අරුණි ශපීරෝ‍ වෙතින්

යහපාලනය සහ නීතියේ රීතිය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 15, 2015

1383925_10151935564210851_430459756_n

ආසියාවේ ආශ්චර්යය, ධර්මිෂ්ඨ සමාජය, යහපාලනය, යනාදී වචන වල අර්ථ මොනවා දැයි ඇසුවොත් අයෙක් ඒවායේ අර්ථයන් මොනවාදැයි තමන් දන්නවා යැයි හෝ අනුමානයෙන් කියත හැකි යැයි විශ්වාස කරයි.

රට ආශ්චර්යයක් වුවහොත්, නැත්නම් යහපාලනය නිසා සැලසෙන “පොදු යහපත” හෝ “පොදු අරමුණු” මොනවා දැයි ඇහුවොත් ඒවා මොනවා දැයි තමන් දන්නවා යැයි හෝ අනුමානයෙන් කියත හැකි යැයි බොහෝ අය විශ්වාස කරති.

එහෙත් පොදු යහපත සාක්ෂාත් කරගන්නට ගන්නා එවැනි ක්‍රියා මාර්ගයකින් පොදු යහපත කෙසේ සැලසෙනවා දැයි විස්තරාත්මකව පැහැදිලි කරන්නට යැයි කිවහොත් ඊට සමත් අයෙක් නොවෙති.

ආණ්ඩු පාලනයකින් පොදු යහපතක් සැලසෙනවා යැයි විශ්වාස කරන නිසා ඒකීය පුද්ගලයාගේ ජීවිතය මෙහෙය වන්නට නීතියේ බලයක් හා සැලසුම් හදන බලයක් රජයට පවරන්නට බහුතරය සූදානමින් සිටිති.

අනුන්ගේ ජීවිත සැලසුම් කරන සහ නීතියේ බලය ආණ්ඩුවට පැවරෙද්දී ඒවා සතුවෙන්නේ වැරදි කරන සුළු, තමන් හා සමාන වූ දැනුම ඇති, මිනිසුන් අතරින්ම තෝරා පත්කරගන්නා ලද, බලය අල්ලා ගන්නට තරඟ කර ජයගත් මිනිසුන් සුළු පිරිසකටයි.

රටක ඕනෑම නීතියක් ඒකීය පුද්ගලයාගේ නිදහසට යම් ලෙසකින් හෝ බාධා පමුණවන නීතියකි.

නීතියේ රීතිය යනු නීත්‍යානුකූල ජීවිත ගෙවන ඒකීය පුද්ගලයන්ගේ කටයුතු වලට හිටි අඩියේ බාධා ගෙනෙන යම් ආණ්ඩුවක් වෙත් ද එය මෙල්ල කරන යාන්ත්‍රණයයි.

නීතියේ රීතිය, නීතියේ රජැයුම, නීතියේ අධිපාලනය යනාදිය rule of law සඳහා ඇති සිංහල පද වහරයි. නීතියේ රීතිය ගැන මම කළින් ලියූ සටහනක් මෙතැන.

නීතියේ රීතිය අනුගමනය කරන ආණ්ඩුවක් සහ හිතුමතයේ වැඩ කරන ආණ්ඩුවක් අතර වෙනස පැහැදිලි කරන්නට නම් නීතියේ රීතිය යනුවෙන් අදහස් වෙන්නේ කුමක්දැයි කියා දැන සිටිය යුතුයි.

රටක පවතින නීති වලට අනුකූලව ජීවත්වෙන ඒකීය පුද්ගලයෙකුට තම සතුට සොයා යන්නට නිදහස ලැබෙයි. රටේ නීති වලට අනුකූලව කටයුතු කරන්නට එකඟ වී සිටිද්දී, එනම් නීත්‍යානුකූලව කටයුතු කරන පුද්ගලයෙක් හැටියට සතුට සොයා යන වෑයම් ගනිද්දී, රට පාලනය කරන ආණ්ඩුව විසින් උවමනාවෙන්ම තමන්ගේ වෑයම් කඩාකප්පල් කරන්නට පියවර නොගන්නේ යැයි රටක පුරවැසියෙක් අපේක්ෂා කරයි.

ස්ථිරව පවතින විධිමත් නීති පද්ධතියක් තුල, ඒ නීති කඩ නොකරන්නේ ද, ඒකීය පුද්ගලයෙකුට තමන් කුමන සතුටක් සොයා යන්නේ දැයි සහ ඒ සොයන සතුට වෙත යන මාර්ගය කෙසේ දැයි තීරණ කරන්නට නිදහසක් ඇත.

එහෙත් රටක ආර්ථික කටයුතු කුමන ආකාරයෙන් සිද්ධ විය යුතුදැයි තීරණ ආණ්ඩුවක් මඟින් සිද්ධ වෙද්දී, එවිට ඒකීය පුද්ගලයාට තමන් කුමන සතුටක් සොයා යන්නේ දැයි සහ ඒ සොයන සතුට වෙත යන මාර්ගය කෙසේදැයි තීරණයට නිදහස අවහිර වෙයි.

යම් ප්‍රතිඵලයක් තෝරාගෙන එය උදෙසා, (උදාහරණ හැටියට කැසිනෝ, සංචාරක කර්මාන්තය, WiFi) දියුණු කළ යුතු යැයි තීරණය කර ඒ ඒ අරමුණ සාක්ෂාත් කරනු පිණිස නිෂ්පාදන ක්‍රම මෙහෙයවීම යනු රටක ආර්ථික කටයුතු කුමන ආකාරයෙන් සිද්ධ විය යුතුදැයි ආණ්ඩුවක් තීරණය කිරීමකි.

ස්ථිරව පවතින විධිමත් නීති පද්ධතියක් යනු දියුණු කළ යුතු අරමුණක් ඉදිරියේ නොව එවැන්නක් තීරණයට කළින්ම සකස් කරගන්නට හැකි, කාලාන්තරයක් තිස්සේ වෙනස් නොවී පවතින්නට සම්පාදනය කරත හැකි ඒවා වෙති.

ඒවා සුවිශේෂී පුද්ගලයන්ගේ කැමැත්තන් සහ අවශ්‍යතාවයන් ගැන සැලකිල්ලක් දක්වමින් සකස් කරන ලද ඒවා නොවේ.

ස්ථිරව පවතින විධිමත් නීති සැකසෙන්නේ ඒ ඒ පුද්ගලයන් සොයා යන ඒ ඒ අන්තයන් සාක්ෂාත් කරගනිද්දී අනුන්ට බලහත්කාරකමක් සිද්ධ වීම වළක්වන්නට පමණකි.

කාලයක් පුරා වෙනස් නොවී පවතින සේ සකස් වූ ඒ නීති කඩන්නා යනු අනුන්ට බලහත්කාරකමක් කරන්නෙකි. ඊට ලැබිය යුතු නිසි දඬුවම් ලැබිය යුත්තෙකි. ඒ බව සැවොම කළින්ම දැන සිටිති.

ස්ථිරව පවතින විධිමත් නීති පද්ධතියකින් මේ පිරිසට වඩා වැඩියෙන් වාසියක් අර පිරිසට ලැබෙන්නේ නැත.

අර ජන කොට්ඨාශයේ හෝ මේ ජන කොට්ඨාශයේ අපේක්ෂා සාක්ෂාත් කරන්නට දන්නවා කියාගත්තවුන් විසින් හදන මහා පරිමාණ සැලසුම් වෙනුවට විධිමත් නීති පද්ධතියක් නිසා ඒ ඒ පුද්ගලයාට අනෙකුත් ජන කොට්ඨාශයක පුද්ගලයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි වැඩ පටන් ගන්නට පෙරම නිවැරදි අනුමානයෙන් කිව හැකියාව ලැබේ.

ආර්ථික අර්බූද නිතර දකින්නට ලැබෙන රටවල ඒ ඒ පුද්ගලයාගේ නිදහසට බාධා පමුණවමින් පොදු යහපත උදෙසා යැයි කියමින් ගෙනෙන මහා සැලසුම් දැකිය හැකියි. සැලසුම් හදන අධිකාරියක් ඔවුන් නොදන්නා පුද්ගලයන්ට කැමති විදියකින් ප්‍රයෝජන ගන්න යැයි කියා තමන් හදන සැලසුම් වලින් අවස්ථා පිරිනමන්නේ නැත.

අනාගතයේ දී සැමට එක සේ බලපාන විධිමත් නීති පද්ධතියක් ගෙනෙන්නට මැදිහත්වීම් කැමති ආණ්ඩුවක් ඉදිරිපත් වෙන්නේ නැත.

මැදිහත්වීම් කැමති ආණ්ඩුවක් කරන්නේ මිනිසුන් අතර අවශ්‍යතා හට ගනිද්දී ඒ අතරින් සහාය වෙන්නට උවමනාවෙන්ම යම් යම් පිරිස් තෝරාගැනීමයි. ඇමෙරිකාවේ නීති විරෝධී පදිංචිය ඇති හිස්පැනික් අයට පුරැවසිකම සහ ලංකාවේ බිත්තර වී සහනාධාරය මීට කදිම උදාහරණ වෙති.

විධිමත් මූලධර්ම වලින් පමණක් පිළිතුරැ දිය නොහැකි ගැටළු සඳහා මැදිහත්වීම් රිසි ආණ්ඩුවක් නිතර පාහේ උත්තර සැපයිය යුතුයි. එවිට ජනතාව අතර ගැටළු විසඳන්නට ආණ්ඩුවක් අවශ්‍ය යැයි ජනතාව විශ්වාස කරන්නට පටන් ගනියි. උත්තර සපයද්දී, එවැනි ආණ්ඩුවක් විවිධ පිරිස් අතර විශේෂතා මොනවාදැයි තීරණය කරන බලය තමන් සතුව තබා ගනියි.

කොච්චර බිත්තර වී රටේ වගා කළ යුතු ද, කොච්චර බස් ප්‍රමාණයක් රටේ ධාවනය විය යුතු ද, ගෑස් සිලින්ඩරයක් කීයකට විකිණිය යුතු ද, අවම පඩිය කීයක් විය යුතු ද, යනාදී තීරණ කාලාන්තරයකට සරිලන පරිදි සැකසෙන විධිමත් මූලධර්ම වලින් ලබාගත නොහැකියි.

ඉතින් ඒ ඒ අවස්ථාවන් හි දී, ඒ ඒ තීරණ ගත යුතු නිසා, හැම බජට් එකක දී ම එක පිරිසකගේ අවශ්‍යතා හමුවේ තව පිරිසකගේ අවශ්‍යතා පාවා දීමක් සිද්ධ වේ. අවසානයේ දී කාගේ හෝ දැක්මට අනුව කාගේ අවශ්‍යතා වැඩියෙන් වැදගත් ද යන්න තීරණය කෙරෙයි.

ඊ ළඟට ඒ දැක්මට අනුව රටේ නීති සම්පාදනය වෙයි.

යුක්තිය පසඳාලන දීර්ඝ කාලීන විධිමත් නීතිය අතරත් ඒ ඒ ආණ්ඩුවට රෑ දොළහට හෝ බජට් එකෙන් හෝ විධායක ඕඩර් එකකින් වෙනස් කරත හැකි ස්වාධීන නීති අතරත් වෙනස පැහැදිලි කිරීම පහසු කාර්යයක් නොවේ. කතරගම යන පාර පෙන්වන බෝඩ් ගසා තිබීම යනු දීර්ඝ කාලීන විධිමත් නීතියට උදාහරණයක් වෙද්දී කතරගම යන පාර මෙයැයි කියා ඒ මේ පාරවල් වලින් එහි යෑම නීති විරෝධී කර අවහිර කර තිබීම ස්වාධීන නීති වලට උදාහරණයකි.

යම් අවස්ථාවක් ඉදිරියේ කටයුතු කෙසේ සිද්ධ වෙන්නේ දැයි කියා රටේ ජනතාවට කල් ඇතුවම දැනුම් දෙන්නේ විධිමත් නීති වෙති. සුවිශේෂී කොට්ඨාශයක් යම් තැනක දී හෝ යම් කාල වේලාවක දී ගන්නා තීරණය එය සැලකිල්ලට ගන්නේ නැත.

සැමට බලපාන යම් ලෙසකින් ආණ්ඩුව නිශ්චිතවම වැඩ කරන්නේ යැයි සමස්ත ජනතාව අවබෝධ කරගනිද්දී, එහෙම නැත්නම් මෙයාකාරයෙන් සැවොම වැඩ කළ යුතු යැයි ආණ්ඩුවක් අපේක්ෂා කරද්දී, ඒ ඒ පුද්ගලයාට තමන්ට පුද්ගලික වූ සතුට සොයා යන මාර්ගය හදා ගන්නට එය සහාය දෙයි.

විධිමත් නීති වලින් දැනට හඳුනා නොගත් යම් සුවිශේෂී වූ පිරිසකට වුව ද එක සේ යුක්තිය සැලසේ.

තම තමන්ගේ අරමුණු ඉටු කරගන්නට අයෙක් විධිමත් නීතියකින් කෙසේ සහාය ගන්නවා ද යන්න අපිට කළින් දැන ගන්නට හැකියාව නොලැබේ. ඒ නිසා යම් පිරිසකට පමණක් යම් අරමුණක් ඉටු කරගන්නට හැකියාව ලැබෙන තෝරාගැනීමකට ඉන් ඉඩක් පෑදෙන්නේ නැත.

ආණ්ඩුවක් විසින් රටේ ආර්ථිකය මෙහෙය විය යුතු යැයි සිතන අය යහපාලනය යනු නීතියේ රීතියට ඉඩ දීම බව විචාරා බලන්නට කිසිත් උත්සාහයක් නොගනිති.

ෆ්‍රෙඩ්රික් හයෙක් ලියූ දාසභාවයට යන පාර (1944) ග්‍රන්ථය ඇසුරිනි. ඒ පොත ගැන කළින් ලියූ සටහන මෙතැනින්.

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. හලෝව් රස්ටා said, on පෙබරවාරි 16, 2015 at 3:11 පෙ.ව.

    අප විවිධ වචන හා නිර්වචන තුළින් අර්ථ දැක්වුවත් ස්වභාව ධර්මයේ නියාමයන් එකමය. යම් සීමා අපි අතික්‍රමණය කළත් එය ගැඹුරින්ම අතික්‍රමණයන් නොවන්නේ න්‍යෂ්ටික පිපිරීමකින් වන විනාශය එයට සාක්ෂි වශයෙන් ගත හැකි නිසාය. යළි සොයාගැනීම් රටා හදුනා ගැනීම් හැර නිර්වචන තුළත් අර්ථ දැක්වීම් තුළත් වෙනත් සුවිශේෂීතාවයක් නොවේ. නිතීයේ රීතියට ඉඩදීම යනු එක්තරා ආකාරයකින් ස්වභාවික නිදහසට ඉඩදීමයි. ඉදින් ස්වභාවික නිදහසට ඉඩ ලැබෙන්නට නම් මිනිසුන් කොපමණ ස්වාධීන මනසකින් සිටිය යුතුද? දැන දැනම වැරදි අංක අමතමින් නිවැරදි ඇමතුමක් වෙනුවෙන් බලාපොරොත්තු තබන්නේ සිහිය නිවැරදි නොවූ විටයි. හුදු ආර්ථිකය හා භෞතික මානයන් හිසෙහිත් ආගමික හා සංස්කෘතික සීමාවන් හදවතෙහිත් පුරවා ගත් අපේ මිනිසුන් බොහෝකොට එවැනි සීමාවන් හදවතෙහි නැති ඇමරිකානු මිනිසා හා සම නොවේ. එය හදවතෙන් බැහැර ලිය නොහැකි තරමේ බැදියාවක් අපේ මිනිසුන් තුළ වේ. එබැවින් හිසෙහි තිබෙනා භෞතික මාන පද්ධතිය වෙත එකහෙලා කිසියම් අර්ථ දැක්වීම් තුළ පමණක් පිවිසීමට අපට නොහැකිය. අර හදවතේ තෙරපෙන ආගමික සංස්කෘතික සීමාවන් වැරදි තැනින් නිවැරදි තැන දක්වා දියුණු නොවන්නේ ඒවා හුදු ප්‍රතිපත්තිමය දියුණුවකට නොපැමිණි අන්ධානුකරණයන් ලෙසින් බොහ‍ෝකොට පවතින නිසාය. එබැවින් අපේ ජාතීන් විවිධ ලෙස යෙදෙන්නේ රස්තියාදුවකයි. හැමවිට කාලය ධනය ශ්‍රමයට හිමි වන්නේ බහුතර වශයෙන් නිසි වටිනාකම නොවේ. ඒ වටිනාකම යනු ආර්ථික සමාජීය හා සංස්කෘතිමය වශයෙන් ලැබෙන සාධනීය මැනීමකි. නමුත් අපි සරලවම ගැඹුරෙන්ම ඵල නෙලා ගත හැකි බොහෝ සම්පත් අවභාවිත කරමින් ආණ්ඩු හෝ පෞද්ගලික අංශ දෙස බලා හිදින්නේ ආණ්ඩු මෙන්ම පෞද්ගලික අංශත් යුගයෙන් යුගය අපට දායාද කොට ඇති ගැති චින්තනයේ ගිලෙමිනි. ස්වාධීන චින්තනයට අැමරිකන් නොවූ අපේ ක්‍රමයට අපේ මිනිසුන්ගේ හදවතත් හිසත් සකස් වෙන තුරු සැබෑ දියුණුවක් හෝ යහපාලනයේ රීතිය ඔස්සේ ක්‍රියාත්මක සමාජයක් එලි දැකීම සංකල්පයක් පමණක් වනු ඇත.

    • arunishapiro said, on පෙබරවාරි 16, 2015 at 11:15 පෙ.ව.

      හලෝව් රස්ටා,

      ආගමික හා සංස්කෘතික සීමාවන් හදවතේ පුරවා ගෙන ඉන්න මිනිසුන් එහෙම හිටියැයි කියල අනෙක් අයට ඇතිවෙන අමුතු ප්‍රශ්නයක් නැහැ.

      මිනිස්සුන්ගේ හදවත් වල පිරිලා තියන දේවල් මොනවා දැයි කියා සෙවීම නිශ්ඵල වෑයමක්.

      මොන අදහස් වලින් පිරිච්ච අය ද කියලා කිසි සැලකිල්ලක් නැතිව ඕනෑම පිරිසක් වෙනුවෙන් වැඩියෙන් වාසි ලැබෙන නීති සම්පාදනය නිසා හැමෝම බංකොළොත් වෙන බව කියා දුන්නම ඇති.

      ඇමෙරිකන් අයට තියෙන මොළේට වැඩි වෙනස් විදියකට ලංකාවේ අයගෙ මොළය නිර්මාණය වෙලා නැහැ. මොළේ පාවිච්චියට ගන්න හැකි විචාරා බැලිය යුතු අදහස් හිඟයක් ලංකාවේ තියෙනවා පමණයි.

  2. හලෝව් රස්ටා said, on පෙබරවාරි 18, 2015 at 6:06 පෙ.ව.

    ආගමික සංස්කෘතික සීමාවන් හදවතේ පුරවාගෙන ඉන්නවා නොවෙයි. පරම්පරාවෙන් පරම්පරාවට ගලා යනවා, ඇමරිකා‍වේ මා දන්නේ නෑ.. ලංකාවේ තවමත් ටිකක් හරි ඒ දේ තියෙනවා.. ඒකෙන් අනිත් අයට ‍නොවේ, තමන්ගෙන් තමා ප්‍රශ්න ඇතිවෙන්නේ. මොකද ඒ ගලායාම තුළ හොද වගේම නොහොදත් ඇති නිසා. මේහේ අාගම දමහ විතරක් නොවෙයි, බොහෝ කොට දේශපාලනයත් පරම්පරා උරුමයක්. ඉතින් එවැනි උරුමයන්ට කරගැහීම පිළිබද තමන්ගෙ මනස නිරවුල් නොවුනම ඒක අනිත් සමාජයකට වෙන බලපෑමක් දක්වා ගමන් කරනවා. ආගමික සංස්කෘතික හරි වෙනයමහ් දේවල් හරි හදවතේ පැළපදියම්ව තිබී නිරවුල් බවෙන් තොරව සමාජයට මුදා හැරුනම ඒක සමාජයට බලපෑමක් කළ හැකි දෙයක්, හොද හෝ නරක වශයෙන්. පහුගිය කාලෙම රටේ පැවතුනෙත් එහි දිගුවක් තමා.

    මිනිස්සුන්ගේ හදවතේ පිරිලා තියනෙ දේවල් අපි හොයන්න නොගියත් ඒව නිසා සමාජයකට ඇතිවන බලපෑම මෙහේ නොසළකා හරින්න බෑ, ඔහේ කොහෙම වෙතත්. එය තමා අපි අකමැති වුවත් අපේ සමාජයේ ස්වභාවය තවමත්. විටින් විට අදටත් අප සමාජයේ එළිදකින්නේ එබදු දේවල් තුළින් මතුවුනු කාරණා. පහුගිය කාලෙ මෙහේ දේශපාලනයේ ගමන් මග වුනේ ඒ ආකාරයට නොවේද?

    තමන් දන්නා නිවැරදි දෙය කියා දීමේ ගැටළුවක් නැහැ.

    මොළේ නිර්මාණය වෙලා තියෙන විදිහේ වෙනසක් නොවුනත්, අනිච්ඡානුග ක්‍රියා හැරුනම අනෙක් දේවල් ක්‍රියාත්මක වෙන්න මොළය පමණක් තිබුනට ප්‍රමාණවත් නැහැනේ. ඒ මොළයට අදහස් පහළවෙන හැටි ගැනත් අපි ජීවත් වන පරිසරයත් නොසළකා හරින්න බෑනේ. අදහස් තිබුනත් ඒවා හරි විදිහට විචාරය කරගත්තත් ඒ විචාරයන් මේ සමාජයේ ඉස්මතු වෙනවා අඩුයි, ඒකට හේතුත් තියෙනවා. ප්‍රධාන එකක් තමයි අපේ ක්‍රමයක් අපට නැතිවීම. බටහිර අධ්‍යාපන ක්‍රමවල විචාර විමංසන නිකම් දත්ත හා තොරතුර විතරක් වෙලා, එතැනින් ප්‍රායොගිකත්වටය අපිට පෙළඹුමක් ඇති වෙන්නේ නෑ. එනිසා අපේ ක්‍රමයට නොගැලපෙන විචාර අපේ මිනිස්සුන් බහුතරයකට ගැඹුරින් ග්‍රහණය වන්නේ අඩුවෙන්.
    හදවතේ භාෂෘව මව් භාෂාව වන්නේ යම් සේද අපට තවමත් අනෙකුත් භාෂා හදවතේ භාෂා වෙන්න‍ේ නැත්තේ යම්සේද ඒවා නොසළකා මොළය පමණක් තනිව ක්‍රියා කරනවා කියා හිතීම ආසන්න අගයට වටයලා ගණන් හැදීමක් පමණයි.
    අපේ හැම ක්ෂේත්‍රයකම ඉන්නා බහුතර පණ්ඩිතයන් නොදනිකා අතිශය වැදගත් සුළු හා සරල කරුණු මේවා තමා. නමුත් අතිශ්‍ය උගතුන්ට මේවා හිස් අදහස් පමණක් වීම අපේ ඛේදයක්.

    • arunishapiro said, on පෙබරවාරි 18, 2015 at 8:20 පෙ.ව.

      හලෝව් රස්ටා,

      කිසිවෙකුටත් විශේෂ වරප්‍රසාද නොහිමිවෙන රටේ නීතිය වනාහි අනිකාට ශාරීරික හිරිහැර නොකිරීම වෙද්දී, එය හැමෝම දන්නා නීතියක් වෙද්දී, එය කඩකරන්නෙකුට හිමිවෙන දඬුවම් මොනවා දැයි හැමෝම දන්නා වූවක් ද වෙද්දී, එක් පුද්ගලයෙකුගේ හදවත පිරී ඇත්තේ හෝ යම් සමාජයේ ජන කොට්ඨාශයකගේ හදවත් පිරී ඇත්තේ මොනවායින්ද යන්න වැදගත් නැහැ.

      කෙනෙකුගේ හදවත මා අකමැති යම් අදහසකින් පිරැණ නිසා මට රිදෙනවා කියල ඒක නවත්වන්න නීතියක් හෝ එය කඩ කළා යැයි කියා දඬුවමක් හදන්න බැහැ.

      සමහර අය හිතෙන දේවල් කියනවා. ඒත් හිත රිදෙන වදන් කිව්වා කියලා ද එය නවත්වන්න නීතියක් හෝ මගේ හිත රිදිච්ච නිසා ඒ හිත රිද්දවපු එක්කෙනාට දඬුවම් කළ යුතු යැයි දඬුවම් පනවන්න ද බැහැ.

      ඇයි බැරි? ඒ ඒ අයගේ හිත් රිදෙන්නේ ඒ ඒ කතා වලින්. ආගමික භක්තිකයෙකුට එයා අදහන ආගම හෑල්ලු කළොත් හිත රිදෙන්න පුළුවන්. යම් ජාතිවාදියෙකුට එයාගෙ ජාතියට ගරහද්දී හිත රිදෙන්න පුළුවන්. ධනවාදියාට සමාජවාදියා කියන කතා වලින් හිත රිදෙන්න පුළුවන්. සමාජවාදියට ධනවාදියා කියන කතා වලින් හිත රිදෙන්න පුළුවන්.

      හිත රිද්දුවා කියල දඬුවම් කරන්න පුළුවන් නම්, එකිනෙකාගේ හිත් රිදවන අය අතරේ කවුරැ වැරදි ද කවුරැ හරි ද තීරණය කරන බලය එවිට පැවරෙන්නේ නීති හදන අයට.

      ඒ නීති හදන්න ඔවුන් යොදා ගන්න පදනම කාගේ දැක්ම ද?

      ඔබේ හිත රිදවන අයගේ දැක්ම අනුව රටේ නීති හැදුනොත් එවැනි රටක වාසය ඔබට ප්‍රිය වේවි ද?

      තමන්ගේ හිත යම් අදහස් වලින් පිරිලා තියෙන නිසා අනෙකෙකුට ශාරීරික හිරිහැර කිරීම ඊට වෙනස්.

      එතැන දී වරදකරැවෙක් වෙන්නේ හෝ දඬුවම් ලැබෙන්නේ එයාගෙ හිත පිරිලා තියෙන අදහස් වලට නෙමෙයි, එයා කරන ලද ශාරීරික හිරිහැරයට. මොකද රටේ නීතියෙන් කුමන අදහස් වලින් හිත පිරිලා තිබ්බත් අනෙකෙකුට ශාරීරික හානියක් කිරීම වරදක් යැයි හැමෝටම යුක්තිය සහ සාධාරණය ඉටු කරන නීතියක් ඇති නිසා.

      • ඔබේත් මගේත් හිත රිදුනත් යුක්තිය සාධාරණව ඉටුවන නීතියේ පදනම හමුවන දැක්ම එන්න‍ේ ආර්ථිකය ඔස්සේ බැලීමෙන්ද? සමාජීය වශයෙන් බැලීමෙන්ද? කුමන මානයක් ඔස්සේ මෙහෙයවීමෙන්ද? කුමන නිදහසක් තුළද?

        • arunishapiro said, on පෙබරවාරි 19, 2015 at 8:27 පෙ.ව.

          ශුද්ධ වූ රස්තියාදුව,

          ඊ ළඟ සටහන කියවන්න. සමාජයක් හැදෙන්නෙ ඒ ඒ මිනිසා වෙතින්. ඒ ඒ මිනිසා සැලකිල්ලට ගැනීම බැහැර ලා සමාජයක් ගැන කතා කරන්න බැහැ.

          • අප මිනිසා මුල් කරගෙන ධන වස්තු නිෂ්පාදනය කරනවාද? ධන වස්තු නිෂ්පාදනයන් මිනිසා හා ගලපනවාද? වඩා වටින්නේ ධනවස්තුද? මිනිසාද? සත්ව ක්ලෝන ධන වස්තූන්ද? ම‍ගේ ක්ලෝනයක් ඔබගේ ක්ලෝනයක් හෝ තවත් මිනිසෙකුගේ ක්ලෝනයක් නිපදවීමත් එසේමද?

            • arunishapiro said, on පෙබරවාරි 20, 2015 at 4:54 ප.ව.

              ශුද්ධ වූ රස්තියාදුව,

              මිනිහෙක් නැත්නම් ඕවා ගැන කතා කරන්නෙ කවුද?!!!!!

              • එවිට ඕවා කතාකරන මිනිසාගේ ස්වංපාලිත ජීවිතය මගින් ධන වස්තු නිෂ්පාදනය පාලනය වීම වඩා හොද ක්‍රමයක් වේවිද? හැම සබදතාවක්ම ධන වස්තු නිෂ්පාදනයක් දක්වා ගමන් කිරීම උචියාගේ උන්නතියක්ද?

                • arunishapiro said, on පෙබරවාරි 26, 2015 at 8:44 පෙ.ව.

                  ශුද්ධ වූ රස්තියාදුව,

                  වහලෙක් සේ කඹුරනවාට වඩා නිදහස් මිනිසෙක් සේ වෙහෙසීම වඩා හොඳ ක්‍රමයකි.

                  හැම සබඳතාවයක්ම ධන වස්තු නිෂ්පාදනයක් දක්වා ගමන් කරන්නක් නොවන්නේ මේ ක්‍රමය තුල දී ම පමණයි. මෙම ක්‍රමයේ දී අයෙකුට නිෂ්පාදනයට සහභාගී නොවී ඉන්නට, වනගත වී තපස් රකින්නට, හිඟන්නෙක් වෙන්නට, නිකමෙක් වෙන්නට, රස්තියාදුකාරයෙක් වෙන්නට නිදහස ඇත!!!

                  • එය නිදහසක්ද? හැම සබදතාවක්ම ධන වස්තු නිෂ්පාදනයක් දක්වා ගමන් කිරීමේ අතුරුඵලයක්ද?

                    • arunishapiro said, on පෙබරවාරි 26, 2015 at 10:08 පෙ.ව.

                      ශුද්ධ වූ රස්තියාදුව,

                      ඔබ අවබෝධයට කිසිත් උත්සාහයක් නොගෙන හැමදාම වටේ දුවන බවක් පෙනෙනවා. මේවා කියවන්න ඇවිත් ප්‍රශ්න අහනවා නම් අඩුගානේ අවබෝධයක් ලබන්න සුළු හෝ උත්සාහයක් ගන්න. එතකොට එකම ප්‍රශ්න විවිධාකාරයෙන් අහමින් ඒවාට දෙන උත්තර ප්‍රතික්ෂේප කරමින් වටේ දුවන එක නතර වේවි.

                      මිනිසා යනු පවතින තත්වය දොම්නස් නම් එය වෙනස් කරගන්නට උත්සාහයක් නිතැතින්ම ගන්නෙකි. පවතින තත්වය සතුටුදායක වූ විට ද ඊටත් වඩා සතුටුදායක තත්වයක් සොයා යන්නෙකි.

                      මිනිසාගේ උත්සාහයන් ධන වස්තු නිෂ්පාදනය හා බැඳී පැවතිය හෝ නොපැවතිය හැකියි. තමන් විසින් උපයා ගන්නට වෙහෙසෙන අය මෙන්ම අනුන් දෙන දෙයක් කා ජීවත්වෙන්නට කැමති අය ඕනෑ තරම් සිටිති.

                      ධන වස්තු නිෂ්පාදනයට සෑම මිනිසෙක්ම උත්සාහයක් නොගන්නා නිසා මිනිසාගේ හැම සබඳතාවයක්ම ධන වස්තු නිෂ්පාදනයක් දක්වා ගමන් කිරීමේ අතුරැඵලයක් නොවේ. ගහේ හැදෙන ගෙඩි කා ගඟේ වතුර බී අව්වේ වැස්සේ තෙමී රෝගයක් වැළඳ කෙටි ජීවිතයක් ගෙවා මිය යෑම තෝරාගන්නට මිනිසාට හැකියාව ඇත!!! ඒ අයට ධනය ඉපැයීමට වඩා එසේ මිය ගියක් ඒ වෑයම ධනය ඉපැයීමට වඩා වැඩියෙන් සතුටක් ගෙන දේවි යැයි අපේක්ෂාවයි. කැමති නම් කියවන්න, ක්‍රිස්ටෝෆර් මැකැන්ඩ්ල්ස් ගැන. නිදහස යනු මෝඩයෙක් වෙන්නට ද නිදහසක් තිබීමයි.

                      අයෙක් විවාහ නොවී තව වැඩියෙන් මුදල් හම්බ කරන්න හැකියාව තිබෙද්දී තමන් හම්බ කරපු මුදල් වියදම් කරන සහකරැවෙක් යැයි දැන දැනත් එයා හා විවාහ වෙයි. ඒ මිනිසාට පවතින තත්වයට වඩා විවාහයෙන් වැඩි සතුටක් ලැබේ යැයි අපේක්ෂාවක් ඇත. මිනිසාගේ අපේක්ෂාව සහ එය ඉටුවීම යනු දෙකකි. නමුත් මිනිසා යනු හැම විටම පවතින තත්වයට වඩා වැඩියෙන් හොඳ තත්වයක් අපේක්ෂාවෙන් කටයුතු කරන්නෙකි.

                      නිදහස යනු පවතින තත්වයට වඩා වැඩියෙන් හොඳ යැයි ඔහු සිතන තත්වයක් අපේක්ෂාවෙන් කටයුතු කරන මිනිසාට, ඔහු වෙන කිසිවෙකුට බලහත්කාරකමක් කරන්නේ නැත්නම්, අපේක්ෂාවන් මුදුන් පත් කරගන්නට ගන්නා වෑයමට ඉඩ ඉඩක් තිබීමයි. එය කිසිවෙක් දුන්නක් හෝ ප්‍රදානය කරන ලද ඉඩකඩක් නොවේ. එය අනිවාර්යෙන්ම තිබිය යුත්තකි.

  3. ප්‍රශ්න අැසීම මගින් අවබෝධය පුළුල් කරගැනීමටයි අදහස් කළේ. වටේ ගොස් බැලිය යුතු දේවල් එක තැන ඉදන් නිරීක්ෂණයෙන් බොහෝ දේ මගහැරෙනවා යැයි මා සිතනවා. අතිශයින්ම ස්තූතියි මේ තාක් පිළිතුරු දුන්නාට.

    • arunishapiro said, on පෙබරවාරි 27, 2015 at 10:01 පෙ.ව.

      ශුද්ධ වූ රස්තියාදුව,

      ඒත් කේන්ද්‍රය මැදට ඇවිත් බැලුවාම වටේ තියෙන දේවල් වැඩි පහසුවකින් වටහා ගත හැකි නම් එහෙම නොකර කොච්චර කාලයක් ගෙවී යන තෙක් වටේ දුවන්න අවශ්‍ය වෙයි ද!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: