අරුණි ශපීරෝ‍ වෙතින්

පොදු බවේ ශෝකාන්තය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2015

කළින් සටහන් කියවා නැත්නම් මෙතැනින් පළමුවැන්න සහ මෙතැනින් දෙවන්න කියවා අනතුරැව මෙය කියවන්න.

රාජාණ්ඩු ක්‍රමයේ දී රජකම හිමිවෙන්නේ අයෙක් රජ පරම්පරාවට අයිති නම් පමණි. එවක දී අනුන්ගේ පුද්ගලික දේපල අල්ලා ගන්නා තරඟය සිද්ධ වූයේ රජ පරම්පරාවේ අය අතරයි. ප්‍රජාතන්ත්‍රවාදය විසින් හැම දෙනාටම අනෙක් හැම අයෙක් සතු පුද්ගලික දේපලට හිමිකම් කියන්නට ඉඩක් පෑදිණ. මෙය පොදු බවේ ශෝකාන්තයයි (tragedy of the commons).

ප්‍රතිඵලයක් ලෙසින් ආණ්ඩුව තුලින් සාමාන්‍ය වැසියාගේ බදු බර තවත් වැඩි වීම සිද්ධ වේ.

ප්‍රතිඵලයක් ලෙසින් සර්ව සාධාරණ වූ වෙනස් නොවන අධිකරණ මූලධර්ම කෙමෙන් තුරන් වී ගොස් නීතිය යනු නීති සම්පාදනය බවට හැරීම සිද්ධ වේ.

ප්‍රතිඵලයක් ලෙසින් වර්තමානය ගැන වැඩියෙන් සලකන, සමාජ මට්ටම් ගැන කාලවරණය දැක්වීම වර්ධනය වේ.

ඒ කොහොම දැයි විමසා බලමු.

රජෙක් යනු යම් දේශ සීමාවකට අයිතිය කියන ලද්දායි. එම අයිතිය ඔහුට ඔහුගේ පුතාට පවරන්නට හැකියාව තිබිණ. ඒ නිසා තම අයිතියේ වටිනාකම රැක ගන්නට ඔහු පෙළඹුණි.

ප්‍රජාතන්ත්‍රවාදයක දී පාලකයා යනු දේශ සීමාවේ වස්තු සම්පත් වල තාවකාලික බාරකාරයෙකි. එහි දී පාලකයා කරන්නේ වර්තමාන ආණ්ඩුවේ සියළු ආදායම් මාර්ග වැඩි කරන්නට උත්සාහ ගැනීමයි. එහි දී ප්‍රාග්ධන අගයන් හීන වී ගියාට, නාස්තිය සිද්ධ වූවාට, ඒවා සලකා බැලීමක් සිද්ධ වෙන්නේ නැත.

පහත දැක්වෙන්නේ රාජාණ්ඩු නැති වී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බිහිවීමෙන් පසු ඒ රටවල දකින්නට ලැබෙන ප්‍රතිඵල කිහිපයකි.

පළමු ලෝක යුද්ධයට පෙර වූ රාජාණ්ඩු යුගයේ දී, දළ ජාතික නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට ආණ්ඩුවේ වැය 5% කට වඩා ඉහළ ගියේ ඉතාමත් කලාතුරකිනි. ප්‍රජාතන්ත්‍රවාදයේ පටන් ගැන්ම සමඟින් සාමාන්‍යයක් හැටියට ආණ්ඩුවේ වැය 50% ක ඉහළ මට්ටමක පවතී.

පළමු ලෝක යුද්ධයට පෙර රටක සමස්ත සේවක ප්‍රමාණයෙන් 3% කට අඩුවෙන් පමණක් ආණ්ඩුවේ සේවකයන් සිටියහ. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය සමඟ එය 15% සිට 20% දක්වා ඉහළ නැඟ තිබේ.

රාජාණ්ඩු යුගයේ දී රත්තරන් වැනි වෙළඳ ද්‍රව්‍ය මත පදනම් වූ කොමොඩිටි මුදල් දකින්නට ලැබුණි. මුදලේ ක්‍රය ශක්තිය කෙමෙන් වැඩිවෙමින් පැවතිණ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී යුගයේ දී කඩදාසි මුදල් නිසා මුදලේ ක්‍රය ශක්තිය පහළ යමින් පවතියි.

රජවරැන් ණය බරින් පිරැණ අවස්ථා ඇතත් සාමකාමී යුගයන් හි දී ඔවුන් ණය බර අඩු කරගන්නට සමත් වූහ. ප්‍රජාතන්ත්‍රවාදී යුගයේ දී යුධ වැදෙද්දී ආණ්ඩුවේ ණය ඉහළ යයි. සාමකාමී යුගයන් හි මහජන ව්‍යාපෘති දියත් වෙද්දී එය තවත් ඉහළ යයි.

රාජාණ්ඩු යුගයන් හි දී මූර්ත පොලී අනුපාතයන් ක්‍රමයෙන් පහත වැටී 2 1/2 ක් පමණ වූවා යැයි දකින්නට හැකියි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය බිහිවීමත් සමඟ මූර්ත පොලී අනුපාතයන් (උද්ධමනය අනුව නාම මාත්‍ර පොලී අනුපාතිකයන් හැදීමෙන් පසුව) 5% ක් දක්වා ඉහළ ගිහින් ඇත. එනම් 15 වැනි සියවසේ පොලී අනුපාත හා සමාන වේ.

19 වැනි සියවස අවසානය දක්වා ව්‍යවස්ථා සම්පාදනයක් ලොව දකින්නට නොමැතියි. එහෙත් වර්තමානයේ දී හැම වසරක දීම, දස දහස් ගණනක නීති සහ රෙගුලාසි සම්පාදනය වේ.

ආදායම් ඉහළ ගිය ද ඉතිරි කිරීම් අනුපාත කෙමෙන් පහළ යයි.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් හැකියාව ලැබුනේ ස්වභාවික එලීට් අයව සහ වංශවත් ප්‍රභූන්ව අබලන් කරන්නටයි. ඔවුන්ගේ ජීවිතයේ දී පමණක් නොව මරණයේ දීත් රජයට පවරා ගන්නා බදු මාර්ගයෙන් ඔවුන්ගේ වස්තු සම්පත් අහිමි කරන්නට ප්‍රජාතන්ත්‍රවාදය සමත් විය. එලීට් පවුල් භුක්ති විඳි ආර්ථික නිදහස් තත්වයන්, විද්වත් දූරදර්ශී හැකියාවන් සහ අධ්‍යාත්මික සහ සදාචාරමය වූ නායකත්වය අහිමි කර එය ජනතාවගේ මතකයෙන් ද තුරන් කර දමන්නට හැකියාව ලැබිණ.*

වර්තමානයේ ධනවත් මිනිස්සු ලොව සිටිති. එහෙත් ඔවුන් බහුතරය භුක්ති විඳින මහා ධන සම්පත් ආණ්ඩුව මාර්ගයෙන් කරන ලද මැදිහත්වීම් තුලින් අත්පත් කරගත් ඒවායි. ඔවුනට වඩා අඩුවෙන් ධනය ඇති අයට වඩා ඔවුන්ගේ ධනය ඉපැයීම රජයෙන් නිතරම වාසි ලබාගැනීම මත රඳා පවතියි. පාරම්පරික නායකත්වයෙන් යුතු පවුල් වලින් පැවතෙන අය නොව මොවුන් අලුතින් ධනවත් වූ අයයි. ඔවුන්ගේ හැදියාව සද්ගුණයෙන්, ප්‍රඥාවෙන්, උදාරත්වයෙන් හෝ රැචිය අනුව දිස්වෙන්නක් නොවේ. ඔවුන්ගේ හැදියාව යනු වර්තමානයට නැඹුරු වූ, අවස්ථාවාදී වූ, සමාජයේ අනෙක් හැමෝම පෙන්වන ගති ස්වභාවයන්ම පෙන්වන්නයි.

හැබැයි ඒ නිසාම, ඔවුන්ගේ මත වලට සමාජයේ වෙනත් කෙනෙකුගේ මතයකට වඩා වැඩි තැනක් නොලැබීමත් වාසනාවකි!!!!.

ප්‍රජාතන්ත්‍රවාදය විසින් ජයගත්තේ ජෝන් මේනාඩ් කේන්ස් සිහින මවන ලද්දකි. එලීට් පංතිය අබලන් වීම ඔහු හැඳින්වූයේ “කුලී උපයන පංතියේ සුඛ මරණය” කියායි. “අවසානයේ අපි ඔක්කොම මිය ගිහින්,” යන්න අපේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී ජවයෙන්, ඉතිරි කිරීම් නොතකා හැර, වර්තමානයේ කාලවරණය පමණක් සලකන හැදියාවෙන් යුතු වීම මනාවට පිළිබිඹු කරයි.

ශ්‍රමිකයන් උසස් බවට පත් කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය විසින් එලීට් අයව ශ්‍රමිකයන් බවට හරවා ඇත. බහුතර සමාජයේ චින්තනය සහ විනිශ්චය විකෘති කර ඇත. ජනතා පාලනය විසින් ස්වභාවික එලීට් අයව දුර්වලයන් කරද්දී විද්වතුන් සමාජයේ වැඩියෙන් ප්‍රසිද්ධ සහ බලගතු තනතුරැ ලබාගන්නට සමත් වූහ. ඔවුන්ට රාජාණ්ඩු යුගය තුල දී වරම් නොතිබි රට පාලනයෙන් ඒකාධිකාර විනිසුරැ වූ පාලන පංතිය වෙන්නට අවස්ථාව පෑදුණි.

රජ ඇතුළු රජවාසලේ නිලතල දැරෑ අයට වැඩියෙන් විද්වත් පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තේරී පත් වී ජනාධිපති සහ මැති ඇමති තනතුරැ දැරැවාට විද්වතුන් පිරි පාර්ලිමේන්තු ලොව ඇතැයි මින් අදහස් නොවේ!!!!

මහා ජන ප්‍රසාදයක් දිනා ගන්නටත් ඒ කටයුතු සඳහා අරමුදල් එකතු කරන්නටත් හපනෙක් වීම යනු විද්වතෙක් වන්නට අවශ්‍ය කුසලතා සහ හැකියාවන් වලින් වෙනස් ඒවා වෙති. එසේම විද්වත් නොවන අයත් බදු වලින් යැපෙන පාසැල් හා විශ්ව විද්‍යාල වලින් උපාධි සහතික ලබමින් එළියට බසිති. මහජන සේවයේ යෙදෙති.

කිසිම අර්ථ ශාස්ත්‍රඥයෙක්, දාර්ශනිකයෙක්, ඉතිහාසඥයෙක්, සමාජ න්‍යායවාදියෙක් දැන් ස්වභාවික එලීට් වෙතකින් ලැබෙන රැකියාවක නියැළෙන්නේ නැත. පරණ එලීට් අයට පවා අද ඔවුන්ගේ වැය දරන්නට නොහැකියි. අද විද්වතුන් සියල්ල පාහේ මහජන සේවකයන් වෙති. ඉඳහිට නාම මාත්‍ර වශයෙන් ඔවුන් පුද්ගලික ආයතන සහ සමිති සමාගම් වල සේවය කරති. පාරිභෝගික ඉල්ලුමට හසු නොවෙන විද්වතුන් අද තනතුරේ රැඳී ඉන්නට ‘tenured’ වෙතින් ආරක්ෂාව ලබා ඇත. විද්වතුන් යැයි සැලකෙන සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ ගොස් ඔවුන්ට කරන ගෙවීම් ද සත්‍යය වෙළඳපොල අගයට වඩා ඉහළ මට්ටමක පවතී. ඒ අතර විද්වතුන්ගේ නිපැවුම් වල ප්‍රමිතිය ද එන්න එන්නම පහළ බසිමින් පවතී.

ඊටත් වැඩියෙන් අද දකින්නට ලැබෙන්නේ බහුතර විද්වතුන්ගේ නිපැවුම් තේරැම්ගත නොහැකි වීමත් ඒවා ඖචිත (relevant) නැතිවීමත් ය. රජයේ විවිධ පුරප්පාඩු පුරවමින් මේ සියල්ලම පාහේ විද්වතුන් සේවය කරන නිසා ඉතින් එහි පුදුමයක් නැත. ඔවුන් රජයට ප්‍රශංසා කරමින් සිටිති.

ඉතිහාසයේ කිසිම අවස්ථාවක රාජාණ්ඩු ක්‍රමය ප්‍රශංසා කළාට වඩා මහත් සංඛ්‍යාවක් අද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය ප්‍රශංසා කරන ප්‍රොපගැන්ඩා හි යෙදී සිටිති.

* උග්ගල් අලුත්නුවර සිඩ්නි එල්ලාවල වැනි චරිත ගැන දුර්ලභ සටහන් ඉතිහාසයට එකතු කිරීම ප්‍රසාදයට පත්විය යුතු බව මෙහි දී මට මතක් විය.

(තවත් කොටසක් ළඟදීම)

2001 දී හාන්ස්-හර්මන් හොප විසින් ලියන ලද “ප්‍රජාතන්ත්‍රවාදය, අසාර්ථක වූ දෙවියන්,” යන පොත ඇසුරිනි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Sudath Mohan Biyanwela said, on පෙබරවාරි 27, 2015 at 11:11 ප.ව.

    ප්‍රජාතන්ත්‍රවාදය නිසා පුරවැසියකුගේ වියදම ඉහළ යාම, සපත්තු පැළඳීම නිසා වියදම ඉහළ යාම වැනි දෙයකි.
    අපි සපත්තු පැළඳීමේ ප්‍රයෝජන ගැනත් කතා කළ යුතුය.

    • arunishapiro said, on පෙබරවාරි 28, 2015 at 6:03 ප.ව.

      Sudath Mohan Biyanwela,

      ප්‍රයෝජන ගැන කතාවෙන් තමයි සටහන් පටන් ගත්තෙ. ආයෙත් කියවන්න වෙයි මුල් කොටස.

      //උගතුන් යනු කවුද?

      පැරණි සමාජවල යම් කර්මාන්තයකට අදාල ගැටළුවක්, සමාජ අරගලයක්, වෛද්‍ය පිහිටක්, අධ්‍යාත්මික සහනයක් ලබාගන්නට හැකියාව ලැබේ යැයි කියා ඒවාට මුහුණ දුන් අය විසින් සොයා ගිය සුවිශේෂී පිරිසක් වූහ. ඔවුන් සමාජයේ අනෙකුත් අයට වැඩියෙන්, හොඳින්, උදව් ඉල්ලා එන අය හමුවේ පවතින තත්වයට වැඩියෙන් සුවදායක යහපත් තත්වයක් කරා යන්නට අවවාද අනුශාසනා දිය හැකියවුන් වූහ. ඔව්හු ප්‍රතිඵල ගෙන දීමට සමත් අයයි.

      මේ අයව අනතුරැව සමාජ නායකයන් බවට ජනතාව විසින් පත්කර ගත්හ.//

      ආණ්ඩුවකින් ඇති ප්‍රයෝජනය කුමක් ද?

      ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලාපොරොත්තු වෙන ප්‍රයෝජනය සාමාන්‍ය ජනතාවට සිය කැමැත්තක් තෝරාගැනීමට අඩු වියදමින් සහ වැඩි තෝරාගැනීම් ලැබීම ද?

      තමන් අනගි යැයි සලකන සපත්තුවක් තමන් අඩු මිලක් යැයි සිතන මිලට ගන්න නිදහස ලැබීම ද?

      නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලාපොරොත්තු වෙන ප්‍රයෝජනය ඊර්ෂ්‍යාව උපදවා අනෙකා අනගි යැයි සලකන සපත්තුවක් එයා අඩු මිලක් යැයි සිතන මිලට ගැනීමට ඇති නිදහස අනිකාට වළක්වා ලීම ද?

      සපත්තුව වෙනුවට යුක්තිය පසඳාලීම, අධ්‍යාපනය, විවාහය, යනාදී වෙනත් ඕනෑම මිනිස් අවශ්‍යතාවයක් යොදාගත හැකියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: