අරුණි ශපීරෝ‍ වෙතින්

19 වන සංශෝධනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ අයිතිවාසිකම්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 28, 2015

Budd Thambugala විසින් ලිබටේරියානුවාදය නමින් ඇති ෆේස්බුක් අඩවියේ සටහන් තබන ලද්දකි.

========

19 වන සංශෝධනයට මා විරුද්ධ නැත.. එක් පුද්ගලයෙකු සතු ඒකාධිපති බලතල අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සාධාරණ සමාජයක් සඳහා සිදු විය යුතු ය.. එහෙත් මේ වැදගත් මොහොතේ දී ඔබේ අවධානයට එක්තරා පැරණි කතාවක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි..
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වර්තමාන ආකෘතියේ පළමු ක්‍රියාකාරී මොඩලය (workig model) ඇමෙරිකා එක්සත් ජනපදයයි.. ඒ ගැන කිසිම විවාදයක් නැත.. වරෙක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත වශයෙන් පැවති උතුරු ඇමෙරිකාවේ ඉංග්‍රීසි ජනපද දහතුන බ්‍රිතාන්‍යයට විරුද්ධව කරලි ගසා නිදහස් වීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ආරම්භ වේ.. 1776 දී ප්‍රාන්ත 13හි නියෝජිතයන් ෆිලඩෙල්ෆියා නගරයේ රැස් වී “නිදහස් ප්‍රකාශනය” (Declaration of Independence) අත්සන් කිරීමෙන් ඇරඹි ඇමෙරිකන් විප්ලවය අවසන් වන්නේ 1783 දී පැරිස් සම්මුතිය (Treaty of Paris) හරහා බ්‍රිතාන්‍යය ඇමෙරිකන් නිදහස පිළි ගැනීමෙනි.. මෙම කාලය තුළ බ්‍රිතාන්‍ය හමුදාව සහ ජනපදවාසී හමුදාව (Colonial Army) අතර දරුණු යුද්ධ ඇති විය..
ඇමෙරිකන් ජනපද මෙලෙස කැරලි ගැසීමට ආසන්නතම හේතුව වශයෙන් දැක්වෙන්නේ එංගලන්තයේ තුන් වන ජෝර්ජ් රජු ඇමෙරිකන් ජනපද කෙරෙහි “අනීතික ආඥාදායකත්වයක්” දැක්වීම යයි පොදුවේ පිළි ගැනේ.. විශේෂයෙන්ම ඇමෙරිකන් ජනපද වල නියෝජිතයන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නැති නමුත් එම පාර්ලිමේන්තුව සහ රජු විසින් පනවන බදු ආදියට ජනපද යටත් වීම තුළින් තමන්ගේ “ඉංග්‍රීසිකාර අයිතිවාසිකම්” උල්ලංඝනය වී ඇති බව ජනපදිකයෝ විශ්වාස කළහ.. අන්ත දිළිඳු බවක් හෝ අහේනියක් ඔවුන්ට නොතිබුණි.. විශාල මහාද්වීපයකින් ලැබෙන වස්තුවට උරුමකම් කී ඔවුන් ඇත්තෙන්ම බදු ගෙවුවේ බ්‍රිතාන්‍යයෙකු ගෙවන ප්‍රමාණයට වඩා ඉතා අඩුවෙනි.. එහෙත් ජනපාලනය පාලිත ජනතා නියෝජනයකින් විය යුතුය යන ප්‍රතිපත්තිය මත ඔවුහු තම ජීවිත, දේපළ, වස්තු සම්භාරය පරදුවට තබා ලොව බලවත්ම හමුදාව සමග යුද්ද කළහ..
ජනපදිකයන්ගෙන් 95%ක් තරම ඇමෙරිකන් නිදහසට පක්ෂ වූ බවක් පෙනෙයි.. එහෙත් ඊට විරුද්ධව එංගලන්තයට පක්ෂ වූ 5% ක සුළුතරය අපට අමතක කළ නොහැකි ය.. විශේෂයෙන්ම මෙම සුළුතරය තුළ සෑහෙන බුද්ධිමතුන්, නීතිඥයන්, දාර්ශනිකයන් ආදිය සිටියහ.. “පක්ෂපාතීන්” (Loyalists) ලෙස හංවඩු ගැසුන මෙම සුළුතරයේ ඇතැම් අදහස් විමසා බැලීම වටින්නේ ඕනෑම සාධාරණ සමාජයක් සඳහා විරෝධාකල්ප පැවතීම සහ ඒවා ගැන අවධානයෙන් බැලීම අවශ්‍ය නිසා ය..
ඇමෙරිකන් විප්ලවය කාලයේ ප්‍රමුඛ බ්‍රිතාන්‍ය පක්ෂපාතියෙකු වූ මාතර් බයිල්ස් නම් පාස්ටර්වරයා වරක් නිදහස්වාදියෙකු සමග ඓතිහාසික වාදයකට පිවිසෙයි.. නිදහස්වාදියා විසින් ඔහුගෙන් අසනු ලබන්නේ “සැතපුම් තුන් දහසක් ඈත රටක වෙසෙන ආඥාදායකයාට ඔබ පක්ෂපාතී වන්නේ ඇයි?” යනුවෙනි.. එයට බයිල්ස් දෙන ඓතිහාසික පිළිතුර නම් “සැතපුම් තුන් දහසක් ඈතින් වෙසෙන එක ආඥාදායකයා ඉවත් කොට අප එක සැතපුමක් ඈතින් සිටින ආඥාදායකයන් තුන් දහසක් පත් කරගත යුත්තේ ඇයි?” යන්නයි..
කෙසේ වුව ද නිදහස් සටන ජයග්‍රහණය කරන ඇමෙරිකා එක්සත් ජනපදය 1783 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වේ.. එහෙත් ඔවුන් තම ව්‍යස්ථාව සකසන්නේ වසර හයක දීර්ඝ සාකච්ඡා, වාද විවාද වලින් පසුව 1789දී ය.. එම ක්‍රියාවලියේ පුරෝගාමීන් වන බෙන් ෆ්‍රෑන්ක්ලින්, තෝමස් ජෙෆර්සන් ආදීන් බයිල්ස්ගේ සහ තවත් විරුද්ධවාදීන්ගේ ඉහත ආකාරයේ ප්‍රකාෂ “බයි ප්‍රකාශ” ලෙස හංවඩු ගසා ඉවත දමන්නේ නැත.. රජ කෙනෙකුගෙන් සිදු වියහැකි අකටයුතුකම් ම මහජන ඡන්දයෙන් පත් වූ නියෝජිතයන්ගෙන් නො-අඩුව සිදුවිය හැකි බව ප්‍රත්‍යක්ශ කරගන්නා ඔවුහු එසේ වීම වැලැක්වීමට යාන්ත්‍රණයක් සෑදීමට උත්සුක වෙති.. ඇමෙරිකානු “අයිතිවාසිකම් පනත” (Bill of rights) හෙවත් පළමු ව්‍යවස්ථා සංශෝධනය (First Amendment) ඔවුන් ගෙනෙන්නේ මෙම අරමුණිනි.. ඇමෙරිකන් කොංග්‍රසය විසින් ජනතා අයිතිවාසිකම් කඩ වන නීති ඉදිරියේ දී ගෙන ඒමට ඇති ඉඩ ඇවිරීම මෙම ලියවිල්ලේ පරමාර්ථය වේ.. නිදහස් ලියවිල්ල (Declaration of Independence), ව්‍යවස්ථාව (Constitution) සහ අයිතිවාසිකම් පනත (Bill of Rights) ට වසර 230කට පසුත් ඇමෙරිකානුවෝ දස පනතට වඩා ගරු කරති!!
වෙනත් රටවල ක්ෂය වෙමින් පවතින ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් ක්ෂය කරන නීති වසර 230කට පසුවත් ඇමෙරිකාව තුළ දැමිය නොහැක්කේ එබැවිනි..
ඇමෙරිකානු විප්ලවය පිටුපස තිබූ දාර්ශනික බලවේගය “නිදහස” (Liberty) මිස “ප්‍රජාතන්ත්‍රවාදය” (Democracy) නොවේ.. “ප්‍රජාතන්ත්‍රවාදය යනු වලහෙකු, කොටියෙකු සහ බැටළුවෙකු එක් වී රෑ කෑමට මොනවා දැයි ඡන්දය දීමකි.. නිදහස යනු කොටි වලසුන්ගෙන් හිරිහැර නොවීමට බැටළුවන් ශක්තිමත්ව සහ සන්නද්ධව සිටීමයි” යනුවෙන් ඇමෙරිකානු ආදි කර්තෲ (founding father) බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් වරෙක පැවසීය.. එනම් බහුතරයේ කැමැත්ත අනුව / බහුතරය විසින් තෝරාගන්නා නියෝජිතයන් හරහා පාලනය සිදු වූවත් කිසිම සුළුතරයකට හෝ අඩුම වශයෙන් තනි පුද්ගලයෙකුට හිමි මූලික අයිතීන් කඩ කිරීමට අතිමහත් බහුතරයට පවා නොහැකි විය යුතු යයි ඔවුහු විශ්වාස කළහ.. “අයිතිවාසිකම් පනත” එම අදහස් වල කූඨප්‍රාප්තියකි..
යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් කඩ ඉමකි..විධායක ජනාධිපති ක්‍රමය විසින් බෞතිස්ම කරන ලද, පසුගිය වසර දහය තුළ බොහෝ ඉහළට එසවුණු ඒකාධිපති ආඥාදායකත්වය නො-ඉවසූ ජනතාව 2015 ජනවාරියේ දී එම ආඥාදායකත්වය පෝෂණය කළ ශක්තිමත් ජනපතිවරයා පරදවා එම ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වූ අපේක්ෂකයා පත්කර ගත් හ.. එම පොරොන්දු ප්‍රකාරව ඒක පුද්ගල පාලනයෙන් මිදී ව්‍යවස්ථාදායක සභාවක් වෙත බලය විමධ්‍යගත කරන නව ව්‍යවස්ථා සංශේධනයක් කරළියට පැමිනෙමින් පවතියි.. සැකෙවින් කිවහොත් ඒකවාදී පාලනය වෙනුවට බහුවාදී පාලනයක අරුනළු නැගෙමින් පවතියි.. මෙම සමාජ දේශපාලන ප්‍රවණතාව මා ඉත සිතින් අගය කරන අතර එයට පූර්ණ සහය ලබා දෙමි..
එහෙත් එතෙකින් සංවාදය නිමා කිරීමට මම නොකැමැත්තෙමි.. මෙම තීරණාත්මක නව උදාව අර්ථවත් කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ එක් ලියවිල්ලක් සම්මත වීම පමණක් නොසෑහෙතැයි සිතමි.. ඇමෙරිකානු විප්ලවයේ දී බ්‍රිතාන්‍ය පාක්ෂික මාතර් බයිල්ස් කිව්වාක් මෙන් එක ආඥාදායකයා එළවා සැතපුමක් ඈතින් ආඥාදායකයන් තුන්දහසක් බෝ කර ගැනීමට අපට උවමනාවක් නැත.. එසේ නොවීමට නම් ඇමෙරිකන් විප්ලවයෙන් පසු ව්‍යවස්ථාව සකස් කිරීම දක්වා පැවතියාක් මෙන් සමස්ථ සමාජය තුළම පුද්ගල නිදහස, රාජ්‍යයේ අධිකාරී බලය සීමා කිරීම ආදිය ගැන පුළුල් ලෙස සාකච්ඡා විය යුතු ය.. අවාසනාවට ඔවුන් අතර සාකච්ඡා වෙන්නේ බයියන් සහ ටොයියන් අතර ඇතිවන මඩ ප්‍රහාර, කුණුහපර වැනි පටු අදහස් ය..
යෝජිත ව්‍යවස්ථාදායක සභාව සහ් අනෙකුත් සභා වලට නියෝජිතයන් පත් වන්නේ කෙසේ ද? ඔවුන් ජනතා ඡන්දයෙන් පත්වූවන් නොවන නිසා ඔවුන්ගේ බලතල ජනතා පරමාධිපත්‍යය ඉක්මවා යනවා ද? එම කොමිසන් සභා වලින් කළ නොහැකි දේ / පැනවිය නොහැකි නීති ගැන (ඇමෙරිකානු “අයිතිවාසිකම් පනත” මෙන් ) වෙනම පනතක් තිබෙනවා ද? තිබිය යුතු ද? එම කොමිෂන් සභා වලින් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු වුවහොත් ගැනීමට හැකි ක්‍රියාමාර්ග කවරේ ද? ඒවා ප්‍රමාණවත් ද? යන කරුණු පිළිබඳව මුළු සමාජයම සලකා බැලිය යුතු ය..
අවසාන වශයෙන් රටක නිදහස සහ සාධාරණත්වය තහවුරු කිරීම සඳහා ආඥාදායකත්වයන් ඉවතලා “නීතියේ ආධිපත්‍යය”, “ප්‍රජාතන්ත්‍රවාදය” “බහුතර ක්‍රමය” ආදිය ස්ථාපනය කිරීම පමණක් ප්‍රමාණවත් නැත..
නාසි ජර්මනිය තුළ නීතියේ ආධිපත්‍යය තිබුණි.. හිට්ලර් ජර්මනිය තුළ කළ සියල්ල නීත්‍යනුකූල විය.. එලෙසම හිට්ලර් බලයට ආවේ බහුතර කැමැත්තෙන් සහ ප්‍රජාතන්ට්‍රවාදයෙනි.. වෙනෙකක් තබා නාසි ජර්මනිය පිරිසිදු ආඥාදායකත්වයක් පවා නොවීය.. ගෝරිංග්, හිම්ලර්, ඩොනේට්ස්, ස්පියර් ආදීන්ට තම තමන්ගේ විෂය පථ තුළ අභිමතයන් කිරීමට නිදහස තිබුණි.. එබැවින් “ප්‍රජාතන්ත්‍රවාදය” වැනි වචන හුදකලාව ගත් විට ඒවා මහා අසිරිමත් සංකල්ප නොවන බව අප තේරුම් ගත යුතු ය..
ඇමෙරිකාවේ කිසි දිනෙක හිට්ලර් වැනි පාලකයෙක් බිහි නොවුණේ ඇයි? ඇමෙරිකන්කාරයන් ජර්මනුන්ට වඩා විශේෂයෙන් හොඳ ජනකොටසකි වැනි මෝඩ මතිමතාන්තර ඉවතලා බැලුවහොත් එසේ නොවූයේ ඇමෙරිකාවේ පාලන ක්‍රමය නිසා බව පැහැදිළි ය.. සත්‍යය නම් ඇමෙරිකාවේ ද බොහෝ දරදඬු, හිතුවක්කාර ජනාධිපතිවරු, කොන්ග්‍රස් සභිකයන් ආදීන් සිට ඇත.. වෙනෙකක් තබා තමන්ට උවමනා පනත් සම්මත නොවූ විට ජනාධිපති ඔබාමා ද “දින දෙකකට ආණ්ඩුව වසා තැබීය”.. ඇතැම් පනත් සම්මත කරගැනීම සඳහා ජනාධිපතිවරු කොංග්‍රස් එකට සහ සෙනෙට් එකට දැසි ලෙස බලපෑම් කරන අවසාථා දක්නට ලැබේ.. එහෙත් සත්‍ය තත්ත්වය නම් ජනාධිපතිට එසේ කිරීමට හැකි නෛතික සීමාවන් අර අවුරුදු 230ක් පැරණි ව්‍යවස්ථාවේ පැහැදිළිව ලියා තිබේ..
එලෙසම කොංග්‍රස් එකට අවශ්‍ය වූ විට පවා “අයිතිවාසිකම් පනතෙන්” පිළිගෙන ඇති අයිතිවාසිකමක් අහෝසි කරන අන්දමේ නීති ගෙන ආ නොහැකිය.. නිදසුනක් ලෙස ඔබේ මාධ්‍ය ආයතනය පළ කරන අදහස් ඔබට හැර මුළු රටටම අප්‍රසන්න වූ විට පවා ඔබ හැර සියළු දෙනාම ඒකඡන්දයෙන් එම අදහස් තහනම් කිරීමට ඉදිරිපත් වුව ද ඔවුන්ට එය කළ නොහැකි ය.. මන්ද ඔබේ අදහස් දැක්වීමේ අයිතිය අහෝසි කිරීමට කොංග්‍රසයට නොහැකි බව “අයිතීවාසිකම් පනතේ” ලිඛිතව දක්වා ඇති බැවිනි..
මානව සහ පුද්ගල නිදහස රැකීම සඳහා සකසා ඇති මෙම ක්‍රමයය “ප්‍රජාතන්ත්‍රවාදය” හෝ “බහුතර පාලනය” නොවන බව ඔබට පෙනෙනු ඇත.. ශක්තිමත් ව්‍යවස්ථාවකින් ඉතාමත් කුඩා සුළුතරයේ පවා අයිතීන් ලිඛිතව රැක දෙමින් ගෙනයන එම රාජ්‍ය ක්‍රමය “ව්‍යවස්ථාපිත ජනරජ” (Constitutional Republic) ක්‍රමයයි.. ලංකාවේ ද ජනාධිපති බලතල අඩු කර ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම යෝග්‍ය වන නමුත් එම සභාවේ බහුතරයේ අනුකම්පාව හිමි නොවන සමාජ කොටස් වල මූලික අයිතීන් රැකීම සඳහා ද ශක්තිමත් යාන්ත්‍රණයක් තිබිය යුතු යයි විශ්වාස කරමි..
ෆිලඩෙල්ෆියා නගරයෙන් ඇරඹුණු මෙම සටහන ෆිලඩෙල්ෆියා නගරයෙන්ම අවසන් කිරීමට මම අදහස් කරමි.. 1787 දී ෆිලඩෙල්ෆියාහි “ඉන්ඩිපෙන්ඩන්ට් හෝල්” ශාලාවේ රැස් වූ ඇමෙරිකන් ආදී කර්තෲවරු අනාගත ව්‍යවස්ථාව කෙබඳු වියයුතු දැයි සාකච්ඡා කළහ.. සාකච්ඡාව අවසන් වී ශාලාවෙන් ඉවතට එන බෙන් ෆ්‍රෑන්ක්ලින් හමු වීමට දිව එන්නේ ඔහුගේ මිතුරියක වන පවෙල් මහත්මියයි..

“ෆ්‍රෑන්ක්ලින් මහතාණෙනි.. ඔබ අපට ගෙනාවේ මොනවාද?” පවල් මහත්මිය නො-ඉවසිල්ලෙන් අසයි

“ජනරජයක් මැඩම්.. ඔබට එය සුරැකිව තබාගත හැකි නම්!!”
ස්තුතියි..

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අප්‍රේල් 28, 2015 at 10:45 ප.ව.

    //සමස්ථ සමාජය තුළම පුද්ගල නිදහස, රාජ්‍යයේ අධිකාරී බලය සීමා කිරීම ආදිය ගැන පුළුල් ලෙස සාකච්ඡා විය යුතු ය.. අවාසනාවට ඔවුන් අතර සාකච්ඡා වෙන්නේ බයියන් සහ ටොයියන් අතර ඇතිවන මඩ ප්‍රහාර, කුණුහපර වැනි පටු අදහස් ය..// නැවත නැවතත් අවධාරණය විය යුතු වටිනා පණිවුඩයයි.

    • arunishapiro said, on අප්‍රේල් 29, 2015 at 7:27 පෙ.ව.

      mppgunasinghe,

      දන්නෙ නැති දේවල් ගැන කොහෙම කතා කරන්න ද mppgunasinghe? පරම්පරා දෙක තුනක්ම හුරැ කරලා තියෙන්නෙ ආණ්ඩුවෙන් බෙදන්නෙ මොනවාදැයි සහ කොච්චරක් කාට බෙදනවාදැයි ගැන කතා කරන්න වෙද්දී.

      ඇමෙරිකාව සටන් වැදිලා යටත්විජිත ක්‍රමයෙන් නිදහස දිනාගත්තම එහෙම ජනරජය හදපු අය සමාජය දැනුවත් කළා තමන් සටන් වැදුනේ මොනවාට ද, ආරක්ෂා කරගත යුත්තේ මොනවාද යන්න ගැන. ඔවුන් මහජනතාවට දැනුම් දෙන්න ලියපු ෆෙඩරලිස්ට් රචනා කිහිපයක්ම මම මේ අඩවියේ පළ කරලා තියෙනවා.

  2. රාජ් said, on අප්‍රේල් 28, 2015 at 11:47 ප.ව.

    මේ ලිපිය දාන්න කියල කොපිරයිට් ඉල්ලල එනකං හිටිය තාම ආවෙ නැති නිසා දැම්මෙ නෑ.

    කොහොම උනත් අගනා සටහනක්. මේක කියවද්දි අරුණිවත් මතක් උනා🙂

    //ඇමෙරිකානු විප්ලවය පිටුපස තිබූ දාර්ශනික බලවේගය “නිදහස” (Liberty) මිස “ප්‍රජාතන්ත්‍රවාදය” (Democracy) නොවේ.. “ප්‍රජාතන්ත්‍රවාදය යනු වලහෙකු, කොටියෙකු සහ බැටළුවෙකු එක් වී රෑ කෑමට මොනවා දැයි ඡන්දය දීමකි.. නිදහස යනු කොටි වලසුන්ගෙන් හිරිහැර නොවීමට බැටළුවන් ශක්තිමත්ව සහ සන්නද්ධව සිටීමයි” යනුවෙන් ඇමෙරිකානු ආදි කර්තෲ (founding father) බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් වරෙක පැවසීය.. එනම් බහුතරයේ කැමැත්ත අනුව / බහුතරය විසින් තෝරාගන්නා නියෝජිතයන් හරහා පාලනය සිදු වූවත් කිසිම සුළුතරයකට හෝ අඩුම වශයෙන් තනි පුද්ගලයෙකුට හිමි මූලික අයිතීන් කඩ කිරීමට අතිමහත් බහුතරයට පවා නොහැකි විය යුතු යයි ඔවුහු විශ්වාස කළහ.. “අයිතිවාසිකම් පනත” එම අදහස් වල කූඨප්‍රාප්තියකි..//

    මේක නං මාරයි. අරුණිට පුළුවන් නම් මෙහේ සහ ඇමරිකාවෙ ව්‍යවස්ථාවල වෙනස්කම් ගැන ටිකක් ලියන්න. උදාහරණයක් විදියට පොලිසියේ ස්වාධීනත්වය වෙනුවෙන් ව්‍යවස්ථාවෙ තියෙන්නෙ මොනවද ……. වගේ දේවල්?

    • arunishapiro said, on අප්‍රේල් 29, 2015 at 7:35 පෙ.ව.

      රාජ්,

      ඇමෙරිකන් ව්‍යවස්ථාවේ පැහැදිලිව ලියා ඇති, වැඩියෙන්ම අගය කළ යුතු වූ අනගිතම ලක්ෂණය තමයි ස්වාධීනත්වය ආරක්ෂා කරලා තියෙන්නෙ රටේ සමස්ත වැසියන්ට පමණක් වීම. පොලීසිය සිට කොංග්‍රසය, ජනාධිපති, සුපිරි උසාවිය දක්වා යන සෑම මිනිසාගේ කටයුතු වලට ඇඟිලි ගහන්න හදන කාර්යාල ස්වාධීනත්වයෙන් තොරයි. ඔවුන් ජනතාවට හැම අදිරයක දී ම යටත් වී සිට වගකිව යුතුයි.

      ඒත් ව්‍යවස්ථාව පැත්තකට දාලා වැඩ කරන්න අයිතිය මහජනතාව විසින්ම තම නායකයන්ට ඉඩදෙන හැදියාව මෙහෙත් වැඩි වූ කාල පරිච්ඡේදයන් තිබුන නිසා, ආදායම් බදු දෙපාර්තමේන්තුවක්, ෆෙඩරල් අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් යනාදියත් දැන් කාටවත් කිසිත් විමර්ශනයක් කරන්න බැරි මහා බැංකුව වගේ මහා රකුසන් බිහිවෙලා තියෙනව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: