අරුණි ශපීරෝ‍ වෙතින්

අදහස් වෙනස් කරගැනීමෙන් අර්බූද වැළකේ

Posted in Uncategorized by arunishapiro on මාර්තු 3, 2015

මුල් කොටස මෙතැනින්, දෙවැනි කොටස මෙතැනින්, තෙවැනි කොටස මෙතැනින් කියවා මෙය කියවන්න යැයි ආරාධනා කරමි.

රජය ප්‍රජාතන්ත්‍රවාදය තුලින් සිය බලය තහවුරැ කරගන්නට වැඩියෙන් සමත් වූ අතර ජනතාවට තිබූ ස්වාධීන බලය දිගින් දිගටම කප්පාදු වීම ප්‍රජාතන්ත්‍රවාදය තුලින් පටන් ගැනිණ. ජනතාව විසින් ජනතා පාලනය පටන් ගත්තාට පසුව ආණ්ඩුවෙන් දියත් කරන ලද වෑයමක් නිසා රජ යුගයට වඩා හොඳින් ජීවිත ගෙවන්නට සාමාන්‍ය ජනතාව සමත් වූයේ නැත.

අද අපි භුක්ති විඳින සියළු සමෘද්ධීන් ලැබී ඇත්තේ පටවා ඇති බරත් උසුලාගෙන නවෝත්පාදනයට සමත් ස්වභාවික එලීට් අය දුවන වේගයට සරිලන රෙගුලාසිකරණයට හැකියාවක් ලොව කිසිම ප්‍රජාතාන්ත්‍රික රජයකට නොහැකි නිසා පමණයි.

නිදහස් වෑයම් වලින් විකසිත වෙන අංශයක් සංවර්ධනය වෙද්දී මැදිහත්වීම් රැචි වූවන් කෙසේ හෝ ඊට බාධා ගෙන එන්නට ක්‍රමවේදයක් ගෙනෙති. කදිම වර්තමාන උදාහරණයක්: ඇමෙරිකන් ෆෙඩරල් රජයේ සන්නිවේදන කොමිසම ඊයේ පෙරේදා දවසක අන්තර්ජාල පහසුකම් කප්පාදුව පටන් ගැනීමට සමත් විය. එය පොදු ජනතාවගේ යහපත පිණිස කියමින් ඒත් රජය විසින් තීරණය කරන ලද විශේෂ පිරිසකට (විසල් බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් බෙදා හරින්නන්ට) වැඩියෙන් වරප්‍රසාද බෙදන මැදිහත්වීම් ප්‍රතිපත්ති මාලාවකි.

රාජ්‍ය මැදිහත්වීම් කැමැත්තෝ කිසිම විටෙක රෙගුලාසියක් එපා යැයි නොකියති. මීට වඩා වැඩියෙන් හොඳ රෙගුලාසියක් හදන්නට හැකියි සිතති. ඉතින් මේ පටන් ගත් අන්තර්ජාල රෙගුලාසිකරණය කාලාන්තරයක් පුරා බලයට එන සෑම රජයක් විසින්ම පොදු ජනතාවගේ යහපත පිණිස යැයි කියමින් සංශෝධනය කරනු ඇත.

ජනතාව අතර ඉන්නා ස්වභාවික එලීට් අයව මෙල්ල කිරීම යනු රජු විසින් යාන්තමින් පටන් ගත් කාර්යයකි. ඒ රජු විසින් ආරම්භ කළ වෑයම වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදයට සාර්ථකව නිමා කරන්නට හැකි වී තිබේ.

චිකාගෝ පාසැල යැයි හැඳින්වෙන්නේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැක්මක් ඉදිරිපත් කරන මිල්ටන් ෆ්‍රීඩ්මන්ට කළින් සිටි සහ ඔහුගෙන් පසුව ඔහුගේ ආභාෂයෙන් එන විද්වතුන් පිරිසක් වෙතින් සෑදුනකි.

1930 ගණන් සහ 1940 ගණන් වල දී චිකාගෝ පාසැල යනු වාමාංශික පැත්තට බර වූ අදහස් තිබි අයගෙන් පිරැණකි. මිල්ටන් ෆ්‍රීඩ්මන් පවා මධ්‍යම බැංකු ක්‍රමයක් සහ රත්තරන් මිනුම වෙනුවට අච්චු ගසත හැකි මුදල් ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි චිකාගෝ පාසැලේ දැක්ම ඒ කාලයේ දී පිළිගත්තෙකි.

එපමණක් නොව ෆ්‍රීඩ්මන් විසින් ඉහළ දැමිය යුතු සීමාවක් නොකියන අවම ආදායමක් සහතික කරන සුබ සාධන රජයකට පක්ෂපාතී වූවෙකි. ඉහළ යන ආදායම අනුව බදු ඉහළ දමන්නට ඔහු කැමති විය. ශ්‍රමිකයාගේ පඩියෙන් ආණ්ඩුවේ බදු මුදල් කපාගත් අනතුරැව වේතනය අතට ලැබෙන ක්‍රමය ඇමෙරිකන් රජයට සකස් කරගන්නට ඔහු සහාය දුන්නේය. නිෂ්පාදනය කරන සියළු භාණ්ඩ සඳහා බද්දක් අය කරගන්නට ද, ඒ බද්ද නිසා ඒ නිෂ්පාදකයන් වාසය කරන පළාත් වලට ධනාත්මක ප්‍රතිඵල ලැබෙනවා යැයි ද, එනම් රජයකට බද්දක් ගහන්න නොහැකි කිසිවක් නැතැයි ඔහු කියූ කාලයයි ඒ. පසු කාලයක දී මොළේ පෑදී ඔහු ඒ කටයුතු ගැන බෙහෙවින් කණගාටු විය.

මිල්ටන් ෆ්‍රීඩ්මන් සහ ඔහුගේ අනුගාමිකයන් එවක දී පෙනී සිටියේ සදාචාරාත්මකව පහත්ම වූ දර්ශනයක් වෙනුවෙනි. එනම්, ඥාන විභාගීය වූ සාපේක්ෂවාදයටයි. ඔවුනට අනුව සත්‍ය ලෝකය පිළිබඳ අපේ දැනුම යනු අපේ ඉන්ද්‍රීයය ගෝචරයන්ට හසු වෙන්නක් පමණකි. යම් ප්‍රස්තුතයක සත්‍ය හෝ අසත්‍ය බව යම් සමාජය කල්ලියකට හෝ ඒකීය පුද්ගලයෙකුට අනුව සාපේක්ෂ වූවකි. ෆ්‍රීඩ්රික් නීට්ෂ මෙහි අංශයක් වර්ධනයට දායක වූවෙකි.

මේ විද්වතුන්ගේ දැක්ම වූයේ, පරම ආචාර ධාර්මික සත්‍යයන් කිසිවක් නැත කියායි. පරිසිද්ධි වලින් ලබා ගන්නා සියල්ල සහ ඥාන විභාගීය වූ දැනුමේ වැඩියෙන්ම ඉහළ අවස්ථාව යනු උපන්‍යාසීමය ලෙසකින් යමක් සත්‍යයක් වීම පමණකි. එහෙත් එවැනි දැක්මකින් සිටි ඔවුන් සෑම විටකම ආණ්ඩුවක් තිබිය යුතු යැයි ද ඒ ආණ්ඩුව ප්‍රජාතාන්ත්‍රික විය යුතු යැයි ද තරයේ කියා සිටියහ!!!!!!

වර්තමානයේ ද ෆ්‍රීඩ්මන් ඇතුළු චිකාගෝ පාසැල ඔවුන්ගේ ඒ විද්වත් දැක්ම වෙනස් කරගෙන නැත. එහෙත් අද ඔවුන්ව සැලකෙන්නේ දක්ෂිණාංශ වූ ද, නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටින්නා වූ ද, අය හැටියටයි. එසේ ඔවුන්ව අද සැලකෙන විදියට පරිනාමය වූ මහජන ආකල්පමය වෙනස යනු මහජනතාවගේ බදු මුදලින් පෝෂණය වූ මහජන සේවකයන් විසින් දායාද කරන ලද්දයි.

ආණ්ඩුවක් තිබිය යුතු නැතැයි යන්නට හෝ ප්‍රජාතාන්ත්‍රික වූ ආණ්ඩු ක්‍රමය බැහැරලා රාජාණ්ඩු ක්‍රමයට යළි යා යුතු යැයි කියනවා නොවේ. වැරදි දැක්මකින් යද්දී වැරදි නිගමනයන්ට එළඹෙන හැකියාව ඇතැයි කියනවා පමණි.

යම් දැක්මක් අනුව පක්ෂපාතී වූ අදහසක් ඒ දැක්ම අනුවම ප්‍රතික්ෂේප වෙනවා නම් එහි මහා දුර්වලතාවය එයම නොවේ ද?!!!

නොමිලේ බෙදන නිදහස් නොවූ අධ්‍යාපනයෙන් ඉහළ උපාධි සහතික වැඩි වැඩියෙන් ලබා ගන්නට සමත් වූ අය අතර වැඩියෙන්ම දකින්නට ලැබෙන්නේ නිදහස්ව සිතන හැකියාව අඩු අයයි. ඔවුන් සියල්ලන්ම පාහේ අයිඩියලොජියක් හැටියට රාජ්‍යවාදයට පක්ෂපාතී අතර දේශපාලනිකව වමට බර වෙති.

එසේම රජයක් විසින් නොමිලේ බෙදන නිදහස් අධ්‍යාපනයට කියා මුදල් වැඩියෙන් වෙන් කරද්දී, (කන්නන්ගර කලත් බුෂ් පුතා කළත්) සහතික පත්‍ර වැඩි වී දැනුම් මිනුම් මට්ටම් පහළ බහියි. සාම්ප්‍රදායික සාදාචාර ගති සහ සභ්‍ය හැදියාවත් පහළ යයි. ඔබෙන් පැහැරගත් බදු මුදල් වලින් ඔබේම යහපත උදෙසා කියමින් රාජ්‍යවාදය සාධාරණීය කරන අවිචාරමත් දැක්මෙන් ඔබව පෝෂණය කරන ලද නිසා එසේ සිද්ධ වේ.

එක හා සමාන බලයෙන් යුතු ඵෛතිහාසික සමාජ නායකයන් වෙතින් බලතණ්හාධික රජු සම්පූර්ණ බලය අල්ලා ගති. රජු පලවා හැර රටේ පාලනය අල්ලා ගන්නා සමාජ නායකයන් පිරිසක් සම්පූර්ණ බලය භුක්ති විඳින්නට අද සමත් වී සිටිති. එහෙත් ඉතිහාසයෙන් අපි පාඩමක් ඉගෙන ගන්නවා නම් එහි දී පෙනෙන්නේ මේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය යන්න ඉතිහාසයේ අවසන් පාලන ක්‍රමය නොවන බවයි.

කවදත් අපිට කිසිම ලෙසකින් අමතක කර දමන්නට ඉඩ නොදෙන “ආර්ථිකය” යන සාධකය මේ යන විදියට දිගටම යෑමට හරස් වී සිටියි.

වෙළඳපොලට මැදිහත්වීම් වැඩි වැඩියෙන් සිද්ධ වෙද්දී, එනම් මිනිස් තෝරාගැනීම් තව තවත් කප්පාදු වෙද්දී, තියෙන ප්‍රශ්න විසඳෙනවා වෙනුවට ප්‍රශ්න වැඩිවීම සිදුවේ. ධනවාදයේ වෙස් මුහුණ දමා ගත්ත ද ගෙන යන සමාජවාදී පිළිවෙත් නිසා සිද්ධ වෙන්නේ ද සමාජවාදී රටවල් වලට සිද්ධ වූවමයි. ආර්ථිකයන් බංකොළොත් වෙති.

දැනටමත් දශක කිහිපයක් පුරා බටහිර වැසියන්ගේ මූර්ත ආදායම් එක්කෝ පහළ වැටී ඇත නැත්නම් එකම තැනක ලැග සිටියි. ආණ්ඩුවල ණය සහ සමාජ වැඩපිළිවෙල් හි වැය ඉහළ යමින් පවතියි. සමාජ අරගල නැවතත් හිස ඔසවන්නට පටන් ගෙන ඇත.

දැවැන්ත ආර්ථික කඩාවැටීමක් අත්දකින තුරැ සමහර විට මේ යන මාර්ගයේ ම බහුතර ලෝකයා ගමන් කරන්නට ඉඩකඩක් තිබුණ ද ආර්ථිකයක් ඇද වැටීම නිසා ආණ්ඩුවේ බලය අඩු වී යන්නේ නැත. මෑත ලෝක ඉතිහාසයේ ආර්ථිකය කඩා වැටීම නිසා ආණ්ඩුවේ බලය අඩු වූ අවස්ථා එකක් දෙකක් පමණි ලොව දකින්නට ලැබෙන්නේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලුඩ්විග් එර්හාඩ් සමයේ බටහිර ජර්මනිය මීට උදාහරණයකි.

ජනතාව වෙනසක් ඉල්ලති. කුමන නිවැරදි අදහස් තුලින් ඒ ඉල්ලන වෙනස සකස් වෙනවාදැයි තීරණය විද්වතුන් හමුවේ පවතින අභියෝගයකි. ආර්ථික අර්බූදයක් තමන් හමුවට එන තෙක් බලා සිටිය යුතු නැත.

ඉතිහාසයේ ගමන් මඟ තීරණය වූයේ මිනිසුන් පිළිගත් අදහස් අනුවයි. සමහර අදහස් වැරදි වූ අතර සමහර අදහස් නිවැරදි විය. වැරදි වූව ද, නිවැරදි වූව ද, මිනිසා අදහස් වලින් ප්‍රබෝධය (inspire) ලබන්නෙකි. වැරදි අදහස් අල්ලා ගැනීම නිසා හමුවට එන අර්බූදයන් වළක්වාගත නොහේ. නිවැරදි අදහස් සමාජ මතයක් වෙද්දී අර්බූද ඇතිවීම වළක්වා ගන්නට පුළුවනි.

(අවසන් කොටස ඊ ළඟට!!)

2001 දී හාන්ස්-හර්මන් හොප විසින් ලියන ලද “ප්‍රජාතන්ත්‍රවාදය, අසාර්ථක වූ දෙවියන්,” යන පොත ඇසුරිනි.

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: