අරුණි ශපීරෝ‍ වෙතින්

දුකින් තැවෙන අයෙකු සැනසීම

Posted in Uncategorized by arunishapiro on මැයි 5, 2015

මිනිස්සුන්ට විනෝදාංශ තියෙනවා. ඒ අතර බහුතරම පිරිස නියැළෙන විනෝදාංශය තමයි ‘අනුන් පිට වරද පැටවීම’. අවසානාවන්ත සිද්ධියක් වුනාම මේ කාගේ වැරැද්දද කියල පටවන්න කෙනෙක් හොයද්දී පවුල් කැඩිලා යන අවස්ථා පවා දකින්නට පුළුවන්.

අවාසනාවන්ත සිද්ධියක් බොහෝ අවස්ථාවල දී හටගන්නේ ඊට පාදක වෙන, කාලයක් තිස්සේ ආපු හදාගන්න පුළුවන් වෙච්ච හැදියාවන් රාශියක් නොසලකා හැරීමේ සහ පසුවට කල්දැමීමේ එකතුවීමක් හැටියට. කලාතුරකින් තමයි එහෙම නැති, වළක්වා ගත නොහැකි අවාසනාවන්ත සිද්ධි ඇතිවෙන්නෙ.

ඒත් දුක්ඛිත තත්වයක දී ඕවා කියන එකෙන් ඵලයක් නැහැ. විශේෂයෙන්ම අයෙක් මිය යන ලද අවස්ථාවක.

ජීවතුන් අතර ඉන්න අයව සනසන්නෙ කොහොම ද? මොනව ද කියන්නෙ? ඒ අය ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ සැනසිලි වදන් අහන්න ද කියන එකත් මෙතැන දී වැදගත්.

දරැවෙක්, දෙමව්පියෙක්, සැමියා හෝ භාර්යාව හෝ ඔවුන්ගේ සමීපතමයෙක් නැති වුනාම වැඩියෙන්ම අවශ්‍ය ඔවුන් වෙනුවෙන් ඔබ ඉන්න බව දැනෙන්නට හැරීමයි. කරන්න අවශ්‍ය මොනවා ද කියල පැය විසිහතරේම අහන එක නම් නෙමෙයි හැබැයි. මොකද කරන්න අවශ්‍ය මොනවා ද කියල ඒ අයටවත් හිතාගන්න බැරි තත්වයක එයාල ඒ අවස්ථාවේ දී ඉන්නෙ. නමුත් ඔබ ඔවුන් සමඟ දුක බෙදාගන්න ඉදිරිපත් වෙන අයෙක් බව ඔවුන්ට දැනුම් දීම ඉතා වැදගත්.

කාලය ඇවෑමෙන් දුක තුනී වේවි, වගේ කතා ඒ අවස්ථාවේ දී කියන්නත් නරකයි. මොකද ඒක ඇත්තක් වුනත් දුකක් හටගත් අවස්ථාවේ දී එවැනි කතා වලින් දුක වැඩිවෙනව, තරහ දැනෙනව, දුක මිසක් අඩුවෙන්නෙ නැහැ.

තවත් අය ‘සිහින මව් තුරැලට’ ගියා වගේ කතා කියනව. නැත්නම් එහෙම කාඩ් යවනව. ඒත් ආයේ එන්නෙ නැති බව දන්න හිතකට, ඒක මිය ගිය අය නිදාගෙන ඉන්නවා නෙමෙයි කියල තවත් දුකක් ගෙන දෙන කතාවක්.

කිසිම කෙනෙක්ගෙ හිත සනසන කටයුත්ත කරන්න තව කෙනෙකුට බැහැ. ඒ අයගෙ සිත සනසාගත හැකියාව ඇත්තේ ඔවුන්ටම පමණයි. ඔවුන් ඒ සඳහා ගන්න කාලය අනුවයි. ඒ කාලය වේගයෙන් හෝ හෙමින් ගෙවනවා ද යන්න වෙන කාගෙවත් තීරණයක් නෙමෙයි ඒ දුක අත්විඳින ලද්දාගේම තීරණයයි.

හොඳ හිතවතෙක් හැටියට, අයෙකුට කරන්න පුළුවන් මෙතෙක් කල් සිටි හිතවතා වගේම තව දුරටත් කටයුතු කිරිම. එයාගේ ජීවිතයේ වෙනස් නොවෙච්ච දෙයක්, වෙනස් නොවෙච්ච අයෙක් හැටියට ඉන්න පුළුවන් නම් දුකින් තැවෙන සිතකට සහනයක් ලැබෙන සේ යාළුවාට වැදගත් ශක්තියක් වෙන්න ඔබට පුළුවන් එවිට පමණයි.

ඒත් ඒකම තමයි ඉතාමත් දුෂ්කරම කර්තව්‍යය. අපිට හුරැවෙලා තියෙන්නෙ මොකක් හරි සිද්ධ වුනාම, පැනලා දුවල ගිහින් මොනව හරි ඒ ගැන කරන්න.

ඒ වැඩියෙන්ම තමන්ගෙ සිත සනසගන්නයි.

යම් අවාසනාවන්ත සිද්ධියකින් පස්සේ තත්වය කවදාවත් කළින් තිබූ පරිදි යළි ආපසු පැවතෙන්නෙ නැහැ. යහළුවන් දුක් වෙද්දී අපිත් දුක් වෙනවා. ඒ ගැන හිතන හිතන අවස්ථාවල දී ඛේදවාචකය මඟහරවා ගන්න අරහෙම කළා නම් මෙහෙම කළා නම් කියල හිතන එක නවත්වා ගන්න බැහැ. සමහර අවස්ථා වල දී ‘ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගන්න බැහැ’ යැයි කොච්චර දන්නවා වුනත්.

අවමංගල චාරිත්‍ර අවසන් වුනාට පස්සෙයි ඇත්තෙන්ම දුක දැනෙන කාලය තීව්‍ර වෙන්නෙ. ඒ නිසා සත්‍යයෙන්ම හිතවත් අයෙක් නම් වැඩියෙන්ම සෙවිල්ලකින් බැලිල්ලකින් උදව් කරන්නට ඉදිරිපත් වෙන්න ඕනෑ සමාජ චාරිත්‍ර අවසන් වෙලා එළඹෙන ඒ වැඩියෙන්ම දුෂ්කර වූ කාලයේ දී.

දරැවෙක් මිය ගිය අවස්ථාවල දී දෙමව්පියන්ගෙ පවුල්කෑමත් කඩාකප්පල් වෙන අවස්ථා තියෙනව. මානසික සුවයක් ලබාගන්න ඒ සඳහා පුහුණු වෙච්ච අයෙක්ගේ උදව් ලබාගැනීම අවශ්‍යයයි.

මේක ලියැවුනේ අකාලයේ මිය ගිය දරැවා ගැන අහලා, ඊයේ දවසම හිත දුකින් පිරී තිබ්බ දවසක් නිසයි.

5 Responses

Subscribe to comments with RSS.

  1. Thambaru Wijesekara said, on මැයි 6, 2015 at 2:57 පෙ.ව.

    වැඩ අස්සෙ මේ පැත්තෙ එන්න වෙලාවක් ලැබුණා. ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ ජන්ම ගතියක් අස්සයා ගියාම ඉස්තාලෙ වහන එක. කවදා හැදෙයිද මන්දා. හොඳ කාලීන ලිපියක්.

  2. Ama Apurva said, on මැයි 10, 2015 at 6:38 ප.ව.

    මේ ඇත්ත කියා අත්දැකීමෙන් දන්නව. සමහරු බණ ත් කියනවනේ. අනිත්‍ය ගැන එහෙම. තද වියෝවක් උණු ගමන් ඒවා දිරවන්ට අමාරුයි. මුකුත්ම නොකියා මයේ අත අල්ලං හිටියත් මට ඇති. පස්සේ ටික ටික බණ තේරුම් ගන්ට පුළුවනි. අර කාලයා එක්ක හදවත් සනීප වෙනව කීවට ඒක සුව වෙනවට වඩා හිරි වැටීමක් වගේ දෙයක්. හදවතේ රික්තය පිරවෙන්නේ නැහැ.

    දිගු කාලෙකින් කමෙන්ට් එකක් කොටන්නේ..ඒත් අක්කගේ ලියවිල්ල නං දිගටම කියව්වා…බ්ලොග් කියවෙන්නේ දැන් බොහෝ විට වැඩට යන එන අතරමග නිසා කියවනවා විනා ලියන්ට වෙන්නේ නැහැ…

    • arunishapiro said, on මැයි 11, 2015 at 11:12 ප.ව.

      Ama Apurva,

      ඔව්, //හදවතේ රික්තය පිරවෙන්නෙ නැහැ// දරැණු වියෝවක් වටහා ගැනීමේ හැකියාව අත්දැකීමෙන් පමණක් ලැබෙන එකක් නිසා ඒක කිසිවෙකුටත් ලැබේවා කියල පතන්න බැරි දෙයක්!

      කියෙව්වාම ඇති Ama Apurva, කමෙන්ට් ගණන් කරන්න ලියන ඒවා නෙමෙයිනෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: