අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වභාවික එලීට්, විද්වතා සහ ආණ්ඩුව

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 26, 2015

පළමු කොටස මෙතැනින්. එය කියවා නැත්නම් මේ කොටස නිසි ලෙසින් අවබෝධ නොවේවි.

පැරණි සමාජයේ සියල්ලන්ගේම ජීවන මට්ටම් එන්න එන්න ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගියත්, විද්වතෙක් එනම්, අධ්‍යයන කටයුතු සඳහා ජීවිතයෙන් වැඩි හරියක් ගෙවන අයෙක්, සපයන සේවාවන් ලබාගන්නට අවශ්‍ය වූයේ සමාජයේ සුළු පිරිසකට පමණි. එදිනෙදා ජීවිතයේ මුහුණ පාන්නට සිද්ධ වෙන කම්කටොළු සඳහා මේ විද්වත් අයගෙන් උපදෙස් ගැනීමේ අවශ්‍යතාවයක් සමාන්‍ය මිනිසාට නොතිබුණි.

පල්ලි පංසල් සංස්ථාවට හැරෙන්නට, විද්වතුන්ගේ සේවය පැතුවේ කළින් සටහනේ හඳුන්වා දුන් කුසලතා ස්වභාවයෙන්ම පිහිටන ලද ‘ස්වභාවික එලීට්’ අයයි. ඔවුන් තම දරැවන්ට අධ්‍යාපනය ලබාදෙන ගුරැවරැන් වෙන්න යැයි විද්වතුන් වෙතින් ඉල්ලා සිටියහ. තමන්ගේ උපදේශකයන් වෙන්න යැයි, ලේකම් හෝ පුස්තකාල බාරව ඉන්න යැයි, විද්වතුන්ට කීහ.

විද්වතුන්ට රැකියා හිඟ වූ අතර, එලීට් යනු ස්වභාවයෙන්ම අඩු සංඛ්‍යාවක් බැවින්, විද්වතුන්ට ඇති ඉල්ලුම ද අඩු විය. විද්වතුන්ට ගෙවන ලද වේතන අඩු මට්ටමකින් පැවතිණ.

ස්වභාවික එලීට් අතර අයෙක් විද්වතෙක් වූයේ කලාතුරකිනි. ඒකාධිකාරයක් පිහිටුවා ගෙන රජ පරම්පරාවට ඇතුල් වන්නට හැකි නොවූ එලීටිස්ට්ලා කළේ තම සුවිශේෂී කුසලතාවයන් යොදවමින් ව්‍යාපාරයන්හි නියැළීමයි. එලීට් අයගේ බුද්ධි මට්ටම ඔවුන් විසින් පඩි ගෙවමින් සේවය ලබාගත් විද්වතුන් තරමින්ම වූහ. ඒ නිසාම විද්වතුන් සතු බුද්ධි මට්ටම ගැන දත් එලීට් අය විද්වතුන්ට දැක්වූ ගරැසරැව මඳ විය.

විද්වත් යැයි සමාජයේ ගෞරවයක් හිමි වූවත්, ඔවුන් විසින් අධ්‍යාපනය සපයන ස්වභාවික එලීට් අය ඔවුනට වඩා සමාජ තත්වයෙන් ඉහළට යන්නට සමත් වූහ. ඔවුනට වඩා සුඛෝපභෝගී ජීවිත ගෙවන්නට සමත් වූහ. එලීට් පවුල් මත යැපෙමින් ඔවුනට වඩා දුප්පත් ජීවිත ගෙවන විද්වතුන්ට එය නුරැස්සන්නකි.

ඉතින් යුක්තියේ ඒකාධිකාරයක් ගොඩ නඟන්නට හදන රජතුමෙකුට විද්වතුන්ගේ සහාය දිනා ගැනීමට පහසුවෙන් හැකියාව ලැබීම පුදුමයක් නොවේ. රාජාණ්ඩු ක්‍රමයේ පාලනයට දෘෂ්ටිවාදී යුක්තිසහගත බවක් සපයන විද්වතුන්ව රජ වාසලේ උපදේශකයන් හැටියට පත්කර සහ ඇමති පට්ටම් දී සමාජයේ සැලකිල්ලට හා ඉහළ වේතන පිරිනමන්නට රජතුමා සමත් විය. තමන්ට වැඩි ගරැසරැ නොදැක්වූ එලීට් අය වෙතින් තම ජීවිකාව උපයන්නට සිද්ධ වී සිටි විද්වතුන්ට දැන් ඒ අඩුපාඩුව පිරිමසා ගන්නට අවස්ථාව පෑදිණ.

ඒත් විද්වතුන්ගේ තත්වය දියුණු වූයේ සීමාවකට පමණි.

රාජාණ්ඩු ක්‍රමයේ දී පාලකයා සහ පාලිතයා අතර පැහැදිලි වෙනසක් තිබුණි. පාලිතයාට කිසිම අවස්ථාවක පාලකයෙක් විය හැකියාව තිබුනේ නැත. රජතුමාගේ බලය වැඩිවීමට එරෙහිව ස්වභාවික එලීට් අය වෙතින් පමණක් නොව සාමාන්‍ය ජනතාව වෙතින් ද සෑහෙන විරෝධයක් එල්ල වුණි. ඒ නිසා රජෙකුට බදු ඉහළ දැමීම පහසුවෙන් කළ හැකි කාර්යයක් නොවීය. විද්වතුන්ට කළ හැකි රැකියාවන් තවමත් සීමිත වූහ.

රජතුමා ස්ථාවර ලෙස බලය අල්ලා ගෙන සිටිද්දී, ස්වභාවික එලීට් අය විසින් සලකන ලද ආකාරයට රජු ද විද්වතුන්ට සලකන්නට විය. ස්වභාවික එලීට් අයට වඩා වැඩි භූමි ප්‍රමාණයක බලය රජුට හිමිව තිබිණ. එනිසා රාජ්‍ය අනුග්‍රහය අහිමි වෙන තැනට කටයුතු කරන්නට විද්වතුන්ට ඇති ඉඩකඩ ද සීමාසහිත සහ අවදානම් විය.

19 වැනි සියවස දක්වා විද්වත් යැයි සැලකෙන ශේක්ස්පියර් සිට ගර්තෙ දක්වා, ඩෙකාට් සිට ලොක් දක්වා, මාක්ස් සිට ස්පෙන්සර් දක්වා සියල්ලන් වෙතින් දැකිය හැකි ලක්ෂණය වනුයේ ඔවුන්ගේ නිර්මාණ සියල්ල පුද්ගලික දානපතියන්, ස්වභාවික එලීට් අය, රජ හා රජ පවුලේ අය විසින් අනුග්‍රහය දක්වන ලද ඒවා බවයි.

ඒ අයගේ අනුග්‍රහයන් තව දුරටත් නොලැබී යද්දී ඒ විද්වතුන් රස්සා වෙනස් කළහ. වෙන පළාත් වලට පදිංචියට ගියහ. උපන් ගම් බිම් හැර දා යද්දී මුදල් අගහිඟකම් වලට මුහුණ දෙන්නට ඔවුනට සිද්ධ වූවත් එහෙත් එයින් විවිධ ජාතික විද්වතුන් බිහි වූහ. විවිධ භාෂාවන් ගැන දැනුම ඔවුන් අතර දියුණු විය. එක දානපතියෙක් හෝ අනුග්‍රාහයෙක් නැති වෙද්දී තවත් දානපතියෙක් හෝ අන්‍රගාහකයෙක් සොයා ගත හැකියාව පාදා ගන්නට සංක්‍රමණයෙන් විද්වතුන්ට අවස්ථාව පෑදිණ.

ස්වභාවික එලීට් අයගේ ශක්තිය දැඩිව පවතිද්දී සහ මධ්‍යම ආණ්ඩුව හෝ රජුගේ තත්වය දුර්වල ව පවතිද්දී විද්වත් අයගේ නිදහස වැඩියෙන්ම දකින්නට ලැබේ. එවැනි කාල වකවාණු තුල දී විද්වත් උත්සාහයන් සහ සංස්කෘතික කටයුතු වැඩියෙන් වැජඹෙන ආකාරය දකින්නට හැකිවේ. එහෙත් එයට හේතුව කුමක්දැයි එලීට් අය මත යැපීමට සිද්ධ වීම නුරැස්සන විද්වත් බහුතරය වටහා නොගත්හ.

රාජාණ්ඩු ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට යද්දී ස්වභාවික එලීට්, විද්වතා, සහ ආණ්ඩුව අතර පැවති සම්බන්ධතා වල මූලික වෙනසක් හට ගැනිණ.

පැරැන්නන් රාජාණ්ඩුවට විරෝධය පෑ හේතු දෙකකි. එකක්, යුක්තිය පසඳාලන ඒකාධිකාර විනිසුරැවා සහ සාමයේ ආරක්ෂකයා හැටියට පෙරට වඩා අධික වැයක් දැන් රජතුමාට ගෙවන්නට සිද්ධ වීමයි. අනෙක, රජු පැරණි නීති විකෘති කිරීමයි.

එහෙත් රජුට ස්වභාවික නීති විකෘති කරත හැකියාව ලැබුනේ කෙසේදැයි සහ යුක්තිය පසඳාලන වැය අධික වෙන්නට හේතු වූ කාරණය කුමක්දැයි බහුතරය වටහා නොගත්හ.

ඒ දෙකටම හේතු වූ කාරණය ඒකාධිකාරයයි. මෙය හඳුනාගත්තේ අල්පයකි.

පාලකයාගේ එලීට් චරිත ලක්ෂණය දක්වමින් එය වැරැද්ද ලෙස පෙන්වා දුන් අය සමාජයේ වැඩියෙන් සිටියහ.

බහුතරය ඉල්ලා සිටියේ දැන් රජු පලවා හැරිය යුතු බවයි. ඒ වෙනුවට ජනතාව පත් කළ යුතු බවයි.

එහෙත් නීතියේ ඒකාධිකාරය සහ නීතිය ආරක්ෂා කරන ඒකාධිකාරය එලෙසින්ම තව දුරටත් පවත්වා ගෙන යෑම බහුතරය විසින් නිවැරදි කරගත යුතු දෝෂය හැටියට දැක්කේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදයේ ඵෛතිහාසික ජයග්‍රහණය එයයි.

සාමාන්‍ය මිනිසාට තමන්ට වඩා හොඳින් කුසලතා පිහිටා ඇති වූවෙක් ගැන ඇති ඊර්ෂ්‍යාවත්, විද්වතුන් තමන්ට ලැබිය යුතු යැයි අපේක්ෂා කරන ලද සමාජ තත්වයත්, යන දෙකම එලීට් අය අතර ඇති තරඟකාරීත්වයෙන් දිනන්නට ඒකාධිකරයක් අල්ලන රජු විසින් යොදාගන්නා ලද්දයි. නමුත් අවසානයේ ඒ සමාජ බලයම, රජු විසින් දිරිමත් කර සහායට ගන්නා ලද්දම රාජාණ්ඩුව නැති කර දමන්නට සමත් විය.

රජතුමාගේ වැඩියෙන් හොඳ සහ අඩු වැයකින් බෙදන යුක්තිය යන්න හිස් පොරොන්දුවක් වෙද්දී, ජනතාව අතර සමහිමිකම් ආරක්ෂා කරන්නේ නැතැයි කියා විද්වතුන් විසින් රජුට විරෝධය පාන්නට ජනතාව පෙළ ගැස්වූහ. රජුට ජනතාව පක්ෂපාතී කරන්නට ද විද්වතුන් යොදා ගත්තේ මේ හේතුවමයි. තමන්ට අනුග්‍රහය දක්වන රජුට හොඳ යුක්තිය අඩු වැයෙන් බෙදත හැකියි කියන විද්වතුන් අදත් සිටිති!!

ඒකාධිකාරයෙන් මෙය ඉටු කරන්නට නොහැකි යැයි අවබෝධ කරගත්තවුන් ස්වල්පය හැරෙන්නට රටේ බහුතරය මෙන්ම රජවරැන් ද පැමිණිල්ල තාර්කික යැයි සිතූහ. රජකම අහෝසි කර සමහිමිකම් ස්ථාපනය පිණිස යුක්තිය පසඳාලන ඒකාධිකාරයේ පාලන බලය සාමාන්‍ය මිනිසාට පැවරීම පිළියම යැයි සිතූහ.

ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය වනාහී තමන් යැයි සිතා සිටි විද්වතුන් මේ අධිකරණ ඒකාධිකාරයේ පාලන බලය හිමිවිය යුත්තේ ද සාමාන්‍ය මිනිසා නියෝජනය කරන තමන් යැයි අපේක්ෂා කළහ. නමුත් එය එසේ සිදු නොවීය. ප්‍රජාතන්ත්‍රවාදයට ගියත් තවමත් තබාගත් ඒකාධිකාරයේ පාලන බලය අල්ලා ගන්නට තරඟයේ යෙදෙන්නේ ද ස්වභාවික එලීට් අයයි.

පුද්ගලික අයිතියෙන් යුතු ආණ්ඩුවක් වෙනුවට මහජන අයිතියෙන් යුතු ආණ්ඩුවක් ඇති වීමෙන් සිද්ධ වූයේ පුද්ගලික වූ ඒකාධිකාරය වෙනස් වී මහජන ඒකාධිකාරයක් බිහිවීමයි. රාජාණ්ඩු ක්‍රමයෙන් පසුව ගිය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල ඒකාධිකාරය එසේම තිබි බැවින් යුක්තිය පසඳාලන වැය තවත් වැඩියෙන් ඉහළ යන ලදි. නීතියේ ප්‍රමිතිය තවත් පහළ බහින්නට පටන් ගති.

(තවත් කොටසක් ඊ ළඟට)

2001 දී හාන්ස්-හර්මන් හොප විසින් ලියන ලද “ප්‍රජාතන්ත්‍රවාදය, අසාර්ථක වූ දෙවියන්,” යන පොත ඇසුරිනි.

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: