අරුණි ශපීරෝ‍ වෙතින්

ඔපරේෂන් බේබි ලිෆ්ට්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 30, 2015

බල්ටිමෝර් නගරයේ සිට අපේ ගමට එන පිරිස බොහෝ වෙති. සංචාරයට එන අය පළාතේ සුන්දරත්වය දැක නිවාඩු නිවාස මිල දී ගෙන සෑම ගිම්හානයක්ම මුහුදු වෙරළ අසළබඩ ගෙවන්න එන හැදියාව කෙමෙන් ඉහළ යයි. අපේ ගමේ ජීවිතයට ආණ්ඩුව ඇඟිලි ගැසීම සිද්ධ වෙන්නේ බල්ටිමෝර් වලට වඩා පැහැදිලි ලෙසින්ම ඉතාමත් අඩුවෙනි. දුප්පත් ගැමියන් මහජන නිවාස යෝජනා ක්‍රමයන් තුල සිරගත වී නැත. මෙය, රැටල්ස්නෙක් නයෙක් දඟර ගැසී දෂ්ට කරන්නට මාන බලාගෙන සිටින ගැඩ්ස්ඩන් කොඩි වලින්, මැදිහත්වීම් රිසි දේශපාලනඥයන්ට ඡන්ද දිනාගත යුත්තේ කෙසේදැයි මතක් කරන පැත්තකි.

බල්ටිමෝර් නගරය පාලන බලයේ සිටින මැදිහත්වීම් රිසි වූවන්ගේ තෝතැන්නකි. පසුගියදා පොලීසියට පහර දී වෙළඳස්ථාන හා නිවාස ගිනිතැබීමේ සිද්ධියේ සම වරදකරුවන් මැදිහත්වීම් රිසි නීති සම්පාදකයන් සහ විද්වතුන් වෙති. සිද්ධිය පොලීසිය විසින් ෆ්‍රෙඩී ග්‍රේ අමු අමුවේ මරා දමන ලද සිද්ධිය නිසා පමණක් උත්පාදනය වූ ප්‍රචණ්ඩත්වයක් නොවේ. මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධය, වාර්ගික ලෙසින් දඬුවම් ලැබෙන පොලිස් සම්ප්‍රදාය, අසාර්ථක මහජන සේවා, කළු අයට වෙනම පිහිටුවා ඇති මහජන නිවාස වැඩ පිළිවෙත්, නගර ප්‍රතිසංස්කරණය, නොනැවතෙන සේ සිද්ධ වෙන ‘ප්‍රගතිශීලී’ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ආර්ථික අවස්ථා අහිමි කරන ඉතා දැඩි සේ නියාමනය කරන ශ්‍රම වෙළඳපොල, වෘත්තීයන්ට අවසරපත් ගන්නට සිද්ධ වීම, තුවක්කු පාලනය, සහ සියල්ලන්ටම තමන් සිරකරුවන් යැයි හැඟෙන චිරස්ථායී යුද්ධ නීති නිසා කෙමෙන් ප්‍රසාරණය වූ පීඩනය මේ පුපුරා ගිය අවස්ථාවකි.

සමාජ ක්‍රමයට වඩා හොඳින්, ප්‍රතිපත්ති සම්පාදනය කරන එලීට් පිරිසකට සමාජ ක්‍රමයක් හදන්න පිළිවන් යැයි වසර සියයක ඉතිහාසයේ දී වැඩි කාලයක් විශ්වාසයේ එල්බ සිටීම නිසා හටගත් ප්‍රතිඵලයකි.

අද, වියට්නාම් අර්බූදයේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම් ඉවත් වූ දිනය සේ සැලකෙන සයිගොන් නගරයෙන් ඉවත් වී යාම සිද්ධ වූ 1975 අප්‍රේල් 30 වැනිදා හි 40 වැනි සංවත්සරයයි. මැදිහත්වීම් රිසි දේශපාලනඥයන් නිසා ඇමෙරිකන් වැසියන් 58,000 ක් මිය ගියහ. වියට්නාමයේ වැසියන් මිලියන ගණනක් සංඛ්‍යාවක් මිය යන ලදි.

කොමියුනිස්ට් හෝ සමාජවාදී වෙන්නට රිසි වූවන්ව යුද්ධ වලින් නවත්තන්නට නොහැකියි. ඔවුන් තමන්ගේම වැසියන් වහලුන් කරගනිද්දී නිදහසේ නාමයෙන් කියා මිනිස් ජීවිත විනාශ කරන යුද්ධයන්ට යෑම නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම නොවේ. එසේම වෙළඳ සම්බාධක පැනවීමෙන්, එවැනි ප්‍රජාපීඩක ආණ්ඩු වලට හිර වූ අහිංසක මිනිස්සුන්ගේ නිදහස සලසන්නේ හෝ ප්‍රජාපීඩක පාලකයන් ඉවත් වෙන්නේ නැත. කදිම උදාහරණය කැස්ත්‍රෝලාගේ කියුබාවයි. කියුබාව ගැන ඇස් ඇරෙන්නේ දැන් වූවාට, 1994 දී ඇමෙරිකාව වියට්නාමයට පනවා තිබූ වෙළඳ සම්බාධක ඉවත් කරන ලදි.

ආඥාදායක පාලනයකින් රට ගෙන යන වියට්නාමය අදත් තමන් කොමියුනිස්ට් යැයි කියා ගනිති. එහෙත් වියට්නාම වැසියන් පිව් පර්යේෂණ සමීක්ෂණයකට අනුව අද ලොව වෙනත් කිසිම රටකට වඩා, ජර්මනියට, ඉන්දියාවට, නැත්නම් ඇමෙරිකාවටත් වඩා, ධනවාදයේ නොම්මර එකේ ලෝලීයා බවට පත් වී ඇතැයි වාර්තා වෙයි.

ඒ සමඟින් අහන්නට ලැබෙන්නේ, වියට්නාමයේ සයිගොන් නගරය යුද පිටියක් බවට හැරෙද්දී වියට්නාම් දරුවන් ඇමෙරිකාවට ගෙන ගිය මෙහෙයුමක් ගැනයි. ඒ නිල වශයෙන් දරුවන් ගෙනෙන මෙහෙයුම දියත් කරන්නට දින දෙකකට පෙර දරුවන් 57 ක් බඩු ප්‍රවාහනය කරන ගුවන් යානාව අහසට නංවන්නට අවසර නොමැතිව සයිගොන් ගුවන් තොටුපොලෙන් පිටත් වී ඒමයි. නිල වශයෙන් පිටත් වූ ප්‍රථම ගුවන් යානය කඩාවැටිණ.

ඒ ගෙනෙන ලද සමහර දරැවන් ඇමෙරිකන් හමුදා භටයන්ගේ වූහ. අනෙක් අය අනාථ වූ දරුවන් වූහ. සමහර අයගේ දෙමව්පියන් එහි සිටියත් ඔවුන්ව මෙහි රැගෙන ආවා යැයි කියැවේ.

1975 මැයි මාසයේ දී ඔපරේෂන් බේබි ලිෆ්ට් අවසන් වෙද්දී දරැවන් තුන්දාහකට වඩා පිරිසක් ඇමෙරිකාවට ගෙනෙන ලදැයි සැලකේ.

තම රටේ කොමියුනිස්ට්වාදය පැතිරෙනවාට අකමැත්තෙන් ඇමෙරිකන් වියට්නාම් යුද්ධ කාලයේ දී ඒ පැත්ත අත්හැර ඇමෙරිකාවට පැමිණි අය, අද මගේ ඥාතීන් ද වෙති.

මේ වියට්නාම් වලින් පැමිණි අය බහුතරය තවමත් පදිංචි වී සිටින්නේ ඔවුන් මුල් පදිංචිය කරගත් නගර වලයි. තමන්ගේ මැදිහත්වීම් ප්‍රතිපත්ති වලින් සිද්ධ වූ අකටයුතු වසා ගන්නට ඇමෙරිකන් රජය අපේ බදු මුදල් වලින් තවමත් ඔවුන්ට සහනාධාර බෙදා දෙයි.

මංකොල්ලයට ඉඩක් නැති විට, සමාජ ක්‍රමයක් හදන්නට එලීට් පිරිසකට දැනුමක් නොමැති බව අවබෝධ වෙන්නට වැඩිකල් නොයයි. මංකොල්ලය ඇමෙරිකන් වැසියන්ගෙන් පැහැර ගන්නා බදු මාර්ගයෙන් සිද්ධ වෙනවා ද, නැත්නම් රැසියන් යුද්ධ ටැංකි වලින් යුක්රේනයට බලහත්කාරයෙන් ඇතුල් වී සිද්ධ වෙනවා ද, එහෙමත් නැත්නම් සමාජ ක්‍රමයක් හදන්නට දන්නවා කියාගත් මිනිසුන් වහලුන් කරන පාලකයන් අතින් සිද්ධ වෙනවා ද යන්න පහදා ගන්නට ඉතිහාසයේ උදාහරණ එමට ඇත.

නැත්තේ, ඒවා විභාගයට හැකි දැනුම මඳකම පමණි. දැනුම සොයා යන්නෝ ලොව සැමදා විරල වෙති. එහෙත් ඔවුන් දැනුම සොයාගන්නට වෙහෙස වී එය අවබෝධයෙන් ඉහළ ආදායම් ඉපැයීමට සමත් වෙද්දී, මාර්ගය නොදැක ප්‍රතිඵලය දිහා බලා, ප්‍රතිඵලය නුරුස්සන අය ලොව සුලබ වෙති.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. විචාරක Wicharaka said, on මැයි 1, 2015 at 9:10 පෙ.ව.

    මෙලෙස සුදු පොලිස් නිලධාරීන් කළු ජාතිකයන් පෙලීම නම් බොහොම අවාසනාවන්ත සහ අහිතකර ප්‍රතිඵල ගෙනදෙන ක්‍රියාවක්. සුදු කළු ගිනි පුපුරු තවමත් අළු යට තියනවා වගේ.

    වියට්නාම් යුද්ධය ගැන මෑතකදීත් වාර්තා කීපයක් බැලුවා. ඒ කාලේ මානව හිමිකම් පිළිබඳව මෙතරම් නීති රීති නොවීමත්, ජනමාධ්‍ය පරිහරණය අතින් සාමාන්‍ය සමාජය පහල මට්ටමක සිටි නිසාත් බොහෝ වැරදි වහගන්නට ඉඩ ලැබී තිබෙනවා.

    බල්ටිමෝර් ප්‍රදේශය වගේ විවිධ ප්‍රදේශ ‘උපකල්පිත කළු ජනාවාස’ වැනි හැඟීමකින් බැලීමට කළු ජාතිකයන් හිතුවොත් එය භයානක තත්වයක ආරම්භය වන්නට පුළුවන්.

    • arunishapiro said, on මැයි 1, 2015 at 2:21 ප.ව.

      විචාරක Wicharaka,

      රෙදි ඇඳගෙන ශිෂ්ඨාචාර වුනේ ඇයි කියල අමතක වෙලා බරක් ඔබාමා වගේ මිනිස්සු උසි ගන්වන්න ඉන්න අයත්, ඒ උසිගන්වද්දී ඇඟේ රෙදි තියනවා අමතක වෙලා දුවන අයත් සිටිය දී වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

      කළින් ප්‍රතිචාරයක කිව්ව වගේ මිනිසාට උපන්නට පස්සෙයි අධ්‍යාත්මය දියුණු කරගන්න එකයි, ජීවිතය පවත්වා ගන්න එකයි ගැන තමන් විසින් ඉගෙන ගන්න සිද්ධ වෙන්නෙ.

      ව්‍යාපාරිකයා ඕන විජ්ජුම්බරයක් කරලා ලාබ හොයනවා කියල උසිගන්වන අයට රැවටිලා ඉන්න මිනිහා එයයි විශ්වාස කරන්නෙ. අන්තිමට කඩලා දාලා ගිනි තියලා විනාශ කරල දැම්මෙ තමාට අවශ්‍ය බඩු ගන්න හැකියාව හදල දෙන තමන්ගෙම අයගේ දේපල කියල හිතන්න කියලා දත්ත, විස්තර, පැහැදිලි කිරීම් එක්ක දුන්නත් කෝ ඒ පැත්ත ඇහක් ඇරලා බලන්නවත් ලැහැස්තියැ???? ඉතින් එහෙම උසිගන්වන අයව තවත් ඉහළට නඟ්ගලා ජාතියේ/ලෝකයේ වාසනාවට උපන් අය කියල සම්මාන දෙනවා මිසක්.

      මේක “සුදු කළු ගිනි පුපුරු” තත්වයක් නෙමෙයි, මේක තමන්ගේ සාධාරණ කොටස තමන්ට බෙදල දෙන්න ඕන කියල හිතන මිනිස්සු, පුද්ගලික ව්‍යාපාරිකයා විසින් සමාජයේ කරන කාර්ය භාරය කුමක්දැයි නොදන්නාකම තුලින් හට ගත්ත අවුලක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: