අරුණි ශපීරෝ‍ වෙතින්

මැදිහත්වීම්වාදයේ අවුල් ආර්ථික සමස්තයෙන් සැඟවෙන ආකාරය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 10, 2015

බුබ්බුලය හා පුපුරා යෑම ගැන බියවන්න යැයි හැදූ රැප් විඩියෝවක් 2011 දී මම සිංහලට පරිවර්තනය කළෙමි. වෙළඳපොලට ඉඩ නොදී වෙළඳපොල මෙහෙයවන්න දන්නවා යැයි කියාගත් අය ගෙනෙන අනේක විධ මැදිහත්වීම් නිසා ආර්ථිකයක් ව්‍යාජ ආකාරයෙන් ඉහළ යෑමත්, අනතුරැව එය පුපුරා යෑම හෙවත් ඒ මැදිහත්වීම් නිසා ඉහළ ගිය ආර්ථිකය කඩා වැටීමත් යන විෂම චක්‍රය මැදිහත්වීම්වාදයේ අනිවාර්ය ප්‍රතිඵලයයි.

සබැඳියෙන් ගිහින් කියවන්නට හා නරඹන්නට හැකි රැප් සිංදුවේ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රයේ දැක්ම ෆ්‍රෙඩ්රික් හයෙක් සේ රඟපාන නළුවා වෙතින් ද මැදිහත්වීම්වාදය කරපින්නා ගත් සර්ව ආර්ථික න්‍යායන් ජෝන් මේනාඩ් කේන්ස් සේ රඟපාන නළුවා වෙතින් ද පිළිබිඹු වෙයි.

තෝරාගැනීම් කරන්නේ ඒකීය පුද්ගලයන් පමණකි.

එය, කොමියුනිස්ට්කාරයා ද, සමාජවාදියා ද, ධනවාදයේ හෝ ධනවාදීන්ගේ නායකයා යැයි ලේබල් ඇලවිච්ච අයෙක් වූව ද, ඒ සියළු මැදිහත්වීම්වාදීන් විසින් නොසලකා හරින වැදගත්ම කාරණයයි.

අර්ථ ශාස්ත්‍රයේ තාර්කික ස්වභාවයේ පදනම සකස් වෙන්නේ හිඟය හමුවේ ඒකීය පුද්ගලයාගේ තෝරාගැනීම් අනුවයි.

එහෙත් මැදිහත්වීම්වාදීන් විසින් කරපින්නා ගත්, නොමිලේ බෙදන නිදහස් නොවූ අධ්‍යාපනයෙන් ඒකීය පුද්ගලයාගේ තෝරාගැනීම් වලට අවධානයක් ලැබෙන්නේ නැත. සාර්ව අර්ථ ශාස්ත්‍රය (macroeconomics) ඉදිරිපත් කරන්නේ සමස්ත (aggregates) ප්‍රමුඛ කරගත් සහ සමස්ත පාලනය කරන ආකාරය කියාදෙන දැනුමකි.

නීතියක් ගෙනැවිත් අපරාධ නොකරන ලද පුද්ගලයන් හිටිහැටියේ අපරාධකරැවන් බවට හරවත හැකි රටේ නීති වෙනස් කරන බලය ලත් අය, මේ සමස්ත යනු අදාළ වූ මිනුම් හැටියට සලකති. ඒ නිසා හිටිහැටියේ රටක වර්ග අඩි දහදාහකට වඩා ඇති නිවසක් මන්දිරයක් යැයි සැලකිල්ලට පත් වී ඊට බද්දක් පැනවෙයි!!!!*

අපිට දැනගන්නට නිශ්චිතවම අවශ්‍ය වූවක් අපට සාර්ව ආර්ථ ශාස්ත්‍රයේ එකදූ විචල්‍යයක් විසින් හෝ හරියාකාරව මැන දෙන්නේ නැත. අර්ථ ශාස්ත්‍රයේ දී එක අසම්පූර්ණ මිනුමක් සලකා බැලීම නොකර “කතාව” ඇත්ත දැයි බලන්නට තව මිනුම් ගණනාවක් සලකා බැලීම සිද්ධ කරන්නේ ඒ හෙයිනි. උදාහරණයක් වශයෙන් යම් කඩයක කුඩ සියල්ල එදා විකිණී ගියේ වැස්සක් වැටිච්ච නිසා යැයි පමණක් සැලකිල්ලට නොගෙන අසල්වැසි කඩවල් වල කුඩ විකුණන්නට තිබුණා ද, ඒ කුඩ වලට වඩා මේ කඩේ කුඩ වල මිල ගණන් අඩු වූවා ද, මේ කඩේ කුඩ කුමන නිෂ්පාදකයෙක් සපයන ලද්දා වූ ද යනාදිය සැලකිල්ලට ගැනීමෙන් වැඩියෙන් නිවැරදි දැනුමක් කරා එන්නට කඩහිමියාට හැකිවේ.

එසේ වගවිභාගයෙන් තොරව අයෙක් යම් එක පරිසිද්ධියක් මත, එනම් ආ වැස්සක් පාත්වුනා ඒ නිසා කුඩ ඔක්කොම විකිණිලා ගියා යැයි තීරණයක් ගන්නේ ද, එවිට වෙනත් විචල්‍යයන් නොසලකා හැර, එනම් ඒ “කතාව” ඇත්ත දැයි තව තවත් පරිසිද්ධි තුලින් සොයා නොබලා ගත් තීරණය නිසා, කඩේ බංකොළොත් වී යයි.

සමස්ත සැලකිල්ලට ගැනීමෙන් තොරතුරු සඟවන්නට හැකියාව ලැබේ. ඒ සමස්ත සැලකිල්ලට ගැනීමෙන් එළඹෙන වැදගත් නිගමන ද අවුල් වෙයි.

ආණ්ඩුවක් විසින් ජනගහණයේ යම් කොට්ඨාශයකට විශේෂ බද්දක් පනවා (එයින් රැපියල් බිලියන 3 ක් එකතු වෙනවා යැයි කියා) ඒ නිසා රැපියල් බිලියන 2 ක ආහාර සහනාධාර වෙනත් කොට්ඨාශයකට දෙන්නට හැකියාව ලැබෙනවා යැයි කියන්න සලකා බලමු. මෙහි ශුද්ධ ප්‍රතිඵලය වෙනුයේ සමස්ත ව්‍යයීකාරක ආදායම (disposable income) රැපියල් බිලියන 1 කින් අඩුවීමක් පමණක් යැයි සැලකීම වෙනත් වැදගත් දේ බොහොමයක් නොසලකා හැරීමයි.

ශුද්ධ අංකය නොසලකා හරින්නේ ඒ ඒ බදු ගෙවන පුද්ගලයන් වෙනස් වෙනස් ආකාර වලින් සැලකිල්ලට ලක්විය යුතු ආකාරයයි. වර්ග අඩි දහ දාහක නිවසක් මන්දිරයක් යැයි කියා බද්දක් පැනවීමේ දී, එහි අයිතිකරැවා වෙනත් කිසිත් දැයකට අයිතියක් කියනවා දැයි නැද්දැයි සලකා බැලීමක් සිද්ධ නොවේ. සමහර විට මන්දිරය එයාගේ සම්පූර්ණ වත්කම විය හැකියි. සමහර විට මන්දිරයක් අයිති කරගන්නා උවමනාවෙන් එයා සිය ජීවිතය පුරා ඊට වෙහෙසුනා විය හැකියි. ඒ වෙහෙස වීමෙන් එයා වෙනත් අයට ආදායම් මාර්ග ගණනාවක් පාදා දුන්නා විය හැකියි.

රාජ්‍ය බලය සතු පුද්ගලයන්ට රජයේ මුදල් තමන්ගේ ලෙසින් පරිහරණය කරන්ට මනා ඉඩකඩ පෑදෙන්නේ ද රටක නීති රෙගුලාසි වැඩිවෙද්දී බව ද මැදිහත්වීම්වාදීන් නොසලකා හරින්නකි.

මිනිසුන් විසින් අයිතිය කියන්නට ඉදිරිපත් වෙන්නේ කුමකටදැයි තීරණය හැසිරවීම රාජ්‍ය බලයෙන් සිද්ධ වෙන්නේ නම්, එවිට සෑම දෙනාටම එක සේ නිදහස සහ යුක්තිය සැලසෙන්නේ නැත.

ඒකීය පුද්ගලයා අයිතිය කියන්නේ කුමකට දැයි කියා හෝ ඔහුගේ ශ්‍රමයේ ඵලදාව ඔහු කුමකට යොදවන්නේ දැයි කියා හෝ රාජ්‍ය මැදිහත්වීමක් සිද්ධ වෙද්දී රජයක් ස්ව-අයිතිය සහ එයින් එන තම ශ්‍රමය තමන් කැමති පරිදි වෙහෙසන අයිතියට බාධා කරයි.

රජයක් අයෙක් වෙතින් උදුරා තවත් අයෙකුට බෙදන සෑම අවස්ථාවක දී ම සිද්ධ වෙන්නේ මෙයයි. යමෙකුගේ ප්‍රතිපත්ති වලට හෝ චරිතයට අපි අකමැති වූ පළියට 😀 ඔහුගේ වත්කම සොරා ගන්නට රජයට බලය දීම යනු සියල්ලන්ගේම අයිතීන් කප්පාදුවට සහ සියල්ලන්ගේම වත්කම් අඩුවීමට ද පාර කැපීමයි.

මීට හැකියාව රජයක් ලබාගන්නේ සමස්ත හදමින් එහි ප්‍රතිඵල “ශුද්ධ බදු” වල සඟවමින් ඒ නිසා ඇතිවන හානිකර ප්‍රතිඵල ද දකින්නට නොලැබෙන සේ සඟවමිනි.

නැවත බෙදන ප්‍රතිපත්ති නිසා රටවැසියන්ට සැපයුම් පැත්තෙන් ඇතිවන හානිකර ප්‍රතිඵල දකින්නට නොලැබේ.

ධනවත් අයට බදු පනවා දුප්පත් අයට බෙදීම නිසා දෙගොල්ලන්ගේම නිෂ්පාදනයට සහභාගී වීමේ දිරිගැන්වීම අඩු වී යයි. ඉහළ බදු වලට මුහුණ දෙන ඉහළ ආදායම් උපයන අයගේ නිෂ්පාදන අගය ඉතා කුඩා ප්‍රමාණයකින් හෝ අඩු වෙද්දී අනිත් අයත් ලබාගන්නා අගයන් අඩු වී යයි. එය සිද්ධ වෙන්නේ ඉහළ ආදායම් උපයන අයට තමන් ඉදිරියේ ඇති සම්පත් වලින් අනිත් අයට සපයන්නට හැකි වූවාට වඩා අඩු අගයක් සපයන්නට මේ මැදිහත්වීම් නිසා පෙළඹීමයි.

ඉහත රැප් සිංදුවේ එන බුබ්බුල හා පුපුරා යන චක්‍රය (boom and bust cycle) සහ ව්‍යාපාර චක්‍රය (business cycle) අතර වෙනස පහදා දුන්නේ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් විසිනි.

ෆ්‍රෙඩ්රික් හයෙක් විසින් “සමාජයේ දැනුම භාවිතය” හි දී සහ වෙනත් තැන්වල පෙන්වා දෙන්නේ, සමස්ත හැදීම හැමදෙනා වෙනුවෙන් ගෙනෙන මධ්‍යම සැලසුම් සම්පාදනයේ අනිවාර්ය අංගයක් බවයි. එයින් ආර්ථිකයේ දියුණුවට අවශ්‍ය ඉතා වටිනා තොරතුරැ සම්භාරයක් බැහැර වෙන බවයි.

එතැන ඒ වේලාවේ පවතින විෂමතා ගැන සමහර පුද්ගලයන් පමණක් දන්නා නිසා අගයන් උපදවන්නට ඔවුනට පමණක් හැකියාව ඇත. මේ දැනුම හැමෝම වෙනුවෙන් මධ්‍යම සැලසුමක් නිර්මාණය කරන රාජ්‍ය නායකයන්ට ලබාගන්නට නොහැකි වූවකි.

වෙළඳපොල හමුවේ ඒ ඒ පුද්ගලයා කැමති තීරණ ගන්නට ඉඩ වැඩි කරද්දී, එනම් බදු බලපෑමක් නිසා නොව සිය කැමැත්ත පමණක් සලකා, තමන් රටේ නීති උල්ලංඝණය නොකර උපයා ගත් වත්කමෙන් වර්ග අඩි දහ දාහක ගෙයක් හදනවා ද, ගෙයක් නොහදා කුලියට ඉන්නවා ද, වත්තක ටෙන්ට් එකක් ගසා ජීවත් වෙනවා ද, යනාදියට ඉඩ ලැබෙද්දී, වැඩියෙන්ම නිවැරදි තීරණ ගන්නා අය වැඩියෙන්ම අගනා ජීවිත ගෙවති. ඔවුන් ගත් නිවැරදි තීරණ නිසා ඔවුන් දියුණු වෙද්දී සමාජයට අගයක් එකතු වෙයි. ඔවුන් ගත් වැරදි තීරණ නිසා ඔවුන් බංකොළොත් වෙද්දී බේරාගැනීමක් සිද්ධ නොවේ නම් එවිට සෙසු රටවැසියන්ට ණය බරක් එකතු නොවේ.

වෙළඳපොල හමුවේ දී අයෙක් ගන්නා තීරණ (අරයා ගෙන් මෙයාගෙන් ඇහුවත් අන්තිමේ දී තීරණයක් ගන්නේ යම් පුද්ගලයෙක්) යනු ස්වභාවයෙන්ම සංඛ්‍යාන දත්ත වලට එකතු කරන්නට නොහැකියි. එය සංඛ්‍යානමය ආකාරයකින් මධ්‍යම සැලසුම් හදන බලඅධිකාරියකට දැනුම් දෙන්නට හැකි ක්‍රමයක් නැත.

සමස්ත හැදීමේ ගැටළු ගණනාවකි. උදාහරණයක් හැටියට රැකියා හා විරැකියා දත්ත සමස්තයන් හැදීමේ දී රස්සාවක් තිබුණත් නිල වශයෙන් රස්සාවක් නැති විය හැකියි. වැඩ වර්ජනයේ යෙදෙන ආණ්ඩුවේ විශ්ව විද්‍යාල ගුරැවරයා නිල වශයෙන් රැකියාවක් ඇති අයෙක් වුවත් ඔහු වර්ජනය පැවැත්වෙන කාලය තුල වැඩ කරන්නේ ද නැද්ද?!!!!!

ඉතින් වැදගත් කාරණය නම් මෙසේ සමස්ත ගැන සැලකිල්ල දක්වන මැදිහත්වීම්වාදයේ දී ඒකීය පුද්ගලයන්ට දැක්විය යුතු අවධානය ගිලිහී යෑමයි.

රජයක් ඵලවිපාක විඳින්නේ නැත. සමාජයක් ඵලවිපාක විඳින්නේ නැත. ඕනෑම තෝරාගැනීමක දී තෝරාගන්නේ ඒකීය පුද්ගලයෙකි. තෝරාගැනීම් නිසා ඵලවිපාක විඳින්නේ ද ඒකීය පුද්ගලයෙකි.

රාජ්‍ය නායකයන් පමණක් නොව හැමට සැලසුම් හදන්නට ඉදිරිපත් වෙන ෆේස්බුක් වීරයන් පවා හැම රටකින්ම පාහේ නොමඳව දකින්නට ලැබේ!!!!!

* දේශපාලන බලයෙන් අයෙක් මන්දිර අයිති කරගැනීමට සමත්වීම ද මැදිහත්වීම්වාදයේ අතුරැ ප්‍රතිඵලයක් මිස නිදහස් වෙළඳපොල ලක්ෂණයක් නොවේ.

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: