අරුණි ශපීරෝ‍ වෙතින්

ගැරට් හාඩින් ලියූ පොදු බවේ ශෝකාන්තය

Posted in Uncategorized by arunishapiro on මැයි 10, 2015

ලංකාවේ වනාන්තර සුරකින -විල්පත්තුව පාදක කරගත්- උත්සාහය දකිද්දී පටන් ගෙන අවසන් නොකරන ලද සටහන් සම්භාරයක් අවුස්සා මෙය සොයා ගතිමි. මෙය කොටස් වශයෙන් හෝ පළ කරන්නට වඩාත්ම සුදුසු කාලය එළඹී ඇත.

උද්ඝෝෂණ ව්‍යාපාරයක් තුලින් යම් මැදිහත්වීමක් වළක්වන්නට හෝ යම් මැදිහත්වීමක් ගෙනෙන්නට හැකි වූවාට දර්ශනයක්, මතවාදයක් ගොඩැනැඟීමට නොහැකියි. එහෙත් එවැන්නක් නොමැති වෙද්දී ඒ වැළැක්වීමට හෝ පිහිටුවා ගැනීමට දීර්ඝ කාලීන පැවතීමක් නැත.

1968 දී ගැරට් හාඩින් විසින් පොදු බවේ ශෝකාන්තය (Tragedy of the Commons) නම් සිරස්තලයෙන් ලියූ ලිපිය ලොව සුප්‍රසිද්ධ වූවත් එය කිසිවෙක් සිංහලට පරිවර්තනය කර ඇත්දැයි නොදනිමි. මෙන්න මගේ උත්සාහය:

පොදු බවේ ශෝකාන්තය -ගැරට් හාඩින් 1968

පරමාණු යුද්ධයේ අනාගතය ගැන සිතා බලා ලියැවුන ලද ලිපියක අවසානයේ, වීස්නර් සහ යෝර්ක් දෙදෙනා මෙවැනි නිගමනයකට ආහ: “බලවතා වෙන්නට අවි රැස් කිරීමේ දී දෙපැත්තම … ක්‍රමයෙන් ඉහළ යන හමුදා බලය සහ ක්‍රමයෙන් අඩුවෙන ජාතික ආරක්ෂාව යන උභතෝකෝටිය හමුවේ සිටිති. සලකා බැලීමෙන් පසු ඉදිරිපත් කරන අපේ වෘත්තීමය විනිශ්චය නම් මේ උභතෝකෝටිය සඳහා තාක්ෂණික විසඳුමක් නැති බවයි. විද්‍යාව සහ තාක්ෂණය යන සංදර්භයන් තුල පමණක් විසඳුම් සොයන කාර්යයෙහි මහා බලවතුන් නිරත වුවහොත්, ප්‍රතිඵලය තත්වය තවත් බරපතල කිරීමයි.”

මම ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තේ ඒ ලිපියේ විෂයට (පරමාණු ලෝකයක ජාතික ආරක්ෂාව) නොව ඔවුන් එළඹෙන ලද ඒ නිගමනයේ ආකාරය වෙතටයි. එනම්, ගැටළුවට තාක්ෂණික විසඳුමක් නැත යන්නටයි. වෘත්තීමය සහ යම් ජනප්‍රියත්වයක් ඇති විද්‍යා සඟරා වල සියළු සංවාද තුල මුළුමනින්ම ලැබෙන පිළිගැනීමකින් යුතු වූවා සේ ගැබ් වී ඇත්තේ මේ ගැටළුවට තාක්ෂණික විසඳුමක් ඇතැයි කියායි. මිනිස් අගයන් හෝ ආචාර ධාර්මිකත්වයේ අදහස් හි කිසිත් වෙනසක් සිද්ධ නොවී, ස්වභාවික විද්‍යාවන්හි ක්‍රමවේදය වෙනස් කිරීම පමණක් අවශ්‍ය වීම යනු තාක්ෂණික විසඳුමක් යන්නෙහි නිර්වචනය විය හැකියි.

අපේ කාලයේ දී (ඊට ඉහත කාලයන්හි නොවූවාට) තාක්ෂණික විසඳුම් ඉතාමත් කැමැත්තෙන් සෑම අවස්ථාවක දී ම පිළිගැනීමට පාත්‍ර වේ. කළින් අනාවැකි වැරදිච්ච නිසා, සොයා යන තාක්ෂණික විසඳුම ලබාගැනීමේ හැකියාවක් නැතැයි තහවුරු කිරීමට නිර්භීතකමක් අවශ්‍යයයි. වීස්නර් සහ යෝර්ක් විසින් මේ නීර්භීතත්වය පෙන්වති. ඔවුන් විද්‍යා සඟරාවක එය ප්‍රකාශනය කරති. ස්වභාවික විද්‍යාවන්හි ගැටළුවට විසඳුම නැති බව තරයේ කියා සිටිති. “සලකා බැලීමෙන් කරන අපේ වෘත්තීමය විනිශ්චය,” යැයි තම ප්‍රකාශය ලියන්නට ඔව්හු ප්‍රවේසම් වෙති. මේ ලිපියේ අරමුණ ඔවුන් වැරදි ද නැද්ද යන්න විභාග කිරීම නොවේ.

මේ වර්ගය ශුන්‍ය වර්ගයක් නොවන බව පෙන්වා දීම පහසුයි. ටික් ටැක් ටෝ (ටක් ටික් ටුක්) සෙල්ලම මතක් කරන්න. එහි ගැටළුව සලකන්න, “කොහොම ද මම ටක් ටික් ටුක් සෙල්ලම දිනන්නෙ?” මගේ ප්‍රතිවාදියා සෙල්ලම හරියටම දන්නවා නම්, (ගේම් තියරියේ චාරිත්‍ර වලට අනුකූලව) මම අභ්‍යුපගමනය කළොත්, හැමෝම දන්න දෙයක් තමයි මට එය දිනන්න බැරි බව. තවත් විදියකට කිව්වොත්, ගැටළුවට “තාක්ෂණික විසඳුමක්” එතැන නැහැ. මට දිනන්න පුළුවන් එකම ක්‍රමය “ජය” යන වචනයට රැඩිකල් අර්ථයක් දුන්නොත් පමණයි. මට පුළුවන් මගේ ප්‍රතිවාදියාගේ ඔළුවට පාරක් ගහන්න; නැත්නම් එයාව මත් කරන්න; නැත්නම් ව්‍යාජ වාර්තා හදන්න. මම “දිනන” සෑම විදියක් තුලම ඇත්තේ, යම් අර්ථයකින් ගනිද්දී, අප එය දන්නා ආකාරයෙන් මා විසින් සෙල්ලම අත්හැර දමන ලද බවයි. (මට සෙල්ලම් කරන්න බෑ යැයි කෙළින්ම කියන්නත් පුළුවන්. (මේක තමයි ගොඩක් වැඩිහිටියන් කරන්නේ.)

“කිසිදු තාක්ෂණික විසඳුමක් නැති ගැටළු” වර්ගයේ ද සාමාජිකයන් සිටිති. සාමාන්‍යයෙන් පිළිගෙන ඇති පරිදි, “ජනගහණ ගැටළුව” ඒ වර්ගයේ සාමාජිකයක් යැයි මගේ අදහසයි. එය එසේ පොදුවේ පිළිගැනීමට පාත්‍ර වී තිබෙන්නේ මන්දැයි කියා යමක් කිව යුතුයි. ජනගහණ ගැටළුව ගැන සිත් කරදර කරගත් බොහෝ පිරිස දැනට අත්විඳින වරප්‍රසාදයන් කිසිත් අත්නොහැර, ජනගහණයෙන් ඇතිවන දුෂ්ටත්වයන් මගහරවා ගැනීමට මාර්ග සොයන අයයි. ඔවුන් හිතන්නේ මුහුදේ කරන වගා කටයුතු තුලින් හෝ නව තිරිඟු ප්‍රවර්ගයන් බිහි කිරීමෙන් තාක්ෂණකිව ගැටළුව විසඳාගත හැකි යැයි කියායි. ඔවුන් සොයන විසඳුම සොයාගත නොහැකි යැයි පෙන්වන්නට මම මෙහි දී උත්සාහයක් ගනිමි. ටක් ටික් ටුක් සෙල්ලමේ ගැටළුව ජයගන්නට නොහැකි සේ ම, තාක්ෂණික ක්‍රමයකින් ජනගහණ ගැටළුව විසඳිය නොහැකියි.

[ඊ ළඟ කොටස ඉක්මණින්.]

ගැරට් හාඩින් විසින් 1968 දී ලියූ ලිපිය මෙතැනින් ඉංග්‍රීසියෙන් කියවත හැකියි.

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: