අරුණි ශපීරෝ‍ වෙතින්

යහපාලනයක් ගෙනෙන්නට හැකියාව ඇත්තේ කාට ද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 4, 2015

අදහස් යනු වහාම වෙනස් කරගත හැකි වූවකි. කාලයාගේ ඇවෑමෙන් වෙනස් වූවා සේ පෙනුනත් ඒකීය පුද්ගලයා තුල අදහසක් වෙනස් වෙන්නේ යම් මොහොතක දී ය. සමහර විට ඒ මොහොත කුමක්දැයි කියා ඔහු නිවැරදිවම නොදන්නවා විය හැකියි.

පාරම්පරිකව මෙහෙමයි අපි හිතන්නට පුරුදු වෙලා ඉන්නෙ, අපේ අයට අදහස් වෙනස් වෙනස් කරගන්න බැහැ යැයි කීම අසත්‍යයකි. මිනිස් ඉතිහාසයේ මිනිසුන් සිය අදහස් වෙනස් කරගත් අවස්ථා එමට දකින්නට ලැබේ. ලාංකීය මිනිසා සෙසු ලෝකයේ මිනිසුන්ට වඩා මූලිකව වෙනස් වූවෙක් බවට කිසිත් සාධක සොයා ගන්නට නැත!!!!

අදහස් වෙනස් කරගන්නට නම් අල්ලා ගෙන ඉන්න අදහස් වල වැරදි බව සහ පක්ෂපාතීත්වය දැරිය යුතු අදහස් වල නිවැරදි බව පහදා ගැනීමට හැකියාවක් මිනිසාට ඉඩක් ලැබිය යුතුයි. විමර්ශනයෙන් අදහස් වෙනස් කරගන්නා අය සිටිති. රැල්ලේ යන අය අනිත් අය අදහස් වෙනස් කරගත් බව දැක තමන්ගේ ද අදහස් වෙනස් කරගනියි.

ඒත්, නිවැරදි අදහස් මොනවාදැයි නොදැන ඒවා සමීප කරගන්නේ කෙසේද?

වර්තමානයේ පවතින ආර්ථික හා සමාජීය අර්බූදකාරී තත්වය හමුවේ ඊට වැඩියෙන්ම වගකිව යුත්තන් විද්වතුන් නම්, එහෙම නම් අපිට විද්වතුන්ගේම සහාය මේ සඳහා ලබාගන්නට සිද්ධ වේ. තවත් විදියකින් කියන්නේ නම්, බල තණ්හාධික මහජන විද්වතුන්ව බලයෙන් නෙරපා හරින්නට නම් අපිට විද්වතුන්ට-එරෙහි විද්වතුන්ගේ සහාය පතන්නට සිද්ධ වේ.

මිනිස් වර්ගයා පවතින තාක් කල්, ඒකීය පුද්ගල නිදහස, පුද්ගලික දේපල, ගිවිසුම් සඳහා නිදහස, සබඳතාවයන් පවත්වන නිදහස, පුද්ගලික වගකීම් හා බැඳීම්, නිදහස සහ දේපල එරෙහිව ඉන්න ප්‍රධානම හතුරා රජය වීම, යනාදිය පවතිනු ද ඇත. ඒ ඒවා සත්‍යය හෙයින් සහ සත්‍යයෙන් සත්‍යය ඔප්පු කරත හැකි නිසායි.

මිනිස් වර්ගයා පවතින තාක් කල්, මේ නිවැරදි අදහස් ඇති විද්වතුන් විසින් ලියූ පොත පත හදාරන්නට ආරක්ෂා කරන්නට කැප වූ විද්වතුන් පිරිසක් ද ලොවෙන් තුරන් වී නොයයි. අතීතයෙන් උරැම වූ වැරදි අදහස් අත්හැර නිවැරදි අදහස් පමණක් තෝරා බේරාගෙන අද ඉන්නා අයට නිවැරදි ලෙසින් පහදා ගන්නට නම් අපිට අද ජීවතුන් අතර සිටින ඒ සඳහා කැප වී සිටින විද්වතුන්ගේ සහාය පැතීම අවශ්‍යයි.

අද ඉන්නා විද්වතුන් විසින් ඒවා කියවා, මතකයේ තබාගෙන, නැවත කතාබහට ගෙන එන්නට, අදට අනුව ගලපන්නට, ඒ තර්කයන් හි අඩුපාඩු හදා තර්කය දියුණු තියුණු කරන්නට වෙහෙස විය යුතුයි.

විද්වතුන් විසින්ම සෙසු වැරදි මාර්ගයේ යන විද්වතුන්ගේ අදහස් විවේචනය පටන් ගත යුතුයි.

මීට අවශ්‍ය කාරණා දෙකකි. එකක් විද්වත් දක්ෂතාවය (අදහස් ගවේෂණයට වැඩි කාලයක් වෙන් කරන උපන් හැදියාව) තිබීම අවශ්‍යයයි. අනෙක වැදගත් චරිතයක් තිබීම අවශ්‍යයයි. බැලූ බැල්මට සරල යැයි පෙනුනාට මේවා කිරීම කිසිසේත්ම පහසු නැත.

හැමදාම ඇහෙන බොහෝ රාජ්‍යවාදී වූ තර්කයන්, අපිට ආර්ථිකය ගැන හදන බොරැ විකාර කියා නිශ්ප්‍රභා කළ හැකියි. එසේම පුද්ගලිකව හමු වී කතාබහ කරද්දී වෙනකක් ද, මහජනයා ඉදිරියේ රාජ්‍යවාදයට පක්ෂව මූණක් ද පෙන්වා කතා කරන අය එමට සිටිති. මේ අයට වැරදීම් සිද්ධ වෙනවා නොවේ. ඔවුන් උවමනාවෙන්ම තමන් වැරදි බව දැන දැන එහි නියැළෙන අයයි. ඔවුනට නැත්තේ විද්වත් දැනුමක් නොවේ, ඔවුනට නැත්තේ ආචාර ධර්මයි.

ඉතින් අපි එදිරිවාදී විය යුත්තේ වැරදි අදහස් වලට පමණක් නොව දුෂ්ටකමට ද එරෙහිවයි. මෙය දුෂ්කර සහ අවදානම් වූවකි. ඒ සඳහා අපිට දැනුම පමණක් නොව දැඩි නිර්භීතකමක් ද අවශ්‍යයයි.

විද්වතුන්ට එරෙහි විද්වතෙක් හැටියට, අයෙක්ට අල්ලස් දීමනා බහුලව ඉදිරිපත් වෙනු ඇත. අයෙක්ව දුරාචාරයට යොමු කර ගැනීම ඉතා පහසු වූවකි. සල්ලි ටිකක්, පිටරට සංචාරයක්, බලගතු අයෙක් සමඟ ඡායාරෑපයකට පෙනී ඉන්න අවස්ථාවක් හමුවේ බොහෝ දෙනෙක් තමන්ගේ දුෂ්කර වූ යුතුකම අත් හරිති.

විද්වතුන්ට එරෙහි විද්වතා කිසිදාක ‘සාර්ථක’ අයෙක් හැටියට සමාජයේ සැලකිල්ලට පාත්‍ර නොවීමේ අවදානමක් ඇත. ධනවත් වීමට හෝ ප්‍රමෝෂන්ස් නොලැබීමේ අවදානම ඇත. අනිත් විද්වතුන් විසින් වෘත්තීමය සැලකිලි ප්‍රදානය නොකරන ඉඩකඩ වැඩියි.

ලුඩ්විග් වොන් මීසස් සහ මුරේ රොත්බාර්ඩ් යන දෙදෙනාම ඇකඩමියාවෙන් හෑල්ලුවට පත් කරන ලද්දෝ වූහ. ඔවුන් 20 වැනි සියවසේ විසූ විශිෂ්ඨතම අර්ථ ශාස්ත්‍රඥයන් සහ සමාජයීය දාර්ශනකියන් දෙදෙනෙකි. සාම්ප්‍රදායික ඇකඩමියාව ඔවුන්ව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළත් ඔවුන් කිසිම විටෙක තම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. ප්‍රතිවාදීන් දරුණු වෙද්දී ඔවුන් නොබියව සහ සතුටින් තමන් විසින් ලොවට දායද කරන ලද නිර්මාණයන් තව තවත් වැඩි කළහ. ඔවුන් තෘප්තිමත් වූයේ සත්‍යය වෙනුවෙන්ම පමණක් පෙනී සිටීමෙනි.

මෙතැන දී යහපාලනයක් ගෙනෙන්නට හැකියාව ඇති අය හැටියට අපිට ස්වභාවික එලීට් අයගේ කාර්ය භාරය කුමක්දැයි කියන්නට අවස්ථාවක් පෑදේ.

ස්වභාවික එලීට් අය සහායට ඉදිරිපත් වූයේ නැත්නම් මීසස් සහ රොත්බාර්ඩ් වැනි සත්‍ය විද්වතුන්ට ඔවුන් කරන ලද මහඟු දායද ඉදිරිපත් කරන්නට ඉඩක් නොලැබේ. කොපමණ බාධක තිබුණත් මීසස්ට සහ රොත්බාර්ඩ්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශයට අවකාශයක් ලැබිණ. තව දැනගන්නට කැමැත්තෙන් එන අයට උගන්වන්නට ඔවුන් තැන් සොයා ගත්හ. ඔවුන්ගේ අදහස් ප්‍රකාශණයට පත් කළහ. ඔවුන්ගේ අදහස් වලින් තව අය ප්‍රබෝධමත් කළහ.

ඒවාට සහාය දෙන්නට අය සිටියේ නැත්නම් ඒවා ඔවුන්ට කරන්නට නොලැබේ.

මීසස්ට ලෝරන්ස් ෆර්ටිග් සහ විලියම් වොල්කර් අරමුදල සහාය දුනි. නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ ඔහු උගන්වද්දී ඔහුගේ වේතන ගෙවූයේ ඒ අරමුදලෙනි. රොත්බාර්ඩ්ට සහාය දුන්නේ ලුඩ්විග් වොන් මීසස් ආයතනයයි. රාජ්‍යවාදයෙන් පිරී ගිය ඇකඩමියාව තුල තව දුරටත් කියන්නට නොහැකි අදහස් කියන්නට සහ ලියන්නට ඔහුගේ පොත් ප්‍රකාශණයට හා ප්‍රසිද්ධියට ඔවුන් සහාය දුන්හ.

ප්‍රජාතන්ත්‍රවාදයට පෙර තිබි යුගයක, සමානාත්මවාදය ස්වාධීන වත්කම් ඇති මිනිසුන්ව නැතිභංග කර දමා, ජනතාවගේ මොළ සෝදා නොතිබු යුගයක, වැඩිය ජනප්‍රියත්වයක් නොතිබි විද්වතුන්ට සහාය දුන්නේ ධනවත් පුද්ගලයන්ය.

ඒත් අද රාජ්‍යවාදයෙන් සියල්ලන්ගේම වස්තු සම්පත් අඩු කරමින් ඇති යුගයක ජනප්‍රිය නොවන විද්වතෙකුගේ විශ්ව විද්‍යාල පඩියක් සම්පූර්ණයෙන් වැය දරන්නට හැකි පොහොසතෙක් සොයා ගැනීම අසීරැ වූවකි. බහුතර ධනවත් අය ද, සහාය දෙන්නේ විසල් ආණ්ඩුව සමඟ සහයෝගයෙන් වැඩ කරන විසල් සමාගම් වලට සහාය දෙන විද්වතුන්ටයි.

ඒ නිසා ලුඩ්විග් වොන් මීසස් ආයතනය සේ වර්තමානයේ බැස්ටියාට් සංගමය වැනි නිවැරදි අදහස් වලට පුද්ගලික ආධාර වලින් සහාය දෙන ස්වභාවික එලීට් පුද්ගලයන් ගණනාවක් වෙතින් හැදෙන සංවිධාන ලොව බිහිවෙමින් පැතිර යන්නට හිමිහිට පටන් ගෙන ඇත.

නිවැරදි අදහස් වෙනුවෙන් පෙනී සිටින්නට කැප වූ, හොඳ චරිතයක් වර්ධනයෙන්, හෑල්ලුවට ලක් කිරීම් හමුවේ නොසැලී නිර්භීතව ඉදිරියට යා හැකි, නිවැරදි අදහස් වෙනුවෙන් පෙනී සිටීමෙන් පමණක් තෘප්තිමත් වෙන විද්වතුන් නිර්භීතව ඉදිරියට එන්නේ නම්, ඒ අයට සහාය දෙන්නට අවශ්‍ය ඉදිරිපත් වෙනුයේ ස්වභාවික එලීට් අය අතර ඒ නිවැරදි අදහස් වෙනුවෙන්ම කැපවීමට කැමති අයයි.

මිනිසාගේ පළමු වගකීම තමන්ටයි. තම පවුලටයි. නිදහස් වෙළඳපොලක දී ඔහු හැකි තරම් මුදල් උපයා ගත යුතුයි. ඔහු වැඩියෙන් මුදල් උපයන්නේ ද ඔහුට සෙසු මිනිස් වර්ගයා වෙනුවෙන් රැකියා, නවෝත්පාදන, සූක්ෂම ක්‍රමවේද යනාදියෙන් වැඩියෙන් යහපතක් කරත හැකියාව ලැබේ.

එය වගකීමයි. ඒකීය පුද්ගලයාගේ තෝරාගැනීමයි. එය පැහැර හැරියාට නිදහස් වෙළඳපොලක දී ලැබෙන දඬුවමක් නැත. දුප්පතෙක් වීම තෝරාගැනීම ඔබේ අයිතියයි. ඒත් දුප්පතා නිසා සෙසු මිනිස් වර්ගයා වෙනුවෙන් රැකියා, නවෝත්පාදන, සූක්ෂම ක්‍රමවේද යනාදිය බිහි වෙනවා කියා බොරැ නොකියන්න.

ප්‍රජාතන්ත්‍රය හමුවේ දී ධනය උපයන වගකීමේ නියැළීම පමණක් ස්වභාවික එලීට් අයට ප්‍රමාණවත් නොවේ.

කෙටි කාලීන වාසි තිබුනත් නැතත් විද්වතෙක් සත්‍යයට පමණක්ම කැප වී සිටිය යුත්තා සේ ම, ස්වභාවික එලීට් අයෙක් ද ඔහුට හා ඔහුගේ පවුලට ඔබ්බෙන් වූ වගකීමක් දරයි. ඔවුන් ව්‍යාපාරිකයන් හෝ වෘත්තීයවේදීන් හැටියට වැඩි වැඩියෙන් සාර්ථක වෙද්දී, ඔවුන් සමාජයේ ජනාදරයට පාත්‍ර වෙති. එවිට ඔවුන් ඉහළම වූ ආචාර ධාර්මික ලෙසකින් ජීවත් වන්නට වෑයම් කළ යුතුයි. ඔවුන් සත්‍යය යැයි පිළිගන්නා අදහස් වලට ප්‍රසිද්ධියේ අනුග්‍රහය දක්වන්නට ඔවුන් උදාර ලෙස සහ ත්‍යාගශීලී ලෙස ඉදිරිපත් විය යුතුයි.

අපේ ජීවිත කාලයේ දී මේ අදහස් ජයග්‍රහණය නොකළත්, අර්බුද හමුවේ අපි අපේ වගකීම පැහැර හැරියේ නැතැයි කියා, අප වෑයම අත්හැරියේ නැතැයි කියා, සහ අවංක සහ උදාර අයෙක් කරන්නේ කුමක් ද අපි ද ඊට සහභාගී වූවා කියා, එවිට අපට සදා ආඩම්බර විය හැකියි.

සැබැවින්ම යහපාලනයක් ලැබෙනවාට කැමති විද්වතෙක් නම්, සත්‍යයට කැප වූ අවංක උදාර විද්වතුන් සමඟ එකතු වෙන්න. ඔබ ස්වභාවික එලීට් අයෙක් යැයි සිතනවා නම්, ඒ සත්‍යයට කැප වූ අවංක උදාර විද්වතුන්ට සහාය දෙන ස්වභාවික එලීට් අය සමඟ එකතු වෙන්න.

ඔබ විද්වතෙක් නොවන්නේ ද, ඔබ ස්වභාවික එලීට් අයෙක් ද නොවන්නේ ද, ඔබ සාමාන්‍ය වැසියෙක් කියා ඔබ සිතනවා නම් මොනවාද මේ සත්‍ය අදහස්, කෙසේද අයෙක් අවංක උදාර වෙන්නේ කියා දැනගන්න එන්න ශ්‍රී ලංකා බැස්ටියාට් සංගමයේ දේශන අහන්න.

මාතෘකාව: ධනවාදයේ සදාචාරාත්මක බව
දේශකයා: ආචාර්ය ටොම් ජී. පාමර්
දිනය: මාර්තු 31 වැනිදා
වේලාව: පෙරවරැ 11 සිට පස්වරැ 12:30 දක්වා
ස්ථානය: ළඟදීම දැනුම් දෙමි.

TomPalmer

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. f said, on මාර්තු 4, 2015 at 2:19 ප.ව.

    //ලුඩ්විග් වොන් මීසස් සහ මුරේ රොත්බාර්ඩ් යන දෙදෙනාම ඇකඩමියාවෙන් හෑල්ලුවට පත් කරන ලද්දෝ වූහ. ඔවුන් 20 වැනි සියවසේ විසූ විශිෂ්ඨතම අර්ථ ශාස්ත්‍රඥයන් සහ සමාජයීය දාර්ශනකියන් දෙදෙනෙකි. //

    lol. Only according to bloggers on the internet, because they are rejected by the academia a.k.a. people who have actually studied the subject for a career.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: