අරුණි ශපීරෝ‍ වෙතින්

රත්තරන් වෙරළේ ප්‍රයෝජනවත් මෝඩයා

Posted in Uncategorized by arunishapiro on මාර්තු 18, 2015

මැන්ඩෙ බසින් ඝානා යන වචනයේ අර්ථය “රණශූර රජු” යන්නයි. රණශූර රජු යන්න ඝානා අධිරාජ්‍යයේ රජවරැන්ට මධ්‍යකාලීන යුගයේ දී ප්‍රදානය වූ නම්බු නාමයකි. ගෝත්‍රික කල්ලි වලින් සෑදුන ඝානා දේශ සීමාවන්ට මුලින්ම රිංගා ගත් යුරෝපීයයන් පෘතුගීසීන් වූහ. රත්තරන් සහ ඇත්දළ සොයා එන සෙසු යුරෝපීයයන් වහලුන් මිල දී ගත්තේ අවි සහ නිමි භාණ්ඩ හුවමාරැවෙනි. යුරෝපීයයන් සමඟ ගණුදෙනු වලින් අවි ආයුධ ලත්තන් අනෙකුත් ගෝත්‍රික කල්ලි සමඟ සටන් වැද යටත් කරගන්නට හැකි වූ ගෝත්‍රික කල්ලියව යුරෝපීයයන්ට වහල් වෙළඳාම පිණිස විකුණූහ. ඒ 1600 ගණන් හි දී ය.

1807 වෙද්දී බ්‍රිතාන්‍ය විසින් රත්තරන් වෙරළේ වහල් වෙළඳාම තහනම් කරන ලදි. අවි ආයුධ හා නිමි භාණ්ඩ හුවමාරැ වූයේ කොකෝවා, රත්තරන්, දැව සහ පාම් තෙල් වලටයි. මුහුදුබඩ දක්වා පාලන දේශ සීමාව ගෙන යන්නට සමත් වී රත්තරන් වෙරළේ යුරෝපීයයන් සමඟ කළ වෙළඳාම අල්ලා ගන්නේ අශාන්ති ගෝත්‍රයේ රජු වූ ඕසෙයි බොන්සූ (පාලනය 1804-1824) විසිනි. අකාන් බසින් බොන්සූ යන්නේ අර්ථය තල්මසා නොහොත් මුහුදේ සිටින විශාලතම බලවත්ම මාළුවා යන්නයි. බොන්සූ 1824 දී මිය ගිය විට අශාන්ති දේශයේ බලය අල්ලා ගන්නට බ්‍රිතාන්‍ය හමුදාව යුද වැදිණ.

1833 වෙද්දී බ්‍රිතාන්‍ය උපනිවේෂ සියල්ලේම වහල් ක්‍රමය ආලෝපනය වූ අතර බ්‍රිතාන්‍යයන්ට අයිති වහලුන් සියල්ලම නිදහස් කෙරිණ. 1850 වෙද්දී ඩෙන්මාර්කය විසින් ඔවුන් සතු බලකොටු ඇතුළු අනෙකුත් හිමිකම් කියූ දෑ මහා බ්‍රිතාන්‍යයට ස්ටර්ලින් පවුම් දහ දාහකට පවරා දේශයෙන් අයින් වූහ. දැන් පළාතේ ඉතිරි වූ යුරෝපීය බලවත් බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයි. ආශාන්ති ගෝත්‍රිකයන් එහෙත් දිගින් දිගටම විරෝධතා දැක්වීමට සටන් වැදීම නැවැත්වූයේ නැත.

1884 දී බර්ලිනයේ පැවති සාකච්ඡාවකින් බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජු විසින් අප්‍රිකාවේ සීමා මායිම් අලුතින් අඳින්නට සෙසු යුරෝපීයයන්ව කැමති කරවා ගති. හිටිහැටියේ අප්‍රිකාව පුරා විසිර තිබුණ ගෝත්‍රික රාජධානි දහස් ගණනක් යුරෝපීය උපනිවේෂ 50 ක් බවට හැරිණ. වර්තමාන ඝානාවේ එක කොටසක් බ්‍රිතාන්‍යයටත් ජර්මන් ටොගොලන්ඩ් වලටත් බෙදිණ.

අප්‍රිකාවේ ගෝත්‍රික කල්ලි පරදවා බලය අල්ලා ගත් යුරෝපීය ගෝත්‍රික කල්ලි තම යුද ජයග්‍රහණයන් එසේ බෙදා ගත්තා නොවේද?!!!!

බ්‍රිතාන්‍ය යටත්විජිත ආග්‍රාණ්ඩුකාරයා වූ ෆෙඩ්රික් හොජ්සන් විසින් අශාන්ති ගෝත්‍රයේ රත්තරන් බංකුව, ඔවුන්ගේ දේශයට ගෝත්‍රයේ පාලක අයිතිය පෙන්වූ සලකුණ, බ්‍රිතාන්‍ය රජයට පවරා ගත් බව කියැවේ. පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මන් පළාත් ද බ්‍රිතාන්‍යයට ලැබිණ.

බ්‍රිතාන්‍ය යටත්විජිත ඝානා වැසියෙක් වූ ක්වාමෙ න්ක්රෑමා 1935 දී රත්තරන් වෙරළෙන් එංගලන්තයේ ලිවර්පූල් බලා පිටත් වූයේය. එහි දී ඇමෙරිකන් එම්බසියෙන් ශිෂ්‍ය වීසාවක් ලබාගන්නා ඔහු ඇමෙරිකාවට පැමිණියේය.

ක්වාමෙ න්ක්රෑමා ලෙනින් ගැන ඉගෙන ගන්නේ ඇමෙරිකාවෙන්. හැම විෂයයකටම අදාල නිබන්ධයක් ලියද්දී අප්‍රිකාවේ නිදහස සහ යටත් විජිත අරගලය කොතැනකින් හෝ ඊට ඈඳා ගැනීම ඔහු වෙතින් දකින්නට ලැබුණු ලක්ෂණයක් බව ඔහුගේ ඇමෙරිකන් ගුරැවරයෙක් පවසයි.

ඔහුට ඇමෙරිකාවේ වාසය කරන ට්‍රොට්ස්කිවාදීන් ඇසුරට ඉඩ පෑදෙයි. ඇමෙරිකාවෙන් එංගලන්තයට යන ඔහු අප්‍රිකානු සමාජවාදය ගොඩ නඟන්නේ එංගලන්තයේ රැඳී සිටිමිනි. අප්‍රිකානු ගෝත්‍රිකවාදය හෙමින් ඉවත් කරමින් ඒ වෙනුවට ‘එක මිනිසෙකුට එක චන්දයක්’ ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදය ගෙනැවිත් කොමියුනිස්ට් හෝ සමාජවාදී ආර්ථික ක්‍රමයක් පිහිටුවීම සඳහා ඔහු සියළු තොරතුරැ එකතු කරගන්නේ සහ පුහුණුව ලබන්නේ ලන්ඩනයේ වාසය කරද්දී ය.

1947 දී යුනයිටඩ් ගෝල්ඩ් කෝස්ට් කන්වෙන්ෂන් නමින් නව දේශපාලන පක්ෂයක ලේකම් හැටියට න්ක්රෑමා පත් වෙයි. 1948 දී යටත්විජිත විරෝධි උද්ඝෝෂණයකින් 29 ක් මරැමුවට පත්ව සිය ගණනක් තුවාල ලබති. පක්ෂයෙන් ඉවත් වී යන න්ක්රෑමා කන්වෙන්ෂන් පීපල්ස් පාටි (CCP) පටන් ගනියි. එම පක්ෂයට ඉතාමත් ඉක්මණින් අප්‍රිකාවේ ජාතික ව්‍යාපාරයන් මුල් කරගත් දේශපාලනයේ ප්‍රධාන තැනක් හිමිවිය. එහි සටන් පාඨය නිදහස. සැමවිට ඉදිරියට, ආපස්සට කිසිවිට නැත, කියායි.

පක්ෂය පළමු මැතිවරණයක දී ලබාගත් ජය අනුව න්ක්රෑමා අප්‍රිකාවේ ප්‍රථම අගමැතිවරයා වෙන්නේ 1952 දී ය. බ්‍රිතාන්‍ය ආග්‍රාණ්ඩුකාර සර් චාල්ස් ආර්ඩන්-ක්ලාක් යටතේ ඔහු 1954 දී සහ 1956 දී නැවත නැවතත් අගමැති ධූරයට තේරී පත්වේ.

ගෝල්ඩ් කෝස්ට් උපනිවේෂය ඇතුළු ස්වාධීන පළාත් හතරක එකතුවෙන් ඝානා යන රට 1957 දී යුරෝපීය යටත්විජිතවාදයෙන් ස්වාධීනත්වය ලැබූ මුල්ම අප්‍රිකානු කලාපීය රට බවට පත්විය.

ක්වාමෙ න්ක්රෑමා ඝානාවේ පළමු ජනාධිපතිවරයා විය. ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වර්ධනය වුව ද ඝානාව යනු එහි ගෝත්‍රික කල්ලි අතර වැඩි ඇයි හොඳයියක් පැවති රටක් නොවේ. න්ක්රෑමාගේ දේශපාලන චින්තනයේ හවුල්කාරයන් වූයේ චේගුවේරා වැනි අයයි.

1958 දී රටට එරෙහිව කටයුතු කරනවා යැයි සැක කටයුතු පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට හැකි නීතියක් සම්මත කර ගැනිණ. ඒ සැකයට පාත්‍ර වූ පුද්ගලයන්ව වසර පහක් විනිශ්චයක් නොදී සිරබාරයේ තැබිය හැකියාව ඔවුන් හදාගත්හ. එක දේශපාලන පක්ෂයක් ඇති රටක් බවට එය හැරෙමින් පැවතිණ.

බ්‍රිතාන්‍යයන් ආපසු බාර දෙන විට රත්තරන් වෙරළ අප්‍රිකාවේ වඩාත්ම දියුණු දේශය විය. පාසැල්, දුම්රිය මාර්ග, ඉස්පිරිතාල සහ දියුණු ආර්ථිකයක් පැවතිණ.

න්ක්රෑමා ඝානාව වේගයෙන් කාර්මීකරණය කරන්නට උත්සාහ කළේ සමාජවාදයෙන්. ආණ්ඩුවේ සල්ලි වලින් පාසැල්, මහා මාර්ග ඉදි කරමින් නොමිලේ සෞඛ්‍ය සේවයත් නොමිලේ බෙදන අධ්‍යාපනයත් පිහිටුවීය. 1961 දී පිහිටුවන ලද ක්වාමේ න්ක්රෑමා අයිඩියලොජි ඉන්ස්ටිටියුට් තුලින් ඝානාවේ රාජ්‍ය සේවකයන් පුහුණුව පටන් ගැනිණ. 1964 දී විශ්ව විද්‍යාලයට ඇතුල්වෙන සිසුන්ට එහි දී සති දෙකක “අයිඩියලොජි පුහුණුවක්” අනිවාර්ය විය. නිදහස් නොවූ අධ්‍යාපනය නොමිලේ යැයි කියමින් බෙදූ ඔහු කියා සිටියේ “පක්ෂයේ අයිඩියලොජිය ආගම හා සමාන බව පුහුණුකරැවන් අවබෝධ කරගත යුතු බවත්, එය හිතෛෂී ලෙස සහ දැඩි හිතෛෂී ලෙසින් භාවිතයට ගත යුතු බවත්” ය.

1964 දී හත් අවුරැදු සංවර්ධන සැලැස්මක් මඟින් මුල්‍ය විනාශ කරන මහජන ඉදිකිරීම් රටපුරා ගෙන ගිය ඔහු 1966 දී බලයෙන් පහ වෙද්දී ඇමෙරිකන් ඩොලර් බිලියනයක් පමණ ඒවා සඳහා වැය කරන ලදැයි සැලකේ.

රටේ ජනතාව පිට පටවන වැය බව නොදැන, වොල්ටා ගඟ හරහා වේල්ලක් ඉදි කළේ 1961 දී. එය ඉදි කරන්නට සමාජවාදය වැළඳගත් න්ක්රෑමා හවුල්කර ගන්නේ ඇමෙරිකන් වාල්කෝ කොම්පැණියයි.

තමන්ව අප්‍රිකාවේ ලෙනින් හැටියට සැලකූ ඔහුට 1963 දී ලෙනින් සාම තෑග්ග ද හිමිවිය.

1967 දී න්ක්රෑමා “අප්‍රිකන් සමාජවාදයට නැවත පිවිසුමක්,” නමින් ලිපියේ මෙසේ ලියයි: “අපි දන්නවා “සාම්ප්‍රදායික අප්‍රිකන් සමාජය” බිහිවූයේ සාමානාත්මතාවාදයේ සිද්ධාන්ත ඇසුරින් බව. එහි සත්‍යයෙන් වැඩ කරද්දී කෙසේ වෙතත් එහි අඩුපාඩු බොහොමයක් තියෙනවා. එහි මානුෂික ආවේගය තමයි හැබැයි අපි යොදාගත යුත්තේ අපිව සම්පූර්ණ අප්‍රිකානු සමාජවාදී ප්‍රතිසංස්කරණයක් කරා ගෙන යන්නට.”

නිදහස වෙනුවෙන් පෙනී සිටිය ද, හේ නිදහස කුමක්දැයි නොදත්තෙකි. සැමවිටම ඉදිරියට කියා ගත්ත ද, ඔහු ගමන් කළේ ආරම්භයේ පටන්ම ආපස්සටයි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Vishva Kumara said, on මැයි 3, 2015 at 4:55 පෙ.ව.

    This could be used to spice up my next novel.!

    It is a fantasy sci-fi with an undertone on liberty.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: