අරුණි ශපීරෝ‍ වෙතින්

අවම වැටුප් නීති නිසා …

Posted in Uncategorized by arunishapiro on මැයි 2, 2015

Photo credit: Ben Jacobs in Baltimore, MD

Photo credit: Ben Jacobs in Baltimore, MD

ප්‍රමාණයෙන් කුඩා එහෙත් ජනගහණයෙන් අධික මේරිලැන්ඩ් ප්‍රාන්තය කාලාන්තරයක් තිස්සේ නියැළී සිටි අහිතකර ආර්ථික සහ සමාජ ප්‍රතිපත්තිවල ඵලදාව දැන් එහි වැසියන් භුක්ති විඳිමින් පසුවෙති. ප්‍රාන්තය රටේ ඉහළම ආදායම් බදු පවතින ප්‍රාන්ත පහට අයිතියි. එහෙත් වර්තමාන ප්‍රචණ්ඩකාරී තත්වයන් වර්ගවාදය මුල් කරගත්තා යැයි සත්‍ය තතු අවබෝධය නොහැකි වූවෙකුව රැවටීම තවමත් ඉතා පහසු වූවකි.

පින්තූරයේ ඇත්තේ අර්බූදයට මුහුණ පෑ බල්ටිමෝර් නගරයේ බංකොලොත් වී වැසී ගිය කඩයක ගසා ඇති “ඩෙමොක්‍රැටික් පක්ෂයට ඡන්දය දෙන්න” යන පෝස්ටරයයි. බල්ටිමොර් නගරය ප්‍රාන්තයේ වැඩියෙන්ම ජනාකීර්ණ නගරයයි. පසුගිය ජනාධිපති මැතිවරණ පහක දී එහි වැසියන් ඩෙමොක්‍රැටික් පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දුන්හ. වර්තමාන ෆෙඩරල් සෙනෙට් සභිකයන් දෙදෙනා සහ නියෝජිත සභාවේ 8 දෙනාම ඩෙමොක්‍රැටික් පක්ෂයේ අයයි. දශක හතරකට පසුව රිපබ්ලිකන් ආණ්ඩුකාරයෙක් පැමිණ එක වාරයක් බලයේ සිට පැරදී ගියේය.

උසාවිය විසින් පොලීස් නිලධාරීන්ට දඬුවම් කළ යුතු වෙන්නේ ජනතාව උද්ඝෝෂණ පවත්වන නිසා නොව ඒ නිලධාරීන් රටේ නීතිය උල්ලංඝණය කර ඇත්නම් පමණකි. නීතියක් යනු වැඩි පිරිසක් උද්ඝෝෂණය නිසා බිහිවෙන්නක් නොව සමාජයේ සාමය ආරක්ෂාව පිණිස හදන ලද්දක් විය යුතුයි. එය සැමට එක සේ ක්‍රියාත්මක නොවන්නේ නම් එහි ප්‍රධාන අරමුණ එතැනින්ම අහෝසි වී ඇත.

බල්ටිමෝර් හි කළු නගරාධිපතිවරියට අනුව පොලිස් නිලධාරීන්ව අත් අඩංගුවට ගැනුනේ උද්ඝෝෂණයේ මහිමයෙනි. 2010 සිට නගරාධිපතිනිය ලෙස කටයුතු කරන ඇයට පොලිස් නිලධාරීන් නීතිය නිසි සේ පිළිපැදීම නියාමනය කරගත හැකි නොහැකි නම් ඇයගේ සේවය අසාර්ථක වී ඇතැයි ඇය ඉල්ලා අස්විය යුතු නොවේදැයි අහන්නට අයෙක් නැත. එපමණක් නොව ඇය ඩෙමොක්‍රැටික් පක්ෂයේ ලේකම් සහ ඇමෙරිකන් නගරාධිපති සමුළුවේ උප සභාපතිනිය හැටියට ද වර්තමානයේ කටයුතු කරන්නියයි.

පසුගිය සටහනේ දී කාලාන්තරයක් තිස්සේ ගෙන යන අහිතකර ප්‍රතිපත්ති ගැන සඳහනක් කළෙමි. මේ සටහන එයින් එකක් ගැන විස්තර පැහැදිලි කිරීමකි.

බරක් ඔබාමා වැනි සුදු මවකගේ සහ කළු විදේශික පියෙකුගේ පුතෙකුට රටේ ජනාධිපතිවරයා විය හැකි වූ නිදහසක් තිබෙන රටකි ඇමෙරිකාව. එවැනි දේශපාලන ජයක් ලොව කිසිම රටකින් මෙතෙක් දකින්නට ලැබී නැත. වෙනත් රටකින් දකින්නට තවත් කොපමණ කාලයක් ගතවේදැයි කියන්නට ද අසීරැ වූවකි.

එහෙත් කළුහමැති නිසා හෝ බෙදන්නට පොරොන්දු වූ නිසා බලයට පත්වෙන්නට වරම් ලැබුණාට ඵලක් නැත. නගරාධිපතිනියට වුවත් ජනාධිපතිවරයාට වුවත් ආර්ථික සත්‍යය බලපාන්නේ එකම විදියටයි. බලය යොදවා නීතියක් සම්මත කරගත්තාට එයින් රටේ හෝ ජනතාවගේ ධනය වැඩිවෙන්නේ නැත. 1849 තරම් ඈත අතීතයක දී ෆ්‍රෙඩරික් බැස්ටියාට් එය පෙන්වා දුන්නේය. නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය, නාමයෙන් භාවිතයට ගත් නීතියේ බලය නිසා එහෙනම් ලොව පෝස්ත්ම රට ප්‍රංශය විය යුතු යැයි බැස්ටියාට් සටහන් තැබීය.

තුරුණු වියේ (16-19) අය අතර විරැකියාව ඉහළ ගොස් ඇති සමයක ඇමෙරිකන් වැසියන් ජීවත් වෙති. තුරුණු වියේ සිටින කළු අය අතර විරැකියාව ඊට වඩා දෙගුණයකි.

සුදු කළු භේද දකින අයට මෙය වාර්ගික අසාධාරණ සැලකීම් නිසා හටගත් තත්වයකි. නමුත් බොරැවෙන් සඟවන්නට බැරි ආර්ථිකය අපිට පෙන්වන්නේ විරැකියාවේ ප්‍රධාන හතුරා අවම වැටුප් නීති බවයි.

අවම වැටුප් නීති ඉහළ දැමීමෙන්, කළු තුරුණු වියේ අය අතර දකින්නට පැවති විරැකියාව ඉහළ යන ලදි. වැටුපට අමතරව සෑම වැටුප් පතකින්ම රජයට යවන සමාජ සේවා සුබ සාධන ගෙවන්නේ ද රස්සාව දෙන අයයි. වැටුප් වලට අමතරව සුබසාධන, නිවාඩු දවස්, සෞඛ්‍ය රක්ෂණය, විරැකියා රක්ෂණය යනාදිය ගෙවන්නට සිද්ධ වෙන්නෙත් රස්සාව දෙන අයටයි.

මේරිලැන්ඩ් හි ආණ්ඩුකාර මාටින් ඕ’මැලි විසින් 2014 දී නීතියක් අත්සන් කර අවම වැටුප පැයකට ඩොලර් 10.10 යැයි නියෝගයක් පැනවීය.

ආණ්ඩුවේ රස්සාවක් දෙන්නේ ඡන්දදායකයාගේ පොකැට්ටුවෙන් පඩි ගෙවන ක්‍රමටයි. ඒ සල්ලි උපයන්නට බලයේ සිටින දේශපාලනඥයන්ට සිද්ධ නොවේ. අවශ්‍ය වනුයේ බදු වැඩි කරන නීතියක් සම්මතය පමණකි.

පුද්ගලික අංශයේ දී රස්සාවකට බඳවා ගන්නට පෙර ව්‍යාපාරයේ අලාභ පාඩු අඩුකර ලාබ වැඩිකර ගත යුතුයි. ඩොලර් පහක වටිනාකමක් අරන් එන පළපුරුද්දක් නොමැති තුරුණු වියේ අයට පැයකට ඩොලර් 10 ක් ගෙවීමට සිද්ධ වීම ව්‍යාපාරයේ පැවැත්ම තීරණය කරන්නකි.

අවම වැටුප නීති නියෝගයකින් තීරණය වීම යනු අඩු කුසලතා ඇති අයගේ රස්සාවන්ට ප්‍රධාන බලපෑමක් එල්ල වීමකි.

අඩුම කුසලතාවයක් පවතින සමාජ කොට්ඨාශය තුරුණු වියේ අයයි.

ඒ නිසා අවම වැටුප් නීති නියෝගයකින් තීරණය වෙද්දී එහි ප්‍රධාන වශයෙන් පාඩු විඳින කොට්ඨාශය ද තුරුණු වියේ අය වෙති.

අවම වැටුපකින් තුරුණු වියේ අයෙක් සති අන්තයේ දී උපයන මුදල යනු පවුලක් රකින්නට උපයන මුදලක් නොවේ. එය යෞවන වයසේ දී ම රක්ෂා පළපුරැද්දක් ලබාගන්නට හැකි එක් මාර්ගයකි. ඕනෑම රස්සාවක්, මොන පඩියකට හෝ කරන රස්සාවක්, තුලින් රස්සාවේ නියැළෙන්නා ඉගෙන ගන්නේ, හුරුවක් ඇති කරගන්නේ, නියමිත වේලාවට වැඩට පැමිණීම, ඉහළින් ඉන්නා නිලධාරීන්ගේ අණ ඉටු කිරීම හා යෝජනා වලට සවන් දීම, අලස කමින් නොසිට ඵලදායක ලෙස වැඩ කරන්නට ඉගෙනීම යනාදියයි. රස්සාවක් ඇතැයි කියා තමන් වැදගත්ය යන හැඟීමත් ආඩම්බරයත් අත්විඳින්නට ලැබේ. තමන්ගේම කියා අතට ලැබෙන තුට්ටු දෙක ඒ නිසා එහි දී ලැබෙන එක සතුටක් පමණි.

විරැකියාව ඉහළ යද්දී තුරුණු වියේ අය පාරට බහින උද්ඝෝෂණ වලට වැඩියෙන් යොමු වෙනවා යන්න ලංකාවේ අයට අළුතින් කියා යුතු වූවක් නොවේ. උද්ඝෝෂණ වලට එකතු වෙන අය සේ ම, ඒ උද්ඝෝෂණ වලට මාර්ගය හදා දුන් විරැකියාව වර්ධනය කළ අය ද එකම වැරදි මාර්ගයක තව දුරටත් ගමන් කරද්දී තත්වයේ කිසිදු වෙනසක් සිද්ධ නොවේ.

මෙහෙ ෆෙඩරල් ක්‍රමයේ නීති උල්ලංඝණය කරමින්, අපේ බදු මංකොල්ලයෙන් ඈත රටවල ෆෙඩරල් ක්‍රම පිහිටුවන්නට වෑයම් ගන්නා අයට ඊට කළින් ආපහු ගෙදර ඇවිත් තමන්ගෙ පක්ෂය නිවැරදි මාර්ගයේ යන්නට හදාගන්න යැයි කිව යුතුයි!!!😀

5 Responses

Subscribe to comments with RSS.

  1. කුරුටු ගෑ ගී පවුර said, on මැයි 3, 2015 at 12:28 පෙ.ව.

    ඉස්සල්ලා තමන්ගේ වැරදි හදාගෙන ඉන්න ඒපැයි නේද???

  2. බක්කා.. said, on මැයි 4, 2015 at 2:35 පෙ.ව.

    [බරක් ඔබාමා වැනි සුදු මවකගේ සහ කළු විදේශික පියෙකුගේ පුතෙකුට රටේ ජනාධිපතිවරයා විය හැකි වූ නිදහසක් තිබෙන රටකි ඇමෙරිකාව. එවැනි දේශපාලන ජයක් ලොව කිසිම රටකින් මෙතෙක් දකින්නට ලැබී නැත. වෙනත් රටකින් දකින්නට තවත් කොපමණ කාලයක් ගතවේදැයි කියන්නට ද අසීරැ වූවකි.]

    අනාථ නිවාසයක් වගේ අගක් මුලක් නැතුව ආරම්භ වෙච්ච රටක් වගේ එකක එහෙම වෙන්න පුළුවන් උනාට වෙනත් රටක එහෙම නොවෙන්නම පුළුවන්. එනිසයි එවැනි දේ දුලබ.

    [මෙහෙ ෆෙඩරල් ක්‍රමයේ නීති උල්ලංඝණය කරමින්, අපේ බදු මංකොල්ලයෙන් ඈත රටවල ෆෙඩරල් ක්‍රම පිහිටුවන්නට වෑයම් ගන්නා අයට ඊට කළින් ආපහු ගෙදර ඇවිත් තමන්ගෙ පක්ෂය නිවැරදි මාර්ගයේ යන්නට හදාගන්න යැයි කිව යුතුයි!!!]

    ඇයි ඔබේ මේ දේ සිංහලෙන් කියන්නේ, ඔවුන්ට සිංහල පුළුවන්ද. ඔවුන් කරන දේ හා සමාන දෙයක් නොවේද ඔබත් කරන්නේ. ඔබ ඉන්නේ ඇමරිකාවේ, ස්ථීරවම. ඔබ එහි ගිය එහි සිටින මුල් ඇමරිකන් පුරවැසියන්ට පසුව වුවත් ඔබත් දැන් එහි පුරවැසියෙක්. ඔබ සහ ඇමරිකාවේ මුල් පුරවැසියන් අතර කිසිදු වෙනසක් නැහැ, ඔවුනුත් කොහේ හෝ වෙනත් රටක සිට පැමිණි අය.

    ඔබ ඇයි ඇමරිකාවේ ඔබලාට තිබෙන ප්‍රශ්න ලංකාවේ ඉන්න සිංහල අපිට කියන්නේ,
    ඔබ මේ වෙද්දී කළයුත්තේ ඉංග්‍රීසි බොගක් අටෝගෙන ඇමරිකාවේ ඔබලාට ඇති බදු ගැටළු, ෆෙඩරල් ක්‍රමයේ අඩුපාඩු ගැන ලියන එක නොවේද.
    ඔවුන් ලංකාව වැනි රට වලට පැමිණ ෆෙඩරල් හෝ වෙනත් දේ උගන්වන්න යන්නේ ඇයි කියා හෝ ඔවුන්ගෙන් නොවේද ඔබ ප්‍රශ්න කළයුත්තේ.
    ඔබ මොන තරම් ඇමරිකාවේ ගුණ වැයුවත්(කළින් ලිපි මා කියවා ඇත) ඔබට තාම ලංකාවේ තිබෙන මුදුන් මුල කපා ගන්න බැරුව නේද ඉන්නේ.

    • arunishapiro said, on මැයි 4, 2015 at 7:06 පෙ.ව.

      බක්කා..,

      අනිත් රටවල් ගොඩකට වඩා වැඩි වෙනසක් නැහැ ආරම්භ වෙච්ච විදිය නම්, පරක්කු වෙලා රට ප්‍රසිද්ධ වුනාට සහ ආණ්ඩුවක් පත්වුනාට .. හරියටම කියවලා බැලුවොත්.

      //ඇයි ඔබේ මේ දේ සිංහලෙන් කියන්නේ, ඔවුන්ට සිංහල පුළුවන්ද.// ඇමෙරිකාවේ ආණ්ඩුවෙත්, ලංකාවේ ඇමෙරිකන් එම්බසියෙත් දෙකේම ඉන්නවා සිංහල පුළුවන් අය. හැබැයි ඒ අයට නෙමෙයි මේ ලියන්නෙ.

      උත්සවශ්‍රීයෙන් මල් මාලා දාලා, රතු කාපට් දාලා, නැටුම් පවත්වලා, ඒ අයගේ රටේ ව්‍යවස්ථා උල්ලංඝණය කරන අයව ගෙන්න ගන්නෙ ඇයි කියල හිතල බලන්න අවශ්‍ය ගෙන්න ගන්න රටේ ජනතාව. (සිංහලෙන් ලියන්නෙ ඒ අයට). තමන්ගේ නායකයන් වෙතින් අර සහනාධාරයි මේ සහනාධාරයි, පඩි වැඩි කරන්නයි, හැමෝටම නොමිලේ අධ්‍යාපනයයි, හැමෝටම නොමිලේ සෞඛ්‍ය පහසුකම්, අර්තපල් සිට කහට තේ කෝප්පේ දක්වා මිල තීරණය කරන්න … ඉල්ලද්දී තමන්ගෙ රටේ නායකයන්ට විකල්ප දෙකයි තියෙන්නෙ. එකක් සල්ලි ණයට ගන්න එක. නැත්නම් සල්ලි මවන එක. දෙකෙන්ම තවත් බර පැටවෙන්නේ රටේ ජනතාවට. ණය එපා, සල්ලි මවන්න එපා, අපේ ජීවන බර අපි කරගහගෙන යන්නම් කියන ජනතාවක් ඇතිවෙන දවසක් උදාවෙන්න නම් ඒක කළ යුත්තේ ඇයි කියල, එයම තමයි වැඩියෙන්ම නිවහල් හැදියාව, වැඩියෙන්ම ආචාර ධාර්මික වූ සහ වැඩියෙන්ම සාර්ථක බව ඔප්පු කරලා තියෙන මාර්ගය කියල පහදලා දෙන්න. ඇයි ඒවා ඔය නොමිලේ බෙදන අධ්‍යාපනයෙන් කියල දෙන එකක්යැ!!!

      මේක ඇමෙරිකාවේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. හැමදාම දුප්පත්කමේ ඉන්න රටවල ජනතාව ඉහත නිවැරදි ක්‍රමය අවබෝධ කරගන්නේ නැතිව “අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ” කියල බැන බැන “ණය” ඉල්ලද්දී ලැජ්ජා නැද්ද කියල අහන්නයි. තමන්ගේ දුප්පත් රටේ ජනතාව හැම දෙයක්ම තමන්ගෙ ආණ්ඩුවෙන් කරලා දෙන්න කියල ඉල්ලන නිසා ඒවා කොහෙන් හරි ගෙනැත් වියදම ජනතාව පිට පටවලා බලයේ ඉන්න හදන නායකයන් හදා ගන්නේ තමන්මයි කියලා පෙන්වා දෙන්න.

      ණය අරගෙන එන්න එපා කිව්වොත් එයි ද? චීනයෙන් හරි? ඇමෙරිකාවෙන් හරි?

      //ඔබ මේ වෙද්දී කළයුත්තේ ඉංග්‍රීසි බොගක් අටෝගෙන ඇමරිකාවේ ඔබලාට ඇති බදු ගැටළු, ෆෙඩරල් ක්‍රමයේ අඩුපාඩු ගැන ලියන එක නොවේද.//

      ෆෙඩරල් ක්‍රමයේ අඩුපාඩුවක් නැහැ. ඒක උල්ලංඝණය කරන අය ලෝක ප්‍රසාදයට පත්වෙලා නොබෙල් තෑගි ලබන එකෙයි අඩුපාඩුව තියෙන්නෙ. දුප්පත් රටවල ජනතාව තමන්ගේ නායකයන්ට වහල් වෙලා ඉන්න තාක් කල් මේක ඇමෙරිකාවේ ඉන්න අයට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ලෝක මතය වෙනස් නොවන තාක් කල් මේ අය අරන් ගිහින් බෙදන්නෙ අපේ බදු මුදල් නිසා. ඉතින් තමන්ගෙ ආණ්ඩුවෙන් ඉල්ලන තමන්ගෙ මිනිස්සු නැතිවෙද්දී විතරයි ආණ්ඩුවට මැදිහත්වෙන්න කියන මිනිස්සු නැති කරගන්න පුළුවන්.

      මෙහෙ දී මේ සුද්දන් දැනුවත් කරන්න විතරක් නෙමෙයි, මෙහෙට ඇවිත් පදිංචිවෙලා ඇමෙරිකන් ආණ්ඩුවෙ වැඩ කරන, ඇමෙරිකන් මහජන නියෝජිතයන්ට චන්දෙ දාන සිංහල අයවත් දැනුවත් කරන්න මම කොච්චර වැඩ කොටසක් කරනවා ද කියල මේක කියවන අය නම් දන්නවා.

      උවමනාවන්ට එරෙහි වගකීම


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: