අරුණි ශපීරෝ‍ වෙතින්

ඇයි අපිට අයිතියක් නැද්ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 10, 2015

bastiattomandgroup

බ්ලොග් වසන්තයක් පටන් ගෙන ඇත. එය අතිශය සතුටට කාරණයකි. රසවත් බ්ලොග් ගණනාවක් කියවන්නට ඉන් ඉඩකඩ පෑදී තිබේ. දැනටමත් එකතු වෙලා නැත්නම් බ්ලොග් වසන්තයට එකතු වෙන්න තවමත් පමා නැත. බලය බෙදී යන ඕනෑම උත්සාහයක් සැමදා ප්‍රිය කරන මම බ්ලොග් වසන්තයට ද ජයෙන් ජය පතමි!

බ්ලොග් වලින් කරන්න පුළුවන් හපන්කම් මොනවාදැයි බ්ලොග් ලෝකයේ සැරිසරන ලද අය මනා සේ දැනටමත් වටහාගෙන තිබෙන්නකි.

උරගා බැලුවොත් තමන්ට ඇති දක්ෂතාවන් මොනවා දැයි ඒකීය පුද්ගලයාට අවබෝධය ලැබේ. එසේම තමන්ගේ දුර්වලකම් මොනවා දැයි අවබෝධයක් ලැබෙන්නේ ද උත්සාහවන්තයන්ට පමණි.

පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට වැදගත් වෙන කරුණු ලියන්නට මා ගන්නා උත්සාහයේ දී, ආරම්භයේ පටන්ම මේ දක්වා මා ඉදිරිපිට ඇති, නිති ජයගන්නට වෙහෙසෙන, අභියෝගය නම් සරල සුමග සිංහලෙන් ලිවීමේ නොහැකියාවයි. ප්‍රබන්ධ විලාසයෙන් ශාස්ත්‍රීය සංකල්ප ඉදිරිපත් කිරීම දුෂ්කර වූවකි. එහෙත් මගේ කඨෝර ශෛලිය ඉවසමින් දීර්ඝ ගමනක් යන්නට යම් පිරිසක් එක් වී සිටිති.

උත්සවාකාරයෙන් පැවැත්වූයේ නැති ලංකා ඉතිහාසයේ ප්‍රථම ධනවාදී දේශනය අතිශය සාර්ථක විය. එහි සාර්ථකත්වය අපි මනිනුයේ කෙතරම් පිරිසක්, කුමන සමාජ කොට්ඨාශයක් නියෝජනය කරමින් පැමිණියා ද මත නොවේ. ඒ දේශනයට අහන්නට පැමිණි අය අතරින් අනාගත සාර්ථකත්වයට යා හැකි මාර්ගය තෝරා බේරාගන්නට එදා සභාවේ සිටි ඒකීය පුද්ගලයන් කී දෙනෙක් සමත් වූවා ද, ඒ අය නිසා තව කොපමණ දෙනෙක් ඊට සමත් වෙන්නේ ද යන්න මතයි.

මෙතෙක් ලැබී ඇති සියළු සාධක පෙන්නුම් කරන්නේ අපි අතිශයෙන්ම සාර්ථක වී ඇති බවයි.

කෙටි කලක දී මහත් වගකීම් සහිත සංවිධාන කටයුතු රාශියක් ඉෂ්ට කරන්නට සමත් වූයේ මේ බ්ලොග් අඩවිය නිසාම මම හඳුනාගත් ලංකාවේ ප්‍රථම ධනවාදී සංගමය වන ශ්‍රී ලංකා බැස්ටියාට් සංගමයේ සභාපති ධූරය හොබවන ඉෂාර ගමගේ විසිනි.

හැමදාම යෙදෙන අසාර්ථක පර්යේෂණ වලින් මිදී සාර්ථක ක්‍රමයක් අත්හදා බලන්නට ඉෂාර මල්ලී නිර්මාණය කරන ලද රන්දොර ව්‍යාපාරික වෙබ් අඩවියෙන් මේ දේශනයේ වෑයමට එක් වූ අය බොහෝ වෙති.

මේ බ්ලොග් එකෙන්ම හඳුනාගත් ක්‍රිෂ්ණ රාමණායක සහ එන්. පී. විශ්ව කුමාර ද ටොම් පාමර් සමඟ වේදිකාවේ ඉන්නවා දකින්නට ලැබීම ද සිත ඉහවහා ගිය ප්‍රීතියකි.

ඉෂාර මල්ලීගේ මූලිකත්වයෙන් දියත් වෙන තවත් වෑයමක් හඳුන්වා දෙන්නට අවශ්‍යයයි. ඒ ලක් ඇකඩමියයි. තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය ආර්ථික දැනුම ලංකාව පුරා ප්‍රචලිත වෙන යුගයක ආරම්භය මෙසේ අනේක විධ උත්සාහයන් තුලින් දකින්නට ලැබීම තරම් සතුටක් වෙන ඇත්ද?

ලංකාවේ පමණක් නොව ඝානාවේ ද නිදහස සහ ව්‍යවසායකත්වය වෙනුවෙන් උත්සාහයන් දියත් වී ඇත. අනුන් වෙතින් උදුරා තව අයට බෙදන අසාර්ථක පිළිවෙත් සඳහා සහාය දෙනවා වෙනුවට නිදහස සහ ව්‍යවසායකත්වය තුලින් පුද්ගලයාගේ දියුණුව සාධනය වෙනවා යැයි ඔබ විශ්වාස කරන්නේ නම් මෙවැනි උත්සාහයන්ට ඔබේ පුද්ගලික සහාය දිය හැකියි.

ශ්‍රී ලංකාවේ බැස්ටියාට් සංගමය මෙන්ම මෙවැනි උත්සාහයන් හි බරපැණ පියැවෙන්නේ ඒවායේ වැදගත්කම අගයන ඒකීය පුද්ගලයන් විසින් කැමැත්තෙන් යවන මුදල් වලිනි.

“හරිහැටියම නොවූ, තවමත් නොවූ, කිසිසේත්ම නොවූ, යනාදි ලෙසින් බලාපොරොත්තු සිඳී බිඳී ගියා වූ ගොහොරුවේ ලැග ඔබ තුල දැවෙන ගින්න යළි ඇති කරගන්නට නොහැකි පුළිඟුවක් පුළිඟුවක් බැගින් නිවී යා නොදෙන්න. ලැබිය යුතු ජීවිතය මෙයැයි කියා තනිවම දරාගන්නා ඉච්ඡා භංගත්වයෙන් ඔබේ ජීවයේ වාසය කරන වීරයාට මිය යන්න ඉඩ නොදෙන්න … ඔබ පතන ලෝකය ජයගන්නට හැකියි. එය පවතියි. එය හැකියි. එය ඔබේ ය.” අයින් රෑන්ඩ්

වෙනත් ඕනෑම රැස්වීමක් සංවිධානය කරන අය හමුවේ පවතින අභියෝග වලට අමතරව, “නෛසර්ගිකව දුෂ්ට වූ ධනවාදය” ගැන අහන්නට ආරාධනා යවන්නේ කෙසේදැයි කියන ගැටළුවට බැස්ටියාට් සංගමය මුහුණ දෙයි!!!!

ඒත් මෙතෙක් කාලයක් ලෝකය පුරා මිනිසුන්ව රවටා තැබුවත්, එයින් මිදෙන්නට ක්‍රමවේද සොයාගන්නා මිනිසා අනතුරුව සදාචාරාත්මක වන්නේ ධනවාදයම පමණයි යන සත්‍යය අවබෝධ කරගනියි.

එය අපි අවබෝධ කරගෙන ඇත්නම් ඒ ගැන අනික් අය දැනුවත් කරන්නට ඇයි අපිට අයිතියක් නැද්ද?

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අප්‍රේල් 10, 2015 at 9:20 පෙ.ව.

    උක්ත දේශනයේ හරය පමණක් වත් මෙවැනි සටහන් අතරින් උඩුගන්වන්නට හැකිනම් එය පැමැණිය නොහැකි වූ අයට සැලසෙන මහඟු සේවාවකි. ඔබේ භාෂා ව්‍යවහාරය ඔබට සිතෙන තරම් අඩුපාඩුවක් නැහැ. මෙතෙක් සිංහලෙන් ලබා ඇති දැනුම් අතරට පැමිණෙන අලුත් අදහස් පළ කිරීමේ දී අමුතු බවක් ඇතිවීම වැලකිය නොහැකියි. කියවන අයට මුල්වරට අමුත්තක් දැනුනත් සාවධානව කියවන විට එහි ඇති අගය වටහා ගත හැකියි. ස්තුතියි අරුණි ඔබෙන්වන සේවයට

  2. දුමී said, on අප්‍රේල් 16, 2015 at 7:43 ප.ව.

    //”නිති ජයගන්නට වෙහෙසෙන, අභියෝගය නම් සරල සුමග සිංහලෙන් ලිවීමේ නොහැකියාවයි. “//

    අරුනි ලියන දේවල් වලට හොඳටම ගැලපෙන්නේ අරුනි ලියන ස්ටයිල් එකම තමයි…..! මට නම් කියන දේවල් උකහාගන්න අරුනිගේ ලියන ස්ටයිල් එක භාධාවක් වෙලා නෑ…..!

    //” ප්‍රථම ධනවාදී දේශනය අතිශය සාර්ථක විය. එහි සාර්ථකත්වය අපි මනිනුයේ කෙතරම් පිරිසක්, කුමන සමාජ කොට්ඨාශයක් නියෝජනය කරමින් පැමිණියා ද”//

    අවුරු මොනවා කිව්වත්, අපි මෙච්චර සමාජවාදියි කිව්වත්, ඒ කියන බහුතරය ඇත්තටම ධනවාදයේ නිර්මාණ මයි කියලා ඒ කට මැත දොඩවන අයවත් දන්නේ නෑ….!

    • arunishapiro said, on මැයි 3, 2015 at 9:11 පෙ.ව.

      දුමී,

      ස්තූතියි දුමී. මටත් පේන්නේ ස්ටයිල් එක නිසයි කියල මේ මොනව ද කියන්නේ කියල දැනගන්න එන අය නැවතිලා නැතිවග තමයි 🙂

      //බහුතරය ඇත්තටම ධනවාදයේ නිර්මාණ// ධනවාදය මිනිස් ස්වභාවය අනුව ඕපපාතික බිහිවීමක් මිසක් කාගේවත් නිර්මාණයක් නෙමෙයි. සමාජවාදය තමයි මිනිසා විසින් මිනිස් ස්වභාවය මෙල්ල කරන්නට හැකියි කියල නිර්මාණය කරගත්තු එක. හැබැයි සමාජවාදය හෝ ධනවාදය ගැන වෙන කවුරු හරි කියන දේවල් විතරක් දන්න අයට ඒවා පැහැදිලි කරලා දෙන්න බැහැ. බොරැවට කෑ ගහන්න මිසක් ඇත්තටම දැනගන්න ඕනකමක් නැති නිසා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: