අරුණි ශපීරෝ‍ වෙතින්

අපි හැමෝම කරනවා, ඒත් ඒ කුමක්දැයි බහුතරයක් නොදැනීම

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 12, 2015

වෙනෙසියුලාවේ කොන්ඩොම් හිඟයක්! දෙසැම්බරයේ පටන් ගත් හිඟය දැන් ට්‍රෝජන් බ්‍රෑන්ඩ් කොන්ඩොම් 36 ක් ඇති පැකට්ටුවක් ඩොලර් 750 ක් එනම් බොලිවාර් 4,760 ක් දක්වා ඉහළ ගිහින්.

ඉතින්, උපත් පාලන විධි ක්‍රම නොමැති වීම නිසා රටේ මිනිසුන් කරන ලිංගික එකතු වීම් අඩු වෙන්නේ නැත. අඩු වෙන්නේ ප්‍රවේශමෙන් සිද්ධ වෙන ලිංගික එකතු වීම් ය. වෙනෙසියුලාව දකුණු ඇමෙරිකාවේ ලිංගිකව බෝවෙන රෝග වැඩියෙන්ම පැතිර ඇති රටක් සේ ම 13-19 වියේ ගැබ්ගත් අය වැඩියෙන් ඉන්නා රටකි. එහි ගබ්සා තහනම්ය. මේ කොන්ඩොම් මිල ඉහළ යෑමෙන් නීති විරෝධී ගබ්සා වැඩි වෙන්නට ඉඩ ඇත.

ස්වභාව ධර්මයා සමඟ උදේ හවා ගැටෙනවා මිසෙක වෙනත් විකල්පයක් නොතිබූ පුරාතන මිනිසා ස්වභාව ධර්මයා විසින් එල්ල කරන ලද අභියෝග හමුවේ දී වැදගත් සත්‍යයක් ඉතා ඉක්මණින් අවබෝධ කරගන්නා ලදි.

එනම්, තම ශ්‍රමය ඵලදායී ලෙස වෙහසන්නට අවශ්‍ය බවත්, ඒ සඳහා බුද්ධිය පාවිච්චියට ගැනීම අවශ්‍ය බවයි.

ඒ සඳහා තමන්ට ස්වභාවයෙන්ම ලැබෙන්නා වූ අයිතියක් ඇති බව කතාබහට ලක්වූයේ බුද්ධිවිචාර යුගයේ නොහොත් 1650 ගණන් වල දී ය.

ඒ අයිතිය රජයක් හෝ වෙනත් කිසිවෙක් තමන්ට ප්‍රදානය කරන ලද්දක් නොවන බව වර්තමානයේ දී අවබෝධ කරගෙන සිටින්නේ ලොව අල්පයකි.

තමන් වෙහෙසන ශ්‍රමයේ ඵලදාවට ද තමන්ට අයිතියක් කියත හැකියාව යනු රජයක් හෝ වෙනත් කිසිවෙක් තමන්ට ප්‍රදානය කරන ලද්දක් නොවන බවත් වර්තමානයේ දී අවබෝධ කරගෙන සිටින්නේ ලොව අල්පයකි.

ස්වභාව ධර්මයා සමඟ උදේ හවා ගැටෙනවා මිසෙක වෙනත් විකල්පයක් නොතිබූ මිනිසා ඉතා ඉක්මණින් අවබෝධ කරගත් තවත් වැදගත් සත්‍යයක් වූයේ තම බර උසුලාගෙන යෑම තමන්ගේ වගකීම බවයි. අද ඒ තම වගකීම කුමක්දැයි දන්නා අය ලොව සිටින්නේ අල්පයකි.

මොබයිල් ෆෝන් හා ෆේස්බුක් භාවිතයේ ඉන්නා වර්තමාන මිනිසා අර ස්වභාව ධර්මයා සමඟ නිති ගැටෙන්නට සිද්ධ වූ මිනිසාගේ තත්වයෙන් ඉතා දුරස් ස්ථානයක පහසු ජීවිතයක් ගෙවයි.

හිඟය (scarcity) යන සාධකය මෙලොව ස්වභාවික වූවකි. එනිසා මිනිසා ශ්‍රමය ඵලදායී ලෙසින් වෙහෙසිය යුතුයි. ඒත් වර්තමානයේ දී හිඟය යන සාධකය සංවාදයට භාජනය වෙන්නේ ආර්ථික ප්‍රවේශයකින් නොව රජයේ සුබ සාධන සැලසුම් බෙදන ප්‍රවේශයෙනි.

හිඟය යනු වෙනත් කිසිම මිනිසෙක් පැත්ත පළාතක නැති වුවත් මිනිසා විසින් මුහුණ දිය යුතුම වූ සාධකයකි. උදාහරණයක් හැටියට දවසේ පැය 24 ක් පමණක් ඇති හිඟය ඔබට මෙන්ම බිල් ගේට්ස්ට ද මුහුණ දෙන්නට සිද්ධ වූවකි.

හිඟයට මුහුණ දෙන මිනිසා හිඟය පියවා ගන්නට බුද්ධිය මෙහෙයවයි.

තමන් හදාගන්නට නොදන්නා දෙයක්, තමන්ට පැය 24 ක දී නිම කළ නොහැකි දෙයක් සඳහා වෙන අයෙක්ගේ සහාය ගන්නට මිනිසා “හුවමාරැවේ” යෙදෙයි.

ඒ ආර්ථික ප්‍රවේශයයි.

මේ ආර්ථික ප්‍රවේශය සැලකිල්ලට ගැනීම බැහැරකට දමා ඇති නිසා මිනිසුන් අතර බහුතරය බඩුවක මිල තීරණය වෙන්නේ කෙසේදැයි නොදැන කතාබහ කරන්නේ බඩු මිල ගණන් ගැන පමණි.

තෙල් මිල පහළ දැම්ම නිසා අනෙක් බඩු භාණ්ඩ වල මිල පහළ ගියේ නැත්තේ ඇයි දැයි අහන අය එසේ අහන්නේ හුවමාරැව යනු ඒ ඒ මිනිසා විසින් ගන්නා තීරණයක් බව නොදන්නා හේතුවෙනි.

ලෝක තෙල් මිල තවමත් පහළ මට්ටමක පවතී. ලෝකයට තෙල් සපයා ආදායම් උපයන වෙනෙසියුලාවේ ආර්ථිකය 2015 වසරේ දී 15% කින් හැකිළෙනු ඇතැයි කියැවේ. ලෝක තෙල් මිල පහළ යෑම ඊට බලපාන ප්‍රධාන හේතුවක් පමණි. ඒ ප්‍රධාන හේතුව රටේ ආර්ථිකය හැකිළෙන සාධකයක් වෙන්නේ මෙතෙක් කාලයක් රටේ ගෙන ගිය අහිතකර ප්‍රතිපත්ති මාලාවක් නිසයි. උගෝ චැවේස් බලයට එද්දී ඒ රුදුරු ධනේශ්වරයෙන් වැඩකරන පංතිය බේරා ගැනෙනු ඇතැයි යැයි ප්‍රශංසා ලියූ ලංකාවේ මාධ්‍ය වෙනෙසියුලාවේ වැසියන් අත්විඳින දුර්භාග්‍යයන් ගැන අද කිසිවක් නොලියති.

ලෝක තෙල් මිල පහළ ගිය හෙයින් හිටිහැටියේ වෙනෙසියුලාව ආර්ථිකව බංකොළොත් වූවා නෙමෙයි. මෙතෙක් කාලයක් තිස්සේ රට ආ ගමන් මාර්ගය මෙම තත්වයට ඔවුන්ව ගෙන එන ලදි.

හුවමාරැව යනු හිඟය නිසාම ලොවට බිහිවූවකි.

හිඟය පියවා ගන්නට ඒකීය පුද්ගලයන් අතර කැමැත්තෙන් සිද්ධ වෙන ගණුදෙනු මැද්දට පැන, සාධාරණය යුක්තිය ඉටු කරන්නට දන්නවා කියාගත් දේශපාලන විසඳුම් ගෙනෙන අය නිසාම කළුකඩකාරයන් බිහිවෙති.

පිටි සහ තෙල් මිල බජට් එකෙන් අඩු කරපු නිසා බේකරි කෑම වල මිල ද අඩුවිය යුතු යැයි කළුකඩකාරයා බිහිවෙන්නේ කෙසේදැයි නොදන්නා කියයි. බේකරි කෑම මිල තීරණය කරද්දී පිටි සහ ඉන්ධන තෙල් මිල හැරෙන්නට වෙනත් දේවල් වල මිල ගණන් කිසිවක් අදාළ නොවන්නේ ද?!!!

තේ කඩකාරයා ලවා මිල අඩුකරවන්නට අපිට ක්‍රමයක් නැහැ. කිරිපිටි මිල පහත දැම්මම, සීනි මිල පහත දැම්මම ඔවුන් දැනගන්න ඕනා ඔවුන් ද මිල අඩු කළ යුතු යැයි කියා,” වැනි කියමන් එන්නේ රජයක් විසින් බඩු මිල තීරණය කරන්න දන්නවා යැයි සිතන නිසයි.

ඉතින් සාධාරණය හා යුක්තිය ඉටු කරන නාමයෙන් ඕපපාතිකව බිහි වූවක් හෙවත් හුවමාරැවට බාධා ගෙනැවිත් අනතුරැව ඔවුන්ගේ වෑයම් නිසාම බිහි වූ කළුකඩකාරයා මෙල්ල කරන්නට තවත් දැඩි පියවර ගත යුතු යැයි ඔවුන්ම කියති!!!!

බඩුවක් වැඩියෙන්ම විකුණත හැකි මිල ගැසට් පත්‍රයකින් තීරණය කළාම එයින් බඩු මිල අඩු කරන්නට වෙළෙන්ඳන්ව බලහත්කාරයෙන් යොමු කරවන්නට හැකි වේ යයි මෙසේ රජයක් විසින් බඩු මිල තීරණය කරන්න දන්නවා යැයි සිතන අය කියති.

හුවමාරැවක දී ලාභයක් උපයන්නට සමත් වෙන්නේ හුවමාරැවේ දෙපැත්තේම ඉන්නා අයයි. කොන්ඩොම් 36 ක් ඩොලර් 750 කට ගන්නා අයට එම කොන්ඩොම්, දරැවෙක් හදනවාට වඩා; ගබ්සාවක් කර පව් පුරවා ගන්නවාට වඩා; බෝවෙන ලිංගික රෝගයක් හදාගන්නවාට වඩා; ලාභ යැයි දකියි. ඩොලර් 750කට කොන්ඩොම් විකුණන්නා කුණු කොල්ලයට බඩු විකුණන්නෙක් නොවේ. මන්ද ඔහු සපුරා ගත නොහැකි ඉල්ලුමක් සපයන්නෙකි.

එහෙත් හුවමාරැවෙන් පරිභෝජකයාට ලැබෙන ලාභය බහුතරයක් නොසලකති. කොන්ඩොම් මිල අඩුවෙන් සහ කොන්ඩොම් ගැනීමට කැමති අයට ඒවා බහුල ලෙස කඩේ දකින්නට ලැබීම මෙන්ම බේකරි කෑම කන්න කැමති අයට අඩු මිලකට ඒවා බහුල ලෙස කඩේ දකින්නට ලැබෙන්නේ කෙසේදැයි අමතක කරන දේශපාලන ප්‍රවේශයෙන් පමණක් හිතන්නට හුරු වූ අය කරන්නේ ලාභයක් උපයන්නා ආත්මාර්ථකාමියෙක් යැයි හංවඩු ගැසීමයි.

ලෝකවාසීන්ගේ සමෘද්ධිය සලසන්නේ දේශපාලනඥයන් විසින් නොවේ. එහෙත් ලෝකවාසීන්ගේ සමෘද්ධිය සලසන, එනම් හිඟයන් පියවා ගන්නට ඒ ඒ අය සොයන දෑ බහුලව වෙළඳපොලේ තබන අය හැම පැත්තකින්ම ගැරහිල්ලට ලක් වෙන අයයි. ඔවුන් වීරයන් නොවෙති. ඔවුන් කලා කෘතියක් නිර්මාණය කරන කලාකරැවා සේ, පාලමක් හදන්නට දන්නා ඉංජිනේරැවා සේ, ලෙඩුන් සුව කරන්නට සමත් වෛද්‍යවරයා සේ බඩු වෙළඳපොලට ගෙනෙන්නට හපනෙක් වූ අයෙක් පමණි.

නමුත්, කලාකරැවාට, ඉංජිනේරැවාට, වෛද්‍යවරයාට ඔවුන්ගේ දක්ෂතා වලට අගයක් දෙන බහුතර ලෝකවාසීන් භාණ්ඩ නිෂ්පාදනය කර වෙළඳපොලට ගෙනැවිත් එනම් පාරිභෝගිකයා ඉල්ලන දේවල් සපයන්නට සමත් වූවාට වෙනස් ආකාරයෙන් සලකයි.

නිෂ්පාදකයාගේ බඩු රෙගුලාසිකරණය වෙයි. ඒවාට බදු පැනවේ. ඒවා තහනම් වෙයි. සහතික මිලක් පනවමින් මිනිසුන් කැමැත්තෙන් කරන හුවමාරැවට බාධා ගෙනෙයි. මුදලේ අගය පහළ යවයි. නිෂ්පාදනය කරන්නේ මොනවා ද කරන්නේ කොහොම ද යන්න නීති සම්මතයෙන් අනුන් තීරණය කරයි. ශ්‍රමයට වැටුපක් තීරණය කරමින් ශ්‍රමයේ ඵලදායී බවක් අත්දැයි නැත්දැයි යන්න සැලකිල්ලෙන් ඉවත් කරයි. ලාභ උදුරා ගනියි. කර්මාන්ත රජයට පවරා ගනියි. අහෝසි කරයි. නිෂ්පාදකයාගේ පුද්ගලික ආචාර ධර්ම මොනවාදැයි අහයි.

ඒ සියළු බාධක මධ්‍යයේ ව්‍යාපාරිකයෙක් අසාර්ථක වෙද්දී ඒ ගැන දුක්වෙන අයෙක් නැත.

ඒ සියළු බාධක මධ්‍යයේ ව්‍යාපාරිකයෙක් සිය බුද්ධිය මෙහෙයවමින් (රටේ නීති නොකඩා, රජයේ ගැත්තෙක් සේ හේත්තු නොවී) සාර්ථක වුවහොත්?

එවිට අනෙක් හැමෝම කරන දේ කුමක්දැයි නොදන්නා අය කියන්නේ,

ඔහු ආත්මාර්ථකාමියෙක් කියායි.

ඔහු කෑදරකමෙන් ඒ දේවල් කරනවා කියායි.

ඔහු පුංචි ව්‍යාපාර විනාස කර දමනවා කියායි.

ඔහු දේශීය නිෂ්පාදන බංකොළොත් කරනවා කියායි.

ඔහු වැඩියෙන්ම සල්ලි තියෙන අයට පමණක් විකුණනවා කියායි.

ඔහු පරිසරය විනාශ කරනවා කියායි.

“අපි හැමෝම කරනවා, ඒත් අපි කරන්නේ කුමක්දැයි කියා දන්නේ අප අතරින් ස්වල්පයක් පමණයි,” -ගර්තෙ.

ඔබේ වෙහෙසේ ඵලදාව බදු ලෙසින් උදුරා ගන්න එපා යැයි ඔබේ දේශපාලනඥයා වෙතින් ඉල්ලා සිටීම පමණක් ප්‍රමාණවත් නැත. ඔබට අයිති නොවූවක් ඔබට බෙදන්න එපා යැයි ද ඔබ ඔබේ දේශපාලනඥයා වෙතින් ඉල්ලා සිටිය යුතුයි.

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: