අරුණි ශපීරෝ‍ වෙතින්

දිවි පරදුවට තබා යුරෝපයට ඇදෙන බෝට්ටු ජනතාව

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 26, 2015

20150425_FBP001_2

ලිබියාවේ සිට යුරෝපයට හොරෙන් මිනිස්සු පැටවීම එක්සත් ජාතීන්ට අනුව ඩොලර් මිලියන 170 ක වටිනාකමෙන් යුතු කර්මාන්තයකි. ඒ දිවි පරදුවට තබමින් යුරෝපයට බෝට්ටු මගින් ඇදෙන අප්‍රිකාවේ ජනතාව ප්‍රධාන වශයෙන් භාවිතා කරන මාර්ගයයි. අප්‍රිකාවේ නන් දෙසින් උතුරු වෙරළබඩට පිවිසෙන්නට සමත් වූවන් ඇල්ජීරියාවෙන් ස්පාඤ්ඤයටත්, ලිබියාවෙන් සහ ඊජිප්තුවෙන් ඉතාලියටත්, තුර්කිය පැත්තෙන් ග්‍රීසියටත් රිංගා ගන්නට ජීවිත අනතුරට තබමින් උත්සාහයක යෙදෙති.

අපි තුන් දෙනෙක් නිවාඩු ගමන් යන තරම් ප්‍රමාණයක බෝට්ටුවක 700-900 ක පිරිසක් පටවනු ලැබීම සාමාන්‍යයකි. 2014 දී එක්සත් ජාතීන් දක්වන අන්දමට මධ්‍යධරණී මුහුද තරණයෙන් නීති විරෝධීව යුරෝපයට ඇතුල් වූ සංඛ්‍යාව 219,000 කි. ඉතාලි ආණ්ඩුව කියන්නේ මේ වසරේ අප්‍රේල් 19 වෙද්දී 23,556 ක් නීති විරෝධී මුහුදු මාර්ග වලින් රටට ඇතුල් වෙන්නට සමත් වූ බවයි. ගිලුණ නැව් නිසා මේ වසරේ මිය ගිය සංඛ්‍යාව 954 ක් ව තිබිය දී අප්‍රේල් 19 වැනිදා 800 ක් පමණ පිරිසක් එක නැවක් මුහුදුබත් වීම නිසා මිය ගියහ.

දත්ත සහ තොරතුරු සම්භාරයක් ඇතුලත් ඉංග්‍රීසි වාර්තාව කියවන්නට කැමැත්තෙකුට ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ ලිපියට මෙතැනින් යා හැකියි. ඉහත පින්තූරය එයින් ලබාගත්තකි.

2012 දී “අද ලෝකෙ ගැන අවබෝධයට කදිම පොත් තුනක්” නමින් මම එකතු කළ සටහන මෙහි දී ඔබට මතක් කරන්නට කැමතියි.

ලැම්පඩූසා දිවයින පැත්තේ නීති විරෝධීව යුරෝපයට ඇදෙන සංක්‍රමණික සරණාගතයන් බෝට්ටුවක් පිටින්ම ගිලුණා යැයි ඇහෙද්දී හැම විටම මට සිහිවෙන්නේ මේ “සාන්තුවරයන්ගේ කඳවුර” නොහොත් The Camp of the Saints (1973) නමින් Jean Raspail ලියූ පොතයි.

ලෝකයේ අනාගතය ගැන එය නඟන ප්‍රශ්න වලින් පොත කියවන කිසිම පාඨකයෙක් වෙනස් නොවී සිටිනු ඇතැයි එදා ඒ පොත ගැන වූ විවේචනයකි. මා වෙනස් වූයේ ඒ පොත කියැවූ නිසා ද, නැත්නම් ඒ පොත අනගි යැයි සිතුනේ මා එවිට ද වෙනස් අයෙක් වූ නිසා දැයි යන්න පහසුවෙන් නිරාකරණය කරගත නොහැකියි!!! හරියට අයින් රෑන්ඩ් කියවද්දී, මමත් හිතන්නේ මේ විදියටමනේ කියලා පෑදුන අවබෝධය නිසා අයින් රෑන්ඩ් මගේ ජීවිතය වෙනස් කළා යැයි කියන්න බැරිකම වගේ දෙයක්!!!! මම රෑන්ඩ් හෝ රස්පායෙල් හා සමාන යැයි කියන්නට උත්සාහ කරනවා නොවේ. ඒවා කියවද්දී සිද්ධ වූයේ මගේ සිත කැමති අදහස් වලට වෙන කොහෙන් වත් මට සොයාගත නොහැකි වූ පැහැදිලිතාවයක් ඔවුන්ගේ ප්‍රබන්ධ වලින් ලැබීම තුලින් මට ආචාර ධාර්මික වූ නිවහල් චින්තනයට ශක්තිමත් පදනමක් ලැබීමයි.

බෝට්ටු වලින් යුරෝපයට ඇදෙන ජනතාව කොයි දේශයෙන් පැමිණේවිදැයි යන්න රස්පායෙල්ට වැරදුනු එකම තැන නොවේවා යැයි මම පතමි.

ඔහුගේ ප්‍රබන්ධයේ ඔවුන් ගමන ආරම්භ කරන්නේ ඉන්දියාවෙන්. කොතරම් දරීද්‍රතාවයෙන් පෙළුණ ද, ඉන්දියාව යනු පුරාතණයේ පටන් නිදහස ගැන අදහසක්, ඒ ගැන කුතුහලයක්, ඒ කුතුහලය හඹා ගිය අතලොස්සක් විසූ දේශයකි. සමාජවාදී උන්මාදයෙන් වෙව්ලා ගිය යුගයක දී පවා එහි අදහස් ප්‍රකාශයට නිදහසක් මුළුමනින් ඇහිරී ගියේ නැත.

එහෙත් යටත්විජිත සමය ඉක්ම යාමත් සමඟ පැතිර ගිය සමාජවාදී වූ ද, ජාතිවාදී වූ ද, රත්තරන් වෙරළේ ප්‍රයෝජනවත් මෝඩයා වැනි පාලකයන් බහුල සේ බිහිවෙමින් ප්‍රජාපීඩක ආණ්ඩු පිහිටුවා ගත් අප්‍රිකාවේ රටවල් යටත්විජිත පාලකයන්ට වඩා දරුණු අන්දමකින් සිය පුරවැසියන්ට සලකන ආකාරය ගැන අද විමර්ශනය කරන්නේ කීයෙන් කී දෙනා ද?!!!!!!!!

එම විමර්ශනය සිද්ධ නොවී, එයට ලෝක අවධානයක් නොලැබී, එය කතාබහට පාත්‍ර නොවී, යුරෝපයට නීති විරෝධීව රිංගන්නට හදන අප්‍රිකාවේ අසරණයන්ට පිහිට වෙන්නට කියා යුරෝපීය නායකයන් ගෙනෙන පිළිවෙත් කිසිවක් ඵලදායී නොවේ. ඔවුන් සංක්‍රමණිකයන් ඇතුල් වෙන රටවල් වලට බෙදන ආධාර දෙගුණයකින් වැඩි කිරීමට යෝජනා කරති. බෝට්ටු සෙවීමට සහ ඒවා මුහුදුබත් වෙද්දී අසරණ වූවන් ගලවා ගැනීමට මුදල් තෙගුණයකින් වැඩි කිරීමට යෝජනා කරති. එසේ ඔවුන් ගමන් ගන්නා බෝට්ටු යැයි උපකල්පනය කරන බෝට්ටු මුහුදු වෙරළබඩ දී විනාශ කර දැමීමට යෝජනා කරති. වැරදිච්ච පිළිවෙත් වසා ගන්නට තවත් ප්‍රතිසංස්කරණයක් ගෙනෙමින් හැමදාම කරන පැලැස්තර ඇලවීමට ආණ්ඩු ගජ හපනුන් වෙති.

යුරෝපයට ඇදෙන අප්‍රිකාවේ මිනිසා කරපින්නාගෙන යන්නේ උපතින් දායද කරගත් යුරෝපීය විරෝධී සහ ආර්ථික දුර්මතයන් වලින් පිරුණු අදහස් සම්භාරයකි. යුරෝපීයයන් වසර දෙසිය ගණනකට පෙර, ජර්මනියේ අය නම් 1945 තරම් මෑතක දී, කරන ලද ව්‍යසන ගැන ලැජ්ජාවෙන් ඒවා ගැන කතාබහට පවා නොයති. ඒත්, අප්‍රිකාවෙන් නීති විරෝධීව යුරෝපයට රිංගන්නට හදන මිනිසා එවැනි දිවි පරදුවට තබමින් යන ගමනකට පොළඹවන ලද තමන්ගේ දරීද්‍රතාවයට ප්‍රධාන හේතුව යැයි තවමත් විශ්වාස කරන්නේ යටත්විජිත ආධිපත්‍යයයි.

රස්පායෙල්ගේ කතන්දරයේ ඉන්දියාවේ සිට එන බෝට්ටු නවත්වන්නට, ඒවා ආපසු හරවා යවන්නට ඉන්දියාවේ සිට ප්‍රංශය දක්වා වූ මුහුදු මාර්ගයේ වෙනත් කිසිම රටක් අත නොතබයි. හැමෝම සැනසුම් සුසුම් හෙළන්නේ තමන්ට ඒ කාර්යයට අත ගහන්නට සිද්ධ වූයේ නැතැයි කියායි.

රස්පායෙල්ගේ කතන්දරයේ ඒ එන සරණගාත නැවේ දරීද්‍රතාවයෙන් පෙළෙනවුන් සාදරයෙන් පිළිගන්නට සූදානම් වූ ප්‍රංශයේ පිරිසක් ද සිටිති. ප්‍රංශයේ තවත් පිරිසක් ඉන්දියාවේ අයගේ හැදියාවන් යැයි තමන් සිතන දේවල් කොපි කරන්නට උත්සාහ කරති. තවත් සමහර ප්‍රංශ වැසියන් සිතන්නේ මෙසේ තම රටට ඇදී එන ඉන්දියානුවා ප්‍රංශ සුද්දා සේ හැසිරෙන්නට කැමැති වූවෙක් කියායි.

තම රටවල අඩු ජනගහණය නිසා ඇදගෙන යා හැකි සමාජ සුබසාධන වැඩ සටහන් කොපමණක් ඉදිරියේ දී කොපමණ ලෙසකින් ව්‍යාකූල තත්වයන්ට ඇද වැටෙද්දී ඒවායේ සිටින සංක්‍රමණික නොවූ ජනතාව කුමන විදියකට හැසිරෙන්නට පටන් ගනීවි ද?

තමන් කරපින්නාගෙන යන ධනවාදී විරෝධී, යටත්විජිත අධිරාජ්‍යවාදී ද්වේෂය, ආර්ථික දුර්මත, ආගමික භේද, ගෝත්‍රික භේද අදහස් නිසා තමන් යන රටේ ජනතාව සාධනය කරන ලද සමෘද්ධියෙන් කොටසක් කොපමණ කාලයක් තුල භුක්ති විඳින්නට හැකියාව මොවුනට ලැබේවි ද?

ආර්ථික යහපත උදෙසා යුරෝපයට යන නීත්‍යානුකූල මාර්ග සොයන අප්‍රිකාවේ මෙන්ම ආසියානු රටවල සංක්‍රමණිකයන්ට ද නුදුරු අනාගතයේ දී දැඩි කරදර වලට මුහුණ පාන්නට සිද්ධ වෙනු ඇත යන්න කිව යුතු ද?

ඩොලර් බිලියන ගණනින් තම රටවල වැසියන්ගෙන් මංකොල්ල කෑ බදු මුදල් අප්‍රිකාවේ ප්‍රජා පීඩක පාලකයන් පෝෂණයට යැවීම තවත් කොතරම් කාලයක් දියුණු රටවල ආණ්ඩු වලින් සිද්ධ වීම ගැන කතාබහක් පටන් ගනියි ද?

කතන්දරය ඉහත අමුණන ලද සබැඳියෙන් ගොස් කියවන්නට කැමති අය සිටිය හැකි බැවින් අන්තර්ගත කතා වස්තුව මෙතැන දිග නොහරිමි. එහෙත් රට වැරදුනා සේ එහි අවසානයත් රස්පායෙල්ට වැරදුනු තැනක් වේවා යැයි මගේ පැතුමයි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Ranjan(düsseldorf) said, on අප්‍රේල් 26, 2015 at 1:52 ප.ව.

    ඔබේ ලිපියේ කරුනු බෙහෙවින්ම සත්යයි.දැනට සිදුවන්නේ එයයි.ඉදිරියේදී බටහිර යුරෝපයේ තත්වය තවත් බැරැරුම් වේවි.දැන් දැන් එම රටවල ජනයා වෙතින් මේ පිලිබද විරෝදය පලවීම දක්නට පුලුවනි.

  2. Ranjan(düsseldorf) said, on අප්‍රේල් 26, 2015 at 2:19 ප.ව.

    මම හිතන්නෙ,මේ සරනාගතයන් මේ රටවල් වලින් එන අන්තිම අසරනම ජනයා නොවන බවයි,මොකද මේකත් මිනිස් ජාවාරමේ එක අවස්තාවක්,මේ සම්බන්ද අපේම අත්දැකීම් තියෙනවානෙ,ලන්කාවෙන් මේ රටවලට ගියෙත් යමක්කමක් තියෙන මිනිස්සු ජාවාරම් කාරයන්ට සල්ලිගෙවල.යහමින් තියෙන මිනිස්සු විශාල මුදල් ප්‍රමාන ගෙවල ගුවනින් නිරුප්‍රදිතව ගියා,ඊලග කොටසක් අඩුමුදල් ප්‍රමානගෙවල නොයෙක් දුක් විදිමින් ඉලක්කයට ලගාඋනා,මුකුත්ම නැති සැබෑ අසරනයන් ඒ රටවලම ඉදිමින් හැම දුකක්ම වින්දා අදත් විදිනවා.අප්‍රිකානු රටවල වන්නෙත් එයමයි.

    • arunishapiro said, on අප්‍රේල් 26, 2015 at 5:15 ප.ව.

      Ranjan(düsseldorf),

      //යහමින් තියෙන මිනිස්සු විශාල මුදල් ප්‍රමාන ගෙවල ගුවනින් නිරුප්‍රදිතව ගියා//

      මෙතැන පැහැදිලි කිරීමක් අවශ්‍යයයි. පිරිසක් යහමින් තියෙන අය නොව යම් යම් කුසලතාවයන් නිසා නීත්‍යානුකූලව යුරෝපයට ඇතුල් වෙන්නට සමත් වූ අය. ප්ලේන් ටිකට් එකට යන වියදම හොර බෝට්ටුවක යන $6000/- ට අඩුයිනෙ.

      ඔව්, සැබෑ අසරණයන් හැමදාම ඒ රටවලම හැම දුකක්ම විඳිනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: