අරුණි ශපීරෝ‍ වෙතින්

පෝනි එක්ස්ප්‍රස්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 14, 2015

පින්තූර සියල්ල ගූගල් වෙතින්.

පෝනි එක්ස්ප්‍රස් හි 155 වැනි සංවත්සරය වෙනුවෙන් ගූගල් විසින් නිර්මාණය කරන ලද විඩියෝ ගේම් එකක සෙල්ලම් කරන්නට අද ගූගල් පිටුව තුලින් හැකියි. සෙල්ලම නිර්මාණය වී ඇත්තේ අශ්වයා පිට නැඟී යන්නා විසින් මුහුණ දෙන බාධක ජයගෙන තැපැල් පත් 100 ක් එකතු කරගැනීමෙනි.

මිසූරියේ සෙන්ට් ජෝසෆ් නගරයේ සිට කැලිෆෝර්නියාවේ සැක්‍රමැන්ටෝ නගරය දක්වා සැතපුම් 1900 ක දුරක් අශ්වාරෝහකයන් මාර්ගයෙන් ගමන් කර ඇමෙරිකාවේ බටහිර පැත්තට ප්‍රථම තැපැල් මල්ල සාර්ථක ලෙස ගෙන යන්නට 1860 අප්‍රේල් 14 වැනිදා සමත් වූයේ පුද්ගලික කොම්පැණියකි. එම කොම්පැණිය පෝනි එක්ස්ප්‍රස් නම් විය.

පණිවුඩ, පුවත්පත්, තැපැල් හා කුඩා පාර්සල් බෙදන මේ පෝනි එක්ස්ප්‍රස් විසින් සැපයූ සේවය පුරා මාස 8 ක් පැවැතිණ. එම කාලය තුල දී ඔවුන් අත්ලාන්තික් වෙරළේ සිට පැසිෆික් වෙරළ දක්වා පණිවුඩ ගෙන යන කාලය දවස් 10 ක් දක්වා අඩු කරගන්නට දක්ෂ වූහ. එවක දී එය කරත හැකි යැයි කිසිවෙක් විශ්වාස නොකළහ.

මෙම කොම්පැණිය පිහිටුවා ගන්නා ලද්දේ ප්‍රවාහන සේවා සැපයීම ගැන මනාව දත් ව්‍යාපාරිකයන් වූ විලියම් එච්. රසල් විසිනි. අනතුරුව ඔහු සමඟ ඇලෙක්සැන්ඩර් මේජර්ස් සහ විලියම් බී. වැඩ්ඩෙල් එකතු වූහ. ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සපයන්නට සේවකයන් 4000 ක්, අශ්ව ගැල් කරත්ත 3500 ක් සහ හරක් 40,000 ක් සිටි බව විකිපීඩියාව දක්වයි.

ඇමෙරිකන් ආණ්ඩුව විසින් බටහිර පෙදෙස් හි තිබූ හමුදා කඳවුරු සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය යැවීමේ දී ඒ කොන්ත්‍රාත්තු ලැබී තිබුනේ ඇලෙක්සැන්ඩර් මේජර්ස්ටයි. ඔහුව පෝනි එක්ස්ප්‍රස් කොම්පැණියට එකතු කරගැනීමත් සමඟින් ආණ්ඩුවේ සියළු තැපැල් අවශ්‍යතා සපයන කොන්ත්‍රාත්තුව තමන්ට ලැබෙතැයි අපේක්ෂා කළ ද එය එසේ සිද්ධ නොවිණ.

ටෙලිග්‍රාෆ් සේවා පිහිටුවන්නට පෙර ඇමෙරිකාවේ බටහිර පළාත් වලට, විශේෂයෙන්ම කැලිෆෝර්නියාවට සෙසු ඇමෙරිකාව සමඟ සම්බන්ධතා පවත්වන්නට හැකිවූයේ මේ සේවාවෙනි.

ජනගහණයක් බටහිර පෙදෙස් කරා ඇදී යෑම වර්ධනය වෙද්දී උවමනාවක් බිහි වී ඇති බව දැකි ව්‍යාපාරිකයන් කරන ලද්දේ එය සපුරාලන්නට ක්‍රමවේද නිර්මාණයයි.

ව්‍යාපාරයක සාර්ථකත්වය රඳන්නේ ඔවුන් කරන දැන්වීම් තුලින් පොරොන්දු වෙන සේවය සපයන්නට සමත් වීම මතයි.

ව්‍යාපාරයකින් ලාභ උපයන්නට හැකි යැයි දකිද්දී ඒ ව්‍යාපාරයේ යෙදෙන්නට තවත් ව්‍යාපාරිකයන් එක් රොක් වෙති. ඔවුන් අතර එම ලාභ සොයන තරඟයේ දී ඔවුන්ගේ සේවයට ගෙවන පාරිභෝගිකයාට තවත් ලාභදායක තවත් අනගි සේවයක් ලැබේ.

ව්‍යාපාරයක පැවැත්ම පාරිභෝගිකයාගේ උවමනාව පවතින තාක් පමණි. ඊට වැඩියෙන් ඔවුන්ගේ උවමනාවන් ඉෂ්ට කරන වෙනත් සේවාවන් බිහිවෙද්දී ඒ අලුත් සේවා සපයන ව්‍යාපාරයන්ට ඇදී යාම පාරිභෝගිකයාගේ හැදියාවයි. එය එසේ විය යුතුය. එයින් සම්පත් (ස්වභාවික සහ මිනිස්) නාස්තිය සහ විනාශය වැළකී යයි.

ඇමෙරිකන් රජය තැපැල් දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්නේ 1792 දී. ව්‍යවස්ථාවෙන් කොංග්‍රසයට රට පුරා තැපැල් කාර්යාල පිහිටුවන බලය ලබා දී ඇත. තැපැල් කාර්යාලයන්හි පෝස්ට් මාස්ටර්ලා පත් කිරීම ජනාධිපති අතින් සිද්ධ වූ වැදගත් පත්වීම් ලෙස සැලකුන ලද යුගයක් ද රටේ විය.

1829 සිට 1971 දක්වා පෝස්ට්මාස්ටර් ජනරාල්වරයා කැබිනෙට් සමාජිකයෙක් ද විය.

එසේම එක යුගයක දී ෆෙඩරල් සේවකයන් අතර 3/4 ක් පෝස්ට් මාස්ටර්වරුන් වීම ඉතින් පුදුමයක් ද?!!!!

සේවය සැපයීම වෙනුවෙට දේශපාලනය ප්‍රමුඛස්ථානය ගනිද්දී, (රජයක නෛසර්ගික ලක්ෂණය එයයි) කොංග්‍රසය විසින් ඊ ළඟට කළේ පළමු පංතියේ තැපැල් සේවා සපයන්නට වෙනත් කිසිම පුද්ගලික කොම්පැණියකට තහනම් පැනවීමයි. රජයේ මොනොපොලිය කඩන අයට දඩ ගැසීම ආරම්භයයි!!!!

එහෙත් තවමත් සමහර ඇමෙරිකන් වැසියන් ද විශ්වාස කරන්නේ උවමනාවක් සපයන්නට හැකියාව ඇත්තේ රජයට පමණක් කියායි. මේ නිසා වසර 8 ක් තිස්සේ දිගින් දිගටම පාඩු විඳින ඇමෙරිකන් රජයේ තැපැල් සේවයට මොනොපොලියක් තබා ගැනීමට හැකියාව ලැබී තිබේ. 2014 දී තැපැල් සේවය ඩොලර් බිලියන 5.5 ක පාඩුවක් වින්ඳහ.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on අප්‍රේල් 14, 2015 at 11:04 ප.ව.

    මං හිතන්නේ අපේ රටේ තැපෑලත් පාඩු ලබනවා වෙන්න ඕනේ. ඒ අන්තර්ජාලය හා කුරියර් සේවා නිසා.

    • arunishapiro said, on අප්‍රේල් 15, 2015 at 8:07 පෙ.ව.

      Gold fish,

      ලංකාවේ ටැලිග්‍රෑම් පහසුකම් නවත්තලා දාපු දවස්වල කිව්වා රැපියල් බිලියන තුනක් පාඩු කියල. ඒත් ඉතින් වසර 220 ක් විතර පරණ, සේවකයන් 23,000 කට වැඩියෙන් ඉන්න, දෙපාර්තමේන්තුවක් පාඩුයි කියල වහලා දාන්නෙ කොහොම ද?!!!!!

      මාස 8 කින් පස්සේ කොච්චර සූක්ෂම සේවයක් සපයන්නට හැකියාව තිබුණත් දිගටම පාඩු ලබන ව්‍යාපාරයක් නම්, ඒ වගේම ඊට විකල්ප බිහිවෙලා ඇත්නම්, මේ පෝනි එක්ස්ප්‍රස් වගේම එය වැහිලා යන්න ඕන බවත් ඒවට ආණ්ඩු මැදිහත් වෙන්න ඕන නැති බවත් මිනිස්සු ඉගෙන ගන්න දවසක් ආයෙත් ඒවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: