අරුණි ශපීරෝ‍ වෙතින්

අනවශ්‍ය ගෞරවය සහ වැරදි මතයේ එල්බ සිටීම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 24, 2015

ගෞරවය: අයෙක්ව හෝ දෙයක් ඔවුන්ගේ හැකියාවන්, ගුණාංග නැත්නම් ජයග්‍රහණයන්හි ප්‍රතිඵල තුලින් දැඩි සේ අගය කිරීම

තම දරැවාට ශිෂ්ඨ සම්පන්න වූ වැඩිහිටියෙක් වෙන්නට මාර්ගය පෙන්වා දුන් අම්මා තාත්තාට ගෞරවයක් පුදන්න අවශ්‍ය ද?

කම්හලේ සේවකයා වැඩ මුරය අවසන් කළා යැයි ඔහුට ගෞරවයක් පුදන්න අවශ්‍ය ද?

රෝහලේ වෛද්‍යවරයා ලෙඩුන් සුව කළා යැයි කියා ඇයට ගෞරවයක් සමාජයෙන් ලැබිය යුතු ද?

පුද්ගලික ව්‍යාපාරිකයෙක් මෙතෙක් වෙළඳපොලේ නොතිබූ භාණ්ඩයක් නිර්මාණය කර එයින් පාරිභෝගිකයන් සතුටු කරමින් නව රස්සාවල් බිහි කළා යැයි ගෞරව දැක්විය යුතු ද?

රටේ නායකයෙක් අල්ලස් නොගත්තා යැයි කියා ඒ ගැන ගෞරවයක් හිමි විය යුතු ද?!!!!

නැතිනම් ඒවා ඒ ඒ අය විසින් එසේ ඉටු කරනු ඇතැයි අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතු දේවල් ද?!!!!

ඒත්, ඉපදුන හැටියේ දරැවන් මරා දමන දෙමව්පියන්, ජවයෙන් යුතුව වර්ජනයට දුවන ඒත් වැඩට කම්මැලි සේවකයන්, දිවිනසා ගන්නට ජනේල වලින් පනින්නට හිතෙන තරමට ලෙඩුන්ට අතවර කරන වෛද්‍යවරැ, පාරිභෝගිකයන් රවටන ව්‍යාපාරිකයන්, අල්ලස් ගන්නා දේශපාලනඥයන් ගැන නිතර ඇහෙද්දී ජනතාව හුරු වී සිටින්නේ තමනට නියමිත කාර්ය භාරය ඉටු කරන අයව ගෞරවයෙන් පිදිය යුත්තන් සේ දකින්නට ද?!!!

තම යුතුකම් හා වගකීම් පැහැර හරින අය බහුල වූ පමණින්, සමාජයේ තමන් විසින් කළ යුතු වූවේ යෙදෙන්නාට ගෞරවයක් දීම අනවශ්‍ය වූවකි. යුතුකම් හා වගකීම් පැහැර හැරීම සාමාන්‍යයක් යැයි සිතන, වැරැද්ද නිවැරද්ද කුමක්දැයි හරිහැටියට නොදත්, විකෘති සමාජයක් එවිට බිහි වෙයි.

මගේ මතයට ගෞරවයක් ලැබෙන්නේ අනුන්ගේ මතයකට ගෞරවයක් දැක්වීමෙන් පමණක් ද? මෙය පටලවා ගත් අය බොහොමයක් අනුන්ගේ මත සියල්ලටම ගෞරව කළ යුතු යැයි කියති. හිට්ලර්ගේ මතයට ගෞරව කළ යුතු ද? නැත්නම් ඔහුගේ මතය විනාශකාරී වූවක් යැයි කියා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ඔහුට යම් මතයක පිහිටා සිටිත හැකි අයිතිය පමණක් බාරගත යුතු ද? හිට්ලර් හෝ ඔසාමා බින් ලාඩන් හෝ ප්‍රභාකරන් හෝ යම් මතයක එල්බ සිටි පමණින් සිද්ධ වෙන හානියක් නැත. හානිය ඇතිවෙන්නේ ඔවුන් ඒ මතය තුලින් හානිකර ආකාරයෙන් ක්‍රියා කරන්නට පටන් ගන්නා විටයි. අපි මතයට එරෙහි වී එය ප්‍රතික්ෂේප නොකරන්නේ ද, එහි දී ඔවුන්ගේ ක්‍රියාවන්ට එරෙහි වීමේ හැකියාව ද අහිමි කර ගනිමු.

අපි හැකිතරම් උත්සාහ ගත යුත්තේ පවතින දුර්මතයන් බිඳ හෙළන්නටයි. එවිට සමාජය ප්‍රකෘති තත්වයකට ගෙන එන්නට හැකියාව ලැබේ. ආසියාවේ ජීවත් වෙන නිසා හෝ ලංකාවේ ජීවත්වන නිසා කියා මිනිසාට උපතින් පිහිටා තිබෙන යමක් අවබෝධයට හැකියාවේ කිසිත් අඩුවක් නැත. අඩුව ඇත්තේ ඔවුන්ට නිතර දෙවේලේ බෙදන දහ ජරාව වෙනුවට ජීවිතයට වැදගත් අදහස් ලැබීමේ දැඩි හිඟකම පමණයි.

වෙළඳපොල වෙත විශ්වාසය තබාගත හොත් ඒකාධිකාරයන් බිහිවෙනවා ඇතැයි යන්න තවත් බහුලව බෙදන ලද, විමසිල්ලෙන් තොරව අදහන දුර්මතයකි. මේ අය හිතන්නේ ආණ්ඩුව මැදිහත් නොවුන හොත්, නිදහස් වෙළඳපොල ගැන විශ්වාස තැබීම නිසා, ලාභ සොයන සමාගම් විසින් සුළු නිෂ්පාදකයන්ව පළවා හැර විශාල සමාගම් ටිකක් පමණක් ඉතිරි වී සියළු භාණ්ඩ විකුණන අයිතිය අල්ලා ගනු ඇත කියායි. ඒකාධිකාරයන් බිහිකිරීම වෙළඳපොලේ ස්වභාවය යැයි ඔවුන් වරදවා වටහා ගෙන සිටිති. මේ අයගේ දෝෂ සහගත විශ්වාසය ආණ්ඩු යන මහජන පොදු යහපත සාධනයට පෙළඹී සිටින්නක් බැවින් ඔවුන් ඒකාධිකාරයන් මෙල්ල කරන්නට කටයුතු කරන බවයි.

ඒකාධිකාරය රකින්නේ ආණ්ඩුව ද නිදහස් වෙළඳපොල ද යන්න පැහැදිලිව පෙන්වන කදිම උදාහරණයක් මෑතක දී ලියුවෙමි.

තමන් කැමති කල්ලි සහ පුද්ගලයන්ට ඒකාධිකාරයන් පවරා දෙන්නට හැකියාව ඇත්තේ ආණ්ඩුවටයි. එය නිතර පාහේ කරන්නේ ද ආණ්ඩු විසිනි. වෙළඳපොලට ඇතුල් වෙන්නට හා එහි තරඟ කරන්නට යම් අයට ඉඩ දී අනෙක් අයට තහනම් කිරීම ඒකාධිකාරයයි.

නිදහස් වෙළඳපොල යනු ඕනෑම අයෙකුට ඊට එකතු වෙන්නත් එය අත්හැර යන්නත් හැකි තැනකි. කැමති අයෙකු වෙතින් මිල දී ගන්නට හෝ කැමති අයෙකුට විකුණන්නට හැකි තැනකි. වෙළඳපොලේ යම් ආයතනයක් අනෙක් අයට වඩා ලාභ උපයන්නට සමත් වෙන්නේ ද, එවිට ඒ ලාභ ආකර්ෂණය කරගන්නේ ඔවුන්ගේ තරඟකාරයන්වයි. එහි දී තරඟකාරයන් වැඩි වෙද්දී ලාබ අඩු වී යයි.

වෙළඳපොල විසින් නිතර පාහේ ඒකාධිකාරයන් බිහි කරනවා නම්, එහෙනම් මෙපමණ පිරිසක් ආණ්ඩුවලට හේත්තු වෙමින් ඒකාධිකාරයන් ලබා ගන්නට වෙහෙස වෙනවා දකින්නට අපිට ලැබෙන්නේ නැත. එවිට ඔවුන් තමන්ට වඩා බලයෙන් අඩු තරඟකාරයන් සහ පාරිභෝගිකයන් පරදුවට තබා වෙළඳපොල තුලින් ඒකාධිකාරයන් ලබා ගන්නවා ඇත. නමුත් අපිට වැඩියෙන් දකින්නට ලැබෙන්නේ පැරදෙන ආණ්ඩුවෙන් පැන දුව ගිහින් දිනපු ආණ්ඩුවට හේත්තු වෙන අය නොවේ ද?

වංචා දූෂණ අල්ලස් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අංගයක් හැටියට සලකන සමාජයක් ඒවායෙන් ගලවා ගන්නට හැකියාව ඇත්තේ දුර්මතයන් මොනවා දැයි කියා ඒ දුර්මතයන්හි එල්බ සිටීමෙන් දුක්විඳින්නේ ඔවුන්ම බව පහදා දීමෙනි. නැතිව දැන් සිටින පීඩකයන් පළවා හැර වෙනත් පීඩකයන්ට ඉඩ දීමෙන් නොවේ.

වෙළඳපොල තුලින් ඒකාධිකාරයක් බිහිවෙනවා යන දුර්මතය පිළිබඳව අදහස් ලියන්නේ, මාර්තු 31 වැනිදා පෙව 11ට කොළඹ 5, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේ දී පැවැත්වෙන “ධනවාදයේ සදාචාරාත්මක බව” දේශනයේ කථිකයා වන ටොම් ජී. පාමර් ලියූ “වෙළඳපොල ගැන මිථ්‍යාවන් විස්සක්” යන ලිපිය ඇසුරිනි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Pradeep Jayatunga said, on මාර්තු 25, 2015 at 2:51 පෙ.ව.

    කුමන හෝ හේතූන් නිසා මිනිසුන්ට පුද්ගලවන්දනා හෝ වීරවන්දනා අවශ්‍යයයි. කාව හරි වීරයෙක් කරගෙන ඔහු හෝ ඇය වන්දනාකරගෙන පසුව ඩිසපොයින්ට් වීම හුඟදෙනාගේ ජීවිතයේ අංගයක්.
    Human nature ද මංද?

    • arunishapiro said, on මාර්තු 25, 2015 at 5:25 පෙ.ව.

      Pradeep Jayatunga,

      නැහැ ඒක මිනිස් ස්වභාවයක් කියල මම හිතන්නෙ නැහැ. ඒක මිනිසා විසින් ඇති කරගත්තු පුරැද්දක්. පුද්ගල වන්දනා හෝ වීර වන්දනා නොකරන අය බොහොමයක් මම හඳුනනවා. ඔවුන් මිනිස්කමට දක්වන ගෞරවය වැඩියි. නමුත් ඒකීය මිනිසෙක් තවත් ඒකීය මිනිසෙකුට වඩා යම් ආකාරයකින් උසස් යැයි සලකන පුරැද්ද අඩුයි. හැමෝටම එක හා සමානත්වයෙන් බෙදන්න අවශ්‍ය යැයි සිතන අය අතර තමයි වැඩියෙන්ම දකින්න ලැබෙන්නෙ යම් පුද්ගලයෙක්ව අනෙක් අයට වඩා උසස් තැනක තබන පුරැද්ද.

  2. සාරිකා විචාරනී said, on මාර්තු 25, 2015 at 11:28 පෙ.ව.

    අමුතුවෙන් සිතන්නට මගක් ලැබුණා ඔබට ස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: