අරුණි ශපීරෝ‍ වෙතින්

අව්‍යාජ වේතන ඉහළ යැවෙන ක්‍රමය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 5, 2015

Money

ධනවාදී ආර්ථික ක්‍රමයේ දී ක්‍රමයෙන් ඉහළ යන අව්‍යාජ වේතන (real wages) එහි නෛසර්ගික ස්වභාවයයි. කළින් සටහනේ සඳහන් හර්බට් ඩව් මෙන් ප්‍රාග්ධනයක් එකතු කරගන්නට දක්ෂයෙකුට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙද්දී, ඒ දක්ෂයා විසින් තාක්ෂණික වූ නිෂ්පාදන ක්‍රමවේදයන් වැඩි දියුණු කරන්නට සමත් වෙයි.

ධනවාදයට ඉඩ දෙනවිට අව්‍යාජ වේතන ඉහළ යන එම නෛසර්ගික ප්‍රතිඵලය ලැබෙන්නේ දක්ෂයාට තව තවත් තාක්ෂණික නිෂ්පාදන ක්‍රමවේදයන් වැඩි දියුණු කරන්නට තව තවත් ප්‍රාග්ධනයක් එකතු කරගන්නට ලැබෙන නිසයි. එවිට වැඩි පිරිසකට නිෂ්පාදනයට සහභාගී වෙන්නට අවස්ථාව ලැබී හැමෝගේම අව්‍යාජ වේතන ක්‍රමයෙන් ඉහළ යයි.

හර්බට් ඩව් 1897 දී යෙදූ නොපසුබට වෑයම නිසා වර්තමානයේ දී 54,000 ක පමණ පිරිසකට ලෝකය පුරා ඇති ඩව් කොම්පැණිවල ශ්‍රමය වෙහෙසා වේතන ලබන්නට හැකියාව ලැබී ඇත.

අව්‍යාජ ලෙසකින් පඩිය ඉහළ යන්නේ ආණ්ඩුව ලවා පඩිය වැඩි කරන්න යැයි ඉල්ලන වර්ජනයෙන් පසු ආණ්ඩුවක් විසින් නීතියක් සම්මතයෙන් පඩි වැඩි කිරීම නිසා නෙමෙයි. ඒත් අව්‍යාජ වේතන ඉහළ යන්නේ කෙසේදැයි නොදන්නා ජනතාව, නොමිලේ ලැබුණු නිදහස් නොවන අධ්‍යාපනයෙන් ඒ දැනුම මඟහැරී ගිය හෙයින් වෙන්නැති, වේතන ඉහළ දැම්මේ නැත්නම් වැඩ වර්ජනය කරනවා යැයි තර්ජනය කරති.

ආණ්ඩුව බෙදන හැම දෙයක්ම කාගෙන් හෝ බලහත්කාරයෙන් ගන්නා ලද්දකි. බදු සහන එකක් හෝ අත් නොහරින, නීතියෙන් අපරාධකරැවෙක් නොවන්නේ නම් සිය ආදායමෙන් කැමැත්තෙන් බදු සඳහා කොටසක් රජයට යවන අය ලෝකයේ කොපමණ ඉන්නවා ද?!!!

අව්‍යාජ වේතන තීරණය වෙන්නේ මහබැංකුවක් මුදල් අච්චු ගැසීමේ නියැළෙද්දී නොවෙයි. ඒකාධිකාරය අසාධාරණයි අයුක්ති සහගතයි කියන්නට හැමෝම එකඟ වෙන්නෙ අසීමිත බලයක් සමීපයට එන මුදල් ගැනම වූ ඒකාධිකාරයක් මහ බැංකුවට දීලා!!!

ආයෝජනය කරන ප්‍රාග්ධනය වැඩි කරන්නට හැකි ඒකීය පුද්ගලයාගේ ශක්තිය වැඩි කිරීමෙන්, එනම් ඊට දක්ෂයාට ප්‍රාග්ධනයක් එකතු කරගන්නට ඉඩ පාදනවා මිසෙක ශ්‍රමයට වේතනයක් රිසි අය සඳහා රටක අව්‍යාජ වේතන අනුපාතයන් ඉහළ දමන්නට හැකි වෙන කිසිත් ක්‍රමයක් ලොව නැහැ.

ප්‍රාග්ධන හිමියන් ආයෝජනය කරන්නේ තමන්ට පරිභෝජනය කර අවසන් කරන්නට හැකි වූවකි. එය ඔවුන් විසින් උපයා ගත් හෝ ඔවුනට උරුම වූ ධනයකි.

පරිභෝජනයෙන් අවසන් කරද්දී එම ධනය තවත් අයගේ වේතන ඉහළ යන අන්දමේ ප්‍රාග්ධනයක් ලෙස ආයෝජනය වීමක් සිද්ධ නොවේ.

උපයා නොගත් සහ උරැම නොවූ ධනවස්තුව, එනම් මහජනයා වෙතින් බලහත්කාරයෙන් ගත් බදු මුදල් වලින් කා බී අවසන් කරන මහජන ධනය නිසාත් රටේ වැසියන්ට අව්‍යාජ වේතන ඉහළ යන මාර්ග පෑදෙන ආයෝජනයන් සිද්ධ නොවේ.

ප්‍රාග්ධනය ආයෝජනය කරන්නා එයින් ලාභයක් උපයන්නට සමත් නොවෙන සෑම අවස්ථාවක දී ම, එවිට ද අව්‍යාජ වේතන ඉහළ යන මාර්ග පෑදෙන්නේ නැත. වෙළඳපොල විසින් ඒ අසාර්ථක ප්‍රාග්ධන හිමියන්ගේ වෑයම් අවම කරන්නේ ඔවුන්ව බංකොළොත් කරවමිනි. රාජ්‍ය මැදිහත්වීමක් නැති කළ වෙළඳපොලේ බංකොළොත් වෙන අසාර්ථක ප්‍රාග්ධන ආයෝජකයන්ව බේරාගැනීමක් ද නොමැත.

හර්බට් ඩව් මෙන් තමන්ගේ මුදල් යොදවා කරන අසාර්ථක වෑයම් කිහිපයකින් පසුව ලාබ උපයන සාර්ථක මාර්ගයක් හොයා ගන්නට සමත් නොවන්නේ නම්, වෙළඳපොල යනු අලාභ අත්දකින ව්‍යවසායකයාව වෙළඳපොලේ තව දුරටත් රැඳෙන්නට ඉඩක් නොදෙන තැනකි. මැදිහත්වීම් නොමැති වෙළඳපොල යනු දක්ෂයන්ට වැඩි කාලයක් රැඳී සිටින්නට ඉඩ ලැබෙන්නකි. එය සිද්ධ නොවෙන කළ, එනම් දක්ෂයන් වෙනුවට අදක්ෂයන් ප්‍රාග්ධනය මෙහෙවීම තමන් පාලනයේ තබා ගනිද්දී, එවිට අව්‍යාජ වේතන ඉහළ යෑම ද නවතී.

ලාභ සොයන්නට දන්නා දක්ෂයාට තව තවත් ප්‍රාග්ධනය එකතු වීම නවතින්නේ ද, එවිට තව තවත් අව්‍යාජ වේතන ඉහළ යෑම ද නවතී.

තව තවත් ප්‍රාග්ධනය එකතු වීම වෙනුවට ප්‍රාග්ධනය පරිභෝජනය යොදා ගැනෙනුයේ ද, එවිට අව්‍යාජ වේතන ටික කාලයක් යනතුරු, (ප්‍රාග්ධනය එකතු වෙන තෙක්), පහළ වැටී තිබිය යුතුයි.

ආණ්ඩුවක් මැදිහත් වී නීති සම්පාදනයෙන් ප්‍රාග්ධනය පරිභෝජනයට පාර කපන්නේ ද, එවිට ශ්‍රමිකයන්ගේ වේතන ඉහළ යන්නේ නැත.

ආණ්ඩුවක් මැදිහත් වී ණය ලබාගැනීමේ හැකියාව වැඩි කරද්දී එවිට තාවකාලික බුබ්බුලයක් (boom හෙවත් ආර්ථික නැඟීමක් හැටියට පෙනෙන ව්‍යාජ සමෘද්ධියක්) හටගෙන එය අවසන් වෙන්නේ ආර්ථික පරිහානියකිනි.

වර්තමානයේ දකින්නට ලැබෙන නොයෙකුත් ආර්ථික අවුල් වියවුල් ඉදිරියේ එය ධනවාදයේ අර්බූදයක් යැයි කියන්නට ඉදිරිපත් වෙන ධනවාදය කුමක්දැයි නොදන්නා අය බහුල වෙති. ග්‍රීසියේ, යුරෝපයේ, ජපානයේ පවතින්නේ ධනවාදයේ අර්බූදයක් නොවේ. එය ධනවාදයේ අඩුපාඩු මකන්නට කියමින් ඊට වඩා හොඳ ක්‍රමයක් යැයි කියාගත් මැදිහත්වීම්වාදයේ අර්බූදයකි.

මැදිහත්වීම්වාදීන් ආර්ථික ගැටළු විසඳන්නට අර්ථ ශාස්ත්‍රමය විෂයය දැක්මකින් පිවිසෙන්නේ නැත. ඔවුන්ට උවමනා ප්‍රාග්ධනය හිමි සහ ප්‍රාග්ධනය එකතු කරන්නට වෙහෙසෙන ව්‍යවසායකයන් මෙල්ල කරන්නටය. එයින් අවසානයේ රටේ සියල්ලන්ගේම, ඔවුන් විසින් උදව් කරන්නට පොරොන්දු වූ දුප්පත් රටවැසියන්ගේ ද වේතන තවත් පහළ යනවා යැයි අර්ථ ශාස්ත්‍රයෙන් ඔප්පු කළත් ඔවුන් එය සැලකිල්ලට නොගනිති.

ඉතින් ශ්‍රමය ඵලදායී ලෙස වෙහෙසන්නට කැමති නම්, එහෙනම් තමන්ගේ ශ්‍රමයට ගෙවන වේතන ද අව්‍යාජ ලෙසින් ක්‍රමයෙන් ඉහළ යනවා දකින්නට කැමති විය යුතුයි. ලාබ උපයන්නට දන්නා දක්ෂයන් නිසාම පමණක් තම ශ්‍රමය ඵලදායී ලෙස වෙහෙසන්නටත් එයින් අව්‍යාජ වේතන ක්‍රමයෙන් ඉහළ යනවාට කැමති නම් වෙළඳපොල දක්ෂයන් මෙල්ල කරන්නට අකමැති විය යුතුයි.

ශ්‍රමය වෙහෙසීම පමණක් රිසි අය, තමන් කරන රස්සාවේ කිසිම ඵලදායීත්වයක් නැති වුනාට කමක් නැහැ ඉහළ යන ව්‍යාජ පඩියක් අතට ලැබුණා නම් ඒ ඇති යැයි සිතන අයට මේ සත්‍යය වටහා දෙන්නට නොහැකියි.

වේතන ඉහළ යනවා යැයි පෙනුනාට ඊට වඩා වේගයෙන් ණයබර හා ජීවන වියදම් වැඩිවෙනේනේ මන්දැයි වටහා ගන්නට මේ අයට නොහැකියි.

ප්‍රාග්ධනයට හානියක් මිසෙක ප්‍රාග්ධනයට තව එකතු වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් එයින් තමන් වැඩ වර්ජනය කරනවා යැයි කරන තර්ජනය හමුවේ දිනාගත් ඉල්ලීම් වලින් ඉහළ දමා ගත් වේතන ව්‍යාජ වූ බවත් මේ වැඩිවෙච්ච පඩියක් අතට ලැබුණාම හොඳටම ඇති යැයි සිතන අයට පහදා දෙන්නට නොහැකියි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Nadun Rathnayake said, on පෙබරවාරි 10, 2015 at 7:34 පෙ.ව.

    good article ‘ keep writing maam


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: