අරුණි ශපීරෝ‍ වෙතින්

පොදුබවේ ඇති නිදහස සියල්ලන්ගේම විනාශය කැඳවයි

Posted in Uncategorized by arunishapiro on මැයි 14, 2015

IMG_7306

පළමු කොටස මෙතැනින්. දෙවැනි කොටස මෙතැනින්. සංවාදය වෙනත් තැනක පටන් ගැනිණ. යම් ප්‍රස්තුතයක අඩුලුහුඬුකම් මොනවාදැයි සොයා බැලීමේ දී එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට හැකියාව ඇත්දැයි නැත්දැයි පැහැදිලි කරගත හැකියි. සැලසෙනවා යැයි කියන අරමුණ සාක්ෂාත් නොවී ඒවාම නොලැබී යන ක්‍රියාකලාපයන්හි නැවත නැවතත් නියැළී සිටීම යනු නිවැරදි ප්‍රස්තුතයක සිටීම නොවේ. භාණ්ඩ බෙදාහැරීම රාජ්‍ය බලයට පත්වී තිබෙන වර්තමාන වෙනෙසියුලාව ඊට කදිම උදාහරණයකි. ප්‍රස්තුතයේ අඩුලුහුඬුකම් සකස්කරගෙන ඵලදායක ලෙසින් ප්‍රායෝගිකව ප්‍රයෝජන ගැනීමට හැකියාවේ ප්‍රතිඵල පෙන්විය හැකිවීම යනු ප්‍රස්තුතය ප්‍රතික්ෂේප වීම නොව එය බිහි වූ පදනම නිවැරදි යැයි ඔප්පු වීමයි.

=====

ජනගහණය පාලනයේ අදිසි හස්තයට නිශ්ප්‍රභාකරණයක් එල්ල වීම සොයාගත හැකි වනුයේ ආධුනික ගණිතඥයෙක් වූ විලියම් ෆෝර්ස්ටර් ලොයිඩ් (1794-1852) විසින් 1833 දී අප්‍රකට පොත් පිංචක කටු සටහනකින් මුලින්ම ඉදිරිපත් කළ දර්ශනයකිනි. දාර්ශනිකයෙක් වූ වයිට්හෙඩ් භාවිතා කළ “ශෝකාන්තය” යන අර්ථයෙන් ගෙන අපට එය “පොදු බවේ ශෝකාන්තය” යැයි නම් කළ හැකියි: “නාට්‍යමය ශෝකාන්තයේ සාරය අසතුට නොවේ. අනුකම්පා විරහිත වැඩ කරන දේවල් තුල සංසුන් ලෙසින් එය පවතී.” අනතුරැව ඔහු මෙසේ ද කියයි, “ඉරණමේ මේ වැළැක්විය නොහැකියාව විස්තරාත්මකම පැහැදිලි කළ හැකි වනුයේ දොම්නස හා සම්බන්ධ වූ මිනිස් ජීවිතයේ සිදුවීම් අතරින් පමණකි. මන්ද, දිගහැරෙන නාට්‍යයේ දී ගැලවී යාමේ උත්සාහය නිරර්ථක යැයි පැහැදිලිව පෙන්විය හැකියාව ඇත්තේ ඒවාට පමණකි.”

පොදු බවේ ශෝකාන්තය ඇතිවෙන්නේ මෙයාකාරයෙනි. සියල්ලන්ටම විවෘතව තිබෙන තණ පිට්ටනියක් සිතින් මවා ගන්න. සෑම එඬේරෙක් විසින්ම හැකි තරම් හරක් ප්‍රමාණයක් මේ පොදු බිමට ගෙනෙන්නට උත්සාහයක් ගනු ඇතැයි අපෙක්ෂා කෙරෙයි. මෙවැනි සැලසුමක් ශතක ගණනාවක් පුරා යම් හොඳ තත්වයකින් සිද්ධ වෙමින් පැවතෙන්නේ ගෝත්‍රික යුද්ධ, හොර දඩයම්, සහ රෝග යනාදියෙන් මිනිස් සහ සත්ව සංඛ්‍යාව භූමිය දරාගත හැකි තරමට අඩුවෙන් පවත්වා ගැනුනු නිසා යැයි කිව හැකියි. කෙසේ වෙතත්, අවසානයේ දී උදාවෙන්නේ විපාකයන්ට මුහුණ දිය යුතු දිනයයි. දීර්ඝ කාලයක් හඹා ගිය සමාජ ස්ථායිතාවයේ අරමුණ සත්‍යයක් බවට වෙන දවසයි. මේ වෙද්දී, පොදු බවේ නෛසර්ගික තර්කිකත්වය අනුකම්පාවෙන් තොරව ශෝකාන්තය උපදවයි.

විචාර බුද්ධිමය සත්වයෙක් හැටියට, සෑම එඬේරාම සොයා යන්නේ තමන්ගේ වාසිය වැඩිම කරගන්නටයි. යම් තරමකට දැනුවත්වම, පැහැදිලිව හෝ ව්‍යංගයෙන්, ඔහු අහන්නේ මෙයයි: “මගේ පට්ටියට තව සතෙක් එකතු කරගැනීමේ දී මට ඇති ප්‍රයෝජනය කුමක් ද?” මේ ප්‍රයෝජනයේ එක ඍනාත්මක අංගයක් සහ එක ධනාත්මක අංගයක් පවතී.

1) ධනාත්මක අංගය නම් එක සත්වයෙක් වැඩි වීමයි. වැඩි වූ සත්වයා විකිණීමේ දී සියළු ලාභය එඬේරාට ලැබෙන නිසා, ධනාත්මක ප්‍රයෝජනය බොහෝ දුරට + 1 වෙයි.

2) ඍනාත්මක අංගය නම් එක සත්වයෙක් වැඩි වීම නිසා භූමියේ අධික උලාකෑම වැඩිවීමයි. නමුත් භූමියේ අධික උලාකෑම සියළු එඬේරැන් විසින් හවුල්වෙන කර්තව්‍යයක් හේතුවෙන්, තීරණය ගන්නා එක එඬේරෙකුට ඇති ඍනාත්මක ප්‍රයෝජනය -1 න් භින්න භාගයකි.

මේවා එකතු කර විමසා බලන එඬේරා නිගමනය කරන්නේ ඔහුට ගත හැකි සිහිනුවණැති මාර්ගය වනුයේ තවත් සතෙක් තම පට්ටියට ඇතුල් කරගත හැකියාව ලැබෙන්නේ කෙසේදැයි විමසා බැලීම බවයි. පොදු දේපල භාවිතයේ යෙදෙන, බුද්ධි විචාරය යොදාගන්නා සෑම සියළු එඬේරෙක්ම විසින්ම පිවිසෙන නිගමනය මෙයයි … තව සතෙක්, තව සතෙක් බැගින් පට්ටියට එකතු කර ගැනීමයි. ශෝකාන්තය ඇත්තේ එතැනයි. සීමාසහිත වූ ලෝකයක, සෑම මිනිසෙකුටම තම පට්ටියට සීමාරහිතව එකතු කරන්නට බලපෑමක් එල්ල වෙන පද්ධතියක මිනිසා හිර වී සිටියි. පොදු බවේ නිදහස විශ්වාස කරන සමාජයක තම තමන්ගේ යහපත සොයා යන සියළුම මිනිසුන් වේගයෙන් ඇදෙන්නේ විනාශ මුඛය වෙතටයි. පොදු බවේ ඇති නිදහස සියල්ලන්ගේම විනාශය කැඳවයි.

මෙය වැදගැම්මකින් තොර කියමනයක් යැයි සමහරැ කියන්නට පුළුවනි. එය එසේ සිද්ධ වුවහොත්!* මානසික ප්‍රතික්ෂේපයන් තුල ඇති බලය ස්වභාවික වරණය විසින් කැමැත්තෙන්ම බාරගන්නා බව, එක ආකාරයකින් සලකද්දී, වසර දහස් ගණනකට පෙර ඉගෙන ගත්තකි. සත්‍යය ප්‍රතික්ෂේප කිරීමට ඔහු සතු වූ හැකියාවෙන් ඒකීය පුද්ගලයෙක් විසින් වාසියක් ලැබුවත්, ඒ නිසාම ඔහු එහි අංගයක් ලෙසින් ජීවත්වෙද්දී, එය සමස්ත සමාජයක් හැටියට දුක්විඳිති.

වැරදි දැය කරන්නට ඇති ස්වභාවික හැදියාව මඟහරවා ගන්නට අධ්‍යාපනයෙන් පුළුවනි. එහෙත් පරම්පරාවක් පරම්පරාවක් බැගින් ස්ථිර පැවැත්ම ආරක්ෂා කරගන්නට නම්, මේ දැනුම සඳහා වූ පදනම නිතර පාහේ අලුත් කරගන්නට අවශ්‍යයයි.

දැනුම යනු කොතරම් ඉක්මණින් නරක් වී යා හැකි වූවක් දැයි පෙන්වන කදිම උදාහරණයක් වසර කිහිපයකට පෙර මැසචූසෙට්ස් හි ලියොමිනිස්ටර් හි වූ සරල සිද්ධියක් ගත හැකියි. නත්තල් බඩු අලෙවිය සමයේ නගරයේ රථ නැවතුම් සඳහා ගාස්තු අය කරන මීටර්, ප්ලාස්ටික් බෑග් වලින් ආවරණය වී මෙවැනි සඳහනක් එහි එල්ලා තිබුණි: “නත්තල පසුවෙන තෙක් විවෘත කරන්න එපා. නගරාධිපති සහ නගර සභාවේ අනුග්‍රහයෙන් නැවතුම් පොළ නොමිලේ.” වෙනත් විදියකට කියතොත්, දැනටමත් හිඟ ස්ථාන සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවීම හමුවේ නගරයේ පියවරැන් යළි ස්ථාපනය කරන ලද්දේ පොදු පද්ධතියකි. (මේ පසුගාමී ක්‍රියාවෙන් අහිමි වූවාට වඩා චන්ද ප්‍රමාණයක් ඔවුන් දිනාගන්නට ඇතැයි අපි සැක කරන්නේ, මිනිස්සු සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ ආත්මාර්ථකාමී සහ වංක ලෙසින් යැයි විශ්වාස කරන ආකාරයෙනි.)

මේ හා සමාන වූ ආකාරයකින්, ඉතා දිගු කාලයක සිට, සමහර විට කෘෂිකර්මය සොයාගත් දින පටන්, නැත්නම් ඉඩකඩම් සඳහා පුද්ගලික දේපල අයිතිය පැවරීම සොයාගත් දින පටන්, පොදු බවේ තර්කය වටහාගෙන තිබේ. නමුත් එය බොහෝ සෙයින් වැටහී ඇත්තේ ප්‍රමාණවත් ලෙසින් පොදුවේ පවතින තත්වයන් ගැන නොව විශේෂ තත්වයන් අනුවයි. මෙතරම් පසුකාලයක වුවත්, ජාතික ඉඩකඩම්වල හරකුන්ට උලා කෑමට කුලියට දෙන බටහිර පෙදෙස්හි පවතින ගොවිපොලවල් පෙන්නුම් කරන්නේ මිශ්‍ර හැඟීම් වලින් යුතු වටහා ගැනීමක් පමණි. ඔවුන් නිතරම ෆෙඩරල් අධිකාරියෙන් පමණට වඩා උලාකෑම සිද්ධ වෙන ආකාරයෙන්, ඒ නිසා වල්පැළෑටි වර්ධනයත්, පස් සෝදා යාමත් වැඩි කරන ඵලවිපාක බිහිවුන ද, ඒ ජාතික තණබිම් වලට ඇතුල් කරත හැකි ගවයන් සංඛ්‍යාව වැඩි කරන්නට අවසර ඉල්ලීමෙන් එය පැහැදිලි වෙයි. එසේම, ලොව මුහුදු කලාප දිගින් දිගටම බැට කන්නේ මේ පොදුබව ගැන වූ දර්ශනයේ හේතුවෙනි. “සාගරයට ඇති නිදහස” යන මිථ්‍යා උප්පරවැට්ටියට සාමුද්‍රීය රටවල් තවමත් සිතා නොබලා ප්‍රතිචාර දක්වති. “සාගරයන්හි නොහිඳෙන සම්පත්” යන්න විශ්වස කරනවා යැයි කියමින් ඔවුන් මත්ස්‍ය සහ තල්මස් වර්ග වඳ වී යන තැනට කටයුතු කරති.

ජාතික වනෝද්‍යාන ද ඉදිරිපත් කරන්නේ මේ පොදුබවේ ශෝකාන්තයේ තවත් පැතිකඩකි. වර්තමානයේ දී ඒවා සියල්ල සීමාරහිතව සියල්ලන්ටම විවෘත ලෙස පවතී. එහෙත් එම උද්‍යාන සීමිත ලෙසින් පවතින ඒවා වෙති. ඇත්තේ එක යොසෙමිටි මිටියාවතකි. එහෙත් ජනගහණය අසීමාන්තික ලෙසින් වර්ධනය වේ. සංචාරකයන් විසින් සොයන අගය වනෝද්‍යාන තුලින් ක්‍රමයෙන් හීන වී යයි. පැහැදිලිව කිව්වොත්, අපි වනෝද්‍යානයන් පොදු හැටියට සැලකීම ඉක්මණින් නතර නොකළ හොත් ඒවායෙන් කිසිම කෙනෙකුට අගයක් නොලැබී යනු ඇත.

ඉතින් අප කළ යුත්තේ කුමක් ද? තෝරාගැනීම් කිහිපයක් අප හමුවේ පවතී. ඒවා පුද්ගලික දේපල හැටියට අපිට විකුණත හැකියි. ඒවාට ඇතුල් වෙන්නට අවස්ථා වෙන් කරමින් මහජන දේපල හැටියට අපිට තබාගත හැකියි. ඒ වෙන් කිරීම ධනසම්පත් හිමිකම අනුව විය හැකියි, නැත්නම් වෙන්දේසි ක්‍රමයකට විය හැකියි. එය යම් දක්ෂතාවයක් මත පදනම් වූ, යම් නිර්වචනයක් අනුව පිහිටුවාගත් එකඟතාවයකින් වෙන් කෙරෙන ක්‍රමයක් විය හැකියි. එහෙමත් නැත්නම් දිගු පෝලිම් ගැසී එද්දී පළමුවෙන් එන්නාට පළමුවෙන් සේවය සැපයෙන ක්‍රමයක් විය හැකියි. මේවා සියල්ල සාධාරණ ප්‍රතිපත්ති යැයි මම සිතමි. එහෙත් අපි තෝරාගත යුතුයි -නැත්නම් අපි ජාතික වනෝද්‍යාන කියන පොදු දේපලෙහි විනාශය පිළිගත යුතුයි.

*මෙහි දී අදහස් වෙන්නේ එය එසේ නොවේවා නොහොත් තමන් කියන අහිතකර ප්‍රථිපලය නොලැබේවා යැයි ලියන්නා අදහස් කරන බවයි.

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: