අරුණි ශපීරෝ‍ වෙතින්

නීතිය විපර්යාස කර ඇත!

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 25, 2015

ස්වීඩනයෙන් සංචාරය පිණිස නිව් යෝර්ක් නගරයට පැමිණි පොලිස් නිලධාරීන් හතර දෙනෙකු පසුගියදා ලේ මිසරාබ්ල සංගීත නාට්‍යය නරඹන්නට සබ්වේ මාර්ගයක ගමන් කරමින් සිටියහ. එහි කොන්දොස්තර විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඉල්ලනවා මහජන ඇමතුම් පද්ධතියෙන් ඇහෙද්දී ඔවුන් තම සේවාවන් සපයන්නට ඉදිරිපත් වූහ.

ගුටිකෙළිය සිද්ධ වෙමින් පැවතියේ සබ්වේ හි ගමන් කළ අස්ථානගතව? (හෝම්ලස්) ජීවත්වන පිරිමි දෙන්නෙක් අතරයි. එකෙක් මහා හයියෙන් බැන වදිමින් අනෙකාට දැඩි ලෙසකින් පහර දෙයි. යට වූ පිරිමියා තුවාල ලබා කිසිත් කරකියාගත නොහැකිව සිටියි.

ස්වීඩන් පොලිස් නිලධාරීන් හතරදෙනා රණ්ඩුවෙන් දෙදෙනාව වෙන් කරන ලද්දේ ඔවුන්ගේ කාය ශක්තියෙන් හා නැණ නුවණින් මිසෙක තුවක්කු හෝ බැටන් පහර එල්ල කරමින් නොවේ.

එහි විඩියෝව ඉතා ඉක්මණින් අන්තර්ජාලයේ කතාබහට තුඩු දුන්නක් විය. පොලිස් බලය අනිසි ලෙස භාවිතයට ගන්නා ඇමෙරිකන් පොලීසියට මෙය හොඳ පාඩමක් යැයි පිරිසක් කියා සිටියහ. ඔවුන් ලෙසින් කටයුතු කරන්නට නීතිය අනිසි ලෙස භාවිතයට පටන් ගෙන සිටින නිව් යෝර්ක් පොලීසියට නොහැකි මන්දැයි පිරිසක් විමසූහ. තමන්ගේ රස්සාව නිවැරදිව කරන අය දුටු කළ විශේෂයෙන් කුල්මත් නොවන දිනයක් උදාවෙන තෙක් බලා ඉන්නවා යැයි තවත් අයෙක්ගේ මතය විය!!!

ස්වීඩන් පොලිස් නිලධාරීන් හතරදෙනා කඩවසම් තරුණ වියේ හතරදෙනෙක් වීමත් සමහර විට එය ඉතා ඉක්මණින් පැතිර ගිය ප්‍රවෘත්තියක් වීමට තුඩු දුන්නා යැයි ද කිව හැකියි!!!!

පොලිස් නිලධාරියෙක්ගේ සේවය එක රටකට හෝ යම් පළාතකට සීමා නොවී, ඕනෑම රටක දී සපයත හැකි සේවයක් විය නොහැකි මන්දැයි මම කල්පනා කළෙමි.

පුද්ගලීකරණය වූ ජාත්‍යන්තර පොලිස් සේවාවන් අතරින් තම කැමැත්ත පරිදි එකක් තෝරාගන්නට පළාතේ වැසියන්ට අවස්ථාවක් අනාගතයේ යම් දිනෙක අපිට දකින්නට ලැබේවි ද?

එය නීති පද්ධතියට පටහැනි නොවන සංකල්පයකි. මන්ද නීති පද්ධතිය යනු යම් අරමුණක් සාක්ෂාත් කිරීම උදෙසා බිහිවෙන ලද්දක් නිසයි. පොලීසියේ කාර්ය භාරය පළාතේ සාමය ආරක්ෂා කිරීමයි. අපරාධ විමර්ශනයයි.

ඇමෙරිකන් සුපිරි උසාවියේ දී මේ සතිය ආරම්භයේ දී වැදගත් තීන්දුවක් නීතිගත විය. එනම්, මාර්ග නීති සම්බන්ධයෙන් චෝදනා කරද්දී පොලිස් නිලධාරියෙකුට රියැදුරා හෝ රථය මාර්ග නීති කඩකිරීමට එහා යන පිරික්සීම් සඳහා කාලයක් ගන්නට අවසරයක් නැතැයි යන්නයි. ඊට පසුබිම් වූ සිද්ධිය වූයේ රියැදුරෙක් පාරේ වළක් මග හරින්නට ගත් වෑයමක් දුටු පොලිස් නිලධාරියෙක් රියැදුරා නවතා ඔහු මතින් නොවන බව දැක, සමාදේශයකින් (warning) පසුව මුදවා නොහැර පොලිස් බලයේ බලහත්කාරයෙන් රඳවා ගැනීමයි. සමාදේශයෙන් පසු මිනිත්තු හතක් හෝ අටක් යන තෙක් රියැදුරා රඳවා ගැනීමෙන් පසු පොලිස් සුනඛයෙක් ගෙනැවිත් රථය පිරික්සා එහි තිබූ මත්ද්‍රව්‍ය අල්ලා ගෙන රියැදුරා අත්අඩංගුවට ගැනිණ. සම්පූර්ණ සිද්ධියට වැය වූ කාලය පැය භාගයකට අඩුවිය.

ඒ පොලිස් බලය අනිසි ලෙසින් පාවිච්චියයි.

මෙතැන දී හිතන හැකියාව අවුල් කරගත්තෙක් මුලින්ම කියන්නේ ඒත් ඉතින් ඒ රියැදුරා ඇත්තටම රටේ නීතියක් උල්ලංඝණය කරලා තියෙනවා නේද? යනුවෙනි.

ඔව්, රියැදුරා නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නොකළ යුතුය යන නීතිය උල්ලංඝණය කර ඇත. ඒ ගැන වාදයක් නොමැත.

නමුත් පොලිස් බලතල යනු එක වරදක් කළාය යන චෝදනාවක් එල්ල කරන්නට අයෙක්ව නවත්වාගෙන ඔහුව වෙනත් චෝදනා වලට අත්අඩංගුවට ගත හැකිදැයි සොයා බැලීම සඳහා පාවිච්චි කරත හැකි බලතල නෙමෙයි. රූත් බේඩර් ජින්ස්බර්ග්, සුපිරි උසාවියේ විනිසුරුවරිය තීන්දුවේ දී ප්‍රකාශ කර සිටියේ මාර්ග නීති කඩ කරන ලදැයි චෝදනා කරන විභාගයේ දී රියැදුරුව රඳවා ගත හැකියාව ඇත්තේ ඒ සඳහා අවශ්‍ය කාලය තුල පමණක් කියායි.

පොලිස් නිලධාරීන් විසින් තම බලය නිසියාකාරව පාවිච්චි කරන්නේ කෙසේදැයි නොදන්නාකම නිසාත්, මහජනතාවට ද ඒ ගැන දැනුමක් නොමැතිකම නිසාත්, සිද්ධ වෙන්නේ ක්‍රමයෙන් දැනුම අවුල් වී ගිහින් අපිව ආරක්ෂා කරන්නට අප විසින්ම පත් කරගත් අය විසින් අපිව ආරක්ෂා කරනවා වෙනුවට අපේ ජීවිත අපි ගෙවිය යුත්තේ කෙසේදැයි තීන්දු කරන්නට යෑමයි.

පොලිස් නිලධාරියෙක් සිය බලය අනිසි ලෙස භාවිතා නොකල යුත්තේ සිය රක්ෂාවෙන් ලැබෙන බලය හා ඈඳී පවතින ඔහුගේ ප්‍රධාන වගකීම එහි දී උල්ලංඝණය වෙන නිසයි. තවත් විදියකින් කිව්වොත් පොලිස් නිලධාරියාට නීතියක් උල්ලංඝණය කරන ලද්දෙක්ව අත්අඩංගුවට ගන්නා බලය ලැබෙන්නේ නීතිය රකිනු පිණිසය.

නීතිය රකින්නට කියා නීතිය උල්ලංඝණය කළ නොහැකියි. මෙය සරල වූවකි. පැහැදිලි වූවකි. එහෙත් එය අවබෝධයට හැකියාව ඇති අය විරල වෙති.

ඕනෑම රටක නීති පද්ධතිය ද සකස් වී තිබිය යුත්තේ බලතල බෙදී යන ආකාරයෙනි. පොලීසිය විසින් සාමය රැකීමත් සහ අපරාධ විමර්ශනයත් කරනු ලබයි. එහෙත් නඩු විභාග කර දඬුවම් නියම කරන්නේ උසාවියයි.

රටක පොලිස් බලතල නිසි ලෙසින් භාවිතා වෙනවා ද යන්න බලයේ ඉන්න ආණ්ඩුවේ දැක්මෙන් හෝ කිසිත් දේශපාලන මතවාදයකින් තොරව නීතියේ පිරික්සීමට පත් විය යුත්තකි. අපරාධ විමර්ශනය කරන පොලීසියත්, අපරාධකරුවන් යැයි සැක කරන්නට ප්‍රමාණවත් සාක්ෂි පෙන්වමින් අත් අඩංගුවට ගත් පසු නඩු විභාග කර දඬුවම් තීන්දු කරන උසාවියත්, යන පද්ධතීන් දෙකෙහිම නියැළෙන අය ඔවුනට අදාල වූ නීති උල්ලංඝණය නොකළ යුතු ද වේ.

රටක නීති පද්ධතිය යනු එක්තරා කාලයක දී ඉදිරි මුළු අනාගතයටම සරිලන ලෙසින් යම් අයෙක් විසින් සම්පාදිත කරන ලද්දක් නොවේ. මිනිස් ක්‍රියාවන් සහ අපේක්ෂාවන් වෙනස් වෙන ලෝකයේ අපි නීති පද්ධතිය නැවත නැවතත් විමසා බලා කාලයට අනුචිත ලෙසින් ගැලපෙනවාදැයි තීන්දු කළ යුත්තකි.

“නීතිය විපර්යාස කර ඇත! ඒ සමඟින් පොලිස් බලය ද විපර්යාස කර ඇත! මා කියන්නේ නීතිය, එහි නිසි අරමුණ ඉටු කිරීම වෙනුවට හාත්පසින්ම ඊට පටහැනි අරමුණ වෙනුවෙන් යොදාගෙන ඇත! සෑම කෑදරකමක් සඳහාම මුල්වෙන අවිය වී ඇත්තේ නීතියයි! අපරාධ විමසීම වෙනුවට, එය විසින් දඬුවම් දිය යුත්තට වරදකරු වී ඇත්තේ නීතියයි! මෙය සත්‍යයක් නම්, එය අතිශය වැදගත්ය, මගේ සෙසු පුරවැසියන්ව මේ ගැන දැනුවත් කිරීම මගේ ආචාර ධාර්මික වගකීමයි.” මෙසේ පටන්ගෙන නීතිය ගැන අගනා රචනාවක් දායද කරන ලද්දේ ෆෙඩ්රික් බැස්ටියාට් විසිනි. ඔහුගේ ඡායාරූපය සමඟින් යුතු සබැඳියෙන් ඔබට “නීතිය” කියවා එය විපර්යාසයට ලක්වී ඇති සැටිත් එය නිවැරදි කරගත යුත්තේ කෙසේද කියාත් අවබෝධයට හැකියි.”

කැළණිය විශ්ව විද්‍යාලයේ මා දැරෑ තාවකාලික දේශක පත්වීමේ දී ‘නීතියේ දර්ශනය’ උගන්වද්දී එදා ෆෙඩ්රික් බැස්ටියාට් ගැන නොදත්කම කොතරම් අඩුවක් වූවා දැයි වැටහෙන්නේ දැනුයි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අප්‍රේල් 25, 2015 at 8:58 පෙ.ව.

    දියුණු ලොවක් ගැන ඔබේ ඇතම් ලිපියක පැවසෙන පුවතක් සහ ඒ පිළිබද කෙරෙන විග්‍රහයක් අපට සුරංගනා කතා මෙන් ඈත බවක් දැනෙයි. කවදා අප මහජනතා යුගයකට ළංවේද !

    • arunishapiro said, on අප්‍රේල් 25, 2015 at 3:29 ප.ව.

      mppgunasinghe,

      ම්ලේච්ඡ යුගයකින් ශිෂ්ඨාචාර යුගයකට පා තැබූ මිනිසා, ශිෂ්ඨත්වයේ නොයෙක් අවධි පසුකරමින් තවමත් ඉදිරියට යනවා.

      මේ ඉදිරිගමනේ දී, ආචාර ධාර්මික හැදියාව කුමක්දැයි උප්පත්තියෙන් පසුව ඉගෙන ගන්නට සිද්ධ වෙන මිනිසාට, තම වටපිටාවෙන් ලැබෙන ආදර්ශ, දැනුම තුලින් එතෙක් සමාජය අත්පත් කරගත් ශිෂ්ඨත්වය කුමක්දැයි පවා අමතක වෙන යුගයකට ගතවෙන්නේ එක පරම්පරාවක පමණ සුළු කාලයක්.

      ලෝක ඉතිහාසයේ මිනිස් ශිෂ්ඨත්වය ආපස්සට ගිය අවස්ථා ඕනෑතරම් දකින්නට ලැබෙනවා. හැම දෙයක්ම තමන් විසින් අවබෝධයට උත්සාහයක් ගත යුතු වූ මිනිසාට මුහුණ දෙන්න සිද්ධ වෙන නිරතුරුව පවතින දැඩි අවදානමක් තමයි ඒක. නොමිලේ බෙදන නිදහස් අධ්‍යාපනය කියලා වෙනත් විකල්ප මාර්ග වලින් දැනුම ලබාගැනීම අවහිර කළාම ජාතියක චින්තනයක් එක පරම්පරාවකින් සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් කරන්න හැකියාව පැවතීම ඒ දැඩි අවදානමයි.

      නිවහල්ව හිතන්න තමන්ගේ හිතට ඉඩක් නොදෙන නිසා, ඉංග්‍රීසි සුද්දා 1818 දී ලංකාවේ කළ කී දේවල් ගැනත්, ඇමෙරිකන් දකුණු ප්‍රාන්ත වල සමහර සුදුහමැති අය එහි විසූ කළු ජාතිකයන්ට කළ වදහිංසා ගැනත් කතා කරමින් ඉංග්‍රීසි සුද්දන් සහ ඇමෙරිකන් දකුණු සුදුහමැති අය දැන් ශිෂ්ඨ වී ඉන්නේ කෙසේදැයි දකින්න බැරි අය ගොඩක් තවම ඉන්නවා. ඒ අයට ISIS අද කරන වැරදි 1818 දී ඉංග්‍රීසි සුද්දා ලංකාවේ කළ වැරදි හා සමානයි කිය කියා පැතිරවීම හරිම සතුටක්. අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් ගෙවී යද්දී ISIS අය 1818 දී තිබ්බ ම්ලේච්ඡ අදහස් අනුව අද හැසිරෙන්න හේතුව කුමක්දැයි කියලා අහන්න දැනුමක් නැතිකම.

      විකල්ප මාර්ගයන්ට දොරවල් ඇරෙද්දී, අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනෑ අපේ අදහස් පමණයි කියා බලහත්කාරකම නැති වී යද්දී, මිනිස්සු තමන් විසින් සොයා බලන්නට උත්සාහයක් අරගෙන හිතන හැටි වෙනස් කරගෙන ශිෂ්ඨ මිනිස්සු විදියට ජීවත් විය යුත්තේ මන්දැයි අවබෝධයෙන් එසේ දිවිගෙවන්නට ඉදිරිපත්වීමත් එක පරම්පරාවක කාලයක් තුල දකින්නත් පුළුවන්. ඒ නිසා මේවා සුරංගනා කතා නෙමෙයි. “ඔබ පතන ලෝකය ජයගන්නට හැකියි. එය පවතියි. එය හැකියි. එය ඔබේ ය.” -අයින් රෑන්ඩ්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: