අරුණි ශපීරෝ‍ වෙතින්

හෘදය සාක්ෂියක් ඇති මිනිස්සු වඳ කරන ක්‍රමය!

Posted in Uncategorized by arunishapiro on මැයි 19, 2015

Thanksgiving 2012

පොදු බවේ ශෝකාන්තය තවත් විදියකින් ජනගහණ ප්‍රශ්නය සමඟ සම්බන්ධයි. ලෝකය පාලනය වෙන්නේ “මරාගෙන කන” මූලධර්මයකින් පමණක් නම් -එහෙම ලෝකයක් කවදා හෝ තිබුණා නම්- පවුලක කොතරම් දරැවන් සංඛ්‍යාවක් සිටින්නේ ද යන්න මහජන සැලකිල්ලක් දැක්විය යුතු කාරණයක් නොවේ. වැඩියෙන් දරැවන් බිහිකරන දෙමව්පියන් ඔවුන්ව හරි හැටියකට බලා ගැනීමට නොහැකි නිසා, වැඩියෙන් නොව, අඩු දරැ මුනුබුරැ සංඛ්‍යාවක් දායද කරනු ඇත. කුරැල්ලන්ගේ පැටව් බෝ කරන සඵලතාවය පාලනය වෙන්නේ එවැනි ඍනාත්මක ප්‍රතිචාරයක් නිසා යැයි ඩේවිඩ් ලැක් සහ තවත් අය පෙන්වා දී තිබේ. ඒත් මිනිස්සු යනු කුරැල්ලෝ නොවෙති. අඩු තරමින් සහශ්‍රවර්ෂ ගණනාවක් තුල කුරැල්ලන් සේ හැසිර නැත.

සෑම මිනිස් පවුලක්ම ඔවුන්ගේ සම්පත් මත පමණක් යැපෙන්නේ නම්, අරපිරිමැස්මෙන් දූරදර්ශී නොවන දෙමව්පියන්ගේ දරැවන් හාමතේ මිය යන්නේ නම්; එහෙම නම්, දරැවන් පමණට වඩා බෝ කිරීමෙන් එම ජානු පරම්පරාවේ පැවැත්මට එයින්ම ලැබෙන “දඬුවම” වෙන්නේ නම්, –එවිට දරැවන් හදන පවුල් පාලනය කළ යුතු යැයි මහජන උවමනාවක් ඇති නොවේ. නමුත් අපේ සමාජය සුබ සාධන රාජ්‍යයක් සඳහා ඇප කැප වී තිබෙන්නකි. ඒ නිසා පොදු බවේ ශෝකාන්තයේ තවත් පැතිකඩකට මුහුණ දෙයි.

වැඩියෙන් දරැවන් බිහි කිරීම ඔවුන්ගේ තත්වය උසස් කරගැනීමේ ප්‍රතිපත්තියක් හැටියට යොදා ගන්නා පවුලක්, ආගමක්, ජාතියක්, නැත්නම් පංතියක් (එහෙමත් නැත්නම් හඳුනාගත හැකි ඕනෑම සංසක්ත කල්ලියක්) ගැන සුබ සාධන රාජ්‍යයක දී අපි කුමක් කරන්නේ ද? උපන් හැම අයෙක්ටම පොදු දේපල සඳහා එක හා සමාන අයිතීන් ඇතැයි යන්න සමඟ නිදහසේ සංකල්පය ද එකතු වූ විට ලෝකය හිරවෙන්නේ ඛේදනීය අවසානයක් කරා යන ගමනකයි.

මේ මාර්ගයම එක්සත් ජාතීන් විසින් අනුගමනය කිරීම අවාසනාවයි. 1967 අග භාගයේ දී ජාතීන් 30 ක් විසින් මෙයට එකඟ වූහ: “සමාජයේ ස්වභාවික සහ මූලික ඒකකය යනු පවුල යැයි මිනිස් අයිතීන්ගේ විශ්ව ප්‍රකාශනය විස්තර කරයි. පවුලේ ප්‍රමාණය කොතරම්දැයි තෝරාගැනීම සහ තීරණය ඉවත් කළ නොහැකි ලෙසින් සහ වෙන කෙනෙකුට කළ නොහැකි ලෙසින් පවුල සතුව පවතී.”

මේ අයිතීයේ වලංගු බව පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වීම වේදනාකාරී වූවකි. එය එසේ නොවේ යැයි කියද්දී, අයෙකුට දැනෙන්නේ, 17 වැනි සියවසේ සේලම්, මැසචූසෙට්ස් හි මෝහිනියන් නොසිටියා යැයි කියනවා වැනි අපහසු තත්වයකි. වර්තමානයේ දී, ලිබරල් අය අතර, එක්සත් ජාතීන්ව විවේචනය වළක්වන තහනමක් වැනි වූවක් පැතිර ඇත. එක්සත් ජාතීන් යනු “අපේ අන්තිම සහ හොඳම බලාපොරොත්තුව” යන හැඟීමක් පවතින නිසා, එහි වැරදි අපි සෙවිය නොයුතු යැයි සැලකේ. සාම්ප්‍රදායික මතිමතාන්තර වෙනස් නොකරන්නට දැඩි සේ බැඳී සිටින අයගේ ගොදුරැ බවට පත් නොවිය යුතු යැයි සැලකේ. කෙසේ නමුත් අපි රොබට් ලුවී ස්ටීවන්සන් කියූ දේ අමතක නොකරමු: “හිතමිතුරන් අතර යටපත් කරන සත්‍යය යනු හතුරා අත වැඩියෙන්ම සූදානමින් පවතින අවියයි.” අපි සත්‍යයට ළැදියාවක් දක්වන්නේ නම්, එක්සත් ජාතීන් විසින් ප්‍රවර්ධනය කළත්, අපි මිනිස් අයිතීන්ගේ විශ්ව ප්‍රකාශනයේ වලංගු භාවය විවෘතව ප්‍රතික්ෂේප කළ යුතුයි. එම දුක්ඛිත පරමාදර්ශයම සොයා යෑමේ වැරද්ද දකින්නට නම් අපි කින්ග්ස්ලි ඩේවිස් සමඟ පුංචි පවුල රත්තරන් යැයි කියන සංවිධානයන් හා එකතු විය යුතුයි.

හෘදය සාක්ෂිය යනු ස්වයං බැහැර කිරීමයි

මිනිස් වර්ගයාගේ බෝ වී යාම පාලනය කරන්නට හෘදය සාක්ෂියට සවන් දීමෙන් හැකියාව ඇතැයි සිතීම වරදකි. චාල්ස් ගාල්ටන් ඩාවින් [චාල්ස් ඩාවින්ගේ මුනුබුරා] ඔහුගේ සීයාගේ විශිෂ්ඨ පොතේ ශතසංවත්සරික ප්‍රකාශනයේ දී කතා කරමින් මේ කාරණය මතු කළේය. තර්කය ඍජුවම ඉදිරිපත් කෙරෙන්නෙකි. එය ඩාවිනියානු වූවකි.

ජනතාව විවිධ වෙති. බෝ කිරීම සීමා කරගන්න යැයි ඉල්ලා සිටීම හමුවේ, සමහර පිරිසක් අනෙකුත් පිරිසට වඩා හොඳින් ඊට ප්‍රතිචාර දක්වනු ඇත. හෘදය සාක්ෂියට සවන් දෙන අයට වැඩියෙන්, වැඩිපුර දරැවන් බෝ කරන පිරිස විසින් ඊ ළඟ පරම්පරාවට වැඩියෙන් ලොකු ඛණ්ඩයක් පිළිගන්වනු ඇත. ඒ වෙනස පරම්පරාවෙන් පරම්පරාවට වැඩි වී යනු ඇත.

සී. ජී. ඩාවින්ගේ වදන් වලින්: “මේ ආකාරයෙන් දරැවන් හදන්නට නැඹුරැ සහජයක් වර්ධනය කරගන්නට සමහර විට පරම්පරා සිය ගණනක් ගතවෙනු ඇත. එහෙත් එය එසේ වුවහොත්, එවිට ස්වභාව ධර්මය සිය පළිගැනීම කර ඇත. වැඩියෙන් දරැවන් හැදීමට නැඹුරැ වූ වර්ගය පැතිර යාම නිසා එවිට උපත් පාලනයට නැඹුරැ වූ හෘදය සාක්ෂිය පවතින වර්ගය වඳ වී යනු ඇත.

මේ තර්කය අභ්‍යුපගමනය කරන්නේ හෘදය සාක්ෂිය නැත්නම් දරැවන් හදන්නට ඇති කැමැත්ත (කුමක්දැයි යන්න ගැටළුවක් නොවේ) පරම්පරාවෙන් පරම්පරාවට එන්නක් බවයි. ඒත් එය ඉතා සරල සාමාන්‍ය අදහසකින් පමණකි. බීජ සෛල වලින් ඒ හැදියාව යන්නේ ද, නැත්නම් මොළයට සහ සිරැරට බැහැරින් යන්නේ ද, (ඒ. ජේ. ලොට්කාගේ වහර භාවිතයෙන්) ප්‍රතිඵලය එකම වෙයි. (අයෙක් දෙවැන්නේ හැකියාව සේ ම පළමුවැන්නේ හැකියාවත් ප්‍රතික්ෂේප කරනවා නම්, එහෙම නම් අධ්‍යාපනයේ වැදගත්කම කුමක් ද?) මේ තර්කය ජනගහණ ප්‍රශ්නයේ දී සඳහන් කළත්, පොදු යහපත පිණිස පොදු දේපල ප්‍රයෝජනයට ගන්නා ඒකීය පුද්ගලයා වෙතින් ඔහුගේ හෘදය සාක්ෂියට සවන් දෙන්න යැයි සමාජයක් විසින් ඉල්ලා සිටින සෑම අවස්ථාවක දී ම එක සේ අදාල වූවකි. එවැනි ඉල්ලීමක් කිරීම යනු ජාතියෙන් හෘදය සාක්ෂිය තුරන් කර දමන වරණීය ක්‍රමයක් හැදීමයි.

ගැරට් හාඩින් ලියූ පොදු බවේ ශෝකාන්තයේ පළමු කොටස මෙතැනින්. දෙවැනි කොටස මෙතැනින්. තෙවැනි කොටස මෙතැනින්. හතරවැනි කොටස මෙතැනින්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: