක්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 1, 2015

220px-HDow1888

නිෂ්පාදනයක් හොඳට සහ අඩුම මිලට හැදීමට ක්‍රමවේදයක් සොයා ගැනීමෙන් කොල්ලකාර මිල අඩු කිරීම ජයගත් අයුරැ ගැනයි මේ කතාව.

ධනකුවේරයන්ට අලාභ පාඩු විඳගන්න හැකි නිසා බඩු මිල පහත දාලා වෙළඳපොල හසුරවනවා යැයි කියන්නේ රාජ්‍ය මැදිහත්වීම් අගයන අය. විසාල සමාගම් වලටත් වෙළඳපොලේ ලොකු වාසියක් තියෙනවා යැයි කියා කුඩා වෙළෙන්ඳා වෙහෙසීම අත්හැරලා රජයේ සහාය ඉල්ලන්නේ මේ තර්කයෙන්මයි. ඒ කියන්නෙ ධනවත් නිසා මිල අඩු කරලා තමන්ගෙ තරඟකරැවන්ව වෙළඳපොලෙන් අයින් කරලා ඊට පස්සෙ මිල ඉහළ දාලා පාරිභෝගිකයාව හූරා කෑමට හැකියාව ඇතැයි කීම. ඉතින් කුඩා පරිමාණයේ නිෂ්පාදකයන්ව සහ සියළු පාරිභෝගිකයන්ව ආරක්ෂා කරන්න ආණ්ඩුව මැද්දට පනින්න ඕනෑ කියල තමයි මේ තර්කයෙන් මිනිස්සු රවටන්නෙ.

වෙළඳපොල තරඟකාරීයි. වෙළඳපොල කාටවත් කොටසක් බෙදා දෙන්නෙ නැහැ. ඒක කරන්නෙ පාරිභෝගිකයා බේරාගන්න යැයි මැදිහත්වන ආණ්ඩු විසින් පමණයි.

කොල්ලකාර මිල අඩු කිරීම (predatory price-cutting) සමාජයට එල්ල වූ සැබෑ තර්ජනයක් කියල අදත් හිතන අය මේ ඵෛතිහාසික කතාව අහලා ඇත්දැයි සැකයි.

1897 දී ඩව් කෙමිකල් කොම්පැණියෙ නිර්මාතෘවරයා වූයේ හර්බට් හෙන්රි ඩව්. පුංචි කාලේ ඉඳන්ම තාක්ෂණයට හා ව්‍යවසායකත්වයට හපන් හර්බට් මිකැනික් කෙනෙක් වූ එයාගෙ තාත්තා වෙතින් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. එදා පටන් අදටත් පවතින පුද්ගලික ඉංජිනේරැ විශ්ව විද්‍යාලයක දී ඔහු තෙල් කැනීමක දී ලුණුදිය (brine) පොළව මතුපිටට එන හැටි දකිනව.

තෙල් කනින අයට මේ ලුණුදිය හරි කරදරයක්. සාම්පලයක් විද්‍යාගාරයට අරන් යන ඩව් සොයා බැලුවේ ඒ ලුණුදිය ඒ තරම් තිත්ත වෙන්නෙ ඇයි කියල. ඒකෙ (තිත්ත රහ එන) ලිතියම් සහ බ්‍රෝමින් ඇතැයි ඔහු හඳුනාගන්නව. ඒ කාලේ බ්‍රෝමින් යොදා ගැනුනෙ නිර්වින්දන සහ කැමරාවල ෆිල්ම් ඩෙවලප් කරන්න. ඉතින් ඩව් ඒ පැත්තෙ යහමින් තියෙන බ්‍රෝමින් ලාබදායක ලෙසින් ලුණුදියෙන් වෙන්කර ගන්නෙ කෙසේදැයි සොයන්න පටන් ගන්නව.

එවක දී ඒ සඳහා තිබ්බෙ ලුණුදිය ටොන් එකක් රත් කරලා, කැට හැදෙන ලුණු අයින් කරලා, ඉතිරියට රසායන දාලා, රාත්තල් දෙක තුනක බ්‍රෝමින් වෙන් කරගෙන ඉතිරිය විසිකරලා දාන සාම්ප්‍රදායික ක්‍රමයක්. මේක වියදම් වැඩි කාර්යක්ෂම නොවන ක්‍රමයක් යැයි ඩව් සිතුව. ඇයි විකුණන්න බැරි ලුණු අයින් කරන්න ඕන? ඇයි වැඩි වැයක් යන රත් කිරීම අවශ්‍ය? ඇයි බ්‍රෝමින් වලින් කොටසක් විසි කරන්නෙ? ලුණුදියේ තියෙන ක්ලොරීන් සහ මැග්නීසියම් අයින් කරන ලාබදායක ක්‍රමයක් තියෙනව ද? රසායන වෙන් කරගන්න හැකිනම් මේ අපතේ දාන මහ මූදක් වගේ තියෙන ලුණුදියෙන් ඇමෙරිකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය වෙනස් කරන්න හැකි යැයි ඔහු සිතුව.

උපාධියෙන් පසුව රසායන විද්‍යා ආචාර්යවරයෙක් හැටියට ඔහු ඉතිරි වසර පුරා වෙහෙස වී ක්‍රම වේදයන් දෙකක් හදාගන්න සමත් වෙනව. ඊ ළඟ වසර 15 තුල දී ඔහු පටන් ගත්තු කොම්පැණි තුනෙන් එකක් අසාර්ථක වෙනව. අනික් එක ඔහුව පාලනයෙන් පලවා හරිනව. තුන්වැන්න හෙවත් ඩව් කෙමිකල් කොම්පැණිය බොහොම අමාරැවෙන් ඉන්න බලනව.

බ්‍රෝමින් වලට වෙළඳපොලක් තිබුණත්, ඩව් බලාපොරොත්තු ප්‍රතිඵල ලැබුනෙ නැති නිසා ඔහුට ප්‍රමාණවත් තරමකට සල්ලි තිබුනෙ නැහැ. කොහොම හරි එයා දවසකට පැය 18 ක් වැඩ කරමින් කම්හලේම නිදාගන්නටත් පටන් ගන්නව. අඩුවෙන් ඇණ පාවිච්චි කරලා ලාබ පයින් ලීයෙන් කම්හලක් හදාගන්නෙ අරපිරිමැස්මට. බඩු අරගෙන එන්න කසිකබල් බයිසිකලෙන් ටවුමට යද්දී “පිස්සු ඩව්” කියලා තමයි එයාට මිනිස්සු කිව්වෙ.

1800 ගණන් වල දී ලෝකෙ රසායන වෙළඳපොල අල්ලා ගෙන හිටියෙ ජර්මන් අය. පළපුරැද්ද, ඉහළ පෙලේ විද්‍යාඥයන් සහ ලෝකය පුරා රසායන විකුණන, බ්‍රෝමින් සැපයුමේ වෙළඳපොල ඒකාධිකාරය ජර්මානුවන් සතුව තිබුනෙ. ඩව් ඇතුළු තවත් ඒ පැත්තෙම කුඩා ව්‍යාපාරිකයන් ඇමෙරිකාව ඇතුලෙ බ්‍රෝමින් විකුණන එක තමයි ඒ ජර්මානුවන්ට මුහුණ දෙන්න තිබ්බ එකම තරඟය.

ජර්මන් ආයතන 30 කින් හැදිච්ච Die Deutsche Bromkonvention කියන කාර්තෙල් එක තමයි ලෝකයේ බ්‍රෝමින් මිල තීරණය කළේ. රාත්තලක් සත 49 ක්. පාරිභෝගිකයන් එක්කො සත 49 ක් ගෙව්ව නැත්නම් අරගන්නෙ නැතිව නිකම් හිටිය. ඩව් සහ ඇමෙරිකන් කොම්පැණි ඇමෙරිකාව තුල බ්‍රෝමින් සත 36 කට විකුණුව.

ඇමෙරිකාවෙ නැතිව ලෝකෙ වෙන කොහේ හරි බ්‍රෝමින් විකුණව හොත් ඇමෙරිකාව තුල අඩු මිලට බ්‍රෝමින් විකුණලා ව්‍යාපාරය බංකොළොත් කරනවා කියල මේ ජර්මන් කාර්තෙල් එක පැහැදිලිව කියලා තිබුණ. ඇමෙරිකාව ඇමෙරිකාවට, ජර්මනිය සෙසු ලෝකෙට,” යැයි ඔවුන්ගෙ නීතිය වුනේ.

ඩව් බ්‍රෝමින් නිෂ්පාදනය පටන් ගනිද්දී මේ ලියපු නැති රීති පැවතුනා වුනාට එයා ඒවා අනුගමනය ප්‍රතික්ෂේප කළා. එයා ඇමෙරිකාවේ හදන බ්‍රෝමින් සත 49 කට අඩුවෙන් එංගලන්තයේ විකුණන්නට ක්‍රමයක් හොයාගත්ත. එයා හිතුවෙ ජර්මන් අය දැනගත්තොත් නොදැක්ක වගේ ඉඳිවි කියල. 1904 කාලයේ දී ලෝකයේ බ්‍රෝමින් අවශ්‍ය අයට ඒවා සපයන කොන්ත්‍රාත්තු ඔහු දිනාගන්න සමත් වුනා.

හර්මන් ජේකොබ්සොන් කියල ජර්මනියෙ කාර්තෙල් එකෙන් එක්කෙනෙක් ඩව් හොයාගෙන ඇමෙරිකාවට ආව. පිටරටට බ්‍රෝමින් යවපු බවට සාක්කි තියෙනවා කියල කියද්දි ඩව් ඇහැව්ව ඉතින් මොකෝ? කියල. ඔයාට පිටරට බ්‍රෝමින් විකුණන්න බැරි බව දන්නෙ නැද්ද කියල ජර්මන්කාරය අහනව. එහෙම දෙයක් මං දන්නැහැ කියල ඇමෙරිකන්කාරය උත්තර දෙනව.

දිගටම වැඩේ කරගෙන ගියොත් කොච්චර වැයක් ගියත් ව්‍යාපාරයෙන් පන්නලා දානව කියල තර්ජනය කරලා ජර්මන්කාරය පිටවෙලා යනව.

ඇමෙරිකන් ඩව් විද්‍යාඥයෙක් වගේම ව්‍යවසායකයෙක්. ඔහුට අවශ්‍ය වුනේ රසායන ලෝකය වැඩ කරන්නෙ කොහොම ද හොඳම නිෂ්පාදනය අඩුම මිලකට දෙන්නෙ කොහොම ද කියන එක හොයාගන්න. රසායන නිෂ්පාදන වැඩි දියුණු කරන්න. අලුත් සංයෝග හොයාගන්න. රසායන ප්‍රයෝජනවත් වෙන අලුත් දේවල් සොයාගන්න.

ජර්මන් අයට අවශ්‍ය වුනේ රසායන සොයාගෙන වෙළඳපොල කොටස් ඔවුන්ගේ කාර්තෙල් සාමාජිකයන් අතර බෙදාගෙන ඒ ඒකාධිකාරයෙන් ඉහළ මිලකට පමණක් සපයන බලය තියාගන්න. ඔවුන්ට තරඟකරැවන් පන්නා දැමීම සඳහා අඩු මිලට රසායන වෙනත් රටවලට බහුලව යවන්න “yellow-dog fund,” කියලා වෙන් කරපු අරමුදලක් ද තිබ්බ.

ඩව් මේ කාර්තෙල් එක්ක තරඟ කරන්න තීරණය කළේ ජර්මන් අයට වඩා ලාබයට එයාට බ්‍රෝමින් නිෂ්පාදනයට ක්‍රමවේදයක් ඇතැයි විශ්වාසයෙන්. එයා එංගලන්තයට යවනවා මදිවට ජපානයටත් අලෙවිය පටන් ගත්ත.

1905 දී ජර්මන් කාර්තෙල් එක ඇමෙරිකාවට රාත්තලක් සත 15 කට බ්‍රෝමින් සපයන්න පටන් ගත්තෙ ඩව්ගෙ බිස්නස් බංකොළොත් කරන්න. හැබැයි වෙන රටවල් වලට සත 49 යි. ඩව් ඇමෙරිකාවේ ඒ වෙද්දි විකුණුවෙ රාත්තලක් සත 36 කට.

ආයෙත් ඩව් හමුවෙන ජර්මන්කාරයා තර්ජනය කරනවා වෙන රටවල් වලට සපයන එක නැවැත්තුවේ නැත්නම් ඇමෙරිකන් වෙළඳපොලට කාල නියමයක් නැතිව දිගටම අඩු මිලට බ්‍රෝමින් එවනවා කියල. කාර්තෙල් එකට ජර්මන් ආණ්ඩුවේ සහාය ඇති බවත් ඔවුන් ඩව්ට දැනුවත් කරනවා!! ඉතින් නිෂ්පාදනය කරගන්න බැරි මිලකට දිගටම සපයන්න බැරි බව ඔවුන් ඩව්ට කියනවා!!!

ආපහු යද්දී ඩව් කල්පනා කරලා සැලැස්මක් හදනවා. එයාගෙ නිව් යෝර්ක් ඒජන්තවරයා ලව්වා ඔහු කරන්නෙ ජර්මන් බ්‍රෝමින් සත 15 කට මිල දී ගන්න යොදවන එක. ඒක යළි ඇසුරැම් කරලා ඔහු යුරෝපය තුල විතරක් නෙමෙයි ජර්මනියටත් විකුණනවා, රාත්තලක් සත 27 කට!!!

ඩව් කියන්නෙ ජර්මන් අය ඇමෙරිකන් වෙළඳපොලට සත 15 ට දැම්මම ඇමෙරිකන් වෙළඳපොලට දානවා වෙනුවට සම්පූර්ණ නිෂ්පාදනය විදේශීය ඉල්ලුම සපයන්න පැටෙව්ව කියල.

ජර්මන් අය ඇමෙරිකාවට අඩුවට විකුණුවාට පිටරටවල් පටවන මිල තිබ්බෙ රාත්තලක් සත 30 කට වැඩියෙන් නිසා ඊට අඩුවෙන් යැවෙන ඩව් විසින් යළි ඇසුරැම් කළ ජර්මන් අයගේම බ්‍රෝමින් විකිණීම දුෂ්කර වෙන්නෙ නැහැ.

ජර්මන් කාර්තෙල් එක ඇමෙරිකාව තුල නිෂ්පාදනය කරගන්නත් බැරි අඩු මිලකට බ්‍රෝමින් විකුණුවෙ ලෝකයෙ අනිත් රටවල් වලට ඉහළ මිලකට විකුණලා පාඩු පියවා ගන්නට.

ඒත් ඩව් බංකොළොත් වෙන පාටක් නැහැ.

ඇමෙරිකාව තුල එන්න එන්නම බ්‍රෝමින් ඉල්ලුමත් වැඩිවෙනවා!!!

ලාබයට බ්‍රෝමින් යුරෝපයට එනවා.

ඔවුන් හිතන්නෙ කාර්තෙල් එකේම ගජමිතුරෙක් සහතික මිලට වඩා අඩුවෙන් වංචනික ලෙස බ්‍රෝමින් යුරෝපයේ විකුණනවා කියල. ඒ අස්සෙ වැඩිවෙන ඇමෙරිකන් ඉල්ලුමට අනුව අඩු මිලට තව දුරටත් බ්‍රෝමින් සපයන්න තොග හිඟ වෙද්දී ජර්මන් කාර්තෙල් එකේ ඒජන්තවරයා අහනවා ඩව් වෙතින් එයාලගෙ සත 15 කොන්ත්‍රාත්තු බාර ගන්නවා ද කියල. මේක ඩව් ප්‍රතික්ෂේප කරනවා!!!

අන්දුන් කුන්දුන් වූ ජර්මන් කාර්තෙල් එක මිල මුලින් සත 12 කට බස්සලා අනතුරැව සත 10.5 කට පහළ දානව. ඒ අස්සෙ ඩව් දිගටම ලාබ බ්‍රෝමින් මිලදී ගෙන යුරෝපයේ සත 27 ට විකුණනවා.

තමන්ගේ ලාබ නැති වේගන යන හැටි දකින්නට සිද්ධ වෙද්දී, ජර්මන් කාර්තෙල් එකට ඔවුන් බ්‍රෝමින් ලෝකයේ අනික් අයට විකුණන මිල පහළ දාන්න සිද්ධ වෙනවා ඩව්ගෙ මිල ගණන් හා තරඟ කරන්නට.

ඩව් කරන්නෙ විදේශීය අලෙවිකරැවන් වැඩි දියුණු කරලා තම කම්හලේ පූර්ණ ප්‍රමාණයෙන් බ්‍රෝමින් හැදීම නොනවත්වා කරගෙන යෑම. අනෙක් ඇමෙරිකන් නිෂ්පාදකයන්ට සහ ජර්මන් කාර්තෙල් දෙකම පරදවා වැඩියෙන් විශාල වෙළඳපොලක් අත් කරගන්නට ඩව් සමත් වෙනවා.

යළි ඇසුරැම් කරමින් තමන්ගෙ ඒවා විකුණනවා කියල දැනගත්තත් ජර්මන් අයට කරන්න දෙයක් තිබුනෙ නැහැ. ඔවුන්ගේ බ්‍රෝමින් සහ තමන්ගෙ බ්‍රෝමින් දෙකම විකුණමින් එච්චර ලාබයක් හොයන්නට ඩව් සමත් වෙන්නේ ද නැහැ මොකද ලෝකයේ එවිට විකිණෙන බ්‍රෝමින් රාත්තලක මිල වූ සත 27 ක් වෙද්දී. වෙළඳපොල තරඟය පාරිභෝගිකයාට වාසිය අත්කර දෙයි!!!

බ්‍රෝමින් යුද්ධ 1904 සිට 1908 දක්වා පැවැති අතර අවසානයේ දී ජර්මන් කාර්තෙල් එක ජර්මනියට ඇවිත් එකඟතාවයකට එන්න යැයි ඩව්ට ආරාධනා කරනවා. ඩව් එකඟ වෙනවා ජර්මන් අය ඇමෙරිකන් වෙළඳපොලට එවන්නෙ නැහැ, ඇමෙරිකන් අය ජර්මන් වෙළඳපොලට යවන්නෙ නැහැ, සෙසු ලෝකයේ දෙගොල්ලන්ම තරඟ කරනව කියන්නට. බ්‍රෝමින් යුද්ධ නැවතුනේ හැමෝටම අඩු මිලට බ්‍රෝමින් ලැබීම සිද්ධ වෙලා.

ඩව්ට මෙතෙක් නොතිබු ප්‍රාග්ධනයක් එකතු කරගන්න ලැබීම හේතුවෙන් ජර්මන් අය එක්ක වෙනත් වෙළඳපොල භාණ්ඩ සඳහා තරඟ කරන්න ඉඩක් ලැබෙනවා. ඒත් එදත් අදත් ජර්මන් අය දිගටම කරගෙන යන්නෙ ආණ්ඩුවේ රෙගුලාසිකරණයෙන් කාර්තෙල් හදලා මිල සහතිකයෙන් වෙළඳපොලවල් පාලනයට. ඔවුන් සමඟ එකතු නොවන ඩව් ලොවට පෙන්වා දුන්නේ හොඳ නිෂ්පාදනයක් අඩු මිලට හදලා විසල් කාර්තෙල් පරදා ජයග්‍රහණය කරත හැකි යැයි කියල. ඇමෙරිකාව යන රටේ ආරම්භයේ දී පටන් ලෝකයේ වෙළඳපොල ජයග්‍රහණයට හැකියාව ලැබෙන යහපත් මෙන්ම ආචාර ධාර්මික වූ එකම ක්‍රමවේදය තමයි වෙළඳපොල තරඟය. අදත් ඔවුන් නවෝත්පාදන දිනපතා බිහිකරන්නට සමත් වෙන්නේ ද ඒ නිසයි. රජයෙන් සහනාධාර ඉල්ලීම සහ කාර්තෙල් පවත්වාගෙන යෑමට අවසර පතනවා වෙනුවට තියෙන දේවල් වැඩි දියුණු කරන්නේ කෙසේද, තියෙන අමුද්‍රව්‍ය වලින් මෙතෙක් නිපදවා නැති අලුත් දේවල් හදන්නේ කොහොමදැයි යන්න සොයා බැලීමට වෙහෙසෙන පිරිසක් වෙළඳපොල තරඟය සියල්ලන්ගේම සුබ සාධනය ඉටු කරනවා යන්න ආරක්ෂා කරගන්නට කැප වී සිටීම.

සමහරැ හිතන්නෙ ඇමෙරිකාවේ අර කාල් මාක්ස් කිව්ව පංති භේදයක් තිබ්බ කියල. ඇමෙරිකාවේ වැඩවසම් ක්‍රමයක් තිබ්බෙ නැහැ. දුප්පත් මිනිසුන් රටට පය ගහලා, සමහර අය වහල් සහ යම් කාලයක් වැඩ නියමිත ශ්‍රමිකයන් විදියට (සුදු හම/කළු හම ඇති අයත්), වෙහෙස යොදවලා රටේ ඉහළම ආදායම් උපයන අය බවට පත්වුනා. ආණ්ඩුවේ මැදිහත්වීම් අඩු නිසා එදා පහසුවෙන් සහ ආණ්ඩුවේ මැදිහත්වීම් වැඩි වී ඇති නිසා අද ඉතා වීර්යයෙන් ඒත් එයට හැකියාව තවමත් පවතින රටක්.

ඩව් කොම්පැණියේ මූලස්ථානයට වරක් ගිය ස්ටාර් ට්‍රෙක් රසිකයෙක් වන මගේ මහත්තයා කිව්වෙ ඒක ඇතුලෙ පෙනුම හරියට ස්ටාර් ට්‍රෙක් සෙට් එකක් වගේ කියල.

1998 මැයි 1 දා Burton Folsom ලියූ Herbert Dow and Predatory Pricing ඇසුරිනි.

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: