අරුණි ශපීරෝ‍ වෙතින්

කවුද රැසියාවේ අව්‍යාජ දේශප්‍රේමියා?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 14, 2015

රැසියන් ඉතිහාසය ගැන දන්නා අය ලොව අල්පයකි. රැසියාව ප්‍රිය කරන වාමාංශික සහෝදර සහෝදරියන් වුව ද කැමත්ත දක්වන දේ දිහා බලමින් අකමැති දේ නොපෙනෙන්නට පැත්තකට දමන හුරැවෙන් යුතුයි. තවත් පිරිසක් ඇමෙරිකාවට ඇති ද්වේශය නිසා රැසියාව තුල සිද්ධ වෙන්නේ මොනවාදැයි ගැන කිසිත් සොයා බැලීමක් නැතිව ව්ලැඩමියර් පූටින්ට ආවඩති.

පහුගිය දා රැසියාවේ විරැද්ධ පක්ෂයේ දේශපාලනඥයෙක් වූ බොරිස් නෙම්ට්සොව් වෙඩි පහරක් වැදී මිය ගියේය. ඔහුට වෙඩි තැබූ අය අත්අඩංගුවට ගැනේවි යැයි බියකින් නොසිටියහ. පිටුපසින් නෙම්ට්සොව්ට වෙඩි තැබූ ඝාතකයන් එය සිදු කළේ මොස්කව් නගරය මධ්‍යයේය. ඔවුන් නගරයෙන් පැන යන්නට උත්සාහ නොගත්හ. ක්‍රෙම්ලිනය වටා ගොස් රැසියන් පාර්ලිමේන්තුව වන ඩූමා පසු කරගෙන ගිය ඔව්හු පළා ගිය වාහනය පුළුස්සා දැමුවේ ද නැත.

මෙම හැදියාවෙන් ඝාතකයන් චෙච්නියාවේ ජනාධිපති රාමසාන් කඩිරොව්ගේ හෙංචයියන් යැයි සැකයක් පහළ විය. චෙච්නියන් ජනාධිපති රාමසාන් කඩිරොව් රැසියන් ජනාධිපති ව්ලැඩමියර් පූටින්ගේ සමීප හිතවතෙකි. කඩිරොව් හිටපු හමුදා නායකයෙකි. රාමසාන් කඩිරොව්ගේ පියාව ඝාතනය වූ පසුව කිසිවෙක් නොදත් පුතාව හැමෝම දන්නා අයෙක් බවට හැරෙව්වේ පූටින් විසිනි. ඒ චෙච්නියාවේ අවුල් විසඳන්නටයි. චෙච්නියාවේ රැසියන් යුද්ධ අවසන් ද? යන මාතෘකාවෙන් මා කළින් ලියා ඇති ලිපියක් ඒ සබැඳියෙන් කියවත හැකියි.

රැසියාවේ නීති පැත්තකට දමා ආරවුල් විසඳන්නට කියා පූටින් විසින් කඩිරොව්ට නිදහසේ කටයුතු කරන්නට සෑහෙන බලයක් පවරන ලදි. රැසියාව යටතේ පවතින චෙච්නියාව රාමසාන් කඩිරොව්ගේ පාලනය යටතේ විසංයුක්ත ඉස්ලාමීය දේශයක් බවට හැරී ඇත. කඩිරොව්ට භටයන් විසිදාහකින් යුතු ඔහුගේම යුද හමුදාවක් ඇත. ඔහුගේම වූ නිල නොවන බදු ක්‍රමයක් ඇත. එසේම ඔහු විසින් පනවන ලද ඉස්ලාමීය ආගමික නීති ද ඇත. ඔහු රැසියාවේ පළාත් අතර වැඩිම ශක්තියක් පෙන්වන්නට හැකි නායකයා වෙයි.

ඔහුගේ ආරක්ෂක සේනාවට මොස්කව් වල විශේෂ වරප්‍රසාද හිමිවේ. පැහැරගෙන යාම්, වධහිංසා, සහ මුදල් ගන්නට කරන බලහත්කාරකම් යනාදියට වරදකරැවන් වී අත්අඩංගුවට පත් වූ මේ ආරක්ෂක සේනාවේ අය ඒවායෙන් නිදහස් වූහ. 2006 දී ඇනා පොලිටිකොව්ස්කායා නැමති වාර්තාකාරියව මරා දමන ලදැයි සැකයට පාත්‍ර වූ අය චෙච්නියාවට ගොස් කඩිරොව් අසල වාසය කළේය. ඔහු අනතුරැව මරණයට වරදකරැ හැටියට ජීවිත කාලයට සිර දඬුවමක් ලැබුව ද මරණය සිද්ධ කරන්න යැයි අණ දුන්නේ කවුදැයි කියා හෙළි වූයේ නැත. කඩිරොව් විසින් තර්ජනය කරන ලද මානුෂික අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිණියක් වූ නතාලියා එස්ටමිරොවා චෙච්නියාවේ දී මරා දැමුනු විට ඒ ගැන කිසිවෙක් ප්‍රශ්න නොකළහ. කඩිරොව්ගේ එදිරිවාදියෙක් වූ රැස්ලාන් යමාදේව් ට්‍රැෆික් තදබදය අස්සේ මොස්කව් හි මහජන ගොඩනැඟිල්ලක් අසල දී වෙඩි තබා මරා දැමිණ. ජෝර්ජියාවට එදිරිව රැසියානු-හිතවාදී පෙරමුණක් මෙහෙයවූ යමාදේව්ගේ සහෝදරයාව ඩුබායි හි දී ඝාතනය විය. පොලීසිය වරෙන්තුවක් නිකුත් කළේ කඩිරොව්ගේ ඥාතියෙක් හා ඔහුගේ දකුණු අත හැටියට හැඳින්වෙන පුද්ගලයෙකුටයි. 2009 දී කඩිරොව්ගේ වධහිංසා සහ ඝාතන මෙහෙයුම් ගැන ප්‍රසිද්ධියේ කතා කළ හිටපු ආරක්ෂක භටයෙක්ව වියානාවේ දී මරා දැමිණ. ඉතින් බොරිස් නෙම්ට්සොව්ගේ මරණයට සැක කරැවන් යැයි කඩිරොව්ගේ නිල නොවන හමුදාවේ පස් දෙනෙක් අත් අඩංගුවට ගැනෙද්දී, ඔවුන් අතර සවුර් දදෙව් නම් එහි “උතුරැ බැටෑලියන්” හි හිටපු කමාන්ඩර් ද සිටීම ගැන, මේ තතු දන්නා කිසිවෙක් පුදුමයට පත් නොවූහ.

රැසියන් ආරක්ෂක අංශ කියන්නේ දදෙව් සහ ඔහුගේ සගයන් නෙම්ට්සොව් මරණයට සැලසුම් හදා අනතුරැව ඔහු මරා දැමුවා කියායි. එහෙත් චෙචෙන් සටන්කාමීන් කඩිරොව්ගේ අනුදැනුමක් නැතිව කිසිත් නොකරන බවත් තතු දන්නා සියල්ලන්ම දනිති.

එසේම පූටින් සේවය කළ ඉස්සර KGB නමින් හැඳින්වුන දැන් FSB නොහොත් ෆෙඩරල් ආරක්ෂක අංශය හැටියට හැඳින්වෙන්නේ ඒජන්තවරැ ද නිතරම නෙම්ට්සොව් පසුපස යන්නා බවත් තතු දන්නා සියල්ලන්ම දනිති.

රැසියන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට සහ ආරක්ෂක අංශයට පූටින් විසින් නිදහසේ කටයුතු කරන්නට ඉඩ දී ඇති රාමසාන් කඩිරොව් ගැන කිසිත් ප්‍රසාදයක් නැත. චෙච්නියාවේ රැසියන් නිලධාරීන් ද මේ දේශපාලන අධිකාරියට එතරම් කැමැත්තක් නොදක්වති. විප්ලවකාරීන් සමඟ පැවති ගැටුමක දී මේ උතුරැ බැටෑලියන් එක විසින් පාවා දුන්නා යැයි 2010 දී රැසියන් හමුදාව දෝෂාරෝපණයක් ද එල්ල කරන ලදි.

ලිබරල් පුවත්පතක් හැටියට සැලකෙන නොවායා ගැසෙටා මෙසේ අසයි: ක්‍රෙම්ලිනයට සහාය දෙන බලකණු දෙකක් ඔළු හප්පා ගෙන සිටිති. දැන් ඔවුන් එකිනෙකාගෙන් ඈත්ව විරැද්ධ පැති වලට ගමන් කරති. ඔවුන් ක්‍රෙම්ලිනයට බලකර සිටින්නේ රැසියාවේ අව්‍යාජ දේශප්‍රේමියා කවුදැයි තෝරාගන්නට කියායි.”

ඉතින් දැන් දෙපැත්තක එදිරිවාදීන් හමුවේ ව්ලැඩමියර් පූටින් විසින් තම සහාය දෙන්නට එක පැත්තක් තෝරා ගත යුතුව ඇත. ඔහු තම FSB පැත්ත තෝරා ගනීවි ද? නැත්නම් චෙච්නියන් යහළුවන් තෝරා ගනීවි ද? මේ සටහන ලියුවේ හුණුවටයේ කතාව තේමාවට උපයෝගී කරගනිමින් The Caucasian connection සිරස්තලයෙන් පළ වූ ද ඉකොනොමිස්ට් සඟරාවේ ලිපිය ඇසුරෙනි.

සුභ සාධන ආණ්ඩුවකින් එල්ල වෙන අවදානම ගැන ජනතාව දැනුවත් කරන්නට කාලය අපතේ නොහරින්න යැයි කියන පහත විඩියෝවේ සිටින යූරි බෙස්මෙනොව්ට ලංකාවෙන් ලුලුම්බා විශ්ව විද්‍යාලයට ගිය අපේ සහෝදරයන් (ප්‍රයෝජනවත් මොට්ටයන්) කී දෙනෙක් හමු වී ඇත්දැයි එය නරඹද්දී මට සිතුණි.

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: