අරුණි ශපීරෝ‍ වෙතින්

පාර්ලිමේන්තුවට ද උගතුන් අවශ්‍ය?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 24, 2015

උගතුන් පිරි නව පාර්ලිමේන්තුවක් හදන උත්සාහයක් ඒ ෆේස්බුක් කල්ලියෙන් ඇරඹී ඇත.

උගතුන් යනු කවුද?

පැරණි සමාජවල යම් කර්මාන්තයකට අදාල ගැටළුවක්, සමාජ අරගලයක්, වෛද්‍ය පිහිටක්, අධ්‍යාත්මික සහනයක් ලබාගන්නට හැකියාව ලැබේ යැයි කියා ඒවාට මුහුණ දුන් අය විසින් සොයා ගිය සුවිශේෂී පිරිසක් වූහ. ඔවුන් සමාජයේ අනෙකුත් අයට වැඩියෙන්, හොඳින්, උදව් ඉල්ලා එන අය හමුවේ පවතින තත්වයට වැඩියෙන් සුවදායක යහපත් තත්වයක් කරා යන්නට අවවාද අනුශාසනා දිය හැකියවුන් වූහ. ඔව්හු ප්‍රතිඵල ගෙන දීමට සමත් අයයි.

මේ අයව අනතුරැව සමාජ නායකයන් බවට ජනතාව විසින් පත්කර ගත්හ.

මොවුන් අතරින් එක් අයෙක් බලය තමන් අතට ගැනීම නිසා රජ පරම්පරාවල් හැදී අනුන්ට අවවාද අනුශාසනා පමණක් කරන අයගේ වගකීමට වැඩියෙන් බලයක්, එනම් තමන් වෙතින් අවවාද අනුශාසනා ඉල්ලන්නට එන්නේ නැති අයගේ ජීවිත වලට බලපෑම් එල්ල කරත හැකි බලයක් අනතුරැව රටේ පාලකයන් යැයි කියාගත්තවුන්ට ලැබිණ.

රාජ්‍යයන් හි සම්භව්‍ය සිද්ධ වූයේ කෙසේද යන්න ගැන න්‍යායයන් දෙකකි. එකක් ෆ්‍රාන්ස් ඕපන්හයිමර්, ඇල්බට් ජේ නොක් වැනි අය විසින් ගෙනෙන හමුදා මෙහෙයුමකින් කල්ලියක් විසින් තව කල්ලියක් පරාජයට කරන්නට සමත් වීම දක්වයි. හරියට විජය කුමාරයා ඇවිත් යක්ෂ, නාග කල්ලි පරදවා ලක්දිවේ පාලන බලය අල්ලා ගත්තා හා සමානයි. මෙය රාජ්‍යයක බහිර්ජන්‍ය සම්භව්‍යය පිළිබඳ න්‍යායයි (theory of the exogenous origin of the state).

විල්හෙල්ම් මුඋල්මාන් (Wilhelm Muelmann) වැනි මානවවේදීන් සහ මානව විද්‍යාඥයන් මේ පළමු න්‍යාය විවේචනයට භාජනය කරති. පිටතින් පැමිණි හමුදාවක් කරන ලද ආක්‍රමණයෙන් සියළු රාජ්‍යයන් බිහි වූයේ නැතැයි ඔවුන් පෙන්වති. ඔවුන් පෙන්වා දෙන්නේ කෘෂිකර්මයේ නියැළුන ගොවියන් අතරට පැමිණ සංචාරක/එඬේර පිරිස් ආක්‍රමණයෙන් බලය අල්ලා ගත්තේ නැති බවයි.

හමුදා ආක්‍රමණයක් සිද්ධ වූවා යැයි පළමු කට්ටිය විසින් සලකද්දී ඒ දේශයේ රාජ්‍යයක් හැටියට සංවිධානය වී තිබුණු පාලන පද්ධතියක් තිබූ බවක් හැඟවේ. එනම් රාජ්‍යයක බහිර්ජන්‍ය සම්භවයට අනිවාර්යෙන්ම අන්තෝජනන (endogenous) රාජ්‍යයක් තිබුණා යැයි විශ්වාසයක් ද අවශ්‍යයයි.

එවැනි න්‍යයායක් ඉදිරිපත් කර ඇත්තේ බර්ට්‍රන්ඩ් ඩ ජුවෙනාල් විසිනි. ඔහුගේ දැක්මට අනුව රාජ්‍යයක් යනු එහි ස්වභාවයෙන්ම විසූ එලීට්ස්ලාගේ (elites) ප්‍රසරණයයි.

මුල් සමාජයන් හි විසූ පුද්ගලික දේපල (ගල් පතුර, පිහිය) අයිතිකරැවන් අතර එකිනෙකා කැමැත්තෙන් කරන ලද ගණුදෙනු සමහිමිකම්වාදී නොවීය. එය එලීටිස්ට් ස්වභාවයකින් යුතු විය. ධූරාවලියක් අනුව සැකසුණකි. සෑම සමාජයකම ස්වභාවයෙන් පිහිටන ලද කුසලතාවය නිසා කිහිප දෙනෙක් එලීට් යන සමාජ තත්වයෙන් පිදුම් ලදහ. එය ශාරීරික ශක්තියක්, ධනවස්තු එකතු කරගන්නට සමත් වීමක් හෝ ප්‍රඥාව පෙන්වන්නට හැකියාවක් ලැබීම හෝ නිර්භීතකම නිතර පාහේ විදහා දක්වන්නට හැකියාවක් තිබීම යනාදියෙන් යුතු වූවකි.

මේ අයට ස්වභාවයෙන්ම අධිකාරි බලයක් ලැබිණ. ඔවුන්ගේ මත සහ විනිශ්චයන් ජනතාව අතර ප්‍රසාදයට සහ ගෞරවයට ලක්විණ.

එමෙන්ම, විවාහ වෙන්නට හා දරුවන් හදන්නට යද්දී කරන ලද තෝරාගැනීම් නිසාත් නීතිමය, සිවිල් හා ජානමය උරැමයන් නිසාත් මේ ස්වභාවයෙන්ම අධිකාරියක් හිමිකරගන්නට සමත් වූවන් සමාජයේ ප්‍රභූ පවුල් කිහිපයකට සීමා වෙන්නට ද පටන් ගැනිණ.

ඉතින් සමාජයේ මිනිසුන් අතර ආරවුල් හට ගනිද්දී, ඔවුන් පැමිණිලි වලටත් ආරවුල් සමාදානයටත් සොයා ගියේ සුපිරි දක්ෂතා සතු වූ ද, දූර්දර්ශී වූ ද, ආදර්ශවත් ජීවිත ගෙවන ලද මේ පාරම්පරිකව ඊට සුදුස්සෝ යැයි සැලකෙන පවුල් වෙතටයි. මේ පවුල්වල මූලිකයන් ආරවුල් විසඳත හැකි ඒ දැනුම සඳහා මිලක් නියම නොකළහ. සිවිල් යුක්තිය පසඳාලන වගකීමක් තමන් සතුව ඇතැයි හැඟීමෙන් එය සැබැවින්ම ජනතාවගේ යහපත උදෙසා කරන ලද මහජන සේවයකි.

විනිසුරැවාගේ සහ සාමය රකින්නාගේ භූමිකාව සමාජයක ඒකාධිකරයක් බවට පත්වෙන පියවරයන් සියල්ල එකින් එක කුඩාවට හටගෙන ඒත් තීරණාත්මක ලෙස පැතිර යන ලද ඒවායි.

එය සිද්ධ වූයේ කැමැත්තෙන් අනුන් වෙනුවෙන් මැදිහත්වෙන වගකීම් බාරගත් අය අතරින් එක් එලීට් අයෙක් විසින් පවුලේ අනිත් එලීට් අයගේ කැමැත්ත අකමැත්ත නොසලකා හරිමින්, තමන් ඉදිරියට සියළු වියවුල් හා පැමිණිලි ගෙනෙන්න යැයි කියා යම් භූමි ප්‍රදේශයක බලය අල්ලා ගැනීමේ දී ය.

මෙතැන් සිට සමාජයේ වැසියන්ට තමන්ගේ ආරවුල් සමනයට හා උපදෙස් සඳහා කුමන විනිසුරැවෙක් වෙත යන්නේ දැයි කළ හැකි තෝරාගැනීම අහිමි විය.

රාජ්‍යයේ (state) ප්‍රභවය ස්වභාවික එලීට් අයගේ ධූරාවලියක් තුලින් බිහිවූවකි. එසේ බලන්නට පටන් ගනිද්දී මිනිස් වර්ගයා සිය ඉතිහාසයේ බහුතර කාලයක් රාජාණ්ඩු වලට යටත් වී සිටියේ කෙසේදැයි කියා පැහැදිලි වෙයි.

රෝමයේ ක්‍රි. පූ. 31 හි ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය, වෙනිස්, පුනරැද යුගයේ ෆ්ලොරන්ස් සහ ජිනොවා හි එක්සත් පළාත්, 1291 සිට පැවත එන ස්විස් කැන්ටන්ස්, නෙදර්ලන්තයේ 1648 සිට 1673 දක්වා වූ එක්සත් පළාත්, ක්‍රොම්වෙල් යටතේ එංගලන්තය වැනි ඵෛතිහාසික අවස්ථාවන් මීට ව්‍යතිරේක වශයෙන් දකින්නට හැකියි. එහෙත් ඒ කිසිවක් වර්තමානයේ පවතින, එක මිනිසෙකුට එක චන්දයක් හිමිවෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හැටියට සැලකිය නොහැකියි. ඒවා ඉතා එලීටිස්ට් මට්ටමකින් පවතින ලද ක්‍රම වූහ. උදාහරණයක් වශයෙන්, ඇතැස්න්ස් හි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාබහේ දී බහුතරයක් නොසලකා හරින්නේ එහි පාලන බලයට හිමිකම් කියත හැකියාව තිබුණේ ජනගහණයෙන් 5% කට බවත් එහි චන්දය ප්‍රකාශයට අවසර ලැබුනේ ජනගහණයෙන් 5% කට බවත් ය.

මිනිස් වර්ගයා පැරණි රාජාණ්ඩු යුගය සත්‍යයෙන්ම අත්හැරියේ පළමු ලෝක යුද්ධය අවසන දී පටන් පමණයි.

ස්වභාවික එලීට් අය අතරින් එහි එක් සාමාජිකයෙක් විනිසුරු සහ සාමදාන කටයුතු තම අධිකාරිය කරගන්නට සමත් වූ තැන් පටන්, නීතිය සහ නීතිය ක්‍රියාත්මක කිරීම යන දෙකේම වැය ඉහළ ගියේය.

නොමිලේ සපයන ලද හෝ කැමැත්තෙන් දෙන ගෙවීමක් වෙනුවෙන් ඉටු කරන ලද සේවයක් ඉන් අනතුරුව අනිවාර්යෙන්ම ගෙවිය යුතු වූ බද්දක් හැටියට පැනවිණ.

එමෙන්ම එතැන් පටන් නීතියේ ප්‍රමිතිය පහළ බැස්සේය.

තම සේවාදායකයන් විසින් ඔවුනට දුන් විසඳුම් දෝෂ සහගතැයි කියා හෝ තීරණ පක්ෂපාතී වූවා කියා වෙන විනිසුරැවෙක් සොයා යතැයි කියා ඒකාධිකරයක් සතු විනිසුරැවාට බියක් නොවීය. ඉතින් ඵෛතිහාසික වූ පුද්ගලික දේපල නීති පිළිගන්නවා වෙනුවට, යුක්තිය පිළිබඳ වූ සර්ව සහ වෙනස් කළ නොහැකි මූලධර්මයන් යොදා ගන්නවා වෙනුවට ඔහුට හිතුමතයේ නීති හදන අවකාශයක් ලැබිණ.

රජෙක් විසින් නීතිය හා සාමය ඒකාධිකාරයකින් තමන් යටතට ගත් මේ කුඩා පියවරේ පටන් ස්වභාවික එලීට් පිරිස් හි අනෙකුත් සාමාජිකයන් එයට විරෝධය පාන්නට ද පටන් ගති. ඉතින් තමන්ගේම එලීට් පිරිස් අතරින් එල්ල වෙන විරෝධය නිසා තමයි රජවරුන් විසින් “ජනතාව” නැත්නම් “සාමාන්‍ය මිනිසා” යනුවෙන් හඳුන්වන පිරිස් හා එකමුතු වෙන්නේ.

ඊර්ෂ්‍යාව (envy) යන ජනප්‍රිය මනෝභාවයට ඉඩ දෙමින් රජවරැන් විසින් ජනතාව වෙනුවෙන් තවත් අඩුවට තවත් හොඳින් යුක්තිය පසඳාලන්නට හැකියාව ඇතැයි පොරොන්දු වෙති. ඊට අවශ්‍ය බදු ද තමන්ගේ එදිරිවාදීන්ට වැඩියෙන් තමන් අඩු කරනවා යැයි පොරොන්දු වෙති. පාලකයන්ගේ තරඟකරැවන් වෙන්නේ අනිකුත් පාලන බලය අල්ලා ගන්නට හදන අයයි. පාලකයන් තම සහාය පිණිස එකතු කරගන්නේ විද්වතුන් (intellectuals) කියාගන්නා කොට්ඨාශයයි.

(ඉතිරි ඒ කොටස ඊ ළඟට)

2001 දී හාන්ස්-හර්මන් හොප විසින් ලියන ලද “ප්‍රජාතන්ත්‍රවාදය, අසාර්ථක වූ දෙවියන්,” යන පොත ඇසුරිනි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. සාරිකා විචාරනී said, on පෙබරවාරි 26, 2015 at 7:35 පෙ.ව.

    උගතුන් යනුවෙන් නිර්වචනය කළහැක්කේ “මිනිසුන්“ නම් එැවනි අයයි පාර්ලිමේන්තුවකට අවශ්‍ය වන්නේ. පොදුවේ උගතුන් අතර නූගතුන් කියන පිරිසට වඩා දරුනු අය සූක්ෂ්ම හොරු සහ තක්කඩි ඒන තරම් ඉන්නවා . ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේමත් එහෙම නේද අරුණි

    • arunishapiro said, on පෙබරවාරි 26, 2015 at 8:29 පෙ.ව.

      සාරිකා විචාරනී,

      ‘මිනිසුන්’ නම් අනිත් මිනිසුන්ගේ නිදහස කප්පාදු කරන නීති සම්පාදනයට පාර්ලිමේන්තුවකට යන්න උත්සාහ කරන්නේ නෑ! ඔවුන් අනිත් මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරගැනීම පිණිස ඔවුන් කැමැත්තෙන් කරන තෝරාගැනීම් තව තවත් වැඩි කරන්න දිවා රෑ වෙහෙසෙනවා පමණයි.

      මේ උගතුන් පිරි පාර්ලිමේන්තුවක් හදන්න වෑයම ගන්න අයගේ දැක්ම අනුව, අද නීති සම්පාදනයට පත්වෙලා ඉන්නෙ මෝඩයන්, අමනයින්, සල්ලාලයින්, කුඩු කාරයින් යන මෙකී නොකී සියළු වර්ග වලට අයත් පාදඩයින්ලු.

      ඔවුන්ගේ වෑයම ඒ අයව පලවා හැර උගතුන්, බුද්ධිමතුන් සහ සමාජ විශ්ලේෂකයන්ට පාර්ලිමේන්තුවට වරම් ලබා දීමලු.

      කාගේ දැක්මට අනුව ද උගතෙක් හෝ බුද්ධිමතෙක් කවුදැයි කියා තීරණය කරන්නෙ? නිදහස් යැයි කියුවත් නිදහස් නොවන නොමිලේ බෙදූ අධ්‍යාපනයෙන් පෝෂණය වෙලා උපාධි සහතිකයක් ලැබූ අයෙක් උගතෙක් හෝ බුද්ධිමතෙක් යැයි කියා පිළිගන්නවා ද? උගත් හා බුද්ධිමත් නම් ඇයි හැමදාම උපාධිධාරීන් මුහුණ දෙන රැකියා හිඟයට පිළියමක් වශයෙන් රජයේ සේවයට ඔවුන් බඳවා ගන්නට සිද්ධ වෙන්නෙ?

      කාල් මාක්ස් සහ ලුඩ්විග් වොන් මීසස් යන දෙදෙනාම පැහැදිලි ප්‍රතිවිරැද්ධ අදහස් ඇති සමාජ විශ්ලේෂකයන්. ලංකාවේ අය බහුතරය අසා ඇත්තේ කාල් මාක්ස් ගැන පමණයි. මීසස් යන නම ඇහෙන්නෙ මගේ බ්ලොගයෙන් සහ රන්දොර වෙබ් අඩවියෙන් පමණයි දැනට සිංහලෙන්. ඉතින් එක චන්දයක් ඇති එක මිනිසෙක් බැගින් ඉන්න රටේ නීති සම්පාදනයට සමාජ විශ්ලේෂකයෙක් තෝරා පත් කරගනිද්දී, ඒ හැම චන්දදායකයාටම මාක්ස් සහ මීසස් අතර තෝරාගැනීමක් ඇතැයි කියා දෙන්නේ කවුද? එහෙම තෝරා ගැනීමක් ඇති බව පැහැදිලි නොකර අපි සමාජ විශ්ලේෂකයන් රටේ පාර්ලිමේන්තුවට යවමු කීම දෝෂ සහගත නොවේ ද?

      “පොදුවේ උගතුන්” යැයි ඔබ අදහස් කරන්නේ නොමිලේ බෙදන ලද නිදහස් නොවූ අධ්‍යාපනයෙන් සහතික ලැබූ අය නම් ඔව් එසේය, ඔවුන් අතර නූගතුන් කියන පිරිසට වඩා දරැණු අය ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හැම තැනම සිටිති.

      එහෙත් උගතුන් කියන්නේ සැබෑ උගතුන් නම්, ලෝකය සත්‍යයෙන් වැඩ කරන්නේ කෙසේදැයි කියා සමාජ විශ්ලේෂකයන් ඉදිරිපත් කරන ලද දෙපැත්තේම අදහස් විමසා බලන්නට ඉදිරිපත් වූ අය, එවැනි අය අතර නූගතුන්ට වඩා දරැණු අය කිසිවෙක් නැත. ඔවුන් සාමාන්‍ය මිනිසාටත් වැඩියෙන් ආචාර ධාර්මික අයයි.

      සැබෑ උගතෙක් කිසිම විටෙක තවකෙකුට හිංසනයක් නොකරද්දී මිනිසුන්ගේ (මෝඩයන්, අමනයින්, සල්ලාලයින්, කුඩු කාරයින් යන මෙකී නොකී සියළු වර්ග වලට අයත් පාදඩයින් පවා ඇතුළුව) තෝරා ගැනීමට ඇති නිදහස කප්පාදු කරමින් අනුන්ට නීති සම්පාදනය හොඳ යැයි පිළිනොගන්නා අයෙකි. ඔවුන් නිති පෙනී සිටින්නේ සැමට එක සේ බලපාන ස්වභාවික නීති වලට අනුකූලව සම්පාදනය වූ නීති පමණක් ආරක්ෂා කර ගැනීමටයි. ඒවා කඩ කරන්නන්ට මරණය නොවන දඬුවම් දීමට පමණි.

      මේක දැම්මට පස්සෙ දැක්ක සැබෑ උගතෙක් විසින් සැබෑ උගතෙක් ගැන ලියපු ෆේස්බුක් සටහනකින් මේ:

      ඇන්ඩර්ස් චයිඩේනියස් (Anders Chydenius) නම් ස්විඩිශ්/ෆිනිෂ් සම්භව්‍ය ලිබරල්වාදියා මෙසේ කියා ඇත:

      සෑම ඒකීය පුද්ගලයෙක්ම ඕපපාතිකව ගන්නේ හුවමාරැවක් හා ඊට තැනක් සොයා ගැනීමයි. නීති ඔහුට බාධක පමුණුවා නැත්නම් එයින් ඔහු ජාතික ධනය වැඩි කරයි.

      එක බලහත්කාරකමක් නිසා තව බලහත්කාරකමක් සිදුවීම අනිවාර්යයි.

      අනෙකුත් අයගේ ශ්‍රමයෙන් සමාජයේ සමහර අයට ජීවත් වෙන්නට හැකියාව ලැබෙද්දී, තම ශ්‍රමයේ ඵලදාව තමන් විසින් භුක්ති විඳින අය අඩු වී යද්දී, උත්සාහයෙන් කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන හැදියාව මරා දමද්දී, ඒවා කරන අය උඬගු වෙති. ඒවාට හසුවෙන අය බලාපොරොත්තු නැති කරගනිති. දෙපැත්තම නොසැලකිලිමත් වෙති.

  2. mppgunasinghe said, on පෙබරවාරි 28, 2015 at 12:16 පෙ.ව.

    සාරිකාගේ පැනයට දී ඇති පිළිතුර ඔබේ ලිපිය වගේම වටිනවා. ඇතැම් විට එය ඊටත් වඩා වටිනා බවක් ද හැඟී යනවා


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: