අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් ආර්ථික දියුණුවේ රහස

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 21, 2015

චීනය විසින් ඇමෙරිකාව අභිබවා යමින් ලොව විශාලතම ආර්ථිකය බවට පත් වූවා යැයි ප්‍රවෘත්ති වාර්තා කියවන්නට පසුගිය වසර අග දී අපට අවස්ථාව ලැබුණි. නමුත් දැන් එහි ආර්ථික වර්ධනයේ වේගය බාල වී යැයි වාර්තා වෙද්දී සිංහලෙන් ඒ ගැන කියවන්නට ලැබෙන්නේ නැත. ඇමෙරිකාව අභිබවා යන්නේ මේ මේ හේතු නිසා යැයි කියූ අය එදා සිටියාට අද වේගය බාල වී ඇත්තේ මන්දැයි කතාබහ කරන අයත් දකින්නට නැත. පසුගිය වසර 25 ක සිට චීනයේ දකින්නට ලැබෙන වඩාත්ම දුර්වල වූ වර්ධනය දකින්නට ලැබෙන්නේ 2015 දී යැයි දැන් අනුමාන කරන්නේ ගිය වසරේ ඇමෙරිකාව අභිබවා ලොව විශාලතම ආර්ථිකය වූවා යැයි හෙඩ්ලයින් ලියූ ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේමයි.

තරඟය යනු ධනවාදයේ නෛසර්ගික වූ ලක්ෂණයයි. තරඟයට කැමති වූවන්ට එහි නියැළෙන්නට ඉඩකඩ ලැබෙද්දී ඔවුන් නිසා අනෙකුත් සියල්ලන්ගේම ජීවිත සමෘද්ධිමත් වේ. තරඟයෙන් ජයගන්නා අවස්ථාවල දී ඒ ජයග්‍රාහකයන් විසින් ඔවුන් හා තරඟයේ යෙදුනු හා නොයෙදුනු අනෙකුත් සියල්ලන්ටම වැඩියෙන් අතිවිශාල සම්පත් අයිති කරගනිති.

තරඟයට අකමැති අයට එය රැස්සන්නේ නැතිකම, එනම් අනුන් උපයාගන්නා ලද රැපියලට තමන්ට අයිතියක් ඇතැයි සිතීම වැරදි චින්තනයකින් උත්පාදනය කරන ලද්දක් මිසෙක ස්වභාවික මිනිස් හැදියාව නොවේ. වෙනත් ඕනෑම තරඟයකින් ජයගත්තෙකුට සුබ පතන්නට හුරු වී සිටින මිනිසා, වෙළඳපොල තරඟයෙන් ජයගත් අයට ද්වේශ කරන්නට හුරු වී සිටියි.

පසුගිය වසරේ චීනයේ පුද්ගලික ආයතන මිලියන 3.6 ක් ලියාපදිංචි කර ඇත. පුද්ගලීකරණයට චීන සමූහාණ්ඩුව විසින් යන ඉබි ගමන එසේ සිද්ධ වුවත් අනෙක් පැත්තෙන් මහජනතාව සනසන්නට සමාජ වැඩසටහන් සඳහා මධ්‍යම ආණ්ඩුවේ මුදල් ප්‍රාන්ත වලට බෙදා දීම තවත් වැඩි කරන්නට දැන් සිද්ධ වී තිබේ. පරිස්ථානීය විසඳුම් සොයන්නට ප්‍රාන්ත නිලධාරීන්ට වැඩි ඉඩකඩක් ලැබෙන්නේ නැත. දූෂණ මැඬලීමේ මෙහෙයුම් වලින් ඔවුන් කොයි අවස්ථාවක දී හෝ වරදක් කළා යැයි අල්ලා ගෙන යන්නට ඉඩ ඇති නිසා විසඳුම් ගෙනෙන්නට කියා බෙදන මුදල් වලින් ආර්ථිකයට හිතකර වූ විසඳුම් ලැබේවිදැයි සැක සහිතයි.

ගොවීන්ට සහ ගොවිකමෙන් ඉවත් වූ අයට තම ගොවිබිම් සහ නිවාස විකුණන්නට රජයෙන් අවසර ගැනීම පහසු නොවූවකි. එසේම hukou නම් ලියාපදිංචි කරවීම නිසා මිලියන 300 ක පමණ ජනතාවක් ගම්මාන වලින් නගර වලට ඇදී ඇවිත් නිසි අවසර නොලද්දවුන් සේ ජීවිකාව සොයද්දී ඔවුන්ට ද හරියාකාරව ආර්ථික වර්ධනයක් වෙනුවෙන් තරඟයේ යෙදෙන්නට අවස්ථාව නොලැබේ.

ධනවාදය දුවන්නේ බංකොළොත්බවට යැයි කියන හැදියාවෙන් යුතු වූවන්ට මේ අවස්ථාවේ දී, චීන රජය විසින් ධාවන තරඟයක දුවන්නට ඉඩ දී තරඟකරුවන්ගේ කකුල් බැඳ තැබීම කරන බව දකින්නට නොහැකියි.

මෙය, එනම් දුවන්නට කියා කකුල් බැඳ තැබීම, ඇමෙරිකාවේ ද කාලයක් තිස්සේ සිද්ධ වීම දකින්නට ලැබේ. නමුත් මෙහි ආර්ථික වර්ධනයේ රහස නම් ඇමෙරිකාවේ ආණ්ඩුවට කකුල් බඳින්නට අවස්ථාව ලැබෙන්නේ තරඟකරුවන් අතරින් කිහිප දෙනෙක් ජයග්‍රාහීකයන් වෙනවා දකින්නට ලැබුණු පසුව වීමයි. ඇමෙරිකන් ආණ්ඩුවක් කියා පද්ධතියක් හැදෙන්නේ නවෝත්පාදනයේ යෙදෙන්නට හුරු වූ මිනිසුන් පිරිසක් වේගයෙන් ඉදිරියට ගමන් ගත් ඵෛතිහාසික අවධියකින් පසුව නිසා, තවමත් ආණ්ඩුව රෙගුලාසිකරණයට බහින්නේ මිනිසුන් විසින් නවෝත්පාදනයෙන් දක්ෂතා පෙන් වූ පසුවයි. එය ඇමෙරිකාවේ ආර්ථික දියුණුවේ රහසයි.

1970 ගණන් සිට නොනැවතීම සිද්ධ වෙමින් පවතින රෙගුලාසිකරණයෙන් දුවන්නට කියා ඒත් කකුල් බැඳ තැබීම නොකඩවා සිද්ධ වූවත් එයට අහු නොවෙන අතලොස්ස විසින් ආර්ථිකය ඉදිරියට ඇදගෙන යන්නට සමත් වෙති.

තමන් තරඟයට අකමැති නිසා අනුන්ට ද තරඟය අහිමි කරන්නට නිති වෙහෙසෙන මිනිස්සු එන්න එන්නම මෙහෙත් වැඩිවෙමින් පැවතිය ද, තරඟය නොමැති නම් මෙවැනි ඉහළ ජීවන මට්ටමක් අත්විඳින්නට තමනට නොලැබෙන බව ඔවුන් අවබෝධ කර නොගත්ත ද, ඔවුන්වත් කරපින්නා ගෙන දුවන්නට පිරිසක් සමත් වෙති.

ඔවුන් ස්ටීව් ජොබ්ස් වැන්නවුන්ය. ඔවුන් හැම අයෙක්ම ජොබ්ස් තරමට ආර්ථිකයට දායාද වෙන්නට සමත් නොවුනත් ඔවුන් හැම අයෙක්ම තම තම පමණින් කරනා දායාදයෙන් ෆෙඩරල්, ප්‍රාන්ත සහ නගර ආණ්ඩුවල ඇඟිලි ගැසීම් කොතරම් දැඩි වූවත් තවමත් මෙරටේ ඇමෙරිකන් සිහිනය සාර්ථක කරගන්නට හැකි වූවන් බිහිවෙන පරිසරය මුළුමනින් අහිමි වී ගොස් නැත.

ඇමෙරිකාව අභිබවා යන දැවැන්ත ආර්ථික සශ්‍රීකත්වයක් අත් කරගන්නට නම් චීන්නුන්ට ආර්ථිකය නංවාලීමට හැකියාව ලැබෙන මාර්ගය යනු ධනවාදය හා සමාජවාදය අතරමැද නොවූවක් බව අවබෝධ කරගත් ඔවුන්ගේ දැක්ම වෙනස් කරගත යුතු වේ. මන්ද, ඇමෙරිකාවේ වැසියන්ට මෙන් ආණ්ඩුව ඇඟිලි නොගසන ලද යුගයක් චීනයේ වැසියන්ට නොමැති බැවිනි.

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. Sunil Silva said, on අප්‍රේල් 21, 2015 at 10:10 පෙ.ව.

    mokada oya me tharam American suddanta denne ? okun loke anith ratawal hooragena kana ewa winasa karana ewa “Confessions of an Economic hit man” eken mulu lokema dakinawa.

    • arunishapiro said, on අප්‍රේල් 21, 2015 at 10:22 පෙ.ව.

      Sunil Silva,

      මම කාට දුන්නත් ඔයා ඇයි ඒක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නෙ!!!

      තමන්ගේ රට හූරාගෙන කන්නේ සහ තමන්ගේ රටේ ආර්ථිකය ඝාතනය කරන්නේ පිටින් ආපු සුද්දෝ යැයි තමන්ගේ පීඩකයන් විසින් දෙසාබාන මුසාවාද වලට රැවටිලා ඉන්න මිනිස්සු දකින්නෙ නැහැ තමන්ගේම රටේ දේශප්‍රේමීන් යැයි පිදුම් ලබන උදවිය විසින් තමන්ගේ ආර්ථිකය සුනු විසුණු කර දමන හැටි. ආර්ථික ඝාතකයන් ගැන චෝදනා වලට උත්තර දීලා තියෙන්නෙ 2011 දී .. කියවන්න එපා ඒත් ඒවා, තමන් විශ්වාස කරන මිථ්‍යාවන් දිගටම එල්ලී ගෙන ඉන්න!!!

    • රාජ් -රාජ්ගෙ නවාතැන- said, on අප්‍රේල් 21, 2015 at 11:32 ප.ව.

      mokada oya me tharam American suddanta denne ?

      වෙන කාට දෙන්නද? බැඳල ඉන්නෙ ඇමරිකන් සුද්දෙක්නෙ! 🙂

  2. magenama said, on අප්‍රේල් 21, 2015 at 2:18 ප.ව.

    මෙතනදි මට මතක් වෙනවා 2004 හෝ ඒ ආසන්නයේදී ලෝක ශූරතා රග්බි අවසන් මහා තරගයේදී ජයග්‍රාහී ලකුණ ගත්ත එංගලන්ත කණ්ඩායමේ ජොනී විල්කින්සන්ට ලැබිච්ච ප්‍රචාරය. මගේ මතකය හරි නම් මේ ගැන ඒ වෙනකොටත් තරුවක් වෙලා හිටපු ඩේවිඩ් බෙකම් මාධ්‍යයට කියනවා ජනප්‍රිය වෙනවාට වඩා අමාරු ඒ ජනප්‍රියත්වය රඳවා ගැනීම කියලා. (මම සිංහලෙන් පරිවර්තිත ප්‍රවෘත්තිය කියෙව්වේ) මේකත් ටිකක් ඒ වගේ දෙයක්.

    • arunishapiro said, on අප්‍රේල් 22, 2015 at 5:55 පෙ.ව.

      magenama,

      ඔව් magenama ඔබ හරි, මේකත් ටිකක් ඒ වගේ දෙයක් තමයි. ඒකයි සමහර අය කියන්නෙ පළමු ජයග්‍රහණය අහඹු සිද්ධ වීමක් වෙන්න පුළුවන්, දෙතුන් පාරක් වත් ජයග්‍රහණය කරලා කුසලාතවයක් ඇතැයි කියාත් ඔප්පු කරන්න අවශ්‍ය යැයි කියල. කොම්පැණියක් එක නව සොයාගැනීමකින් ඉස්සරහට ආවට දිගින් දිගටම නවෝත්පාදනයට සමත් වුනේ නැත්නම් ඉහළ පෙලේ රැඳිලා ඉන්න පුළුවන් ආණ්ඩුවක සහනාධාර ලැබෙනවා නම් විතරයි.

  3. Transylvania said, on අප්‍රේල් 21, 2015 at 7:29 ප.ව.

    චීනය ආර්ථික වර්ධනයක් ලඟා කර ගත්තත් චීනයේ ග්‍රාමීය ප්‍රදේශ වල තවම අන්ත දුගී බව තිබෙනවා නේද ?

    • arunishapiro said, on අප්‍රේල් 22, 2015 at 6:11 පෙ.ව.

      Transylvania,

      වසර 4 ක දී මිලියන 45 ක් මිය ගිය “ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්ම” කාලය හා සසඳා බලද්දී අන්ත දුගී බවත් දියුණුවක්.

      ඊ ළඟට, “අන්ත දුගී බව” තීරණය කරන්නේ කවුද? කුමන ජාත්‍යන්තර ආයතනය ද? උදා. කිසිම රටක ජනතාවකගේ සමෘද්ධියට ඍජුව වග නොකියන එක්සත් ජාතීන්ගේ සංගමය වැන්නක් ද? තවත් අයෙක් සලකන ‘අන්ත දුගී බවෙන්’ ජීවත් වෙන්න කැමැත්තක් එසේ ජීවත් වෙන අයට තියෙනවා නම් ඔවුන්ව බලහත්කාරයෙන් වෙනත් තත්වයකට ගෙනියන්න අයිතියක් වෙනකෙකුට නැහැ.

  4. JH said, on අප්‍රේල් 22, 2015 at 6:05 පෙ.ව.

    අක්කේ, එතකොට USA මෙච්චර ලෝකෙට නය වෙලා තියෙන්නේ මොකද? මේ නය කන්දරාව ගෙවන්න plan එකක් තියෙනවද?
    නොදන්න නිසා අහන්නේ.

    • arunishapiro said, on අප්‍රේල් 22, 2015 at 6:25 පෙ.ව.

      JH,

      ඇමෙරිකන් ආණ්ඩුව ලෝකෙට ණය වෙලා ඉන්නේ හැමෝටම එකසේ උපයන්න ඉඩකඩ හදනවා වෙනුවට හැමෝගේම ධනවස්තු එක හා සමාන විය යුතු යැයි කියල මා ලියූ සටහනේ ඇති පරිදි 1970 ගණන් සිට ආණ්ඩුවේ මැදිහත්වීම් වැඩි කරපු සැලසුම් නිසා.

      පුද්ගලික උත්සාහයන්හි යෙදෙන අයගේ කකුල් තවත් කිටිකිටියේ බඳිමින්, බෙදන ප්ලෑන් වැඩි කරපු නිසා සෙසු ලෝකයේ සියල්ලන්ගේම පාහේ ජනාදරයට ලක් වූ ඔබාමාගේ කාලයේ දී මහජන ණය 70% කින් ඉහළ ගියා.

      ආණ්ඩු වලට හැමදාම ප්ලෑන් තියෙනවා … ඒත් ප්ලෑන් හරි ගිය ආණ්ඩුවක් ලොව නැතිකම වෙන දෙයක්!!

      ඇමෙරිකන් ආර්ථික දියුණුවේ රහස කියද්දී මම කතා කරන්නේ ඇමෙරිකන් රජයේ භාණ්ඩාගාරයේ වත්කම පරදවන වත්කමක් ඇති ඇපල් කොම්පැණිය වගේ පුද්ගලික ව්‍යාපාර ගැනයි. ඇමෙරිකන් ආණ්ඩුවක් අගයනවා යැයි වරදවා වටහා ගන්න එපා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: